ව්‍යාපාරවලට දිගටම වාසි සලසන බවට ෆෙඩරල් මහ බැංකුව පොරොන්දු වෙද්දී කොටස් වෙලඳපොලවල් ඉහල නඟී

මෙම ලිපිය අද දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

2008 අවසානයේ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් හා 1929 මහා ආර්ථික අවපාතයෙන් පසු එක්සත් ජනපද ආර්ථිකය මේ වසරේ මුල් කාර්තුවේ වේගයෙන් හැකිලී ගියේය.

දෙවන කාර්තුවේදී වඩාත් නරක අතට හැරෙනු ඇති බවට ඇඟවුම් කරමින් දල දේශීය නිෂ්පාදිතය වසරේ මුල් මාස තුනෙන් අවසන් කාර්තුව තුල  සියයට 4.8 ක වාර්ෂික අනුපාතයකින් පහත වැටුනි.

නමුත් වෝල් වීදිය සහ සැබෑ ආර්ථිකය අතර පරතරය තවත් ගැඹුරු වන බව ඇඟවුම් කරමින්, මූල්‍ය වෙලඳපොලවල් ප්‍රවෘත්තිය සමරන අතර, ඩව් ජෝන්ස් ඒකක 532 කින් ඉහල ගියේය. මන්ද යත්, එය එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව තව තවත් මුදල් තම සේප්පු තුලට ගෙන එනු ඇතැයි සලකාගෙන ය. ඒ දැනටමත් ලබා දී ඇති ඩොලර් ට්‍රිලියන ගනනට අමතරවය.

ප්‍රතිපත්ති සම්පාදනය කරන විවෘත වෙලඳපොල කමිටුවේ දෙදින රැස්වීමෙන් අනතුරුව මහ බැංකුව පැහැදිලි කලේ, කොටස්, බැඳුම්කර, නාගරික නය සහ ව්‍යාපාරික බැඳුම්කර ඇතුලු සියලු මූල්‍ය වෙලඳපොලවල් උත්තේජනය කරන, සිය  අඩු පොලී අනුපාත ක්‍රමය සහ මූල්‍ය වත්කම් මිලදී ගැනීමේ (ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ) වැඩපිලිවෙල, අඛන්ඩව ඉදිරියට යනු ඇති බවයි.

ෆෙඩරල් රිසව් බැංකුවේ අධිපති ජෙරොම් පවෙල් (ඒ.පී. ෆොටෝ /සුසාන් වොල්ෂ්)

“මෙම අභියෝගාත්මක කාලය තුල, එක්සත් ජනපද ආර්ථිකයට සහාය වීම සඳහා ෆෙඩරල් මහ බැංකුව සිය සම්පූර්න මෙවලම් භාවිතා කිරීමට කැපවී සිටී.

“ආර්ථිකය” යන යෙදුම වැරදි අර්ථකථනයකි. ට්‍රම්ප් පරිපාලනය ද ෆෙඩරල් මහ බැංකුව ද තනිකරම සැලකිලිමත් වන්නේ, අර්බුදයේ දී අතපය දිගහැර මුදල් උපයා ගන්නා වෝල් වීදියේ ප්‍රධාන සමාගම් සහ හෙජ් අරමුදල් වෙලඳුන් සහ මූල්‍ය සමපේක්ෂකයින්ගේ ලාභය පිලිබඳව ය.

ලොසවෙඅ 29දා වාර්තා කල පරිදි, පසුගිය සති පහ තුල විරැකියා සහන ඉල්ලුම් කර ඇති එක්සත් ජනපද කම්කරුවන්ගේ මිලියන 26.5 ක සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අවතක්සේරු කිරීමකි. පුද්ගලයින් 10 දෙනෙකු  ඉල්ලුම් කරද්දී තවත් තුන් හතර දෙනෙකු අයදුම් කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඉල්ලුම් කිරීමට උත්සාහයක්ම නොගත්තේ, එම ක්‍රියාවලිය එතරම්ම වෙහෙසකර එකක් නිසාය.

