වසංගත අර්බුදය හමුවේ ධනපති පක්ෂ ගොඩනගාගත් එකමුතුවට ව්‍යාජ-වාම පෙසප කොල එලිය දල්වයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් අගමැති මහින්ද රාජපක්ෂට ලිපියක් ලියමින්, “කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහාත්, නිරෝධායන ක්‍රියාවලිය සඳහාත්, රෝගීන් සුවපත් කිරීමේ ක්‍රියාවලිය සඳහාත්” ආන්ඩුවට “උපරිම සහාය දීමට” තම පක්ෂය සූදානම් බව කියා සිටී.

මාර්තු 24 දා ලියා ඇති මෙම ලිපියේ අන්තර්ගතය, එදින අගමැති රාජපක්ෂගේ කැඳවුමෙන් ඔහුගේ නිල නිවසේ පැවති “සර්ව-පාක්ෂික රැස්වීමේ” අරමුනු සමග මුලුමනින්ම සමපාත වෙයි. 

රැස්වීම කැඳවූයේ, කොරෝනා වසංගතයෙන් ජනිත කෙරී ඇති සමාජ-ආර්ථික අර්බුදය හමුවේ කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීමට එරෙහිව වැඩෙන මහජන විරෝධය මධ්‍යයේ ය. 

හමුවේ ප්‍රකාශිත අරමුන “වසංගතය මැඩීම සඳහා සර්වපාක්ෂික අදහස් ලබාගැනීම” වුවද එහි සැබෑ අරමුන වූයේ, වැඩෙන මහජන විරෝධය මැඩ ධනපති රාජ්‍යය රැක ගැනීමේ උපාය මාර්ගික එකඟතාවයක් ඇතිකර ගැනීම යි.

වසංගතයේ බලගතු ව්‍යාප්තියකට කිසිසේත්ම ප්‍රමානවත් නොවන ව්‍යසනකාරී තත්වයකට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇදවැටී ඇත්තේ,  අනුප්‍රාප්තික ආන්ඩු විසින් අනවරතව කරන ලද කප්පාදු හේතුවෙන් බව මහජනතාව අවබෝධකර ගනිමින් සිටිති. එම තතු තුල වැඩෙන මහජන විරෝධය ආන්ඩුවට එරෙහිව පමනක් නොව, සමස්ත ධනපති පන්තියට සහ අවසානයේදී ධනපති ක්‍රමයටම එරෙහි ව වැඩෙන්නක් බව දන්නා පාලක පන්තියේ සියලු කොටස් භීතියට පත්ව සිටිති.  

පාලක පන්තියේ වඩාත් සවිඥානක කොටස්, “සර්ව-පාක්ෂික රැස්වීමක” අවශ්‍යතාව නිරන්තරවම මතු කරමින් සිටයේ එබැවිනි. විශේෂයෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක සහ පසුගිය ආන්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ එවන් සමුලුවක් කැඳවන ලෙස ආන්ඩුවෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ය. 

රැස්වීමට සහභාගිවූ සියලු පාර්ශ්වයන්, “වසංගතය මැඩීම” සඳහා ආන්ඩුව ගෙනයන වැඩකටයුතු වලට පූර්න සහයෝගය දෙන බවට ශපථ වූයේ එකිනෙකා අතර අප්‍රකාශිත දේශපාලන සටන් විරාමයකට අවතීර්න වෙමිනි. 

ගුනරත්නම්ගේ ලිපිය, ධනපතියන්ට සහ ධනවාදයට එරෙහි තම පුස්වෙඩි නවතා දමා පාලක පන්තියේ දේශපාලන සටන් විරාමයට ඇතුලුවන බව ට පෙසප යෙන් සමස්ත ධනපති පන්තියට දෙන සහතිකයකි. මෙම අරමුන ලිපියේ සෑම වැකියකින්ම පාහේ ප්‍රකාශයට පත්වෙයි.

ඒ අතරින් පහත ප්‍රකාශය සුවිශේෂී වෙයි: “ලංකාව මෙවන් අත්දැකීමකට මුහුනදුන් අවස්ථා සුලභ නොවන බැවින් ඇතැම් අඩුපාඩු සිදුවීම අපේක්ෂා කල හැකිය. අපට වැඩි විවේචනයක් ඇත්තේ එවැනි අතපසුවීම් සම්බන්ධයෙන් නොව, දේශපාලන න්‍යායපත්‍ර පෙරට ඒම නිසා සිදුවූ අඩුපාඩු සම්බන්ධවය.” 

