ඉදිරිදර්ශන

වසංගතය, ලාභය සහ දුක් පීඩා විඳ මියයාම පිලිබඳ ධනේශ්වර සාධාරනීකරනය

මෙම ලිපිය 2020 අප්‍රේල් 18 දින ඉංග්‍රීසි බසින් පලවින.

අනාරක්ෂිත තතු යටතේ ව්‍යාපාර සීඝ්‍රයෙන් යලි විවෘත කිරීමත්, ආපසු වැඩට යාමට බලකිරීමත් නීත්‍යානුකූල කිරීමට මාවත සකසන ප්‍රෝඩාකාරී "මඟ පෙන්වීම්" මාලාවක් ට්‍රම්ප් පාලනය නරුම ලෙස නිවේදනයට පත් කර ඇත; එය, එක්සත් ජනපදය තුල සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමටත්, කොවිඩ්-19 වසංගතයේ පැතිරී යාම සමඟ පොර බදමින් මිනිස් ජීවිත ආරක්ෂා කිරීමටත් ක්‍රමානුකූල හා සමායෝජිත ප්‍රයත්නයක් දැරෙන බවට වූ කවර හෝ ප්‍රසිද්ධ මවාපෑමක් අවසන් කර දමයි.     

ට්‍රම්ප් පාලනය විසින් ලක ලැහැස්ති කෙරෙමින් පවතින නොකල්හී පෙරලා වැඩට යාම මඟ හෙලි කරනු ඇත්තේ, ඉදිරියේ එලැඹෙන තීරනාත්මක මාසවල දී පරීක්ෂන කිරීමේ හා සම්බන්ධතා ජාල ගවේෂනය කිරීමේ දැවැන්ත වැඩපිලිවෙලක සහාය ලබමින් සමාජයික පරතරය පවත්වා ගැනීමේ බරපතල වැඩසටහනක් ක්‍රියාත්මක කලේ නම් වලක්වා ගත හැකිව තුබූ ගනන් මිනුම් නැති දහස් සංඛ්‍යාත මරන කරාය.  

ට්‍රම්ප්ගේ නිවේදනය සාධාරනීකරනය කිරීමට උපුටා දැක්විය හැකි විද්‍යාත්මක විශ්ලේෂනයක් තබා, කවර හෝ වැදගත් සිද්ධිවාචක සාක්ෂියක් හෝ ඇත්තේම නැත. ධවල මන්දිරය විසින් භාවිත කෙරෙමින් පවතින සංඛ්‍යාන ආකෘතියේ වලංගුතාවයට වසංගත රෝග පිලිබඳ ප්‍රමුඛ විශේෂඥයෝ දැනටමත් ප්‍රසිද්ධියේ අභියෝග කර ඇත්තාහ. වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය ප්‍රමිතීන් හා ඇගයීම් ආයතනයේ (IHME) ප්‍රක්ෂේපනයන් පිලිබඳව සඳහන් කරමින් ෆ්‍රෙඩ් හචින්සන් පිලිකා මධ්‍යස්ථානයේ වසංගත රෝග විශේෂඥ රූත් එට්සියෝනි, ස්ටැට් (STAT) වෛද්‍ය සංග්‍රහයට මෙසේ පවසයි: "අයිඑච්එම්ඊ ආකෘතිය දිගින්දිගටම වෙනස් වෙමින් පැවතීම, පුරෝකථන මෙවලමක් ලෙස එය විශ්වාසනීයත්වයෙන් තොර බවට සාක්ෂියකි. එය ප්‍රතිපත්ති නිශ්චය කිරීම සඳහා යොදා ගැනෙමින් පැවතීම හා එහි ප්‍රතිඵල සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීම අපේ ඇස් ඉදිරිපිටම දිග හැරෙමින් පවත්නා දුර්නිරූපනයකි."               

වසංගතය මිනිස් ජීවිත වලින් ඉල්ලා සිටින වන්දිය තැති ගන්වන සුලුය. ට්‍රම්ප්ගේ නිවේදනයට පූර්වයෙන් ගෙවී ගිය 24 පැය තුල කොරෝනා වෛරසය එක්සත් ජනපදය තුල ජීවිත 4591 ක් බිලි ගත්තේය. මෙම සංඛ්‍යාව ඊට ඉහත 24 පැය තුල මරන සංඛ්‍යාව වූ 2569 සිට සියයට 75 ක් ද ඉක්මවා ගිය වැඩි වීමකි. පසුගිය තෙදින තුල, ජාතික වශයෙන් සිදු වූ සමස්ත මරන සංඛ්‍යාව 26,000 සිට 36,000 ද ඉක්මවා ඉහල නැඟිනි.      

