“ පද්ධතිය කෙරෙහි මාගේ විශ්වාසය භංගවී ඇත”

තනතුරෙන් පහ කල පර්යේෂක මෞරෝ ෆෙරාරි, කොවිඩ්-19 පිලිබඳ යුරෝපීය සංගමයේ අකාර්යක්ෂමතාව හෙලා දකී

මෙම ලිපිය 2020 අප්‍රේල් 13 දින  ඉංග්‍රීසි බසින් පල කෙරින.

පසුගිය 7 වන දින කීර්තිමත් නැනෝ වෛද්‍ය පර්යේෂක මෞරෝ ෆෙරාරිට යුරෝපීය පර්යේෂන කවුන්සිලයේ (ඊආර්සී) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. කොවිඩ්-19 ට එරෙහි සම්බන්ධීකරන සටනක දී යුරෝපා සංගමය (යුසං) හරහා විද්‍යාඥයින් බලමුලු ගැන්වීමට ඔහු දැරූ උත්සාහයට ඊආර්සීහි විද්‍යාත්මක සභාව විරුද්ධ විය.

ෆෙරාරි නෙරපා හැරීම, යුරෝපීය ධනවාදයේ දේශපාලන හා ඊට ඇතුලු කල හැකි සදාචාරාත්මක බංකොලොත්කම ද පිලිබඳ විනාශකාරී චෝදනාවකි. ෆෙරාරි සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන්, යුරෝපා සංගමය හිතාමතාම වසංගතය කෙරෙහි පල කල උදාසීනත්වය හෙලා දකින අතර, රෝගීන් සංඛ්‍යාව මිලියනයකට ආසන්නව ඉහල නඟිමින් ඇත. යුරෝපයේ මරන 80,000 කට වඩා වැඩියෙන් වාර්තාවී ඇත. මේ සියල්ල සිදුව තිබෙන්නේ, චීනයේ සහ දකුනු කොරියාවේ වෛරසය පැතිර යාම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරය කිරීම මඟින් මැඩපවත්වා කලකට පසුවය. ලොව පුරා මේ වන විට කොවිඩ්-19 රෝගීන් මිලියන 1.8 කට වැඩි සංඛ්‍යාවක් සහ මරන 113,000 ක් වාර්තා වී තිබේ.

ෆෙරාරි සිය ලිපිය ආරම්භ කරන්නේ, “කරුනාකර මට සමාවන්න, නමුත් දැන් ප්‍රමුඛතාවය ගන්නේ වසංගතය නැවැත්වීම බව මම විශ්වාස කරමි. ප්‍රමුඛතාවය වන්නේ මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමයි. ... මම සමාජ සේවයේ දී විද්‍යාව, විශේෂයෙන් එය වැඩිපුරම අවශ්‍යව ඇති විට, විශ්වාස කරමි. දැන් එය වැඩිපුරම අවශ්‍යව තිබේ. කොවිඩ්-19  සහ එහි අනුප්‍රාප්තික වසංගත කවදා හෝ පරාජයට පත් කල හැක්කේ විද්‍යාව තුලින් පමනක් වීම නිසාය ඒ. ”

මෞරෝ ෆෙරාරි (මැද), ස්විට්සර්ලන්තයේ ඩවොස් හි 2020 දී ලෝක ආර්ථික සංසදයේ මාධ්‍ය සාකච්ඡාවකට පෙනීසිටිමින් (ඡායාරූප අනුග්‍රහය/ ලෝක ආර්ථික සංසදය)

කොවිඩ්-19  වසංගතය ආරම්භ වන 2020 ජනවාරි මාසයේදී  ඔහු ඊආර්සී සභාපති ධුරයට පත්විය. ඉතාලියේ උඩිනේහි කම්කරු පන්ති ප්‍රදේශයක සිට පැමිනි ෆෙරාරි, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය ලබා ඇමරිකාවේ පර්යේෂන කල අතර 1995 දී ඔහුගේ පලමු බිරිඳ මාරිලූසා පිලිකාවක් හේතුවෙන් හදිසියේම මිය ගිය පසුව ජෛව වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට  පිවිසියේය. පසුගිය වසරේදී ඔහු “ඒකච්ඡන්දයෙන්”  ඊආර්සී  සභාපති ධුරයට පත්කර ගත්තේය.   “පර්යේෂන ක්ෂේත්‍රයේ සහ එහි අත්හදා බැලීම් ක්ෂේත්‍රයේ  පොහොසත් හා විවිධ පසුබිමක් ඇති, දක්ෂ විද්‍යාඥයෙකු හා නායකයෙකු වූ ඇමරිකා එක්සත් ජනපදයේ වෘත්තිය කාර්යධරයෙක්“ ලෙස ෆෙරාරි පැසසුමට ලක් විය.

