“මිලිටරිකරනය” නවත්වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ආන්ඩුවට කන්නලව්වක්

ගෝලීය කොරෝනා වෛරස් වසංගතය විසින් වේගවත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු රටෙහි ව්‍යාජ-වාම කන්ඩායම්වල ධනපති-ගැති ස්වභාවය හෙලිදරවු කර ඇත.

මිලිටරිකරනය හා ආඥාදායකත්වය වැලැක්වීම සඳහා විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව “යලි කැඳවන ලෙස” ආයාචනා කරමින්, පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්, අප්‍රේල් 18දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරා සහ අගමැති වන මහින්ද රාජපක්ෂට ලිපියක් ලීවේ ය. මෙම දෙවන ආයාචනය යවන ලද්දේ, “අතපසු වීම්” තිබෙන නමුත්, ආන්ඩුවේ ඊනියා “කොවිඩ්-19 පරාජය කිරීමේ ප්‍රයත්නයන්ට පක්ෂයේ සහයෝගය දෙන බව පොරොන්දු වෙමින්, ගුනරත්නම් විසින් රාජපක්ෂට ම මාර්තු 24දා ලියන ලද ලිපියකට පසුවයි.

කුමාර් ගුනරත්නම්

වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) බිඳී ගිය කන්ඩායමක් විසින් 2012 දී පෙසප පිහිටුවන ලද්දේ, තමන් සමාජවාදීන් යයි මවාපෑමට උත්සාහ දරමිනි. එහෙත් පසුගිය දශකය තුල, මෙම පක්ෂය, අව්‍යාජ සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නැති, ජවිපෙන් දේශපාලනික ව නොබිඳුනු සංවිධානයක් බව ප්‍රදර්ශනය කර ඇත.

අගුලු දැමීම ඉවත් කිරීමට හා මැතිවරනය කලින් පැවැත්වීමට ජනාධිපති රාජපක්ෂ ගත් තීරනය සම්බන්ධයෙන් ගුනරත්නම්ගේ ලිපිය දෙපැත්තේ අඩිය තබාගෙන සඳහන් කලේ, “මැතිවරනයක් පැවැත්වීමට අවශ්‍ය සාධාරන හා අවම වටපිටාවක් පවතී ද යන ගැටලුව" පවතින බවයි. “මැතිවරනය කල් දමා (විසුරුවන ලද) පාර්ලිමේන්තුව යලි කැඳවීම” තම පක්ෂයේ යෝජනාව බව ඔහු කීවේ ය.

“හමුදා ප්‍රධානියා මුල්කරගනිමින්, හමුදාව අධි-නිශ්චය කරමින් හා ජනාධිපතිවරයා අතට බලය තවදුරටත් කේන්ද්‍රගත කරගනිමින් කටයුතුකිරීමේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී භාවිතය අතිශයින්ම හානිකරය” යි අනතුරු අඟවන මෙම ලිපිය, පාර්ලිමේන්තුව යලි කැඳවීම මගින් (මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රවනතා) පාලනය කරන්නැ යි අගමැතිවරයාට උපදෙස් දෙයි.

“පාර්ලිමේන්තුව යලි කැඳවීම” මගින් ආඥාදායකත්වයක් වලක්වනු ලැබිය හැකි ය යන්න මාරාන්තික මිථ්‍යාවකි.

තමන්ට විධායකයේ මුලුමහත් ආඥාදායක බලතල ලබාගැනීමට හැකි වීම පිනිස, ව්‍යවස්ථාව යලි ලිවීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීමට නියමිත කලට කලින් මැතිවරනයක් කැඳවන බව, ගෝඨාභය රාජපක්ෂ පුනපුනා ප්‍රකාශ කලේ ය. නොවැම්බරයේ බලයට පැමිනි තැන් පටන් මෙම න්‍යාය පත්‍රය අතැති ව සිටි ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් තනතුර වැනි රාජ්‍යයේ බොහෝ මූලික තනතුරු, විශ්රාම ලත් ජෙනරාල්වරුන්ගෙන් පිරවූයේ ය.