නිල සංඛ්‍යාවන් විසින් සම්පූර්න මරන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කොට දැක්වෙන බව පුලුල්ව හඳුනා ගෙන ඇත. එකිනෙකට වෙනස් සාත්තු නිවාස දෙකකින් හමු වූ මෘත ශරීර, නිල හා සැබෑ මරන සංඛ්‍යාවන් අතර පරතරය පිලිබඳ වඩාත්ම තැති ගන්වන සුලු උදාහරන පමනෙකි. මේ මොහොත වන විට, රෝග නිශ්චය නොකරනු ලදුව කොවිඩ්-19 න් ආසාදිතව, හෝ වසංගතයට ආශ්‍රිත හේතූන් මත, රෝහල්වලින් පිටත දී මිය යන ජනයා පිලිබඳ විශ්වාසය තැබිය හැකි ගනන් බැලීමක් සිදු නොවේ.        

මේ වූ කලී ලෝක ගෝලීය වසංගතයකි. මෙය ලියන අවස්ථාව වන විට රෝගීන් 2,216,000 ද මරන 151,000 ද වාර්තා වී ඇත. මෙම සංඛ්‍යා ලේඛනවල ද, එක්සත් ජනපදය සම්බන්ධයෙන් සම්පාදනය කෙරී ඇති සංඛ්‍යාලේඛනවලට වඩා වැඩි විශ්වාසනීයත්වයක් නොපවතී. කලින් වාර්තා වූ සංඛ්‍යාවන් දැනටමත් වැඩි අගයක් දැක්වෙන පරිදි සංශෝධනය කර ඇත.    

ට්‍රම්ප්ගේ අලජ්ජි මුග්ධත්වය සහ මැරයෙකුට සරි පුද්ගලතාව ඉහත මඟ පෙන්වීමේ නිවේදනයට එක් කලේ, ඔහුගේ සෑම ප්‍රසිද්ධ පෙනී සිටීමක දී ම හාත්පස පැතිර පවතින සමාජව්‍යාධිගත හා පොදුවේ ගත් කල කුනු වෙමින් පවත්නා වාතාවරනයයි. එහෙත් ඔහුගේ පිලිවෙත් හුදෙක් තනි පුද්ගලයෙකුගේ පිලිවෙත් නොවේ. මෙම පිලිවෙත් ඉදිරිපත් කෙරී ඇති අපරාධකාරී ආකාරය නිර්නය වන්නේ ට්‍රම්ප් සේවය කරන පන්තියේ ආර්ථික හා සමාජ උත්සුකයන්ගෙනි.    

මූල්‍ය සංස්ථානික කතිපයාධිපත්‍යය මෙම වසංගතය දකිමින් සිටින්නේ, අන් සියල්ලටත් වඩා, ආර්ථික අර්බුදයක් වශයෙනි. මුල පටන්ම එහි ප්‍රමුඛ සැලකිල්ල යොමු වන්නේ සිදු විය හැකි ජීවිත හානි පිලිබඳව නොව මූල්‍ය වෙලඳ පොලේ ඇති විය හැකි අස්ථාවරත්වය, ලාභ උකහා ගැනීමේ ක්‍රියාදාමයේ ඇති විය හැකි කඩාකප්පල් වීම, හා සත්තකින්ම, කතිපයාධිපත්‍යයේ සාමාජිකයන්ගේ පෞද්ගලික වත්කම්වල සිදුවිය හැකි සැලකියයුතු ක්ෂය වීම කෙරේ ය.      

පෙබරවාරියේ හා මාර්තුවේ ට්‍රම්ප් පාලනය අර්බුදයේ බැරෑරුම්කම ප්‍රසිද්ධියේම අඩු කොට දැක්වූ අතරතුර, භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ හා මහ බැංකුවේ නිලධාරීන් ප්‍රධාන බැංකු සමඟ සමීපව මන්ත්‍රනයේ යෙදෙමින් කටයුතු කලේ 2008 මූල්‍ය බිඳවැටීමෙන් ඉක්බිතිව උදා වූ කාල පරිච්ඡේදයේ ලබා දුන් ඩොලර් ඇප අඟුටුමිට්ටෙකු සේ පෙනී යන පරිමානයේ ඩොලර් ට්‍රිලියන ගනනක ඇප සම්පාදනයක් ව්‍යුහගත කිරීමට හා ක්‍රියාවේ යෙදවීමටය.   

