කොවිඩ්-19 වසංගතය ගෝලීය ආහාර හිඟයකට හේතු විය හැකි බවට එෆ්ඒඕව අනතුරු අඟවයි

මෙම ලිපිය 2020 මාර්තු 30 දා ඉංග්‍රීසි බසින් පල කෙරින.

කොවිඩ්-19 වෛරසය ගෝලීය ආහාර සැපයුම් දාමයට ඇති කරන බලපෑම පිලිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (එෆ්ඒඕ) ඔවුන්ගේ වෙබ් අඩවියේ දැන්වීමකින් අනතුරු ඇඟවීය. “ වඩා ආරක්ෂාකාරී පියවර නොගත හොත් අපි ආහාර අර්බුදයක අවදානමකට මුහුන දෙන්නෙමු. වඩාත්ම අවාසිදායක තත්වයක පසුවන අය ආරක්ෂාකර ගැනීමට වහාම පියවර ගත යුතුය. ගෝලීය ආහාර සැපයුම් ජාලයන් සක්‍රීයව තබා ගැනීම සහ  ආහාර පද්ධතියට වසංගතයෙන් එල්ල වන බලපෑම අවම කරගැනීම අවශ්‍යය.“

ආහාර සැපයුම බහුලව තිබියදී, වසංගතය පැතිරීම සීමා කිරීමට ලෝකය පුරා  අගුලු දැමීම්‍, අත්‍යවශ්‍ය දේ හැරෙන්නට අනෙක් සියල්ලට සීමා බාධක දැමීම, පාසල් සහ දේශ වැසීම නිසා, ගොවි කම්කරුවන්ගේ පැවැත්මට හා සැපයුම් දාම කඩාකප්පල් වීමේ තර්ජනය මතුවන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ මැක්සිමෝ ටොරියෝ කලන් විසින් පැහැදිලි කරනු ලැබීය. බොහෝ රටවල් නැව් භාන්ඩ මෙන්ම ගුවන් භාන්ඩ මත දැඩි පාලනයක් ක්‍රියාත්මක කරන බැවින් මෙය නාවික ගමනාගමනයේ මන්දගාමී වීමට හේතු වේ. මෙම නව පියවර විශේෂයෙන් නැවුම් ආහාර නිෂ්පාදන හා පශු සම්පත් කෙරෙහි බලපානු ඇත.

ආරක්ෂිත මුහුනු ආවරන පැල ඳ සිටින සංචාරකයින් 2020 මාර්තු 13 වන දින කොලොම්බියාවේ බොගෝටා හි ප්‍රධාන බස් නැවතුම්පොල වෙත පැමිනේ [අනුග්‍රහය : ඒපී ඡායාරූපය / ෆනෑන්ඩු වර්ගරා]

වැඩියෙන්ම බැට කනු ඇත්තේ, දවසේ  එක් විශ්වාසනීය ආහාර වේලක් ලෙස දවල් පාසල් ආහාරය මත රඳා සිටින දරුවන් මිලියන 300 ක් ඇතුලු ලෝකයේ වඩාත් ම පීඩාවට පත් ජනතාවය. නිදසුනක් ලෙස, ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල එක්සත් ජාතීන්ගේ සහාය ලබන පාසල් ආහාරපාන වැඩසටහන් මඟින් ලමුන් මිලියන 85 කට සහන සැලසෙන  අතර ප්‍රධාන ආහාර ප්‍රභවය ලෙස මිලියන 10 ක් ඔවුන් මත යැපේ. විශාල වශයෙන් රැකියා අහිමිවීම සහ අඩු ආදායම් නිසා වෙන කවරදාටත් වඩා දුප්පත් පවුල්වලට ආහාර සපයා ගැනීම දුෂ්කර වනු ඇත.

