ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් අර්බුදය: කම්කරු පන්තියට ක්‍රියාමාර්ගයක්

සමාජවාදී සමානතා පක්ෂය
30 මාර්තු 2020

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව කෝවිඩ්-19 (කොරෝනා) වසංගතය විසින් නිර්මානය කරන ලද යෝධ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය ධනපති පන්තියට වාසි ගෙන දීම සඳහා යොදාගනිමින් සිටී. ඊනියා විරුද්ධ පක්ෂවල ද පිටුබලය ලබන රාජපක්ෂ, පොලිස්-මිලිටරි පාලනය තවදුර ශක්තිමත් කිරීම, අර්බුද-ග්‍රස්ත මහ ව්‍යාපාරිකය වෙත දැවැන්ත අරමුදල් හරවා යැවීම සහ කම්කරුවන් හා දුගීන් මත ඉමහත් පීඩාවන් පැටවීම සඳහා උදා වී ඇති තත්ත්වය ගසාකයි.

මාර්තු 23දා අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවන ලද සර්ව-පාක්ෂික රැස්වීමකට සහභාගි වුනු, පැවති පාර්ලිමේන්තුව නියෝජනය කල ”විරුද්ධ පක්ෂ,” ආන්ඩුවේ නිර්දය පියවරයන් සඳහා ඔවුන්ගේ පූර්න සහයෝගය දෙන බව ප්‍රකාශ කල හ.

මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට අමතර ව, එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ඉන් බිඳී ගිය කන්ඩායම, දෙමල ජාතික සන්ධානය (දෙජාස), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාත්මක වන වතු වෘත්තීය සමිති මෙම රැස්වීමට සහභාගි වීමට යුහුසුලු වූහ.

පසුගිය සතියේ දී, ආන්ඩුවේ පියවරයන් උත්කර්ෂයට නැංවූ රටෙහි ව්‍යාපාරික මන්ඩල, වඩ වඩා අරමුදල් හා සහන ඉල්ලා සිටිය හ.

මාර්තු 24දා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගනන 100ට වැඩි ගනනකට නැග ඇත. රෝගය වැලැඳී ඇතැයි සැක කරන සංඛ්‍යාව 300ට ආසන්න ය. 12,000ක් පමන ජනයා නියම කරන ලද මධ්‍යස්ථානවල හෝ ඔවුන්ගේ ම නිවෙස්වල නිරෝධායනයට ලක්ව සිටිති.

මේ දක්වා මරන කිසිවක් වාර්තා වී නැතත්, ආන්ඩුවට කීකරු වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ආසාදිත රෝගීන් 550ක් සිටිය හැකි බවත්, මෙම වසංගතය බැරෑරුම් ප්‍රජා-ආසාදිත අවධියකට පත්වීමට ඉඩ ඇති බවත් පිලිගෙන තිබේ. රටෙහි ජනගහනය යන්තම් මිලියන 26 ක් වන තතු තුල මෙම සංඛ්‍යාවන් අර්ථභාරීය.

ලෝකය පුරා අනෙක් ආන්ඩු මෙන් ම, වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා මාස දෙකක් තිස්සේ කිසිවක් නො කර, කිසිදු ආරක්ෂක පියවරක් නො ගෙන කාලය නාස්ති කල රාජපක්ෂ ආන්ඩුව, දැන් එදාවේල පිරිමසා ගන්නා  පියවරයන් ගනිමින් සිටී. දිස්ත්‍රික්ක කිහිපයකට පමනක් කෙටි ඇඳිරි නීති ඉවත් කිරීම් හැර, පසුගිය සතියේ සිට රට අඛන්ඩ අගුලු දැමීමක් යටතේ තබා තිබේ.

ශ්‍රී ලංකාවේ ද උප-මහාද්වීපයේ අනෙකුත් රටවල ද ප්‍රධාන සෞඛ්‍ය අර්බුදයක් මෝරමින් තිබෙන්නේ, බිලියන 1.3ක් ජීවත් වන අසල්වැසි ඉන්දියාව වෛරසයේ මීලඟ ”අපිකේන්ද්‍රය” විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ) අනතුරු අඟවන තතු තුල ය. මාර්තු 27දා වන විට ඉන්දියාවේ කෝවිඩ් -19 මරන ගනන 13ක් යයි වාර්තා වූයේ පුද්ගලයන් 650කට රෝගය ආසාදනය වී තිබෙද්දී ය.

