කම්කරුවන්ගෙන් බහුතරයක රැකියා අහිමි කරමින් කොග්ගල වෙලඳ කලාපය වැඩ අරඹයි

කොරෝනා වසංගතය තවදුරටත් ව්‍යාප්ත වෙද්දී, කම්කරුවන්ගේ දිවි පරදුවට තබා කර්මාන්ත ඇරැඹීමට ආන්ඩුව ගත් තීන්දුව අනුව,  කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ගෙන් කොටසකට 20දා සිට සේවයට වාර්තා කිරීමට සිදුව ඇත.

ක්‍රමානුකූල ව ආර්ථිකය විවෘත කර නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වීමත් සමග ඊට ශක්තිය දීම    සඳහා ආයෝජන මන්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පටන් ගැනීම මෙහි අරමුන බව ආයෝජන මන්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර ඇත. ඒ අනුව දිවයින පුරා කම්හල් 250 කට අධික සංඛ්‍යාවක් විවෘත කොට තිබේ.

කම්කරුවන්ගෙන් සියයට විස්සක් පමනක් වැඩට කැඳවූයේ හුදෙක්ම සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව ක්‍රියා කිරීමට බව  ආයෝජන මන්ඩලය සහ ධනපති මාධ්‍ය බිස්ස සඳහන් කලත්, එහි සැබෑ අරමුන දැවැන්ත රැකියා කප්පාදුවකි.

කොග්ගල නිදහස් වෙලඳ කලාපය

කොග්ගල වෙලඳ කලාපයේ විසි වෙනිදා ආරම්භ කල එක් සමාගමක් වන කොග්ගල ගාමන්ට් පුද්ගලික සමාගම කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමන විට එහි 1500 ක් පමන කම්කරුවෝ සේවයේ යෙදී සිටියහ. ඉන් සේවයට කැඳවා ඇත්තේ  450 ක් පමනක් වන අතර, 1000 ක් පමන වන අනෙකුත් කම්කරුවන්ට දැනුම් දෙන තුරු යලි සේවයට නො පැමිනෙන ලෙස දන්වා ඇත. එහෙත් ඔවුහු  යලි සේවයට  කැඳවන බවට කිසිදු සහතිකයක් නැත.

එදින සේවයට වාර්තා  කල කම්කරුවන්ට වෙනදා ලැබුනු දිවා ආහාර වේල අහිමි වී තිබිනි. එය කම්කරුවන් ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගත් පියවරක් යැයි සමාගම පවසා ඇත.

මෙබඳු අන් සමාගම් බොහෝමයක මෙන් ම මෙම ආයතනය ද අනියම් පදනමේ කම්කරුවන් නිරන්තරයෙන් සේවයෙහි යොදවයි. ස්ථිර කම්කරුවන්ට ලැබෙන දීමනා ඔවුන්ට අහිමි ය. එහෙත් ස්ථිර කම්කරුවන්ට ද මෙම අප්‍රේල් මාසයට ලැබිය යුතු බෝනස් දීමනාව ලබාදී නොමැත.

ලිපිකරුවන් සහ මානව සම්පත් කලමනාකරන අංශය සේවයට  නො කැඳවූ අතර සේවයට කැඳවා සිටි කම්කරුවන් යොදා ගැනුනේ කලින් කරමින් සිටි, එහෙත් නිමා කල නො හැකි වූ නිෂ්පාදන අවසන් කිරීම සදහාය.

1978 ආරම්භ කල පැරනි ම ඇඟලුම් සමාගමක් වන ස්ටාර් ගාමන්ට් ආයතනය කොග්ගල නිදහස් වෙලඳ කලාපය ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල කර්මාන්ත ශාලා දහයක කම්කරුවන් අට දහසක් සේවයේ යොදවා ඇත. එහි එක් ශාඛාවක් වන ගාල්ල පින්නදූව කර්මාන්ත ශාලාවේ කම්කරුවන්  300 න් 200 ක් පමන වැඩට කැඳවා තිබුනේ ද නිම කල නො හැකි වූ නිශ්පාදන අවසන් කිරීම සඳහාය. ඔවුන්ට ද අප්‍රේල් බෝනස් මුදල අහිමි කර තිබුනි.

මෙම ආයතනය නිෂ්පාදනය කරමින් සිටි  ඇඳුම් ලක්ෂ අටක් පමන ඇනවුම් අවලංගු වීමට මුහුන දී ඇත. මෙය සමස්ත ඇඟලුම් කර්මාන්තය ම මුහුන දී ඇති  තත්ත්වයයි.

වසංගතය පැතිරයාම ආරම්භව තිබූ මාර්තු මාසයේ අනෙකුත් ආයතන වසා දැමුවද, කම්කරුවන්ගේ ජීවිත අනතුර නොතකා,  ආයෝජන මන්ඩලය යටතේ පවතින කර්මාන්ත නිර්බාධිත ව පවත්වා ගැනීමට ආන්ඩුව සහ කම්හල් හිමියෝ උත්සාහ කලහ. දහස් ගනනක් කම්කරුවන් ඊට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂනය එම සැලැස්ම පරාජය කලේ ය. ආන්ඩුවේ ම වාර්තාවන්ට අනුව කටුනායක, බියගම, මීරිගම, හොරන සහ සීතාවක  නිදහස් වෙලඳ කලාප වල 10,100 ක් කම්කරුවෝ මාර්තු 27 වන තෙක් සිර වී සිටියහ.

