කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නොතකා වතු කම්කරුවන් අනාරක්ෂිතව වැඩෙහි යොදවයි

කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන කොන්දේසි නොතකා ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව සහ වැවිලි සමාගම් විසින් වතු කම්කරුවන්  සේවයට කැඳවා ඇත. ඇඳිරි නීතිය තිබියදී ම ගොවීන්ට සිය වගා කටයුතු සහ අස්වැන්න නෙලීමේ කටයුතුවල යෙදීමට ආන්ඩුව අවසර දී ඇති හෙයින්  වැවිලි හා ඇඟලුම් ඇතුලු අපනයන කර්මාන්ත පවත්වාගෙන යාමට ද අවසර ඇතැයි වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරන විසින් නිවේදනය කර තිබේ. වහාම එය ඩැහැගත් වතු හාම්පුතුන් වැඩට එන ලෙස කම්කරුවන්ට දන්වා ඇත. හුදෙක් වතු සමාගම් පමනක් නොව, ශ්‍රී ලංකාවේ  ඇඟලුම් සහ සෙසු ධනපති ව්‍යවසායන් ගේ හා අන්තර් ජාතික සංගත වල ද පිලිවෙත එයයි.

එහෙත් මෙම අත්තනෝමතික මෘග පිලිවෙත නිසා කම්කරුවන්ට ඉන් යම් හානියක් සිදුවූවහොත් වගකීමෙන් නිදහස් වීමේ කූට අදහස ඇතිව සිය කැමැත්තෙන්  වැඩට එන බවට ලිපියක් ලියා දෙන ලෙස ඇතැම් වතු පාලකයන් කම්කරුවන්ට දැනුම් දී ඇත. කම්කරුවන් එය ප්‍රතික්ෂේප කර තිබේ. 

ආන්ඩුව සහ වැවිලි සමාගම් මෙම අනාරක්ෂිත හා අනතුරුදායක පිලිවෙත ක්‍රියාවට දමා ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය (සීිඩබ්ලිව්සීි), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යුපීඑෆ්) ඇතුලු සියලු වතු වෘත්තීය සමිතිවල පුර්න  සහයෝගය ඇතිවය. 

සීඩබ්ලිව්සී ය රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශවකරුවෙක් වන අතර එහි  නායක ආරුමුගම් තොන්ඩමන් එහි ප්‍රධාන ඇමැතියෙකි. එන්යූඩබ්ලිව් සහ යූපීඑෆ් කලින් පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ  පාර්ශවකරුවෝ වූහ. ඔවුනොවුන් අතර පවතින දේශපාලන විරසකයන් නොතකා වතු කම්කරුවන් මත ධනපති ආන්ඩුවේ සහ වැවිලි සමාගම්වල දුෂ්ට පිලිවෙත් ක්‍රියාවට දැමීමට ඔවුහු සහයෝගය දෙති. 

දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පසුගිය වසරේ ගෙන ගිය අරගලය පාවා දුන් හා නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමේ වතු සමාගම්වල සැලසුම් වලට සහයෝගය දෙන ඔවුහු දැන් කොරෝනා වසංගතයෙන් උද්ගත කෙරී ඇති වැවිලි කර්මාන්තයේ අර්බුදය කම්කරුවන් මත කඩා පාත්  කිරීමට වැවිලි සමාගම් හා ආන්ඩුව සමග පෙල ගැසී සිටිති.

වතු කම්කරුවන්ට  වැඩකිරීමට සිදුව ඇත්තේ  අවම වශයෙන් මුඛ ආවරන පවා නොමැතිවය. හැටන් දික්ඔය ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවන් ආරක්ෂක පහසුකම් නැතිව වැඩට යාම මාර්තු 25 වෙනිදා ප්‍රතික්ෂේප කල නමුත් අත්‍යවශ්‍ය ආහාර පවා මිල දී ගැනීමට නොහැකි කොන්දේසි යටතේ අකමැත්තෙන් වුවත් ඔවුන්ට වැඩට යාමට බල කෙරී ඇත.   

රුපියල් 750 ක සොච්චම් දෛනික වැටුපක් ලබන ඔවුන්ට  කොරෝනා වසංගතයෙන් මතු කෙරී ඇති අවදානම නොසලකා  කුස ගින්න නිවා ගැනීම සඳහා වතු සමාගම් වලට කැඹීරීමට සිදු වී ඇත. “අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා මිල දී ගැනීමට මුදල් නැති හෙයින් අපට අකමැත්තෙන් වුනත් වැඩට යාමට බල කෙරුනා. පසුගිය මාසේ අපේ පඩිය වශයෙන්  ලැබුනේ රුපියල් 2000 යි. අපිට වැඩ කරන්න සිදුවී තිබෙන්නේ  මුහුනු ආවරන හෝ අස්වැසුම් නැතිව. වතු පාලනාධිකාරය ඒවා සපයන්නේ නැහැ. කිසිම කෙනෙක් අපි ගැන සලකන්නේ නැහැ” යි ආගරපතන වතු කම්කරු කාන්තාවක් ශක්ති රූපවාහිනියට පවසා තිබුනි.  