මාර්තුවේ ප්‍රථම තෙසතිය තුල ප්‍රවෘත්ති විකාශනයන්හි ආධිපත්‍යය දැරුවේ මහජන සෞඛ්‍යය මත වසංගතය විසින් ඇති කෙරෙන මුදුන් වෙමින් පවත්නා ජාත්‍යන්තර හා ජාතික බලපෑමයි. සුඛෝපභෝගී මගී නෞකා නාටකය, ඉතාලියේ මරන, සහ වොෂින්ටන් ජනපදයේ ආසාදනය පිලිබඳව ලැබුනු මුල් වාර්තා කෙරේ මහජන අවධානය කේන්ද්‍රගත විය. ට්‍රම්ප් නොතකා, නිරෝධායනයන් ක්‍රියාත්මක කිරීමේ හා අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරවල වැඩ නැවැත්වීමේ හදිසි අවශ්‍යතාව පුලුල් ලෙස පිලිගැනින.    

මාර්තු 19 වන දින "කෙයාර්ස් (CARES - කොරෝනා වෛරස් ආධාර, සහන හා ආර්ථික සුරක්ෂා) පනත" සෙනෙට් සභාවට ඉදිරිපත් කෙරින. සමස්ත මූල්‍ය කර්මාන්තයටම විවෘත වූ ඇප දී නිදහස් කර ගැනීමේ හදිසි දොරටුව ඔවුන් විසින් භාර ගැනුනේ තමන්ට ලැබිය යුතු වරප්‍රසාදයක් හිමි වූ සේ ය. සැබැවින්ම, කොන්ග්‍රසයේ සිය දේශපාලන අතවැසියන් විසින් මනාව තොරතුරු සම්පාදනය කරනු ලදුව හුන් සමාගම් විධායකයෝ, වෝල් වීදියේ හදිසි ඉදිරි පිම්මෙන් ප්‍රයෝජන ගනිමින් කෙයාර්ස් පනතේ අවසාන අවස්ථාව පසුපසින් පැමිනීමට නියමිත දැවැන්ත සමුච්චය පිලිබඳ පූර්වාපේක්ෂාවෙන් ප්‍රකෝටි ගනනින් සමාගම් කොටස් ආපසු මිල දී ගත්හ.     

කෙයාර්ස් පනත හඳුන්වා දුන් වහාම, මාධ්‍යවල කේන්ද්‍රීය අවධානය ආපසු වැඩට යාම සඳහා වූ ආක්‍රමනශීලී උද්ඝෝෂනයක් කරා මාරු විය. කිසිදු පමාවකට ඉඩ නැත. ප්‍රාග්ධනයේ ප්‍රබන්ධිත මහා වර්ධනය - එනම්, අංකිතව නිර්මානය කෙරුනු ඩොලර් ට්‍රිලියන 2 කට අධික නය මුදල - මසකට අඩු කලක් තුල මහ බැංකුවේ ශේෂ පත්‍රයට ඇතුලු කල යුතු විය. අමතර ඩොලර් ට්‍රිලියන ගනනක නය ඉදිරි මාසවලදී ඇතුලු කෙරෙනු ඇත.  

අවසාන විග්‍රහයේ දී මෙය නියෝජනය කරන්නේ, කම්කරු පන්තියේ ශ්‍රම ශක්තිය සූරාකෑම හරහා තෘප්ත කල යුතු තත්‍ය වටිනාකම පිලිබඳ හිමිකම් පෑම් ය. රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන ව්‍යාජ මුදල් නිර්මානය කිරීම මඟින් නිපැයෙන නය වඩවඩාත් විශාල වෙත්වෙත්ම, ලාභ ගරා ගැනීමේ ක්‍රියාවලියට පනවනු ලැබ ඇති ප්‍රතිබාධන වහා අවසාන කිරීමට ඇති අවශ්‍යතාවයේ හදිසි භාවය ද වඩවඩාත් තීව්‍ර වේ.       

ඒ අනුව, මාර්තු 22 දින, කෙයාර්ස් පනත තවමත් එහි මාවත කරා අවතීර්න වෙමින් පමනක් පැවැති තතු යටතේ, නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රධාන තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මාන් පෙරලා වැඩට යාමේ උද්ඝෝෂනයට මෙසේ මුල පිරීය: "අප අපටම, අපේ ආර්ථිකයට, අපේ ඊලඟ පරම්පරාවට කර ගනිමින් සිටින්නේ මොන කෙහෙල්මලක් ද?" ඔහු බිරුසන් දුන්නේය. "මේ, ප්‍රතිකාරය - ඉදින් කෙටි කලකට හෝ - ව්‍යාධියට වඩා නරක එකක් වේ ද?"       

