ආන්ඩුවේ “රූපවාහිනී සහ ඔන්ලයින් අධ්‍යාපනය” දුගී ලමුන්ට අකැප බව ගුරුවරු පවසති

එම්. රත්නායක සහ කපිල ප්‍රනාන්දු
8 මැයි 2020

කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ පාසැල් තුල කෙරෙන අධ්‍යාපන කටයුතු මේ වන විට ඇන හිට තිබේ. 

අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම සඳහා, අධ්‍යාපන අමාත්‍යංශය හා ප්‍රධාන පෙලේ පාසල්, අන්තර්ජාලය සහ රජයේ රූපවාහිනී නාලිකා යොදා ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කල ද, සම්පත් වලින් ඌන පාසැල්වල අධ්‍යාපනය ලබන දුගී දරුවන් ට එම අවස්ථා අහිමි කෙරී ඇත.

මෙම වැඩසටහන් ක්‍රියාත්මකවීමේ දී යලි එලිමහනට විත් ඇත්තේ ලංකාවේ බලයට පත් අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩව සිදුකල අධ්‍යාපන කප්පාදුවේ දැවැන්ත පරිමාව හා රටේ බොහොමයක් කම්කරු පීඩිතයන්ගේ දිලිඳුභාවය පිලිබඳ කටුක චිත්‍රයකි. 

පලමු කොරෝනා රෝගියා සොයා ගැනීමෙන් පසු එම රෝගියාගේ දරුවා ඉගෙනගත් පාසල තුල ඇති වූ කලබලකාරී තත්වයත් සමග,  මාර්තු මස 15 දින සිට, සියලුම පාසැල් වසා දැමීමට ආන්ඩුවට සිදු විය. මේ වන විට වසංගතය හේතුවෙන් ලක්ෂ 44 ට වැඩි පාසැල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අහිමි වූ කාලය මසක් ඉක්මවා තිබේ. 

අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ඇතුලු ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, මාර්තු මාසයේ පාසල් වසා දැමීම “දරුවන් ගැන සිතා ගත් නිවැරදි තීන්දුවක්” යයි මුලින් පම්පෝරි ගැසූ නමුත්, වසංගත ව්‍යාප්තියේ නැග්මක් පැවතියදීම, මැයි මස 11 දා පාසල් යලි විවෘත කරන බව නිවේදනය කලේ ය.  

දරුවන්ගේ ජීවිත පිලිබඳ මුලුමනින්ම නොතකා මෙම සාපරාධී තීන්දුව ගනු ලැබුවේ, කම්කරුවන් යලි වැඩට දැක්කීමට සහ මහමැතිවරනයක් පැවැත්වීමට හැකි පරිදි වසංගතය පාලනයකොට ඇතැයි මවාපෑම සඳහා ය. 

තම ලාභ ඉපදීමේ සන්තතිය හැකි ඉක්මනින් යලි පනගන්වා ගැනීම සඳහා කම්කරුවන් සේවයට කැඳවා ගැනීම මහා ව්‍යාපාරිකයන් ට මෙන්ම ඔවුනගේ ඕනෑකම් නියෝජනය කරන ධනපති ආන්ඩුවට අත්‍යවශ්‍ය ය. එමෙන්ම, පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් දිනා ගනිමින් අසීමිත බලතල සහිත ජනාධිපති ධුරයක් තහවුරු කර ගැනීම සඳහා මහමැතිවරනයක්  කැඳවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂට ඇත්තේ ඉමහත් තදියමකි.

වසංගතය “පාලනය කර ඇතැ” යි ආන්ඩුවේ බලධරයන් නිවේදනය කල ද පෙරට වඩා වේගයෙන් රෝගීන් වාර්තාවීම පසුගිය සති කිහිපයේ අත්දැකීම විය. පීසිආර් පරීක්ෂනවල සීමිතභාවය තිබියදීත් මේ වන විට ලංකාවේ කොරෝනා රෝගය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 700 ක් ඉක්මවා තිබේ. රට තුන්වන අවදානම් තත්වයට පත්ව ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරති. 

