රජයෙන් පොරොන්දු වූ සහන කිසිවක් මෙතෙක් ලැබී නැතැයි ගිරාඳුරුකෝට්ටේ ගොවීන් කියයි

අපේ වාර්තාකරුවන්
2 අප්‍රේල් 2020

ගම්බද දුගී ගොවීන් ඇතුලු කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජන කන්ඩායම් වලට විවිධ සහන ලබා දෙන බව ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මාර්තු 30 වෙනිදා  නිවේදනය කලේ ය.  ඒ අනුව වැඩිහිටි දීමනා ලාභීන් සහ ඒ සඳහා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයන්, ගොවි රක්ෂන ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින ගොවීන්, වකුගඩු රෝගීන්, සමෘද්ධිලාභීන් සහ ඒ සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අයට රුපියල් 5000 ක දීමනාවක් ගෙවන බව ජනාධිපති  ලේකම් පී.බී.ජයසුන්දර නිකුත් කල චක්‍ර ලේඛයක සඳහන් වේ.

මෙම සහන කිසිවක් මෙතෙක් තමන්ට ලැබී නැති බව ගිරාඳුරුකෝට්ටේ ගොවීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසූහ. ග්‍රාමසේවක නිලධාරි සහ පොලිසිය විසින්  ගමේම ගොවියන්ගෙන් එකතු කර ගන්නා ලද සහන මල්ලක් දුගීම පවුල් කිහිපයකට පමනක්  බෙදා දුන් බව ද කොරෝනා  වසංගතයත් සමග තමන් මුහුන දෙන සමාජ සහ ආර්ථික දුෂ්කරතා වඩාත් බරපතල වී ඇති බව ද ඔවුහු පැවසුහ.  

මහියංගනයේ පිහිටි  ගිරාඳුරුකෝට්ටේ ගොවි ජනපදය මහවැලි සී කලාපයට අයත් ගොවි ජනපදයකි.  ගොවි  පවුල් අටසියයක් පමන ජීවත් වෙති. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැනය. ගොවිතැනින් ලාබයක් නොලැබෙන නිසා මෙම ගොවි පවුල්  වල තරුන ජනයා නිදහස් වෙලඳ කලාප වලට සහ වෙනත් රැකියාවන් සඳහා කොලඹ ඇතුලු ප්‍රධාන නගරවලට සංක්‍රමනය වී සිටිති. එහෙත් කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැලක්වීම සඳහා  නිදහස් වෙලඳ කලාප සහ අනෙකුත් රැකියා ස්ථාන වසා දැමීම නිසා ඔවුන් නිවෙස් කරා පැමින ඇති හෙයින් ඔවුන්ගේ ආදායම් මාර්ග මේ වනවිට මුලුමනින් ඇනහිට තිබේ. එසේ පැමිනි බහුතරයකට මාර්තු මාසයේ වැටුප පවා ලැබී නැත.

දැවැන්ත සමාජ පිපිරීමක් පිලිබඳ භීතිය නිසා  එවැන්නක් යටපත් කිරීමේ අරමුනින් රාජපක්ෂ ආන්ඩුව නාගරික දුප්පතුන් සහ ගම්බද දුගී ගොවීන් සඳහා සොච්චම් සහන පැකේජයක් ප්‍රකාශයට පත්කර ඇතත් ගිරාඳුරුකෝට්ටේ ගොවීන්  එලිදරව් කල කරුනු මගින් පැහැදිලි වන්නේ එවන් සුලු  සහන පවා මහජනතාවට  සැපයීමට  ධනපති පාලක පන්තියට පවතින නොහැකියාවයි.