මෙහි පසු කී වැකිය, ඉනික්බිති උදා වූ සති තුල දී වඩවඩාත් හදිසි බවට පත් වූ උද්ඝෝෂනයක් සඳහා සටන් පාඨය සම්පාදනය කලේය. මනුෂ්‍ය ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් සාතිශය සැලැකිල්ලක් දැක්වීමට එරෙහි තර්ක වඩවඩාත් විලිලැජ්ජා විරහිත මට්ටමකට ඇද වැටින. වසංගතයට ඵලදායී ප්‍රතිචාරයක් දැක්වීම වලක්වනු ලැබූ සමාජ ආර්ථික උත්සුකයන් පිලිබඳ පරීක්ෂාවක් කිරීම මඟ හැර යමින්, ටයිම්ස් ප්‍රකාශන මිනිසා මුහුන දී ඇති දුක් පීඩාවන්හි ප්‍රතිලාභ පිලිබඳව වර්නනා කිරීම ආරම්භ කලේය. "අප කෙතෙක් ප්‍රාර්ථනා කල ද, අප කිසිවෙකුට හෝ දුක් පීඩා විඳීමෙන් ගැලැවී යා නොහැකැ"යි තීරු ලිපි ලේඛිකා එමිලි එස්ෆහනි ස්මිත් සිතයි. අප්‍රේල් 7 දින පල වූ ලිපියේ ඇය වැඩි දුරටත් පවසන්නේ, "දුක් විඳීමට ද උගෙන ගැනීම වැදගත් වන්නේ ඒ නිසා ය" යනුවෙනි.            

අප්‍රේල් 11 වන දින ටයිම්ස් පුවත්පත, දුක් පීඩා විඳීමේ හා මරනයේ ප්‍රතිලාභ පිලිබඳව වැඩි දුර සිතා බැලීමක් සකසා පිලිගැන්වීය. "වසංගතය සහ දෙවියන්ගේ කැමැත්ත" නම් තීරු ලිපියක් ලියූ රොස් ඩුතට්, "දුක් විඳීම දිව්‍යමය සැලසුමකට සීහෙන අයුරු" පිලිබඳ සලකා බැලීමට පාඨකයාට ආරාධනා කලේය. නිව්යෝර්ක් පුරවරයේ නිව් ස්කූල්හි සයිමන් ක්‍රිච්ලි විසින් ලියන ලද තවත් රචනයක නිවේදනය කර සිටියේ, "දාර්ශනික විමර්ශනය යනු මිය යා යුත්තේ කෙසේදැයි ඉගෙනීම" වන බවයි. ඩෙකාට්, බොවිතියස්, මෝර්, ග්‍රම්ස්චි, හයිඩිගර්, පැස්කල්, ටී.එස්.එලියට්, මොන්ටේන්, චීචෙරෝ, ඩැෆෝ, කැමූ, ක්යෙකෙගාර්ඩ් වැනි අයගේ - සහ බොකාචියෝගේ පවා - අධිකාරය කැඳවා සිටීමේ; එක් පුවත්පත් තීරුවක් තුල ඒ සියල්ලන්ගේ අධිකාරයට කැඳවුම් කිරීමේ; ව්‍යාජයෙන් මෙම ශාස්ත්‍රාලයීය පූච්චානම්කරුවා යුග ගනනාවක ප්‍රඥාව පිඬු කොට දක්වා සිටියේ තම පාඨකයන්ට පහත දැක්වෙන පරිදි අනුශාසනා කරමිනි: "මරනයට මුහුන දීම අපගේ විමුක්තිය හා ගැලවිල්ල කරා එලැඹීමේ යතුර විය හැකිය."      

ටයිම්ස් විසින් සංවිධානය කරන ලද වීඩියෝ වට මේස සාකච්ඡාවක පෙල තුලින්, දුක් අනුභව කිරීම හා මරනය පිලිබඳ මෙම ලෝකෝත්තර වමාරා කෑම්වලට යටින් දිවෙන කුරිරු ප්‍රායෝගික න්‍යාය පත්‍රය ඔලමොල අයුරින් ප්‍රකාශයට පත් විය. වසර 75 ඉක්මවා ජීවිතය දීර්ඝ කිරීමට වෛද්‍යවරුන් තැත් නොකල යුතුයැයි තර්ක කිරීමෙන් අපකීර්තියට පත් සිකේ එමෑනුවෙල් සහ, බෙලහීන ලදරුවන්ට අනායාස මරනයක් අත් කර දීමට පක්ෂව තම පෙනී සිටීම නිසා 20 වසරකට පෙර සරසවියේ පදවිය සඳහා තමන් තෝරා ගැනුනු කල ඊට එරෙහි විරෝධතාවලට මුහුන පෑ ප්‍රින්ස්ටන් සරසවියේ ජෛව ආචාර්යධර්ම පිලිබඳ මහාචාර්යවරයෙකු වන පීටර් සිංගර් ද සාකච්ඡාවට සහභාගී වූවන් අතර වූහ. දශක දෙකකට ඉහත ප්‍රින්ස්ටන් කරා සිංගර්ගේ සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් පැන නැඟුනු මතභේදය පිලිබඳව සවිස්තර ලෙස ලියූ ටයිම්ස් පුවත්පත ඔහුගේ අදහස්වලට සපුරාම හුරුපුරුදුය.    

