ලෙනින්ගේ උපතේ සිට වසර එකසිය පනහක්

ඩේවිඩ් නෝර්ත්
29 අප්‍රේල් 2020

මෙම ලිපිය 2020 අප්‍රේල් 22 දා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය

1870 අප්‍රේල් 22 වන දින රුසියාවේ සිම්බර්ස්ක් පුරවරයේ දී සිදු වූ ව්ලැඩිමීර් ඉල්යිච් උලියානොව්ගේ උපතේ 150 වන සංවත්සරය අද (අප්‍රේල් 22) ට යෙදී ඇත. ඉතිහාසයේ ලෙනින් යන නමින් හඳුන්වනු ලබන ඔහු බෝල්ෂෙවික් පක්ෂයේ ආරම්භකයා ද, 1917 ඔක්තෝබර් විප්ලවයේ නායකයා ද, නිසැකවම විසි වන සියවසේ දේශපාලන හා බුද්ධිමය ඉතිහාසයෙහි දැවන්තතම පුද්ගල ප්‍රතිරූපයක් ද වෙයි.   

ලෙනින්ගේ සමස්තය ඔක්තෝබර් විප්ලවය තුල පිඬු වී ඇතැයි ලියොන් ට්‍රොට්ස්කි වරක් ලිවීය. 1917 සිදුවීම් පිලිබඳ සිය ඉතිහාසය තුල මෙසේ ලියන විට ට්‍රොට්ස්කි ඔහුගේ නිරීක්ෂනයේ අරුත වෙත ආලෝකයක් සම්පාදනය කරයි: “‍කම්හල්, බැරැක්ක, ගම්මාන, යුද පෙරමුන හා සෝවියට් සභාවලට අමතරව විප්ලවය සතු තවත් පරීක්ෂනාගාරයක් පැවතින. ඒ, ලෙනින්ගේ මොලයයි.”‍ 

මෙම මොලය විප්ලවයේ ගැටලු‍ව පිලිබඳව දශක ගනනාවක් පුරා ක්‍රියාත්මක වෙමින් පැවැත තිබින. 1917 ඔක්තෝබරයේ දී රුසියානු කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම ලෝක ඓතිහාසික ක්‍රියාවලීන් දෙකක අන්තර්ඡේදනය සනිටුහන් කරන්නක් විය: 1) රුසියානු හා ලෝක ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධයන්හි වර්ධනය; සහ 2) වෛෂයික සමාජ-ආර්ථික තතු පිලිබඳව දාර්ශනික භෞතිකවාදී, එනම්, මාක්ස්වාදී, විශ්ලේෂනයක් මත පදනම්ව ධනේශ්වරයේ සියලු‍ දේශපාලන නියෝජිතයන්ගෙන් කම්කරු පන්තිය ස්වාධීන කර ගනිමින් එහි ස්වාධීනත්වය තහවුරු කර ගැනීම සඳහා ලෙනින් සිදු කල දීර්ඝකාලීන අරගලය.

Lenin speaking in 1919

 ලෙනින්ගේ සුධීමත් හා අද්විතීය ඓතිහාසික කාර්යභාරය විස්තාරනය කිරීමට ප්‍රයත්න දරමින් පැවසිය හැක්කේ, මාක්ස් හා එංගල්ස් හැරුනු කොට, ස්වභාව විද්‍යාවේ (විශේෂයෙන්ම භෞතික විද්‍යාවේ) නවතම වර්ධනයන්ගෙන් පෝෂිත වූ දාර්ශනික භෞතික වාදයේ දැනුවත් භාවිතය ද, දේශපාලන විශ්ලේෂනය හා විප්ලවවාදී මූලෝපාය ද අතර සම්බන්ධතාවය, තම දේශපාලන කටයුතු තුල ඒ සා ව්‍යක්ත, ක්‍රමානුකූල හා අභ්‍යන්තරව ඒකාබද්ධ ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමත් වූ අන් අයෙකු සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල නොසිටි බවයි.     

ලෙනින්ගේ න්‍යායික-දේශපාලනික කර්තව්‍යයන්හි වඩාත්ම කැපී පෙනෙන සුලු‍ ගුනාංගය වන්නේ කම්කරු පන්තියේ පන්ති විඥානය නැංවීමට, සහ එමඟින් එම පන්තියේ භාවිතය වෛෂයික සමාජ-ආර්ථික අවශ්‍යතාව සමඟ එකෙලි වීම සක්‍රිය කිරීමට දශක ගනනාවක් පුරා දැරුනු එහි ඒකාග්‍ර ප්‍රයත්නයයි. ධනේශ්වර සදාචාරවාදීහු ද, අසංඛ්‍ය සංඛ්‍යාත ශාස්ත්‍රාලිකයෝ ද, ලෙනින්වාදයේ අවශේෂ සතුරෝ ද මෙම විශිෂ්ඨ විප්ලවවාදියාගේ ”‍නිර්දයභාවය”‍ නිරතුරුව හෙලා දැක ඇත්තාහ. ලෙනින්ගේ ”‍නිර්දයභාවයේ”‍ දේශපාලන සාරය වූයේ, යලිත් ට්‍රොට්ස්කිගෙන් උපුටා දක්වන්නේනම්, “‍යථාර්ථය පිලිබඳව විප්ලවවාදී ක්‍රියාකාරීත්වයේ ආස්ථානයේ සිට සිදු කෙරෙන ඉහලම ගුනාත්මක හා ප්‍රමානාත්මක ඇගයීමයි.”‍  

ලෙනින් විසින් 1894 දී ලියන ලද ඔහුගේ මුල්ම ලේඛන අතරින් එකක් වන, ඔහුගේ එකතු කල කෘතීන්හි පලමු වෙලු‍මේ ප්‍රකාශයට පත් කරන ලද, ‘‍ජනතාවගේ මිතුරන්‍’ යනු කවරහුද සහ ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ සටන් කරන්නේ කෙසේද යන මැයෙන් යුත් ලේඛනය දාර්ශනික භෞතිකවාදය ලාලසීය ලෙස ආරක්ෂා කිරීමක් වූ අතර, එහි දී ඔහු ජනතාවාදී න්‍යායාචාර්යවරයෙකු වන නිකොලායි මිඛලොව්ස්කිගේ “‍ආත්මීය සමාජ විද්‍යාවට”‍ එරෙහි වූයේය. මෙම ලේඛනයේ ලෙනින් ලියා ඇත්තේ, “විද්‍යාත්මක මනෝ විද්‍යාව සමඟ අනුසාරී වන්නේ, අදහස්වල ගමන් මඟ රඳා පවතින්නේ දේවල්වල ගමන් මඟ මතය”‍, යන භෞතිකවාදී ආස්ථානය “‍පමනක්ම”‍ වන බවයි. ලෙනින් තවදුරටත් මෙසේ ලියා ඇත:   

මේ දක්වා, සමාජ විද්‍යාඥයන්ට සමාජ ප්‍රපංචයේ සංකීර්න ජාලය තුල වැදගත් හා නොවැදගත් දේ වෙන් කොට හඳුනා ගැනීමට අපහසු ව පැවතින. (සමාජ විද්‍යාව තුල ආත්මීයවාදයේ මූලය පවතින්නේ මෙහි ය.) එමෙන්ම, එබඳු කඩඉම් ලකුනු කිරීමක් සඳහා කවර හෝ වෛෂයික උපමානයක් සොයා ගැනීමට ද ඔවුහු අසමත්ව සිටියෝය. සමාජයේ ව්‍යුහය ලෙස “‍නිෂ්පාදන සම්බන්ධතා”‍ තෝරා ගැනීම මඟින් හා, ප්‍රතිවර්තනය පිලිබඳ පොදු විද්‍යාත්මක උපමානය ලෙස - ආත්මීයවාදීන් සමාජ විද්‍යාව විෂයෙහි යොදා ගැනීම ප්‍රතික්ෂේප කොට තුබූ - එකී සබඳතා යොදා ගැනීම ශක්‍යතාවයක් බවට පත් කිරීම මඟින් භෞතිකවාදය පරිපූර්න වෛෂයික උපමානයක් සම්පාදනය කොට ඇත. [එකතු කල කෘති (ඉංග්‍රීසි), 1 වන වෙලු‍ම, පි. 140]     

ලෙනින් විසින් භෞතිකවාදය ආරක්ෂා කරනු ලැබීමට යටින් දිවෙන්නේ දේශපාලන ඉදිරි දර්ශනය හා මූලෝපාය පිලිබඳ තීරනාත්මක ගැටලු‍ ය: සමාජවාදී ව්‍යාපාරයේ කටයුතු දිශානත විය යුත්තේ කවර සමාජ බලවේගය සමඟ ද? ගොවි ජනයා සමඟ ද, නැතහොත් කම්කරු පන්තිය සමඟ ද?     

