ඉදිරිදර්ශන

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොරෝනා වෛරසය යුද අවියක් ලෙස ගසා කයි

මෙම ලිපිය 2020 මාර්තු 20 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

ලොව පුරා තහවුරු කරන ලද කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාව 200,000 දක්වා ඉහල ගොස් ඇති බව ප්‍රකාශ කරමින් බ්‍රස්පතින්දා කල කතාවක දී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මෙසේ පැවසීය: “අප සැමවිටම කියමින් සිටින්නාක් මෙන් මෙම වසංගතය පරාජය කිරීමට අපට ඇති එකම ක්‍රමය ඇත්තේ, සහයෝගීතාව හරහාය. සහයෝගිතාව, සහයෝගීතාව, සහයෝගීතාව ... අපි එක් මිනිස් වර්ගයක් වන අතර, එය ඇත්ත වශයෙන්ම ප්‍රමානවත්ය. මෙය මනුෂ්‍යත්වයට එරෙහි අදෘශ්‍යමාන සතුරෙකි. ”

පෘථිවිය පුරා මානව වර්ගයාගේ සහයෝගීතාවය හුදෙක් උතුම් පරමාදර්ශයක් නොව, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරෙමින් මිලියන සිය ගනනක් මිනිසුන් ආසාදනය වීමේ තර්ජනයක් ඇති කර ඇති මාරාන්තික වෛරසයකට එරෙහිව සටන් කිරීමේ දී ජීවිතය හා මරනය පිලිබඳ අවශ්‍යතාවයකි. කෙසේ වෙතත්, මෙම පරමාදර්ශය, සමාජ අසමානතාවේ පෙර නො වූ විරූ මට්ටමවලින් පැලුනා වූ ද මිනීමරු ප්‍රචන්ඩත්වය තුලින් භූ-මූලෝපායික අවශ්‍යතා ලුහුබැඳීම මගින් සංලක්ෂිත වන්නා වූ ද ලෝක ධනේශ්වර සමාජයේ යතාර්තයට මුලුමනින් ම විරුද්ධ ව සිටී.

“මනුෂ්‍යත්වයට එරෙහි අදෘශ්‍යමාන සතුරා” වන කොරෝනා වෛරසයට සමගාමීව, තවත් හොඳට ම  දෘශ්‍යමාන එකක්, එනම් අධිරාජ්‍යවාදය  තිබේ.

මෙය වඩාත්ම පැහැදිලිව දෘශ්‍යමාන වන්නේ ඉරානයේ මිලියන 83 කට ආසන්න ජනගහනය මුහුන දෙන වඩ වඩාත් දරුනු තත්වයන් මගිනි. ඉතාලිය හා චීනයට පසු තුන්වන වැඩිම මාරාන්තික විපත් සංඛ්‍යාව එරට ඇති අතර, කිසිම තැනක මරන අනුපාතය ඊට වඩා වැඩි නොවන අතර, සෑම දිනකම ආසාදන සංඛ්‍යාව තියුනු ලෙස ඉහල යමින් පවතී.

ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් බ්‍රහස්පතින්දා නිවේදනය කලේ, පසුගිය පැය 24 තුල පුද්ගලයින් 149 දෙනෙකු මියගොස් ඇති බව යි. එම කාලය තුල තවත් ආසාදිතයින් 1,046 ක් වාර්තා වූ අතර මුලුසංඛ්‍යාව 18,407 දක්වා ඉහල ගියේ ය. මෙම සංඛ්‍යා දෙකම රෝගයේ විනාශය බරපතල ලෙස අවතක්සේරු කිරීමක් ලෙස විශ්වාස කෙරේ.

“අපගේ තොරතුරු අනුව, සෑම මිනිත්තු 10 කට වරක් එක් පුද්ගලයෙකු කොරෝනා වෛරසයයෙන් මිය යන අතර ඉරානයේ සෑම පැයකට ම පුද්ගලයින් 50ට පමන වෛරසය ආසාදනය වෙනවා” යැයි ප්‍රකාශකයා පැවසී ය.

මානව සහයෝගීතාවට විපරීත ලෙස, මෙම අර්බුදයට වොෂින්ටනයේ ප්‍රතිචාරය වී ඇත්තේ ඉරාන වැඩකරන ජනතාවගේ ගනන් කල නොහැකි ජීවිතවල වියදමින් එය තීව්‍ර කිරීමට හිතාමතා උත්සාහ ගැනීමකි. වසංගතය සෑම රටකින්ම තුරන් කල යුතු සතුරෙකු ලෙස දැක තිබෙනවාට වඩා වෙනස් ව ධවල මන්දිරය, පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය විසින් එය දකිනු ලබන්නේ අධිරාජ්‍යවාදී සැලසුම්කරනයට ඒකාබද්ධ කල යුතු නව යුද අවියක් ලෙස ය. 