මේ සා අනාරක්ෂිත තත්වයක් තුල පාසැල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් මහජනතාව අතර වැඩුනු බලගතු විරෝධය හමුවේ මැයි 11 දා පාසල් යලි විවෘත කිරීම ප්‍රායෝගික නැතැයි පැවසීමට අධ්‍යාපන ඇමති ට බල කෙරුනි. පසුගිය සති අන්තයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට සම්බන්ධ වෙමින් අලහප්පෙරුම කියා සිටියේ “කවදා හෝ දවසක” පාසල් යලි විවෘත කලත් එසේ විවෘත කරන්නේ උසස් පෙල සිසුන්ගේ සිට ප්‍රාථමික අංශ දක්වා අදියර කිහිපයකින් බවයි. 

රටේ බහුතරයක් දරුවන්ට අන්තර්ජාල පහසුකම් හා රූපවාහිනි යන්ත්‍ර පාවා නොමැති තත්වයක දී ඔන්ලයින් අධ්‍යාපනය ප්‍රායෝගික දැයි උක්ත රූපවාහිනී වැඩසටහනේ දී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලේය. 

රටේ පාසැල් ශිෂ්‍යයන් පිලිබඳව විශාල දයානුකම්පාවක් පෙන්වන්නෙක් සේ මවාපාමින් “අපිත් ඇතුලුව, මේ රටේ බලයට පත් ආන්ඩු මේ තත්වයට වගකිව යුතුයි” යනුවෙන් එයට පිලිතුරු දුන්නේ ය. 

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 දත්තවලට අනුව උසස් පෙල අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දරුවන්ගේ පරිගනක සාක්ෂරතාවය සියයට 80 ක් තරම් ඉහල අගයක පැවතියත්, ලංකාවේ පරිගනකයක් හිමි කුටුම්භයන්ගේ ප්‍රතිශතය සියයට 23 ක් තරම් පහල මට්ටමකි. වතුකරයේ එය 3.9 කි. උතුරුමැද සහ ඌව පලාත්වල පිලිවෙලින් එම අගය 13.4 ක් සහ 12.9 කි. තත්වය එසේ වූවත් අධ්‍යාපන බලධාරීන් පවසන්නේ මිලියන ගනනක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වන විට “ඔන් ලයින්” ක්‍රමය මගින් අධ්‍යාපනය ලබන බවයි.  

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම ශිෂ්‍යයන්, දෙමාපියන් සහ ගුරුවරුන් සමග සිදුකල සාකච්ඡාවල දී ආන්ඩුවේ “ඔන්ලයින්” අධ්‍යාපනය සම්බන්ධව ඔවුන් මුහුන දෙන ගැටලු ප්‍රකාශයට පත් විය. 

දෙමව්පියන්ගේ චෝදනාව වුනේ තම නිවෙස්වල පවතින කොන්දේසි යටතේ නිශ්චිත කාලසටහනකට අනුව දරුවන් “ඔන්ලයින් සහ රූපවාහිනී” පාඩම් සඳහා යොමු කිරීම දුෂ්කර බවයි. රූපවාහිනියක් නරඹන සිසුන්ට පවා, තේරුම් නොයන පාඩම් පිලිබඳව ප්‍රශ්න කිරීමක් සිදු කිරීමේ අවස්ථා ඉතා දුලභ වීම තවත් ගැටලුවකි.  

බදුල්ල ප්‍රදේශයේ ගුරුවරයෙක් මෙසේ පැවසුවේය: “අපිට විදුහල්පති කෝල් කරලා කිව්වා අයිටී ගුරුවරයාට පාඩම් සකස් කරලා දෙන්න කියලා. අපිට ඒ සඳහා ප්‍රශ්න පත්‍ර ෆොටෝ කොපි කරලා දෙන්න රුපියල් දහක්වත් යනවා. ඒත් දෙවැනි වාරේ පාඩම් උගන්වන්න ක්‍රමයක් නෑ. පලමු වාරේ ප්‍රශ්න පත්‍ර හදලා දෙන්න තමයි වෙන්නේ. නමුත් සෑම විෂයකටම එහෙම දෙන්න බැ. අයිටී ගුරුවරයා පාසලේ වෙබ් අඩවියෙන් ලමුන්ට මෙම ප්‍රශ්න පත්‍ර ලබා දෙන්න සැලැස්සුවා. නමුත් මෙය ගත හැකි වන්නේ සියයට තිහක් තරම් ප්‍රමානයකට පමනයි. ඒ නිසා මෙහි සාර්ථකත්වයක් මම දකින්නේ නෑ.” 

