ඉදිරිදර්ශන

නැවත වැඩට යාමේ තල්ලුව සහ ප්‍රාන්ත නැවත විවෘත කිරීම් මධ්‍යයේ එක්සත් ජනපද ආන්ඩුවකෝවිඩ්-19 මරන සිය දහස් ගනනක් සඳහා සූදානම් වේ

මෙම ලිපිය 2020 මැයි 2වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

කොරෝනා වෛරස් වසංගත කාලය තුල “වාසස්ථානවල රැදී සිටීම” අවසන් කිරීමට නිර්දේශ කරන ෆෙඩරල් මාර්ගෝපදේශයන්ට ජනාධිපති ට්‍රම්ප් විසින් ඉඩ දීමත් සමඟ මැයි 1 වන සිකුරාදා ඇමරිකානු ජනතාවට එරෙහි සිදුවෙමින් පවතින සමාජ අපරාධවල නව අවධියක් සනිටුහන් විය. වොෂිංටනයේ ආශිර්වාදය ඇතිව ප්‍රාන්ත ආන්ඩු දුසිම් ගනනක් අගුලු දැමීමේ නියෝග ඉවත් කොට වෙලඳසැල්, ආපනශාලා සහ සිනමාහල් පවා නැවත විවෘත කිරීමට ඉඩ දී ඇති අතර, විරැකියා ප්‍රතිලාභ කපා හැරීමෙන් පීඩා විඳින කම්කරුවන්ට නැවත සිය රැකියාවන්ට යාමට නියෝග කර තිබේ.

සීමාවන් ලිහිල් කිරීම යුක්ති සහගත කරනු ලබන්නේ කෝවිඩ්-19 වසංගතය බැසයමින් පවතින හෙයින් අනවශ්‍ය අවදානමකින් තොරව මිනිසුන්ට දැන් වැඩ කිරීමට, සාප්පු යෑමට, පිටතට ගොස් රාත්‍රී ආහාර ගැනීමට, සංචාරය කිරීමට සහ පල්ලියට යෑමට පටන් ගත හැකිය යනුවෙනි. නමුත් එය ඇත්ත වශයෙන් ම ට්‍රම්ප් පරිපාලනයේ අපේක්ෂාව නොවේ. ඊට විපරීතව, මාධ්‍ය විමසීම්වලින් හෙලි වී ඇත්තේ ආන්ඩුව මරන සංඛ්‍යාව විශාල ලෙස ඉහලයනු ඇතැයි අපේක්ෂා කිරීම සහ ඒ අනුව සූදානම් වෙමින් සිටින බවයි.

2020 අප්‍රේල් 14 වන දින ස්පාඤ්ඤයේ බාසිලෝනා පලාතේ මැන්රේසා හි අවමංගල්‍ය නිවසක ආදාහනය සඳහා සූදානම් වීමට පෙර මල සිරුරක් බයිසිකලයක් අසල ගිලන් මැස්සක් මත තබා ඇති අයුරු [ඒපී ඡායාරූපය / ෆෙලිපේ ඩනා]

ෆෙඩරල් හදිසි අවශ්‍යතා කලමනාකරන ඒජන්සිය (ෆෙමා) පසුගිය මාසයේ දී “කෝවිඩ්-19 ට ගොදුරු වූවන් බහාලීම සඳහා මෘතදේහ බහාලුම් 100,000 කට වැඩි ප්‍රමානයක් සඳහා ඇනවුම් කල බව” එන්බීසී ප්‍රවෘත්ති වාර්තා කරයි. ෆෙමා ද ඇතුලත්වන ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව කැලිෆෝනියාවේ සමාගමකට ඩොලර් මිලියන 5.1 ක මිලදී ගැනීමේ ඇනවුමක් ලබා දී ඇත.

