කුරුනෑගල රෝහල් කාර්ය මන්ඩලය විරෝධතා උද්ඝෝෂනයක යෙදෙයි

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමේ දී අවශ්‍ය ආරක්ෂිත පහසුකම් සැපයීම රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබන්ඩාර විසින් පැහැර හැරීමට විරුද්ධව කුරුනෑගල ශික්ෂන රෝහලේ කාර්ය මන්ඩලය මැයි 4 වෙනිදා පිකට් උද්ඝෝෂනයක නිරත විය. 

උද්ඝෝෂනය සංවිධානය කරනු ලැබුවේ රෝහල සුරැකීමේ සංවිධානය විසිනි. එය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) ඇතුලු වෘත්තීය සමිති 16 ක එකතුවකි. වෛද්‍ය, හෙද, පරිපුරක හා  සුලු සේවකයන් ඇතුලු රෝහල් කාර්ය මන්ඩලයේ සියලුම ශ්‍රේනිවලට අයත් සේවකයෝ කිහිප සියයක් උද්ඝෝෂනයට සහභාගී වුහ.

කුරුනෑගල රෝහලේ විරෝධතා උද්ඝෝෂනයට සහභාගී වූ සේවකයෝ

 විරෝධතාවයට සම්බන්ධ වූ එක් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසීය:       

“කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ම වෛද්‍ය වරුන්ගේ සහ රෝහල් කාර්ය මන්ඩලයේ පෞද්ගලික ආරක්ෂාවට අවශ්‍ය කිසිදු උපකරනයක් සැපයීමට අධ්‍යක්ෂවරයා  පියවර ගත්තේ නැහැ. ඒ අවශ්‍ය දේවල් යම් ප්‍රමානයකින් හරි ලබා ගත්තේ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම මත කුරුනැගල නගරයේ වෙලඳ සංගමයෙන් ලැබුන ආධාර වලින්.”

පුද්ගලික ආධාරයක් වශයෙන් ලැබුන වෙන්ටිලේටර් දෙක ප්‍රතික්ෂේප කල අධ්‍යක්ෂවරයා ඒ වෙනුවට මුදල් ගෙනැවිත් දෙන ලෙස ඉල්ලා සිටි බව තවත් කම්කරුවෙක් පැවසීය. වෛද්‍යවරු මැදිහත් වී ආධාර එකතු කොට අවශ්‍ය උපකරන සපයා ගැනීමට ගත් උත්සාහයට ද ඔහු  විරුද්ධවී ඇත. 

රෝහල් ගනකාධිකාරී විසින්, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කුරුනෑගල රෝහල් ශාඛාවට ලිපි දෙකක් යවමින් සංගමයට ලැබුන මූල්‍ය ආධාර ගැන වාර්තාවක් ඉල්ලා ඇත. එසේ කලේ ආධාර ගැන ගනන් හිලව් අවශ්‍ය නිසා නොව,  අවශ්‍ය උපකරන සපයා ගැනීමට  වෛද්‍යවරුන් කරන මැදිහත්වීම වැලැක්වීමට බව කම්කරුවෝ පැවසූහ. සීමාවාසික වෛද්‍යවරුන්ගේ රෙදි සෝදා ගැනීමට අවශ්‍ය යන්ත්‍රය පවා සපයා ගනු ලැබුවේ පිටින් ලබාගත් ආධාරවලින් බව ඔවුහු පෙන්වා දුන්හ. 

“උෂ්නත්වය වැඩි නිසා” කුරුනෑගලට කොරෝනා වසංගතයේ බලපෑමක් නොවන බව පවසමින් ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම්වීම් අධ්‍යක්ෂවරයා විසින්  පැහැර හැරි බව ද කාර්ය මන්ඩල සාමාජිකයෝ සඳහන් කලහ. ආසාදිත බවට සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීමට වෙන් කල කාමර සකස් කිරීම, පීසීආර් පරීක්ෂන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ද ඔහු ප්‍රතික්ෂේප කර ඇත.

උද්ඝෝෂනය පැවති දිනයේ ඒ පිලිබඳව රෝහල් පරිශ්‍රය තුල මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීමට පවා අධ්‍යක්ෂ වීරබන්ඩාර විරුද්ධ වී තිබේ.  

සිසේරියන් සැත්කම් කිරීමේදී සිංහල කාන්තාවන් වන්ද්‍යකරනය කල බවට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින්, කුරුනෑගල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙකු වූ මොහොමඩ් ෂාපි ට විරුද්ධව සිංහල වර්ගවාදීන් ගෙන ගිය දුෂ්ට හා ප්‍රකෝපකාරී උද්ඝෝෂනයේ ද ප්‍රමුඛ කාර්යභාරයක් වීරබන්ඩාර ඉටු කලේය.  

කොරෝනා වසංගතය පාලනය කිරීම සහ ආසාදිතයන් ට ප්‍රතිකාර  කිරීමට අවශ්‍ය පහසුකම්  ප්‍රමානවත්  ලෙස සම්පාදනය නොකිරීම  හුදෙක් කුරුනෑගල ශික්ෂන  රෝහලට පමනක් සීමා නොවේ. එය පොදුවේ  සියලුම රජයේ රෝහල් තුල පවතින තත්වයයි.  ඒ සම්බන්ධයෙන් මූලිකව වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුවයි. 

අවම වශයෙන් රෝහල් කාර්ය මන්ඩලවලට මුහුනු ආවරන පවා බොහෝවිට සපයා ගැනුනේ ඔවුන් විසින්මය. නැතහොත් සාමාන්‍ය මහ ජනයා කල පරිත්‍යාග වලිනි. අවශ්‍ය  මූලික සෞඛ්‍ය ආරක්ෂිත උපකරන  සහ නිරෝධායන  පහසුකම් සම්පාදනය කිරීමට ආන්ඩුව අසමත්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්  ඇතුලු රෝහල් කාර්ය මන්ඩල හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර ඇත්තේ බරපතල විරුද්ධත්වයකි.

එහෙත් වෘත්තීය සමිති ආන්ඩුවේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ මෙම පැහැර හැරීම මුලුමනින් ම වසන් කරති. මැයි 4 වෙනිදා පැවති මාධ්‍ය සාකච්චාවේ දී කුරුනෑගල වෘත්තීය සමිති එකමුතුව මෙසේ සඳහන් කර ඇත: “ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය, සෞඛ්‍ය ඇමතිතුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ මෙම කාර්ය මන්ඩල ඉතා කාර්යක්ෂමව කොරෝනා වසංගතය තුරන්   කරන්න ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා”. 

වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මන්ඩල කොරෝනා වසංගතය පාලනය කිරීම සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවි නොතකා කැපවීමෙන් ක්‍රියා කරන බව සත්‍යයක් නමුත් ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධයෙන් පෙන්නුම් කරන්නේ බලගතු අසමත්කමක් සහ සාපරාධී නොතැකීමකි. 

එපමනක් නොව අනුප්‍රාප්තික සියලුම ධනපති ආන්ඩු, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) සහ ලෝක බැංකුවේ නියෝග යටතේ සිදුකල රාජ්‍ය වියදම් කප්පාදුවේ කොටසක් ලෙස, පසුගිය සිවු දසකය තුල සෞඛ්‍ය සේවය සඳහා වියදම් ක්‍රමානුකුල කප්පාදු කල අතර පුද්ගලික සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කලහ. ඒවා ක්‍රියාවට දැමුනේ වෘත්තීය සමිති නිලධරයේ සහයෝගය ඇතිවය.

Loading