රැකියා විරහිත සහන සඳහා පිරිනමන සුළු මුදල හෝ ලබා ගැනීමට නොහැකි මිලියන සංඛ්‍යාත කම්කරුවන් දිවි ගලවා ගැනීමට දරන උත්සාහය හමුවේ, ඩොලර් ට්‍රිලියන 4.2 ත් 6 ත් අතර මුදල් ප්‍රමානයක් සමාගම් හා  බැංකුවලට ලබා දී ඇත. 

ෆෙඩරල් මහ බැංකුවේ විවෘත වෙලඳපොල කමිටු ප්‍රකාශය සහ එහි සභාපති ජෙරොම් පවෙල් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කල ප්‍රකාශ විශේෂයෙන් වෝල් වීදියේ සතුටට හේතු විය.

“පවත්නා මහජන සෞඛ්‍ය අර්බුදය, කෙටි කාලීනව, ආර්ථික කටයුතු, සේවා නියුක්තිය සහ උද්ධමනය මත බෙහෙවින් වාරු වනු ඇති අතර මධ්‍ය කාලීන ආර්ථික දැක්ම මත සැලකිය යුතු අවදානමක් ජනනය කරයි” යනුවෙන් නිල ප්‍රකාශය පවසයි.

“මධ්‍ය කාලීන” අවදානම පිලිබඳ ප්‍රකාශය වෙලඳපොලට කල සංඥාවක් වූ අතර, පෙනෙතෙක් මානයක් වන තෙක්ම මහ බැංකුව පෙර නොවූ විරූ මැදිහත්වීම් දිගටම කරගෙන යනු ඇත. වෙලඳපල ඉහල නැඟීමෙන් සලකුනු කලේ පනිවිඩය ලැබුනු බව හා එය වටහාගත් බවයි.

එය පවෙල් විසින් අවධාරනය කරන ලදී. ආර්ථිකයට සහය දැක්වීම සඳහා ෆෙඩරල් මහ බැංකුව “කුපිතකාරීව, ක්‍රියාශීලීව හා ආක්‍රමනශීලීව” ඉදිරියට යන බව පැවසූ ඔහු, පරිපාලනය විසින් සංගත සඳහා තවදුරටත් සහාය ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය.

පවෙල් කියා සිටියේ ෆෙඩරල් ප්‍රතිපත්තිය මේ වන විට “නිවැරදි තැන” පවතින බවත්, ඉතා අඩු අනුපාත “සෑහෙන කාලයක්” සඳහා පවතිනු ඇති බවත්, සහයෝගය අකුලා ගැනීමට මහ බැංකුව “තදියම්” නොවන බවත් ය.

“දිගුකාලීන හානිය සීමා කිරීම” සඳහා තවත් “සෘජු මූල්‍ය ආධාර” අවශ්‍ය විය හැකි අතර “එක්සත් ජනපදයේ මහා මූල්‍ය බලය” භාවිතා කිරීමට කාලය එලඹ තිබේ. වෙනත් වචන වලින් කිවහොත්, සංගත සහ වෝල් වීදිය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය වක්කඩ විවෘත කරන්න.

මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝජිතයන් එය අපේක්ෂා කරයි. ඇබර්ඩීන් ස්ටෑන්ඩර්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ජේම්ස් මැකාන් සඳහන් කලේ, මහ බැංකුව “අවශ්‍ය නම් තවත් බොහෝ දේ කිරීමට පොරොන්දු වී” ඇති බවයි. ඒ වන විටත් සිදු කර ඇති දේවල බලපෑම මුල්බැසගන්නා තෙක් එහි නවතම රැස්වීමේදී, එය “කෙටි විරාමයක්” ලබා ගෙන තිබුන ද, “සිය සේවාදායකයින් පිලිබඳව විවේක ගැනීමට ඔවුන්ට නොහැකිය.”