ගිරාඳුරුකෝට්ටේ ගොවීන්ට පමනක් නොව සමස්තයක් ලෙස රටේ කම්කරු-පීඩිත ජනයා කොරෝනා වසංගතය පාලනය කිරීමට ආන්ඩුව විසින් පනවා ඇති මර්දනකාරී සීමාවන් හා නීති යටතේ අතිශය පීඩාවට පත්ව  සිටිති. කොලඹ සමිට්පුර වාසීන් වැනි  නාගරික දුප්පතුන් ද බදුල්ල සහ දඹුල්ල ඇතුලු විවිධ ප්‍රදේශ වල දුගී ගොවීන් හා සමෘද්ධිලාභීන් ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සමෘද්ධි දීමනා  සම්පාදනය කිරීමට ආන්ඩුව අසමත් වීමට එරෙහිව පසුගිය දිනවල විරෝධය ප්‍රකාශ කලහ.  

තමන්  මුහුන  දෙන දුෂ්කර ගැටලු ගැන ගිරාඳුරුකෝට්ටේ ගොවියෙක් මෙලෙස විස්තර කලේ ය: ”මහ කන්නයේ වී අස්වැන්නෙන් සෑහෙන  කොටසක් අලින් විසින් විනාශ කලා. අමාරුවෙන් රැක ගත්තු ඉතිරි වී ටික විකුනන්න වෙලා තියෙන්නේ අඩු මිලට. නිෂ්පාදන වියදමට අනුව  වී කිලෝවක් අවම වශයෙන්  රුපියල් 65 ට පමන අලෙවි කල යුතු නමුත් පුද්ගලික වෙලෙන්දෝ වී කිලෝවක් මිලට .ගන්නේ රුපියල් 40-45 ට. මේ වෙනකම් ආන්ඩුවේ ගබඩා වලට වී ගත්තේ නැහැ. ආන්ඩුවේ සහතික මිල වී කිලෝවක් රුපියල් 50 යි. එහෙම වුනත් ආන්ඩුව කියන ප්‍රමිතියට  නැත්  නම් 40-38 වගේ මුදලක් ලැබෙන්නේ. ඒ වුනා ට ආන්ඩුව පුද්ගලික වෙලෙන්දන්ගෙන් ගන්නවා. ගොවීන්ට ගෙවන මුදලට වඩා වැඩි මිලකට. දුක් මහන්සි වෙලා, නය වෙලා ගොවිතැන් කලාට වියදම් වුන මුදලවත් අතට ලැබෙන්නේ නෑ”

වී ගොවිතැන යාන්ත්‍රීකරනය වීමත්, බීජ වී, කෘෂි උපකරන, කෘෂි රසායන හා පොහොර මිල ඉහල යාමත් නිසා  නිෂ්පාදන වියදම තවත් ඉහල ගොස් ඇති බවත් ගොවීහු සඳහන් කලහ. ගොවීන්ට පොහොර නොමිලේ ලබා දෙන බවට ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරනයේ දී තරඟෙට පොරොන්දු වූ නමුත් පුද්ගලික වෙලන්දන්ගෙන් වැඩි මිලට පොහොර මිල දී ගැනීමට සිදු වී ඇතැයි  ගොවීහු චෝදනා කලහ. ”කලින් කුඹුරු හෙක්ටයාර් එකකට  කිලෝ 50 පොහොර මිටි 10 ක් දුන්න. ක්‍රමයෙන් අඩුකරලා දැන් දෙන්නේ පොහොර මිටි 6 යි. පොහොර අඩු වුනහම අස්වැන්නත් අඩුයි.” ගොවියෙක් පැවසීය. කිලෝ 50 පොහොර මිටියකට ආන්ඩුව ගොවීන්ගෙන්  අය කරන්නේ රුපියල් 350 ක් වුව ද එම සහන මිලට පොහොර ආන්ඩුවේ ගබඩාවල නැති බව ද ඔහු කීවේය.