ගාඩියන් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ටොරේරෝ රටවලින් ඉල්ලා සිටියේ, ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම තහනම් නොකරන ලෙසයි. “ සිදුවිය හැකි නරකම දෙය නම් ආන්ඩු විසින් ආහාර ප්‍රවාහනය සීමා කරනු ලැබීමයි. " ආරක්ෂනවාදී පියවර හා වෙලඳ බාධක මඟින් සිදුවිය හැක්කේ තත්වය තවත් නරක අතට හැරීමයි. එය මිල ගනන්වල "අන්තික උච්ඡාවචනයන්" ඇති කරයි. සමහර රටවල් දැනටමත් එවැනි පියවර ගැනීමට පටන් ගෙන තිබේ. උදාහරනයක් ලෙස මාර්තු 20 වන දින රුසියාව බඩඉරිඟු සහ අනෙකුත් ධාන්‍ය අපනයනය  දින 10 ට නතර කල අතර කසකස්තානය තිරිඟු පිටි, බඩඉරිඟු, සීනි, එලවළු වර්ග සහ සූරියකාන්ත තෙල් නැව්ගත කිරීම සීමා කලේය.

ටොරෙරෝ අවධාරනය කලේ, ගෝලීය ආහාර වෙලඳාම කරගෙන යායුතු බවයි. 2008 ගෝලීය ආහාර මිල අර්බුදය කාලයේ අසල්වැසියා හිඟමනට දමනු ප්‍රතිපත්තිවලට එරෙහිව අනතුරු අඟවමින්, සමහර රටවල් ඉහල අපනයන බදු හෝ අපනයන තහනමක් පැනවූ විට එකටෙක කිරීමේ ප්‍රතිචාර ඇවිල යන බව ඔහු පැවසීය.

ආහාර ප්‍රවාහනය ජාත්‍යන්තර ස්වරූපයෙන් පවතී. මිනිසුන් ආහාරයට ගන්නා කැලරි වලින් සියයට 20 ක් පමන  - සහල්, සෝයා, ධාන්‍ය සහ තිරිඟු වැනිදෑ -අවම වශයෙන් එක් ජාත්‍යන්තර දේශ සීමාවක් පසුකර යයි. එය 1980 සිට සියයට 50 ට වඩා වැඩි වී ඇති අතර ලෝකයේ ආහාර වලින් තුනෙන් එකක් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලින් පැමිනේ.

ආනයනික ආහාර මත යැපෙන රටවල් විශේෂයෙන් වෙලඳ පරිමාව මන්දගාමී වීමට ගොදුරු වේ. විශේෂයෙන් ඔවුන්ගේ මුදල් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහත වැටේ නම්. සිල්ලර වෙලෙන්දෝ සෑම තැනකම සිය මිල ගනන්  ඉහල  නංවති. හැකිලෙන ගෘහ අයවැයෙන් ආහාර පිරිවැය පංඟුව, වෙන කවරදාටත් වඩා වැඩිවී ඇත.

ඉදිරියේදී සිදුවන විනාශයේ එක් ඇඟවීමක් නැවුම් මල් කර්මාන්තය තුල සොයාගත හැකිය. ගුවන්යානා අවලංගු කිරීම සහ ඕලන්දයේ වෙන්දේසි ඇනහිටීමත් සමඟ ලොව මල් වත්ත ලෙස සැලකෙන කෙන්යාවේ, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම නැවුම් මල් ටොන් දහස් ගනනක් අපනයනය කරන බොහෝ ගොවීන්ට, ඩොලර් මිලියන ගනනක් වටිනා මල් විනාශ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. ඒ අනුව සමස්ත අංශයම මුලුමනින්ම පාහේ අකර්මන්‍ය වේ.

ගොවීන්ගේ හා ගොවි කම්කරුවන්ගේ සංකීර්න ජාලයක් සම්බන්ධ වන දේශීය ආහාර සැපයුම් දාම ඊට කිසිසේත්ම වෙනස් නැත.  පොහොර, බීජ හා පශු ඖෂධ, සැකසුම් කම්හල්, භාන්ඩ බෙදාහරින්නන්, සිල්ලර වෙලෙන්දන් ඊට ඇතුලත්ය. 