වෛෂයික සමාජ-ආර්ථික ක්‍රියාවලීන් පිලිබඳ බරපතල විශ්ලේෂනයක් සඳහා ලෙනින් කල අවධාරනයට, සමාජවාදීන් ඉතිහාසයට තම ගමන් මඟ නිර්නය කිරීමට ඉඩ හැර බලා සිටිය යුතුය යන දේශපාලන අකර්මන්‍යතාව සමඟ පොදු වූ කිසිවක් හෝ නොවීය. ලෙනින් භෞතිකවාදය වෛෂයිකවාදයෙන් විලක්ෂනය කොට දැක්වීය. 1894-95 කාලයේ ජනතාවාදයට එරෙහිව වැඩිදුර ප්‍රහාරයක යෙදෙමින් ලෙනින් මෙසේ ලිවීය:      

වෛෂයීකවාදියා දෙන ලද ඓතිහාසික ක්‍රියාවලියක අවශ්‍යතාව පිලිබඳව කථා කරයි; භෞතිකවාදියා දෙන ලද සමාජ-ආර්ථික හැඩ ගැස්මක් පිලිබඳ හා එමඟින් පුබුදු කරනු ලබන ප්‍රතිවාදී සම්බන්ධතා පිලිබඳ නිරවද්‍යම චිත්‍රයක් ලබා දෙයි. දෙන ලද කරුනු දාමයක අත්‍යවශ්‍යතාව පෙන්නුම් කිරීමේ දී වෛෂයිකවාදියා සෑමවිටම මෙම කරුනු වෙනුවෙන් ක්ෂමාලාපකයෙකු බවට පත් වීමේ අවදානමට මුහුන දෙයි; භෞතිකවාදියා පන්ති ප්‍රතිවිරෝධයන් හෙලිදරව් කරමින්, එමඟින් තම ආස්ථානය අර්ථ නිරූපනය කරයි. වෛෂයීකවාදියා, “ඉක්මවා ලිය නොහෙන ඓතිහාසික ප්‍රවනතා”‍ පිලිබඳව කථා කරයි; භෞතිකවාදියා, අනෙකුත් පන්තිවල ඒ හා මේ ආකාරයේ ප්‍රතික්‍රියාවල නැඟීමට තුඩු දෙමින් දෙන ලද ආර්ථික ක්‍රමයක් “මෙහෙයවන”‍ පන්තිය පිලිබඳව කථා කරයි. ඒ අනුව, එක අතෙකින් භෞතිකවාදියා වෛෂයීකවාදියාට වඩා සංගත වෙමින්, සිය වෛෂයීකවාදයට වඩාත් ප්‍රගාඪ හා වඩාත් පරිපූර්න බලපෑමක් අත්පත් කර දෙයි. යම් ක්‍රියාවලියක අත්‍යවශ්‍යතාව පිලිබඳව කථා කිරීමට පමනක්‌ තමා සීමා කර නොගන්නා ඔහු, හරියටම කුමන සමාජ-ආර්ථික හැඩගැස්මක් විසින් ක්‍රියාවලියට එහි අන්තර්ගතය හිමි කර දෙනු ලබන්නේද, හරියටම කවර පන්තිය මෙම අත්‍යවශ්‍යතාව නිර්නය කරයි ද යන්න තහවුරු කර ගනී. .. භෞතිකවාදයට - ඉදින් එසේ කිවහොත් - පක්ෂග්‍රාහීත්වය ද අඩංගු වන අතර, එය සිද්ධීන් පිලිබඳ කවර හෝ තක්සේරුවක දී නිශ්චිත සමාජ කන්ඩායමක ආස්ථානය ඍජුව හා විවෘතව භාර ගැනීමට ආඥා කරයි. [එකතු කල කෘති (ඉංග්‍රීසි), 1 වන වෙලු‍ම, පි. 400-01]    

මේ ඡේදය ලියන ලද්දේ “‍නෛතික මාක්ස්වාදියා”‍ හා රුසියානු ධනේශ්වර ලිබරලු‍න්ගේ අනාගත නායක ප්යෝතර් ස්ටෲට ප්‍රතිචාර ලෙසය. එහෙත් එය, අනාගත ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක දී කම්කරු පන්තිය ධනේශ්වර පන්තියේ දේශපාලන නායකත්වය පිලිගත යුතුයැයි කියා සිටි මෙන්ශේවික් ප්‍රවනතාවයට එරෙහිව ඊට දශකයකට ඇවෑමෙන් වූ ලෙනින්ගේ අරගලය පූර්වාපේක්ෂා කල සටහනක් ද විය.      

1895 දී සාර් පොලිසිය විසින් ලෙනින් අත් අඩංගුවට ගන්නා ලද අතර, ඊලඟ පස් වසර සිපිරි ගෙයි හා සයිබීරියාවේ පිටුවාහලේ ගත කිරීමට ඔහුට සිදු විය. මේවා තීව්‍ර න්‍යායික කටයුතුවල නියැලු‍නු වටිනා වසරවල්ය. හේගලියානු දර්ශනවාදය පිලිබඳ ඔහුගේ අධ්‍යයනයත්, අපෝහකවාදය ග්‍රහනය කිරීමට ඔහු සිදු කල අරගලය හා ක්‍රමානුකූලව ඔහු එම විෂයේ විශාරදයෙකු බවට පත්වීමත් එකී න්‍යායික කටයුතුවලට ඇතුලත් විය.     

ලෙනින්ගේ පිටුවාහල් කාලය 1900 දී අවසන් වූ අතර, ඔහු ඉක්මනින්ම බටහිර යුරෝපය කරා මාවත පාදා ගත්තේය. එහිදී, ආරම්භක හමුව දුෂ්කර එකක්වීම තිබියදීම, ඔහු “‍රුසියානු මාක්ස්වාදයේ පියා”‍ වූ ජී.වී. ප්ලෙකනොව් සමඟ සමීප සබඳතාවයක් ඇරඹීය.      

සිය වසක උදාවත් සමඟ යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය, එඩුවාර්ඞ් බර්න්ස්ටීන් විසින් නායකත්වය දෙන ලද මාක්ස්වාදයට එරෙහි සංශෝධනවාදී අභියෝගයකට මුහුන දුන්නේය. දේශපාලනිකව, මෙම සංශෝධනවාදයේ ප්‍රයත්නය වූයේ සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙල ධනේශ්වර කම්කරු ප්‍රතිසංස්කරනවාදයෙන් විස්ථාපනය කිරීමටය. න්‍යායිකව එය අපෝහක භෞතිකවාදයට එරෙහිව ශාස්ත්‍රාලීය නව කාන්ටියානුවාදයේ විඥානවාදී දර්ශනය ඉදිරිපත් කලේය.     