වීඩියෝ මන්ත්‍රනයේ පෙල අප්‍රේල් 10 වන දින නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ වෙබ් සංස්කරනයේ පල කර තිබුනේ, "ඇමරිකාව යලි වැඩ පටන්ගැනීම යන්නෙහි අදහස වන්නේ මහජනයා මිය යනු ඇති බවයි. ඉදින් අප එය කරන්නේ කවර අවස්ථාවේ ද? චින්තකයෝ පස් දෙනෙක් අර්බුද තත්වයක් තුල පවතින සදාචාරාත්මක විකල්ප කිරා බලති", යන මැයෙනි.      

පෙල පිලිබඳ තම හඳුන්වා දීම තුල ටයිම්ස් සඟරාව, "ජීවිත රැක ගැනීම හා ආර්ථිකය රැක ගැනීම අතර යමක් ලබා ගැනීම සඳහා යමක් දිය යුතුය යන වර්ගයේ ගනුදෙනුවක්" පවතින බව පිලිගැනීම අත්‍යවශ්‍ය වනු ඇතැයි තරයේ ප්‍රකාශ කලේය. කෙටිකාලීනව මෙම ඉලක්කයන් දෙක එකෙලි විය හැකි "නමුදු, දීර්ඝකාලීනව" ඉහත වර්ගයේ ගනුදෙනුවක් "මතු වනු ඇතැයි පිලිගැනීම වැදගත් වේ. - එය එලැඹෙන මාසවලදී, ආර්ථිකය අවපාතය තුල ගැඹුරින් කිඳී යන කල්හි, වඩාත් හදිසි අවශ්‍යතාවයක් බවට පත් වනු ඇත."       

මෙකී "ගනුදෙනුව" පිලිබඳ සිය විශ්ලේෂනය තුල ටයිම්ස් සඟරාව ක්‍රියාරම්භ කරන්නේම, ආර්ථික උත්සුකයන් විය හැක්කේ ධනේශ්වර පන්තියේ එකී උත්සුකයන් පමනකැයි යනුවෙන් ප්‍රශ්න නොනඟා පිලිගනු ලබන සාධ්‍යයකිනි. ලාභ පද්ධතිය, නිෂ්පාදන බලවේගවල පෞද්ගලික අයිතිය හා අතිමහත් පුද්ගල වත්කම් නොවෙනස් කල හැකි ද, සදාකාලික ද වේ. එබැවින් ඉහත "ගනුදෙනුවට" අනුව, නොවැලැක්විය හැකි පරිදි මිනිස් ජීවිතවලින්, හා නිශ්චිතව කිවහොත් කම්කරු ජනයාගේ ජීවිතවලින් ගෙවිය යුතු වේ.     

"ඔය සියලු ජනයාට අනුග්‍රාහක පැකේජයක්" වසරක් හෝ මාස 18 ක් හෝ පුරා සම්පාදනය කිරීම කල නොහැක්කකැයි සිංගර් නිවේදනය කලේය. "පහත දැක්වෙන ලෙස කීමට අප පටන් ගනු ඇත්තේ එවිටය: ඔව්, අප රට විවෘත කලහොත් මිනිසුන් මිය යනු ඇත, එහෙත් එසේ රට විවෘත නොකිරීමේ ඵල විපාක කෙතෙක් කටුක ද යත්, කොයි හැටි වෙතත් අපට එසේ කරන්නට සිදුවනු විය හැක."       

