ජනාධිපති රාජපක්ෂ වසංගත-විරෝධී පියවරයන්ට මුවා වී කුමන්ත්‍රනයක් සූදානම් කරමින් සිටින්නේ ද?

කේ. රත්නායක
29 අප්‍රේල් 2020

මෙම ලිපිය 2020 අප්‍රේල් 28 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දෙන ශ්‍රී ලංකාවේ සුලුතර ආන්ඩුව, මිලිටරිය සමග සහයෝගයෙන්, කුමන්ත්‍රනයක් සූදානම් කරමින් තිබෙන බවට ඉඟිකරන දුෂ්ට, ආඥාදායක පියවරයන් මාලාවක් ගෙන ඇත.

යටත් පිරිසෙයින් ගතහොත්, බලය පැහැරගැනීමක් සූදානම් කිරීම සඳහා ද රාජ්‍යය පවත්වාගෙන යාමට මිලිටරිය මුලුමනින් යොදවා ගැනීමට ද  වැඩකරන ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දඬු ගැසීමට ද ව්‍යාජ නිමිත්තක් ලෙස, ආන්ඩුව කොවිඩ් -19 වසංගතය යොදාගනිමින් සිටී. මේ සියල්ල  කරමින් සිටින්නේ ප්‍රජාතාන්ත්‍රික-ව්‍යවස්ථාමය සම්මතයන් නග්න ලෙස උල්ලංඝනය කරමිනි.   

එසේ කිරීම මගින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ අගමැති හා සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සරල ව ඔවුන්ගේ ධනේශ්වර විරුද්ධවාදීන්ගේ වියදමින් බලය වඩ වඩා අත් කරගන්නවා පමනක් නො වේ. ඔවුන්ගේ සැබෑ හා ප්‍රධාන ඉලක්කය වන්නේ කම්කරු පන්තිය යි.

වසංගතයට හා එහි ප්‍රතිවිපාක ලෙස ගෝලීය ආර්ථික බිඳවැටීමට පෙර පවා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැවතුනේ ප්‍රගාඪ අර්බුදයක ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ මැතිවරනය ජයග්‍රහනය කල විගස නෙරපා දැමූ, එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දුන් පැවති ආන්ඩුවේ අවසන් වසර දෙක තුල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) පනවන ලද එහි රුදුරු කප්පාදු පියවරයන්ට එරෙහි ව බලගතු විරෝධතා හා වැඩ වර්ජන රැල්ලක් පැවතුනි. 

සඳුදා හිමිදිරි උදෑසන, කොරෝනා වෛරසයට එරෙහි සති ගනනක් පැවති අගුලු දැමීම, රාජපක්ෂ ආන්ඩුව විසින් රටෙහි බොහෝ කොටසකින් ඉවත් කිරීමට නියමිත ව තිබුනි. එහෙත්, කිසිදු පෙර දැන්වීමකින් තොර ව, ආන්ඩුව කලේ අඟහරුවාදා උදෑසන පහ දක්වා පැය 24 ක වඩා විෂඝෝර ඇඳිරි නීතියක් දිවයින පුරා පැනවීම යි. මේ සඳහා ඉදිරිපත් කල හේතුව වූයේ, නිවාඩු ලබා සිටි සන්නද්ධ හමුදාවල භටයන්ට ඔවුන්ගේ අදාල කඳවුරුවලට ආපසු පැමිනීමට ඉඩ සැලසීම බව යි.

ඇඳිරි නීතිය පැනවීමට පෙර, සන්නද්ධ හමුදා තුනෙහි සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කරමින් නිවේදනයක් නිකුත් කල ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න, භටයන්ට ඔවුන්ගේ අදාල ස්ථාන භාර නිලධාරීන් වෙත වාර්තා කරන ලෙස නියෝග කරන ලදී.

මිලිටරි දිගේලි කිරීම්වලට පහසුකම් සැලසීම පිනිස පැය 24ක ඇඳිරි නීතියක් පැනවීම, ශ්‍රී ලංකාවේ පෙර නුවූ විරූ දෙයකි. දශක තුනකට ආසන්න කාලයක්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය දෙමල සුලුතරයට එරෙහි ව ගෙන ගිය සිවිල් යුද්ධය සමයේ වත් එවන් පියවරක් නො ගැනුනි.

