ආන්ඩුව වසංගතය ගසාකමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අත්තනෝමතික පාලනයක් වර්ධනය කරයි

ඇඳිරි නීතිය කඩකිරීමේ චෝදනාව මත අප්‍රේල් 14 දා පුද්ගලයන් 1724ක් ද වාහන 496ක්ද අත්අඩංගුවට ගන්නා ලද බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කලේය. ආන්ඩුව ම නිකුත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව කොවිඞ්-19 වසංගතය ”පැතිරීම වලැක්වීම සඳහා” ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසු දින 25ක් තුල  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගනන 28,000 ඉක්මවා ඇති අතර වාහන ගනන 7200 කට වැඩිය.

දිනපතා නොකඩවා දහසකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනු ලැබෙන තත්ත්වයක් මගින් ප්‍රකාශයට පත්වන්නේ, ආන්ඩුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන විසින් ඇඳිරිනීතිය කඩකිරීම සම්බන්ධව ආන්ඩුගැති මාධ්‍ය හොරනෑ තුලින් මහජනතාවට එරෙහිව දෙසාබාන අවලාදයන්ට විපරීත වෛෂයික යතාර්ථයක් පවතින බවයි. පොලීසියේ අනීතික නියෝග කිරීම්, දඬුවම් පිලිබඳ තර්ජන සහ ඒකපාර්ශ්වික හේතුදැක්වීම් වලට විපරීතව, ආදායම් අහිමිවීම, ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සොයාගැනීම ඇතුලු අනෙකුත් හදිසි හා අත්‍යවශ්‍ය කාරනා සඳහා මහජනයාට එලිමහනට බැසීමට බලකෙරී ඇති බවයි. 

වසංගතය වැලැක්වීම සම්බන්ධයෙන්  මුලසිටම සාපරාධී නොසැලකිල්ලෙන් හා නොහැකියාවෙන් කටයුතු කල ආන්ඩුව සමාජ දුරස්ථකරනය ප්‍රධානම හා අඩු වියදම් ක්‍රියාමාර්ගය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මාර්තු 20 සිට ඇඳිරි නීතිය වරින් වර ප්‍රකාශයට පත්කලද මේ දක්වා ඒ සම්බන්ධ ගැසට් නිවේදන කිසිවක් නිකුත් කර නැත. ඒ නිසාම පනවා ඇති ඇඳිරිනීතිය ද සියලු අත්අඩංගුවට ගැනීම්ද නීති විරෝධීය.

කොරෝනා වසංගතය මර්දනය කිරීමේ සමස්ත වැඩසටහනම මිලිටරීකරනය කර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පාලක කල්ලිය ඇඳිරිනීතිය පැනවීමේ තැන් පටන් විවෘතවම ධනපති නීතියත්, රටේ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මහජනතාව පීඩාවට පත්කරමින් සිටී. 

හදිසි අවස්ථා හෝ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කිරීම, ඇඳිරිනීතිය පැනවීම හෝ ‘මහජන සාමය පවත්වා ගැනීම‘ සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීම ආදිය පිනිස යොදාගනු ලැබෙන මර්දක නීති අවියක් වන මහජන ආරක්ෂක ආඥාපනතේ (මආආ) 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීමේ බලය හිමි වන්නේ රටේ ජනාධිපතිටය. 

නමුත් ඇඳිරිනීතිය පැනවීම හෝ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කල හැක්කේ එවන් නියෝගයක් ගැසට් පත්‍රයේ පල කිරීම මගිනි. පනතේ 2(3) වගන්තිය අනුව එය වහා පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුය. පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක, එවන් නියෝගයක් නිකුත් කරන්නේනම් දින දහයක් තුල, නැත්නම් හැකි ඉක්මනින්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුය.