මාර්තු 24දා, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව ඉන්දියාව සති තුනක් යන තෙක් පූර්න අගුලු දැමීමක් යටතේ තැබුවේ ය. ඉන්දියාවේ ඛාදනය වුනු සෞඛ්‍ය අංශයට ඩොලර් බිලියන 2ක් ප්‍රදානය කරනු ලැබ තිබුන ද එය කිසිසේත් ම නො සෑහේ. දැවැන්ත දුගීභාවය මැද්දේ, ගම්බද හා නාගරික කම්කරුවන් සහ දුගීන් මිලියන ගනනක් ඉමහත් අසීරුතාවන්ගෙන් පීඩා විඳීමට පටන්ගෙන ඇත. 

පකිස්තානය තුල මරන අටක් හා ආසාදිතයන් 1,000කට වැඩි ගනනක් වාර්තා වේ. විශේෂඥයන් ප්‍රකාශ කරන ආකාරයට, ඉන්දියාවේ හා පකිස්තානයේ තහවුරු කරන ලද සිද්ධි ගනන අඩුවීමට හේතුව පරීක්ෂාවන් ප්‍රමානවත් නො වීම යි.

රට සම්පූර්නයෙන් වසාදැමීමක් ”ආර්ථිකයට අනර්ථකාරී” විය හැකි බවත්, ”බියට පත් වී” තීරන නො ගත යුතු බවත් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මාර්තු 26දා ප්‍රකාශ කලේ ය. එක්සත් ජනපදය ද ඇතුලු ව සෑම රටක ම පාලක පන්තීන්ගේ භාෂාව මෙය යි. ආන්ඩුවල ප්‍රමුඛ ඉලක්කය වන්නේ මහජන ජීවිතවලට පෙර ලාබ උකහා ගැනීම සුරක්ෂිත කරගැනීම යි.

රාජපක්ෂ ආන්ඩුවේ ආකල්පය ද මීට වෙනස් නැත.

රට අගුලු දමා තිබීම අතරතුර, නිදහස් වෙලඳ කලාප 14ක බොහෝ දෙනා අනියම් සේවකයන්  වන කම්කරුවන් දසදහස් ගනනක් වැටුප් හා ආහාරවලින් තොර ව තද බද කාමරවල දින ගනනක් සිර වී සිටිය හ. මාර්තු 27දා ඔවුන් ව වැටුප් රහිතව ගෙදර යවන ලදී. බොහෝ වතු කම්කරුවන්ට ආරක්ෂාවකින් තොර ව වැඩකිරීමට බලකෙරී ඇති අතර, නගරවලට සංක්‍රමනය වූ දසදහස් ගනනක් වන වතුතකරයේ හා ගම්බදව වෙසෙන තරුන ජනයාට රැකියා අහිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් සියයට 60කට වඩා දෛනික වැටුප් ලබන කම්කරුවන් ලෙස සේවයේ යෙදෙති. ගම්බද ගොවීන් මිලියන ගනනක් දරුනු ම බලපෑමට ලක්වූවන් අතරට අයත් වෙති. තවත් කම්කරුවන් මිලියන ගනනක් වෙලෙන්දන් හා ත්‍රි-රෝද රථ රියදුරන් ලෙස දෛනිකව ජීවිතය සරිකර ගනිමින් ස්වයං-රැකියාවල නිරත වෙති.

සමාජ අසමානතාව රටට ඉමහත් හිරිහැරයකි. ජනගහනයේ දුප්පත් ම සියයට 20 ජාතික ආදායමෙන් යන්තම් සියයට 5ක් පමනක් භුක්ති විඳිද්දී, ධනවත් ම සියයට 20 ජාතික ආදායමෙන් සියයට 51ක් ඩැහැ ගනිති.

රජයේ රෝහල් කිහිපයක් වසංගතයට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර තිබුන ද රට තුල ඇත්තේ දැඩි සත්කාර ඇඳන් 500ක් පමනි. රෝහල් ලහි ලහියේ අමතර ඉදිකිරීම් කරමින් සිටී. මහා පරිමාන පරීක්ෂන ගැන කිසිවක් අසන්නට ලැබී නැත.

