කොවිඩ්-19 වසංගතයට එරෙහි ඉරානයේ සටනට, ජාමූඅ නය සැපයීම එක්සත් ජනපදය විසින් කඩාකප්පල් කරයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 11 දින ඉංග්‍රීසි බසින් පලවින.

කොවිඩ්-19 වසංගතයේ දරුනු ඇවිලයාමට එරෙහිව සටන් කිරීමට ඩොලර් බිලියන 5 ක හදිසි නයක් සඳහා ඉරානය කරන ලද ඉල්ලීම අවහිර කිරීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) තීරන කෙරෙහි වොෂින්ටනයට ලැබී තිබෙන  නිෂේධ බලය භාවිතා කරන බව එක්සත් ජනපද නිලධාරීන් මේ සතියේ පැහැදිලි කලේය. 

 හදිසි සලකා බැලීම සඳහා මාර්තු 14 වන දින, ඉරානය ඉල්ලීම ඉදිරිපත් කල නමුත් තවමත් පිිලිතුරක් ලැබී නැත. මේ අතර 10දා වන විට වෛරස් රෝගීන්  68,000 ඉක්මවා ඇති අතර මරන සංඛ්‍යාව 4,200 කට වඩා ඉහල ගොස් තිබේ. මෙම සංඛ්‍යා දෙකම මාරාන්තික වෛරසයේ සැබෑ සංඛ්‍යාව අවතක්සේරු කරන බව විශ්වාස කෙරේ.

එක්සත් ජනපද “උපරිම පීඩන” සම්බාධක වැඩසටහන මගින්, ඉරානය තුල කොවිඩ්-19 වසංගතයෙහි බලපෑම උත්සන්න කරන අතර එය එරටට එරෙහි යුද්ධයකට සමානය. ටෙහෙරානය සහ ප්‍රධාන බලවතුන් අතර වසර තුනකට පෙර ඇති වූ න්‍යෂ්ටික ගිවිසුම ඒකපාර්ශවිකව අවලංගු කල 2018 නොවැම්බර් මාසයේ සිට, ට්‍රම්ප් පරිපාලනය,  ඒවා දැඩි කර ඇති අතර, සම්බාධක මගින් රටේ ආර්ථිකය අඩපන වී, ඖෂධ සහ වෛද්‍ය උපකරන  සැපයීම කඩාකප්පල් වී තිබේ.

ජාමූ අරමුදලෙන්  ඉරානය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සීඑන්එන් වෙත මෙසේ පැවසීය: “ලෝකයේ ප්‍රමුඛ පෙලේ ත්‍රස්තවාදී අනුග්‍රාහකයා, ඉරානයේ වැසියන්ට ඖෂධ මිලදී ගන්නවාට වඩා, විදේශයන්හි සිය අවදානම් කටයුතු වලට අරමුදල් සෙවීම ගැන උනන්දුය. පාලන තන්ත්‍රයේ දූෂිත නිලධාරීන්ට,  මානුෂීය අවශ්‍යතා සඳහා වෙන් කර ඇති අරමුදල් සිය සාක්කුවලට සහ  ත්‍රස්තවාදී හිතවතුන්ට හරවා යැවීමේ දීර්ඝ  ඉතිහාසයක් ඇත. ”

ඒ ආකාරයටම එක්සත් ජනපද භාන්ඩාගාර දෙපාර්තමේන්තු නිලධාරියෙකු ප්‍රකාශ කලේ, “ජාමූඅ වෙතින් මුදල් ලබා ගැනීම සඳහා ඉරානය කල ඉල්ලීම පිලිබඳව එක්සත් ජනපදය දන්නා අතර, පාලන තන්ත්‍රයේ අශිෂ්ට හා අස්ථාවර ක්‍රියාකාරකම් පෝෂනය කිරීම සඳහා යොදා ගත හැකි අරමුදල් අතීතයේ දී මෙන්, ඉරානයට  සැපයීමට අපි විරුද්ධ වෙමු. අවාසනාවකට මෙන්, ඉරාන මහ බැංකුව කලාපය පුරා ත්‍රස්තවාදයට මුදල් යෙදවීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වී ඇති කොන්දේසි යටතේ, කොරොනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එම අරමුදල් යොදවනු ඇතැයි අපට විශ්වාසයක් නැත. ”