මආආ හි දෙවන වගන්තිය හා දෙවන කොටස යටතේ හදිසි අවස්ථාවක්  ප්‍රකාශයට පත්කරන්නේ නම්, දින දාහතරක් තුල පාර්ලිමේන්තුව විසින් එය සම්මත කලහොත් පමනක් මසක කාලයක් සඳහා එය බල පැවැත්වේ. මආආ යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කලවිට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අන් සෑම නීතියක්ම හදිසි අවස්ථා රෙගුලාසිවලට යටත් වන බැවින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) ප්‍රකාරව  විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් දින දහයක් තුල නැවත නිරායාසයෙන්ම කැඳවෙනු ඇත.  

එසේ නැතහොත්, ජනාධිපතිට ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය ප්‍රකාරව දින තුනකදී නැවත පාර්ලිමේන්තුව රැස්වෙන ලෙස ප්‍රකාශයට පත්කල හැක. රාජපක්ෂ මේ වනතෙක් හදිසි අවස්ථාවක් ප්‍රකාශ කොට නැත්තේ පාර්ලිමේන්තුව නැවත කැඳවීම වලකාලීමටයි.

ඔහු දිගින් දිගටම ප්‍රකාශ කොට ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීම සඳහා තමන් කිසිදු සූදානමක් නැති බවයි. පසුගිය සතියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා එහි මහලේකම් රන්ජිත් මද්දුමබන්ඩාර සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපති මේ බව ස්ථිරවම කියා සිටියේය. 

මෙසේ ඇඳිරිනීතිය පැනවීම හා අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කිරීම තම මාධ්‍ය ඒකකය හරහා නිකුත්කරන මාධ්‍ය නිවේදන වලට පමනක් සීමා කර ඇති රාජපක්ෂ ඒවා ගැසට් නොකිරීමට වගබලාගෙන ඇත්තේ  අත්තනෝමතිකව හා එලිපිටම අනිවාර්ය නීති ප්‍රතිපාදන උල්ලංඝනය කරමිනි.  

පාර්ලිමේන්තුව නිරායාසයෙන් කැඳවීමේ ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම වැලකීම සඳහා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට නැති අතර, මිලිටරිය, පොලීසිය ඇතුලු තම ආරක්ෂක වලල්ලේ පිටුබලය සහිතව රාජපක්ෂ ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා සාමාන්‍ය නීතිය යටපත් කරන තත්ත්වාකාර හදිසි අවස්ථාවක් නිර්මානය කරමින් තිබේ.

පොලීසිය, සමස්ත වසංගත ⁣නිරෝධායනය සහ සීමිත සහන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මෙලෙස නිකුත් කෙරෙන කිසිදු නීතිමය වලංගුතාවයක් නැති ජනාධිපති මාධ්‍ය නිවේදන හරහාය. 

සෞඛ්‍යය, බැංකු, රාජ්‍ය ඔසුසල හා ෆාමසි ආදී සේවාවන්ද, සහල් නිශ්පාදනය ද අත්‍යවශ්‍ය සේවා ලෙස දක්වා ජනාධිපති මාධ්‍ය නිවේදන නිකුත්කර ඇති මුත් මආආ යටතේ අදාල ගැසට් නිවේදන කිසිවක් නිකුත් කර නැත.

මෙම මාධ්‍ය නිවේදන නීතිය ලෙස පිලිගනිමින් වැඩ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට බලකෙරී ඇත්තේ ජනාධිපති ලෙස පත්වීමත් සමග රාජපක්ෂ තමන්ට අවනත රාජ්‍ය සේවයක්, මාධ්‍ය භාවිතයක් හා අධිකරන පද්ධතියක් පිලිබඳ අවධාරනය කරමින් ගත් මිලිටරීකරන පියවරයන් යටතේය. වරෙක ඔහු පවසා සිටියේ තමන් රටේ නායකයා බවත්, සෙසු සියලු දෙනා තමන් අනුව යමින් ක්‍රියාකල යුතු බවත්ය.  

ප්‍රේමදාස සමග පැවති හමුවේදීද ජනාධිපති තමාගේ හැටි මෙසේ යැයි කියා සිටියේ තමන් පෙර සිටි ජනාධිපතිවරුන්ට වඩා වෙනස් බවත් තමන් ”ගෝඨාභය රාජපක්ෂ” බවත් පවසමිනි.

පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ත්‍රිවිධ හමුදාවට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, කොවිඩ්-19 වසංගතය වැලැක්වීමේ ජාතික මෙහෙයුමි මධ්‍යස්ථානය (එන්ඕසී), පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය, දරිද්‍රතාවය පිටුදැකීම පිලිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය යන වසංගතය වැලැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යොදා ඇති ආයතන ගනනාවකම ඉහලම පුටුවලට මිලිටරියේ දැනට සිටින හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් රාජපක්ෂ යොදවා ගත්තේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ (පොජපෙ) සභාපති වන මහජන ජන්දයෙන් පත්වූ මන්ත්‍රිවර⁣යෙකුද නොවන තම බාල සොයුරු බැසිල් රාජපක්ෂ කෝවිඩ් -19 පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය (ජකාසාබ) භාර නිලධාරියා ලෙස පත් කර තිබේ.

19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිදු අමාත්‍යංශයක් තමා යටතේ තබාගැනිමට ජනාධිපතිට නොහැකි නමුත්,  පසුගිය නොවැම්බරයේ ජනාධිපති ධුරයට පත්වීමත් සමග ආරක්ෂක අමාත්‍යංශය ඇතුලු ආයතන ගනනාවකම තත්ත්වාකාර බලය රාජපක්ෂ විසින් පවරාගෙන ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ලෙසය. එතැන් පටන් මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හෝ රටේ නීතිමය සීමාවන් පිලිබඳ කිසිදු තැකීමකින් තොරව අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින රාජපක්ෂ, මආආ යටතේ පොලිස් බලතල සහිතව ත්‍රිවිධ හමුදාව රටපුරා දිගේලි කලේය. 

වරාය අධිකාරියේ  ප්‍රධානියා වශයෙන් රාජපක්ෂ විසින් පත්කල හිටපු හමුදාපති දයා රත්නායක මැතකදී ප්‍රකාශ කලේ, “මෙය හමුදාවට අයත් කාලයක්” බවත් ”හමුදාව තම අධිකාරිය ස්ථාපිත කලයුතු” බවත්ය. වසංගතය වැලැක්වීමේ, සහන සේවා සැපයීමේ සිට අත්‍යවශ්‍ය සේවා අධීක්ෂනයේ සෑම අංශයකමත් සමස්ත අධිකාරිය දැන් මිලිටරිය විසින් තහවුරු කරගෙන තිබේ.

එන්ඔීසී ය පිහිටුවීම හා එයට යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කොට නැත. වසංගතය මර්දනයට අදාල සෑම රජ්‍ය අංශයක්ම එයට යටත් බව ජනාධිපති මාධ්‍ය නිවේදනය දක්වයි.  ඒ අනුව එහි නීතිමය පුද්ගලභාවය ප්‍රශ්නගත වන අතර සිල්වා ඇතුලුව එහි කිසිවෙකු පාර්ලිමේන්තුවට හෝ අධිකරනයකට වගවීමට ලක්කිරීම ගැටලු සහගතය.

පවතින නීති යටතේ දැනටමත්  පිහිටුවා ඇති ආපදා කලමනාකරන ජාතික කවුන්සිලය ඇතුලු ආයතන හරහා වසංගත මර්දන කාර්යභාරයන් රාශියක්ම ආවරනය කල හැකිව තිබියදී, රාජපක්ෂ අවිධිමත් අයුරින් ජකාසාබ පිහිටවනු ලැබූයේ පාර්ලිමේන්තුවේ අධීක්ෂනයට එම කටයුතු යටත්කිරීමේ අවශ්‍යතාවය මගහැරීමටය. දැන් ජකාසාබ, පවතින නීති විෂය පථයට පිටින් ගිය බලයන් අත්පත්කරගෙන තිබේ.