1898 හා පලමුවන ලෝක යුද්ධය ඇවිලී ගිය 1914 වර්ෂ අතර යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ තදනන්තර වර්ධනයේ ආලෝකය තුල විශේෂයෙන්ම කැපී පෙනෙන කරුනක් වන්නේ, සංශෝධනවාදයට එරෙහි න්‍යායික හා දේශපාලනික අරගලයේ වඩාත්ම වැදගත් ප්‍රතිපදානයන් ලබා දෙන ලද්දේ, ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් නොව, පෝලන්ත ජාතික මාක්ස්වාදී රෝසා ලක්සම්බර්ග් හා රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ [ආර්එස්ඩීඑල්පීයේ] ප්‍රමුඛයන් වූ ප්ලෙකනොව් සහ ලෙනින් විසින් වීමයි.    

ලක්සම්බර්ග්ගේ ප්‍රතිසංස්කරනය ද, විප්ලවය ද යන පුස්තිකාව බර්න්ස්ටීන්ගේ සංශෝධනවාදයේ දේශපාලන ප්‍රතිවිපාක පිලිබඳ අතිශය ප්‍රබල හෙලිදරව්වක් විය. ප්ලෙකනොව් විසින් රචිත ‘බර්න්ස්ටීන් හා ඔහුගේ සහායකයන්ගේ නව කාන්ටියානු සංශෝධනවාදය‘, අපෝහක භෞතිකවාදයේ ඓතිහාසික වර්ධනය හා න්‍යායික විධික්‍රමය පිලිබඳව අද දවස දක්වාමත් ලියැවී ඇති දීප්තිමත්ම විවරනයන් අතරෙහි ලා සැලකිය හැකිය.    

කෙසේවෙතත්, සංශෝධනවාදය හා අවස්ථාවාදයට එරෙහි අරගලයට ලෙනින්ගේ ප්‍රතිපදානය වූ කල යුත්තේ කුමක්ද? කෘතිය, ඒ අතර වඩාත්ම න්‍යායිකව තියුනු වූත්, දේශපාලනිකව දූරදර්ශී වූත් ප්‍රතිපදානය වූ බැව් සනාථ වී ඇත. කෞට්ස්කි ද ඇතුලු‍ ඔහුගේ කාලයේ අන් කවර හෝ මාක්ස්වාදියෙකුට වඩා මහත් ගැඹුරකින් හා සංගතභාවයකින් යුතුව ලෙනින්, මාක්ස්වාදී න්‍යායට මදිපුංචිකම් කිරීමේ වෛෂයික සුවිශේෂතාව ද, එහි දේශපාලන ගම්‍යමානයන් ද හෙලිදරව් කර පැහැදිලි කලේය. න්‍යායික, දේශපාලනික හා සංවිධානීය යන සියලු‍ ප්‍රකීර්නක ආකාරයන්හි අවස්ථාවාදයේ බලපෑමට එරෙහි අරගලයත්, විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීම සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීමත් අතර වෙන් කල නොහෙන සම්බන්ධතාව වැඩිදුරටත් ලෙනින් පෙන්නුම් කලේය.           

සමාජවාදී විඥානයේ වර්ධනය සඳහා වන නිශ්චිත අරගලයේ වැදගත්කම අඩුවෙන් දක්වමින්, ඒ වෙනුවට විඥානයේ හා කම්කරු පන්තියේ භාවිතයෙහි ස්වයංසිද්ධ (එනම්, මාක්ස්වාදීන්ගේ මැදිහත්වීමෙන් තොරව ඇති වන) වර්ධනය උත්කර්ෂයට පත් කල සියලු‍ ප්‍රවනතා අවස්ථාවාදීන් ලෙස හෙලා දකිමින් ලෙනින් මෙසේ ලිවීය:  

කම්කරු ජනයා තම ව්‍යාපාරයේ ක්‍රියාවලිය තුල තමාම ස්වාධීන දෘෂ්ඨිවාදයක් සූත්‍රගත කිරීම පිලිබඳ කථාවක් පැවතිය නොහැකි හෙයින්, තෝරා ගැනීම් ලෙස පවතින්නේ එක්කෝ ධනේශ්වර, නැතහොත් සමාජවාදී දෘෂ්ඨිවාදය පමනෙකි. (මානව වර්ගයා “තුන්වන”‍ දෘෂ්ඨිවාදයක් නිර්මානය කර නොමැති හෙයින් ද, ඊට ද වඩා, පන්ති ප්‍රතිවිරෝධයන්ගෙන් ඉරා දමන ලද සමාජයක් තුල අපන්තික හෝ පන්තිවලට ඉහලින් පවතින දෘෂ්ඨිවාදයක් කිසිදා පහල විය නොහැකි හෙයින් ද) මැද මාවතක් තිබිය නොහේ. ඒ අනුව, කවර ආකාරයකින් හෝ සමාජවාදී දෘෂ්ඨිවාදය සුලු‍ කොට තැකීම යනු, කුඩාම අංශක ගනනකින් ඉන් ඉවතට හැරීම යනු, ධනේශ්වර දෘෂ්ඨිවාදය ශක්තිමත් කිරීමයි. ස්වයංසිද්ධතාව පිලිබඳ බොහෝ දේ කියැවේ. එහෙත් කම්කරු-පන්ති ව්‍යාපාරයේ ස්වයංසිද්ධ වර්ධනය මඟ පාදන්නේ ධනේශ්වර දෘෂ්ඨිවාදයට එහි යටත්වීම කරා ය. [එකතු කල කෘති (ඉංග්‍රීසි), 5 වන වෙලු‍ම, පි. 384]       

සමාජවාදී විඥානය හා, කම්කරු පන්තියේ ධනේශ්වර දෘෂ්ඨිවාදය ලෙස ඔහු අර්ථ නිරූපනය කල වෘත්තීය සමිතිවාදය අතර තියුනු විලක්ෂනයක් සනිටුහන් කරමින් ලෙනින් මෙසේ ලිවීය: 

ඒ අනුව, අපේ කර්තව්‍යය, සමාජ-ප්‍රජාතන්ත්‍රයේ කර්තව්‍යය, වනුයේ ස්වයංසිද්ධතාව සමඟ සටන් වැදීමයි; කම්කරු-පන්ති ව්‍යාපාරය ධනේශ්වරයේ පියාපත් යටට ප්‍රවිෂ්ඨ කිරීමේ මෙම ස්වයංසිද්ධ, වෘත්තීය-සමිතිවාදී පරිශ්‍රමයෙන් හරවා, එය විප්ලවවාදී සමාජ-ප්‍රජාතන්ත්‍රයේ පියාපත් යටට ගෙන ඒමයි. [එම, පිටු 384-85] 

‘කල යුත්තේ කුමක්ද‘ 1902 දී ප්‍රකාශයට පත් විය. එහෙත් අවස්ථාවාදයට එරෙහි අරගලයේ දේශපාලන ගම්‍යමානයන් පිලිබඳ ලෙනින්ගේ විශ්ලේෂනයේ දූරදර්ශීභාවය සනාථ වීමට ආර්එස්ඩීඑල්පීයේ දෙවැනි සම්මේලනය පැවැති 1903 දක්වා කල් ගත විය. පෙනෙන්නට තිබූ පරිදි පක්ෂ සාමාජිකත්වය අර්ථ දැක්වීම පිලිබඳ “සුලු‍”‍ වෙනස්කමක් මත දෙවැනි සම්මේලනයේ දී ඇති වූ - බෝල්ෂෙවික් හා මෙන්ශේවික් පාර්ශ්වයන් පැන නැඟීමට හේතුභූත වූ - භේදය බොහෝ නියෝජිතයන් විසින් දක්නා ලද්දේ ලෙනින්ගේ සාතිශය කට්ටිවාදය හේතු කොට ගෙන ඇති වූ, පක්ෂයේ එක්සත්භාවය අනවශ්‍ය ලෙස - හා අනර්ථකාරී ලෙස පවා - කඩාකප්පල් කර දැමීමක් වශයෙනි.        

