වසංගතය මධ්‍යයේ මැතිවරනය පැවැත්වීමට ආන්ඩුව වලිකයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ විවිධ පාර්ශ්වයන්ගේ ප්‍රතිචාරයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, කොරෝනා වසංගතය හමුවේ මහජනතාව මුහුන දී ඇති ව්‍යසනකාරී තත්වය කවර ලෙසකින් හෝ නොතකමින්, ඉක්මනින් පාර්ලිමෙින්තු මැතිවරනය පැවැත්වීමට ආන්ඩුව දරන ප්‍රයත්නය යි.

මෙය මුලින්ම ප්‍රකාශයට පත්වූයේ, වසංගතය හේතුවෙන් කල්තැබූ මැතිවරනය පවත්වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසන ලෙස මැතිවරන කොමිෂන් සභාව (මැකොස) ජනාධිපතිගෙන් කල ඉල්ලීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුනු ප්‍රතිචාරයෙනි.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර අප්‍රේල් 06 දාතමින් මැකොස ට යැවූ ලිපියේ මෙසේ සඳහන් වෙයි:   “අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරනය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කල නොහැකිය.” 

මැතිවරනය හැකි ඉක්මනින් පවත්වන ලෙස කොමිසමට යොදන පීඩනයක් ලෙස ලිපිය තවදුරටත් කියා සිටින්නේ “ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරන කොමිසමේ වගකීමක්” වන බවයි.

කෙසේ නමුත්, ත්‍රිපුද්ගල මැකොස හි සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් අප්‍රේල් 11 දා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනේ ජනාධිපති ලේකම් විසින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි. මහාචාර්ය හූල් පෙන්වා දෙන්නේ මැතිවරනය සඳහා දිනයක් නියම කිරීමට මැකොස සභාපතිවරයා බැඳී නොසිටින බවයි. “ව්‍යවස්ථාමය අර්බුදයක් වලක්වා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වගකීම අන් සියල්ලන් දරන වගකීමට වඩා වැඩි” යැයි ඔහු තවදුරටත් පවසා ඇත. 

“ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත්” සඳහන් කරමින් මැතිවරනය ඉක්මන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තහවුරු කිරීමේ අරමුනෙන් බව ඇඟවීමට ජනාධිපති ලේකම් තම ලිපියෙන් උත්සාහ කරයි. 

මෙහි ආන්තික කුහකත්වය වටහා ගැනීමට රාජපක්ෂ විසින් පසුගිය ආන්ඩුව විසුරුවා හල ආකාරය සඳහන් කිරීම වුව සෑහේ. ඔහු තම විධායක බලතල යොදා ගනිමින්, කලින් පැවති ආන්ඩුව ප්‍රජාතන්ත්‍ර-විරෝධීව විසුරුවා හලේ එහි පාලන වාරය අවසන් කිරීමට තවත් මාස හයක් තිබියදී ය. ඊට පෙර ඔහු පාර්ලිමේන්තුව මාසයකට අත්හිටවූයේද එවැනිම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරකිනි.

සැබැවින්ම රාජපක්ෂට අවශ්‍ය වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට, ඉන් යම් දුරකට හෝ සීමා කෙරුනු විධායක බලතල යලි ස්ථාපිත කෙරෙන, වඩාත් අධිකාරවත් විධායක ජනාධිපතිත්වයක් සහිත ව්‍යවස්ථාවක් සම්මතකර ගැනීමයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් තහවුරු කරගත යුතුවෙයි. 

ලෝක ආර්ථිකයේ අනවරත බිඳවැටීම හමුවේ වඩාත් ගැඹුරුවන අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුවට, එම අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම හැර අන් විකල්පයක් නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු මුල්‍ය ප්‍රාග්ධනය මගින් විධානිත දැවැන්ත කප්පාදු හරහා රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම වැඩපිලිවෙලයි. 

මැතිවරනය වඩාත් කල්ගියහොත්, එම වැඩපිලිවෙලට එරෙහිව වැඩෙන මහජන විරෝධය ඉහල නැග, අදාල පාර්ලිමේන්තු බහුතර බලය තහවුරු කරගත නොහැකි වෙතැයි රාජපක්ෂ ගනන් බලයි. 

