කොරෝනා වෛරස් අගුලු දැමීම මධ්‍යයේ ඇමරිකානු හමුදාව ලංකාවේ සුපිරි නාවික හමුදා ඛන්ඩයක් පුහුනු කරයි

ග්‍රීන් බෙරේ නමින් ද හැඳින්වෙන එක්සත් ජනපද හමුදාවේ විශේෂ බලකාය, ශ්‍රී ලංකාවේ මූලෝපායික ත්‍රිකුනාමල වරායේ දී, මාර්තු 2දා සිට 30දා දක්වා මාසයක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල භටකායන් පුහුනු කිරීමක යෙදුනේය. පුහුනුව පැවැත්වූයේ, ග්‍රීන් බෙරේ ට අයත් 1333 ඇල්ෆා මෙහෙයුම් භටකායේ පුහුනු කරන්නන් හය දෙනෙක් විසිනි. ග්‍රීන් බෙරේ, එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බලකායට (යූඑස්ඉන්දුපැකොම්) අනුබද්ධිත ය. 

ලංකාවේ දෙවන විශාලතම වරායේ දී මෙම පුහුනුව සිදු කෙරුනේ,  රට තුල කොවිඩ්-19 පැතිර යාම පාලනය කිරීමට යයි කියමින්, ජීවන කොන්දේසි සපුරාලීමේ මනා සැලසුමක් නොමැතිව, ගෝඨාභය රාජපක්ෂගේ පාලනය තන්ත්‍රය විසින් මාර්තු මැද සිට මහජනයා මත පැනවූ දින නියමයක් රහිත රුදුරු අගුලු දැමීම  හා ඇඳිරි නීතිය තිබියදී ය. අගුලු දැමීම යටතේ, මාර්තු 20දා, මුහුද හා ගුවන් තොටුපොල හිටි අඩියේ වසා දමන ලද අතර, පුරවැසියන් දහස් ගනනක් තවමත් ඛේදජනක කොන්දේසි යටතේ විදෙස් රටවල හිර වී සිටිති.

ශ්‍රී ලංකාවේ ලක්ෂ ගනන් ජනයා නිවාස අඩස්සියේ සිටිද්දී සහ කොවිඞ්-19 වසංගතයේ ගෝලීය අපිකේන්ද්‍රය බවට එක්සත් ජනපදය වේගයෙන් පත්වෙද්දී, වොෂින්ටනයේ හා කොලඹ යුද සැලසුම් කරුවන්ට ඉහල ප්‍රමුඛතාවක් වී ඇත්තේ ප්‍රහාරයක් ඉලක්ක කරගත් ඉහල පෙලේ නාවික හමුදා අභ්‍යාසයකි. ඉන්දියන් සාගරය තුල චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානමට ශ්‍රී ලංකාවේ මිලිටරිය කොතරම් ඒකාග්‍ර වී ඇද්දැයි මින් පෙන්නුම් කෙරේ.

විශේෂ නාවික හේවා ඇනිය හා හතරවන ක්ෂනික ප්‍රහාරක කුඩා නැව් කන්ඩායම යන ශ්‍රී ලංකා නාවික හමුදා ඒකක දෙකෙහි භටයන් 35 දෙනෙක් සහභාගි වූ මෙම අභ්‍යාසය, “2020/1 තුල්‍ය ශෛලීය ඒකාබද්ධ සංයුක්ත හුවමාරු පුහුනුව (ජේසීඊටී)” යනුවෙන් නිල වසයෙන් නම් කෙරේ. පැහැදිලි ව ම ප්‍රහාර එල්ල කිරීම අරමුනු කරගත්තක් පුහුනුවක් වූ ඊට මෙම ක්‍රියා ඇතුලත්විය: කුඩා ඒකක උපායන්, නාගරික පරිසරයක් තුල මිලිටරි මෙහෙයුම්, උපායාත්මක ප්‍රහාර ආපතික ආරක්ෂාව, ප්‍රහාර ඉලක්ක කිරීම, හමුදා නිවාසවලට සමීප සංග්‍රාම, මෙහෙයුම් සැලසුම් කිරීම, සාගර මෙහෙයුම්, මානව හිමිකම් හා සන්නද්ධ ගැටීමේ නීති. 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාන්ඩෝ ඒකකය වන විශේෂ නාවික හේවා ඇනිය, භෞමික මෙහෙයුම්වල ද නිරත වේ. හතරවන ක්ෂනික ප්‍රහාරක කුඩා නැව් කන්ඩායම යනු නාවික හමුදාවේ ප්‍රමුඛ ප්‍රහාරක ඒකකය යි. ඒකක දෙක ම තනන ලද්දේ, රටෙහි දෙමල සුලුතරයට එරෙහි ව ශ්‍රී ලංකා ආන්ඩුව ගෙන ගිය 30 අවුරුදු වාර්ගික යුද්ධය සමයේ ය. මහජන විරෝධතා මැඩීමට හා සිවිල් ප්‍රදේශවල ඊනියා ත්‍රස්තවාද-විරෝධී සෝදිසි මෙහෙයුම් සඳහා ද මෑත දී මෙම ඒකකවල භටයන් දිගේලි කරනු ලැබ ඇත. 