ගුනරත්නගේ ආරම්භක නියෝගය විනිවිද පෙනෙන ලෙස ප්‍රතිෂේධනය කරමින් වහා ම ඉස්මතු වූ කරුන වූයේ, බොහෝ සොල්දාදුවන් ඔවුන්ගේ සාමාන්‍ය කඳවුරු වෙත ආපසු යාම වෙනුවට, අගනුවර වන කොලඹට යෙදවීමට නියමිත බව යි. එහි දී ඔවුන් නගරයේ විශාල පාසල් පහක් ද ඇතුලු ව පාසල් තුල ස්ථානගත කිරීමට නියමිත ය.

මිලිටරිය මෙලෙස යෙදවීම ගැන තවමත් නිල විග්‍රහයක් දී නැත. එහෙත්, පසුගිය සතිය මුල දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී කතා කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කලේ  කොරෝනා වෛරස් වසංගතයට එරෙහි ව “යුද්ධය සමයේ” පැවති පියවරයන් වැනි පියවර ගැනීමට කොලඹට මිලිටරිය යොදවන බවයි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, කොවිඩ් -19 වසංගතයෙන් 600 ක් දෙනා ආසාදිත වී ඇති අතර ජීවිත හතක් බිලිගෙන ඇත. 

තවත් අසාමාන්‍ය පියවරක් ගනිමින්, ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහට අනුව, මිලිටරිය පාර්ලිමේන්තුවේ බාහිර ආරක්ෂාව භාරගෙන ඇත. ආරක්ෂක කටයුතු සඳහා යොදා සිටි පොලිස් භටයන් 120ක් ඉවත් කර, ඒ වෙනුවට මිලිටරි භටයන් යෙදවූ බව පාර්ලිමේන්තු පරිපාලනය කියා ඇත. මිලිටරිය සඳහන් කලේ, මැයි 4 දා තෙක්, කොරෝනා වෛරසයට එරෙහි අගුලු දැමීම කොලඹ තුල බලාත්මක ව තබාගැනීමට පොලීසිය අවශ්‍ය නිසා එය සිදුකල බව යි.

එක් අතකින්, එජාපය නායකත්වය දුන් ආන්ඩුවේ කප්පාදු කෙරෙහි පැවති මහජන විරෝධය ගසාකෑම එල්ල කොට ගෙන  වාචාල ආයාචනා කරමින් හා අනෙක් අතින්, ජනප්‍රිය නොවන පියවර ක්‍රියාවට දැමිය හැකි හැකි “බලවත්” සිංහල-බෞද්ධයෙකු ලෙස තමන් ව වාත්තු කරගනිමින් මහ ව්‍යාපාරිකයේ සහයෝගය රැලි කරගත් රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරනය ජයග්‍රහනය කලේ ය.

මිලිටරිය සමග සමීප සබඳතා වගා දිගා කරගත් හිටපු කර්නල්වරයෙකු වන රාජපක්ෂ, කෘරත්වය පිලිබඳ ව කුප්‍රකට ය. රාජ්‍යය විසින් නියෝග කරන ලදුව දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මිලිටරි ඝාතනයට ලක් කරමින් 2009 අවසන් වූ, සිවිල් යුද්ධයේ අවසන් අදියරවල දී, ඔහුගේ සහෝදරයාගේ ආරක්ෂක ලේකම් ලෙස රාජපක්ෂ සේවය කලේ ය. තව ද එම කාලය තුල, විෂඝෝර හදිසි නීති රෙගුලාසි හා ත්‍රස්තවාදය  වැලැක්විමේ නීති යොදාගනිමින්, කම්කරුවන්, දේශපාලන විරුද්ධවාදීන් හා ජනමාධ්‍යවේදීන්ට එරෙහි ව ආරක්ෂක හමුදා දිගේලි කරමින් රාජ්‍ය මර්දනයක් මුදා හැරිය හ.