කොවිඩ්-19 වසංගතයෙන් නිර්මානය කෙරී ඇති සමාජ-ආර්ථික ව්‍යසනය හමුවේ තම ජීවිත සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීම පිලිබඳව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩෙමින් පවතිනුයේ බලගතු අප්‍රසාදයකි. එමගින් තම ආන්ඩුවට එරෙහිව වැඩී ආ විරෝධය වඩාත් ඉහල නංවනු ඇතැයි රාජපක්ෂ උත්සුක වෙයි.

වසංගතය මැඩීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරනය කල, මහා පරිමාන පරීක්ෂාවන්, දැඩි සත්කාර ඒකකයන්හි ක්ෂනික සහ පුලුල් පරිමාන ප්‍රසාරනයන් සහ සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය ආරක්ෂක ආම්පන්නවල ප්‍රමානවත් සම්පාදනයන් යන මෙම සියල්ල රාජපක්ෂ විසින් නොතකා හරින ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානය තම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති ආකාරයට, “ජාතිය, ආගම, දේශපාලන විශ්වාසය, ආර්ථික හෝ සමාජ තත්ත්වය යන වෙනසකින් තොරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහලම ප්‍රමිතිය භුක්ති විඳීම සෑම මිනිසෙකුගේම මූලික අයිතිවාසිකම්වලින් එකකි.” රාජපක්ෂ ඇතුලු ලංකාවේ ධනපති පෙන්තිය මිලියන සංඛ්‍යාත මහජනයා සතු මෙම මූලික අයිතිවාසිකම මුලුමනින්ම උල්ලංඝනය කොට ඇත.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආරක්ෂක අමාත්‍යංශය තමා යටතට පවරාගත් රාජපක්ෂ, යුද අපරාධකරුවෙකු ලෙස චෝදනා ලැබ සිටින හිටපු හමුදා නිලධාරියෙකු වන කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ගත්තේ ය. එතැන් පටන් අතිමූලික රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන තනතුරු වලට හිටපු හමුදා නිලධාරීන් පත්කරගත් ඔහු වසංගතය ගසා කමින් සමස්ත දිවයිනම මිලිටරි පාලනයක අද්දරටම ගෙනැවිත් ඇත.

ඇඳිරි නීතිය පැනවීමේ සිට, වසංගත මර්දන ජාතික මධ්‍යස්ථානයේ  ප්‍රධානී තනතුරට හමුදාපති ශවෙින්ද්‍ර සිල්වා පත්කිරීම දක්වා සියලුම පියවර පාහේ නීති-විරෝධී ය. මෙයට ඇඳිරි නීතිය කඩකිරීමේ සහ වසංගතය පිලිබඳ සාවද්‍ය තොරතුරු පැතිරවීමේ චෝදනා යටතේ තිස්දහසකට ආසන්න ප්‍රමානයක් අත්අඩංගුවට ගැනීම ද අන්තර්ගතය. 

කෙසේ නමුත්, වසංගතය මැඩීමට සහායදීමේ කඩතුරාව යටතේ, එජාප සහ ඉන් බෙදුනු සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දෙමල ජාතික සන්ධානය සහ මුස්ලිම් පක්ෂ සියල්ලම රාජපක්ෂගේ මිලිටරීකරනයට පූර්න සහයෝගය ලබා දෙති. 

පසුගියදා රාජපක්ෂ හමුවූ සජබ නායකයින් වන සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබන්ඩාර, පාර්ලිමේන්තු මැතිවරනය සම්බන්ධයෙන් මැකොස ස්ථාවරය පිලිබඳව විමසූහ. පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තමාට කිසිදු අදහසක් නොමැති බව රාජපක්ෂ තරයේ කියා සිටියේය. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අර්ථ නිරූපනයක් සෙවීම  “මුලුමනින්ම මගේ (රාජපක්ෂගේ) අභිමතය” බවද ඔහු පැවසීය. 

