කොවිඩ්-19 වසංගතය උත්සන්න වීමත් සමඟ පාකිස්තානයේ සමාජ අර්බුදය තීව්‍ර වේ

මෙම ලිපිය 2020 අප්‍රේල් 9 දින ඉංග්‍රීසි බසින් පල කෙරිනි.

කොරෝනා ව‍ෛරස් වසංගතය හමුවේ පාකිස්තාන ආන්ඩුව සහ විවිධ පලාත් පරිපාලනයන් මුලුමනින්ම අවුල් සහගත තත්වයකට පත්ව ඇත. අප්‍රේල් 25 වන විට රට තුල පැතිර යන රෝගීන් සංඛ්‍යාව 50,000 ක් දක්වා වේගයෙන් ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බව එරට ප්‍රධාන සෞඛ්‍ය අධිකාරිය වන ජාතික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරනයට පවසා තිබේ.

60 ට වැඩි මරන සංඛ්‍යාවක් ද සමග කොවිඩ්-19 තහවුරු වූ සිද්ධීන් දැනටමත් (ආසාදිත පුද්ගලයින්) 4,100 ත් එහා ඉහල ගොස් තිබේ. අසල්වැසි ඉරානයට හා බටහිර රටවලට සංසන්දනය කරන විට මෙම නිල අගය සාපේක්ෂව අඩු අගයකි. කෙසේවෙතත්, වඩාත් යථාර්ථවාදී චිත්‍රය නම්, මිලියන 200 කට අධික ජනගහනයක් සහ යන්තම් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා පද්ධතියක් සහිත දරිද්‍රතාවයෙන් පෙලෙන රටේ කොරෝනා වෛරසයේ පුලුල් ව්‍යාප්තිය, රෝග පරීක්ෂාවේ අප්‍රමානවත් භාවයෙන් වැසී ඇති බවයි. 

මාර්තු 31 දා වන විට සිදු කර ඇත්තේ රට පුරා රෝග පරීක්ෂන 28,000 ට වඩා අඩු ප්‍රමනයක් බව ඩෝන් වාර්තා කරයි. පලාතේ සහ මුලු පාකිස්තානයේ විශාලතම නගරය වන කරච්චි හි මිලියන 20 කට අධික ජනතාවක් වාසය කරන නමුත් සින්ද්හි සිදු කර ඇත්තේ යන්තම් පරීක්ෂන 6,578 කි. පරීක්ෂන ධාරිතාව ඉහල නැංවීම සඳහා එය හදිසිභාවයෙන් ක්‍රියාත්මක වන බව ආන්ඩුව කියා සිටියද, මෙම බිරාන්තව දැක්වූ පතිචාරය මගින් අවධාරනය කරනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානය පුන පුනා කරන අනතුරු ඇඟවීම් තිබියදීත් රෝගය පාලනයට හා පැතිරීම වැලැක්වීමට එහි නොසැලකිල්ල සහ අසමත්කම පමනි. 

ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කල වාර්තාවේ ජාතික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය තක්සේරු කර ඇත්තේ රෝගීන් 2,392 කට දැඩි සත්කාර අවශ්‍ය වන අතර 7,024 දෙනෙකු අප්‍රේල් 25 වන විට බරපතල තත්ත්වයේ පසුවනු ඇති බවයි.

මාධ්‍ය වාර්තාවලට අනුව, කොවිඩ් -19 රෝගයෙන් බරපතල තත්වයේ පසුවන්නන් රැකබලා ගැනීමේ අත්‍යවශ්‍ය වෛද්‍ය මෙවලමක් වන ස්වසන ආධාරක යන්ත්‍ර මුලු පාකිස්තානයේම ඇත්තේ 2,200 ක් පමනි. තවත් 3,000 ක් රජය විසින් ඇනවුම් කර තිබේ. කෙසේ වෙතත්, රටේ හිඟතාවයන් ස්වසන ආධාරක යන්ත්‍ර සහ ආරක්ෂිත ආම්පන්නවලට සීමා නොවේ. ඒවාට පහසුකම්වල, උපකරනවල සහ සෞඛ්‍ය කාර්යමන්ඩල දැඩි ඌනතාවය ඇතුලත් වේ. 