යුද හමුදාපතිවරයා කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසත්, විශ්‍රාම ලත් එයාර් මාර්ෂල් රොෂාන් ගුනතිලක බස්නාහිර පලාත් ආන්ඩුකාරයා ලෙසත් පත්කිරීම හා ඔත්තු සේවා යාන්ත්‍රනය කොලඹට දිගේලි කිරීම හරහා, මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට ඔහු වසංගතය කඩතුරාවක් ලෙස යොදාගත්තේ ය.

රැකියා, වැටුප් හා අරගල මගින් දිනාගත් අනෙකුත් අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව පුපුරා යා හැකි කම්කරු පන්තික විරෝධය මර්දනය කිරීම පිනිස සති දෙකකට පෙර ජනාධිපතිවරයා අගනුවරට හමුදාව විශාල ගනනින් මෙහෙයවීමට නියෝග කලේය. ඉන් සලකුනු වූයේ  කුමන්ත්‍රනයක් සූදානම් කෙරෙමින් පවතින බවයි. 

ශ්‍රී ලංකාවේ ආඥාදායකත්වයක් පිලිබඳ තර්ජනය, ගෝලීය වසයෙන් ධනපති පන්ති දකුනට යාමේ ප්‍රකාශනයකි. වසංගතයට ජීවිත ලක්ෂ ගනනක් බිලිගැනීමටත් මිලියන ගනන් ආසාදනය කිරීමටත් පාලන තන්ත්‍රයන් විසින් ඉඩ දී ඇත. මිලියන ගනන් කම්කරුවන් විරැකියා භාවයට හා දරිද්‍රතාවට ඇද දමනු ලැබ තිබේ. එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවලත්, ඉන්දියාව වැනි රටවලත් ආන්ඩු ආපසු වැඩට යාම සඳහා කම්කරුවන් ව තල්ලු කරමින් සිටින්නේ, ආඥාදායක පාලන ක්‍රම වෙත වඩ වඩාත් හැරෙමිනි.

ශ්‍රී ලංකාව තුල ආඥාදායකත්වයක් දෙසට වන වේගවත් ගමන වැලැක්වීමට පෙසප යෝජනා කරන්නේ, බංකොලොත් ක්‍රමයක් වන අපකීර්තිමත් පාර්ලිමේන්තුව යලි කැඳවිම යි. පෙසපෙහි මෙම ආයාචනය, ජනාධිපතිවරයාට කොන්දේසි විරහිත සහයෝගය පොරොන්දු වෙමින්, විපක්ෂ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස කරන ඉල්ලීම් සමග සමපාත වේ. යලි කැඳවන ලද පාර්ලිමේන්තුවක සිටිනු ඇත්තේ කවුරුන් ද? 

අගමැතිවරයාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) නායකත්වය දෙන සුලුතර ආන්ඩුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය (එජාප), දෙමල ජාතික සන්ධානය (දෙජාස), මුස්ලිම් කන්ඩායම් හා ජවිපෙ යන ධනපති පක්ෂ එහි සිටිනු ඇත. බලයේ සිටිය දී රටෙහි දෙමල සුලුතරයට එරෙහි ව 30 අවුරුදු යුද්ධයක් දියත් කල එජාප හා ශ්‍රීලනිප ආන්ඩු, අනෙකුත් පක්ෂවල සහයෝගය සහිත ව පන්ති අරගල මැඩීමට විෂඝෝර හදිසි නීති බලතල හා මිලිටරි විධික්‍රම යොදාගැනීමට පසුබට නො වී ය.

පෙසප නරුම ලෙස වපුරමින් සිටින්නේ, ආඥාදායකත්වයක් දෙසට ගමන් කිරීමේ “ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රවනතා, මෙම විරුද්ධ පක්ෂ විසින් නවත්වනු ඇතැයි යන මායාව යි.  

කම්කරු පන්තියේ යෝධ සමාජ අරගල හා ගම්බද පෙරලිකාරිත්වය පුපුරා යාම පිලිබඳ මහා භීතිය විසින් රාජපක්ෂ ආන්ඩුව හා විරුද්ධ පක්ෂ එකලෙස ධාවනය වන්නේ ඒකාධිපති පාලනයක් කරාය.  