මාර්තු 24 වෙනිදා රාත්‍රියේ තමන්ට වැඩට ඒමට වතු පාලනාධිකාරය බල කල බව ඈන්ෆීල්ඩ් වත්තේ  කම්කරු කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසුවාය. “මම වැඩ කරන්නේ වත්තේ ෆැක්ටරියේ. අද රාත්‍රියේ වැඩට එන්න කියල පාලානාධිකාරයෙන් කිව්වා. ඇඳිරිනීතිය තිබුනත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ කිසිම ආරක්ෂක පහසුකමක් නැතිව අපට වැඩකරන්න සිදුවෙලා තිබෙනවා. කම්කරුවන් වැඩට යන්න කියලා අපේ වත්තේ සියලුම සමිති කම්කරුවන්ට බල කරනවා. කිසිම වෘත්තීය සමිතියක් විරුද්ධ වෙන්නේ නැහැ. කොරෝනා වසංගතය නිසා සියලු දෙනාම නිවෙස්වලට වී සිටිය යුතු බවට ආන්ඩුව නිවේදනය කලත් අපට වැඩට යන්න කියනවා” ඇය පැවසුවාය.

සමාජවාදී සමානතා පක්ෂයේ මූලිකත්වය ඇතිව  ඇබෝට්ස්ලි වත්තේ පිහිටුවා ඇති වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සභාපති සුන්දරලිංගම් මෙසේ පැවසීය: “ආන්ඩුව සහ වෘත්තීය සමිති කම්කරුවන්ව මුලුමනින්ම නොතකා හැරලා. කිසිම සමිතියක් කම්කරුවන් ගැන බලන්නේ නැහැ. කොරෝනා වසංගතය නිසා කම්කරුවන් බොහෝ දුෂ්කරතාවලට මුහුන දෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවත් මිල දී ගැනීමට ඔවුන්ට මුදල් නැහැ. තොන්ඩමන් කම්කරුවන්ට වැඩට යන්න කියල බල කරනවා. කොරෝනා වෛරස් අර්බුදය තුල කම්කරුවන්ට සහන දෙන්න කියල දිගම්බරම් ආන්ඩුවට ආයාචනය කරනවා. ඒක  මුහුන බේරා ගැනීම සඳහා කරන ප්‍රෝඩාවක්. ඔහුත් කියන්නේ කිසිම පහසුකමක් නැතිව කම්කරුවන්ට වැඩට යන්න කියල. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කරන පරිදි කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා කම්කරුවන්ට සියලු ආරක්ෂක පහසුකම් සහ පඩි සහිත නිවාඩු දිය යුතුයි”.

ශ්‍රී ලංකාව දැන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම් අවස්ථාවක සිටින බවත් ඇඳිරි නීතිය ඉවත් කල වහාම දැඩි අවදානම් අදියරට පිම්මක් ගැනීමට ඉඩ ඇති බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මාර්තු 24 වෙනිදා නිකුත් කල තත්ව වාර්තාවේ සඳහන් වේ.  

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමේ මෙවන් කොන්දේසි යටතේ නිවාස හා සෞඛ්‍යය  ඇතුලු මූලික පහසුකම් පවා ප්‍රමානවත් තරම් නොමැති 200,000 පමන  වතු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් මුහුන දෙනු ඇත්තේ අතිශයින් ම අන්තරායකාරී තත්ත්වයකටය. එහෙත්  රාජපක්ෂ ආන්ඩුව සහ වතු සමාගම් උත්සුක වන්නේ කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා අර්බුදග්‍රස්ත ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය  රැක ගැනීමට පමනි.

ඔවුන් ජීවත් වන්නේ බෝවන වසංගත තත්වයක් තුල නොව, සාමාන්‍ය තත්වයක් තුල ද සෞඛ්‍ය සම්පන්න හා සදාචාරාත්මක ජීවිතයක් පවත්වාගෙන යාමේ අවම ප්‍රමිතීන්ගෙන් පවා තොර ලයින් කාමර වලය. ඒවායින් බහුතරය ශතවර්ෂයක් පමන පැරනි කුඩා කාමරයක් හා කුස්සියක් සහිත නිසි වාතාශ්‍රයක් නොමැති කාමර 5 ක් හෝ ඊට වැඩි ගනනක් එකට යාකල ලයින් පේලිය. එනම් වසංගත රෝගයක් ක්ෂනිකව පැතිර යාමේ නරකම කොන්දේසි තුලය. 

