කොවිඩ් - 19 වසංගතය ලෝකයේ දුප්පත්ම රටවලට බරපතල තර්ජනයක් එල්ල කරයි

මෙම ලිපිය අ‌ප්‍රේල් 01 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

කොරෝනා වෛරසය අප්‍රිකා මහද්වීපයේ, මැදපෙරදිග, ලතින් ඇමරිකාවේ, ආසියාවේ සහ පැසිෆික් දූපත් වල ව්‍යාප්තිය ආරම්භවීමත් සමග පෘථිවි ගෝලයේ සිටින වඩාත් දුගී දුප්පත් මිනිසුන්ට දරුනු තර්ජනයක් එල්ල කරමින් තිබේ. 

බොහෝ රටවල් විසින් දේශසීමා වැසීම, ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීම හෝ සීමා කිරීම,නිවාස ඇනවුම් සීමා කිරීම, පාසල්, විශ්ව විද්‍යාල සහ පොදු ස්ථාන වසා දැමීම සහ අත්‍යවශ්‍ය වැඩ සහ මිලදී ගැනීම් හැර අන් සියල්ලටම සීමා පැනවීම් හඳුන්වා දී තිබේ. සැක සහිත සිද්ධීන්වල දී රෝග පරීක්ෂන කිරීම, රෝගීන් ඇසුරු කල සම්බන්ධතා සොයා ගැනීම සහ දරුනු ලෙස රෝගාතුර වූවන්ට ප්‍රතිකාර කිරීමකින් තොරව මෙම පියවර අනුගමනය කිරීම සීමිත වටිනාකමක් ඇති දෙයකි.

පිදුරු,ටෙන්ට් රෙදි, සිමෙන්ති කුට්ටි සහ පිටපලු ලී වලින් තැනූ කූඩාරම් සහ ගරාවැටෙන පැල්පත් සහිත නගරවල සමස්ථ මිනිස් සංහතියෙන් හතෙන් පංගුවක් ඊනියා අනවසර නිවාසවල ජීවත් වන තත්වයන් යටතේ නිවසේ හෝ ස්වයංව හුදකලාවට ලක්වීමක් සිදු කල නොහැක්කකි.

ඉන්දියාවේ ගෝආ හි සිකුරාදා වෙලඳපලක් (ෆ්ලිකර් හි ඡායාරූපය/ඇරොන් සී)

  

ලෝකයේ බොහෝ නාගරික දුප්පත් ජනයා සනීපාරක්ෂාව, පිරිසිදු ජලය සහ නූතන නාගරික ජීවිතයේ මූලික පහසුකම් සඳහා සීමිත හෝ ප්‍රවේශයක් නොමැති පාරිසරක දූෂනය, මලාපවහන, කසල බැහැර කිරීම් හා දිරාපත්වීම් වලින් වට වූ හා තදබදයෙන් පිරුනු (මුඩුක්කු) නිවාසවල වාසය කරති. ලෝව වඩාත්ම කුප්‍රකට මුඩුක්කු අතරට ගැනෙන මිලියන 1.2 ක ජනතාවක් සිටින මෙක්සිකෝ නගරයේ සියුඩාඩ් නෙසා, ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස පිහිටි හා ස්ලම් ඩෝග් මිලේනියනර් චිත්‍රපටය රූගත කල ස්ථානය වන මිලියනයක ජනතාවක් සිටින මුම්බායි හි ධරාවි, 200,000 ක් බ්‍රසීලියානු ජනතාවගේ වාසභූමිය වන රියෝ ද ජැනෙයිරෝ හි රොසින්හා, 300,000 කට අධික ජනතාවක් සිටින ලාවෝස්හි මැකෝකෝ වැනි ප්‍රදේශවල නිවාස බොහෝමයක් ඉදිකර ඇත්තේ අපද්‍රව්‍ය ගලන කානු ආශ්‍රිතවයි. 

මෙම ප්‍රදේශවල ජීවත්වන ජනයා කොරෝනා වෛරසය ආරම්භ වීමට පෙර සිටම ඔවුන්ගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට අහිතකර නිවාසවල පදිංචිකරුවන් ලෙස ජීවත් වෙති. සාමාජිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින විස්තෘත පවුලක්, නිදන කාමරය, මුලුතැන්ගෙයක් සහ සාලය ලෙසට භාවිතා කරන්නේ තනි කාමරක් වන අතර ඊටම වෙන්වූ ජලය නොමැතිකම, දුසිම් ගනනක් භාවිතා කරන පොදු වැසිකිලි බෙදාහදා ගන්නා තත්වයක් යටතේ ස්වයං හුදකලා කිරීම හෝ නිරෝධායනය යනු එම ජනයාට සිහිනයකි. 