වාර්තාව තවදුරටත් මෙසේ සඳහන් කරයි: “මෘතදේහ බහාලුම් සඳහා කොන්ත්‍රාත්තුව ලියා ඇති කාලය තුල ම, ෆෙමා විසින් රට පුරා ස්ථාන ගනනාවක් සඳහා බදු කුලියට ශීතකරන ට්‍රේලර 200 ක් පමන සැපයීමට ලංසු කැඳවා ඇත. යෝජිත ඉල්ලීමෙහි අඩි 53 ට්‍රේලර් සදහා වැඩි මනාපයක් දක්වන අතර එය ඝන අඩි 3,600 ක් වන ඔවුන්ගේ වාහන පන්තියේ විශාලතම ඒවා වේ.”

පසුගිය මාස දෙක තුල දැනටමත් සිදුවී ඇති දේ තරමින් කුඩා බව හඟවන පරිමානයකට මරන සදහා සූදානම් වන එකම ආයතනය ෆෙමා නොවේ. ජ්‍යේෂ්ඨ පුරවැසි පරිපාලන ඒජන්සිය (වීඒ) මගින් නිකුත් කොට ඇති විවිධ වාර්තා හා ලේඛනවලට අනුව, මෘතදේහ බහාලුම් බෙදා හැරීම සඳහා සැපයුම් බෙදාහරින්නෙකුට ඩොලර් 300,000 කට ආසන්න මුදලක් අප්‍රේල් 30 වනදා ගෙවා ඇති අතර එකම සමාගමට ප්‍රදානය කරන ලද අවසාන කොන්ත්‍රාත් අටෙහි සමස්ත මුදල ඩොලර් මිලියන 12.1 කි. වීඒ විසින් ෆෙමාට සමාන මිලක් ගෙවා ඇතැයි උපකල්පනය කලහොත් ඩොලර් මිලියන 12.1 කින් එය බහාලුම් 240,000 කට ආසන්න ප්‍රමානයක් මිලදී ගනු ඇත. වීඒ විසින් පෙන්වා දෙන ලෙසට සාමාන්‍ය වර්ෂයක රෝගීන් මිලියන නවයක් සඳහා, මරන අනුපාතය සියයට 2.7 ක් පමන වෙතැයි උපකල්පනය කෙරේ.

මෙම පුදුමාකාර සංඛ්‍යා පවා පැමිනීමට නියමිත මරන රැල්ල පිලිබඳ අවතක්සේරු කිරීමක් විය හැකිය. මිනසෝටා හි රෝග පර්යේෂන හා ප්‍රතිපත්ති කේන්ද්‍රය බ්‍රහස්පතින්දා පුරෝකථනය කරනු ලැබු පරිදි ජනගහනයෙන් සියයට 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් ආසාදනය වන තෙක් කෝවිඩ්-19 ඉදිරි වසර තුල පැතිරී යාමක් සිදුවනු ඇති බවයි. මෙමඟින් මරන සංඛ්‍යාව මිලියන ගනනක් දක්වා ඉහල යනු ඇත.

ට්‍රම්ප් පරිපාලනය “නිවසේ රැඳී සිටීමේ සීමාවන් ලිහිල් කිරීම හා සම්බන්ධ අන්තරායන් සැලකිල්ලට ගනිමින් සිටින” බව නම සඳහන් නො කල “ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු” ඊමේල් පනිවුඩයක් මගින් තහවුරු කර ඇති බව එන්බීසී ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කලේය. අප්‍රේල් 25 දින පැවති රැස්වීමක  විශාල වශයෙන් මරන සංඛ්‍යාව ඉහල යාමේ සම්භාවිතාව සාකච්ඡා කොට ඇති අතර ඊට ෆෙමා අධ්‍යක්ෂ පීට් ගයිනර්; සෞඛ්‍ය සහ සෞඛ්‍ය සඳහා මානව සේවා සහකාර ලේකම් විශ්‍රාමික අද්මිරාල්වරයෙකු වන බ්‍රෙට් ගිරොයර්; කොරෝනා ‍වෛරස් කාර්ය සාධක බලකායේ සැපයුම් දාම නායකයා වන ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සැපයුම් කටයුතු පිලිබඳ උප අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ජෝන් පොලොව්සික් සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මන්ඩලයේ කාර්ය මන්ඩලය සහභාගී වී ඇත.