ලොවපුරා ධනපති ආන්ඩු සහ ධනේශ්වර ක්ෂමාලාපකයන් විසින් මෙවන් ව්‍යසනයකට පැවැති බලගතු නුසූදානම, වසංගතයේ    “ආකාස්මිකභාවයක” සහ “අත්දැකීම්වල දුලබභාවයක” ප්‍රතිඵලයක් ලෙස ඌනනය කිරීමට යත්න දරති. පෙසප පෙල ගැසී සිටින්නේ ඔවුන් සමගය.

විද්‍යාඥයන් විසින් වසර ගනනාවක සිට මෙවන් ගෝලීය සහ මාරාන්තික වසංගත ව්‍යසනයක් පැන නැගීමේ හැකියාව පිලිබඳව අනතුරු අඟවා ඇතිබව ප්‍රකටය. 2018 දී ලෝක සෞඛ්‍ය සංවිධානයමත් ඒ පිලිබඳව අනතුරු අඟවමින් එවැන්නකට සූදානම්වීමේ අවශ්‍යතාව අවධාරනය කොට ඇත. 

ලංකාවේ පාලක පෙන්තිය ඇතුලු ලොවපුරා පාලක පන්තීන් මෙම අවධාරනය නොතකා හලේ අහම්බයකින් හෝ අතපසුවීමකින් නොවේ. පසුගිය දශක කීපය තුල ඔවුනගේ පිලිවෙත වූයේ, එවන් ව්‍යසනයකට මුහුනදිය හැකි අයුරු මහජන සෞඛ්‍ය සේවය ගුනාත්මක අයුරින් ඉමහත් ඉහලකට නැංවීම නොව, ඊට විපරීතව, පැවති සීමිත සෞඛ්‍ය සේවාවන් පවා අනවරතව කප්පාදු කොට එය මුලුමනින්ම විනාශභාග් කිරීමයි. 

සෞඛ්‍ය සේවයේ කප්පාදු සම්බන්ධයෙන් “කාලයක සිට විශාල විවේචනයක් පවතින” බව ගුනරත්නම් පවසයි.  කෙසේනමුත්, මෙම කප්පාදු ගලා එන්නේ ධනපති ක්‍රමයේ ඓතිහාසික නොහැකියාවෙන් බව සහ එම කප්පාදු ආපසු හැරවිය හැක්කේ ලෝක ධනවාදයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකින්ය යන්න පෙසප හි මෙම “විශාල විවේචනය” ට කිසිදා අඩංගු නොවුනි.  

ගුනරත්නම් ඇතුලු පෙසප නඩයේ අතීත සහ වත්මන් භූමිකාව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකට ඉඳුරාම සතුරුය. එවන් අරගලයක් වැලැක්වීම සඳහා ලංකාවේ පාලක පෙන්තිය ආරම්භයේ සිට යොදාගත් අවිය වූයේ වර්ගභේදවාදය යි. එය කුලුගන්වමින් 1983 දී ඇරැඹි වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන කසකරුවා වූ, සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පෙසප හි ගර්භාෂය යි. 

අධ්‍යාපනය සහ සෞඛ්‍යය දැවැන්ත ලෙස කප්පාදු කරමින් එම මුදල් ම්ලේච්ඡ යුද්ධයට යෙදවූ සෑම පාර්ලිමේන්තු ඇස්තමේන්තුවකටම ජවිපෙ තම දෑත් එසැවූහ. එවක ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරිකයන් වූ ගුනරත්නම් ඇතුලු පෙසප නායකයන් ජවිපෙ හි එම පිලිවෙත් එකක් නෑර අදද අනුමත කරති. එබැවින්, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් හි අනවරත කප්පාදුවට, මිලිටරීකරනයට සහ කම්කරු පන්තියේ එකමුතුව බිඳීමට ජවිපෙ හි එම පිලිවෙත් පූර්න වශයෙන් දායක වූ බවද පෙසප හි   “විශාල විවේචනය” ට අඩංගු නොවේ.

අනුප්‍රාප්තික ආන්ඩු වල ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින පන්ති අරගල, ආන්ඩු වලට කන්නලව් කිරීමේ දේශපාලනය තුල සිර කිරීම සඳහා පෙසප ඉටු කරන ප්‍රතිගාමී ක්‍රියාකලාපය මෙම වසංගත අර්බුදය තුල වඩාත් කැපී පෙනෙයි. 

