මාධ්‍ය වාරනය නව ඉහලකට නංවමින්, ආන්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනී

ෆෙස්බුක් ගිනුම් තුල “සාවද්‍ය” තොරතුරු පලකිරීම හා වසංගත මර්දන වැඩසටහන්වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් “ද්වේශ සහගතව” විවේචනය කිරීම යන චෝදනා මත ශ්‍රී ලංකා පොලීසිය පසුගිය දින කිහිපය තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ඇතුලු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබේ.

“අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ පලකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර” යන ශීර්ෂය යටතේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප්‍රේල් 01 දින නිවේදනයක් නිකුත් කලේය. ඉන් කියා සිටියේ කොවිඩ්-19 වසංගතය වැලැක්වීම සඳහා ක්‍රියාකරන රාජ්‍ය සේවකයන්ගේ “සුලු අඩුපාඩු” මතු කර පෙන්වමින් “බරපතල ලෙස” ඔවුන්ගේ “රාජකාරියට බාධා කරමින් හා ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශසහගත ප්‍රකාශ” අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර සඳහා අධිකරනයට ඉදිරිපත් කරන ලෙසට වැඩබලන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඇතුලු සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් දී ඇති බවයි.  

මෙම අත්අඩංගුවට ගැනීම් කර තිබුනේ  එම නිවේදනයෙන් පසුවය. 

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහල රටේ ප්‍රභූන්ට වෙන්කල කොරෝනා වෛරස නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට “සාවද්‍ය” ප්‍රචාරයක් තම ෆේස්බුක් ගිනුම හරහා කල බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුවා අත්අඩංගුවට ගෙන තිබුනි. 

සාමාන්‍ය මහජනතාව අවම පහසුකම් යටතේ නිරෝධායන මධ්‍යස්ථානවලට ගාල් කරන අතරතුර, ඉහලම ව්‍යපාරිකයන්ගේ හා දේශපාලනඥයන්ගේ ඥාතීන් ඇතුලු රටේ වරප්‍රසාදිත  පන්තිවල පුද්ගලයන්ට තම සුවපහසු නිවාසවල සිට හා වඩා පහසු ස්ථානවල නිරෝධායනය වීමේ හැකියාව සලසා තිබුන බව නොරහසකි.

ඉරිදා අත්අඩංගුවට ගනු ලැබුනු කාන්තාවට එරෙහි චෝදනාවට පදනම් වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිසැකවම කොරෝනා වැලඳී ඇතැයි යනුවෙන් ඇයගේ මුහුනු පොතේ පල කරන ලදැයි කියන ප්‍රකාශයකි.

තවත් අවස්ථාවක කොරෝනා මර්දන කටයුතුවලදී හා නිරෝධායන කටයුතුවලදී ජනතාවට අසාධාරනකම් සිදුවන බවට තම ෆේස්බුක්  ගිනුම හරහා ත්‍රිකුනාමලය දිසාපති විවේචනය කරන ලදැයි යන චෝදනා මත තරුනයෙකු අත්අඩංගවට ගත් උප්පුවේලි පොලීසිය  අප්‍රේල් 20 දා අධිකරනයේ පෙනීසිටින කොන්දේසිය මත ඔහු ඇප පිට නිදහස් කර තිබේ.

මහමැතිවරන නාමයෝජනා භාරදෙනු ලැබූ අවසන් දිනය වූ මාර්තු 19 වන තෙක් වසංගතය පැතිරීයාම වැලැක්වීම සඳහා අත්‍යවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ආන්ඩුව සාපරාධී ලෙස නොසැලකිලිමත් විය. රට පුරා කර්මාන්ත  වසාදැමීමටත් රජයේ හා පුද්ගලික සේවයේ කම්කරු මහජනතාව නිවෙස් වල රැඳවීම සඳහාත්, ගුවන්තොටුපොල වසාදැමීමත් සිදුවූයේ ඉන් පසුවය.

රෝග නිවාරන ක්‍රියාවලිය මිලිටරි හස්තයට යට කරමින් සාමාන්‍ය වැසියන් හිතුවක්කාරී ලෙස නිරෝධායන කඳවරු තුල කොටු කෙරුනි. සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව දිගින්දිගටම නොතකා හල ආන්ඩුව,   ඇඳිරිනීතිය අඛන්ඩව ක්‍රියාත්මක කලේ බෙහෙත් හා ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසිලෙස සම්පාදනය කිරීමේ නිසි යාන්ත්‍රනයක් පවා නොමැතිවය.       