ජාමූඅ අධ්‍යක්ෂ මන්ඩලය තුල විශාලතම ඡන්ද බලය ඇති වොෂිංටනයට, තමන් විරුද්ධ ඕනෑම තීරනයකට එරෙහිව නිෂේධ බලය පාවිච්චී කිරීමේ හැකියාව ඇත. එක්සත් ජනපද විරුද්ධත්වය පැහැදිලිව ඇත්නම් මන්ඬලය  ඡන්ද විමසීම ගැන වෙනත් යෝජනා ඉදිරිපත් නොකිරීම සාමාන්‍ය තත්වයයි.

රට යටත් කර ගැනීම සහ ජනාධිපති නිකොලස් මදුරෝ ආන්ඩුව පෙරලා දැමීම අරමුනු කරගත් සම්බාධක වැඩසටහන යටතේ වෙනිසියුලාව,  ඩොලර් බිලියන 5 ක හදිසි නයක් ඉල්ලා පසුගිය මාසයේ දී ජාමූඅට කරන ලද එවැනිම ඉල්ලීමක් එක්සත් ජනපදයේ බලපෑම් හමුවේ ජාමුඅ විසින්  ප්‍රතික්ෂේප කරන ලදී. “ජාත්‍යන්තර ප්‍රජාව” මදුරෝගේ පරිපාලනය පිලිගෙන තිබේ ද යන්න හෝ එක්සත් ජනපදයේ පිටුබලය ලබන දක්ෂිනාංශික දේශපාලනඥයෙකු වන ජුවාන් ගයිඩෝ නීත්‍යානුකූල පාලකයා ලෙස පිලිගෙන තිබේද යන්න පිලිබඳ “පැහැදිලි කිරීමක්” නොමැති බව පවසමින් ජාමූඅ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය.

මෙම ආස්ථානයේ නරුමත්වය ඇති තරම් පැහැදිලිය. මදුරෝ ආන්ඩුව වෛද්‍ය ප්‍රතිකාර සහ ආධාර සපයන සියලුම ආයතන පාලනය කරන අතර, ගයිඩෝ කිසිවක් පාලනය නොකරයි. විකාර ප්‍රකාශයට පිටුපසින් ඇති ජාමූඅ අභිප්‍රාය විනිවිද පෙනෙන සුලුය: තෙල්වලින් පොහොසත් දකුනු ඇමරිකානු රට, එක්සත් ජනපද අවහිර වලින් ඇති වූ හානි අවම කිරීමට කොපමන ජීවිත අහිමි වුවද කිසිවක් නොකල යුතුය, .

ජාමූඅ නයක් සඳහා වෙනිසියුලාව කල ඉල්ලීම කඩාකප්පල් කිරීමෙන් පසුව වොෂින්ටනය, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සනාථ නොකල චෝදනා මත පදනම්ව, මදුරෝගේ හිසට ඩොලර් මිලියන 15 ක ත්‍යාගයක් පිලිගන්වමින් හා එක්සත් ජනපද යුද නැව් සමූහයක් වෙනිසියුලානු වෙරල තීරයට යවමින් සිය ආක්‍රමනශීලීත්වය දැඩි කර ඇත. 

8දා ටෙහෙරානයේ පැවති කැබිනට් රැස්වීමක දී ජනාධිපති හසන් රුහානි, ඉරානයට එරෙහිව “වෛද්‍ය ත්‍රස්තවාදය” යොදාගැනීම සම්බන්ධයෙන් වොෂින්ටනයට චෝදනා කෙලේය. ජාමූඅ නය අවහිර කිරීම ගැන සඳහන් කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “වර්තමාන තත්වයන් යටතේ ඉරාන ජාතියට දිගින් දිගටම පීඩනය යෙදීම පිලිබඳව ඇමරිකානු පාලක පන්තිය  ඓතිහාසිකවම අපකීර්තියට පත් වනු ඇත.”