මහජනයා මෙම හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයට මුහුන දෙන්නේ දශක ගනනාවක පිරිවැය කප්පාදුවේ ප්‍රතිඵලයක් වසයෙනි. 1977 දී දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 2ක් සෞඛ්‍යාරක්ෂනයට වෙන් කරනු ලැබී ය. නිෂ්පාදනයේ ගෝලීයකරනය රට ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සූරාකෑමට විවෘත කිරීමත් සමග, මෙම සොච්චම් ප්‍රතිපාදනය පවා අඩකින් පමන කපා දමා තිබේ. සෞඛ්‍යය, අධ්‍යාපනය හා අනෙකුත් සමාජ සේවාවන්ට වෙන්කරන අරමුදල්, 2009 දී අවසන් වූ දෙමල-විරෝධී වාර්ගික යුද්ධයට මුදල් වෙන් කිරීම පිනිස කපාහරින ලදී.

ලාබ උපයන පුද්ගලික රෝහල්, රසායනාගාර හා ඖෂධ සමාගම් හතු පිපී ඇත. දකුනු ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ ඉහල ප්‍රමිතියේ  සෞඛ්‍ය දර්ශකය පිලිබඳ කොලඹ ආන්ඩුවේ හඬතැලීම, කොරෝනා වසංගත අර්බුදය විසින් කීතුකරනු ලැබ තිබේ.

අගුලු දැමීම හා සමාජ දුරස්ථකරනය ආන්ඩුව විසින් අවධාරනය කරද්දී, ඩබ්ලිව්එච්ඕ අධ්‍යක්ෂ-ජනරාල් ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගෙබ්රෙයෙසුස් මෑතක දී අවධාරනය කලේ එක් පියවරක් පමනක් ප්‍රමානවත් නො වන බව යි. ”පරීක්ෂාව පමනක් ප්‍රමානවත් නැහැ” යි ඔහු කීවේ ය. ”ස්පර්ශීය අනුරේඛනය පමනක් මදි. නිරෝධායනය පමනක් මදි. සමාජ දුරස්ථකරනය පමනක් මදි. ඒ සියල්ල කරන්න.”

ව්‍යාපාරික මන්ඩලවල ඉල්ලීම පරිදි රෝගය හඳුනාගැනීමේ පීසීආර් (Polymerase Chain Reaction) පරීක්ෂාව පුද්ගලික රෝහල්වල සිදුකිරීමට ආන්ඩුව අවසර දී ඇත. ඒ සඳහා වැයවන මුදල රුපියල් 6,000ක් හෙවත් සාමාන්‍ය කම්කරුවකුගේ මාසික වැටුපෙන් අඩකට වැඩි ය.

රාජපක්ෂ ගෙන ඇති ඊනියා සහන පියවරවල් විසින් ඔහුගේ ධනපති  ප්‍රමුඛතාවන් හෙලිදරවු කෙරේ. ව්‍යාපාර, කර්මාන්ත හා කොටස් වෙලඳපොල මූල්‍ය සම්පාදකයන්ට ලාබ නය පොරොන්දු වෙමින්, ඔහු පොලී අනුපාත අඩුකර ව්‍යවස්ථාපිත සංචිත අනුපාත කපා දමා ඇත.

”වෙනස් වන තත්ත්වයෙන්” ඉස්මතු වන ඕනෑම බලපෑමකට ප්‍රතික්‍රියා දැක්වීම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාව සම්පාදනය කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය වෙලඳපොලට සහතික විය. බදු අඩුකිරීම, කම්කරුවන් අතිකාල සේවයේ යෙදවීම මත පවත්නා සීමාවන් ඉවත් කිරීම හා කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප්වලට දායක මුදල් ගෙවීම මාස තුනකට අත්හිටුවීම වැනි තවදුර සහන පසුගිය සතියේ ව්‍යාපාරික මන්ඩල විසින් ඉල්ලා සිටියේ ය.

ආන්ඩුව හා විපක්ෂය සමාජ විරෝධය ගැන උත්සුක ය. එවන් කැලඹිල්ලක ලක්ෂන දැනට ම දැකගත හැක. ආන්ඩුවේ ඊනියා සහන පැකේජය පිලිබඳ ව ලෝසවෙඅට කතා කල කොලඹ පැල්පත්වල ජීවත් වන ජනයා ඔවුන්ගේ අතෘප්තිය පලකලේ ය. සිරකරුවන් දෙදෙනෙකු මරා දමා පොලීසිය විසින් මර්දනය කිරීමට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 700ක් විරෝධතාවේ යෙදුනා හ.

ලෝක පරිමාන වසංගත අර්බුදය පැමිනෙන්නේ, පන්ති අරගලවල ජාත්‍යන්තර හදිසි නැග්මේ කොටසක් ලෙස 2018 පටන් පවත්නා අනවරත විරෝධතාවන් හා කම්කරු වැඩ වර්ජන තුල ප්‍රකාශයට පත්වන, දැනටමත් වැඩෙන සමාජ අතෘප්තිය ඉස්මත්තෙහිය.