2016 දෙසැම්බර් මාසයේ හම්බන්තොට වරායේ කම්කරුවන් පුද්ගලීකරනයට විරුද්ධව රැකියා රැකගැනීමට කල අරගලය මැඩීමට නාවික හමුදා එලෙස යොදා ගත් එක අවස්ථාවක් විය.   

ග්‍රීන් බෙරේ යනු, වියට්නාමයේ සිට ඇෆ්ගනිස්තානය දක්වා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනුවෙන් අපරාධ සිදුකිරීම පිලිබඳ ව දශක හතක වාර්තාවක් සහිත මිලිටරි ඒකකයකි. සීඅයිඒ සමග සමීප ව ඒකාබද්ධ වෙමින්, ලොව පුරා එක්සත් ජනපද-හිතවාදී ආඥාදායකත්වයන් වෙනුවෙන් ඝාතක කල්ලි පුහුනු කර ඇති එය, ජාත්‍යන්තර සම්මතයන්  කෙසේවෙතත්, යුද්ධයේ නීතිය පවා නොතැකූ මෙහෙයුම් තුල නිරත වුනි.

1985 දී සාමාන්‍ය පාරුවක ගමන් කරමින් සිටින දෙමල සිවිල් වැසියන් 35ක් කෲර ලෙස සංහාරයට ලක්කිරීම ඇතුලු යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ද කුප්‍රකට ය. යුද සමයේ නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩ, 2008 දී කොලඹ සිටි දෙමල තරුනයන් 11 දෙනෙකු පැහැරගෙන යාම හා අතුරුදන් කිරීම ගැන, අනෙකුත් ඉහල පෙලේ නිලධාරින් කිහිප දෙනෙකු සමග චෝදනාවන්ට මුහුන දෙයි. මන්නාරම නගරයේ යුද සමයේ තිබූ නාවික හමුදා මුරපොලක් අසල පිහිටි භූමියකින්, සිරුරු 136ක් සහිත තවමත් කාලවකවානුව නිශ්චය වී නැති මහා පරිමාන මිනීවලක් සොයාගන්නා ලද්දේ 2018 දී ය. 

එක්සත් ජනපදයේ විශේෂ බලකායන් හා ශ්‍රී ලංකාවේ මිලිටරිය අතර සබඳතා වාර්ගික යුද සමය කරා දිවෙයි. ග්‍රීන් බෙරේ බලකාය විසින් “තුල්‍ය ශෛලියේ” අභ්‍යාස යනුවෙන් නම් කරන ලද අභ්‍යාස විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සඳහා පවත්වනු ලැබී ය. 2009 දී හා 2017 දී ද එවැනි අභ්‍යාස පවත්වා ඇත.

මෑත අවධියේ දී, විශේෂ බලකායේ පුහුනු කරන්නන් අයත් වන එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බලකාය, කලාපය තුල ඔවුන්ගේ මිලිටරි සූදානමේ දී ශ්‍රී ලංකාවේ හමුදාව ඍජු ව නිරත කරගැනීමේ උවමනාව අවධාරනය කර ඇත. එක්සත් ජනපද හමුදාවන්ගේ විශාලතම ඒකකය වන යූඑස්ඉන්දුපැකොම් ජපානයේ හා දකුනු කොරියාවේ එක්සත් ජනපද හමුදාවන් ද ඇතුලත් කරගත් එකකි. 

ඉන්දියන් සාගරය තුල චීනයේ වැදගත් නාවික වෙලඳ මාර්ගයන්ගෙන් හරියට ම උතුරට වන්නට පිහිටි ශ්‍රී ලංකාවේ භූ-මූලෝපායික පිහිටීම, චීනයට එරෙහි යුද සූදානමේ දී අත්‍යාවශ්‍ය බව වොෂින්ටනය විසින් සලකනු ලබයි. “ශ්‍රී ලංකාවේ හමුදා සමග මිලිටරි ඒකාබද්ධතාව හා සහයෝගිතාව දිගට ම පවත්වාගෙන යාම අපගේ අවශ්‍යතා තුල  පවතී....ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරය තුල වැදගත් මූලෝපායික ස්ථානයක්” යි යූඑස්ඉන්දුපැකොම් අනදෙන නිලධාරී අද්මිරාල් ෆිලිප් ඩේවිඩ්සන් 2019 පෙබරවාරියේ දී කීවේ, එක්සත් ජනපද සෙනෙට් සභාවේ සන්නද්ධ සේවා කමිටුව (ඒඑස්සී) හමුවේ සාක්ෂි දෙමිනි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේ අවසන් අදියරේ දී (2007-2008) එක්සත් ජනපදය කොලඹට ද්‍රව්‍යමය හා මූලෝපායික සහයෝගය සම්පාදනය කලේ ය. ශ්‍රී ලංකාවේ වරායවල හා ගුවන් තොටුපොලවල සේවා වෙත ඇමරිකානු සන්නද්ධ හමුදා වෙත ප්‍රවේශය සම්පාදනය කරමින්, එවකට පැවති මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය, 2007 දී එක්සත් ජනපදය සමග ප්‍රවේශ හා හරස් සේවා ගිවිසුම (ඇක්සා) අත්සන් කලේ ය.