“සංවර්ධනය වෙමින් පවතින” රටවල කුඩා ඉඩම් හිමි  ගොවීන් ඔවුන්ගේ අඩු ආදායම හේතුවෙන් ආහාර අනාරක්‍ෂිතභාවයට ගොදුරු වේ. බටහිර අප්‍රිකාවේ ඉබෝලා අර්බුදය අතරතුර, අගුලු දැමීම මඟින් ගොවීන්ට යෙදවුම් මිලදී ගැනීමට සහ නිෂ්පාදන විකිනීම සඳහා වෙලඳපොලට පිවිසීම වැලකී ගිය අතර වැඩ බහුල කාලවලදී ශ්‍රමය ලබා ගැනීම අඩපන විය. නො විකුනුනු ආහාර තොග ඉතිරිවීම, ආදායම් අහිමි වීමට හේතු විය. සිදුවීම් මාලාව කලාපය පුරා සාගින්න හා මන්දපෝෂනය විශාල ලෙස වැඩි කිරීමට හේතු විය.

ජනගහනයෙන් සියයට 80 ක් ඉඩම්වල වැඩ කරන, දැන් කාන්තාර පලඟැටි රංචුවල ප්‍රවාහය නිසා  විනාශයට මුහුන දී සිටින නැගෙනහිර අප්‍රිකාවේ සහ අප්‍රිකාවේ අඟ ලෙස සලකන කලාපයේ ආහාර අනාරක්‍ෂිතතාවය විශේෂයෙන් උග්‍ර වේ.

දේශසීමා වැසීම සහ දේශීය අගුලු දැමීම් හේතුවෙන් නැවුම් අස්වැන්න නෙලීමේදී  සමහර රටවල් දැනටමත් කම්කරුවන්ගේ හිඟයකට මුහුනපා සිටියි. ආහාර පද්ධතියේ සහ බෙදාහැරීමේ සේවකයින්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂිත පියවරයන් නොමැතිකම, සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඇතුලු  ආරක්ෂිත ඇඳුම් හිඟය, අසනීප නිවාඩු නැතිකම සහ ශාරීරික දුරස්ථභාවය උග්‍ර ගැටලු බවට පත්ව ඇත.

කොතරම් දුරකට සංක්‍රමනික ශ්‍රමිකයන් මත ගොවිතැන රඳා පවතින්නේ ද යන්න වසංගතය මගින් හෙලිකර ඇති අතර, ලෝකයේ ගොවිපල වැඩවලින් සියයට 25 කට වඩා වැඩි ප්‍රමානයක් සංක්‍රමනික කම්කරුවන් විසින් සිදු කරනු ලැබේ.

යුරෝපයේ, වානිජ ගොවිපල වැඩ රඳා පවතින්නේ, ආහාර බෝග අස්වැන්න නෙලන කාලයේ  ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුප්පත් රටවලින් වාර්ෂිකව සංක්‍රමනය වීම මත ය. සංචාරක තහනම හේතුවෙන් සෘතුමය සංක්‍රමනය මුලුමනින්ම පාහේ නතරවී ඇත. ඒ, තොග ගබඩා කිරීමේ ගැටලු හා පශ්චාත් යුද්ධ අවධිය මතකයට නංවන වඩාත්ම වේගවත් ආර්ථික පසුබෑම මධ්‍යයේ ගොවීන් අස්වනු නෙලීමට සූදානම් වන තතු තුලය.