ජනාධිපතිවරයා “ඔහුගේ අතේ බලය කේන්ද්‍රගත කරගැනිම” පිලිබඳ ව ගුනරත්නම් අඳෝනාවක් නගයි. එහෙත්, රාජපක්ෂ ජනාධිපති ධුරය කරා නැගගැනීම ගැන පෙසප ඇතුලු “වාම කන්ඩායම්” දේශපාලනික ව වගකිව යුතු ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කරමින් සිරිසේන ජනාධිපති ලෙස තෝරාගැනීමට එජාපය විසින් නායකත්වය දුන් ප්‍රතිගාමී උද්ඝෝෂනයක් වටා, 2015 දී මෙම කන්ඩායම් ද සමහර වෘත්තීය සමිති ද දෙජාස ද රැලි වූ හ. රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයට එරෙහි ව පැනනැගි මහජන කෝපය අපසරනය කිරීම සඳහා, ඔවුහු “යහපාලනය” හා ජීවන කොන්දේසි ඉහල දැමීම ආදී වූ සිරිසේන ගෙනගිය පච ප්‍රචාරයට සහයෝගය දුන් හ.

අර්බුද-ග්‍රස්ත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසට හැරී එය විසින් නියමකල රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමනවාත් සමග ඊට එරෙහිව වැඩ වර්ජන හා විරෝධතා මාලාවක් පැනනැගීමත් සමග මෙම මිත්‍යාවන් කීතුවී ගියේය. අතිශය ද්‍රෝහී ක්‍රියාකලාපයකට බැසගනිමින්  පෙසප වෘත්තීය සමිති සමග පෙලගැසී මෙම අරගල ආන්ඩුවට බලපෑම් දැමීමේ නිරර්ථක ක්‍රියාවල දියකර දැමීමට හවුල් විය. 

ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප්‍රහාරවලට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල මත  කම්කරුවන් ස්වාධීනව බලමුලුගැන්වීම සඳහා  සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන ගිය අරගලයට ඔවුහු එකහෙලා විරුද්ධ වූ හ.

පසුගිය ජනාධිපතිවරනයේ දී, බොහෝ වෘත්තීය සමිති, ‘වාම’ කන්ඩායම් හා දෙජාස සහයෝගය දුන්නේ, කම්කරුවන් හා දුගීන් මතට ප්‍රහාර මුදාහල පාලක එජාපයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට යි. ආන්ඩුවට එරෙහි එකම විරුද්ධ පාර්ශවය ලෙස පෙනී සිටිමින්, සමාජ විරෝධය ගසාකා, මහ ව්‍යාපාරිකයට “ශක්තිමත් ආන්ඩුවක්” ගැන පොරොන්දු වෙමින් මැතිවරනය ජයග්‍රහනය කිරීමට, මේ අනුව, මෙම කන්ඩායම් ගෝඨාභය රාජපක්ෂට හා ශ්‍රීලපොපෙට මාවත පාදා දුන් හ.

සෞඛ්‍ය කම්කරුවන්ට පහසුකම්, සෞඛ්‍ය සේවාව සඳහා සම්පත්, අගුලු දැමීම මගින් බලපෑමට ලක්වූවන්ට සහන සම්පාදනය කිරීම හා සංක්‍රමනික කම්කරුවන්ට උපකාර කිරීම ඇතුලු යෝජනා මාලාවක් පෙසප විසින් ආන්ඩුවට යෝජනා කර ඇත. ජනතාවට සහන සැලසීම සඳහා "මෙතෙක් අධිලාභ ලබාගන්නා ලද කුවේර සමාගම් මුලික කොටගත් අරමුදලක්" සකස් කරන ලෙස පෙසප ආන්ඩුවෙන් ඉල්ලා ඇත. ධනවත් සමාගම් වෙතින් මෙම අරමුදල් ලබාගන්නේ කෙසේදැයි ගුනරත්නම් විස්තර කර නැත.

මේවා කම්කරුවන් බලමුලුගැන්වීමේ ඉල්ලීම් නො ව, ඒ වෙනුවට, සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම නො තකා හරිමින් ද “සහන පියවරයන්” ගැනීම ලෙස මතුපිට මවාපෑම් කරමින් ද මහ ව්‍යාපාරිකය වෙත බිලියන ගනන් පුද කරමින් ද සිටින ආන්ඩුවට කරන ආයාචනාවන් ය.