ජාතික ඉරාන තෙල් සමාගමෙන් (එන්අයිඕසී) ඛනිජ තෙල් මිල දී ගත් බවට චෝදනා ලැබ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් සමාගම් ඉලක්ක කර ගනිමින් ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ තවත් වටයක් බ්‍රහස්පතින්දා ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කිරීමෙන් ගත හැකි නොවැලැක්විය හැකි නිගමනය මෙය යි. මෙයට යන්තම් දින දෙකකට පසු,  චීනය, හොංකොං හා දකුනු අප්‍රිකාවේ එකිනෙකට වෙනස් ආයතන නවයකට එරෙහිව, වොෂින්ටනයේ මදාවි රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් සම්බාධක කාන්ඩයක් නිවේදනය කලේ ය. අසාදු ලේඛනගත සමාගම්වලට ඉරාන ඛනිජ රසායනික ද්‍රව්‍ය සම්බන්ධ “සැලකිය යුතු ගනුදෙනු” සිදු කල බවට චෝදනා එල්ල විය.

රාජ්‍ය දෙපාර්තමේන්තු සම්මේලනයක දී, නග්න ලෙස ප්‍රචන්ඩ හා විදේශිකභීතිකා වචනවලින් වසංගතය හෙලා දකිමින් පොම්පියෝ “වුහාන් වෛරසය ඝාතතකයෙක්, ඉරාන තන්ත්‍රය හවුල්කරුවෙක්” යැයි පැවසුවේ ය.

“ඉරාන ජනතාවට නිරෝගීව සිටීමට උපකාර කිරීමට” වොෂින්ටනය “මානුෂීය උත්සාහයන් ”ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඔහු ඒ හුස්මට ම කියා සිටියේ ය.

ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රමිතීන්ට අනුව වුව ද, බොරු හා කුහකකමේ මට්ටම විශ්මයජනක ය. රටේ මහබැංකුව අපලේඛනගත කර ඇති එක්සත් ජනපද සම්බාධක නිසා, ටෙහෙරානයට “උපරිම පීඩනය” යටතේ මිල දී ගැනීමට අවසර දී ඇත යි කියනු ලබන මූලික ඖෂධ හා වෛද්‍ය සැපයුම් පවා මිල දී ගැනීමට නොහැකි වී තිබේ. මෙය කොරෝනා වෛරස් වසංගතය පැතිරීමට පෙර පවා වලක්වා ගත හැකි මරන දස දහස් ගනනක් මෙ නිසා සිදුවී තිබේ. දැන්, ඉරාන වෛද්‍යවරයකුගේ එක් තක්සේරුවකට අනුව, කොවිඩ්19න් රටේ සිදුවන මරන  සංඛ්‍යාව මිලියන 3.5 ක් දක්වා ඉහල යා හැකි ය.

මෙම මිනිස් දුක් වේදනා වොෂිංටනයේ “උපරිම පීඩන” සම්බාධක පාලනයෙන්  සිදුවන වක්‍ර හානියක් නො වේ, එය එහි සෘජු අරමුනයි. කුරිරු සාමූහික දඬුවම්, කුසගින්න සහ රෝග පැතිරීම තුලින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ටෙහෙරානයේ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීමට උත්සාහ දරන්නේ, තෙල්වලින් පොහොසත් පර්සියානු ගල්ෆ් කලාපයේ තම ආධිපත්‍යයට වන කලාපීය බාධාවක් තුරන් කරන අතර, අනෙක් අතට චීනය සමග යුද්ධයට සූදානම් වීමේ අරමුනෙනි. කොරෝනා වෛරස් වසංගතය දකිනු ලබන්නේ එක්සත් ජනපද අවි ගබඩාවේ තවත් එක් ආයුධයක් ලෙස ය.

ජනවාරි 3වැනි දින ඩ්‍රෝන මිසයිල ප්‍රහාරය බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ඛාසිම් සුලෙයිමානි ඝාතනය කිරීම පැහැදිලි කල පරිදි, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා සෘජු ආක්‍රමනශීලී යුද්ධයක් ගෙන යාමට සූදානම් ය. සුලෙයිමානිගේ නීතිවිරෝධී ඝාතනයට බලය පවරන ලද එම නියෝගය සමඟම, ට්‍රම්ප් ඉරාන නැව්, ගුවන් ආරක්ෂක පද්ධති හා වෙනත් ඉලක්ක වලට එරෙහිව බෝම්බ වැටලීම් සිදු කිරීමට පෙන්ටගනයට බලය ලබා දුන්නේ විනාශකාරී මිලිටරි ගැටුමකට මග පාදමිනි.