වයඹ පලාත් සභාව මගින් පාලනය වන පාසලක ගුරුවරියක් පැහැදිලි කලේ ඇය සේවය කරන පාසලේ විදුහල්පතිවරයා ගමේ රූපවාහිනි යන්ත්‍ර නොමැති පවුල් සංඛ්‍යාව සොයාගෙන එන ලෙස ගුරුවරුන්ට දැනුම් දුන් බවයි. “දෙමව්පියන් කීප දෙනෙක්ම රූපවාහිනී යන්ත්‍ර කැඩිලා කිව්වා. අපි ඔය සංඛ්‍යාලේඛන අරගත්තාට ආන්ඩුවෙන් හෝ වෙනත් බලධාරියෙක් රූපවාහිනී යන්ත්‍ර දුන්නැත්නං ගුරුවරු තමයි වැරදි කාරයෝ වෙන්නේ” යැයි ඇය ප්‍රකාශ කලා ය. 

කොලඹ ප්‍රධාන පාසැලක ගුරුවරයෙකු ප්‍රකාශ කලේ කොලඹ නගරයේ දිලිඳු කම්කරුවන්, කුඩා වෙලඳුන් ජීවත්වන කොටහේන වැනි ප්‍රදේශවල දරුවන්ගෙන් අතිමහත් ප්‍රතිශතයකට මෙම පහසුකම් නොමැති බවයි.   

දෙමාපියන් අහිමි ලමුන් දෙසීයක් පමන රැකබලා ගනිමින් ඔවුනට අධ්‍යාපනය ලබාදෙන, පිලියන්දල පිහිටි එස්ඕඑස් ගම්මානයේ සිසුන්ට මේ දක්වා කවර හෝ අධ්‍යාපනික වැඩසටහනක්  ක්‍රියාත්මක නොවේ. 

මුදල් අය කෙරෙන ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරු ඇතුලු අනෙකුත් සේවකයෝ වැටුප් නොලැබීමේ අන්තරායට මුහුන දී සිටිති. ගම්පහ නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසැලක ගුරුවරයෙක් ප්‍රකාශ කලේ දෙමාපියන් වාර මුදල් ගෙවීම ප්‍රමාද කලහොත් මැයි මස වැටුප ගෙවීමට නො හැකි වනු ඇතැයි එම පාසලේ බලධාරීන් පැවසූ බවයි. 

ලොව පුරා ජනතාවගේ ආහාර ඇතුලු මූලික අවශ්‍යතා සපුරාලමින් වසංගතය මැඩීමට සම්පත් හා හැකියාවන් ජාත්‍යන්තර පරිමානව පැවතිය දී ලෝකය පුරා පාලක පන්තීන් මූල්‍ය කතිපයාධිකාරයේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා කම්කරුවන් වැඩට දැක්කීම සඳහා මේ වන විට හැරී ගෙන ඇත්තේ මිලියන සංඛ්‍යාත මිනිස් ජීවිත අනතුරේ හෙලමිනි. 

ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක දැනටමත්  පාසැල් යලි විවෘත කිරීමට විරුද්ධත්වය මතු වී තිබේ. වසංගතය හේතුවෙන් ලෝක පරිමානව බිලියන 1.8 කට වැඩි පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාපල්කර ඇති ලෝක ධනේශ්වර ක්‍රමය දැන් තර්ජනය කරමින් යන්නේ සිසුන්ගේ ජීවිතවලටයි. 

“දෛනික ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා” යන කඩතුරුව යටතේ මැයි මස 11 දා සිට ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන විවෘත කරන බව පසුගිය සිකුරාදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ආන්ඩුවේ උත්සුකය සාමාන්‍ය කම්කරු පීඩිත මහජනයා පිලිබඳව නොව, ව්‍යසනය හේතුවෙන් කඩාවැටෙන මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කර දීමයි. 

දැනටමත් සැලකිය යුතු කම්හල් ගනනාවක හා වතුවල නිෂ්පාදන කටයුතු අරඹා තිබේ. විශාල කර්මාන්ත ශාලා හා කාර්යාල විවෘත කිරීම රෝගය බෝ වීමේ අවදානම විශාල ලෙස ඉහල දමනු ඇත. කම්කරුවන්ගෙන් අතිශය බහුතරයක් තම නිවෙස්වල සිට රැකියාවට පැමිනෙන තතු තුල ආන්ඩුවේ තීරනය, පාසල් දරුවන් ද අලලාගත් පලල් පරිමාන රෝග ව්‍යාප්තියකට හේතු වනු ඇත.