ප්‍රන්සයේ, ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ගොවීන් අනතුරු අඟවන්නේ, පැසෙන  එලවලු හා ඉදෙන පලතුරු නෙලා ගැනීමක් සිදු නොවන බැවින් අප්‍රේල් සහ මැයි මාසවල දැඩි හිඟයකට තුඩු දෙනු ඇති බවටයි. ස්ට්‍රෝබෙරි සහ ඇස්පරගස් වගාකරුවන්ට ඔවුන්ගේ බෝග නෙලා ගැනීමට නොහැකි වී ඇති අතර, වෙනත් පලතුරු වර්ග, එලවලු සහ සලාද  සම්බන්ධයෙන් ද තත්වය එයයි. ප්‍රන්සයට පමනක් කම්කරුවන් 200,000 ක් අවශ්‍ය වන අතර ජර්මනියට 300,000 ක් අවශ්‍ය වේ. කම්කරුවන් 90,000 ක හිඟයකට මුහුන දී සිටින බ්‍රිතාන්‍යයේ තත්වය බ්‍රෙක්සිට්  ගැටලුව මඟින් තවදුරටත් උග්‍ර කෙරී ඇත.

අඩු වැටුප් හා වැඩ කරන දිගු පැය වලින් සංලක්ෂිත වන  මෙම දුෂ්කර හා කොන්ද කැඩෙන රැකියා 800,000 න් තුනෙන් දෙකක්ම, අස්වැන්න කපන කාලය තුල මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ කම්කරුවන් විසින් පුරවනු ලැබේ. නමුත් යුරෝපීය රාජ්‍යයන් 26 කින් සමන්විත ෂෙන්ගන් ප්‍රදේශය දින 30 ට බාහිර අමුත්තන් සඳහා තහනම් කර ඇති අතර බොහෝ දේශසීමා වසා ඇත. සංචාරය කිරීමට අවසර ඇති තැනක පවා ප්‍රවාහන පහසුකම් සීමිත වන අතර කම්කරුවන් අසනීප වුවහොත් නැවත සිය රට බලා යාම තහනම් කරනු ඇතැයි  බිය වෙති.

බ්‍රිතාන්‍යයේ ග්‍රාමීය ඉඩම් හා ව්‍යාපාරික සංගමය, ඉඩම්වල වැඩ කිරීම සඳහා “ඉඩම් හමුදාවක්” ඉල්ලා සිටින අතර ජර්මනිය ඒ සඳහා රැකියා විරහිතයින්ට ආයාචනා කර තිබේ. ප්‍රන්සයේ රැකියා ඒජන්සිය නිවේදනය කර ඇත්තේ, ගොවිතැන් කටයුතුවල යෙදී සිටියදී විශ්‍රාම ගිය ද මිනිසුන්ට තව දුරටත් ප්‍රතිලාභ ලැබිය හැකි හෝ මුදල් උපයා ගත හැකි බවයි. එක්සත් රාජධානිය ගොවි කම්කරුවන් “ප්‍රධාන කම්කරුවන්” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එක්සත් ජනපදය මෙක්සිකෝවේ කම්කරුවන්ට නිකුත් කරන වීසා බලපත්‍ර අඩු කිරීමෙන් ගොවීන් කම්කරු හිඟයකට මුහුනපා සිටී.

එක්සත් රාජධානියේ ජාතික ගොවි සංගමයේ උද්‍යාන විද්‍යා මන්ඩලයේ සභාපති අලි කැපර් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, “ පලමු ලෝකයේ සෑම ආර්ථිකයක්ම, වෙනත් රටවලින් පැමිනෙන කම්කරුවන් ඒ රටවල පලතුරු හා එලවලු නෙලා ගැනීම සඳහා යෙදවීමට පුරුදු වී සිටියි…. ඔබ දැන් මුහුනදී සිටින්නේ ප්‍රධාන සමාජ මාරුවකටය. ”

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පූර්ව අනතුරු ඇඟවීමක් හෝ ආහාර සැපයුම් පවත්වගෙන යාම සඳහා සූදානමකින් තොරව, පසුගිය සතියේ රට පුරා දින 21 ක ඇඳිරි නීතිය පනවා ඇති ඉන්දියාවේ, බිලියන 1.34 ක ජනතාවකට, කුමන ව්‍යාපාර වලට ක්‍රියාත්මක වන්නට අවසර ලැබේදැයි යන්න මත පැතිර යන ව්‍යාකූලතා මධ්‍යයේ සැපයුම් දාම දැඩි ලෙස කඩාකප්පල් වී තිබීමේ ආනිසංසයට මුහුන පෑමට සිදුව තිබේ.

