පොලීසිය සහ හමුදාව ඇඳිරි නීතියට මුවාවී උතුරේ ජනයාට අඩන්තේට්ටම් කරයි

කොරෝනා වසංගතය හමුවේ ලංකාව තුල පනවා ඇති ඇඳිරි නීති බලතල යොදා ගනිමින්  හමුදාව සහ පොලීසිය උතුරේ දුගී ජනයාට කරන විවිධ අඩන්තේට්ටම් පිලිබඳව පසුගිය මාසය පුරා වාර්තා විය.

ආහාර සහ ජලය ඇතුලු කිසිදු මූලික අවශ්‍යතාවයක් සම්පාදනය නොකරන තත්වයක තමන්ගේ උවමනාවන් සපුරා ගැනීමට නිවෙස් වලින් බැහැරට පැමිනෙන ජනයා මෙම අඩන්තේට්ටම් වලට ලක්වී තිබේ. මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයට මේ සම්බන්ධයෙන් පැමිනිලි 9 ක් ලැබී ඇත. ඒ අතරින් 7 ක් චාවාකච්චේරි, වඩුක්කොඩ්ඩෙයි, කෝපායි සහ පේදුරුතුඩුව යන පොලිස් ස්ථානයන්ට එරෙහිව වන අතර 2 ක් අලිමංකඩ හමුදා කඳවුරට එරෙහිව වෙයි. 

අප්‍රේල් 25 දින යාපනය වතුකෝවිල් හි අයෙකු ජලය ලබාගැනීම සඳහා සිට්ටකේසි ඝනදෙවි දේවාලයට ගිය  අවස්ථාවේ ප්‍රහාරයට ලක්වීම මෑතම සිදුවීමයි. පොලිසිය විසින් ඔහුට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දී ඇත. තමා විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු බව පැවසූ ඔහු, අසභ්‍ය වචන වලින් බැන වැදීමට විරුද්ධවී ඇත. 

පොලීසිය එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ,  ”අපි වතුර නැතුව මාස තුනක් ඩියුටි කරනවා තොපිට වතුර නැතුව දවසක් ඉන්න බැරිද” යැයි විමසමින් ඔහුගේ වතුර බූලිය උදුරාගෙන බිම දමා පහර දීමෙනි. එම ප්‍රහාරයෙන් ඇද වැටී ඇති ඔහු, බූලිය නොමැතිවම ආපසු නිවෙසට පලවාහැර ඇත.

එදිනම, ගම්මාන තුනකට ජලය සපයන, මුරුගමූර්ති දේවාලයේ ජල ටැංකිය පිරවීම සඳහා එහි මෝටරය ක්‍රියාත්මක කිරීමට ගිය දේවාලයේ මහලු පරිපාලකයාට පොලීසිය පහර දී ඇත්තේ ද එලෙසම ප්‍රශ්න කරමිනි. 

පානීය ජලය හිඟකම නිසා යාපනයේ බොහෝ පවුල් පීඩාවට පත්ව ඇත. මානව හිමිකම් කොමිසමට ලැබී ඇති එක් පැමිනිල්ලක් මෙසේ ජලය ලබා ගැනීමට පැමිනෙන ජනතාවට මෘග ලෙස පහර දීම සම්බන්ධයෙනි.

ඇඳිරි නීති කාලය තුල මුහුදේ මසුන් ඇල්ලීමට අවසර තිබුන ද ඒ සඳහා මුහුදට ගිය අය ද ඒවායින් නිශ්පාදනය කල ආහාර විකිනීමට ගිය අය ද නාවික හමුදාව විසින් පලවා හැරිනි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකඩි ප්‍රදේශයේ සිල්ලර්මන් තුඩා මුහුදු තීරයේ අප්‍රේල් 7 වනදා රෑ අවසරපත් ලබාගෙන මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට ගිය හතර දෙනෙකුට නාවික හමුදාව පහර දුනි. එහිදී තිස් දෙහැවිරිදි සෙල්වකුමාර් නැමැති තරුනයාගේ අත කඩා දමා ඇත. 

නාවික හමුදා සෙබලුන් ඔහුට පොලුවලින් සහ සපත්තු කකුල් වලින් පහර දී ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග කතා කල සෙල්වකුමාර් මෙසේ පැවසීය: “මම දවස ගානෙ මුහුදු කූඩැල්ලො අල්ලන එක රැකියාව. පවුලෙ දැනට හතර දෙනෙක් ඉන්නවා. දුප්පත්කම නිසා මම හැමදාම රැකියාවට යන්න ඕනි” යැයි පැවසීය.  

“ඇඳිරි නීතිය ක්‍රියාවට දැමීමෙන් අපේ ජීවනෝපායට හානි වුනා. ආන්ඩුවේ හරි වෙනත් කාගෙ හරි මොනම උදව්වක්වත් අපිට දීලා නැති තත්වයක කෑම හොයාගන්න එකත් හුඟක් අමාරුයි. ආන්ඩුව හා නාවික හමුදාව ධීවර කටයුතු සඳහා අනුමැතිය දීමෙන් පසුවයි අපි ඒකට ගියේ” යැයි ඔහු තවදුරටත් පැවසීය.

