ආන්ඩුව රට යලි විවෘත කිරීමට සැරසෙද්දී කොරෝනා රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යයි

පසුගිය දින කිහිපය තුල ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහල ගියේය. එක් දිනකදී හඳුනාගත් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ ආසාදිතයන් 63 දෙනෙකු හඳුනා ගැනුනි. මේ සීඝ්‍ර ඉහල යාම වාර්තා වූයේ, රතු අවදානම නොමැති යැයි සැලකෙන දිස්ත්‍රික්ක 21 තුල ඇඳිරි නීති ලිහිල් කර රට යලි විවෘත කිරීමට සැරසෙන පසුබිමකය.

අද දිනයේ උදෑසන වාර්තා වලට අනුව මෙතෙක් හඳුනාගත් මුලු කොරෝනා රෝගීන් ගනන 523 කි. ලංකාවේ පලමු රෝගීන් සියය හමුවීමට දින 57 ක් ගතවූ අතර දෙවන රෝගීන් සියය වාර්තා වූයේ දින 19 කිනි. තෙවන රෝගීන් සියය වාර්තා වීමට දින 11ක් ගතවිය. හතරවන රෝගීන් සියය වාර්තා වීමට ගතවූයේ දින හතරක් පමනි. පරීක්ෂන ගනන සීමිතව තිබියදීත් මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කොරෝනා වෛරසය ලංකාව තුල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවයි.

කොරෝනා රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීම මගින්, වසංගතය “පාලනය” කර ඇති බවට ආන්ඩුව කරන පුරාජේරු කතාවන් හි පල්ල ගැලවී ගොස් ඇත. එමෙන්ම එය දැනටමත් ඇඳිරි නීති ලිහිල් කර විවෘත කර ඇති ප්‍රදේශ වල මහජනතාව විශාල වශයෙන් කොරෝනා වෛරසයට නිරාවරනය වීමේ අවදානම මතු කරයි.

වඩාත් කැපී පෙනෙන කරුනක් වූයේ පසුගිය සතියේ හඳුනා ගැනුනු රෝගීන් අතරින් 100 කට ආසන්න සංඛ්‍යාවක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වීමයි. මෙලෙස හමුදා භටයන් සුවිසල් සංඛ්‍යාවක් එක්වර ආසාදනය වීම මගින්, ඉතා බලගතු ලෙස ඉස්මත්තට ගෙනෙනුයේ, වසංගත මෙහෙයුම් සඳහා පුහුනු සෞඛ්‍ය සේවකයන් යොදනු වෙනුවට, යුද්ධයට පුහුනු කෙරුනු හමුදා භටයන් යෙදවීමේ ව්‍යසනකාරී ස්වභාවය යි.  

මේ කරුනු සියල්ලම අවධාරනය කරන්නේ කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමට මහා පරිමානයෙන් පීසීආර් පරීක්ෂන කිරීමේ අවශ්‍යතාවයයි.

මේ සම්බන්ධයෙන් වඩා පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට පසුගිය කාලය තුල දිනකදී කෙරුනු පීසීආර් පරීක්ෂන ගනන සොයා බැලීම වැදගත් ය. වාර්තා වලට අනුව පරීක්ෂන ආරම්භ කල අවස්ථාවල දිනකට සිදු කර ඇත්තේ 5,10,15 වැනි ඉතා සීමීත ගනනකි. ඉන් පසු අප්‍රේල් 9 වනදා තෙක් 125 ක සාමාන්‍ය අගයක පරීක්ෂන ගනන පවත්වාගෙන ගොස් ඇත. අප්‍රේල් 9 වනදා පරීක්ෂන 287 ක් සිදු කර ඇත. ඉන්පසු 700 ක අගයක පරීක්ෂන පවත්වාගෙන ගොස් තිබේ.

බ්‍රහස්පතින්දා දිනයේ උපරිම පීසීආර් පරීක්ෂන ප්‍රමානයක් සිදු කර ඇත. එය 1142 කි.

ඉහත තොරතුරු පෙන්වන්නේ පීසීආර් පරීක්ෂන ගනන ඉහල නැංවීමත් සමග වාර්තා වන ආසාදිතයින් ගනන වැඩි වන බවයි. මේ අනුව සොයා ගැනෙන ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමට හේතුවී ඇත්තේ පීසීආර් පරීක්ෂන වල සීමාසහිත බවයි.

