වසංගතයෙන් අත්මිදීම මහජන ප්‍රමුඛතාව බවට පත්වෙද්දී, ආන්ඩුවේ ප්‍රමුඛතාව “ජාතික ආරක්ෂාව” බව ආරක්ෂක ලේකම් කියයි

ත්‍රස්තවාදයට හා අන්තවාදයට සම්බන්ධ ඇතැම් කොටස් යලි කාන්ඩගතවීම” ඇතුලු වියහැකි ඕනෑම “ආරක්ෂක තර්ජනයකට” මුහුන දීම සඳහා “මිලිටරි බුද්ධි අංශ ඇතුලු සියලුම බුද්ධි අංශ දැඩි සෝදිසියෙන්” සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න අප්‍රේල් 01 දා දික්ඕවිට නාවික හමුදා වරායේදී පැවසීය.

ඔහු එසේ පැවසුවේ, මෙතෙක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත්කල       “විශාලතම මත්ද්‍රව්‍ය තොගය” දික්ඕවිට නාවික හමුදා ඛන්ඩය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකල නිරීක්ෂන චාරිකාවකදී ය.  

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන අතරතුර, “ආන්ඩුවේ ප්‍රමුඛතාව” වනුයේ “ජාතික ආරක්ෂාව” බව ගුනරත්න එහිදී තවදුරටත් පැවසීය.

කමිකරු-පීඩිත මහජනතාව සම්බන්ධයෙන් ගත්කල ඔවුනගේ ප්‍රමුඛතාව වන්නේ, දසදහස් සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගනිමින් සහ තවත් මිලියන ගනනකට ජීවනෝපායන් අහිමි කරමින් වර්ධනය වන කොරෝනා වසංගතයෙන් හැකි ඉක්මනින් අත්මිදීමයි. නමුත්, ආරක්ෂක ලේකම් ඇතුලු ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රමුඛතාවය එය නොවන බව, පසුගිය තෙමස තුල ආන්ඩුව එයට දක්වා ඇති ප්‍රතිචාරයෙන් ඉතා පැහැදිලිව සනාථ වෙයි. 

වසංගතයෙන් මහජනතාවගේ ජීවිත ආරක්ෂාකිරීම සඳහා ගතයුතු ක්ෂනික සහ අත්‍යවශ්‍ය පියවරයන් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විවිධ වෛද්‍ය විශේෂඥයන් විසින් අවධාරනය කරන දෑ - සමස්ත මහජනතාව අලලාගත් රෝග පරීක්ෂාව, රෝහල් ධාරිතාවන්හි ක්ෂනික ප්‍රසාරනය සහ සෞඛ්‍ය සේවකයන්ට අත්‍යවශ්‍ය ආරක්ෂක උපකරනවල හිඟයෙන් තොර සම්පාදනය - රාජපක්ෂ ආන්ඩුව විසින් සාපරාධී ලෙස නොතකා සිටී. 

ඊට විපරීතව, වසංගතය මධ්‍යයේ ද, ආන්ඩුව “ත්‍රස්තවාදී හා අන්තවාදී” භීතිකාව වර්ධනය කරමින් “ජාතික ආරක්ෂාව” යලියලිත් පෙරට ගනිමින් සිටී. ධනපති පාලකයන් “ජාතික ආරක්ෂාව” යන සූත්‍රය තොරොම්බල් කරන්නේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අර්ථයෙන් නොව, කම්කරු-පීඩිත මහජනතාවගේ පෙරලිකාරී නැගිටීමකින් ධනපති රාජ්‍යය ආරක්ෂාකර ගැනීමේ අර්ථයෙනි. 

එය මෑත අත්දැකීම් වලින්ම පැහැදිලි වෙයි. පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව එල්ලවූයේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ක්‍රියාත්මක කල දැවැන්ත කප්පාදු වලටත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ටත් එරෙහිව නොකඩවා පැන නැගුනු පන්ති අරගල මාලාව මධ්‍යයේ ය. එම  ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව ආන්ඩුව, විපක්ෂ නායකයන් සහ රාජ්‍ය බුද්ධි අංශ කල්තියාම දැන සිටියත්, ඔවුහු එය සිදුවන්නට ඉඩ හලහ. 

ඔවුනගේ “ජාතික ආරක්ෂාව” ට මහජනයාගේ ආරක්ෂාව අයත් නොවන බව එම අපරාධයෙන් ඉතා පැහැදිලිව අනාවරනය විය. එපමනක් නොව, සිද්ධිය වහා ඩැහැගත් ආන්ඩුව “ජාතික ආරක්ෂාවේ” නාමයෙන් මිලිටරිය රටපුරා දිගේලි කලේය. එහි සැබෑ එල්ලය වූයේ වැඩෙමින් පැවති පන්ති අරගල රැල්ල තලා දැමීමයි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ එම මිලිටරීකරන වැඩපිලිවෙලට රාජපක්ෂගේ පොදුජන පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලු ධනපති පක්ෂ සහයෝගය දුන්නේ “ජාතික ආරක්ෂාවේ” නාමයෙනි.

මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සාපරාධී නොතැකීම හමුවේ වැඩුනු මහජන විරෝධය ගසාකනු වස්,   “ජාතික ආරක්ෂාව” අනතුරේ හෙලී ඇතැයි ද එය නැවත තහවුරු කිරීම තම ප්‍රමුඛ කර්තව්‍යය බවද පවසමින්, ගෝඨාභය රාජපක්ෂ තම  ජනාධිපතිවරන උද්ඝෝෂනය ගෙන ගියේය. 

තමා බලයට පැමිනියහොත් ක්‍රියාවට නැංවීමට සිදුවන රුදුරු කප්පාදු සහ එම කප්පාදු වලට එරෙහිව පැන නැගීමට නියමිත පන්ති අරගල පිලිබඳව ගනන් බැලූ රාජපක්ෂ එය තලා දැමීමට අවශ්‍ය ආඥාදායක පාලනයක් වෙතට වේගයෙන් ගමන් කිරීමත්, ඊට අවශ්‍ය වේගවත් මිලිටරීකරනයත් තම න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගය බවට පත්කර ගත්තේය. 

බලයට පැමිනීමෙන් ක්ෂනික ඉක්බිත්තේ ඔහු තම මිලිටරීකරන   ක්‍රියාදාමය ආරම්භ කලේ යුද අපරාධ චෝදනාලත් හිටපු හමුදා නිලධාරියෙකු වන කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීමෙනි. එතැන් පටන් රාජ්‍යයේ සෑම වැදගත් ආයතනයකම පාහේ ඉහලම නිලයන්ට රාජපක්ෂට ඉතා සමීප විශ්‍රාමික හමුදා නිලධාරිවරුන් පත් කෙරුනි. 

සමාජ-ආර්ථික ජීවිතයේ සෑම වැඩකටයුත්තකටම මිලිටරියේ මැදහත්වීම වඩවඩාත් ගැඹුරු කෙරුනු අතර, එය කැපී පෙනෙන අයුරින් ප්‍රකාශයට පත් කරමින්, ලංකාවේ ඉතිහාසයේ පලමු වරට, තරුනයන්ට රැකියා ලබාදීමේ සම්මුඛ පරීක්ෂන මන්ඩලවලට ද හමුදා නිලධාරීන් පත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගත්තේය. සම්මුඛ පරීක්ෂන වලට පැමිනි තරුන තරුනියන්ගේ සියලු වතගොත එක්රැස්කර ගැනීමේ ඔත්තුකරුවන් ලෙස මෙම හමුදා නිලධාරීන් යොදා ගැනුනි.

වසංගත ව්‍යසනය වහා ඩැහැගත් රාජපක්ෂ වසංගත මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කෙරුනු අතර, වෛද්‍යවරුන්, හෙදියන්, අනෙකුත් රෝහල් කාර්ය මන්ඩලයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පමනක් නොව සමස්ත රාජ්‍ය සේවයම ඔහුට යටත් කෙරුනි. මේ අනුව සමස්ත දිවයිනම මිලිටරි පාලනයක් අද්දරටම ගෙනැවිත් ඇත. 

ජනාධිපති රාජපක්ෂ තම විධායක බලතල යොදා ගනිමින්, සමූහ ඝාතක යුද අපරාධකරුවෙකු වන හිටපු මිලිටරි නිලධාරි සුනිල් රත්නායකට අධිකරනයෙන් පනවා තිබූ ජීවිතාන්තය දක්වා සිර දඬුවම ඉවත්කොට සමාව ලබා දුන්නේ සාපරාධී වැඩකටයුතු සඳහා මිලිටරිය විවෘත වරපත්‍රයක් දෙමිනි. රත්නායක නිදහස් වී නිවෙසට පැමිනීමේ සාදයට ආරක්ෂක ලේකම් ගුනරත්නගේ සහභාගිත්වයෙන්මත් එම අරමුන වඩාත් උද්දීපනය විය.

රාජපක්ෂ සහ රාජ්‍ය නිලධාරීන් අතර වසංගතය පිලිබඳව පැවති ආරම්භක සාකච්ඡාවකදී, නිරෝධායනය සඳහා සුවිසල් මුදලක් අය කිරීමට සහ මූලික පහසුකම් පවා නොමැතිව රඳවා තැබීමට එරෙහිව විදේශයන්හි සිට පැමිනි කම්කරුවන් පිරිසක් ගුවන්තොටුපල තුල, ගෙනගිය විරෝධතාව පිලිබඳව සාකච්ඡාවට ගැනුනි. රාජපක්ෂගේ මිලිටරීකරන ක්‍රියාදාමයෙන් ගැම්මගෙන සිටින ඔහුගේ සමීපතමයෙකු හිටපු හමුදාපතිවරයෙකු වන දයා රත්නායක නරුම ලෙස කියා සිටියේ විරෝධතාකරුවන් මෙල්ල කිරීමේ වැඩකටයුතු මිලිටරියට භාරදෙන ලෙසයි. එයට ප්‍රතිචාරී ලෙස කුරිරු සිනාවක් පාමින් රාජපක්ෂ කියා සිටියේ ඔහු ද එවැන්නකට කැමැත්තෙන් සිටින බවයි. 