ක්වේටා පොලිසිය විසින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් දුසිම් ගනනකට සඳුදා දිනයේ කල පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් මගින් පෙන්නුම් කෙරුනේ, සාපරාධී නොසැලකිල්ල පිලිබඳ ඕනෑම විවේචනයක් කෙරෙහි ඛාන් රජයේ ඇති සතුරුකමයි. සෞඛ්‍යය කාර්ය මන්ඩල විරෝධතාවය පල කලේ ඔවුන්ගේ සේවා ස්ථානවල පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) නොමැතිවීට එරෙහිවයි. 

සෞඛ්‍ය සේවා සඳහා හෝටල් සහ වෙනත් ගොඩනැගිලි යොදා ගැනීමට පියවර ගැනීමෙන් පසු රජය කියා සිටියේ වෙන්ව පිහිටි වාට්ටුවල රෝහල් ඇඳන් 119,000 ක් සහ  නිරෝධායන පහසුකම් වලට ඇඳන් 162,000ක් ඇති බවයි. පකිස්ථානයේ මූලෝපායික මිතුරා වන චීනය වැදගත් වෛද්‍යාධාර හා කාර්යමන්ඩල සපයන බව වාර්තා කර තිබේ. 

කෙසේ වෙතත්, වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා කිසිදු වැදගත් ආකාරයකින් මැදිහත් වීමට රජය පැහැදිලිවම අපොහොසත් වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසුව, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය පිලිබඳ විශේෂ සහකාර වෛද්‍ය සාෆර් මිර්සා වෛරසය පැතිරීම පිලිබඳ සැලකිල්ල ලඝු කරමින් “මෙම අවස්ථාවෙහිදී, විවිධ අවස්ථා හා උපකල්පන මත පදනම් වූ මෙම සංඛ්‍යා සත්‍ය ද නැද්ද යන්න අවිනිශ්චිත“ යයි ප්‍රකාශ කලේ ය.  

හිතාමතාම හෝ නැතත්, මිර්සා හුදෙක් වසංගතය මැඩපැවැත්වීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිය කියා දැම්මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද ආයෝජක හිතවාදී ආර්ථික “ප්‍රතිසංස්කරන” වැඩ සටහනෙන් හැකි තරම් සුලුවෙන් පිටට පනිමින් වසංගතයෙන් ගොඩ ඒමට දඟලන අතරේය.

දැඩි සමාජ දුරස්ථභාවය සහ ආර්ථික වසා දැමීමක් ඇති කිරීම තම රජය විසින් ප්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනය කිරීම සඳහා ඛාන් නරුම ලෙස බොහෝ පාකිස්තානුවන්ගේ ආවේනික දරිද්‍රතාවය සහ දරුනු ආර්ථික තත්ත්වය නරුම ලෙස ගසා කෑමට උත්සාහ ගත්තේ ය. වැඩ කිරීමට නොහැකි වුවහොත් මිනිසුන් “කුසගින්නෙන් මිය යනු ඇතැයි” ඔහු කියා සිටි අතර රූපවාහිනියේ තවත් වාචාල ප්‍රකාශ මාලාවක් කලේය. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වූයේ ආර්ථිකය වසා දැමීම මගින් මහ ව්‍යාපාරවලට සහ ධනපති ප්‍රභූ පැලැන්තියේ ධනය හා ආයෝජන කෙරෙහි වන ආර්ථික බලපෑම පිලිබඳවයි.