මෙකී චෝදනාවට ලෙනින්ගේ පිලිතුර වූයේ තෙසතියක් තුල සැසිවාර 37 ක් පුරා මුලු‍ දුන් දෙවැනි සමුලු‍වේ වාර්තාව පිලිබඳ විස්තීර්න විශ්ලේෂනයක් සිදු කිරීමට තමා වෙත පවරා ගැනීමයි. ‘පියවරක් ඉදිරියට, පියවර දෙකක් පසුපසට‘ යන මාතෘකාව යටතේ පල වූ එකී විශ්ලේෂනය මඟින්, මෙන්ශේවික් කන්ඩායම යනු ධනපති පන්තියේ ලිබරල් හා ප්‍රතිසංස්කරනවාදී පක්ෂ සමඟ සමථයක් හා සමඟි සන්ධානයක් දෙසට නැඹුරු වෙමින් පැවැති, දේශපාලනික වශයෙන් අවස්ථාවාදී වූ - යුරෝපය පුරාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ තුල වර්ධනය වී තිබූ - ප්‍රවනතා, රුසියානු සමාජවාදී ව්‍යාපාරය තුල විද්‍යමාන වීමකැයි පෙන්නුම් කර දුන්නේය.   

රුසියාව තුල ඇති වූ තදනන්තර වර්ධනයන්, විශේෂයෙන්ම 1905 විප්ලවය සමයේ හා ඉන් ඉක්බිති සිදු වූ වර්ධනයන්, විසින් සංශෝධනවාදී හා අවස්ථාවාදී ප්‍රවනතාවල පන්ති ස්වභාවය හා ඒවායේ ප්‍රජාතන්ත්‍රවාදී - ලිබරල් දිශාවනිතිය පිලිබඳ ලෙනින්ගේ විශ්ලේෂනය සනාථ කෙරින. දෙවැනි සම්මේලනයෙන් ඉක්බිතිව එලැඹි වර්ෂවල දී බෝල්ෂෙවික් හා මෙන්ශේවික් ප්‍රවනතා අතර දේශපාලන ප්‍රභේදනයේ පරිනාමය, ඉදින් හුදු සංක්ෂිප්ත ආකාරයෙන් වේවා, අනුරේඛනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම ලෙනින්ගේ ජීවිතය පිලිබඳ මෙම අනුස්මරනයේ පරාසයෙන් ඔබ්බේ පවතින්නකි.   

කෙසේවෙතත්, අවස්ථාවාදයට එරෙහි “‍පක්ෂ-අභ්‍යන්තර අරගලය”‍ පිලිබඳ ලෙනින්ගේ අවබෝධය, එහි සකලවිධ ආකාරයෙන්ම, දෙවැනි ජාත්‍යන්තරය මුලු‍ල්ලේ පොදුවේ පැවතුනු අවබෝධයට වඩා ප්‍රගාඪ ලෙස වෙනස් වූවක් බව මෙහිදී අවධාරනය කල යුතුය. වැඩ පිලිවෙල ආශ්‍රිත කරුනු, උපායයන්, සංවිධානය සහ ක්‍රියා මාර්ගය පිලිබඳ ගැටුම් ලෙනින් විශ්ලේෂනය කලේ, ඒවා සමාජය තුල පවතින වෛෂයික බෙදීම් පක්ෂ තුල හා කන්ඩායම් තුල විද්‍යමානවීම් වශයෙන් සලකමිනි. එබඳු භේදයන් පන්ති අරගලය තුල සමාජවාදී ව්‍යාපාරයේ කටයුතුවලින් වික්ෂේපවීමක් ලෙස නොදැකිය යුතු වූ අතර, ඒවා එම අරගලයේ අත්‍යවශ්‍ය හා මඟ හැර යා නොහැකි අංග ලෙස සැලකිය යුතු විය.

ප්‍රවනතා අතර අරගලය වර්ධනයවීමට යටින් දිවෙන සමාජ ආර්ථික ක්‍රියාවලීන් නිරාවරනය කිරීමට පරිශ්‍රම දරමින් සිටි ලෙනින් අවස්ථාවාදය දුටුවේ විප්ලවවාදී පෙරටු බල ඇනිය මත ධනේශ්වරයේ හා සුලු‍ ධනේශ්වරයේ  අවශ්‍යතා හා පීඩනය විද්‍යමානවීම ලෙසය. ඉදින් කවර ආකාරයකින් එය තම බලපෑම ප්‍රකාශයට පත් කලේ වී නමුදු, එවන් පීඩනයට යෝග්‍ය ප්‍රතිචාරය, ඊට අනුග්‍රහ දැක්වීමේ හා සම්මුතියකට එලැඹීමේ මං සෙවීම නොවීය. ලෙනින් දුටු අයුරින් අවස්ථාවාදය යනු කම්කරු ව්‍යාපාරයේ යුක්තියුක්ත කොටසක් නොවීය. ඒ වෙනුවට එය, කම්කරු පන්තිය සමාජ විප්ලවයේ වැඩ පිලිවෙලින් ඉවතට හරවා එය ධනපති පන්තියට යටත් කිරීමට කටයුතු කරන බෙලහීනකාරක හා දිරිය බල සුන් කරවන සුලු‍ ප්‍රතිගාමී බලවේගයක් විය.  

පලමුවෙනි ලෝක යුද්ධය පුපුරා යාමට පෙරාතුව, බෝල්ෂෙවික්වාදය සෙසු සියලු‍ දේශපාලන පක්ෂවලින් හා ප්‍රවනතාවලින් ප්‍රභේදනය කරන ලද්දේ, අවස්ථාවාදය කෙරේ දැක්වුනු මෙම සම්මුතිවිරහිතව සතුරු ආකල්පය විසිනි.     

අවස්ථාවාදයට එරෙහිව ලෙනින් විසින් දියත් කරනු ලැබ තිබුනු අරගලයේ ලෝක ඓතිහාසික වැදගත්කම 1914 දී සනාථ විය. එක රැයක් එලිවන පමාවෙන් පාහේ දෙවැනි ජාත්‍යන්තරයේ ප්‍රධාන පක්ෂ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගීතාවය පවත්වා ගැනීමට තමන් විසින් දෙනු ලැබ තුබූ ප්‍රතිඥා අත් හැර දමමින් තමතමන්ගේ රටවල පාලක පන්තීන්ට යටත් වූහ. දෙවැනි ජාත්‍යන්තරයේ පාවා දීමට ලෙනින් දැක්වූ විරුද්ධත්වය හා තුන්වැනි ජාත්‍යන්තරයක් ගොඩ නැඟීමට ඔහු කල කැඳවීම ඔහු හා බෝල්ෂෙවික් පක්ෂය ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛස්ථානයට ඔසොවා තැබීය.   

දෙවැනි ජාත්‍යන්තරයේ බිඳවැටීමට ලෙනින්ගේ ප්‍රතිචාරයේ කැපී පෙනෙන ලක්ෂන වූයේ ප්‍රථමයෙන්ම ඔහු, 1914 අගෝස්තු පාවාදීමත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල සංශෝධනවාදයේ හා අවස්ථාවාදයේ පූර්වගාමී වර්ධනයත් අතර සම්බන්ධතාව පෙන්නුම් කිරීමයි. දෙවනුව, අවස්ථාවාදයේ වැඩීම (නිසැකවම එහි ද්‍රෝහීත්වය පැවතුනු නමුදු) පෞද්ගලික ද්‍රෝහීත්වයේ අනුදේශයන් මඟින් පැහැදිලි නොකල යුතු බවත්, ඒවා දහනවවන සියවසේ අවසාන වර්ෂවල දී හා විසිවන සියවසේ මුල් දශක එක හමාර තුල අධිරාජ්‍යවාදයේ වර්ධනය විසින් පැන නංවනු ලැබූ බලගතු සමාජ-ආර්ථික ප්‍රවනතා තුල පැහැදිලි කල යුතුව ඇති බවත් ලෙනින් ඔප්පු කර පෙන්වීය. දීප්තිමත් න්‍යායික කෘතීන් සරනියක් තුල - අන් හැමටත් වඩා අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහලම අවධියයි යන උත්කෘෂ්ට කෘතිය තුල - ලෙනින් අධිරාජ්‍යවාදයේ ආර්ථික සාරය, ධනේශ්වර ක්‍රමයේ ඉතිහාසය තුල එයට හිමි ස්ථානය, දෙවැනි ජාත්‍යන්තරය සමඟ අනුබද්ධ කම්කරු සංවිධානවල අවස්ථාවාදයේ හා පොදු දූෂිතභාවයේ වර්ධනයෙහි ලා එහි කාර්යභාරය, සහ, අවසානයේ, ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනයට එහි සම්බන්ධය පිලිබඳ විස්තීර්න විශ්ලේෂනයක් සම්පාදනය කලේය.              