එදිනෙදා වේල පිරිමසාගත නොහැකිව සිටින අතිශය බහුතරයක් බඩගින්නට ඇද දැමුනි. ගොවි හා ධීවර ජනතාවගේ නිශ්පාදන විකුනා ගැනීම සඳහා සැලසුම් සහගත ක්‍රමවේදයක් මෙතෙකුදු නොමැත. ඇඳිරිනීතියේ කඩතුරාව යටතේ දිනපතා දහස් ගනන් පුද්ගලයෝ දිනපතා අත්අඩංගුවට ගැනෙති. මේ සියලු කටයුතු නිසා ආන්ඩුව මහජනතාව අතර බලවත් ලෙස අප්‍රසාදයට පත්ව සිටී.

සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයෙන් ප්‍රකාශවන්නේ මෙසේ වර්ධනය වන මහජන විරෝධයයි. වසංගතය මධ්‍යයේ ප්‍රධාන ධාරාවේ ධනපති මාධ්‍ය හැම එකක්ම පාහේ ආන්ඩුවේ හොරනෑ බවට පත්ව ඇති තත්වයක් යටතේ මිලියන හයක් පමන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර විශේෂයෙන් තරුන ජනයා තම විවේචන ඒ හරහා ප්‍රකාශ කරති.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පසුව මාධ්‍යයට ප්‍රකාශ කලේ     “අසත්‍ය” තොරතුරු පලකිරීම පමනක් නොව, ඒවා බෙදා හැරීම හා නැවත ප්‍රචාරය කිරීමද වරදක් බවත් එසේ කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත්ය. කොලඹ ප්‍රදේශය සම්පූර්න වසා දැමීමක් පිලිබඳ සාකච්ඡා වනබව රජයේ ඉහලම පෙලේ ලොක්කන්ගෙන් තොරතුරු ලද බව ඩේලි මිරර් වාර්තා කර තිබියදී පූර්න වසාදැමීමක් පිලිබඳ සමාජ මාධ්‍ය හරහා “අසත්‍ය” ප්‍රචාරයක් ගෙනගිය අය අත්අඩංගුවට ගැනීමට  ක්‍රියා කරන බවට ඔහු තර්ජනය කලේය.

නව නියෝගය සමාජමාධ්‍ය සඳහා පමනක් නොව ඕනෑම මාධ්‍යයක් හා මාධ්‍යවේදියෙකුටමත් එරෙහිව ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා අන්තරාය පවතී. ආන්ඩුව දී ඇත්තේ  “රජය විවේචනය නොකරනු!” යන නිවේදනයයි.

අත්අඩංගුවට ගත් අය අධිකරනයට ඉදිරිපත් කරනු ලැබුවේ පරිගනක අපරාධ පනතේ 6 වන වගන්තිය හා දන්ඩනීති සංග්‍රහය යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සෙනෙවිරත්න සඳහන්කර ඇත. දන්ඩ නීති සංග්‍රහයේ කුමන වරදක් ද යන්න ප්‍රකාශකොට නැතිවාක් මෙන්ම අත්අඩංගුවට ගත් බොහෝ අයට නීතීඥ සහාය ද නොලැබී ඇති බව වාර්තා වේ.  “අසත්‍ය” හෝ  “ද්වේශසහගත” තොරතුරු පලකිරීම රටේ කිසිදු නීතියක් යටතේ අපරාධ වරදක් නොවේ. 

“අසත්‍ය” තොරතුරු පලකිරීම යන චෝදනාව යටතේ මින් පෙර රටේ කිසිවකු අත්අඩංගුවට ගත්බවට වාර්තා වී නොමැත. එසේ කිරීම සඳහා කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති පසුබිමක, දන්ඩනීති සංග්‍රයට හා අපරාධ කාර්ය පටිපාටියට සංශෝධනයක් ගෙන ආ පසුගිය ආන්ඩුව, එවැනි අපරාධමය වරදක් හඳුන්වාදී එයට රුපියල් මිලියනයක දඩයක් හා වසර පහක් දක්වා වියහැකි දඬුවමක් ද පැනවීමට කැබිනට් අනුමැතිය ලබාදුනි. එය නීතියක් ලෙස සම්මත වීම වලකනු ලැබුනේ සිවිල් සමාජ සංවිධානවල විරෝධය මධ්‍යයේය.