බොහෝ කම්කරුවන්ට නිවෙස්වලට යාමට සිදු වූයේ මාර්තු වැටුප හා අප්‍රේල් බෝනස් දීමනාව ද නැතිවය. කම්කරුවන් ඊට එරෙහිව උද්ඝෝෂනය කල විට, ආයෝජන මන්ඩලයේ අධ්‍යක්ෂ ඩී.එල්.පී. සමරසිංහ, “වැටුප් නො ගෙවීම සම්බන්ධයෙන්  නිසි ආකාර පැමිනිල්ලක් ලැබී නැතැ” යි පවසමින් ප්‍රශ්නය මග හැර ගියේ ය.

වැටුප් නො ගෙවීම හෝ රැකියාවලින් දොට්ට දැමීම සිදු වී ඇත්නම් ඒ සම්බන්ධ කම්කරු දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂන පවත්වා නිසි පියවර ගන්නා බව කියමින් ඇමති දිනේෂ් ගුනවර්ධන ද කර ඇරියේ ය.

ආන්ඩුව, කම්කරුවන්ගේ හා ඔවුන්ගේ පවුල් වල ජීවිත පරදුවට තබා ආයෝජකයන්ගේ ලාභ රැක දීමට කල හැකි හැම දෙයක් ම සිදු කිරීමට පසුබට නො වෙයි. වසංගතය විසින් ගැඹුරු කර ඇති ගෝලීය වෙලඳපොල අර්බුදයට මුහුන දීම සඳහා ඔවුන්ට ඇති එකම මග එයයි. පවතින සීමාවන් යටතේ වුව නිෂ්පාදනයේ නිරත වෙමින් සූදානමින් නො සිටිය හොත් එලඹෙන කාල පරිච්ඡේදයේ ඇතිවන තරගයෙන් තමන් විසිවෙනු ඇතැයි සියලු රටවල ආයෝජකයෝ බියට පත් ව සිටිති.

ශ්‍රී ලංකාවේ  සමස්ත අපනයන ආදායමෙන් සියයට හතලිහක් පමන උපයනු ලබන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. 2019 වසරේ ඇඟලුම් කර්මාන්තය උපයන ලද අපනයන ආදායම ඩොලර්  බිලියන 5.6 කි. 2025 දී කර්මාන්තය තුලින් අත්පත් කර ගැනීමට අපේක්ෂිත මුදල බිලියන 8 කි.

මේ අනුව ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව උත්පාදනය කර ඇති මුලු රැකියා ප්‍රමානය 990,000ට වැඩි බව වාර්තා වෙයි. මෙයින් හරි අඩක් පමන රැකියා අහෝසි කිරීමට දැනටමත් ආයෝජකයින් සැලසුම් කර ඇත.

මුදිත සිල්වා

  ගෙවී ගිය මාස හතර තුල ඇඟලුම් සමාගම් රුපියල් කෝටි තිස් පන්දහසක පාඩුවක් විඳ ඇතැයි හිරු ටීවී සම්මුඛ සාකච්ඡාවක දී    ප්‍රකාශ කල  ඔරේන්ජ් ඇපරල් ආයතනයේ ප්‍රධාන අලෙවි විධායක මුදිත සිල්වා මෙසේ පැවසීය: “රජයට රටේ මිනිස්සුන්ට කන්න නැහැ කියා සහනාධාර බෙදන්න බැහැ. රජය කල යුත්තේ අඩු තරමින් මාස හයක් සඳහා වත් නයක් නොවන මූල්‍ය දායකත්වයක් ඇඟලුම් කර්මාන්තයට ලබා දීමයි.” රජය දැනටමත් ඒ සඳහා පියවර ගනිමින් සිටින බව ඔහුට දැන ගැනීමට  ලැබී ඇත.

වෝග් ටෙක්ස් යනු, 1984 ආරම්භ කල ආයතනයක් වන අතර, එයට අයත් කම්හල් හතක 7500ට වැඩි සේවක සංඛ්‍යාවක් රැකියාවේ නිරතව සිටිති. 

ඒ අතරින් හික්කඩුව ගෝනපීනුවල කර්මාන්ත ශාලාවේ 1000 කට වඩා තම්කරු පිරිසක් සේවයේ යෙදෙති. එහි සේවයේ නියුතු කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: 

“මාර්තු 19 වැඩ නතර කලා, අප්‍රේල් 22 දා නැවත වැඩ ආරම්භ කලා. දෙසිය පනහක් පමන තමයි වැඩට කැඳවා තිබුනේ. හය මාසයක් නොඉක්ම වූ සේවකයන් හා වයස අවුරුදු පනහ ඉක්මවූ අය සේවයෙන් ඉවත් කල බව දන්වා ලිපි යවා තිබුනා. වැඩි   ප්‍රමානයක් සේවය කලේ මාස හයට 6 ට අඩු සේවා කාලයක් ඇති අය.” 

“මූලික වැටුප රුපියල් 18,500යි, පැමිනීමේ දීමනාව රුපියල් හාරදහසක්. දිනක් නිවාඩු ගත්තොත් 1800 ක් කපනව, දින දෙකක් නිවාඩු ගත්තොත් මුලු මුදලම ලැබෙන්නෙ නෑ. එමෙන් ම නිවාඩු නො දමා එක් දිනක් හෝ  නැවතුනහොත් පැමිනීමේ දීමනාව කපනව.” 

Loading