මිලිටරියේ ආධාර ඇතිව නගර අගුලු දමා පලාත් බලධාරීන් ඉදිරියට යන විට ඛාන්ගේ ආන්ඩුව අඩු ආදායම් ලබන මිලියන 67 ක් ජනයා සඳහා රුපියල් 12,000 ක් හෝ ඇමරිකානු ඩොලර් 71.75 ක සහනයක් පොරොන්දු විය. මෙම සොච්චම් මුදල පවා බෙදා හරිනු ලබන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

ඛාන්ගේ ඉස්ලාමීය ජනතාවාදී ටෙහ්රික්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ආන්ඩුව දැනටමත් පහල යමින් පවතින ජනප්‍රියත්වය සම්බන්ධව උත්සුක වී සිටී. “ඉස්ලාමීය සුභසාධන රාජ්‍යයක්” පිලිබඳ ඔහුගේ නරුම මැතිවරන පොරොන්දුව අතහැර දැමීමෙන් පසු ඛාන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු ඉල්ලීම් ක්‍රියාත්මක කර තිබේ.

එහි දුර්වල ස්ථාවරත්වය පිලිබඳව සංවේදී වෙමින්, මහජන රැස්වීම් සීමා කිරීමට රජය කරන ආයාචනා ඉස්ලාමීය ආගමික සංස්ථාපිතය විසින් ද ප්‍රතික්ෂේප කර ඇත. ලාහෝර් හි ඉස්ලාමීය කන්ඩායමක් වන තබ්ලිගි ජමාඅත් විසින් සංවිධානය කරන ලද 250,000 ට වැඩි පිරිසකගේ රැස්වීමක් අවසාන මොහොතේ අවලංගු කෙරුවේ, බොහොමයක් සහභාගිවන්නන් පැමිනීමෙන් පසුවයි. වාර්තාවන අන්දමට, ගාසා තීරයේ පලමු ‍කොරෝනා වෛරස් රෝගීන් දෙදෙනා එම රැස්වීම සඳහා ලාහෝරයට ගොස් තිබේ.

නය බරින් මිරිකී සිටින ආර්ථිකය නරක අර්බූදයකට ගමන් කරමින් තිබේ. දැනට පවතින ඩොලර් බිලියන 6 ක ඇපදීම්වලට අමතරව ජාමූඅ ඩොලර් බිලියන 1.4 ක හදිසි නය ආධාරයක් ආන්ඩුව විසින් ඉල්ලා තිබේ. ඉස්ලාමාබාදය ආධාර ඉල්ලා ඇති බව සනාථ කරමින් ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිලිනා ජෝර්ජිවා කියා සිටියේ පාකිස්තානය “වර්තමාන වැඩපිලිවෙලද ඇතුලත් කර ගත් ප්‍රතිසංස්කරන පිලිවෙත් කෙරෙහි ඔවුන්ගේ කැපවීම යලිත් තහවුරු කර ඇති” බවයි. වෙනත් වචන වලින් කිවහොත්, සමාජීය වශයෙන් ගිනි අවුලුවන ආයෝජකයින්ට හිතකර ආර්ථික ප්‍රතිසංස්කරන හා කප්පාදු පියවරයන් ඉදිරියට ගෙන යාමට ඛාන් පොරොන්දු වී තිබේ.

“ඉහල මූලාශ්‍ර” උපුටා දක්වමින් පාකිස්තානය පදනම් කරගත් ද නිව්ස් පුවත්පත සඳහන් කරන්නේ, වර්තමාන ඇපදීමේ වැඩ සටහනේ ඩොලර් මිලියන 450 ක තුන්වන වාරිකය නිදහස් කිරීමට “යම් කාලයක් ප්‍රමාද විය හැකි” බවයි. ඩොලර් බිලියන 12 ට වඩා අඩු සංචිතයක් ඇති තත්වයේ දී වාරිකය අනුමත කිරීමේ ඕනෑම ප්‍රමාදයක් නය ආපසු ගෙවීම පවත්වා ගැනීමට සහ ආනයන සඳහා ගෙවීමට පාකිස්තානයට ඇති හැකියාව කෙරෙහි බලපානු ඇත. හදිසි ආධාර සලකා බැලීමට ජාමූඅ එකඟ වී ඇති නමුත්, ජාමූඅ සහ ආන්ඩුව යන දෙපාර්ශ්වයම සාකච්ඡා පිලිබඳව “තදින් බැඳී” සිටිති. පාකිස්තානයේ රෝගී ආර්ථිකයට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට පෙර ජාමූඅ තවත් දැඩි කොන්දේසි පැනවෙනු ඇත. 