පරිගනක අපරාධ පනත යටතේ වරදක් පිලිබඳ විභාග කල හැක්කේ මහාධිකරනයකට පමනක් වන අතර, එහි 6 වන වගන්තිය යටතේ යමෙකු වරදකරු කරනු ලැබුවහොත් වසර පහක් දක්වා සිරදඬුවමකට එම තැනැත්තා යටත්කල හැකිය.   

අභූත චෝදනා නගා අත්අඩංගුවට ගැනීම හරහා, පරීක්ෂන අවසන්වනතුරු බන්ධනාගාරගත කිරිමට ඇති අධිකරන ක්‍රියාමාර්ගය, වරදක් ඔප්පුකිරීමට පෙර දඬුවම් පැමිනවීමේ ක්‍රමවේදයක් වශයෙන් මහජනයා බියවැද්දිම සඳහා ආන්ඩුව අපයෝජනය කරමින් සිටි. 

පොලිස්පතිගේ නියෝගය හා මෙම අත්අඩංගුවට ගැනීම් නීති විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධීය. රාජපක්ෂ පාලනය යටතේ වඩා ඉහල මට්ටමකට ඔසවා ඇති මෙම මාධ්‍ය වාරනය, මතයක් දැරීමේ හා  එය ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි. මෙම අයිතිය ලංකාවේ ව්‍යවස්ථාවෙන්මත් සහතික කර තිබේ.

විකල්ප මාධ්‍යයන් හා මාධ්‍යවේදීන් මර්දනය කිරීම සම්බන්ධව රාජපක්ෂට ඇත්තේ කලු ඉතිහාසයකි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ, ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු මාධ්‍යවේදීන් ගනනාවක් මරාදැමුනි. නැතහොත් අතුරුදහන් කෙරුනි.

මීට හරියටම වසරකට පෙර එනම් අප්‍රේල් 01 දින සිරිසේන-වික්‍රමසිංහ පාලන සමයේදී, තම ෆේස්බුක් ගිනුමේ කෙටිකතාවක් පල කිරීම මගින් බුද්ධ චරිතයට අපහාස කලේය යන අභූත චෝදනාව මත රටේ ඉතිහාසයේ පලමු වරට කලාකරුවෙකූ වන ශක්තික සත්කුමාර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනි. එය සිදු කෙරුනේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ ය. 

මාස තුනකට පසු බරපතල ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබූ ඔහු වරදකරු කරනු ලැබුවහොත් වසර දහයක් දක්වා සිරදඬුවම් ලැබීමේ අන්තරායකට මුහුන දී සිටී. ජනාධිපතිවරනය ආසන්නයේදීම චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය ගෙන්වා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කරනු ලැබූවේ ඔහු විසින් ලියා අධ්‍යක්ෂනය කරන ලද ගුවන්විදුලි නාට්‍යමාලාවක් පිලිබඳවය. 

මාධ්‍යවේදීන්ට මරන තර්ජනය කිරීම් කිරීමට අමතරව, ශාරීරිකවම ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධි ගනනාවක් ද පසුගිය මාස කීපය තුල වාර්තා විය. මෑතකදීම, අප්‍රේල 01 දින ඇඳිරිනීතිය පනවා හමුදා හා පොලිස් ආරක්ෂා දැඩිකොට තිබියදීම කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකු වන නඩරාසලිංගම් තුෂාන්ත්ට නාඳුනන පිරිසක් විසින් කඩුවලින් කොටා පහරදී තිබුනි.

මහජනතාව තම වික්ෂෝපයන් ප්‍රකාශ කිරීම හා බෙදාගැනීම සඳහා  වැඩිවශයෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් පවතින පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා තම අනුග්‍රහය පවතින බව රාජපක්ෂ නිවේදනය කලේය.  තම ට්විටර් ගිනුම හරහා නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ අනතුරු අඟවා ඇත්තේ පනිවිඩ හුවමාරු මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රවෘත්ති බෙදාහැරෙමින් තිබෙන බැවින් තම ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පමනක් නිවේදන ප්‍රකාශයට පත්කරන බවයි. 