ජනාධිපති ධුරය ජයග්‍රහනය කිරීමෙන් දවස් ගනනක් ඇතුලත, එජාප ආන්ඩුව ඉවත් කල ගෝඨාභය රාජපක්ෂ සිය සහෝදරයා අගමැති ලෙස පිහිටුවී ය. තම නව ආන්ඩුවට බහුතරයක් නො තිබුනු නිසා පාර්ලිමේන්තුව ගනනකට නොගත් රාජපක්ෂ නියමිත කලට කලින් මැතිවරනයක් කැඳවීම සඳහා ව්‍යවස්ථාමය අයිතිය ලැබුනු මාර්තු 2දා තෙක් කල්යල් බලමින් සිටියේ ය.

ඔහුගේ ප්‍රකාශිත අරමුන වන්නේ, නව හා වඩා විෂඝෝර කප්පාදු වටයක් පැටවීමට ආන්ඩුවට බලකෙරීමට ප්‍රථමයෙන්, හදිසි මැතිවරනයක් පවත්වා පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකේ බලයක් තහවුරු කරගැනීම යි. විධායක ජනාධිපතිවරයා ලෙස, දුරදිග යන අත්තනෝමතික බලතල ඔහුට ලබා දෙන ව්‍යවස්ථාමය වෙනස්කම් සම්මත කරගැනීම ඔහුට අවශ්‍ය ය.

ආරම්භයේ දී දින නියමයකින් තොර ව ද දැන් තාවකාලික ව ජුනි 20 තෙක් ද මැතිවරනය කල්දමනු ලැබ තිබෙද්දී පවා, මිලිටරියේ ද ඔහුගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන භාරකාර ආන්ඩුවේ ද සහයෝගය සහිත ව, සුවිශේෂී බලතල පවරා ගැනීමට ඔහු ජනාධිපති ආඥාවන් යොදාගෙන ඇත.

බස්නාහිර පලාත, වයඹ පලාතේ පුත්තලම දිස්ත්‍රික්කය හා යුද්ධයෙන් විනාශවූ උතුරේ යාපනය දිස්ත්‍රික්කය මාර්තු 20දා සිට පවතින්නේ අගුලු දැමීම හෙවත් ශ්‍රී ලංකාවේ ව්‍යවහාරයට අනුව “ඇඳිරි නීතිය” යටතේ ය. අනෙකුත් ප්‍රදේශවල අගුලු දැමීම/ඇඳිරි නීතිය කඩින් කඩ ලිහිල් කරනු ලැබ ඇත.

අගුලු දැමීම ප්‍රත්‍යක්ෂ වසයෙන් ම නීති-විරෝධී ය. ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල ව, එක්කෝ එය ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත්කල යුතු ය, නැතහොත් හදිසි නීතිය යටතේ ප්‍රකාශයට පත්කල යුතු ය. ගැසට් නිවේදනයකින් ක්‍රියාවට දැම්මේ නම්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු ව තිබුනි. ඒ හා සමාන ව, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමක් ද පාර්ලිමේන්තුව විසින් අනුමත කල යුතු ය.

එහෙත්, නව බලතල ඩැහැගැනීම සඳහා වසංගතය ගසාකමින් සිටින රාජපක්ෂ, සරල ව ම නීතිය නො තකා, විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස විපක්ෂය කල ආයාචනා දඩබ්බර ලෙස නිෂ්ප්‍රභ කර ඇත.

නීති-විරෝධී ලෙස පනවන ලද අගුලු දැමීමට අනුකූල ව කටයුතු කිරීමට අසමත් වූ බව කියමින් පුද්ගලයන් 40,000ක් පමන අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය, ඔවුන්ට අයත් වාහන 10,000ට වැඩි සංඛ්‍යාවක් රාජසන්තක කර තිබේ. කිසිදු විරුද්ධ පක්ෂයක් හෝ මාධ්‍යයක් මෙම ක්‍රියාවන්ට අභියෝග කොට නැත.

ඔහු ධුරයට පත්වීමෙන් පසුව, බොහෝ මූලික තනතුරු ජ්‍යෙෂ්ට මිලිටරි නිලධාරීන්ගෙන් පිරවීමට රාජපක්ෂ පියවර ගත්තේ ය. කොරෝනා වෛරස් වසංගතය පුපුරා යාමෙන් ඉක්බිති ව, ඔහු පරිපාලනය තවදුරටත් මිලිටරිකරනය කොට ඇත. කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබ තිබෙන්නේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. විශ්‍රාමික එයාර් මාර්ෂල් රොෂාන් ගුනතිලක බස්නාහිර පලාත් ආන්ඩුකාරයා ලෙස පත්කරනු ලැබ තිබේ.