අධිරාජ්‍යවාදය හා සමාජවාදයේ භේදය ලෙස නම් කෙරුනු, යුද්ධයේ හේතු හා වැදගත්කම පිලිබඳ සිය කෘතියේ ලු‍හුඬු සම්පින්ඩනයක ලෙනින් මෙසේ ලියා ඇත: 

අධිරාජ්‍යවාදය යනු ධනේශ්වර ක්‍රමයේ නිශ්චිත ඓතිහාසික අදියරකි. එහි නිශ්චිත ස්වභාවය තෙ ආකාර වේ: අධිරාජ්‍යවාදය යනු ඒකාධිකාරී ධනවාදයයි; පරපෝෂිත, නැතහොත් කුනු වෙමින් පවත්නා ධනවාදයයි; ජරපත් ධනවාදයයි. නිදහස් තරඟයේ ස්ථානය ඒකාධිකාරය විසින් අත්පත් කර ගැනීම අධිරාජ්‍යවාදයේ මූලික ලක්ෂනයයි, එහි පරම සාරයයි. ඒකාධිකාරය ප්‍රධාන ආකාර පහකින් විද්‍යමාන වේ: (1) කාටල, සම්මේල හා භාර - නිෂ්පාදනය සංකේන්ද්‍රනය වීම ධනපතීන්ගේ මෙකී ඒකාධිකාරී සමාගම් පැන නැඟෙන මට්ටමක් කරා සේන්දු වී ඇත; (2) විශාල බැංකුවල ඒකාධිකාරී ස්ථානාන්තරය - දැවැන්තතම බැංකු තුනක්, හතරක් හෝ පහක් ඇමරිකාවේ, ප්‍රන්සයේ, ජර්මනියේ සමස්ත ආර්ථික ජීවිතය මෙහෙයවති; (3) භාර හා මූල්‍ය කතිපයාධිපත්‍යය විසින් අමුද්‍රව්‍ය ප්‍රභවයන් අල්ලා ගැනීම (මූල්‍ය ප්‍රාග්ධනය යනු බැංකු ප්‍රාග්ධනය සමඟ ඒකාබද්ධ වූ ඒකාධිකාරී කාර්මික ප්‍රාග්ධනයයි); (4) ජාත්‍යන්තර කාටල විසින් ලෝකය (ආර්ථිකව) කැබැලිවලට වෙන් කරනු ලැබීම ආරම්භ වී ඇත. දැනටමත් සමස්ත ලෝක වෙලඳපොල තමන්ට නතු කොට ගෙන සිටිමින්, - යුද්ධය එය යලි බෙදන තුරු - එය තමන් අතරතුර ‍“සමගියෙන්”‍ බෙදා ගන්නා එවැනි ජාත්‍යන්තර කාටල සියයකට වඩා පවතී. ඒකාධිකාරී-නොවූ ධනවාදයේ පාරිභෝගික භාන්ඩ අපනයනයෙන් ප්‍රභේද්‍ය ව දැක්වෙන පරිදි, ප්‍රාග්ධන අපනයනය ඉහලම ආවේනික ලාක්ෂනික ප්‍රපංචයක් වන අතර, එය ලෝකය ආර්ථික සහ භූ දේශපාලනික වශයෙන් බෙදීම සමඟ සමීපව බැඳී පවතී; (5) ලෝකය (විජිත ලෙස) භෞමිකව බෙදීම සම්පූර්න වේ. [එකතු කල කෘති (ඉංග්‍රීසි), 23 වන වෙලු‍ම, පි. 105]    

අධිරාජ්‍යවාදී යුගයේ තීරනාත්මක දේශපාලන ලක්ෂන ගනනාවක් කෙරේ ලෙනින් අවධානය කැඳවීය. 

ප්‍රජාතන්ත්‍රවාදී-සමූහාන්ඩුවාදී අධිරාජ්‍යවාදියා හා ප්‍රතිගාමී රාජාන්ඩුවාදී අධිරාජ්‍යවාදියා අතර වෙනස මැකී ගොස් ඇත්තේ නිරවද්‍යවම ඔවුන් දෙදෙනාම ජීවමානව කුනු වෙමින් සිටින නිසාය. ... දෙවනුව, පොලී කන්නන්ගේ,      “‍කූපන් කැපීමෙන්”‍ ජීවත් වන ධනපතීන්ගේ  දැවැන්ත ස්ථරයක් නිර්මානය වීම තුල ධනවාදයේ දිරාපත් වීම විද්‍යමාන වේ. .. තෙවෙනුව, ප්‍රාග්ධන අපනයනය යනු ඉහල තාරතාවකට නැංවූ පරපෝෂිතභාවයයි. සිව්වෙනුව, “‍මූල්‍ය ප්‍රාග්ධනයේ පරිශ්‍රමය දැරෙන්නේ ආධිපත්‍යය වෙනුවෙන් විනා නිදහස වෙනුවෙන් නොවේ.”‍ ඉහල සිට පහලටම පවතින දේශපාලන ප්‍රතිගාමීත්වය අධිරාජ්‍යවාදයේ නෛසර්ගික අංගයකි. දූෂනය, ඉහල පරිමානයෙන් සිදු කෙරෙන අල්ලස් දීම් හා සියලු‍ වර්ගයන්හි වංචා. පස්වෙනුව, ඈඳාගැනීම් සමඟ නොවෙන් කල හැකි පරිදි සම්බන්ධව පවතින පීඩිත ජාතීන් සූරාකෑම සහ විශේෂයෙන්ම අතලොස්සක් “‍මහා”‍ බලවතුන් විසින් විජිත සූරාකනු ලැබීම, ශිෂ්ඨාචාර නොවූ ජාතීන්ට අයත් මිලියන සිය ගනනක ජනකායයක් මත වැඩෙන පරපෝෂිතයෙකු බවට “‍ශිෂ්ඨ”‍ ලෝකය වඩවඩාත් වැඩියෙන් පත් කරයි. රෝමානු නිර්ධනීහු සමාජයේ වියදමින් යැපුනාහ. නූතන සමාජය නූතන නිර්ධනීන්ගේ වියදමින් යැපෙයි. සිස්මොන්ඩිගේ මෙම ප්‍රගාඪ නිරීක්ෂනය මාක්ස් විශේෂයෙන් අවධාරනය කරයි. අධිරාජ්‍යවාදය විසින් තත්වය තරමක් වෙනස් කෙරෙයි. අධිරාජ්‍යවාදී රටවල නිර්ධන පන්තියේ වරප්‍රසාදිත ඉහල ස්ථරයක් අඩ වශයෙන් යැපෙන්නේ ශිෂ්ඨාචාර නොවූ ජාතීන්ගේ මිලියන සියගනනක් ජනයාගේ වියදමෙනි. [එම, පිටු 106-07]  