මේ වන විට සිදු කර ඇති මුලු පරීක්ෂන ගනන 14,000 කට ආසන්න ය. ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ 45,000 කට ආසන්න ලාංකිකයන් පිරිසක් කොවිඩ් 19 වෛරසයට නිරාවරනය වීමේ අවදානමට ලක්ව ඇති බවයි. එම සංඛ්‍යාව සමග සසඳන විට මෙම පරීක්ෂන ගනන සහ දිනකට කෙරෙන පරීක්ෂන සීඝ්‍රතාවය කිසිසේත්ම ප්‍රමානවත් නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් පසුගිය බදාදා දිනයේ ප්‍රකාශයක් කරමින් යලිත් අවධාරනය කලේ “සැක සහිත සියලු පුද්ගලයින් පරීක්ෂා කරන්න” යන්න සිය සංවිධානයේ උපදේශය බවයි. ඉහත සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ රාජපක්ෂ ආන්ඩුව මෙම උපදෙස් මුලුමනින්ම නොතකමින් පරීක්ෂන ගනන සීමිත අගයක පවත්වාගෙන යමින් සිටින බවයි.

දැනට ලංකාව තුල සිදු කෙරෙන්නේ නිරෝධායන කාලය තුල හෝ සාමාන්‍ය ජීවිතයේදී සැක සහිත රෝග ලක්ෂන පෙන්වන්නේ නම් පමනක් පරීක්ෂන සඳහා යොමු කෙරෙන ක්‍රමවේදයකි . කොරෝනා ආසාදිතයින්ගෙන් සැලකිය යුතු පිරිසක් රෝග ලක්ෂන නොපෙන්වීම හේතුවෙන් මෙය ඵලදායී නොවේ. පසුගිය කාලයේ දින 14 ක නිරෝධායන කාලය නිම කර නිවෙස් වලට පැමිනි අයගෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ එබැවිනි.

මහා පරිමාන පරීක්ෂන නොකිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ මහජනතාව අතර විරෝධය වැඩෙන තතු තුල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (රවෛනිස) සභාපති අනුරුද්ධ පාදෙනිය අප්‍රේල් 23 වනදා ජනාධිපතිවරයාට ලිපියක් යැවීය. එහි සඳහන් කෙරුනේ ඔවුන් මාර්තු 31 වනදා පරීක්ෂන වැඩි වශයෙන් කිරීම සඳහා තම සංගමය යෝජනා කලද අප්‍රේල් 19 වනදා තෙක් එය සති තුනක් ප්‍රමාද කර ඇති බවයි.

එයට හේතුව වශයෙන් ලිපිය තුල සඳහන් කරන්නේ “දේශපාලනය අධිකාරිය අනුමත කර තිබියදීත් සෞඛ්‍ය අධිකාරිය එය ක්‍රියාත්මක නොකිරීමයි”. ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන රවෛනිස මේ සූදානම් වන්නේ මහා පරිමානයෙන් පරීක්ෂන නොකිරීමේ වගකීමෙන් ආන්ඩුව ගලවා හැර එය සෞඛ්‍ය අමාත්‍යංශය මත පැටවීමටය.

යාපනය දිස්ත්‍රික්කයේ රවෛනිස ට අනුබද්ධිත වෛද්‍ය සංගම් අප්‍රේල් 23 වනදා ප්‍රකාශ කලේ මේ වන විට සිය ප්‍රදේශයේ දිනකට සිදුවන්නේ පීසීආර් පරීක්ෂන 20 කට ආසන්න ප්‍රමානයක් බවයි.  මෙම පරීක්ෂන ප්‍රමානය ඉහල නැංවුවහොත් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බව ඔවුන් වැඩි දුරටත් පැවසීය.

අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා, සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කලේ දිනකට සිදු කරන පරීක්ෂන ගනන දහස දක්වා ඉහල නැංවීමට පෞද්ගලික රෝහල් හතරක් යොදාගන්නා බව යි. ඒවා නම් ආසිරි, නවලෝක, ලංකා සහ ඩර්ඩන්ස් යන පෞද්ගලික රෝහල් ය. මෙම පුද්ගලික අංශයෙන් සිදු කෙරෙන පරීක්ෂන ද දිනකට සිදු කෙරෙන්නේ  හාරසියයකට ආසන්න සීමිත ගනනකි. 