පහසුවෙන් බෝ වන හා භව්‍ය ලෙස මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහි ව සටන් කිරීමේ නාමයෙන් මහජනයා මත නව මර්දන නීති පනවන අතර ම, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා වැඩකරන ජනයාගේ සෞඛ්‍යය හා යහපත  කෙරෙහි  රාජපක්ෂ ආන්ඩුව විසින් පෙන්නුම් කර තිබෙන්නේ අන්ත නොතැකිමකි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ) විසින් සියලු රටවලින් යලි යලිත් ඉල්ලා සිටි මහා පරිමාන පරීක්ෂන පැවැත්වීම පසුගිය මාස දෙක තිස්සේ ම කර නැත. සෞඛ්‍ය කම්කරුවන් යෝග්‍ය ආරක්ෂක උපකරන රහිත ව සිටියි. මහ ව්‍යාපාරිකයන් ට  රුපියල් බිලියන ගනනින් මුල්‍ය දොලපිදේනි දෙන ආන්ඩුව ගරා වැටුනු සෞඛ්‍ය සේවය නවීකරනය කිරීමට හා ශක්තිමත් කිරීමට කිසිදු සැලකිය යුතු අරමුදලක් වෙන් කොට නොමැත.

අගුලු දැමීම හදිසියේ පනවන ලද්දේ, කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට ආහාර සහ ඖෂධ ඇතුලු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් සැපයීම සහතික කිරීමේ සැලසුම්වලින් තොර ව ය. රැකියා අහිමි ව සිටින ලක්ෂ ගනනක් වන දෛනික වැටුප් ලබන කම්කරුවෝ, දැන් කිසිදු පිලිසරනක් රහිත ව සිටිති.

ආඥාදායක පාලන ක්‍රම කරා රාජපක්ෂගේ හැරීමට පිටුපසින්, කම්කරු පන්තිය සමග හැප්පීමේ  භීතිය  හා එයට සූදානම් වීම පවතී.

වසංගතය විසින් ජනනය කරන ලද ගෝලීය ආර්ථික අර්බුදය, සංචාරක කර්මාන්තය හා ඇඟලුම් කර්මාන්ත යන ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ ප්‍රධාන විදේශ විනිමය මාර්ග කපා දමා ඇත්තේ, විදේශවල වැඩකරන සංක්‍රමනික කම්කරුවන් එවන මුදල් සම්ප්‍රේෂන වේගයෙන් පහත වැටෙද්දී ය.

ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට මංමුලා සහගත වන රාජපක්ෂ ආන්ඩුව, ඉන්දියාවේ, එක්සත් ජනපදයේ හා යුරෝපයේ එහි පාර්ශවකරුවන් මෙන්, ආර්ථිකය යලි විවෘත කිරීම සඳහා ආක්‍රමනශීලී ලෙස පියවර ගෙනඇත. නිදහස් වෙලඳ කලාප (නිවෙක) දාහතරක් දැනට මත් විවෘත කර තිබේ. “සෑම (පුද්ගලික) ආයතනයක ම ප්‍රධානියාට, වැඩට වාර්තා කල යුත්තේ කවුද යන්න හා සේවකයන් ගනන නීර්නය කිරීමට නිදහස ඇතැ” යි කියමින්, රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සඳහා මහ ව්‍යාපාරිකය කල ඉල්ලීමට රාජපක්ෂ ඒ අතර ම අනුමැතිය දී ඇත.