ගුනරත්නම් තම ලිපිය තුල “රෝග පාලන ක්‍රියාවලිය සාර්ථකකර ගැනීමට සහ එහිදී ජනතාව මුහුන දෙන අපහසුතා අවම කිරීමට” යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි. ඔහු මෙම යෝජනා ඉදිරිපත් කරන්නේ, රෝග පාලන ක්‍රියාවලියට අත්‍යවශ්‍යම වන මහා පරිමාන රෝග පරීක්ෂාවන් ඇතුලු පහසුකම් සුලබ කිරීම සඳහා සහ ජනතාව මුහුන දෙන අනේකවිධ අපහසුතා අවම කිරීම සඳහා අවශ්‍ය තරම්    ප්‍රතිපාදන සම්පාදනය කිරීම සිතාමතාම නොතකා සිටින ආන්ඩුවක අගමැතිටයි. 

වසංගතයට මුහුනදීම සඳහා ආන්ඩුව සෞඛ්‍ය සේවයට වෙන්කර තිබුනේ රුපියල් මිලියන 500 ක ඉතා අඩු මුදලක් බවත් මෙම තත්වය හමුවේ “සෞඛ්‍ය ප්‍රතිපාදන වහා ඉහල නැංවිය යුතු” යැයි ගුනරත්නම් ඉල්ලා සිටී. 

ගුනරත්නම් ගේ ඉල්ලීමට ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුවේ අනිවාර්ය ප්‍රතිචාරය වනු ඇත්තේ මුදල් නොමැති බව පැවසීමයි. දැවැන්ත  ලාභයක් සහ පෞද්ගලික ධනයක් ගොඩගසා ගන්නා සෑම රටකම පාලක පන්තියේ මන්ත්‍රය මෙයයි.  

කම්කරු පන්තිය ආන්ඩුවේ මෙම මන්ත්‍රය ප්‍රතික්ෂේප කරමින්,  අත්‍යවශ්‍ය සේවාවන් සම්පාදනය කිරීමට ධනපති පන්තිය සතු ධනය යොදනු, විදේශ නය මුලුමනින් අහෝසි කරනු ආදී සංක්‍රමනීය ඉල්ලීම් මත පෙරට  පැමිනිය යුතුයි. මේ සඳහා, කම්හල්, සේවා ස්ථාන සහ නිවස්නා ප්‍රදේශයන් ආශ්‍රිතව කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමත් ඒ වටා පීඩිත ගොවීන් සහ තරුනයන් බලමුලුගන්වා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එවන් ආරම්භකත්වයක්, ගෝලීය ධනවාදයට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය දෙසට තබන මූලික පියවරක් වනු ඇත. 

පෙසප තම ඉල්ලීම් ධනපති ආන්ඩුවට ඉදිරිපත් කරන්නේ කම්කරු පන්තිය එවන් වැඩපිලිවෙලකට යොමුවීම වැලැක්වීමේ අරමුනෙනි.

“මෙම වෛරසය පිලිබඳව කටයුතු කිරීමේදී රජයේ ක්‍රියාකාරිත්වය තුල ප්‍රමාදවීම් සහ දුබලතා කිහිපයක්” නිරීක්ෂනය කල හැකි බවත් “ඉදිරි ක්‍රිියාකාරීත්වයන් වඩා නිවැරදි කිරීම” සඳහා එම දුබලතා පිලිබඳ අවධානය යොමු කරන ලෙසත් රාජපක්ෂගෙන් ගුනරත්නම් ඉල්ලා සිටී.

එක් අතකින්, නිරෝධායන මධ්‍යස්ථානයන්හි සහ දැඩි සත්කාර ඒකකයන්හි ධාරිතාව සීඝ්‍ර ව්‍යාප්තියකට කිසිසේත්ම නොසෑහෙන තතු තුල ඒ සඳහා කවර හෝ සංයුක්ත පියවරක් ආන්ඩුව මෙතෙක් ගෙන නොමැත. අනෙක් අතින්, අත්‍යවශ්‍ය ආරක්ෂක ආමිපන්න වල දැඩි හිඟය හේතුවෙන්, වෛද්‍යවරුන්, හෙද-හෙදියන්, අනෙකුත් රෝහල් කාර්ය මන්ඩල සාමාජික-සාමාජිකාවන් සහ මහජන සෞඛ්‍ය සේවක-සේවිකාවන්  බලගතු අන්තරායකාරී තත්වයකට මුහුන දී සිටිති.

 මෙම ව්‍යසනකාරී තත්වය පෙසප ලේකමිවරයාට හුදු “ප්‍රමාදවීම් සහ දුබලතා කිහිපයක්” පමනි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) නැවත නැවතත් පෙන්වා දෙන පරිදි මෙය “ප්‍රමාදවීම් සහ දුබලතා” නොව ධනපති පාලකයන් විසින් තම ලාභ අවශ්‍යතා සඳහා මහජන සෞඛ්‍ය සේවාවන් හිතාමතාම විනාශ කිරීමේ ප්‍රතිඵලයකි. 