”ශක්තිමත් ආන්ඩුවක්” සඳහා පොරොන්දු වෙමින් බලයට පැමිනි ජනාධිපති රාජපක්ෂ, ආන්ඩුවේ මූලික තනතුරුවලට ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන් පත්කරමින් පරිපාලනය මිලිටරීකරනය ඇරඹී ය. මෙම මිලිටරීකරනය වේගවත් කිරීමටත් ජනාධිපති ආඥාදායකත්වයක් තර කරගැනීමටත් ඔහු වත්මන් අර්බුදය යොදාගනිමින් සිටී.

කොරෝනා වෛරසය මැඩීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කර තිබෙි. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීම යොදාගනිමින්, ජනාධිපති රාජපක්ෂ සියලු විධායක බලතල පැහැරගෙන ඇත. අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධීකරනය කිරීම සඳහා පිහිටුවන ලද කෝවිඩ්-19 ජනාධිපති කාර්ය සාධක බලකායක ප්‍රධානියා ලෙස ඔහු තම සොහොයුරු බැසිල් රාජපක්ෂ පත්කලේ ය. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිත්වය යටතේ ඇමතිවරයෙකු වූ බැසිල් රාජපක්ෂ, ඔහුගේ ආඥාදායක විධික්‍රම ගැන කුප්‍රකට ය.

දැන් සූදානම් කරමින් පවතින්නේ, රාජපක්ෂ වටා ජෙනරාල්වරුන් පිරිවරාගත් කල්ලියක් විසින් පාලනය කරන ජනාධිපති ආඥාදායකත්වයකි. ”මේ රට පාලනය කරන්නේ මම යි. වගකිව යුතු තනතුරු දරන පුද්ගලයන් මා කියන දේ කල යුතු යි” යි කාර්ය සාධක රැස්වීමක දී රාජපක්ෂ ප්‍රකාශ කල බව වාර්තා වේ.

විදෙස් ආයෝජන බැඳුම්කරවලින් ඉවත් කරගනිමින් තිබෙන්නේ, රටෙහි ඩොලර් සංචිතයන් ක්ෂීන වී යමින් රුපියල ප්‍රධාන කඩාවැටීමක් අද්දර තිබෙද්දී ය. 2024 තෙක් ශ්‍රී ලංකාව බාහිර නය ලෙස ඩොලර් බිලියන 5ක් ආපසු ගෙවිය යුතු ය. බලවත් රටවලින් සහ ජාමූඅ හා ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වීය ආයතනවලින් නය සහන කාලයක් ලබා දෙන ලෙස රාජපක්ෂ මාර්තු 27දා ඉල්ලා සිටියේ ය.

මෙම තීව්‍ර අර්බුදයට මුහුන දී සිටින රාජපක්ෂ. මිලිටරි-පොලිස් විධික්‍රම මුදාහරිමින් කම්කරු පන්තියට එරෙහි ව හැරෙනු ඇත. පාලක පන්තියේ සෑම කන්ඩායමකින් ම බිඳී වෙන්වෙමින් හා ප්‍රහාරයට එරෙහි ව ගම්බද දුගීන්ගේ නායකත්වය ගනිමින්, තම දේශපාලන ශක්තිය බලමුලුගැන්වීමට කම්කරු පන්තිය තමන්ගේ ම ක්‍රියාමාර්ගයක් මත සූදානම් විය යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම ඉල්ලීම් ඉදිරිපත් කරයි:

සෞඛ්‍ය අංශය දියුනු කිරීමට හා හොඳ පහසුකම් සහිත රෝහල් ඉදිකිරීම සඳහා දැවැන්ත අරමුදල් යොදනු. සියලු දෙනා සඳහා නොමිලේ පරීක්ෂන හා වෛද්‍ය සේවා සපයනු.

සෞඛ්‍ය කම්කරුවන්ට ඔවුනගේ කටයුතු සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක උපකරන හා පහසුකම් සම්පාදනය කල යුතු ය.

කිසිදු අංශයක කම්කරුවන්ට රැකියා අහිමි නො විය යුතු ය. සෞඛ්‍ය හා ආහාර සම්පාදනය වැනි අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙක් සියලු කර්මාන්ත, වසංගතය වැලැක්වීම සඳහා වසා දැමිය යුතු ය. වසා දැමීමට යටත් වන කම්කරුවන්ට පූර්න වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතුය.