එල්ටීටීඊ ය සමග වර්ගවාදී යුද්ධයේ අවසන් දිනවල තුවක්කු උන්ඩයක් වැදීමෙන් සෙල්වකුමාර්ගේ එක් පාදයක් ආබාධයට ලක්වී ඇත. ඔහු සඳහන් කලේ ”පෝෂ්‍යදායි ආහාර හිඟකම, ආහාර වල ඉහල මිල ගනන් නිසා සෑහෙන අසීරු තත්වයකට වැටිලා ඉන්නෙ. මගේ අතත් නාවික හමුදාව කැඩුවයින් පස්සෙ දීර්ඝ කාලයකට මට රැකියාව කරන්න බැරිවෙලා තියෙන්නෙ. ඒ නිසා අපට බඩගින්නෙ ඉන්න වෙන තත්වයක් ඇති වෙන්න පුලුවන්”

පසුගිය අප්‍රේල් 7 වනදා මෙම ප්‍රදේශයේම ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්ද්‍රලාල් සහ ඔහුගේ සහෝදරයා වන යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනගනු ලබන ජූලියන් වටකරගත් නාවික හමුදා සෙබලුන් දස දෙනෙක් ඔවුන්ට පහරදී ඇත. ටික වේලාවක් වතුරේ හිස ඔබා වධ දීමෙන් අනතුරුව ඔවුන්ව නාවික හමුදා කඳවුරට ගෙන ගොස් දන ගස්වා තබා ඇත. නාවික හමුදාව තමන් අල්ලාගත් මූදු කූඩැල්ලන් සහ උපකරන උදුරාගෙන තමන් නිදහස් කල බව ජූලියන් ලෝසවෙඅ ට පැවසීය.

මියගිය හරකෙකු වැලලීමට ගිය කරෙයිනගර් හි තරුනයින් තුන්දෙනෙකු ට හත් දෙනෙකුගෙන් සමන්විත නාවික හමුදා කන්ඩායමක් වයර් සහ උදලු මිටි වලින් පැය පහක පමන කාලයක් පහර දී නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ඇත. 

ගම්වැසියන් බැගෑපත්වූ විට ඔවුනට තර්ජනය කල හමුදා භටයෝ  ඔවුන්ව නිදහස් කල බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෝ පවසති. ඉන් ඇතිවූ තුවාල වලට ප්‍රතිකාර සඳහා රෝහලට ගියහොත් පොලීසියට පැමිනිලි කිරීමට සිදු වන නිසා පහර කෑ ඔවුහු ප්‍රතිකාර නොගෙන නිවෙස් වලටම වී සිටිති.

මූගල්වන් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන කිලිනොච්චියේ නඩරාජලිංගම් තුශාන්තන්ගේ කාර්යාලයට පසුගිය මාර්තු 30 වනදා  සවස 5.45 ට පමන කඩා වැදුනු කන්ඩායමක් විසින් ඔහුට මෘග ලෙස පහර දී ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝසවෙඅ ට පැහැදිලි කල තුශාන්තන්, හතරදෙනෙකුගෙන් සමන්චිත කන්ඩායමක් තමන්ට, මිතුරන් හා කාර්යාල සේවකයින්ට පොලුවලින් සහ බෝතල් වලින් පහර දුන්බව පැවසීය. ප්‍රහාරකයින් පරිගනක සහ අනෙක් භාන්ඩ කුඩු කර ඉන් පසු මෝටර් සයිකල් වලින් පලා ගොස් ඇත.

පොලිසිය ඔවුන් ව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව බීමත් ව සිටින බව පවසමින් නිදහස් කර ඇත. නමුත් ඔවුන් බීමතින් නොසිටි බව සහ තමාම එල්ල කරගෙන ප්‍රහාර එල්ල කල බව තුශාන්තන් සඳහන් කලේය. ඇඳිරි නීතිය ක්‍රියාවට දමා තිබෙන අවස්ථාවේ බීමට ජලය සපයා ගැනීමට නිවසින් බැහැරට එන අහිංසක ජනයාට සාහසික ලෙස පහරදෙන සහ නීතිය කඩ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා පසුබිමක, හමුදාව සහ පොලීසීය විදි වල ආරක්ෂක කටයුතු වල නිරත වී සිටියදී මෙම ප්‍රහාරය සිදුවීමෙන් සහ ප්‍රහාරකයන් නිදහස්කර යැවීමෙන්, ආරක්ෂක අංශවල අනුදැනීම යටතේ ප්‍රහාරය සිදුව ඇති බවට සෑම අතින්ම සැක උපදවයි.

තම සොහොයුරු මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ, අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් සහ යුද අපරාධ වලට චෝදනා ලැබ සිටින අතර ඔහු ජනාධිපති බවට පත් වූ දා සිටම මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාරයක් දියත් කර ඇත.