කොරෝනා වසංගතය තුල ආහාර නිෂ්පාදනය පහත වැටීම වලක්වා ගැනීම පිනිස යල් කන්නයේ වගා කටයුතු කල් ඇතිව ආරම්භ කරන ලෙස ආන්ඩුව ගොවීන්ට දැනුම් දී ඇත. එහෙත් මේ වන තෙක් ඒ සඳහා නිසි ලෙස ජලය ලබාදීමක් සිදුකර නොමැති බව ගොවීහු සඳහන් කලහ.

මාර්තු 28 වතුර නිකුත් කරලා එක දවසකින් නැවැත්තුව. වතුර ලබාදීම  ගැන සාකච්චා කරන්න මහවැලි කොට්ඨාස  කලමනාකාරවරයා මාර්තු 31 වෙනිදා එනව  කිව්වට ආවේ නැහැ. දැන් කියනවා 3 වෙනිදා එනවලු. වැස්ස ඇත්තෙත් නැහැ. ප්‍රමානවත්  තරම් වතුර නැතිව වගා කරලා පාලු වුනොත් පාඩුව අපිට මයි” ගොවියෙක් පැවසීය. 

වකුගඩු රෝගය ගම්බද දුගී ගොවීන් අතර බහුවල පැතිර ඇත. ගිරාඳුරුකෝට්ටේ එවන් එක් ප්‍රදේශයකි. එම රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර  ලබා ගැනීමට පහසුකම් නැති අතර කොරෝනා වසංගතය සමග පනවා ඇති සීමාවන් නිසා ඔවුන්  ඉතාමත් අපහසු තත්වයකට පත් වී සිටිති.  සමහර වකුගඩු රෝගීන්ට අවශ්‍ය එන්නත් පවා  ලබා ගැනීමට නොහැකිව ඇතැයි ඔවුහු සඳහන් කලහ.

පවුල් ප්‍රසාරනය වීමත් සමග ඉඩම් හිඟකම ද, තම නිෂ්පාදන වලට සාධාරන මිලක් නොලැබීම, විරැකියාව සහ දරිද්‍රතාවය ගම්බද දුගීන් මුහුන දෙන මූලික ගැටලුය. එහෙත් ධනපති පක්ෂවලට හා ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධව සිටින මෙන් ම ඊනියා ස්වාධීන ගොවි සංගම්, විවිධාකාර රාජ්‍ය නොවන සංවිධාන විසින් කරනු ලබන්නේ මෙම ගැටලු වලින් හෙම්බත්ව හා ඒවාට එරෙහිව රැඩිකලීකරනය වන ගොවීන්  ධනපති ආන්ඩුවලට  බලපෑම් දැමීමේ ව්‍යාජ උද්ඝෝෂනවලට කොටු කර දුර්මුඛ කිරීමය.

ධනපතිවාදය තුල කම්කරු පන්තියේ මෙන් ම ගොවි ජනතාවගේ  ප්‍රශ්නවලට ද විසඳුම් නැත. කම්කරු පන්තියටත් පීඩාවට පත්ව ඇති දුගී ගොවීන්ටත් තම ප්‍රශ්නවලට විසඳුම් සම්පාදනය කර ගත හැක්කේ ධනපති ලාබ  පද්ධතියට ගැට ගැසුන ධනපති පන්ති පාලනය අහෝසි කරන ජාත්‍යන්තර  සමාජවාදය  සඳහා අරගලයක් තුලින් පමනි. ශ්‍රී ලංකාවේ දී  එය කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයකි. එම අරගලයේ දී ගම්බද දුගී ගොවි ජනතාවගේ නායකයා වන්නේ කම්කරු පන්තියයි. ඔවුන්, සියලු ධනපති පක්ෂ වලින් මෙන්ම ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ප්‍රධාන ධනපති පක්ෂ වලට මුක්කුව දෙන ජනතා විමුක්ති පෙරමුනෙන් ද, ගොවි සංගම් වලින් ද බිඳී කම්කරු පන්තිය සමග ඒකාබද්ධව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්. එම අරගලය සඳහා උර දෙන මහජන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීමට පෙරට ආ යුතු ය.