පෙසප නායකයන් කම්කරු ඇමති සමග පෙලගැසෙයි 

දුමින්ද නාගමුව (වමේ) ඇමති දිනේශ් ගුනවර්ධන (දකුනේ කෙලවර) සමග

 

මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස, “කම්කරුවන්ගේ ගැටලු” සාකච්ඡා කිරීම සඳහා කම්කරු ඇමති දිනේශ් ගුනවර්ධන හමුවීමට  පසුගිය මාසයේ පෙසප එහි නායකයෙක් වන ව්‍යාජ “කම්කරු අරගල මධ්‍යස්ථානයට” නායකත්වය දෙන දුමින්ද නාගමුව යැවී ය.

කම්කරුවන් මතට එල්ල කරන රුදුරු ප්‍රහාර ආවරනය කරගැනීම සඳහා මෙම කන්ඩායමේ සේවය ලබාගැනීමේ  සූදානම පෙන්නුම් කරමින්, ආන්ඩුව පෙසපට සාකච්චාවක් ලබාදුන්නේ ය. උද්දාමයෙන් යුතුව සාකච්ඡාවෙන් එලියට පැමිනි නාගමුව, “වැටුප්, රාජ්‍ය හා පුද්ගලික අංශවල රැකියා ගැටලු හා වතු කම්කරුවන්ගේ ගැටලු (ඇමතිවරයා සමග) සාකච්ඡා කලා...රැකියා කප්පාදුවට එරෙහි ව මැදිහත් වීමටත්, වතු කම්කරුවන්ට සහන ලබාදීමටත්, රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමටත් ඇමතිවරයා එකඟ වුනා” යි සඳහන් කලේ ය.   

මෙම ප්‍රකාශ දැවැන්ත රැකියා හා වැටුප් කප්පාදුවලටත් අනෙකුත් අයිතීන් කප්පාදු කිරීමටත් අවසර දෙමින් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් තලා දමමින් සිටින ආන්ඩුවකට දෙන තුච්ඡ ආවරනයකි.

කම්කරුවන් වඩවඩාත් අත්දකිමින් සිටින්නේ ධනපති ක්‍රමය තුල තමන්ගේ අයිතීන් පමනක් නො ව, ඔවුන්ගේ ජීවිත ද ආරක්ෂා කරගත නො හැකි තත්වයක් ඇතිවී තිබෙන බවයි. දරාගත නො හැකි දුෂ්කරතාවන්ට මුහුන දෙන ගම්බද හා නාගරික දුගීන් අතර කෝපය වර්ධනය වෙමින් තිබේ.

එහෙත්, කෙසේ හෝ ධනපති ආර්ථිකය පනගන්වා ගත හැකි ය යන මිථ්‍යාව පෙසප විසින් තොරොම්බල් කරයි. පෙසප නායක පුබුදු ජයගොඩ පක්ෂයේ මුහුනුපොත් මැයි 1දා එවන් මිත්‍යා ප්‍රකාශයක් සටහන් කර තිබුනි. නාගමුව කම්කරු ඇමති සමග කල සාකච්චාව ගැන සඳහන් කරමින් ජයගොඩ මෙසේ සඳහන් කරයි: “රජය පැත්තෙන් කීවේ කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමට හරි, සේවකයන්ගේ වැටුප් නොගෙවා සිටීමට හරි ඉඩදෙන්නෙ  නෑ කියල". ඔහු ඊට  මෙසේ ද එකතු කලේ ය: “ලබන මාසය වෙද්දි ආර්ථිකය යම් විදිහකට පන ගන්වා ගැනීමට පුලුවන්. මාර්තු හා අප්‍රේල් මාස දෙකේ පමනයි මේ ප්‍රශ්නය තියෙන්නෙ. ඒ මාස දෙකේ ප්‍රශ්නය සඳහා රාජ්‍යය මැදිහත් වීම අවශ්‍යයි.”

