කොවිඩ්-19 වසංගතය සහ යුරෝපයේ පන්ති යුද්ධය

මෙම ලිපිය 2020 මැයි 7 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 2 වන දින පවත්වන ලද, 2020 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට සහභාගී වූ පාර්ටි ඩි ලිගලිතේ සෝසියලිස (ප්‍රන්සයේ) ආරම්භක සාමාජික ඇලෙක්ස් ලැන්ටියර් විසින් පහත කථාව පවත්වන ලදී.

දයාබර සහෝදරවරුනි, මිත්‍රවරුනි, මෙම ජාත්‍යන්තර රැලියට, ප්‍රන්සයේ සමාජවාදී සමානතා පක්ෂයේ සහෝදර සුබ පැතුම් එක් කිරීමට ලැබීම මට ගෞරවයකි.

යුරෝපය තුල කොවිඩ්-19  පලමු සිද්ධීන් මතු වී යන්තම් මාස තුනක් ගත වී ඇත. එහෙත් යුරෝපය මේ වන විටත් දැවැන්ත හා කල් පවත්නා පහරකින් පීඩාවට පත්ව ඇත.  මිලියන 1.5 ක් පමන ආසාදන මෙහි වාර්තා වේ. තවත් ලක්ෂ ගනනක් ආසාදිතයන් නිල සංඛ්‍යාලේඛනවලට ඇතුලත්ව නැත. නිවසේ හෝ මහලු  නිවාසවල රෝගයෙන් පීඩාවිඳ මියගිය. යුරෝපීයයන් 130,000 ට වැඩි ගනනක් මියගොස් ඇති අතර මිලියන ගනනක් ඔවුන් වෙනුවෙන් ශෝක වෙති. 

කොවිඩ්-19  පැතිරීම පාලනය කිරීමට ගතයුතු සමාජ සීමා කිරීමේ ප්‍රතිපත්ති යුරෝපීය ආර්ථිකය ඇනහිටුවා ඇත. ප්‍රන්සයේ කම්කරුවන් මිලියන 11 කට වැඩි ප්‍රමානයක්, ජර්මනියේ මිලියන 10 ක් සහ ස්පාඤ්ඤයේ මිලියන 9 ක් රැකියා විරහිතව හෝ ඌන සේවා නියුක්තිකයන් අතරට වැටී තිබේ. එය 2008 බිඳවැටීම හමුවේ සිදුවූවාට වඩා කිහිප ගුනයකි. මිලියන ගනනක් කුඩා ව්‍යාපාරවල පැවැත්ම තර්ජනයට ලක්ව ඇත. දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට තුඩු දුන් 1930 ගනන්වල අවපාතයෙන් පසුව, යුරෝපය එහි ගැඹුරුම ආර්ථික අර්බුදයට මුහුන දී සිටී.

ඇලෙක්ස් ලැන්ටියර් විසින් පවත්වන කථාව වීඩියෝවේ පැය 1:02:57 ට ආරම්භවේ.

 මෙම ඓතිහාසික අර්බුදය, යුරෝපීය ධනවාදයේ හා පාලක මූල්‍ය වංශාධිපතිත්වයේ දේශපාලන කුනුවීම හෙලිදරව් කර තිබේ. 2008 පටන්, යුරෝපයේ ආන්ඩු සහ මහ බැංකු විසින් යුරෝ ට්‍රිලියන 4 කට අධික මහජන මුදල් බැංකුවලට එන්නත් කර ඇති අතර කම්කරුවන්ට හා සමාජ සේවාවන්ට විනාශකාරී කප්පාදු පැනවීය.

එතැන් පටන් සමාජ සම්පත් යොදවා ඇත්තේ මුහුනු ආවරන, ශ්වසන යන්ත්‍ර මිලදී ගැනීමට හෝ ප්‍රධාන විද්‍යාත්මක පර්යේෂන සඳහා නොව, විශාල ආයෝජකයින්ගේ  අඩමාන නය පියවීමට හා යුද්ධ කිරීමට ය.

ප්‍රතිපලය කුමක් වී ද? වලක්වා ගත හැකිව තිබූ මෙම සමූහ මරන සොබාදහමේ  නොව සියල්ලටම වඩා පන්ති සමාජයේ නිමැවුමකි. දැන්, ලෝකයේ ධනවත්ම රටවල් බොහොමයක් ඇති මහාද්වීපය වන යුරෝපය පුරා, මුහුනු ආවරන සහ වෙනත් ප්‍රධාන වෛද්‍ය සැපයුම් ලබාගත නොහැකිය. වෛද්‍ය කාර්ය මන්ඩලය විසින්ම ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවා ඇත: ඔවුන් ස්පාඤ්ඤයේ රෝගීන්ගෙන් සියයට 20 ක්, ඉතාලියේ සියයට 10 ක් වන අතර, රටවල් දෙකේම ගතහොත් සංඛ්‍යාව 60,000 ට වඩා වැඩිය.