පසුගිය ශත වර්ෂය පුරා සිදු වූ ගෝලීය ආර්ථිකයේ සියලු‍ වර්ධනයන් සම්බන්ධයෙන්, අධිරාජ්‍යවාදයේ ආර්ථික හා දේශපාලන යන සංලක්ෂ්‍ය ද්වයම පිලිබඳ ලෙනින්ගේ විශ්ලේෂනය තවමත් ඉමහත් අද්‍යතන අදාලත්වයකින් යුක්තය. වත්මන් කාල පරිඡේදය තුල සුවිශේෂී බල පරාක්‍රමයකින් අනුනාද දෙන පාඨයකින් ලෙනින් මෙසේ සමාජවාදීන්ට කැඳවුම් කරයි: “‍වඩාත් පහතට හා ගැඹුරට, සැබෑ ජනයා කරා යන්න; අවස්ථාවාදයට එරෙහි අරගලයේ සැබෑ අරුත මෙන්ම සැබෑ අභිප්‍රාය වන්නේත් මෙයයි.”‍ [එම, පි. 120]         

අධිරාජ්‍යවාදය සහ සමාජවාදයේ භේදය ලියන ලද්දේ 1916 ඔක්තෝබරයේ දී ය. ලෙනින් සූරිච්හි විසී ය. යුද්ධයට එරෙහි විප්ලවවාදී ජාත්‍යන්තරවාදී විරෝධයට ඔහු දේශපාලන නායකත්වය සම්පාදනය කරන විට ඔහුගේ දේශපාලන මූලස්ථානය ලෙස පැවතුනේ සූරිච් නගරයයි. 1905 විප්ලවය ඇවිලී යාමේ දොලොස්වන සංවත්සරය අනුස්මරනය කරමින් 1917 ජනවාරියේ දී ලෙනින් දේශනයක් පැවැත්වීය. ඔහු එහිදී මෙසේ පැවසීය:   

යුරෝපයේ දැන් පවත්නා අමු සොහොනක බඳු නිශ්චලත්වයෙන් අප මුලා විය යුතු නැත. යුරෝපය විප්ලවයෙන් ගර්භනීයව සිටී. අධිරාජ්‍යවාදී යුද්ධයේ ඝෝර සන්ත්‍රාසයෙන් ද, ඉහලටම නැඟු‍නු ජීවන වියදම විසින් ජනනය කොට ඇති දුක් ගැහැටවලින් ද සෑම තන්හිම උත්පාදනය කෙරෙන්නේ විප්ලවවාදී මනෝභාවයකි; තවද පාලක පන්තීන්, ධනේශ්වරය හා එහි අන්තේවාසිකයන්, ආන්ඩු, ආවෘත අන්තයක් කරා වඩවඩාත් පිවිසෙමින් සිටින අතර, අතිමහත් කැලඹිලිවලට මුහුන පෑමෙන් තොරව ඔවුන්ට ඉන් මිදී යා හැකි නොවේ. [එම, පි. 253]             

ඉන් යන්තම් සති හයක ඇවෑමෙන් ලෙනින් විසින් පූර්වාපේක්ෂිත විප්ලවය පෙට්‍රොග්‍රෑඩයේ වීථිවල උපත ලැබීය. මෙන්ශේවික් හා සමාජ විප්ලවවාදී පක්ෂවල සහාය ලත් ධනපති තාවකාලික ආන්ඩුවක් බලයට ගෙන එමින්, සාර්වාදී තන්ත්‍රය කම්කරු පන්තියේ බහුජන නැඟිටීමක් මඟින් පෙරලා දමනු ලැබීය. ලෙනින් සූරිච් නගරයේ කොටු වී සිටි තතු තුල පෙට්‍රොග්‍රෑඩයේ සිටි බෝල්ෂෙවික් පක්ෂයේ නායකත්වය, ප්‍රධාන වශයෙන් ලෙව් කමනෙව් හා ජෝසෆ් ස්ටැලින්, තාවකාලික ආන්ඩුවට හා ලෝක යුද්ධය තුල රුසියාවේ සහභාගීත්වයට විවේචනාත්මක සහාය පිදූහ.    

ලෙනින් පෙට්‍රොග්‍රාඩය කරා එවන ලද “ඈත සිට එවූ ලිපි”‍ මඟින්, තාවකාලික ආන්ඩුවට සිය විරුද්ධත්වය පැහැදිලි කලේය. එහෙත් අප්‍රේල් මාසයේ “‍මුද්‍රා තැබූ දුම්රිය”‍ක නැඟී රුසියාව කරා පෙරලා ඒමට ලෙනින් කටයුතු කරන තෙක් ම, බෝල්ෂෙවික් පක්ෂයේ වැඩ පිලිවෙලේ හා මූලෝපායයික දිශාවනිතියේ මූලික වෙනසක් ඇති කරමින් 1917 ඔක්තෝබරයේ බලය අල්ලා ගැනීම කරා එය මෙහෙයවූ ගමන් මගෙහි පිහිටුවීමෙහි ලා ප්‍රාරම්භකත්වයක් ගැනීමට ඔහුට හැකි වූයේ නැත.    

පෙරලා රුසියාවට පැමිනි සැනෙන් ලෙනින් ආරම්භ කල අරගලය ඔහුගේ ජීවිතයේ දේශපාලනිකව බැරෑරුම්තම අරගලයයි. ලෙනින්ගේ “‍අප්‍රේල් තීසීසයන්”‍ මඟින් 1905 විප්ලවයේ පටන් බෝල්ෂෙවික් පක්ෂයේ දේශපාලන මූලෝපාය හා භාවිතය මෙහෙයවූ “‍නිර්ධන පන්තියේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිත්වය”‍ පිලිබඳ වැඩ පිලිවෙල ප්‍රතික්ෂේප කරන ලදී. එකී වැඩ පිලිවෙල විසින් සාර්වාදී තන්ත්‍රය පෙරලා දැමීමේ අරගලය අර්ථ කථනය කරනු ලැබ තුබුනේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙසය. බෝල්ෂෙවික් සූත්‍රය එලැඹෙන විප්ලවයේ නායක කාර්යභාරය කම්කරු පන්තිය සතු විය යුතුයැයි බල කර සිටි අතර, සාර්වාදී තන්ත්‍රයේ සියලු‍ වැඩවසම්වාදී හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ඉතිරි බිතිරි වනසා ලීම අපේක්ෂා කලේය. එහෙත් බෝල්ෂෙවිකයන්ගේ එම වැඩ පිලිවෙල රුසියානු ධනේශ්වරය පෙරලා දැමීම හා ධනේශ්වර දේපල සබඳතා අහෝසි කිරීම සඳහා කැඳවුම් කලේ නැත.    

තවද, නව විප්ලවවාදී තන්ත්‍රය “‍නිර්ධනීන්ගේ හා ගොවියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිත්වය”‍ක් ලෙස අර්ථ කථනය කිරීම, සාර්වාදී තන්ත්‍රය පෙරලා දැමීමෙන් මතු වන රාජ්‍ය බලයේ නිසැක ස්වභාවය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රමානයක බහු අර්ථතාවක් ඇති කිරීමට හේතු විය.   

1905 හා 1917 අතරතුර වර්ෂවල දී ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිත්වය පිලිබඳ බෝල්ෂෙවික් වැඩ පිලිවෙල පිලිබඳ වඩාත්ම විස්තීර්න වාමාංශික විචාරය ඉදිරිපත් කෙරුනේ ලියොන් ට්‍රොට්ස්කි විසිනි. ඔහුගේ නොනවතින විප්ලවයේ න්‍යාය මඟින් පෙරදකිනු ලැබුවේ සාර්වාදය පෙරලා දැමීම, අඩු වැඩි වශයෙන් ශීඝ්‍රව කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම කරා මඟ පාදන බවයි. රුසියාවේ ආර්ථික පසුගාමීත්වය තිබියදීම, ධනේශ්වර ක්‍රමයේ  ගෝලීය වර්ධනය හා අධිරාජ්‍යවාදී භූ දේශපාලනය විසින් රුසියානු විප්ලවය මාක්ස්වාදීන් සාම්ප්‍රදායිකව පූර්වාපේක්ෂා කල පරිදි ධනපති ප්‍රජාතන්ත්‍රවාදී හා ධනේශ්වර මාවත් ඔස්සේ වර්ධනය වීමට ඇති ශක්‍යතාවයට කල් තබා දොර වසා දමනු ලැබ ඇත. රුසියානු විප්ලවය ධනපති පන්තිය පෙරලා දැමීමේ හා සිය‘තට බලය ගැනීමේ කර්තව්‍යය කම්කරු පන්තිය අබිමුවට පමුනුවනු ඇත. රුසියානු විප්ලවය ලෝක සමාජවාදී විප්ලවයේ ආරම්භය ලෙස දකිමින්, රුසියානු නිර්ධන පන්ති ආඥාදායකත්වයේ සුරක්ෂාව වැඩි දියුනු රටවල, අන් සියල්ලටමත් වඩා ජර්මනියේ, කම්කරු පන්තිය ධනවාදය පෙරලා දැමීම මත රඳා පවතිනු ඇතැයි ට්‍රොට්ස්කි අවධාරනය කලේය.   

