මිරිසුවිල් සමූලඝාතක හමුදා නිලධාරියා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරේ

විමුක්ති විදර්ශන
28 මාර්තු 2020

දෙමල ජනතාවට එරෙහිව සිදුකල තිස් අවුරුදු වර්ගවාදී යුද්ධය අතරතුර, 2000 දෙසැම්බර් මස, උතුරේ මිරිසුවිල්හිදී බාල වයස්කාර දරුවන් තිදෙනෙකු ඇතුලු අට දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරනයෙන් වරදකරු කරනු ලැබූ හිටපු හමුදා නිලධාරියෙකූ වන සැරයන් සුනිල් රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මාර්තු 26 දා නිදහස් කෙරුනි.

අධිකරනයෙන් වරදකරු කරනු ලැබූ අපරාධකරුවන් නිදහස් කිරීමේ අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී බලයක් ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව, යටතේ විධායක ජනාධිපතිට හිමිය. 

මෙම නිදහස් කිරීම සිදු කර ඇත්තේ, “කොරෝනා වසංගතය මැඩීමේ යාන්ත්‍රනයේ” සෑම අංශයකම ප්‍රධානත්වය මිලිටරියට පවරා දී ඇති තත්වයකයි. වසංගත අර්බුදය මධ්‍යයේ කම්කරු-පීඩිත මහජනතාව මුහුන දෙන අනේකවිධ දුෂ්කරතාවයන් පිලිබඳව ආන්ඩුවේ සාපරාධී නොතැකීමට එරෙහිව වැඩෙන මහජන විරෝධය කවර හෝ මොහොතක පුපුරායතැයි රාජපක්ෂ ඇතුලු පාලක පන්තිය බියපත්ව සිටී. “වසංගතය මැඩීමේ යාන්ත්‍රනයේ” ප්‍රධානත්වය මිලිටරියට පැවරීමේ සැබෑ අරමුන එවන් සමාජමය පිපිරීමක් රුදුරු ලෙස තලා දැමීමයි. එහි ලා මිලිටරියේ අත ශක්තිමත් කිරීමට මෙම සමූහ ඝාතකයා නිදහස් කිරීමෙන් ලබා දී ඇත්තේ බලගතු රුකුලකි.

ඝාතනය සම්බන්ධයෙන්, මිරුසිවිල්හි අනුයුක්ත කර සිටි ගජබා රෙජිමේන්තුවේ දුර විහිදුම් බලකායේ සැරයන් ආර්.එම්.සුනිල් රත්නායක හා සෙබල මහින්ද කුමාරසිංහ ඇතුලු පස් දෙනෙකුට එරෙහිව 2002 නෙවැම්බර් මස කොලඹ ත්‍රිපුද්ගල මහා අධිකරනයේදී මිනීමැරීම ඇතුලු අධිචෝදනා 19 ක් යටතේ නඩු පැවරිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ දිග්ගැසුනු වසර 13ක දීර්ඝ නඩු විභාගය අවසානයේ 2015 දී, සිවිල් වැසියන් අට දෙනාගේ ඝාතනය සිදුකල බවට සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පුවී ඇති බැව් තීන්දු කල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව සුනිල් රත්නායකට මරන දඬුවම නියම කලේය.

තීන්දුවට එරෙහිව ගොනු කල අභියාචනය විභාග කල  ශ්‍රේෂ්ඨාධිකරනය, මහාධිකරන තීන්දුව නිවැරදි බවට 2017 දී තීන්දු කලේය. 

මෙම අධිකරන තීන්දු දෙකෙන්ම යුක්ති ඉටුකිරීමේ දේශීය  යාන්ත්‍රනයන්ගේ විශ්වාසනීයත්වය හා අධිකරන පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු වන බවට එවකට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කියා සිටි නමුත් සැබවින්ම නම් සිදුවූයේ පැවති ප්‍රබල සාක්ෂි සහ ඝාතන සම්බන්ධව දේශීය හා ජාත්‍යන්තරව මතුවුනු බලගතු මහජන විරෝධය මධ්‍යයේ සිද්ධිය යටගැසීමට නොහැකිවීමයි.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීටීඊ) සංවිධානය හා රජයේ හමුදා අතර උතුරේ පැවති ගැටුම් 2000 මුල්භාගයේ උත්සන්නව පැවති අතර,  යුද හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල පිහිටි එල්ලතුමඩ්ඩුවාල් හා කොඩිකාමම් යන ප්‍රදේශ ආසන්නයේ පිහිටි මිරිසුවිල් ගම්මානය වෙතද ෂෙල් වෙඩි පතිතවන්නට විය. ෂෙල් ප්‍රහාරවලින් බේරීම සඳහා ගම් වැසියන් ගම අතහැර තාවකාලික නිවාසස්ථාන වෙත පලාගොස් තිබුනි. යුද තත්වය තරමක් සමනය වීමත් සමඟ තම ගම්බිම් වෙත විටින් විට පැමිනෙමින් පලවැල නෙලා ගෙන තම තාවකාලික නිවෙස් වෙත වේලාසනින් ලඟාවීම ගම්මුන් අතර පුරුද්දක් වී තිබිනි. 