තමන්ට ව්‍යවස්ථාපිතව හිමිවූ පලමු අවස්ථාවම ඩැහැගත් රාජපක්ෂ,  පුපුරන සුලු පන්ති අරගල මාලාවක් හා ආර්ථික අර්බුදය මධ්‍යයේ තත්ත්වය තමන්ට අවාසිදායක ලෙස පෙරලීමට ප්‍රථම තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආන්ඩුවක් පිහිටුවා ගැනීමේ අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුව මාර්තු මුලදී විසුරුවා හලේය. 

වසංගතය හේතුවෙන් මහ මැතිවරනයට දින තීන්දු කිරීම පාලක පන්තිය අතර අර්බුදයක් තරමට උත්සන්න වී ඇති තතු යටතේ, තමන්ට අවනත නාමික කැබිනට් මන්ඩලයක් සහිත විධායකයේ ප්‍රධානියා වශයෙන් රාජපක්ෂ තත්වාකාරයෙන්ම රටේ ව්‍යවස්ථාදායක බලයද තමන් වෙත පවරාගෙන තිබේ. 

වසංගතය මධ්‍යයේ මහමැතිවරනය පැවැත්වීම කල්දැමූ මැතිවරන කොමිෂන් සභාව මැතිවරනයට දින නියම කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසන ලෙස ජනාධිපතිගෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල රාජපක්ෂ වසංගතය හේතුවෙන් මහජනයාට විය හැකි අන්තරායද නොසලකමින් මැතිවරනය පැවැත්වීමේ තම උත්සුකය  ප්‍රකට කලේය.

ඇත්ත වශයෙන්ම නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඊනියා විපක්ෂය සමන්විත වන එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය හා මුස්ලිම් කොන්ග්‍රසය ආදි  සෑම ධනපති පක්ෂයක්ම වසංගත මර්දනයට සහාය දීමේ කඩතුරාව යටතේ ධනපති ආර්ථිකය හා පන්ති පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා, රාජපක්ෂගේ මිලිටරීකරන වැඩපිලිවෙල අනුමත කරමින් අප්‍රකාශිත සන්ධානයකට එලැඹ සිටී. එබැවින් ධනපති පාර්ලිමේන්තුව කැඳවනු ලැබූවද එය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ හුදෙක් රාජපක්ෂගේ වැඩපිලිවෙලට රබර් මුද්‍රාව තැබීම සඳහා පමනි.

රජයෙන් ලබාදෙන රුපියල් පන්දහසක සොච්චම් මුදලින් ජීවිතය ගැටගැසීමට නොහැකි ගම්බද දුගීන් ඇඳිරිනීතිය මධ්‍යයේම පාරට බැස උද්ඝෝෂනය කරති. පසුගිය සිකුරාදා ගම්පොල දොලුව ප්‍රදේශයේ පැවති එවන් මහජන විරෝධතාවයට මූලිකත්වය ගත් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ  අප්‍රේල් 16 දක්වා බන්ධනාගාරගතකොට තිබේ.

දැවැන්ත ආර්ථික අර්බුදයක් හා බොහෝවිට තම පාලනයෙන් ගිලිහී යා හැකි වසංගතයක් මධ්‍යයේ වර්ධනය වීමට නියමිත කම්කරු පන්තික හා පීඩිත නාගරික හා ගම්බද ජනතාව⁣ගේ අරගලවලට මුහුන දීම සඳහා දැන් දැන්ම රාජපක්ෂ හා ඔහුගේ අනුහස යටතේ ක්‍රියාත්මක වන පාලන තන්ත්‍රය ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙසත්, ”නීතියේ ආධිපත්‍යය” ටත් පිටතින් කටයුතු කරමින් සිටී. 

රටේ ධනපති නීතියමත් අවඥාසහගත ලෙස මායිම් නොකරමින් සහ ඒවා අමු අමුවේ උල්ලංඝනය කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරන රාජපක්ෂ සූදානම් වෙමින් පවතින්නේ මිලිටරිය මත වඩාත් වාරු වූ ආඥාාදායක පාලනයක් පිහිටුවා ගැනීම වෙතය.

Loading