ආන්ඩුව කැඳවූ සර්ව පාර්ශ්වික හමු දෙකකට සහභාගිවූ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය, සජිත් ප්‍රේමදාසගේ ජාතික සමගි ජනබලවේගය, දෙමල ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ  සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලු පක්ෂ ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙලට කවර හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ නොකල අතර, වසංගතය මැඩීම සම්බන්ධයෙන් ආන්ඩුව ගෙනයන වැඩකටයුතු අගය කරමින් එයට පූර්න සහයෝගය දෙන බවට ශපථ කලහ. මෙය, ආන්ඩුවේ මිලිටරීකරන ක්‍රියාදාමයට ලබාදෙන පූර්න සහයෝගයකි. 

වසංගතයෙන් තම ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය මූලික සෞඛ්‍යමය පහසුකම් පවා ලබා නොදීම සහ ආහාරපාන ඇතුලු අත්‍යවශ්‍ය දෑ සම්පාදනය කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රනයක් නොමැතිව නිවෙස් වලට සිරකර තැබීම සම්බන්ධයෙන් කම්කරු-පීඩිත මහජනතාව අතර ඉමහත් වෛරයක් වැඩෙමින් පවතී. වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා නිසි මෙවලම් නොමැතිව වැඩට දැක්කීමට එරෙහිව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කම්කරුවන් අතරින් දැනටමත් අරගල මතුවෙමින් පවතී.

මෙම මහජන විරෝධය ආන්ඩුවට එරෙහිව පමනක් නොව සමස්ත ධනපති පාලක සංස්ථාපිතයට එරෙහිව වැඩෙන්නක් බව රාජපක්ෂ මෙන්ම විපක්ෂ නායකයන් හොඳින් දනී. මෙම විරෝධය ධනපති රාජ්‍යයටම අභියෝගයක් වන පරිදි පුපුරා යතැයි ඔවුහු සියලුදෙනාම බියපත්ව සිටිති. එවන් සමාජමය පුපුරායාමක් රුදුරු ලෙස තලා දැමීම සඳහා මිලිටරීකරනය තීව්‍ර කරමින් ආඥාදායකත්වයක් දෙසට ගමන් කිරීම හැර අන් විකල්පයක් ඔවුනට නැත.

මිලිටරීකරනය ගැඹුරු කිරීමේ කොටසක් ලෙස රුදුරු මාධ්‍ය වාරනයක් ද ආන්ඩුව විසින් ක්‍රියාවට නංවා ඇත. “රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින්, සුලු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ අන්තර් ජාලය තුල ප්‍රසිද්ධ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පසුගියදා පැවසීය. 

මේ යටතේ විශ්ව විද්‍යාල සිසුන් කීපදෙනෙකු සහ කාන්තාවක් ඇතුලු සත් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. ආන්ඩුවට එරෙහි විවේචන මැඩීමේ අරමුනෙන් ගෙනඇති මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට ජාතික සහ ජාත්‍යන්තර මටිටමේ ජනමාධ්‍යවේදීන්ගේ සංසද සහ මානව හිමිකම් සංවිධාන ගනනාවක් ම විරෝධය දක්වා ඇත.

තමා මුහුන දී ඇති දුෂ්කරතාවයන්ට එරෙහිව අරගලයට ඇදී එන කම්කරුවන් සහ පීඩිතයන් “ත්‍රස්තවාදීන්” හෝ “අන්තවාදීන්” ලෙස, ආන්ඩුව විසින් නම් කරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආන්ඩුවට එරෙහිව පැන නැගුනු සෑම අරගලයක්ම නම් කෙරුනේ “එල්ටීටීඊ ට සහාය දෙන දකුනේ ත්‍රස්තවාදීන්ගේ” ක්‍රියාවන් ලෙසිනි.        

“මිලිටරි බුද්ධි අංශ ඇතුලු සියලුම බුද්ධි අංශ දැඩි සෝදිසියෙන්” සිටින බව ආරක්ෂක ලේකම් පවසන විට එහි අර්ථය වනුයේ, වැඩෙන සමාජ පුපුරා යාමක් සහ එවන් පුපුරා යාමකට දේශපාලනික නායකත්වයන් දීමේ විභවාත්මක සංවිධාන සහ පුද්ගලයන් පිලිබඳව මෙම ඔත්තු ජාලය ඉතා සීරුවෙන් තබා සිටින බවයි.   

Loading