අවිධිමත් අංශයේ සියලු දෙනාට, ස්වයං-රැකියාවල නියුක්ත වන්නන්ට, දුගී ගොවීන්ට හා ධීවරයන්ට පූර්න හා කොන්දේසි විරහිත මූල්‍ය ආධාර සම්පාදනය කල යුතු ය. ඔවුන්ට නොමිලේ ලබාදෙන සලාක ද සම්පාදනය කල යුතු ය.

ගොවීන්ගේ නය අහෝසි කොට, පොහොර, පලිබෝධ නාශක, බීජ හා අනෙකුත් අත්‍යවශ්‍ය දෑ ඔවුන්ට නොමිලේ ලබාදිය යුතු ය.

පැල්පත් වාසීන් හා දුගීන් ජීවත් වන්නේ සනීපාරක්ෂාව රහිත තද බද කොන්දේසි යටතේ ය. දැනට මත් ගොඩනගා ඇති විශාල තට්ටු නිවාස සහ පුද්ගලික හා රාජ්‍ය ගොඩනැගිලිවල ඔවුන්ට ශිෂ්ට සම්පන්න ජීවිත ගතකල හැකි නිවාස සම්පාදනය කල යුතු ය.

දියුනු සෞඛ්‍ය සේවාවන්, ශිෂ්ට සම්පන්න ජීවන කොන්දේසි හා නිවාස සම්පාදනය කිරීමට ”මුදල් නැතැ” යි ආන්ඩුව හා ධනපති පන්තිය කියනු ඇත. විශාල ලාබ හා පුද්ගලික ධනය කඳු ගසා ගන්නා සෑම රටක ම පාලක පන්තියේ මන්ත්‍රය වන්නේ මෙය යි. අත්‍යවශ්‍ය සේවාවන් සම්පාදනය කිරීමට ධනපති පන්තියේ ධනය යොදාගත යුතු ය. විදේශ නය මුලුමනින් අහෝසි කල යුතු ය.

මෙම අත්‍යවශ්‍ය පියවරයන්ට විරුද්ධ වනු ඇති ධනපති පන්තිය කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව ප්‍රචන්ඩ ලෙස හැරෙනු ඇත. වාර්ගික රේඛා කපාගෙන එකමුතු විය යුතු කම්කරුවෝ, වැඩපොලවල හා නිවහන් ප්‍රදේශවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන ආරම්භකත්වය ගත යුතු ය. තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ සහයෝගය රැලි කරගැනීමට මෙය අවස්ථාව ලබාදෙනු ඇත.

මෙහි අර්ථය වන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහාත්, බැංකු, මහා වතු හා විශාල ව්‍යාපාර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ අස්වාමික කිරීම සඳහාත් සටන් වැදීම යි.

මූලික කාරනය වන්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග වූ කුමන්ත්‍රනයකින් 1947-1948 සමයේ දකුනු ආසියාවේ පිහිටුවන ලද ජාතික රාජ්‍ය පද්ධතියේ පාලක පන්තින්, වැඩ කරන මහජනයාගේ කිසිදු ප්‍රජාතාන්ත්‍රික හෝ සමාජීය අවශ්‍යතාවකට ආමන්ත්‍රනය කිරීමට අපොහාසත් බව යි. බිලියන ගනනක් වන ගම්බද දුගීන්ගේ නායකත්වය ගත යුතු කම්කරු පන්තිය දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයකට සටන් වැදිය යුතු ය.

මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයකි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පැහැදිලි කර ඇති ලෙස: ”කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමකින් සම්බන්ධීකරනය කල නො හැක... විසඳුම ගෝලීය විය යුතු ය.”

හජාජාක කොටසක් වන ශ්‍රී ලංකාවේ සසප මෙසේ අවධාරනය කරයි: ”වර්තමාන අර්බුදය යලි වතාවක් පෙන්නුම් කරන්නේ ධනවාදය වනාහි යල් පැනගිය ආර්ථික පද්ධතියක් හා මානව ප්‍රගතියට බාධාවක් බව යි. මෙම වසංගතය විසින් ඉදිරියට දමන අන්තරායන් හා ගෝලීය උනුසුමේ විනාශකාරී ගම්‍යයන් සනාථ කරන්නේ ධනේශ්වර පද්ධතිය ලෝක සමාජවාදයට ඉඩ දිය යුතු බව යි.”

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදීමට සසපට බැඳෙන්න.