වසංගතයට මුවාවී විකල්ප මාධ්‍ය වාරනයට ලක්කිරීම ජාත්‍යන්තර  ප්‍රපංචයකි. පසුගිය සතියේ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ආන්ඩුව “අසත්‍ය” ප්‍රවෘත්ති වාරනය හා මාධ්‍ය දඩයම් කිරීම සඳහා  රටේ ශේෂ්ඨාධිකරනයෙන් නීතිමය වරමක් ලබා ගත්තේය. අධිකරනය තීන්දු කලේ මාධ්‍ය විසින් වාර්තා කල යුත්තේ රජය විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පමනක් බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තම උත්සුකයන් පලකරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කල නිවේදනයක “වසංගතය මධ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට අපොහොසත් වීම මූලික මානව අයිතිවාසිකම්වලට වලකැපීමක්” බව සඳහන් කර ඇත.

රට තුල ඇඳිරි නීතිය පනවා සති දෙකකට ආසන්න වෙමින් පැවතියදී වැඩ කරන ජනයා අතරින් වඩාත්ම දුගී කොටස් ආහාර හිඟයෙන් ඉමහත් පීඩාවට ලක්ව සිටිති. පැල්පත් වාසීන් හා වතුකම්කරුවන් ජීවත් වන්නේ වසංගතය වේගයෙන් පැතිර යා හැකි සනීපාරක්ෂාව රහිත තද බද කොන්දේසි යටතේ ය. මිලියන ගනනක් කම්කරු ජනතාව අතේතිබූ සොච්චම් මුදලද වියදම් වී හමාරය.  

විශ්වවිද්‍යාල සිසුවා අත්අඩංගුවට ගැනීමට “විරෝධය පලකිරීම සඳහා” අගමැතිට ලිපියක් ලියූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙලට සහාය පලකර තිබේ.

”කොරෝනා වසංගතය ඉදිරියේ සමස්ත සමාජයක් අවදානමට පාත්‍රවී ඇති මොහොතක ඒ පිලිබඳව වගකීම් විරහිතව කටයුතු කරන, අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිලිබඳ අපට කිසිදු විවාදයක් නැත,” යනුවෙන් කියාසිටින අවිශිබමය, ආන්ඩුවේ මර්දන හස්තයට පලිප්පු දමයි. 

තම උපායික මතභේද පසෙකලා ජරපත් ධනපති ක්‍රමය බේරා ගැනීමට රාජපක්ෂගේ වත්මන් මිලිටරීකරන වැඩපිලිවෙලට සහාය පලකර ඇති  එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු ධනපති සංස්ථාපිතයේ පක්ෂ සියල්ලම මෙම අත්අඩංගුවට ගැනීම් පිලිබඳ කිසිදු විරෝධයක් දක්වා නැත. 

රුපියල දිනපතා බාල්දුවෙමින් පවතින අතර  බරපතල කප්පාදු කොන්දේසි යටතේ  ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128ක් නයට ගැනීමට රාජපක්ෂට බලකෙරී ඇත. වර්ධනය වන බරපතල ආර්ථික කඩාවැටීම  හමුවේ සමාගම්වලට සපයන මූල්‍ය පහසුකම් සඳහා බැංකුවලට තවත් රුපියල් බිලියන 400ක් වෙන් කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇත. 

මීට සමගාමීව, වසංගතයට මුහුනදීමේ බර කම්කරුවන් මත පැටවීම සඳහා වැටුප් කප්පාදු කිරීමට සැලසුම් කරමින් සිටින ආන්ඩුව මහජන සහන පිනිස වෙන්කොට ඇත්තේ සොච්චමකි. ඊට ප්‍රතිකූලව, ඊලඟ මාස දෙක සඳහා ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ නඩත්තු කිරීමට රුපියල් බිලියන 104ක්  වෙන්කර ඇත. 

දශක ගනනාවක් ඛාදනයට ලක්කල පොදු සෞඛ්‍ය සේවයක අවම පහසුකම් යටතේ වසංගතයේ පාලනය තමන් අතින් ගිලිහීයාමේ තර්ජනයට පාලක පන්තිය මුහුනදී සිටී. එවන් අවස්ථාවකදී තීව්‍ර විය හැකි මහජන විරෝධය තලාදැමීම සඳහා දැන් ආන්ඩුව  පියවර ගනිමින් සිටී.

Loading