යුරෝපීය සංගමය දරුනු ලෙස පීඩාවට පත් රටවල් ඒවාටම අතහැර දැමීය: බර්ලිනය සහ පැරිසිය, ඉතාලියට හෝ වෙනත් රටවලට මුහුනු ආවරන සහ වෙනත් වෛද්‍ය උපකරන අපනයනය කිරීම ප්‍රතික්ෂේප කලහ.

2002 සාර්ස් වසංගතය පැතිරගිය තැන් පටන් විද්‍යාඥයින් නිපදවීමට බලාපොරොත්තු වූ කොරෝනා වෛරස් එන්නත නිෂ්පාදනය කිරීම සඳහා පියවර ගෙන නැති තරම්ය. ප්‍රන්ස විද්‍යාඥයෙක් පැහැදිලි කලේ, “වෛරසය පැතිරීම වලක්වන අපගේ සියලු ව්‍යාපෘති බලපොරොත්තු පමනක් විය. ” ඒ අරමුදල් හිඟය නිසාය. ඒ සඳහා දැන් යුරෝ දහස් ගනනක් නොව ජීවිත දහස් ගනනක් යට කිරීමට සිදුව තිබේ.

යුරෝපා සංගමය හා යුරෝපීය ධනවාදය ආර්ථිකව, දේශපාලනික හා සදාචාරාත්මකව බංකොලොත් ය. කම්කරු පන්තියට දැන් පෙරමුනු දෙකක අරගලයක් කිරීමට සිදුව තිබේ. ඒ කොවිඩ්-19  ට එරෙහි යුද්ධය සහ පන්ති යුද්ධයයි.

පලමුව, කම්කරුවන්ගේ වඩාත්ම පීඩිත කොටස් වෛරසයට එරෙහිව ඉදිරි පෙලේ සිටී. ප්‍රධාන විධායක නිලධාරීන් සහ වෘත්තිකයන් රටේ වතු වල හෝ ධනවත් අසල්වැසි මන්ඳිරවල  ලැගුම් ගෙන සිටින අතර, ට්‍රක් රථ රියදුරන්, බෙදාහරින්නන්, රැකබලා ගන්නන් සහ හෙදියෝ තවමත් රැකියාවේ නිරතව සිටිති. මෙම අත්‍යවශ්‍ය නමුත් අඩු වැටුප් ලබන කම්කරුවෝ, වසංගතයට  නිරාවරනය වී සිටින අතර, බොහෝ විට කුඩා තට්ටු නිවාසවල එකට වාසය කරති. රෝගීන් විශාල ප්‍රමානයක් සිටින කම්කරු පන්ති දිස්ත්‍රික්ක, “රතු කලාප”ලෙස නම්කර ඇත. 

දෙවනුව, වසංගතය පන්ති අරගලයේ නව පිපිරීමක් සූදානම් කරයි. මාර්තු මස මුල වන විටත් ඉතාලියේ වානේ, මෝටර් රථ  සහ අනෙකුත් කර්මාන්තශාලා කම්කරුවන් විසින් සිදුකරන ලද දැවැන්ත ක්ෂනික වැඩ වර්ජන පමනක්, සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින ගෙවල් වලට වී සිටින්න යන ඉල්ලීම් වලට එකඟ වීමට, ධනේශ්වර ආන්ඩු වලට බල කර තිබේ.

එහෙත් ධනේශ්වරය නිර්දය ලෙස සාපරාධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ජනගහනයෙන් සියයට 60 ත් 70 ත් අතර ප්‍රමානයක් කොවිඩ්-19ට  ගොදුරු වන බව බර්ලිනයේදී චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ප්‍රකාශ කලාය. තමන්ගේ පාර්ශවයෙන් බ්‍රිතාන්‍ය ආන්ඩුව මෙම දුෂ්ඨ න්‍යාය හඳුන්වන්නේ “රංචු ප්‍රතිශක්තිය” යනුවෙනි.

යුරෝපය පුරා සෑම දිනකම නව රෝගීන් 20,000 කට අධික සංඛ්‍යාවක් ගොදුරු කර ගන්නා වසංගතයක් මධ්‍යයේ යුරෝපා සංගමය, සියලුම යුරෝපීය ආන්ඩු සිදු කරමින් සිටින ආපසු වැඩට දැක්කීමේ ව්‍යාපාරයට දායක වී සිටියි. මෙය අනිවාර්යයෙන්ම නව රෝගීන් හා මරන සංඛ්‍යාව වැඩි කිරීමට හේතු වනු ඇත.