ෆෙරාරි  ඊආර්සීයට නායකත්වය දීම සඳහා නැවත යුරෝපයට ගියේය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇති පරිදි,  “එක්සත් යුරෝපයක් පිලිබඳ දෘෂ්ටිමය සිහිනය සඳහා කැපවීම ද ලෝකයේ අවශ්‍යතා සපුරාලීම පිලිබඳ මගේ විශ්වාසය ද” පදනම් කරගෙන ඔහු පැමින ඇත.

ඔහු මෙසේ ද පවසයි. “මා තනතුරට පත්වී ගතවූ මාස තුන ඇතුලත එම දෘෂ්ටිමය අභිප්‍රේරනයන් වෙනස් යථාර්ථයක් හමුවේ බිඳ වැටුනි. නොඉවසිලිමත් පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා, මා සිතූවාට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ලෝකයක් පිලිබඳ  අයිස් මෙන් සීතල වේදනාකාරී සිදුවීම් වලට ඉඩදී අයින්විය. කොවිඩ්-19  වසංගතය, මා හට කෙතරම් වැරදී ඇත්දැයි අනුකම්පා විරහිත ආලෝකයකින්  බබලමින් පෙන්වයි. හදිසි අවස්ථා වලදී මිනිසුන් සහ ආයතන, ඔවුන්ගේ ගැඹුරු ස්වභාවය වෙත ආපසු හැරෙමින් ඔවුන්ගේ සැබෑ ස්වභාවය හෙලිදරව් කරයි. ”

මිලියන ගනනක් මිනිසුන්ගේ ඉරනමට පිටුපස හරවන යුරෝ සංඟමය, ධනේශ්වර වංශාධිපතිත්වයේ දූෂිත මෙවලමක් බව කොවිඩ්-19  වසංගතය මඟින්, හෙලි කලේය. යුරෝපීය මහ බැංකුව  ඩොලර් බිලියන 750 ක ඇපයක් බැංකුවලට ලබා දුන් අතර, පසුව සෑම ප්‍රධාන යුරෝ කලාපීය රටකින්ම යුරෝ බිලියන සිය ගනනක ඇප ලබා ගනිද්දී, යුරෝපා සංගම් නිලධාරීන් තරයේ කියා සිටියේ, මෙම මාරාන්තික රෝගය පැතිරීම නතර නොකරන බවයි. ඒ වෙනුවට, ඔවුන් එය ජනතාවට ආසාදනය වීමට ඉඩ හරිනු ඇත. බේරෙන කම්කරුවන් විශාල සංඛ්‍යාවක් එක්සත් රාජධානියේ නිලධාරීන් “රංචු ප්‍රතිශක්තිය” ලෙස හඳුන්වනු ලැබූ තත්වයට පත්වනු ඇතැයි සලකනු ලැබින. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මිනිස් ජීවිත කෙරෙහි ඇති  උදාසීන ආකල්පය පෙන්නුම් කරමින් සන්සුන් ලෙස අනාවැකි පල කලේ, ජර්මානුවන්ගෙන් සියයට 70-90 ක් (මිලියන 56-72 ක ජනතාවක්) රෝගයට ගොදුරු වනු ඇති බවටයි.

යුරෝපා සංගමය අසල්වැසියා හිඟමනට දමනු ප්‍රතිපත්තිය අනුගමනය කල අතර, බර්ලිනය සහ පැරිසිය, ඉතාලිය වැනි රටවලට අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් අපනයනය කිරීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ එම රටවල්, කොවිඩ්-19 දරුනුම ගොදුරක් විය. වසංගතයට එරෙහිව හා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කල අරගලයක් වෙනුවෙන් පෙනී සිටි විද්‍යාඥයන් සමඟ යුරෝපා සංගමය ගැටුම් මාලාවක් ඇති කර ගත්තේය. ෆෙරාරි පැහැදිලි කරන්නේ:

වසංගතය පෙර නොවූ විරූ පරිමානයක ඛේදවාචකයක් වනු ඇති බව පැහැදිලි වන විට, යුරෝපීය පර්යේෂන සභාව, කොවිඩ් -19 සමඟ සටන් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් සකස් කල යුතු යයි මම යෝජනා කලෙමි. මරනය, වේදනාව, සමාජ පරිවර්තනයේ සහ ආර්ථික විනාශය, විශේෂයෙන් ලෝක සමාජයේ අඩු වාසනාවන්ත, දුර්වලම රටවලට මුහුන පෑමට බලකෙරෙන තත්වයක් තුල, මෙය යුක්ති සහගත යැයි මම විශ්වාස කලෙමි. මෙවැනි වේලාවක වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සම්පත් හා අවස්ථාවන්, ලෝකයේ හොඳම විද්‍යාඥයින්ට ලබා දිය යුතු යැයි මම සිතුවෙමි. නව ඖෂධ, නව එන්නත්, නව රෝග විනිශ්චය මෙවලම්, විද්‍යාව මත පදනම් වූ නව චර්යාත්මක ගතික ප්‍රවේශයන්, බොහෝ විට දේශපාලන නායකයින්ගේ බාල  අභිප්‍රායන් වෙනුවට ආදේශක ලෙස යොදාගත හැකි යයි මම කල්පනා කලෙමි..

ෆෙරාරි කියන්නේ ඔහුගේ යෝජනා,  “යුරෝපීය කොමිෂන් සභා පරිපාලනයේ විවිධ ස්ථරයන් වෙත යවන ලද බවය. මම විශ්වාස කරන්නේ  බලපෑම් හමුවේ ඒවා බිඳී ගිය බවයි. කොවිඩ්-19 කෙරෙහි පලවූ යුරෝපීය ප්‍රතිචාරය ගැන මම අතිශයින් කලකිරීමට පත්ව සිටිමි ... සාමාජික රටවල් අතර සෞඛ්‍ය ආරක්ෂන ප්‍රතිපත්ති සම්බන්ධීකරනය නොකිරීම, සාමූහික මූල්‍ය ආධාර සඳහා මුල පිරීම් කෙරෙහි වන විරෝධය,  ඒකපාර්ශ්විකව දේශසීමා වැසීම සහ ආන්තික පරිමානයකින් සහ ජීව විද්‍යාත්මක ප්‍රවේශයන්ට දක්වන විරෝධය. ”

ෆෙරාරි ඊආර්සී සභාපති ධුරයට පත්වන විට ඔහුට යුරෝපා සංගමය පිලිබඳව මිත්‍යාවන් පැවතීමේ කාරනය, පසුගිය මාස තුනේ කටුක අත්දැකීම් සහිතව, යුරෝපා සංගමය පිලිබඳව ඔහු අද ඉදිරිපත් කරන වඩාත් බලවත්  තීන්දුව කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිකර තිබේ.

ෆෙරාරි මෙසේ ලියයි. “ප්‍රසිද්ධියේ හා විනිවිදභාවයෙන් යුතුව මගේ හෘද සාක්ෂියට එකඟව ලබා දෙන උපදෙස් පිලිපදින බවට ප්‍රතිඥා දුන්න ද,  විද්‍යාවේ පාලනය සහ යුරෝපා සංගමයේ දේශපාලන මෙහෙයුම් යන දෙකම පිලිබඳ සෑහෙන අත්දැකීම් මට ලැබින. මෙම දිගු මාස තුන තුල, ඊආර්සී සහ යුසං  විවිධ මට්ටම්වල සිටින විශිෂ්ට සහ කැපවූ පුද්ගලයන් මට හමු වී ඇත. කෙසේ වෙතත්, පද්ධතිය කෙරෙහි තිබුන මාගේ විශ්වාසය  භංඟවී තිබේ. ”

ෆෙරාරි නෙරපා හැරීම පිලිබඳ ඊආර්සීහි ප්‍රකාශය පරීක්ෂා කිරීමෙන් ඔහුගේ විවේචනවල වලංඟු භාවය පෙනී යයි. ෆෙරාරිගේ විද්‍යාත්මක වාර්තාව ගැන කලින් කල ප්‍රශංසාවෙන් අංශක 180 ක් ආපසු හැරෙමින් එය ප්‍රකාශ කරන්නේ,  පරියේෂකයින් විසින්ම යෝජනා කරන ලද පරියේෂන අරමුදල වන “ඊආර්සී හි රයිසන්-ඩිට්‍රේ කෙරෙහි පූර්න විශ්වාස භංඟයක්“ ඔහු ප්‍රදර්ශනය කල බවයි. ඒ අතරම, “දීර්ඝ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කිරීම”, යුරෝපා සංගම් කොමිසමට “පුද්ගලික මැදිහත්වීම්” කිරීම සහ වසංගතය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා “සමහර ශාස්ත්‍රීය හා සමහර වානිජ වන බාහිර ව්‍යවසායන්, ” සමඟ කටයුතු කිරීම පිලිබඳව ඔහු වක්‍රොත්තියෙන් විවේචනය කරයි.