ඔවුනට පිරිසුදු පානීය ජලය හෝ වැසිකිලි පහසුකම් ප්‍රමානවත් තරම් නැත. පරිහානියට පත් කුඩා වතු ඩිස්පෙන්සරි  හැරුන විට වෙනත් වෛද්‍ය  පහසුකම් වතු තුල නැත. දරුවෝ  මෙන් ම වැඩිහිටියෝ ද මන්ද පෝෂනයෙන් පෙලෙති. මෙම සමාජ කොන්දේසි තුල  වසංගත රෝගයකට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය වතු කම්කරු ජනතාවගෙන් බහුතරයක් තුල තිබිය නොහැකි  බව වටහා ගැනීමට යමෙකුට දුෂ්කර නොවනු ඇත.  

විරැකියාව සහ දරිද්‍රතාවය වතු කම්කරුවන් අතර  බහුලය. දහස් ගනනක් වතු තරුනයන් හා තරුනියන් කොලඹ ඇතුලු ප්‍රධාන නගරවලට සංක්‍රමනය වී සිටිති.  කඩසාප්පු, හෝටල්, ගොඩනැගීම් සහ නිදහස් වෙලඳ කලාප තුල සේවය කල ඔවුන්ගේ සුලු ආදායම් මාර්ග පවා කොරෝනා වසංගතය හමුවේ ඔවුන්ට අහිමි  වී ඇත. එහෙත් ඔවුන්ට ආර්ථික සහනයක් ලබාදීමට මේ වන තෙක් ආන්ඩුව කිසිදු පියවරක් ගෙන නැත.    

මෙවන් තතු තුල වතු කම්කරුවන් අතර කොරෝනා  වෛරසය පැතිරීමට පටන් ගතහොත් සිදුවිය හැකි  ව්‍යසනය අතිශය බියජනක වනු ඇත. එහෙත් ධනපති ආන්ඩුවට සහ හාම්පුතුන්ට එය ගැටලුවක් නොවේ. ලොව පුරා ධනපති හාම්පුතුන් මෙන් ම, ශ්‍රී ලංකාවේ මහ ව්‍යාපාරිකයේ සහ කර්මාන්තකරුවන්ගේ පිලිවෙත වී ඇත්තේ ද “බිලියන ගනන් අපේ ලාබය වෙනුවෙන් මිලියන ගනනක් කම්කරුවන් මිය යා යුතු නම් එය එසේ වේවා” යන්නයි.

 එහෙත් කම්කරුවන් ධනපති ව්‍යවසායකයන්ගේ ලාබ පිපාසාව වෙනුවෙන් තමන්ගේ ජීවිත බිලිදිය යුතු නැත. දැනටමත් ධනපති ආන්ඩු සහ සංගතයන්ගේ  දුෂ්ට පිලිවෙතට එරෙහිව  ඇමරිකාව හා යුරෝපය ඇතුලුව ජාත්‍යන්තර කම්කරු  පන්තියේ ප්‍රතිරෝධය වැඩෙමින් ඇත. ධනපති හාම්පුතුන්ගේ සහ ආන්ඩුවල ඍජු උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලට පිටින් සහ ප්‍රතිවිරුද්ධව වර්ජන හා  විරෝධතා උද්ඝෝෂන පුපුරායාමට පටන් ගෙන ඇත. 

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය හා තරුනයන් මෙම ජාත්‍යන්තර විප්ලවවාදී සමාජ ප්‍රවාහය සමග ඒකාබද්ධ විය යුතු ය. ඒ සඳහා ඔවුන් කල යුත්තේ  වෘත්තීය සමිති ගැන කෙරෙන හුදු විවේචන සහ හෙලා දැකීම් වලින් ඔබ්බට යමින් ඒවායින් බිඳී වෙන් වෙමින් වතු, නිදහස් වෙලඳ කලාප අනෙකුත් කම්කරු කොටස් හා පීඩිත ජන කන්ඩායම් අතර ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සහ අත්මිදීමට අවශ්‍ය පියවර තමන් විසින් ම සංවිධානය කල යුතු ය.  

අවසාන වශයෙන් එය සාක්ෂාත් කල හැක්කේ ලාබය මත පදනම් වූ ධනපති නිෂ්පාදන පද්ධතිය ද, එය ආරක්ෂා කරන ධනපති පන්තියේ දේශපාලන බලය ද පෙරලා දමන ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයක් තුලින් පමනි.

Loading