රවිවර්මන්, තිවකුලසිංගම්, විල්වරාසා සහ ඔහුගේ අවුරුදු පහක් හා දහතුනක්  වයසැති දරු දෙදෙනා, ජෙයචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් සහ ඔහුගේ අවුරුදු පහලොවක් වයසැති පුතු සහ මස්සිනා ද නඩුවේ එකම ඇසින් දුටු සාක්ෂිකරු වූ මහේෂ්වරන් පාපැදි වල නැගී මිරුසුවිල්හි තම ගමට ගොස් සුපුරුදු පරිදි නැවත පැමිනෙමින් සිටියහ. 

අතරමග නිමේශයකට නතරවුනු මෙම ගම්මුන් වෙත පැමිනි තුවක්කු හා පිහි රැගත් හමුදා සෙබලුන් දෙදෙනෙක් ඔවුන්ව දනගස්සවා ප්‍රශ්න කලහ. තවත් හමුදා සෙබලුන් සිව්දෙනෙකුද කැඳවුනු අතර වහාම ගම්මුන්ගේ ඇස් බැඳිනු ලැබ පහරදීමට පටන් ගැනුනි. පහරදීම නිසා සිහිසුන් වූ මහේෂ්වරන් සෙබලුන් විසින් ඇදගෙන යාමේදී ඔහුට සිහි එලැඹුනු අතර ඔහුගේ ඇස් බැඳි පොට බුරුල් විය. වැසිකිලි වලක් වෙත ගෙනයන ලද ඔහුට ඒ අසල ලේ පැල්ලම් දැකගත හැකි විය. වල තුල යම් චලනයන් දුටු හෙයින් අන්තරාය අවබෝධකරගත් ඔහු සෙබලුන් තල්ලුකර දමමින් අඳුරේ පැනගත්තේය. 

පොලිස් පරීක්ෂනය අතරතුර මහේෂ්වරන් විසින්, රත්නායක හා කුමාරසිංහ හඳුනාගත් නමුත් වැසිකිලි වල තුල සොයාගනු ලැබුනේ එළුවෙකුගේ හා උරගයකුගේ මලකුනු පමනි. දෙසැම්බර් 24 දින රත්නායක විසින් පෙන්වා දෙනු ලැබූ, ඔහු ඇතුලු සිවිල් වැසියන් කන්ඩායමට පහර දෙනු ලැබූ ස්ථානයට නොදුරින් පඳුරු අතර වලදමා තිබුනු ගම්මුන් අටදෙනාගේ සිරුරු සොයාගනු ලැබිනි. 

පශ්චාත් මරන පරීක්ෂනයේදී සොයාගනු ලැබූයේ කුඩා දරුවා ඇතුලු වැසියන් සියලු දෙනාටම තදබල ලෙස පහරදී, වද දී බෙලි කපා ඝාතනය කොට ඇති බවයි.

රත්නායක නිදහස් කිරීම මගින් මිලිටරිය, බුද්ධි අංශ හා පොලීසිය, ඇතුලු ආරක්ෂක අංශ වෙත රාජපක්ෂ විසින් නැවත වරක් තහවුරු කර සිටින්නේ කිසිදු වගවීමකින් තොරව මහජනතාවට එරෙහිව ඕනෑම අපරාධයක් සිදුකිරීමේ වරපත්‍රය ඔවුනට ලබාදී ඇති බවයි. 

යුද්ධය පැවති විසි හය අවුරුදු කාල පරිච්ඡේදයේදී රජයේ ආරක්ෂක අංශ විසින් සිදුකල දහසක් යුද අපරාධ වලින් හෙලිදරව් වූ ඒවා අතර ත්‍රිකුනාමලයේ සිසුන් පහක් ඝාතනය කිරීම සහ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහාය වූ “ඇක්ෂන් අගේන්ස්ට් හංගර්” (කුසගින්නට එරෙහි ක්‍රියාව) සංවිධානයේ නිලධාරීන් 17 ක් 2006 අගෝස්තු මස මූතූර්හිදී ඝාතනය කිරීම යන සිද්ධි ජාත්‍යන්තර අවධානයට යොමු විය.

පසුගිය ජනාධිපතිවරනයේදී සිංහල බෞද්ධ වර්ගෝත්තමවාදය සහ මිලිටරිය උත්කර්ෂයට නැංවීම මත බරපතල ලෙස පදනම් වුනු රාජපක්ෂ “යුද විරුවන්” නිදහස් කරන බවට පොරොන්දු දුන්නේය. ජනාධිපති ලෙස බලයට පත්වීමත් සමඟ ආරක්ෂක ලේකම් ධුරයේ සිට රජයේ සිවිල් ආයතන රැසකම ප්‍රධානීන් වශයෙන් හිටපු මිලිටරි නායකයන් පත්කරගනිමින්, රාජපක්ෂ වඩ වඩාත් මිලිටරිය ඉහලට ඔසවා තබා, ආඥාදායක පාලනයක පදනම් සකස් කරමින් සිටී. 