මිලිටරි හා ආරක්ෂක නිලධාරීන්ගේ පෙර සූදානම මගින් ඇඟවුම් කෙරෙන්නේ ආන්ඩුව විසින් කොරෝනා වෛරස් වසංගතය මූලික වශයෙන් සෞඛ්‍ය අර්බුදයක් ලෙස නොව, මහජන සාමය සඳහා තර්ජනයක් ලෙස සලකන බවත් පැහැදිලිව ම සංගතයන්ගේ ඇමරිකාව විසින් ඉල්ලා සිටින “ආපසු වැඩට යාමේ” ව්‍යාපාරයේ මාරාන්තික ප්‍රතිඵල ලෙස මහජන විරෝධය මැඩපවත්වනු වස් පොලීසිය සහ හමුදාව ප්‍රධාන භූමිකාව රඟ දැක්වීමට කැඳවිය හැකිය. 

එක්සත් ජනපද ප්‍රාන්ත 50 න් 23 ක පමන ඒකාබද්ධ ජනගහනය මිලියන 115 ක් පමන වන අතර සඳුදා වන විට ඒවායේ බොහෝ කොරෝනා වෛරස් සීමා ඉවත් කරනු ඇත. මිලියන 53 ක ඒකාබද්ධ ජනගහනයක් සහිත තවත් ප්‍රාන්ත අටක් මැයි මැද භාගය වන විට එය ම අනුගමනය කිරීමට සැලසුම් කර තිබේ.

තවමත් කිසියම් ආකාරයක අගුලු දමා ඇති මිලියන 161 ක ජනතාවක් සිටින ප්‍රාන්ත 19 ක් මෙයින් ඉවත්ව යනු ඇති අතර, නිවසේ රැඳී සිටීමේ නියෝගවල බොහෝ අඩුපාඩු තිබේ - බෝයිං සමාගම විසින් ප්‍රාන්ත සීමාවන් නොතකා සියැටල්, වොෂිංටන් ප්‍රදේශයේ කම්කරුවන් 27,000 ක් සිය රැකියාවන්ට කැඳවීමට සහ මිචිගන්හි ඔටෝ කම්හල් නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇති බවට සාක්ෂ්‍ය තිබේ. 

ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ආන්ඩුකාරවරුන් බ්‍රහස්පතින්දා මිචිගන් ප්‍රාන්තයේ කැපිටල් (මහා මන්ත්‍රන සභා ශාලාව) හි සන්නද්ධ දක්ෂිනාංශිකයන් වැනි ෆැසිස්ට් සංදර්ශනවල සහාය ඇතිව යෝධ සමාගම්වල ඉල්ලීම්වලට යටත් වීමත් සමඟ කර්මාන්තශාලා සහ වෙනත් සේවා ස්ථාන නැවත විවෘත කිරීම නිසා ලබා දී ඇති යම් හෝ ආරක්ෂාවන් ක්‍රමානුකූලව ඛාදනය වෙමින් පවතී. ප්‍රාන්ත 31 කට පැනවූ සීමාවන් අවසන් කිරීමෙන් ග්‍රාමීය ප්‍රදේශවලට වෛරසය විනිවිද යාම වේගවත් කරනු ඇති අතර මේ වන විට එය යම් තාක් දුරකට වසංගතයේ දරුනුතම බලපෑම පහව ගොස් ඇතැයි සිතූ රටේ එම ප්‍රදේශවලට නව ආසාදන ප්‍රභවයක් සපයනු ලැබ තිබේ. 

ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු දෙකෙහි ම ප්‍රකාශයන් මගින් “ආර්ථිකය නැවත විවෘත කිරීම” සහ ධනවාදයේ එන්ජිම නැවත ආරම්භ කිරීම - කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ලාභ උපුටා ගැනීම සඳහා වන තල්ලුවේ පන්ති ස්වභාවය හෙලිදරව් වේ. බ්‍රහස්පතින්දා වාර්තා කිරීමෙන් පසු විරැකියා වන්දි සඳහා වන දැවැන්ත ඉල්ලීම් මිලියන 3.84 කින් වැඩි වී ඇති අතර එහි සති හයේ මුලු එකතුව මිලියන 30 කට වඩා වැඩිය. කර්මාන්තශාලා සහ සේවා ස්ථාන නැවත විවෘත කරන විට කම්කරුවන් නැවත රැකියාවට යා යුතුය, නැතහොත් සෞඛ්‍ය ගැටලු නොසලකා ප්‍රතිලාභ කප්පාදු කෙරේ.

ඒජන්සිය පවසා සිටියේ “අසාමාන්‍ය තත්වයන් හැරුනු විට, කලකට නිවාඩු ගැනීමේ අවසරය සහිත සේවකයෙකුගෙන් ඔහුට හෝ ඇයට රැකියාවට නැවත පැමිනෙන ලෙස කරන ඉල්ලීම බොහෝ විට සේවකයා විසින් පිලිගත යුතු සුදුසු රැකියාවක් ලබා දීමට හේතු විය හැකිය.” ප්‍රාන්ත ආන්ඩු පවා ඔල මොට්ටලය. ටෙක්සාස් ශ්‍රම බලකා කොමිසම කියා සිටියේ විරැකියා ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට කම්කරුවන් “ඔබ සොයන ආකාරයේ වැඩ සඳහා අවශ්‍ය සියලු ම දින හා පැය වැඩ කිරීමට කැමැත්ත හා හැකියාව තිබිය යුතු” බවයි.

ටෙක්සාස් ප්‍රාන්තය වසංගතයේ දරුනුතම දිනය අත්විඳි අතර, මරන 50 ක් සහ නව ආසාදන 1,000 ක් අප්‍රේල් 30 වන දින, එනම් ආන්ඩුකාර ග්‍රෙග් ඇබට් විසින් ප්‍රාන්තය නැවත විවෘත කරන ලෙස නියෝග කිරීමට පෙර දින වාර්තා විය. දැනට ටෙක්සාස් හි කොරෝනා වෛරස් රෝගීන්ගෙන් වැඩි ප්‍රමානයක් සිටින හූස්ටන්, සැන් ඇන්ටෝනියෝ, ඔස්ටින් සහ ඩලාස් හි ප්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කරන ලද පුලුල් අගුලු ලෑම් ඇබට් විසින් ඉවත් කරන ලදී.

මිසූරි හි ආන්ඩුකාර මයික් පාර්සන්ස් පැවසුවේ, “අපි ප්‍රාන්තය විවෘත කරන විට, ඔබට නැවත වැඩට යාමට සිදුවුවහොත්, ඔබේ ලොක්කා ඔබට අමතා නැවත රැකියාවට යා යුතු යැයි පැවසුවහොත්, ඔබ නැවත වැඩට යා යුතුය.”අයෝවා ආන්ඩුකාර කිම් රෙනෝල්ඩ්ස් පැවසුවේ, “ඔබ සේවා යෝජකයෙකු නම් සහ ඔබේ සේවකයා නැවත සේවයට ගෙන ඒමට ඔබ ඉදිරිපත් වන්නේ නම් සහ ඔවුන් එසේ නො කිරීමට තීරනය කරන්නේ නම්, එය ස්වේච්ඡාවෙන් ඉවත්ව යාමක් වනු ඇත… එබැවින් ඔවුන් විරැකියා මුදල් සඳහා සුදුසුකම් නොලබයි.” මේ අතර, අප්‍රේල් 23 වන විට අයෝවා හි සියොක්ස් නගරයේ කොරෝනා වෛරස් රෝගීන් 158 ක් පමනක් සිටි අතර, මුලු සතිය තුල 851 දක්වා හය ගුනයකින් ඉහල ගොස් තිබුනේ විශාල වශයෙන් දේශීය මස් ඇසුරුම් කම්හල්වල කම්කරුවන් අතර රෝගයේ පැතිරීම නිසා ය.