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල්ඕ) සමාජ ආරක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂහාරා රාසාවි පැහැදිලි කල පරිදි, “කොවිඩ්-19 වසංගතය ලොවට එක පනිවිඩයක් එවා තිබේ නම්, ඒ අප ආරක්ෂිතව සිටින්නේ අප අතර වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට තරමටම පමනි යන්නයි.” 

“නිරෝධායනය කිරීමට හෝ ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි අය තමන්ගේ ජීවිත හා අනුන්ගේ ජීවිත අනතුරේ හෙලන අතර, එක් රටකට වෛරසය පාලනය කල නොහැකි නම්, අනෙක් අය ආසාදනය වීමට හෝ නැවත ආසාදනය වීමට ඉඩ තිබෙනවා. එහෙත්, ලොව පුරා සමාජ ආරක්ෂන පද්ධති අවදානමට ලක්විය හැකි කන්ඩායම්වල ජීවිත හා ජීවනෝපායන් ආරක්ෂා කිරීමේදී අවාසනාවන්ත ලෙස අසමත් වෙමින් පවතී” යයි ඔහු අනතුරු ඇඟවූවේය.

වෛරසයෙන් වඩාත් දරුනු ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැඩි වෛද්‍ය සත්කාර පහසුකම් ලොව පීඩිත රටවල නොමැත. ලෝක ජනගහනයෙන් සියයට 40 කට පමන රජයේ හෝ පෞද්ගලික සෞඛ්‍යය රක්ෂනයක් හා මහජන සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශයන් නොමැත. සෑම වසරකම මිලියන 800 ක් පමන ජනතාව තම ගෘහ අයවැයෙන් අවම වශයෙන් සියයට 10 ක් සෞඛ්‍යාරක්ෂාව සඳහා වියදම් කරති. වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන පිරිවැය, නිරන්තරයෙන් පවුල් නය බරට ඇද දමන අතර මිලියන 100 ක ජනයා දරිද්‍රතාවයට ඇද දමයි. 

මෙම කොන්දේසි යටතේ එච්අයිවී/ඒඩ්ස්, මැලේරියාව, කහ උන සහ ක්ෂය රෝගය වැනි තවත් බෝහෝ රෝග වැලඳුනු විට බොහෝමයක් ජනයාට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත නොහැක. ඉතාලියේ රෝගීන් 10,000 ක් සඳහා වෛද්‍යවරු 41 ක් සමග සසඳන විට අප්‍රිකාවේ හොඳම නගරවල ප්‍රතිකාර සඳහා වියදම් කල හැකි අයට පවා රෝගීන් 10,000 ක් සඳහා වෛද්‍යවරුන් සිටින්නේ දෙදෙනෙක් පමනි. 

අසනීප සඳහා ගෙවීම් හා රෝගය සුවවීමට රැකියාවෙන් නැවතී අවශ්‍ය විවේක ගැනීම් සිදු කල නොහැකිව බොහෝමයක් කම්කරුවෝ තමන්ගේ හා අන් අයගේ සෞඛ්‍යය අනතුරේ හෙලමින් සිටී. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් රෝගීන්ට ප්‍රතිලාභ ලබා දෙන සමාජ රක්ෂන ක්‍රම තිබෙන්නේ ඉන් තුනෙන් දෙකකටත් අඩු සංඛ්‍යාවක රටවල්වලයි. ලෝකයේ බිලියන 7 ක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට කවරාකාර හෝ සමාජ ආරක්ෂාවක් නොමැත. රෝගාතුර වූ අය තමන්ගේ සෞඛ්‍යය හෝ තම දරු පවුලේ ආහාර අවශ්‍යතා යන දෙකින් එකක් කැප කිරීම තෝරා ගත යුතුය.