2009 දී යුද්ධයේ අවසාන වකවානුවේ ආරක්ෂක ලේකම් වශයෙන් තම වැඩිමහල් සොයුරු හා හිටපු ජනාධිපති හා වත්මන් අගමැති වන මහින්ද රාජපක්ෂ යටතේ කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තු අනුව 40,000ක් නිරායුධ සිවිල් වැසියන් හා හමුදාවට භාරවූවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා ලැබූ තමා ඇතුලු මිලිටරි හා දේශපාලන නායකත්වය ආරක්ෂා කිරීමට ශපත කර ඇත්තේය.

මෙහි වැදගත්ම පියවරක් ලෙස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ  සමඅනුග්‍රහයෙන් 2015  දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත කරගත් 30/1 යෝජනාවෙන් පෙබරවාරි අග ලංකාව ඉවත්කර ගැනීමට රාජපක්ෂ කටයුතු කලේය. මෙම යෝජනාව කිසිසේත්ම යුද අපරාධ විමර්ශනය කිරීමේ හා දඬුවම් ලබාදීමේ  යාන්ත්‍රනයක් නොවුනි.

කෙසේ නමුත්, සමූල ඝාතකයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව වැඩෙන විරෝධය හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලය මාර්තු 27 දා ප්‍රකාශයක් නිකුත් කර ඇත. මිරිසුවිල් සමූලඝාතන නඩුව, දශක ගනනාවක් තිස්සේ ලංකාව තුල පැවති  “යුද්ධය සම්බන්ධව මෙතෙක් වරදකරු කරනු ලැබ ඇති දුර්ලභ මානව හිමිකම් නඩු වලින් එකක්” බව එය පවසයි.

“ජනාධිපති සමාව යනු වින්දිතයින්ට කරන අපහාසයක්” වන බවත් “යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අර්ථවත් වගවීමක් සැපයීමට නොහැකිවීම, ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වීම පිලිබඳ තවත් උදාහරනයක්” බවත්  ප්‍රකාශයෙහි සඳහන් වෙයි.

යුද්ධය පැවති කාලය තුල හා ඉන් පසුවත් හමුදාවට භාරවූ හා අතුරුදහන් කරනු ලැබූ දෙමල පුද්ගලයන් පිලිබඳ පැමිනිලි 20,000ක් පමන අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ලැබී ඇතිමුත් ඒ පිලිබඳ කිසිදු පරීක්ෂනයක් නොපවත්වාම ඔවුන් සියලු දෙනා මියගිය අය ලෙස සලකා මරන සහතික නිකුත්කරන බව රාජපක්ෂ මෑතකදී නිවේදනය කලේය.

වසර මුලදීම දේශපාලන පලිගැනීම් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමක් පත්කල රාජපක්ෂ කප්පම් ගැනීම සඳහා දෙමල තරුනයන් එකොලහක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධව චෝදනා ලැබ මහා අධිකරනය මගහරිමින් සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුලු නිලධාරීන් අධිකරන   ක්‍රියාදාමයෙන් මුක්ත කිරීමේ විධික්‍රමයක් ස්ථාපිත කලේය. 

රත්නායක ඇතුලු සිරගතකොට සිටින රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් 35 ක් නිදහස් කිරීමේ රාජපක්ෂගේ සූදානමක් වසර මුල සිටම පැවතුනි. එම සූදානම පිලිබඳ සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මැතිවරන පොරාන්දු ඉෂ්ඨ කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ වර්නනා කලේය. මහජනතාවට එරෙහිව සිංහල වර්ගෝත්තමවාදය සහ මිලිටරිය මත වඩා හොඳින් නැගී සිටීමට පාලක පන්තියේ සෑම කන්ඩායමක්ම පොරකමින් සිටී.  

අධික නය බරින් හා ගෝලීය වසංගතයක් ව්‍යාප්තවීමේ බරපතල අවදානමක් යටතේ ආර්ථික හා දේශපාලන අර්බුදයකට ගමන්කොට ඇති රාජපක්ෂ ව්‍යවස්ථාවට අනුව තමන්ට ලැබුනු පලමු අවස්ථාවේම මහ මැතිවරනයක් කැඳවුම් කලේ ය. ඔහු එසේ කලේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනවා ඇති කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැගීමේදී වර්ධනය වීමට නියමිත කම්කරු අරගල මාලාව රුදුරු ලෙස තලා දැමීමට අවශ්‍ය බලතල ගොනුකර ගතහැකි වනසේ ව්‍යවස්ථාව සංශෝධනය කරනු වස් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආන්ඩුවක් පිහිටුවා ගැනීමේ අටියෙනි. තම සංවර්ධන වැඩපිලිවෙලට බාධා නොකරන ලෙස අධිකරන පද්ධතියෙන් හා අගවිනිසුරුගෙන් ඉල්ලා සිටිමින් රාජපක්ෂ අධිකරනය තමන්ට අවනත විය යුතු බව අවධාරනය කලේය.