ඛාන් ආන්ඩුව වටා ඇති දේශපාලන අර්බුදය ද ගැඹුරු වෙමින් පවතී. කාන් ආන්ඩුවේ කොරෝනා වෛරස තත්වය පාලනය කිරීම පිලිබඳව අදහස් දක්වමින්, “ඔහුගේ ජනතාවාදයේ සීමාවන්” සහ “ඔහුගේ තනතුරේ අස්ථිරභාවය” සටහන් කල මාර්තු 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂනයක දී වොෂිංටන්හි පිහිටි බෘකිංස් ආයතනය, හමුදාව “ජනගහනයේ අනුකම්පාව ලබා ගැනීමටත්, රටේ එක් ප්‍රධාන ආයතනයක් ලෙස සිය භූමිකාව යලිත් තහවුරු කිරීමටත්, දැනටමත් බලපෑම් සහගත එහි පාලනය තවදුරටත් තහවුරු කර ගැනීමටත් මාන බලමින් සිටී” යයි පවසමින්, ‍“ප්‍රවේශමෙන් පියවර තබන්නැයි” ඛාන්ට උපදෙස් දුන්නේ ය. 

ජාමූඅ නියෝගයන් ඔහුගේ ආන්ඩුව විසින් ක්‍රියාවට නැගීම මගින් උග්‍ර කරනු ලබන, සීමා කල නොහැකි සමාජ බෙදීමක් මත ඛාන්ගේ ජනතාවාදයේ පල්ල යමින් තිබේ. එක්සත් ජාතීන්ගේ 2016 ලෝක නගර වාර්තාවට අනුව කරච්චිහි ඔරංගි නගරය ලෝකයේ විශාලතම මුඩුක්කු වලින් එකක් ලෙස නම් කර ඇති අතර මුඩුක්කු ජනගහනය වැඩි වෙමින් පවතින බව සොයා ගන්නා ලදී. පලාත් බලධාරීන් විසින් පනවා ඇති කරච්චි අගුලු දැමීම ඔරංගි නගරයේ සමාජ දුක්ඛිතභාවය තවදුරටත් හෙලි කලේ ය.  

බලය යෙදවුවද, ජනගහනයට ඔවුන්ගේ මුඩුක්කු නිවාසවල ඇති සීමිත ඉඩ ප්‍රමානය තුල “ස්වයං හුදකලා” වීමට නොහැකි වූ අතර බොහෝ දෙනෙකුට පිටත සිටීමට සිදුවිය. වීදිවල සැරිසරමින් දිගටම සෙල්ලම් කරන ලමයින් සම්බන්ධව මෙය විශේෂයෙන් සත්‍යයක් විය. මෙම කාලකන්නි වාසස්ථානවල ජීවත් වන බොහෝ පවුල් මාරුවෙන් මාරුවට නින්දට යන අතර මෙවැනි කොන්දේසි සාමාන්‍යයෙන් දකුනු ආසියානු මුඩුක්කු නිවාසවල පොදු යථාර්ථයයි. කරච්චි සහ ලාහෝර් හි ජනගහනයෙන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් වාසය කරන බවට ගනන් බලා ඇති මෙම මුඩුක්කු නිවාසවල සනීපාරක්ෂක පහසුකම් බොහෝදුරට නොපවතී.