ඉරානය ජාමූඅ හි ආරම්භක සාමාජිකයෙකු බවත් වසර 50 ක් තුල ඒජන්සියෙන් කිසිදු ආකාරයක නයක් ඉල්ලා නැති බවත් රුහානි සහ ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මාටි යන දෙදෙනාම අවධාරනය කර තිබේ.

වසංගතයට එරෙහි ගෝලීය අරගලයකට පහසුකම් සැලසීම සඳහා සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්එච්ඕ) ඉල්ලා තිබේ. එක්සත් ජනපද සම්බාධක “වෛද්‍ය ප්‍රයත්නයට බාධාවක්” වන අතර ඉරානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය “බිඳවැටීමට” හේතු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට් මේ සතියේ අනතුරු ඇඟවීය.

පැවසිය හැකි අකාරයටම එවැනි ආයාචනා මගින් වොෂින්ටනය නොනැමෙනු ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෛරස් වසංගතය දකින්නේ, සිය ආධිපත්‍යය සඳහා වන ගෝලීය යුද්ධයේ තවත් මෙවලමක් ලෙස ය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 8දා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී, ඉරානයට එරෙහි, “සම්බාධක ගැන මිනිසුන් කතා කරනු මා අසා ඇත. මානුෂීය ආධාර, වෛද්‍ය සැපයුම්, ඖෂධ ඉරානයට ගෙනයාම වලක්වන  සම්බාධක කොහේවත් නැති බව ලෝකයම දැනගත යුතුය. ” එක්සත් ජනපදය ඉරානයට මානුෂීය ආධාර යැවීමට ඉදිරිපත් වූ බව ද ඔහු කියා සිටියේය.

මෙය බොරුවේ මූනත් තහඩුවක් බව එක්සත් ජනපද පරිපාලනය දනී. එක්සත් ජනපද සම්බාධක නීති සම්පාදනය කල භාෂාව අනුව, මානුෂීය හා වෛද්‍ය සැපයුම් ද ආහාර ද ඉන් නිදහස් වන නමුත්, “උපරිම පීඩන” බලපෑම ක්‍රියාත්මක වන විට මෙම නිදහස් කිරීම් අර්ථ විරහිතය.

රට සමඟ මූල්‍ය ගනුදෙනු වල යෙදෙන ඕනෑම කෙනෙකුට එරෙහිව ද්විතීයික සම්බාධක පනවන බවට තර්ජනය කරමින් වොෂින්ටනය ඉරානයේ මහ බැංකුව ත්‍රස්තවාදී ආයතනයක් ලෙස හංවඩු ගසා ඇත. අතිරේක සම්බාධක මගින් ඉරානය ස්විෆ්ට් (ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සංගමය) වෙත ප්‍රවේශ වීම වැලැක්වෙන අතර ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේ හැකියාව තවදුරටත් අඩපන කරයි. කඩදාසි මත කුමන නිදහස් කිරීම් තිබුනත්, ඉරානය සමඟ කෙරෙන ඕනෑම ගනුදෙනුවක් එක්සත් ජනපද පලිගැනීමට විවෘත වනු ඇතැයි සමාගම් සහ බැංකු බිය වෙති.

ඉරාන විරෝධී සම්බාධක බලාත්මක කිරීමේ වගකීම දරන වොෂිංටනයේ ප්‍රධාන ආයතනය වන එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) 2017 සහ 2018 දී ඉරානයට මානුෂීය ද්‍රව්‍ය අපනයනය කිරීම සඳහා ඉල්ලා සිටි බලපත්‍ර  වලින් සියයට 14 ක් පමනක් අනුමත කලේය. එපමනක් නොව, එවැනි අයදුම්පත් 2016 දී 220 සිට 2019 දී 36 දක්වා පහත වැටී ඇති අතර එය සම්බාධක තන්ත්‍රයේ තැතිගන්වන සුලු බලපෑම පෙන්නුම් කරයි.