සැලකිය යුතු වුවත් මාර්තු කාර්තුවේ සංඛ්‍යා පිලිබිඹු කරන්නේ, අගුලු දැමීමේ හා සමාජ දුරස්ථ කිරීමේ ක්‍රියාමාර්ගවල බලපෑමේ ආරම්භය පමනි. එය මාසයේ අවසාන සති තුන තුල බලපෑම් කිරීමට පටන් ගත්තේය. නමුත් ඒවා ප්‍රකාශ කරන්නේ පරිහානියේ වේගයයි.

එක්සත් ජනපද ආර්ථිකයෙන් සියයට 70 ක් පමන වන පුද්ගලික පරිභෝජනය, සියයට 7.6 ක අනුපාතයකින් පහත වැටී ඇති අතර එය 1980 දෙවන කාර්තුවේ සිට ඇතිව තිබූ විශාල පසුබෑම මධ්‍යයේ සිදුවූ විශාලතම පහත වැටීමකි. සේවා වියදම් සියයට 10.2 කින් පහත වැටී ඇති අතර, 1947 දී කාර්තුගත සංඛ්‍යා රැස් කිරීමට පටන් ගැනීමෙන් පසුව සිදු වූ විශාලතම පහත වැටීම.

මෘදුකාංග, පර්යේෂන සහ සංවර්ධනය, ප්‍රාග්ධන උපකරන සහ ගොඩනැගිලි සඳහා වන වියදම් සියයට 8.6 ක වාර්ෂික අනුපාතයකින් පහත වැටී ඇති අතර, කොවිඩ්-19 වසංගතයට පෙර සිටම සිදුවෙමින් පැවති ආයෝජන පහත වැටීම වේගවත් වී තිබේ. 

සියලුම පුරෝකථන යොමුව ඇත්තේ, දෙවන කාර්තුවේ විශාල පහත වැටීමක් සිදුවීම දෙසටය. නිරන්තරයෙන් අඩු කොට පෙන්වා ඇති නිල විරැකියා අනුපාතය පවා, දශකයකට වැඩි කාලයක් තුල පලමු වරට ඉලක්කම් දෙකේ ගනන් වලට නඟිනු ඇති බව, කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ක්‍රෙඩිට් සූයිස් හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ජේම්ස් ස්වීනී වෝල් ස්ට්‍රීට් ජර්නලයට පැවසුවේ, “තව බොහෝ දේ සිදුවීමට ඇති” බවත් එක්සත් ජනපද ආර්ථිකය “මහා අවපාතයෙන් පසු දල දේශීය නිෂ්පාදිතයේ විශාලතම හැකිලීම කරා ගමන් කරන” බවත් ය.

දත්ත සහ පුරෝකථන සමාගමක් වන අයිඑච්එස් මාකිට්, අප්‍රේල් සිට ජුනි දක්වා එක්සත් ජනපද දල දේශීය නිෂ්පාදිතය සියයට 37 ක වාර්ෂික අනුපාතයකින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරයි.  දල දේශීය නිෂ්පාදිතයේ නවතම සංඛ්‍යා නිකුත් කිරීමෙන් පසුව, මෝගන් ස්ටැන්ලි ආර්ථික විද්‍යාඥයින් පැවසුවේ, දෙවන කාර්තුවේ හැකිලීමෙහි වාර්ෂික අනුපාතය සියයට 38 ක් වනු ඇති බවයි. එය 1930 ගනන්වල දරුනුම කාර්තුමය හැකිලීමට සමාන වේ.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වාර්තාවකට අනුව, ප්‍රධාන නිෂ්පාදකයින් අනතුරු අඟවා ඇත්තේ, “සමහර වසා දමන ලද කම්හල් කිසි විටෙකත් නැවත විවෘත නොවන” බවයි.