ඒ අතරම යුරෝපීය මහ බැංකුව සහ යුරෝපා සංගමය, යුරෝ ට්‍රිලියන ගනනක බැංකු ඇපදීම්  ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ව්‍යාජ ප්‍රාග්ධන සම්භාරයට ගෙවිය යුතු ලාභය උකහා ගැනීම සඳහා, දැන් නැවත වැඩට දැක්කීමට මුහුනපා සිටින කම්කරුවන් මත විශාල සමාජ ප්‍රහාර සැලසුම් කර ඇත. සැලසුම් කරමින් ඇති  රැකියා සංහාරයේ ආරම්භක ලක්ෂනයක් පෙන්නුම් කරමින්, යුරෝපීය ගුවන් සමාගම්වල සහ සංචාරක ව්‍යාපාරයේ දස දහස් ගනනක් දොට්ට දැමීම් සිදුවෙද්දී, මෙඩෙෆ් යන ප්‍රන්ස ව්‍යාපාරික සම්මේලනය, අතිකාල හා නිවාඩු දිනවල ඓතිහාසික  කප්පාදුවක් ඉල්ලා සිටියි. 

ස්පාඤ්ඤයේ පොඩෙමෝස් වැනි සුලු ධනේශ්වර ජනතාවාදී පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන් හා මෙම සාපරාධී ප්‍රතිපත්තිය ගැන දක්වන්නේ මන්දෝත්සාහී ආකල්පයකි. පොඩෙමෝස් ආන්ඩුව, වසංගතය මධ්‍යයේ නිවාසවල රැඳී සිටීමේ අයිතිය ඉල්ලා වර්ජනය කර සිටින වානේ කම්කරුවන්ට පහර දීමට පොලීසිය යවනු ලැබීය.

එහෙත් කම්කරු පන්තිය රංචුවක් නොවන අතර, එය තමන් රංචුගැස්වීමට ඉඩ නොදෙනු ඇත. 

2018 පටන් කම්කරු පන්තියේ කෝපය යුරෝපය සොලවා ඇත. ප්‍රන්සයේ “කහ බැනියම්” ව්‍යාපාරය; පෘතුගීසි හෙදියන්, පෝලන්ත ගුරුවරුන්, ජර්මානු ලෝහ කම්කරුවන්ගේ වැඩ වර්ජන; කැටලෝනියාවේ දේශපාලන මර්දනයට එරෙහි මහජන විරෝධතා; බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන යනාදී සියල්ලම, පන්ති අරගලයේ නව යුගයක උපත සනිටුහන් කර තිබේ. ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හරිනු ලැබීම හා යුරෝපා සංගමය පිහිටුවීම තුලින් නැඟී ආ යුරෝපීය ධනවාදයේ බංකොලොත්කම, වැඩෙන කම්කරු පන්තියේ විරෝධය අවුලුවා ඇත.

වසංගතය පන්ති ගැටුම් සැර බාලකරනවා වෙනුවට ඒවා තීව්‍ර කරයි. සියලු සමාජ සම්පත් ජීවිතය ආරක්ෂා කර ගැනීමේ සටනට යොමු කරනන්නාවූ, වසංගතයට එරෙහි සමස්ත අරගලයකට එල්ල වන ධනේශ්වර විරෝධය බිඳ දැමීමේ හදිසි අවශ්‍යතාවයට, කම්කරු පන්තිය මුහුන දෙයි.

කම්කරුවන් සඳහා ඇති එකම ශක්‍ය මූලෝපාය වන්නේ, රාජ්‍ය බලය කම්කරු පන්තියට  දිනාගැනීම පිනිස සියවසකට පෙර 1917 ඔක්තෝබරයේ රුසියානු විප්ලවයේ දී දියත් කල අරගලය කරා නැවත හැරීම ය.

මෙම විප්ලවවාදී කර්තව්‍යය පෙරට ගෙනයා හැකි සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට උරදෙන ලොව පුරා කම්කරුවන්ට අද, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මෙම දිනයේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සුබ පතයි. යුරෝපා සංගමයේ අවිවාදිත බංකොලොත්කමට මුහුන දී සිටින කම්කරු පන්තිය, එක්සත් යුරෝපීය සමාජවාදී සමූහාන්ඬු සංගමයක් සඳහා අරගලය ඉදිරියට ගෙන යනු ඇත.

Loading