එක්සත් ජනපද සම්බාධකවල බලපෑම යටතේ ඉරාන සෞඛ්‍ය සේවා පද්ධතියේ කුරිරු පරිහානියට ඉහලින් එල්ලවී තිබෙන කොවිඩ්-19 වසංගතයේ බලපෑම හමුවේ වෛද්‍යවරුන්ට, රෝහල්වලට සහ ඖෂධ ගබඩාවලට අත්‍යවශ්‍ය ඖෂධ, සැපයුම් සහ උපකරන ලබා ගැනීමට නොහැකි වීම නිසා පිලිකා හා වෙනත් රෝග වලින් ඉරාන පිරිමින්, කාන්තාවන් සහ ලමුන් දහස් ගනනක් මරුමුවට පත්ව ඇත.

වොෂින්ටනය ඉරානයට ආධාර ලබා දුන් බවට කරන ප්‍රකාශයේ යථාර්ථය නම්, පොම්පියෝ කයිවාරු ගසන ආකාරයට කොරෝනා වෛරසයට එරෙහි සටනට ආධාර කිරීම සඳහා එක්සත් ජනපදය පසුගිය මාසය අවසානයේදී, ලෝකයටම ඩොලර් මිලියන 275 කට වඩා අඩු මුදලක් ලබා දී ඇති බවයි. ඉරානයට පිරිනමන මුදල එම සංඛ්‍යාවෙන් දහයෙන් එකකටත් වඩා අඩුය. එක්සත් ජනපදයේ සම්බාධක මගින් ඉරානයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන තෙල් අපනයනය සහ විදේශ ආයෝජන අවහිර කිරීම මගින් සිදුව ඇති අලාභය ඇස්තමේන්තු ගත ඩොලර් බිලියන 200 සමඟ බලන කල එය කජු කන්ටවත් මදිය. මෙම සොච්චම් “ආධාරය“, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන වොෂින්ටන් ව්‍යායාමයේ ට්‍රෝජන් අශ්වයෙකු ලෙස පමනක් සේවය කරයි.

මේ අතර, එක්සත් ජනපද මිලිටරියේ පහල මට්ටමේ සෙබලු ගොදුරු කර ගැනීම ද ඇතුලුව වෙනිසියුලාව තුල වෛරසය පැතිරීම මඟින්, ඉරානයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි තර්ජන නතර වී නැත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 1 වන දින ඉරාකය වාඩිලාගෙන සිටින එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකට ලක් වුවහොත්, ඉරානයට “ඉතා විශාල මිලක් ගෙවීමට සිදුවන බවට කල තර්ජනය” පිටුපසින්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදපෙරදිග සහකාර ලේකම් ඩේවිඩ් ෂෙන්කර් 9දා කියා සිටියේ, ඉරාන පිටුබලය ලබන මිලීෂියාවන් ඉරාකය වාඩිලාගත් එක්සත් ජනපද හමුදාවන්ට “සැලකිය යුතු” තර්ජනයක් එල්ල කරන බවයි.

එක්සත් ජනපද වාඩිලා ගැනීමේ හමුදාවන්ට ප්‍රමානවත් ආරක්ෂාවක් ලබා දීමට ඉරාක රජය අපොහොසත් වීම ගැන වොෂින්ටනය “දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින” බව ඔහු පැවසීය.  ඉරාක ආන්ඩුවේ අවසරයකින් තොරව පෙන්ටගනය පේට්‍රියට් මිසයිල පද්ධතීන් යුගලයක් ඉරාකයට ගෙනැවිත් ඇති අතර, එක්සත් ජනපදය ප්‍රමුඛ විදේශ බලවේගයන් රටෙන් සම්පූර්නයෙන්  ඉවත් කරන ලෙස ඉල්ලන යෝජනාවක් ජනවාරි මාසයේ ඉරාක පාර්ලිමේන්තුව ඡන්දයෙන් සම්මත  කලේය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විදේශ ප්‍රතිපත්තිය එහි දේශීය ප්‍රතිපත්තියේ දිගුවකි. එක්සත් ජනපද පාලක කතිපයාධිකාරය වසංගතය උපයෝගී කර ගනිමින් ඇමරිකානු කම්කරුවන් මත දරුනුම සූරාකෑමක් පැටවීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා සේම, රෝගය විදේශයන්හිදී සිය කොල්ලකාරී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා, මෙම රෝගය ආයුධයක් ලෙස යොදා ගැනීමට ද උත්සාහ කරයි.

Loading