අත්‍යවශ්‍ය නොවන වෙලඳසැල්, ආපනශාලා, සහ සංස්කෘතික හා විවේකස්ථාන වසා දැමීම සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සත්කාර සේවා හා ව්‍යාපාර සඳහා ඇති ඉල්ලුම වේගයෙන් පහත වැටීම හේතුවෙන් දියුනු රටවල මිලියන සංඛ්‍යාත ජනතාවක් දැනටමත් සේවයෙන් ඉවත් කර හෝ දිගු නිවාඩුවලට යවා ඇත. ඒ තත්ත්වය යටතේ විරැකියා ප්‍රතිලාභ ඉල්ලුම් කල හැක්කේ ලෝක ජනගහනයෙන් සියයට 20 ට පමනක් වන අතර හිඟන වැටුප් සහිත අවිධිමත් ආර්ථිකයේ සොයාගත හැකි ඕනෑම රැකියාක් කිරීමට ඔවුන්ට බලකෙරී ඇත.  

අයිඑල්ඕවට අනුව, ලෝකයේ සේවා නියුක්ත ජනගහනයෙන් සියයට 61 ට වැඩි ප්‍රතිශතයක් හෙවත් බිලියන 2 ක ජනතාවක් අවිධිමත් ආර්ථිකයේ වැඩ කරති. අප්‍රිකාවේ රැකියා වලින් සියයට 86 ක් අවිධිමත් රැකියාවන අතර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ එය සියයට 68 ක් ද අරාබි රාජ්‍යයන්ගේ සියයට 69 ක්, ඇමරිකාවේ සියයට 40 ක් සහ යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ සියයට 25 ක අගයක් ගනී. ප්‍රමානවත් නොවන, අස්ථායී සහ අනාරක්ෂිත ආදායම මෙන්ම දිගු පැය ගනනක් හා අප්‍රමානවත් ඉඩකඩ, නිරන්තර හිරිහැර, හා බියගැන්වීම් සහිත රුදුරු සේවා කොන්දේසි වලින් මෙම රැකියා යුක්ත වෙයි. 

බොහෝමයක් අප්‍රිකානු කම්කරුවෝ ගෝලීය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ට වැඩි පංගුවකට හිමිකම් කියන සංචාරක හා ඒ ආශ්‍රිත ප්‍රවාහන කර්මාන්ත මත යැපෙන අතර එම ක්ෂේත්‍රය නුදුරු අනාගතයේ යථා තත්වයට පත්වෙතැයි අපේක්ෂා කල නොහැක. ගෝලීය ආර්ථික පසුබෑම හේතුවෙන් අප්‍රිකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 ක් වන ස්වාභාවික සම්පත් සඳහා ඉල්ලුම පහත වැටෙමින් තිබේ. තඹ සහ තෙල් දැනටමත් ඒවායේ අඩුම මිල ගනන්වලට අලෙවි කරමින් සිටී.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය කොවිඩ්-19 හි ආර්ථික බලපෑම පිලිබඳ පුරෝකථනයක් ලබා දෙන නමුත් එය වඩා විශාල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2008 දී ඇන්ගෝලාවේ දදේනි වර්ධනය සියයට 13.2 ක් වූ අතර එය 2009 දී සියයට 0.6 ක් දක්වා පහත වැටුනු අතර නයිජීරියාව සියයට 6 සිට සියයට 3 දක්වා පහත වැටුනි. උප සහරා අප්‍රිකානු රටවල් ඔවුන්ගේ දදේනියේ වර්ධනය සියයට 5 සිට සියයට 2.5 ක් දක්වා පහත වැටී ඇති බව අත්දැකි අතර එය ජනගහන වර්ධන වේගයත් සමග කිසිසේත් ප්‍රමානවත් නොවේ. 

සමහර රටවල දදේනි සියයට 10 ක් වන විදේශ ප්‍රේෂන දැනටමත් බලපෑමට ලක්ව තිබේ. ගොඩනැගිලි ඉදි කිරීමට, වැඩිහිටියන් සහ රෝගාතුර වූවන් බලා ගැනීමට, ආහාර පිලියෙල කර ගැනීමට විශාල වශයෙන් සංක්‍රමනික කම්කරුවන් මත යැපෙන සවුදි අරාබිය, ගල්ෆ් රාජ්‍යයන්, හොංකොං, තායිවාන් සහ තවත් ආර්ථිකයන් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ආර්ථිකයන් වසා දැමීම හේතුවෙන් දකුනු ආසියාව, පිලිපීන දූපත් සහ මැදපෙරදිග රටවල විදේශ විනිමය ඉපයීම්වල ප්‍රධාන අංශයක් වන ප්‍රේෂන ගලා ඒමේ පහල බැසීම අත්දකිමින් සිටී. නැවත පැමිනෙන කම්කරුවන් වේගයෙන් වර්ධනය වන විරැකියාවට එකතු වනු ඇත.