බැංකු හා සමාගම්වල විධායකයන් හා කොටස් හිමියන් ආරක්ෂා කිරීම සඳහා කොන්ග්‍රසය ඒවායේ පෙට්ටගම් තුලට ඩොලර් ට්‍රිලියන ගනනක් එන්නත් කොට තවම හුස්මක් ගැනීමටවත් කාලයක් ගත නොවීය යන කරුන පිලිබඳව ටයිම්ස් සාකච්ඡා මන්ඩපයේ කිසිදු සාමාජිකයෙකු අවධානය යොමු නොකල බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම, එක්සත් ජනපදය තුල සිටින 250 ක් පමන වන බිලියනපතියන් සතු දල වටිනාකම්වල එකතුව ඩොලර් ට්‍රිලියන 9 කට ආසන්න වන බව පිලිබඳව ද සඳහනක් නොවීය. මෙම ධනය පවරා ගෙන එක්සත් ජනපදයේ දුගීතම නිවාස මිලියන 100 අතර සමානව බෙදා දුනහොත් එමඟින් එක් නිවෙසකට මසකට ඩොලර් 5,000 ක් බැගින් මාස 18 ක් ලබා දිය හැකි වනු ඇත!           

සත්තකින්ම, පෞද්ගලිකව අත දරා ගෙන සිටින මේ සා අති දැවැන්ත ධන සම්භාරයක් පවරා ගැනීම යනු, - දැවැන්ත සමාජ අර්බුදයක සන්දර්භය තුල එය මුලුමනින්ම නීත්‍යානුකූල හා අත්‍යවශ්‍ය පියවරක් වුව - අඩු තරමින් එය කල හැක්කක් ලෙස න්‍යායිකව සලකා බැලීමට හෝ ටයිම්ස් හා එහි සාකච්ඡා සභා සාමාජිකයන් සූදානම් නොවන විකල්පයකි. එහෙත් අසංඛ්‍ය සංඛ්‍යාත දහස් ගනනකගේ මරන, ප්‍රායෝගික - එනම්, ධනේශ්වර - අත්‍යවශ්‍යතාවයක් ලෙස පිලිගැනීමට ඔවුන් සූදානම්ය. මිනිස් ජීවිත ලාභ පද්ධතියට යටත් කිරීම වූ කලී එක්සත් ජනපදය තුලට පමනක් සීමා වූවක් නොවේ. එය යුරෝපයේ පාලක ප්‍රභූවන් විසින් ද විශ්වව්‍යාපී මූලධර්මයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙමින් පවතී. ස්විට්සර්ලන්තයේ පාලක පන්තියේ ප්‍රධාන හොරනෑව වන නොඑට් ෂුවෙෂෙ සයිටුංහි (New Zurich Times) අප්‍රේල් 17 වන දින පල කල ලිපියක් මෙසේ ප්‍රශ්න කරයි:     

ඔබට සදාකාලිකව ජීවත් වීමට අවශ්‍ය ද? මෙය 1757 කොලින් සංග්‍රාමයේ දී සතුරා හමුවේ පසුබසින සෙබලුන්ගෙන් මහා ෆ්‍රෙඩ්රික් ඇසූ ප්‍රශ්නයයි. කොරෝනා ආසාදිත රෝගීන් හා ඉන් මලවුන් එක් පසෙක ද, සමස්ත ජනගහනය හා පොදුවේ පවතින රෝගාබාධ වලින් පීඩා විඳින්නන් අනෙක් පැත්තේ ද තබා, ඒ අතර පවතින මතභේදකාරී සම්බන්ධතාවයේ දෘෂ්ඨියෙන් බැලූ කල යමෙකු එම ප්‍රශ්නයම යලිත් ඇසීමට යොමු වනු ඇත. 

මෙහි ඇතැම් දේ - වචනාර්ථයෙන් ගත් කල - පිස්සුවක් සේ පෙනී යනු ඇත. එහෙත් එහි ආර්ථික විනාශය භාරගැනීමට මෙම රෝගය විසින් සලස්වනු ලබන නොහික්මුනු ආකාරය සමඟ එහි සම්පාර්ශ්වික හානි සැලකිල්ලට ගත් කල එම සමස්ත ප්‍රශ්නය ඇසීමට නිතැතින් පෙලඹවීමක් කෙරෙයි. එය ප්‍රබල ලෙස මතු කරන්නට අවශ්‍ය අයෙකුට මෙසේ කිව හැකිය: වියපත් තනි තනි මිනිසුන්, සාමාන්‍ය තතු යටතේ ඔවුන් ජීවත් වෙතැයි අපේක්ෂිත වනු ඇති කාලයට වඩා අවුරුදු කිහිපයක් කල් තබා අභාවප්‍රාප්ත වීම වලක්වනු වස් අපි ආර්ථික සිය දිවි නසා ගැනීමේ මාවත තෝරා ගතිමු.                 