2009 මැයි මස දී ලේ වැකි යුද්ධය අවසන් වීමෙන් පසු සබඳතා අනවරත ව ඉදිරියට ගියේ ය. එහෙත්, චීනය සමග රාජපක්ෂගේ වැඩෙන ආර්ථික සබඳතාවලට එරෙහිවූ වොෂින්ටනය, 2015 ජනාධිපතිවරනයේ දී තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමුවේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන එමිනි.

එක්සත් ජනපද යුද නැව් ශ්‍රී ලංකා වරායන් වෙත නිරන්තරයෙන් පැමිනෙමින් හා ඒකාබද්ධ අභ්‍යාසයන් අඛන්ඩ ව පවත්වමින් තිබෙද්දී, 2015 සිට එක්සත් ජනපද-ශ්‍රී ලංකා මිලිටරි සබඳතා හැල්මේ ප්‍රසාරනය වෙමින් තිබේ. 2019 මුල දී, යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් නමැති එක්සත් ජනපදයේ හත්වන බල ඇනියට අයත් ගුවන් යානා නෞකාව ත්‍රිකුනාමල වරායට පැමිනියේ, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද නාවික හමුදාව සඳහා ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරමිනි. කොලඹ ආන්ඩුව 2017 දී ඇක්සා ගිවිසුම අලුත් කල අතර, පවතින හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) අලුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කලේ, එක්සත් ජනපද හමුදාවන්ට ශ්‍රී ලංකාවේ භූමිය මතට පලල් ප්‍රවේශයක් හා ගමන් බිමන් යෙදීමට නිදහස සම්පාදනය කරමිනි.

මාර්තුවේ පැවති ජේසීඊටී අභ්‍යාසය පෙන්නුම් කරන්නේ, දුෂ්ට ජාතිකවාදී හා ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් සමගින් පසුගිය නොවැම්බරයේ බලයට පැමිනි වර්තමාන ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රය, ශ්‍රී ලංකාව වැඩිදුරටත් වොෂින්ටනයේ මිලිටරි මූලෝපායික කක්ෂයට ඒකාග්‍ර කරමින් සිටින බව යි.

කොවිඩ්-19 වසංගතය විසින් වැඩිදුර ප්‍රපාතයට හෙලමින් තිබෙන ආසන්න ගෝලීය ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පෙන්නුම් කරමින් සිටින්නේ, එහි ඛාදනය වන ආර්ථික ආධිපත්‍යය මිලිටරි විධික්‍රම යොදාගෙන පිරිමසා ගැනීමට එය අන් කවරදාටත් වඩා රුදුරුව හැරී සිටින බවයි. පසුගිය සති දෙක තුල, යුද්ධයට පෙර සමයේ ප්‍රධාන ලෝක බලයන් දෙක අතර දැකගැනීමට නො ලැබුනු මට්ටමක යුදවාදී චීන-විරෝධී දේශානුරාගී උද්ඝෝෂනයක් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉහල නංවා ඇත. අප්‍රේල් 21, දකුනු චීන මුහුදට  එක්සත් ජනපද යුද නැව් යැවීම මෑතම ප්‍රකෝපකරනය යි. 

මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදය, “චීනයේ ඇරඹුනු විදේශ වෛරසයක්” යයි කියමින් ට්‍රම්ප් පරිපාලනය ආරම්භ කල උද්ඝෝෂනය, “චීනයට පක්ෂපාතී” යැයි චෝදනා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට (ඩබ්ලිව්එච්ඕ) වෙත එක්සත් ජනපදයෙන් කෙරෙන අරමුදල් සම්පාදනය නතර කිරීම දක්වා ඉදිරියට ගෙන ගොස් තිබේ. කොවිඩ්-19හි වසංගත අවධියෙන් එලියට එමින් සිටින චීනය, මීලඟ ආර්ථික අර්බුදයේ දී සාපේක්ෂ වාසියක් අත් කරගැනීමේ හැකියාව ගැන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තැතිගැනී සිටියි.

මෙම කොන්දේසි යටතේ, චීනයට එරෙහි යුද සූදානමට සිය ඉන්දියන් සාගර සගයන් වඩ වඩා ආක්‍රමනශීලී ව ඒකාග්‍ර කරගැනීමට උත්සාහ කරනු ඇති වොෂින්ටනය, ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන් මිලිටරි කඳවුරු බවට පත් කරගැනීමෙන් මෙපිට  නො නවතිනු ඇත. ගෝලීය වසංගත අගුලු දැමීම මධ්‍යයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල කොටස්වලට පූර්න ප්‍රහාරක අභ්‍යාසයක් පැවැත්වීම, එලඹෙන කාලපරිච්ඡේදයේ දී, වොෂින්ටනය එහි අවශ්‍යතා දේශපාලනික ව හා මිලිටරිමය ලෙස කවර නම් අනුකම්පා විරහිත භාවයකින් යුතු ව ලුහුබඳිනු ඇද්දැයි ඉඟි කරයි.

Loading