ජයගොඩගේ ප්‍රකාශය කප්පරක් හෙලි කරයි. පෙසප නායකයන් ධනපති අර්බුදය පිලිබඳ ව ඉඳහිට පූච්චානම් දෙඩෙව්වත්  ඔවුන් සැබවින්ම පිලිගන්නේ, අර්බුදයෙන් මුදාගත හැකි පවත්වා ගත හැකි එකම ශක්‍ය පද්ධතිය ලෙස ධනවාදය පවතින බවයි. මෙය වනාහි, වසංගතය විසින් වේගවත් කරන ලද ගෝලීය බිඳවැටීමක් හරහා ගමන් කරමින් සිටින ධනවාදයට නින්දිත ලෙස අනුගත වීමකි. අර්බුදයේ කේන්ද්‍රයේ සිටින එක්සත් ජනපදය ඇතුලු මහා බලයන්, ලෝකාධිපත්‍යය සඳහා යුද්ධ සූදානම් කරමින් සිටින්නේ, විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක් තර්ජනය ඉස්මතු කරමිනි.

ධනපති පද්ධතිය පනගන්වා ගැනීමේ ජුගුප්සාජනක කෑදරකමකින් පෙලෙන මෙම ව්‍යාජ-වාම පක්ෂය, කම්කරුවන් හා දුගීන් සමාජවාදය සඳහා අව්‍යාජ සටනක් දියත් කිරීමෙන් පීලිපැන්නවීමට තමන් සමාජවාදය සඳහා සටන් කරන බව ව්‍යාජ ව අඟවයි.

කොරෝනා වෛරස් අර්බුදය සම්බන්ධයෙන් මෑතක දී අන්තර්ජාලය හරහා පැවති රැස්වීමක දී කතා කල ගුනරත්නම්, වසංගතය “ලෝක පරිමාන අර්බුදයක් නිර්මානය කර තිබෙනවා, ධනපති ක්‍රමය තුල මෙයට විසඳුම් නැහැ...පිලිතුර වන්නේ සමාජවාදය හා කොමියුනිස්ට්වාදය යි” යනුවෙන් ප්‍රකාශ කලේය. ඒ සමග ම ඔහු මෙසේ කීවේ ය: “අපේ පක්ෂයේ පනිවුඩය වන්නේ මේ රටේත් ජාත්‍යන්තර වත් ප්‍රගතිශීලී හා වාමාංශික බලවේග එකමුතු කරන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බව යි.”

ප්‍රගතිශීලී හා වාමාංශික බලවේග එකමුතු කිරීම පෙසපයේ දීර්ඝ කාලීන දේශපාලන ක්‍රියාමාර්ගය යි. පෙසප කතාකරන මේ බලවේග මොනවා ද?

ශ්‍රී ලංකාවේ දී මේ බලවේගවලට, කම්කරුවන්ගේ අරගල නිෂ්ඵල විරෝධතාවන් බවට අපසරනය කිරීම සඳහා ආන්ඩුවට හා ධනපති පන්තියට උදවු දෙන, වෘත්තීය සමිති, ව්‍යාජ-වාම පක්ෂ හා රාජ්‍ය නො වන සංවිධාන අයත් වෙති.

ජාත්‍යන්තර ව, මෙම බලවේගවලින් සමහරක් වන්නේ, ඉන්දීය රෙඩ් ස්ටාර් කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) හා නේපාල කොමියුනිස්ට් පක්ෂය වැනි විවිධාකාර ස්ටැලින්වාදී හා මාඕවාදී පක්ෂ යි. පෙසප ග්‍රීසියේ සිරිසා හා ස්පාඤ්ඤයේ පොදේමෝස් වැනි ධනපති ගැති සංවිධානවලට ආකර්ශනය වූ පක්ෂයකි.     

2015 ජනවාරියේ දී පෙසප ජනරල පුවත්පත මෙසේ ලීවේ ය: "එලැඹෙන මැතිවරනයෙන් සයිරිසා ජයග්‍රහනය කලහොත් ස්පාඤ්ඤයේ පෙඩොමාස් පක්ෂයේ තත්වය බලවත් කිරීමට එය හේතුවනු ඇත. මෙය යුරෝපය තුල වාමගාමී දේශපාලන රැල්ලක් ජනිත කරමින් අයර්ලන්තයේ සින් ෆෙන්, ජර්මනියේ ඩයි ලින්කෙ ආදී වාමාංශික නැඹුරුව සහිත පක්ෂ ඒ ඒ් රටවල් තුල බලවත් කෙරෙනු ඇත." 