පොලිසිය ප්‍රාන්ත හරහා භාන්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ නවතා දමන තතු හමුවේ, ඇමසොන්, වෝල්මාර්ට් සතු ෆ්ලිප්කාර්ට්, සොෆ්ට්බෑන්ක්හි පිටුබලය ලබන ග්‍රෝෆර්ස් සහ බිග් බාස්කට් ඇතුලු  දැවැන්ත වානිජ්‍ය සමාගම්, ගබඩා වසා දැමීම සහ අන්තර්ජාල ඇනවුම් සඳහා නගරවල මධ්‍යම පන්තික නිවාස වලට බඩු බෙදාහැරීමේ යෙදීසිටින්නන්ට (කුරියර්) හිරිහැර කිරීමෙන් දැඩි දුෂ්කරතා වලට මුනපා ඇත.

 සමාජ දුරස්ථභාවය හේතුවෙන් රැකියා හා ව්‍යාපාර අහිමිවූ නගරවල වැඩකල සංක්‍රමනික කම්කරුවන් ඇතුලු  ඉන්දියාවේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට මෙය දැනටමත් බලපා ඇති අතර, ඔවුන්ට අතරමඟදී ආහාර ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට හෝ ආහාර ලබාගැනීමට නොහැකි විය හැකි තත්වයන් යටතේ, දැන් සැතපුම් සිය ගනන් පයින් ගමන් කරමින් සිටී.  ඉදිරි මාස තුන සඳහා දුප්පතුන්ට ආධාර සපයන බව ආන්ඩුව පවසා ඇතත් ඒවා ලබා ගත හැක්කේ ගම්වලට පමනි. එයින් අදහස් වන්නේ කම්කරුවන් ආපසු සිය ගම් වලට යා යුතු  බවයි.

අහමදාබාද් හි ඉන්දියානු කලමනාකරන ආයතනයේ ආර්ථික විද්‍යා මහාචාර්ය රීතිකා ඛෙරා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, “සාගින්නෙන් මිය යන අය ගැන අපි බොහෝ සේ කනස්සල්ලට පත්ව සිටිමු. මේ වගේ ගමනේ යෙදෙන අය, ඔවුන් හොඳ පෝෂන තත්වයක නැත. ඔවුන් වෙහෙසට පත්ව මිය යා හැකියි.”

එෆ්ඒඕ සංඛ්‍යාලේඛනවලට අනුව, ලොව පුරා මිලියන 820 ක ජනතාවක් (සියයට 12 ක්) මේ වන විට උග්‍ර සාගින්නෙන් පෙලෙන අතර සාමාන්‍ය ජීවිත ගත කිරීමට කැලරි ශක්තියක් ඔවුන්ට නැත. තවත් මිලියන 113 ක් කොතරම් කුසගින්නෙන් පෙලෙනවාද කිවහොත් ඔවුන්ගේ ජීවිත හා  ජීවනෝපායන් අනතුරේ පවතින අතර ඔවුන්ගේ පැවැත්ම සඳහා බාහිර ආධාර අනිවාර්යයෙන්ම අවශ්‍ය කෙරේ.

කොවිඩ්-19 ආසාදිතයන් හමුවන  රටවල් 44 ට දැනටමත් බාහිර ආහාර ආධාර අවශ්‍ය අතර, මිලියන 113 ක ජනතාවක් සිටින රටවල් 53 ක  දිලිඳුකම, යුද්ධ, ගැටුම්, ඉඩම් හිමියන් පිලිබඳ ප්‍රශ්න, නොඉවසිය හැකි නය ගාස්තු සහ දේශගුනික විපර්යාස මුල්කරගෙන දරුනු සාගින්න පුලුල් ලෙස පැතිර ඇති හෙයින්, ප්‍රතිවිපාක විනාශකාරී වනු ඇත.

Loading