1914 ට පූර්වයෙහි ලෙනින්, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය “‍අභූතරූපී ලෙස වාම”‍ ප්‍රවාදයකැයි අඩු ලංසුවේ ලා තිබින. කෙසේවෙතත්, පැරනි බෝල්ෂෙවික් සූත්‍රය යලි තක්සේරු කිරීමටත්, ට්‍රොට්ස්කිගේ වැඩ පිලිවෙල කෙරේ තම ආකල්පය යලි සලකා බැලීමටත් ලෙනින් මෙහෙයවන ලද්දේ නිසැකවම ලෝක යුද්ධය පැතිර යාමේ අවස්ථාව විසිනි. මෙය  දේශපාලනික රචනා චෞරත්වයට සම්බන්ධ අවස්ථාවක් නොවේ. ලෝක යුද්ධයේ ගෝලීය ආර්ථික හා දේශපාලනික ගතිකයන් පිලිබඳ තමාගේම විශ්ලේෂනයේ ප්‍රතිඵලයක් ලෙස ලෙනින්, ට්‍රොට්ස්කිගේ නිගමනවලට - ඉදින් මුලුමනින් සර්වසම නොවේනම් -  අතිශය සමීප නිගමන කරා එලැඹියේය. දේශපාලනය කෙරේ තම ප්‍රවේශය තුල සාතිශය ලෙස සප්‍රතිපත්තික වූ ලෙනින් පක්ෂයේ වැඩ පිලිවෙල වෙනස් කිරීමේ අවශ්‍යතාව හැඳින ගත්තේය. සති ගනනාවක් පුරා දීර්ඝ වූ දේශපාලන අරගලයක ගමන් මඟ තුල බෝල්ෂෙවික් පක්ෂය නැවත පෙලගස්වා ගනිමින්, ඔක්තෝබරයේ දේශපාලන බලය දිනා ගැනීම කරා වූ මාවතේ පිහිටුවීමට ඔහු සමත් විය.        

ලෙනින්ගේ කාර්යයන්හිදී න්‍යාය හා භාවිතය අතර පැවැති අපූර්ව බන්ධනය පිලිබඳ සාක්ෂි දරන තවත් එක් පරිච්ඡේදයක් 1917 නාටකය තුල දැක්විය හැකිය. ජූලි දිනවල පෙට්‍රොග්‍රෑඞ් කම්කරු පන්තිය අත් විඳි පරාජයෙන් අනතුරුව, ප්‍රතිවිප්ලවයේ විදාරනය විසින් සැඟවී සිටීමට ලෙනින්ට බල කෙරින. සිය ජීවිතය අනවරතව අනතුරට පාත්‍ර වී තුබූ අසීරුතම දේශපාලන කොන්දේසි යටතේ ලෙනින් බලය ගැනීමේ අරගලය අලු‍ත් කිරීමට සූදානම් වූයේ රජය සහ විප්ලවය  කෘතිය රචනා කරමිනි. මාක්ස්වාදී පක්ෂයක් දැවැන්ත දේශපාලන කර්තව්‍යයන් සඳහා තමා හා කම්කරු පන්තිය සූදානම් කල යුත්තේ කෙසේද යන්න පිලිබඳ ලෙනින්ගේ සංකල්පය - ශත වර්ෂයක කාල පරාසයක ඇවෑමෙන් පවා අර්ථාන්විතභාවයෙන් ප්‍රහීන නොවූ එම සංකල්පය - මෙකී විශිෂ්ඨ කෘතියට ඔහු ලියූ සංඥාපනය තුල මෙසේ සිය ලාක්ෂනික ප්‍රකාශනය අත්පත් කර ගනී:            

“රාජ්‍යය”‍ සම්බන්ධයෙන් වන අවස්ථාවාදී අගතීන්ට එරෙහිව අරගලයකින් තොරව, කම්කරු පන්තිය පොදුවේ ධනපති පන්තියේ ද, සුවිශේෂීව අධිරාජ්‍යවාදී ධනපති පන්තියේ ද ආනුභාවයෙන් මුදා ගැනීමට අරගල කිරීම නොකල හැක්කකි....

සමාජවාදී නිර්ධන පන්ති විප්ලවය හා රාජ්‍යය අතර සම්බන්ධය, එබැවින්, හුදු ප්‍රායෝගික දේශපාලන වැදගත්කමට ද අතිරේකව, දවසේ හදිසිතම ප්‍රශ්නය වන ධනපති ප්‍රජා පීඩනයෙන් අත් මිදී ගනු සඳහා කල් නොයවා තමන් විසින් කල යුතුව ඇත්තේ කුමක්දැයි ජනයාට පැහැදිලි කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වැදගත්කම ද අත්පත් කර ගනී. [එකතු කල කෘති (ඉංග්‍රීසි), 25 වන වෙලු‍ම, පි.388]   

බෝල්ෂෙවික් පක්ෂය විසින් නායකත්වය දෙන ලද රුසියානු කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම සිදු වූයේ ඔක්තෝබර් 25-26 දිනවලදී ය. පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවට ලෙනින්ගේ විජයග්‍රාහී ඇතුලු‍වීම සියැ‘සින් දුටු ජෝන් රීඩ් ලොව හෙල්ලූ  දස දවස නම් සිය කෘතිය තුල විශිෂ්ඨ විප්ලවවාදී නායකයා පිලිබඳව මෙම හැඟීම් දනවන විස්තරය ලිවීය. “‍(ඔහු) කබල් ඇඳුම් ඇඳ පැලඳ සිටියේය, ඔහුගේ කලිසම හොඳටම දිගින් වැඩි ය. කලහකාරී පිරිසකගේ ප්‍රතිමූර්තියවීමට තරම් සිත් කාවදින සුලු‍ පෙනුමක් ඔහු සතු නොවීය. මේ සා ආදරයට හා ගෞරව බහුමානයට පාත්‍ර වූ අන් නායකයෝ ඉතිහාසයේ සිටියෝ නම් ඒ ඉතා සුලු‍ සංඛ්‍යාවකි. ඔහු අමුතු ජනප්‍රිය නායකයෙක් විය. - හුදෙක්ම තම බුද්ධි මහිමය නිසා නායකත්වයට තෝරා ගැනුනු; වර්න රහිත, හාසයෙන් තොර, අනාසක්ත, දැකුම්කලු‍ විලක්ෂනතාවලින් තොර - එහෙත් ගැඹුරු අදහස් පැහැදිලි කිරීම හා සංයුක්ත තත්වයක් විශ්ලේෂනය කිරීම සරල භාෂිතයෙන් සිදු කිරීමේ බලය ඇති; තව ද, ඒ සියල්ල සමඟ සූක්ෂ්ම බුද්ධියෙන් ද, විශිෂ්ඨතම බුද්ධිමය සාහසිකත්වයෙන් ද යුත්”‍ (නායකයෙක්).   