වියපත් වූවන් හා දුබලයන් උපුටා දැමීමේ පිලිවෙතක් පිලිගැනීමටත්, එවැන්නක් ක්‍රියාවට ලීමටත් පක්ෂව පෙනී සිටීමේ වඩාත්ම නිශ්චිත ලෙස ෆැසිස්ට්වාදී වූ ප්‍රකාශනය අත්පත් කර ගත් දීර්ඝ ලිපියක් ඩර් ස්පීගල් (The Mirror) නම් ජර්මන් ප්‍රවෘත්ති සඟරාවේ අප්‍රේල් 13 වන දින පල විය. "මියයාම පිලිබඳව අප කථා කල යුතුය", යන මැයෙන් යුත් එය, හරිත පක්ෂය (Green Party) සමඟ සබඳතා පවත්වමින් සිට ඇති සමාජ විද්‍යාඥයෙකු වන බර්නාඩ් ගිල් විසින් ලියන ලද්දකි.   

විද්‍යාවේ වර්ධනයට එරෙහිව මුදා හැරෙන පුලුල් ප්‍රහාරයක් මඟින් ගිල්, දහනව වන සියවසේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් වන ලුවී පාස්චර් හා රොබට් කොච් "ක්ෂුද්‍ර ජීවීන් දැකිය හැකි, කලමනාකරනය කල හැකි හා එබැවින් පාලනය කල හැකි බවට පත් කල වීරයන් ලෙස" සැලකීමේ "වික්‍රමාන්විත ආඛ්‍යානය" හෙලා දකියි. ගිල් මෙසේ විරෝධය පල කරයි:       

මෙම මැවීම පිලිබඳ කථා ප්‍රවෘත්තියේ දී, ක්ෂුද්‍ර ජීවීහු පිටස්තරයෝ වෙති. අපට තර්ජනය කරන හා එබැවින් අප බලහත්කාරයෙන් මැඩ සිටින ඔවුන් මූලෝත්පාටනය කර දැමීම සුදුසුම ක්‍රමයයි. "ඔවුන්ගේ" ජීවිතවලට එරෙහිව "අපේ" ජීවිත - විෂබීජවලින් තොර පරිසරයක් තුල සදාකාලික ජීවිතය පිලිබඳ ප්‍රතිඥා දෙන අවසාන ජයග්‍රහනය දක්වා විද්‍යාත්මක දැනුම හා හොඳින් සංවිධානය වී කෙරෙන ආරක්ෂක අරගලය.     

එහෙත් මෙය ස්වභාව ධර්මය ඉක්මවා යාමකි. "මරනයෙන් තොරව අපේ ජීවිතය වටහා ගත නොහැක," ගිල් ප්‍රකාශ කරයි. එහෙත් "හැකි සියලු ආකාරයන් යොදා ආසාදනය මැඩ පැවැත්වීමට" යත්න දරන්නෝ, "හැකි සියලු ආකාරයන් යොදා මියයාමට එරෙහිව සටන් වදින්නෝ වෙති."       

"මරනයට පත්වීම වූ කලී, ඊට සම්බන්ධිත අයට වෙන්වෙන්ව ගත් කල වේදනාකාරී වූ ස්වභාවික ක්‍රියාදාමයක් මුත්, දුරස්තර ව බැලූ කල එය නව ජීවිතය සඳහා අවකාශ විවර කරන්නේය" යන දෘෂ්ඨියෙන් බලන්නා වූ "සමූහ ප්‍රතිශක්තියේ" වැඩ පිලිවෙල මත පදනම් වෙමින්, ගිල් පෙනී සිටින්නේ වසංගතයේ ස්වාභාවික පැතිර යාම භාරගැනීම වෙනුවෙනි. ගිල් තර්ක කරන්නේ, මෙම ප්‍රවිෂ්ටය මඟින්, "මරනයෙන් තොරව අපගේ ජීවිතය ගැන සිතා ගත නොහැකිය යන දැනුම සමඟ අප විෂබීජ භාරගැනීමට හිත හදාගන්නා" බවයි. "නව ජීවිතය පිලිබඳ අපේක්ෂාව සමඟ අපට සැනසිය හැකිය." 

මීට 75 වසරකට ඉහත මෙම මාසයේ සිය බර්ලින් බංකරය තුල සිය දිවි නසා ගත් නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් මෙම තර්කවලට එක පයින් එකඟවන්නට තිබින.         

ගැඹුරින්ම ප්‍රතිගාමී වූ ද, අමානුෂික වූ ද අදහස් ජර්මනිය සිසාරා පා වී යමින් පවතී. එහෙත් එක්සත් ජනපදයේ සිදු වන දෙයට නොඅඩු ලෙස එහිදී ද, ඒවා මතුවන්නේ තනි පුද්ගලයන්ගේ රෝගී මනසින් නොව, ධනේශ්වර ක්‍රමයේ අවශ්‍යතා වලිනි.