සිකුරාදා දිනයේ රජයේ වෛද්‍ය රසායනාගාරවේදීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් සඳහන් කලේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය සතු රසායනාගාර වලට පැමිනෙන “නිදර්ශක ප්‍රමානය ඉතා අවම මට්ට්මක” පවතින බවයි. ඔහු එහිදී සඳහන් කලේ පුද්ගලික අංශ වෙත නිදර්ශක යොමු කිරීමට පෙර වෛද්‍ය පර්යේෂන ආයතනයේ උපරිම ධාරිතාවය සම්පූර්න කිරීමට කටයුතු කල යුතු බවයි.

මින් ඇඟවෙන්නේ පරීක්ෂන ගනන වැඩි කිරීමේ හැකියාව තිබියදීත් සීමීත අගයක පවත්වාගෙන යාමට ආන්ඩුව කටයුතු කරමින් සිටින බවය. ඊට එක් හේතුවක් වනුයේ කොරෝනා ආසාදිතයින් ගනන සීමිත යැයි පෙන්වමින් වසංගතය සිය පාලනය යටතේ පවතින බවට හුවා දැක්වීමට දරන උත්සාහයයි. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ අප්‍රේල් 24 දා හිරු රූපවාහිනියට පවසා සිටියේ තවමත් ලංකාව “ප්‍රජා සම්ප්‍රේෂන අවධියට” පැමින නොමැති බවයි. සැබැවින්ම, ප්‍රජා සම්ප්‍රේෂන අවධියට පැමින ඇත්දැයි හඳුනාගත හැක්කේ මෙම පරීක්ෂන ගනන දැවැන්ත පරිමානව වැඩි කිරීමෙන් පමනකි.

වසංගතය පාලනය කර ඇති බව පෙන්වීමට ආන්ඩුව මංමුලාසහගත ප්‍රයත්නයක යෙදෙන අතරේ, මලසිරුරු බහාලන විශේෂ මලු 1000 ක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය, රතුකුරුස සංවිධානයේ ජාත්‍යන්තර කමිටුවෙන් ඉල්ලා ඇත. 2020 අප්‍රේල් 24 දා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා විසින් යවන ලද මෙම රහස් ලිපිය සමාජ මාධ්‍යයන්ට කාන්දු වීමෙන් පසු ඩෙිලි මිරර් පුවත්පත එය ප්‍රසිද්ධ කොට ඇත. ආන්ඩුව ඉදිරි කාලයේ සුවිසල් මරන සංඛ්‍යාවක් බලාපොරොත්තු වන බවට සෑම ඉඟියක් ම එහි පවතී. 

මෙම තතු තුල තවමත් ප්‍රජා සම්ප්‍රේෂන අවධියට පැමින නැතැයි පැවසීම මගින් යලියලිත් පෙන්නුම් කෙරෙන්නේ මහජනතාව සම්බන්ධයෙන් ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පන්තියේ සාපරාධී නොතැකීමයි. 

ආන්ඩුවට අවශ්‍ය වන්නේ මහ ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය යලි පනගැන්වීම සඳහා මහජන ජීවිත නොතකා හැකි ඉක්මනින් කම්හල් සහ අනෙකුත් ආයතන විවෘත කිරීමයි. විවෘත කල දිස්ත්‍රික්කයන් හි කම්කරු-පීඩිත මහජනතාව ට රැකියා සඳහා යාමට සහ රැකියාවේ නිරත වීමට සිදුව ඇත්තේ කෙලෙසක හෝ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට නොහැකි කොන්දේසි යටතේය. 

ජාසිංහ ඉහත වැඩසටහනෙහිදිම ප්‍රස්තාරයක් පෙන්වමින් සඳහන් කලේ සියලුම දිස්ත්‍රික්ක වල ප්‍රවාහන සේවය අවදානම් මට්ටමක පවතින බවයි. මෙය අනිවාර්යයෙන්ම කොරෝනා වෛරසය ලංකාව තුල සම්ප්‍රේෂනය වැඩි කිරීමට හේතු කාරක වනු ඇත.

ආන්ඩුව, පීසීආර් පරීක්ෂන සඳහා අවශ්‍ය මුදල් වෙන් නොකරන්නේද, කම්කරුවන්ගේ ජීවිත අනතුරේ හෙලමින් රට යලි විවෘත කරන්නේ ද, එය නියෝජනය කරන්නේ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා පමනක් වන බැවිනි. කොරෝනා වසංගතය මධ්‍යයේ යලි වතාවක් සනාථ වී ඇත්තේ මෙම ලාභ ගරන පද්ධතියට මහජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සම්පාදනය කල නොහැකි බවයි.

Loading