“සේවකයන්ගේ නිවාඩු අවලංගුකර බලහත්කාරයෙන් සේවයේ යොදවන ඇතැම් පෞද්ගලික ආයතන සහ නිසි සෞඛ්‍ය ආරක්ෂන   ක්‍රමවේද පවා රහිතව කම්කරුවන් සේවයේ යොදවමින් සිටින ඇඟලුම් කම්හල් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස” පෙසප ලේකම් අගමැති රාජපක්ෂගෙන් ඉල්ලයි. 

“රටෙි ආර්ථිකය පවත්වාගෙනයාම සලකා අපනයන නිශ්පාදන  ක්‍රියාවලිය නොනවත්වා පවත්වාගෙන” යන ලෙස නියෝග කලේ ජනාධිපති රාජපක්ෂය. එය වහා ඩැහැගත් ඇඟලුම් කම්හල් පාලකයෝ කම්හල් දොරටු අගුලු ලා දහස් සංඛ්‍යාත කම්කරුවන් සිරකර ඔවුන් වැඩෙහි යෙදවූහ. මේ අමානුෂික ක්‍රියාව සඳහා අවශ්‍ය සියලු නීත්‍යානුකූල පදනම් සකසා දුන් රාජපක්ෂ ආන්ඩුවෙන්ම එයට එරෙහිව ක්‍රියාත්මකවන ලෙස ඉල්ලීම පෙසප හි වංචනිකභාවය පිලිබඳ බලගතු සාක්ෂියකි.

මෙම ගෝලීය වසංගතයට මෙන්ම අන් සෑම සමාජ ආර්ථික ප්‍රශ්නයකටම ජාතික විසදුම් නොමැති අතර එයට ගෝලීය විසදුම් අවශ්‍ය වෙයි. ඉහත වැඩපිලිවෙල ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් විය යුත්තේ එබැවිනි.

නමුත් ගුනරත්නම් සහ පෙසප එවන් ක්‍රියාමාර්ගයකට සපුරාම එරෙහි වන්නේ එය, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනපති    ක්‍රමය සහ ධනපති රාජ්‍යය පරමය ලෙස පිලිගන්නාවූ බැවිනි. 

පෙසප ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව දෙසැම්බර් 2 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට යොමු කල ලිපියක මෙසේ සඳහන් කලේ ය:

“සාමාන්‍ය අර්ථ දැක්වීමට අනුව පොලිසිය මැදිහත් වන්නේ රාජ්‍යය සහ එම රාජ්‍යයේ ජීවත් වන ජනතාව අතර ඇති වන ගැටුම් සමථයකට පත් කිරීම සඳහා ය. හමුදාව මැදිහත් වන්නේ රාජ්‍යය තවත් රාජ්‍යයක් සමඟ යුද්ධයකට පැටලුනු අවස්ථාවල දී ය. පොලිසිය මහජන සාමය පවත්වා ගෙන යාමට පුහුනු කරන අතර හමුදාව යුද්ධ කිරීම සඳහා පුහුනු කරනු ලැබේ. එ නිසා මහජනතාව සම්බන්ධ ව ක්‍රියා කිරීමට හමුදාව යෙදවීම වරදකි.”

සම්භාව්‍ය මාක්ස්වාදී සංකල්පයන්ට අනුව ධනපති රාජ්‍යය යනු, කම්කරු පන්තියේ ශ්‍රම සූරාකෑමෙන් අතිරික්ත වටිනාකම් නිපැයීමේ ධනේශ්වර නිශ්පාදන සම්බන්ධතාව පවත්වාගෙන යාම සඳහා කම්කරුවන්ට එරෙහිව ධනපතියන් විසින් මධ්‍යගතව සංවිධානය කරගත් උපකරනය යි. තමන් මාක්ස්වාදීන් යැයි කියා ගන්නා මෙම ව්‍යාජ වම්මු එම වැදගත් මාක්ස්වාදී සංකල්පයන් කම්කරු පන්තියට වසන් කරයි. නැතහොත් මුලුමනින්ම විකෘති කරයි.

ධනපති රාජ්‍යයේ අත්‍යන්ත අවයව වන පොලීසියේ සහ මිලිටරියේ සැබෑ භූමිකාවන් කම්කරුවන්ට වසන් කිරීම සඳහා ධනපතියන් විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාජ අර්ථ කථනයන් තොරොම්බල් කරන පෙසප, ධනපති රාජ්‍යයේ සහ ධනපති ක්‍රමයේ ආරක්ෂාව සදහා තමාට ඇති සුදුසුකම ධනපති පාලකයන්ට මනාව පෙන්වා දෙයි. 

Loading