ගිල් සඳහා සාකච්ඡා මන්ඩපයක් සම්පාදනය කරන එකී ඩර් ස්පීගල් ප්‍රකාශනයම අනතුරු හඟවන්නේ ජර්මනියේ මෝටර් රථ කර්මාන්තයට, දික් ගැසී යන වසා තැබීමකට ඔරොත්තු දිය නොහැකි බවයි.     

කොරෝනා අර්බුදය පවත්නා කාලය වඩවඩාත් දීර්ඝ වන තරමට, කිසියම් සැලසුම් ආරක්ෂනයක් සම්පාදනය කරනු වස්, වැඩ නවතා තැබීම් ලිහිල් කරන දිනයක් නම් කරන ලෙස දේශපාලනඥයන් වෙත කර්මාන්තකරුවන්ගෙන් කෙරෙන කැඳවීම් වඩවඩාත් උස් හඬක් කරා නැඟෙනු ඇත... 

විශේෂයෙන්ම මෝටර් රථ කර්මාන්තය මුහුන දී සිටින්නේ ඓතිහාසික පූර්වාදර්ශයන් නොමැති, ශක්තිය උරගා බැලීමේ පරීක්ෂනයකටය. බිඳවැටීමක් වලක්වා ගැනීමට නම්, සමාගම්වලට ඒවායේ දැනට වසා දමා ඇති කම්හල් මේ වසන්තයේ යලි විවෘත කර ගැනීමට අවශ්‍යය.   

එපමනක් නොව, සම්බන්ධිත ගැටලු අතර ගෝලීය තරඟකාරීත්වයේ තීරනාත්මක ප්‍රයුක්තීන් ද වේ. ඩර් ස්පීගල්හි වැඩි දුරටත් මෙසේ දැක්වේ:      

එමෙන්ම භූ උපායාත්මක උත්සුකයන් ද පවතී. ආර්ථික බලවතුන් ලෙස එක්සත් ජනපදයට හා චීනයට ප්‍රතිතෝලකයක් ලෙස යුරෝපා වෙලඳපොල ශක්තිමත් කිරීමට යුරෝපයේ සමාගම්වල විධායකයන්ට අවශ්‍යය. .. 

කොරෝනා වෛරස වසංගතයේ ආරම්භක රට වූ චීනය සෙසු ලෝකයට පෙර අර්බුදයෙන් ගොඩ එමින් සිටින බවක් පෙනී යන තතු තුල මෙය වඩාත් සත්‍ය වේ. 

කොවිඩ්-19 කොරෝනා වෛරසය මානව වර්ගයාට මුහුන දී සිටින්නේ හුදෙක් විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මක ගැටලුවක් සමඟින් නොව, දේශපාලනික හා සාමාජයික අභියෝගයක් ද සමඟය. ඊට පාලක පන්තීන් විසින් ලබා දෙන ප්‍රතිචාරය විසින් හෙලිදරව් කෙරෙන්නේ, එහි උත්සුකයන් මානව ප්‍රගතිය හා මානව වර්ගයාගේ නොනැසී ශේෂවීම සමඟ ම නොසීහෙන බවය.    

වසංගතයට මුහුන දීම සඳහා සූදානම් වීමට අසමත් වීම, කොරෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වූ කල්හි දැක්වූ ව්‍යාකූල සහගත හා අසංවිධානාත්මක ප්‍රතිචාරය, සෑම සාමාජයීය අවශ්‍යතාවයක්ම තමාගේම ආර්ථික උත්සුකයන්ට යටත් කිරීමට ක්‍රියා කිරීම, ව්‍යාධියට ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීමේ සෑම ශක්‍යතාවයක්ම ජාතික පදනම් මත පිහිටා කඩාකප්පල් කර දැමීම, සහ සමාජ සුඛමෘත්‍යයේ (අනායාස මරනයේ) ප්‍රතිගාමී හා නව ෆැසිස්ට්වාදී වැඩ පිලිවෙල එලිපිටම සාධාරනීකරනය කිරීම මඟින් පාලක පන්තිය පෙන්වා දෙන්නේ සමාජවාදයේ අත්‍යවශ්‍යතාවයයි.      

මානව සංහතිය නොනැසී පැවතීමට නම්, සමාජය මුදල් උමතුවෙන් පෙලෙන ධනේශ්වර ප්‍රභූනට යටත් කිරීම අවසන් කල යුතුය.

Loading