රාජපක්ෂ බලයට පැමිනිදා සිට වේගවත්කොට ඇති මිලිටරීකරනයේ කොටසක් ලෙස කොවිඩ්-19  වසංගතය මර්දනය කිරීම හමුදාවට භාර දී ඇත. මෙයින් හමුදාව සහ පොලීසියේ අත් ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

වර්ගවාදී යුද්ධය අවසන් වී වසර දහයක් ගතවූවද හමුදාව මෙතෙකුදු  උතුර සහ නැගෙනහිර වාඩිලාගෙන සිටී. ඇඳිරි නීතිය ඉවත් කර  ජනතාව සංචරනය කිරීම ආරම්භ කරන තත්වයක යාපනය නගරයේ සෑම තැනකම යුද කාලය හා සමානව සන්නද්ධ හමුදා සොල්දාදුවන් යොදවා ඇත.

කොරෝනා මර්දන වැඩ කටයුතු සහ, සහනාධාර බෙදීම ඇතුලු බොහොමයක් සිවිල් ක්‍රියාකාරකම් හමුදාව අතට ගැනීම පිලිබඳව උතුරේ සිවිල් නිලධාරීන් අතර දැඩි අතෘප්තියක් ඇතිවී ඇති බව ද වාර්තා වේ.

කොවිඩ්-19 වසංගතය ට පෙර සිටම ලංකාවේ ආර්ථිකය අර්බුදයක ගිලී තිබුනි. වසංගතය මගින් එම අර්බුදය වඩාත් ගැඹුරු කෙරෙන තතු තුල හැකි ඉක්මනින් කම්කරුවන් වැඩට දැක්කීමට ආන්ඩුව ගනන් බලමින් සිටී. 

අර්බුදයෙන් ජනිත කෙරෙන දැවැන්ත රැකියා කප්පාදු සහ දුෂ්කර රැකියා කොන්දේසි වලට මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව පැන නැගීමට නියමිත මහජන විරෝධතා මැඩීමට, රාජපක්ෂ, හමුදාව බලමුලු ගන්වමින් සිටී. ආර්ථිකය යලි පනගැන්වීමේ කඩතුරාව යටතේ කොලඹ ඇතුලු ආයෝජන ප්‍රදේශ වල කර්මාන්ත ක්‍රියාත්මක කර ඇත. 

ඇඳිරි නීතිකඩ කිරීමේ චෝදනාව යටතේ, දකුනේ ජනයාද අඩන්තේට්ටම් වලට ලක්වෙමින් පවතී. හතලිස්දාහකට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති අතර දහදහසකට ආසන්න වාහන ප්‍රමානයක් රඳවාගෙන ඇත. මින් බොහෝදෙනා අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීමට නිවසින් බැහැර වූවන් ය.

දෙමල ජනතාව නියෝජනය කරනවා යැයි කියන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), දෙමල ජාතික පෙරමුන සහ විග්නේශ්වරන්ගේ දෙමල මහජන ජාතික පෙරමුන ඇතුලු දෙමල පක්ෂ ද අනෙක් විපක්ෂද රාජපක්ෂ ගේ පොලිස් මිලිටරි රාජ්‍ය සඳහා වන සූදානමට මුලුමනින්ම සහයෝගය දෙයි.

ටීඑන්ඒ නායකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් වීරකේසරී පුවත්පත සමග, අප්‍රේල් 8 වන දා, කල සම්මුඛ සාකච්ඡාවකදී, හමුදාව මගින් අවස්ථාවන් පාලනය කිරීම වැලැක්විය යුතුයැයි පවසමින් පුහු විරෝධයක් පලකල නමුත් ඒ හුස්මටම කියා සිටියේ, “වර්තමාන සන්දර්භය තුල”, එනම් වසංගතය හමුවේ, මෙය සම්පූර්නයෙන්ම කල නොහැකි බවයි. මෙය,  වසංගතය ගසා කමින් රාජපක්ෂ විසින් උත්සන්න කරමින් සිටින මිලිටරීකරන වැඩපිලිවෙලට පූර්න පිටුබලය ලබා දීමකි.

පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පසුව, හිටපු ජනාධිපති සිරිසේනගේ රුදුරු හදිසි නීති පැනවීමට සහ “ත්‍රස්තවාදය මැඩීමේ” නාමයෙන් රට පුරා හමුදාව දිගේලි කිරීමට ටීඑන්ඒ තම සහයෝගය ලබා දුන්නේය.

උතුරේ දෙමල පීඩිත ජනතාවට එරෙහි හිරිහැර සහ අඩන්තේට්ටම්  උත්සන්න කිරීමට හමුදාව සහ පොලීසිය අත ශක්තිමත් කරගෙන සිටින්නේ ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති දේශපාලන සංවිධානයන්හි මෙම ප්‍රතිගාමී ක්‍රියාකලාපයන් හේතුවෙනි.

Loading