2015 ග්‍රීක ජාතික මැතිවරනය ජයග්‍රහනය කල සිරිසාව, යුරෝපා සංගමයේ දරුනු  කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමා කම්කරුවන් හා දුගීන් මර්දනය කලේ ය. පොදේමෝස් වර්තමානයේ  ස්පාඤ්ඤයේ දක්ෂිනාංශික සමාජවාදී පක්ෂය සමග සභාග ආන්ඩුවකට එක්වී  කම්කරුවන් හා දුගීන් මත රුදුරු මර්දනයක් ක්‍රියාවට දමයි.

 මෙම කන්ඩායම්වලට දෙන සහයෝගය පෙසපයේ ඒ හා සමාන දක්ෂිනාංශික ගමන පෙන්නුම් කරයි. ආන්ඩුවට ලියුම් ලියමින්, විපක්ෂ සමග දේශපාලනිකව පෙලගැසෙමින් මෙම පක්ෂය ගෙනයන වැඩකටයුතු කම්කරු පන්තියට පැහැදිලි අනතුරු ඇඟවීමකි. කම්කරු පන්තිය ආන්ඩුවට හා ධනවාදයට එරෙහි තීරනාත්මක සටන්වලට එලඹෙද්දී, මෙම පක්ෂය ඔවුන්ට එරෙහි ව ධනපති ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා වැඩට බැසගනු ඇත.

ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය විසින් මුදාහරිනු ලබන දැවැන්ත ප්‍රහාරයන්ගෙන් ද ආඥාදායකත්වයේ තර්ජනයෙන් ද කම්කරු පන්තියට ඔවුන්ගේ අයිතීන් රැකගත හැක්කේ, ධනපති පන්තියේ සියලු කන්ඩායම්වලින් ද ඔවුන්ගේ ව්‍යාජ-වාම ආවතේවකරුවන්ගෙන් ද ස්වාධීන ව සංවිධානය වීමෙන් පමනි.

කම්කරුවන් සෑම වැඩපොලක ම හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන, මෙම ප්‍රහාරවලට විරුද්ධ ව සටන් කිරීම සඳහා තරුනයන් හා ගම්බද දුගීන් රැලි කරගත යුතු ය. ඔවුහු සියලු ප්‍රධාන ධනපති කර්මාන්ත, විශාල වතු, ව්‍යාපාර හා බැංකු අල්ලා ගෙන, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ඒවා තබමින්, සියලු විදේශ නය අහෝසි කරමින්, සමාජයේ බහුතරයේ යහපත පිනිස ආර්ථික තාර්කික ව ප්‍රතිසංවිධානය කිරීමට සටන් කල යුතුය. මෙම කර්තව්‍යයන් ක්‍රියාවට දැමීම සඳහා, ඔවුන්, දුගී ගොවීන්ගේ ද සහාය දිනා ගනිමින්, දේශපාලන බලය තමන් අතට පැහැරගෙන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපනය කල යුතු ය. 

මෙම කර්තව්‍යයන් ක්‍රියාවට දමනු ලැබිය හැක්කේ, ලෝක සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය ගෙන යන ගෝලීය අරගලයේ කොටසක් ලෙස පමනි.

මෙම සමාජවාදී විකල්පය සම්පාදනය කරන්නේ සසප පමනි. කම්කරුවන් හා තරුනයන්, සමාජවාදී ලෙස ව්‍යාජ ව පෙනී සිටිමින් ධනවාදය ආරක්ෂා කිරීමට ක්‍රියා කරන පෙසප ඇතුලු ව්‍යාජ-වම්මුන් ප්‍රතික්ෂේප කල යුතු ය. අව්‍යාජ මාක්ස්වාදය සඳහා අරගලය නියෝජනය කරන සසප සමග එකතුව  ඔවුන් සටන් කලයුත්තේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සඳහායි. 

Loading