“කොවිඩ්-19 වසංගතය අපගේ ව්‍යාපාරයට කල බලපෑම, ඕනෑම චක්‍රීය පසුබෑමකට වඩා සැලකිය යුතු තරම් දරුනු හා අවුල් සහගත ය” යනුවෙන් කැටපිලර් හි ප්‍රධාන විධායක නිලධාරී ජිම් උම්පල්බි පැවසීය. අනෙකුත් විධායකයින් පවසා ඇත්තේ, වෛරසය පැතිරීමට පෙර සිටම ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබූ බවත් ඉල්ලුම තව දුරටත් අඩු වනු ඇති බවත්ය.

එක්සත් ජනපදයේ තත්වය ලොව පුරා ප්‍රතිනිර්මානය වෙමින් පවතී. මේ සතියේ මැකින්සි උපදේශන සමාගමේ විශ්ලේෂකයින් පැවසුවේ, එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේ රැකියා මිලියන 59 ක් පමන වසංගතයෙන් ඇති වූ අගුලු දැමීම් හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවයි. මෙය පුද්ගලික අංශයේ රැකියා වලින් හතරෙන් එකක්. යුරෝපා සංගමයේ විරැකියාව දෙගුන විය හැකි බවත් 2024 ට පෙර, අර්බුදයට කලින් තිබූ මට්ටම් කරා ආපසු යා නොහැකි බවත් එය අනතුරු ඇඟවීය.

ඊනියා අවිධිමත් අංශයේ වඩාත් දුප්පත් කම්කරුවන්ගේ ගෝලීය විරැකියාව කලින් පුරෝකථනය කල ප්‍රමානයට වඩා දරුනු වනු ඇති බවට, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) අනතුරු අඟවා ඇති අතර ඔවුන්ගේ ජීවනෝපායන්ට “විශාල හානියක්” සිදුවනු ඇත.

සති දෙකකට පෙර අයිඑල්ඕව කියා සිටියේ, අවිධිමත් අංශයේ වැඩකරන කාලය පහත වැටීම, රැකියා මිලියන 195 ක් අහෝසි වීමට සමාන වනු ඇති බවයි. මේ සතියේ එම ඇස්තමේන්තුව රැකියා මිලියන 305 දක්වා වැඩි කර ඇත.

ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයේ තත්වය, සමස්තයක් ලෙස ධනේශ්වර ආර්ථිකය තුල වැඩ කරන මූලික පන්ති බලවේග සහ අවශ්‍යතා ප්‍රකාශ කරයි.

මිලියන සිය ගනනක් ඇමරිකානු කම්කරුවන් පරම්පරා ගනනාවක් තුල දක්නට නොලැබෙන බිහිසුනු තත්වයන්ට මුහුන දෙන අතර, මහ බැංකුව සහ පරිපාලනය වැනි රජයේ ආයතන, වෝල් වීදියේ විශාල සමාගම්, මූල්‍ය පරපෝෂිතයන් සහ සමපේක්ෂකයින් බේරා ගැනීම සඳහා, එක් හෝ තවත් ආකාරයකින් කම්කරු පන්තියේ ශ්‍රමයෙන් උපුටා ගනු ලබන අසීමිත මුදල් ප්‍රමානයක් යෙදවීමට ඇති  සියලු සීමාවන් ඉවත් කරනු  ඇත.

ඒ අතරම, “නිදහස් වෙලඳපොල” ක්‍රමයේ උමතුව ආහාර බැංකුවල දිගු පෝලිම් වලින් පෙන්වනු ලබන අතර,  වෙඳපොලක් සොයාගත නොහැකි බැවින් කෘෂිකාර්මික නිෂ්පාදකයෝ ඔවුන්ගේ නිෂ්පාදන විනාශ කරති.

ලාභයේ දේශපාලන ආර්ථිකය වන ධනවාදයේ නොවැලැක්විය හැකි තර්කනය මෙයයි. මානව අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී ආර්ථිකයක දැනුවත් සැලසුම්කරනය මත පදනම් ව කම්කරු පන්තිය, තමන්ගේම ස්වාධීන දේශපාලන ආර්ථිකයක් සඳහා සටන් කල යුතුය.

Loading