රැකියා විරහිත වන්දි අහිමිවීමේ තර්ජනය සහ නිවාස කුලී ගෙවීම සහ ඔවුන්ගේ පවුල් පෝෂනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් දැන් සේවයෙන් ඉවත් කර ඇති මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට නැවත සේවයට පැමිනීමට සිදුවන හෙයින්  මස් ඇසුරුම් කර්මාන්තය ඉදිරියේ දී සිදුවීමට යන දෙය පිලිබඳ බිහිසුනු ඇඟවුම් සපයනු ලබයි.

වොෂිංටන්හි වාලුලා හි, ප්‍රාන්තයේ විශාලතම ටයිසන් ෆුඩ්ස් ඝාතකාගාරයක දී, එක් අයෙකු මිය ගිය පසුව කල පරීක්ෂාවේ දී කම්කරුවන්ගෙන් සියයට 15 ක් කොරෝනා වෛරසයෙන් ආසාදික බව හඳුනා ගත්හ. ඉන්දියානා හි ලෝගන්ස්පෝර්ට් හි තවත් ටයිසන් කම්හලක කම්කරුවන් 2,200 න් 890 කට වෛරසය ආසාදනය වී ඇත.

එහෙත් සඳුදා ට්‍රම්ප් විසින් වසා දැමූ මස් ඇසුරුම් කම්හල් නැවත විවෘත කරන ලෙස නියෝග කල අතර, සේවා යෝජකයන්ට රැකියාවෙන් ආසාදනය වූ කම්කරුවන්ගේ හිමිකම් පෑමට එරෙහිව “වගකීම් ආරක්ෂන” අවශ්‍ය බව යෝජනා කලේය. එක් තීරු රචකයෙක් කටුක ලෙස නිරීක්ෂනය කලේ, “ඔබ ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය පරිදි මස් ඇසුරුම් කම්හලක වැඩ කරන්නේ නම්, ඔබ කපන මස්කුට්ටියට වඩා අත්‍යවශ්‍ය නොවන බව නිල වශයෙන් සලකනු ලැබේ” යි යනුවෙනි.

කොරොනා වෛරස් වසංගතයේ බර ආර්ථික වශයෙන් මෙන් ම දුක් වේදනා හා මරන සම්බන්ධයෙන් ද කම්කරු පන්තිය මත පැටවීම ධනේශ්වර පාලක ප්‍රභූවේ නැවත වැඩට කැදවීමේ ව්‍යාපාරය හරහා ඉලක්කයව පවතී. එමගින් මරනය සාමාන්‍ය තත්වයට පත් කිරීම, අවම වශයෙන් වැඩ කරන ජනතාව සඳහා ආසාදනය හා මහා මරන හුදෙක් ජීවිතයේ කොටසක් බව ඒත්තු ගැන්වීමට උත්සාහ දරනු ලබයි. එබැවින් මරන සංඛ්‍යාව අවතක්සේරු කිරීමට හෝ වසන් කිරීමට අඛන්ඩව යත්න දරන්නේ, අගුලු දැමීමට එරෙහිව නිෂ්පාදිත ජනප්‍රිය ව්‍යාපාරයක් නිර්මානය කිරීමට සහ හාමතට වැටෙන කම්කරුවන් නැවත ඔවුන්ගේ රැකියාවලට යොමු කරමින් විරැකියා සහ වෙනත් ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීම සඳහා නීතිමය පදනමක් ඇති කිරීම සඳහා ය.

ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන්ට පවතින්නේ  ක්‍රමවේදයන් පිලිබඳ උපායශීලී වෙනස්කම් පමනක් වන අතර, ඔවුන් මූලික ඉලක්කය සමඟ එකඟ වන්නේ ඔවුන් ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින ධනවාදී පක්ෂ වන බැවිනි. කම්කරු පන්තියට ජීවත්වීමේ අයිතිය ද ඇතුලුව සිය සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැක්කේ සමස්ත ධනවාදී දේශපාලන ව්‍යුහය සමඟ ස්ථිරසාර බිඳීමක් සහ සමාජවාදය සඳහා මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙනි.

Loading