මිලියන 2.8 ක් වන ඇෆ්ගනිස්ථාන සරනාගත ජනතාව දුක්ඛිත තත්වයන් යටතේ ජීවත් වන ජනගහනයේ තවත් කොටසකි. ඔවුන් බොහෝ විට නිසි පානීය ජලය හෝ වෙනත් සනීපාරක්ෂක අවශ්‍යතා නොමැතිව රට පුරා නම් කරන ලද කඳවුරුවල හෝ මුඩුක්කු නිවාසවල මැටියෙන් හෝ කාඩ්බෝඩ්වලින් සෑදූ පැල්පත්වල වාසය කරති. 

පාකිස්තාන ආර්ථික විද්‍යාඥ හෆීස් ඒ. පාෂා පවසන පරිදි, 2018 ජූලි මාසයේදී රටේ දරිද්‍රතා අනුපාතය සියයට 31.3 ක් වූ අතර 2020 ජූලි වන විට එය සියයට 40 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. අඩු ආර්ථික වර්ධනය, අංක දෙකක උද්ධමන අගයක් සහ ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදුවේ අපේක්ෂිත බලපෑම මගින් ඇති කල මෙම කම්පාකාරී දත්ත, පකිස්තානයට කොරෝනා වෛරස් වසංගතය පැතිරීමට පෙර නිකුත් කල ඒවාය.

වර්තමාන අර්බුදය දුප්පත්කම තියුනු ලෙස වැඩි කරනු ඇත. ඛාන්ගේ “කොරෝනා කොටි සහන බලකායේ” සීමිත සහනයන්ට පිටුපසින්, රටේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමානයක් සමාජ හා ආර්ථික ව්‍යසනයකට මුහුන දී සිටිති.

ඉරානයේ දේශ සීමාව අසල පිහිටි ටෆ්තාන් නිරෝධායන කඳවුරේ තත්වය මගින් වසංගතයට ඛාන් රජයේ සාපරාධී නොතැකීම පෙන්නුම් කරයි. කොවිඩ්-19 පුපුරා යාමෙන් පසු ඉරානයෙන් ආපසු පැමිනි අය එහි රඳවනු ලැබ සිටී. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මාර්තු මාසයේදී වාර්තා කලේ කඳවුරේ පවතින පිලිකුල් සහගත තත්වයට වි‍රෝධය පෑමට එහි කොටසක් රැඳවියන් විසින් ගිනිබත් කර ඇති බවයි. “එය කඳවුරට එල්ල වූ ප්‍රහාරයක් නොව, සත්වයන්ට වැනි සැලකිලි වලින් අපව ගලවා ගැනීමේ උත්සාහයක් අපිට මිනිසුන්ට මෙන් සලකන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියත් එය ගනන් ගන්නේ නෑ” යයි එක් විරෝධතාකරුවෙක් ටයිම්ස් පුවත්පතට පැවසීය. අල් ජසීරා අනාවරනය කලේ එහි රඳවා සිටින අය වෛරස් සඳහා ප්‍රමානවත් පරීක්ෂනවලට භාජනය කර නොමැති බවත් පවතින තත්වයන් සඳහා ප්‍රතිකාර කර නොමැති බවත්ය. එහි මාර්තු 25 වාර්තාවට අනුව, පාකිස්තානයේ එවකට තහවුරු වූ සියලුම රෝගීන්ගෙන් සියයට 51 ක් ටෆ්තාන් වෙතින් සොයා ගෙන තිබේ. කඳවුරේ අකාර්යක්ෂම පරිපාලනය ඉස්ලාමාබාද් මහාධිකරනයේ අවධානයට යොමු කල විට, “රජයේ අභිප්‍රායයන් සැක කිරීමට හා වෙනස්කම් කිරීමට මෙය කාලය නොවේ” යනුවෙන් පෙත්සම ප්‍රතික්ෂේප කලේ ය. 

Loading