කම්කරුවන් තරයේම සුපරික්ෂාකාරී විය යුතු ය. “යුද්ධය සමයට සමාන” පියවරයන් පැටවීම සඳහා කොලඹට භටයන් යෙදවීම ගැන රාජපක්ෂ කතා කොට ඇත. “මම ආරක්ෂක ලේකම්තුමාට දැනුම් දුන්නා මේ ප්‍රදේශය යුද කාලයේ තිබුනා වගේ පාලනයක් ඇතිකරලා මිනිසුන් ...විනයක් ඇතුව හික්මීමක් ඇතුව කටයුතු කරන බව තහවුරු කරන්නට” යි ඔහු පසුගිය සතියේ උදම් ඇනී ය. අද දින එය දුගීන්ට අධික ලෙස දඬුවම් කරන අගුලු දැමීමක රූපය ගෙන ඇතත්  හෙට දින ඔවුන් ව යොදවනු ඇත්තේ  වැඩකරන ජනයා ව අතිශය නීච කොන්දේසි යටතේ ආපසු වැඩට දැක්කීම සඳහාය..

ජනාධිපතිවරයාගේ නීති-විරෝධී ක්‍රියා මගින් අවුලුවන ලද දේශපාලනික-ව්‍යවස්ථාමය අර්බුදය නිෂ්ක්‍රීය කිරීම සඳහා පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි බොහෝ විරුද්ධ පක්ෂ ඊයේ ජනාධිපතිවරයාට ආයාචනා කල හ. සුලුතර ආන්ඩුව පහකිරීමට දරන ඕනෑම ප්‍රයත්නයක් වලක්වන බවට ඔවුන් පොරොන්දු වූයේ, “වගකීම් සහගත සහයෝගයක්” එයට ලබා දීමට ඉදිරිපත් වෙමිනි.

මෙම ආයාචනය කල පක්ෂ අතරට, එජාපය, ඉන් බිඳී ගිය සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා වතු වෘත්තීය සමිතිවල පක්ෂ අයත් වූ හ.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙම ආයාචනයට හවුල් නො වූවත්, අනෙකුත් පක්ෂ ද සමගින් සර්ව-පාක්ෂික රැස්වීම්වලට දෙවතාවක් සහභාගි වූ එය, “කොරෝනා වෛරස් වසංගතය වැලැක්වීමට” ආන්ඩුව ගෙන ඇති පියවරයන් උත්කර්ෂයට නැංවූයේ, එමගින් රාජපක්ෂ හා ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියා ශක්තිමත් කරමිනි.

මෙම පක්ෂවලට රාජපක්ෂලාගේ පාලනය සමග තිබෙන්නේ සුලුසුලු උපායික වෙනස්කම් පමනි. සමහර අවස්ථාවල දී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ ප්‍රලාපයන් දෙඩවිය හැකි වුව ද ඔවුන් සියල්ලෝ ම ස්වෝත්තමවාදයේ ගිලී සිටිමන්, ජාමූඅ කප්පාදු පැටවීමට සහයෝගය දෙති; එලෙස ම ඔවුන්ගෙන් බොහෝ දෙනා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ චීන-විරෝධී යුද ධාවනය පිටුපසට ශ්‍රී ලංකාව ස්ථීරසාර ව ගෙන ඒම වෙනුවෙන් විවෘත ව පෙනී සිටින්නන් ය.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් මෙම දිවයිනේ පමනක් නො ව, සමස්ත ලෝකය පුරා කම්කරුවන්ට තියුනු අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. කොවිඞ්-19 වසංගතයට එරෙහි ව සටන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මුවා වී, ධනේශ්වර පාලක ප්‍රභූහු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දෙමින්, විෂඝෝර බලතල ඩැහැගනිමින් හා සමාජය මිලිටරිකරනය කරමින් සිටිති.

තමන්ගේ ජීවිත හා ජීවනෝපාය ආරක්ෂා කරගැනීමට මෙන් ම තමන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරගැනීමට, ශ්‍රී ලංකාවේ කම්කරුවෝ සියලු ප්‍රතිමල්ලව ධනේශ්වර කන්ඩායම්වලට විරුද්ධ ව, මෙම අර්බුදයේ දී ස්වාධීන ව මැදිහත් විය යුතු ය. කම්කරු පන්තියේ දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලුගැන්වීමටත්, ධනපති ප්‍රතිගාමීත්වයට විරුද්ධ ව ගම්බද දුගීන් රැලි කරගැනීමටත්, සමාජවාදී පිලිවෙත්වලට හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන දියත් කිරීම පිනිසත්, සෑම වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගනු ලැබිය යුතු ය.