තම ප්‍රතිගාමී වැඩපිලිවෙලට විරුද්ධ පාක්ෂිකයන් දෙන සහායෙන් ගැම්මගෙන සිටි රාජපක්ෂ අධිකාරවත් ලෙස කියා සිටියේ,  තමා කලින් සිටි ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන නොව, “මම ගෝඨාභය රාජපක්ෂ” බවයි. 

ආන්ඩුවේ ප්‍රතිගාමී පියවර වලට පූර්න සහයෝගය දෙමින් බලහත්කාරී සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආකාරයේ මැතිවරනයකට යෑමට රාජපක්ෂගේ අත ශක්තිමත් කරදුන් ජවිපෙ, කැඳවීමට යන හදිසි මැතිවරනයට එරෙහි වෙමින් තමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව මවාපෑමට උත්සාහ දරයි. 

අප්‍රේල් 12 දා ඔවුන් පැවැත්වූ අන්තර්ජාල මාධ්‍ය හමුවේදී එහි නායක අනුරකුමාර දිසානායක මෙසේ කියා සිටියේ ය: “මෙතරම් ඉක්මනින් මැතිවරනයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත.” නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන මෙසේ කතා කරන්නේ 1988-89 කාල පරිච්ඡේදයේදී කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ටි පන්නයේ ප්‍රහාරයන් එල්ල කරමින්, තම ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය මහජනයා සිය ගනන් මරා දැමූ සංවිධානයකි. 

මැතිවරනය තවදුරටත් කල්දැමීම සඳහා කෙරෙන කවර හෝ යෝජනාවකට රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව එරෙහි ය.

“නිදහස් සහ සාධාරන මැතිවරනයන් සඳහා මහජනතාවගේ කාර්යය” හෙවත් “පැෆ්රල්” සංවිධානය ඇතුලු සිවිල් සංවිධාන කීපයක්, අප්‍රේල් 13 දා නිකුත් කල ප්‍රකාශයකට ආන්ඩුව දක්වා ඇති ප්‍රතිචාරයෙන්මත් එය පැහැදිලි වෙයි. 

කොවිඩි-19 වසංගතය හේතුවෙන් ලොවපුරා රටවල් 30 කට අධික සංඛ්‍යාවක් මැතිවරන කල්දමා ඇති බව පෙන්වමින්, ලංකාවේ මැතිවරනයද යලි කල්දමන ලෙස ඔවුන් ඉල්ලා සිටී. අප්‍රේල් 16 දා,  දි අයිලන්ඩ් පුවත්පතට අනුව, රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීපොපෙ) සභාපති ජී.එල්.පීරිස් එම ඉල්ලීම ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ “වසංගතයෙන් දරුනු ලෙස බැට කෑ දකුනු කොරියාව පවා අප්‍රේල් 15 දා තම පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්වූ බව” යි. 

මහජන ජීවිත අනතුරේ හෙලමින් සහ අනෙකුත් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ වලට නිදහසේ මැතිවරන උද්ඝෝෂනයේ යෙදීමට අවකාශ ලබා නොදෙමින් පැවැත්වීමට යන මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී මැතිවරනයේ දී රාජපක්ෂගේ ශ්‍රීලපොපෙ ගෙනයාමට සූදානමි වන ආන්තික උද්ඝෝෂනයේ රුදුරු වාර්ගික ස්වභාවය පීරිස් ගේ සැඳහුම් වලින්ම එලිමහනට පැමිනේ. 

සුලුජන වාර්ගිකයන්ගේ ඡන්දයකින් තොරව ජනාධිපති ධුරය දිනා ගත නොහැකි බවට යලියලිත් කරන ලද ප්‍රකාශයන් තවදුරටත් වලංගු නොවන බවත් සුලුතරයේ සහාය නොමැතිව ජනාධිපතිවරනය පහසුවෙන් ජය ගත හැකි බව ගෝඨාභය රාජපක්ෂ ඔප්පු කල බවත් පීරිස් පවසයි. 

වසංගතය මෙතෙකුදු ව්‍යාප්ත වෙමින් පැවතියදී ආන්ඩුව තදියමේ මැතිවරනයකට යන්නේ ආඥාදායක පාලනයක් කරා යන වේගවත් ගමනේ කොටසක් ලෙසිනි. 

Loading