කොවිඩ්-19 වැඩසටහනක් ඇතුලුව “නව වැඩසටහන් සංවර්ධනය කිරීමේදී දැනටමත් ඉතා ක්‍රියාකාරී” බව පවසමින් ඊඅර්සී ප්‍රකාශය තමන්ගේ වාර්තාව ද ආරක්ෂා කරයි.

මෙය ඉතා කනගාටුදායක කරනමකි. වසර ගනනාවක් යනතෙක් වෛරස් පර්යේෂන සඳහා දක්වන සහයෝගයේ “මුලු වටිනාකම යුරෝ මිලියන 100 ක් පමනක්” බව ඊආර්සී ප්‍රකාශය කියයි. මෙයින් අදහස් කරන්නේ, කොවිඩ්-19,  ලොව පුරා මිලියන ගනනක් මරා දමා මිලියන සිය ගනනක් විරැකියාවට ඇද දැමීමට තර්ජනය කලත්, ඊආර්සී සිය හොරයිසන් යුරෝපා අරමුදලින් ගන්නා  යුරෝ මිලියන 100ට වඩා ඒ වෙනුවෙන් වැය නොකරන බවයි. එය යුරෝ බිලියන 100ක් වන හොරයිසන් අරමුදලේ අගයෙන් සියයට 0.1 ක් පමනි. මේ අතර යුරෝපා සංගමය යුරෝ බිලියන සිය ගනන් වලින් සුපිරි ධනවතුන්ගේ සාක්කු පුරවයි.

ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ අපකීර්තිමත් විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරනවල ප්‍රමුඛ ආධාරකරුවෙකු වන සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ සභාපති ජීන් චම්බාස්, යුරෝපීය පර්යේෂන විශ්ව විද්‍යාල සංගමයේ (එල්ඊආර්යූ) ප්‍රධානියා ලෙස ෆෙරාරිට පහර දෙන  ලිපියක් ලියා තිබේ. ස්ටැලින්වාදී ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ (පීසීඑෆ්) මධ්‍යම කමිටු සාමාජිකයෙකුගේ පුතෙකු වන චම්බාස් ඒ තුල,  “ස්වාධීන පහල මට්ටමේ පර්යේෂනවල වැදගත්කම” සහ “මෙම විවෘත හා නිදහස් පර්යේෂන වලට සහාය දැක්වීමේදී” ඊආර්සී හි කාර්යභාරය පිලිබඳව ෆෙරාරිට උපදෙස් දෙයි. 

කොවිඩ්-19 පිලිබඳ ඊආර්සී වාර්තාව ආරක්ෂා කිරීමටත්, ඒ සඳහා යුරෝපා සංගමයෙන් වැඩිපුර අරමුදල් සපයා ගැනීමටත් චම්බාස් ඉදිරිපත්වේ. “එහි සාර්ථකත්වය නිසා එය ලොව පුරා අගය කරනු ලැබේ. වර්තමාන අර්බුදයෙන් ගැලවීම සඳහා යුරෝපා සංගමය සකස් කරමින් සිටින ආයෝජන සැලැස්මට ඊටත් වඩා සහාය දිය යුතුය. ”

ෆෙරාරි ඉවත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ, පවත්නා යුරෝපීය ආයතන තුලින් කොවිඩ්-19ට එරෙහි තර්කානුකූල, විද්‍යාත්මක හා ජාත්‍යන්තර පිලිවෙතක් මත සටන් කිරීමේ නොහැකියාවයි. යුරෝපය තුල වසංගතය පැතිරීම වලක්වන මහජන සෞඛ්‍ය ආරක්ෂන වැඩසටහනක් ක්‍රියාවට නඟනු ඇත්තේ කම්කරු පන්තියයි. ක්ෂනික වැඩවර්ජන හා පිටව යාම් ප්‍රන්සයේ හා ඉතාලියේ ගෙදරටවී සිටින්න පිලිවෙත් සමඟ ගැටුමක ආරම්භක ලක්ෂන පෙන්නුම් කලේය. සමාජයේ සියලු විද්‍යාත්මක හා කාර්මික සම්පත් කොවිඩ්-19ට එරෙහි සටන සඳහා බලමුලු ගැන්වීමට, යුරෝපය පුරා කම්කරු පන්තිය රාජ්‍ය බලය සඳහා අරගලයක් තුල, යුරෝපා සංඟමයට එරෙහිව බලමුලු ගැන්වීම අවශ්‍ය කෙරේ.

Loading