කොරෝනා වෛරසයේ පැතිරීමට මුහුන දෙන ඉරානයේ ධනේශ්වර-පූජක තන්ත්‍රය පත්ව ඇති අපේක්ෂාභංගත්වයේ හා අපහසුතාවේ තරම, එය හදිසි අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සඳහා නය ගෙවීමට ඩොලර් බිලියන 5ක නයක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඉල්ලුම් කිරීමෙන් පෙනී යයි. ටෙහෙරානය දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ජාමුආ සමග සබඳතා පවත්වා නො තිබුනි.

වොෂින්ටනය ජාමූඅ තුල තීරනාත්මක ඡන්ද බලය දැරීමත් සමඟ නය ඉල්ලීම ප්‍රතික්ෂේප වනු ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මුහුන දී ඇති,  “උපරිම පීඩන” සම්බාධක පැනවීමකට මුහුන දී ඇති තවත් තෙල්වලින් පොහොසත් රටක් වන වෙනිසියුලාවේ එවැනි ම ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරුනි. ජනාධිපති නිකොලස් මදුරෝගේ ආන්ඩුවේ “පිලිගැනීම (වලන්ගු භාවය) පිලිබඳ පැහැදිලිකමක්” තමන්ට නොමැති නිසා මුදල් නිදහස් කල නො හැකි බව ජාමූඅ මන්ඩලය නරුම ලෙස කියා සිටියේ ය. එක්සත් ජනපද රූකඩයකු වන ජුවාන් ගයිඩෝ හා ඔහු වටා සිටින,  සීඅයිඒ පිටුබලය ලත් දක්ෂිනාංශික කුමන්ත්‍රනකරුවන්ගේ කුඩා කල්ලියට, රෝගය පාලනය කිරීමට හා අවම කිරීමට උත්සාහ කල හැකිවාක් මෙනි! මේ අතර, වොෂිංටනයේ ලතින් ඇමරිකානු දක්ෂිනාංශික සහචරයින්, කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා වෙනිසියුලාව සමඟ මොන යම් හෝ සහයෝගිතාවක් ප්‍රතික්ෂේප කර ඇත්තේ, නැවතත් පවතින ආන්ඩුව පෙරලා දමා එක්සත් ජනපද රූකඩ පාලන තන්ත්‍රයක් ඇටවීමට, අසංඛ්‍යාත මරන සංඛ්‍යාවක් ප්‍රයෝජනයට ගැනීමේ  බලාපොරොත්තුව ඇතිව ය.

මෙම සාපරාධී ප්‍රතිපත්තිවල බලපෑම ඉලක්කගත රටවලට පමනක් සීමා නො වනු ඇත. කොරෝනා වෛරසය දැනටමත් ඉරානයේ සිට මැද පෙරදිග හා දකුනු ආසියාවේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. පෙන්ටගනයට ඇෆ්ගනිස්ථානයේ වාඩිලාගෙන සිටින හමුදා භටයන් සිර කර තැබීමට පවා බල කෙරී ඇත්තේ, ඔවුන් සිය රට පැමිනීම වසංගතයේ පැතිරීමට හේතු විය හැකි යැයි බියෙනි.

2020 මාර්තු 17 වන දින “කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කරන්නේ කෙසේද: කම්කරු පන්තිය සඳහා ක්‍රියාකාරී වැඩසටහනක්” යන තම ප්‍රකාශය තුල සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික කමිටුව “සියලු සම්බාධක හා වෙලඳ යුද ක්‍රියාමාර්ග අවසන් කරනු” යන ඉල්ලීම මතු කලේය. එය මෙසේ ප්‍රකාශ කලේ ය: “ඉරානය, වෙනිසියුලාව හා තවත් රටවල මූලික වෛද්‍ය උපකරන ලබා ගැනීම වලක්වන ආර්ථික සම්බාධක හේතුවෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය අඩපන වී තිබේ. එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙලඳ යුද්ධ ක්‍රියාමාර්ග නතර කල යුතු ය. කොරෝනා වෛරසය යනු ගෝලීය රෝගයක් වන අතර එයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත ප්‍රතිචාරයක් අවශ්‍ය වේ. ”

ලෝක පරිමානව පතිර ඇති කොරෝනා වසංගතය නැවත වරක් වඩාත් ම පැහැදිලිව හෙලිදරව් කර ඇත්තේ, කම්කරු පන්තියේ මූලික අවශ්‍යතා මෙන් ම  මානව වර්ගයාගේ පැවැත්ම අධිරාජ්‍යවාදය සමග නො පෑහෙන බව ය. මෙම රෝගය පරාජය කිරීමට හා පෘථිවිය වටා සිටින මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය සහයෝගීතාවය ව්‍යාප්ත කල හැක්කේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වන පොදු සටනක දී ජාතික සීමාවන් හරහා කම්කරු පන්තිය එක්සත් කිරීම තුලින් පමනි.

Loading