ලෙනින් “‍වර්න රහිත”‍ සහ “‍හාසයෙන් තොර”‍ ලෙස කෙරෙන රීඩ්ගේ විස්තර කිරීමට යමෙකුට යුක්තියුක්ත ලෙස විරුද්ධ විය හැක. එම දිනයේ, බෝල්ෂෙවික් පක්ෂයේ නායකයා ධනපති රාජ්‍යය පෙරලා දැමීම හා විප්ලවවාදී ආන්ඩුවක් පිහිටුවීම සමඟ මුලු‍මනින්ම නිමග්න වී සිටියදී රීඩ්ට දකින්නට නොහැකි වූ එකී ගුනාංග පිලිබඳව ඇතිතරම් සාක්ෂ්‍ය දැක්වෙන ලෙනින්ගේ පෞරුෂය පිලිබඳ වාර්තා ගනනාවක් වෙයි. එහෙත් ලෙනින් “හුදෙක්ම තම බුද්ධි මහිමය නිසා නායකයෙකු වූ”‍ ලෙස රීඩ් විසින් කරනු ලබන ගුනාංගීකරනය, නිශ්චිත ඒක-පාර්ශ්විකභාවයෙන් තොරව ගත් කල, යුක්තියුක්ත වේ. ලෙනින් නියෝජනය කලේ, සිය පක්ෂයේ හා කම්කරු පන්තියේ වැඩ පිලිවෙල හා භාවිතය වෛෂයික යථාර්ථය පිලිබඳ විද්‍යාත්මක අවබෝධය මත පදනම් කිරීමට ප්‍රයත්න දැරූ නව වර්ගයක දේශපාලන නායකයෙකි.  

න්‍යාය හා භාවිතය අතර යථා එකෙලි කිරීමක් තහවුරු කර ගැනීමේ ගැටලු‍ව ලෙනින්ගේ සමස්ත දේශපාලන ජීවිතයේ ප්‍රමුඛ පූර්ව නියුක්තියක් විය. භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය කෘතියේ ලෙනින් ලිවූ පරිදි, “මානව වර්ගයාගේ ඉහලම කර්තව්‍යය වන්නේ, යමෙකුගේ සමාජ විඥානයට හා සියලු‍ ධනේශ්වර රටවල වැඩි දියුනු පන්තිවල විඥානයට අනුවර්තනය කල හැකි පරිදි, හැකිතාක් නිශ්චිත, සුපැහැදිලි හා විචාරාත්මක ආකාරයකින්, ආර්ථික පරිනාමයේ (එනම්, සමාජ ජීවිතයේ පරිනාමයේ) මෙම වෛෂයික තර්කනය එහි පොදු හා මූලික ලක්ෂන තුල වටහා ගැනීමයි.”‍ [එකතු කල කෘති (ඉංග්‍රීසි), 14 වන වෙලු‍ම, පි. 325]   

ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි, ලෙව් කමනෙව්, සෝවියට්-පෝලන්ත යුද්ධයේ සටන් කිරීමට භට කන්ඩායම් දිරි ගන්වමින්, 1920 මැයි 1 දින.

වසර පනහකට ඉහත 1970 දී යෙදුනු ලෙනින්ගේ ජන්ම ශත සංවත්සරය, ගනන් කොට නිම කල නොහැකි තරමේ රැස්වීම්, සම්මන්ත්‍රන, පරිසංවාද, පෙලපාලි හා රැලි සඳහා නිමිත්තක් විය. ඒවායෙහි දී ඔහුගේ ජීවිතය පසසන ලදී. එහෙත් වැඩි වශයෙන් මේ අවස්ථා කැප කර තුබුනේ ඔහුගේ දේශපාලන කටයුතු මුසාකරනය කිරීම සඳහාය. ට්‍රොට්ස්කි සමඟ ඔහුගේ සමීප සහයෝගයේ සියලු‍ සලකුනු මකා ලිය යුතුව තිබින. ධනපති ක්‍රමයට එරෙහිව ජීවිත කාලයක් දීර්ඝ වූ සටනක් දියත් කර තුබූ ලෙනින්, සමාජවාදය කරා පාර්ලිමේන්තු මාවතේ ද, පන්ති අතර සාමකාමී සහජීවනයේ ද අධිවාචකයෙකු බවට පරිවර්තනය කල යුතුව තිබින. සෝවියට් සංගමය තවමත් පැවැති අතර, එහි පාලක නිලධරය, ලෙනින්ගේ ජීවිත කථාව පිලිබඳ පාලක ස්ටැලින්වාදී නිලධරයේ අවශ්‍යතා සමඟ සැසඳෙන ආකාරයේ සංස්කරනයක් ප්‍රවර්ධනය කිරීමට අතිමහත් සම්පත් යෙදවූහ.

ඔහුගේ මමීකෘත මෘත ශරීරය සමාධියක තැන්පත් කර තබා තුබූ අතර, ක්‍රෙම්ලිනයේ ප්‍රතිරූපකයෝ එම විශිෂ්ඨ විප්ලවවාදියාගේ නීත්‍යානුකූල උරුමකරුවන් ලෙස පෙනී සිටීමට ප්‍රයත්න දැරූහ. එකී ජන්ම ශත සංවත්සරය සැමරීමට රතු චතුරශ්‍රයේ සමාධිය මුදුනෙහි නැඟී සිටි ක්‍රෙම්ලින් නිලධාරීහු ඇත්තෙන්ම ප්‍රතිවිප්ලවවාදී අපරාධකාර ස්ටැලීන්ගේ උරුමකරුවෝ ද, ඔක්තෝබර් විප්ලවයේ මූලධර්ම හා වැඩ පිලිවෙල පාවා දීමේ අර්ථලාභීහු ද වූහ.   

රජය හා විප්ලවය කෘතියේ ආරම්භක පරිච්ඡේදය තුල ලෙනින් ඔහුගේම ඉරනම පෙර දැක තිබින. “‍විශිෂ්ඨ විප්ලවවාදීන්ගේ ජීවිත කාලය තුල දී, පීඩක පන්තීහු නිරතුරුව ඔවුන් දඩයම් කලෝය; ඔවුන්ගේ න්‍යායයන් පිලිගනු ලැබුනේ ම්ලේච්ඡතම ද්වේශයකින්, වඩාත්ම ගිනියම් වෛරයකින්, මුසාවාද හා අපවාදවල දුෂ්ටතම උද්ඝෝෂන සමඟිනි. ඔවුන්ගේ මරනයෙන් පසු, විප්ලවවාදී න්‍යායයෙන් එහි සාරය සොරා ගනිමින්, එහි විප්ලවවාදී මුවහත මොට කර දමමින්, එය ග්‍රාම්‍යත්වයට පත් කරන අතරතුරම, පීඩිත පන්තිවල ‘අස්වැසිල්ල’ සඳහා සහ ඔවුන් රැවටීමේ අරමුනින් යුතුව එකී විප්ලවවාදීන් උපද්‍රව රහිත ප්‍රතිරූප බවට හැරවීමට, - ඉදින් එසේ කියතහොත් - ඔවුන් මුනිවරයන් ලෙස ප්‍රකාශ කිරීමට හා යම්තාක් දුරකට ඔවුන්ගේ නාමයන් පවිත්‍රත්වයට පත් කිරීමට ප්‍රයත්න දරනු ලැබේ.”‍ [එකතු කල කෘති (ඉංග්‍රීසි), 25 වන වෙලු‍ම, පි. 390]         

එහෙත් දැන්, ලෙනින්ගේ උපතින් 150 වන සංවත්සරය අප සමරන අවස්ථාව වන විට, ඉතිහාසය සම්පූර්න වටයක් ගෙවා මුලට පැමින ඇත. පෙර කිසිදා නොදුටු විරූ ගෝලීය අර්බුදයක් මධ්‍යයේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ආරක්ෂා කරනු ලැබූ සැබෑ ලෙනින්ගේ උරුමය, නැවත වරක් විප්ලවවාදී කම්කරුවන් හා තරුන ජනයාගේ නව පරපුරකට අධ්‍යාපනය හා අනුප්‍රානය ලැබ දෙනු ඇත.