එක්සත් ජනපදයෙන් පසු ලොව විශාලතම ප්‍රේෂන ප්‍රභවය වන ගල්ෆ් කලාපයේ සංක්‍රමනික කම්කරුවෝ 2017 දී ඩොලර් බිලියන 119 ක් තම රටවල යැවූහ. සවුදි අරාබියේ මිලියන 33 ක් වන ජනගහනයෙන් තුනෙන් එකක් පමන විදේශීය ශ්‍රමිකයන් එරට පෞද්ගලික අංශයේ ශ්‍රම බලකායෙන් සියයට 80 ක් නියෝජනය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනගහනයෙන් සියයට 80 ක් පමන සංක්‍රමනිකයන් වේ.

මෙම තත්වයන් යටතේ, සාමාන්‍යයෙන් පුද්ගලික ආරක්ෂන උපකරන හෝ සනීපාරක්ෂක උපකරන නොමැති එහෙත් අඛන්ඩව වැඩ ඇති ඕනෑම රැකියා අවස්ථාවක නිරතවීම හැර වෙනත් විකල්පයක් කම්කරුවන්ට නැත. රැකියාවට යාම යනු සාඩින් ටින් ආකාරයෙන් අධික ලෙස ජනයා පිරවූ බස් රථවල හෝ හවුල් සේවා කුලී රථවල නැග, රථවාහන තදබදයක සිරවී සිටීම වන අතර වැඩි පිරිසක් ආසාදනවලට නිරාවරනය වීමකි.

ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබී අහමඩ් ජී 20 රටවලින් අප්‍රිකාවේ ගෝලීය කොවිඩ් 19 හදිසි මූල්‍ය පැකේජයට ඩොලර් බිලියන 150 ක ආධාර පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. මෙම මුදල වෙන් කෙරුනත්, අධිරාජ්‍යවාදී ආධිපත්‍යය, ධනපතිවාදී හිමිකාරීත්වය සහ නිෂ්පාදනය යන ආර්ථික හා දේශපාලන සම්බන්ධතාවල පවතින වර්තමාන අර්බුදයේ මූලයන්ට එයින් විසඳුමක් පැන නොනගිනු ඇත.

කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ඇතුලුව ලෝකයේ දුප්පත්ම රටවල ජනගහනය විශාල වශයෙන් මුහුන දෙන දරුනු දරිද්‍රතාවයෙන් හා කුරිරු සූරාකෑමෙන් මිදීමේ මාර්ගය වන්නේ අධිරාජ්‍යවාදී සූරාකෑමේ ක්‍රියාවලිය මධ්‍යයේ මුලසුන දරමින් අවිචාර හා දූෂිත ආකාරයන්ගෙන් සැපවත්ව ජීවත්වන ජාතික ධනපති පන්තියට එරෙහිව අරගලයක් තුලින් පමනි. 

මෙය ඉල්ලා සිටින්නේ රාජ්‍ය බලය හා සමාජවාදය සඳහා සටන් වඳින කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන ව්‍යාපාරයක වර්ධනයයි. අප්‍රිකාවේ, මැදපෙරදිග, ලතින් ඇමරිකාව, ආසියාව සහ පැසිෆික් දූපත් වල කම්කරුවන්ගේ මිත්‍ර පාක්ෂිකයින් වන්නේ ජී 20 නායකයින් නොව, පවත්නා සමාජ පර්යාය පෙරලා දමා ගෝලීය පරිමානව ධනය යලි බෙදාහැරීමේ සහ ජාත්‍යන්තර පරිමානව සම්බන්ධීකෘත ආර්ථික සැලසුම් ක්‍රියාවේ යෙදවීම මගින් පෙර නොවූ සමාජ පරිහානිය වලක්වා ගැනීමට සමත් එකම බලවේගය වන ලෝක කම්කරු පන්තියයි. 

Loading