ඉදිරිදර්ශන

ධනපති ආර්ථික විද්‍යාව සහ මරනයේ දේශපාලනය

මෙම ලිපිය මැයි 11වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

අතිමහත් මහජන විරෝධය නො තකා ට්‍රම්ප් ආන්ඩුව, බහුතරයක් ප්‍රාන්ත ආන්ඩු, බිලියනපති සංගත හා වෝල් වීදියේ මූල්‍ය අවශ්‍යතා, එක්සත් ජනපද ආර්ථිකය වේගයෙන් නැවත විවෘත කිරීමේ සැලසුම් සමඟ ඉදිරියට යමින් තිබේ.

මෝටර්රථ කර්මාන්තය අකාලයේ හා මාරාන්තික ලෙස නැවත වැඩට පැමිනීමේ නියමයට   නායකත්වය දෙමින් සිටී. දැවැන්ත දේශපාලන හා ආර්ථික පීඩනයකට ගොදුරු වූ මිචිගන් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් අද දින මෝටර් රථ අමතර කොටස් සැපයුම්කරුවන් සහ මෙවලම් හා යකඩ වාත්තු වැඩපල වල නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට අවසර දී තිබේ. ප්‍රධාන මෝටර් රථ සමාගම් ලබන සතියේ ප්‍රාන්තයේ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට අදහස් කරති.

හොන්ඩා සමාගම අද එක්සත් ජනපදය හා කැනඩාව පුරා නිෂ්පාදනය නැවත ආරම්භ කරමින් සිටී. ඔහියෝ, දකුනු කැරොලිනා, උතුරු කැරොලිනා, ඉන්දියානා, ජෝර්ජියා සහ ඇලබාමා යන ප්‍රාන්තවල ශාඛා මෙයට ඇතුලත් ය.

කැලිෆෝනියාවේ ආන්ඩුකාර ගේවින් නිව්සෝම් එලඹෙන සිකුරාදා ගබඩා හා සැපයුම් පහසුකම් සමග නිෂ්පාදකයින්ට නැවත විවෘත කිරීමට  අවසර දෙමින් සිටී.

ෆ්ලොරිඩා, ටෙක්සාස් සහ තවත් බොහෝ ප්‍රාන්තවල, රූපලාවන්‍යාගාර හා බාබර් සාප්පු ඇතුලු පාරිභෝගික හා සිල්ලර සේවා මේ වන විට නැවත විවෘත කර ඇත, නැතිනම් දින කීපයකින් විවෘත කරනු ඇත. මිසූරි ප්‍රාන්තය  සියලුම ව්‍යාපාර විවෘත කිරීම අනුමත කරමින් සිටින අතර මහජන ප්‍රසංග පැවැත්වීමට අවසර දෙනු ඇත.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය තුල වසංගතය පැතිරීම පාලනය කිරීමට ගත් උත්සාහයන් සියල්ලම බිඳ වැටී ඇත. ට්‍රම්ප් පරිපාලනය “පොකුරු ප්‍රතිශක්තිය” පිලිබඳ අප්‍රකාශිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එලඹෙන මාසවල එහි ප්‍රතිඵලය වනු ඇත්තේ දස දහස් ගනනක්-ඇතැම්විට වසන්ගතය මැඩීමට යෝග්‍ය පියවර ක්‍රියාත්මක කලේ නම්, වැලක්විය හැකිව තිබූ, මරන සිය දහස් ගනනක්- විය හැකිය.

එහෙත් ට්‍රම්ප් ආන්ඩුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයුම් සඳහා වන එක්සත් ජනපදයේ සියලු‍ සහයෝගය දැනටමත් ඉල්ලා අස්කරගෙන ඇති අතර, රෝග පාලන මධ්‍යස්ථානය (සීඩීසී) යම් තරමකින් සමාගම් ආන්ඩුමට්ටු කරගැනීමට දරන උත්සාහයන්ට පවා සක්‍රීයව වලකපමින් වහාම සේවයට නැවත පැමිනෙන ලෙස ඉල්ලා සිටියි.

කර්මාන්තශාලා සහ වෙනත් සේවා ස්ථාන නැවත විවෘත කිරීම සිදුවෙමින් පවතින්නේ වසංගතය පාලනයෙන් බැහැරව දිගටම සර්පිලාකාරව නගින අතර . සති අන්තයේ දී, එක්සත් ජනපදයේ කොවිඞ්19 මරන සංඛ්‍යාව 80,000 ඉක්මවා ගියේ ය. මැයි මාසයේ පලමු දින 10 තුල මරන සංඛ්‍යාව 15,000 කට වඩා වැඩි විය. එපමනක් නොව, වෛරසය ජනගහනය පුරා පැතිරෙත්ම, රෝගය නව රෝග ලක්ෂන පෙන්නුම් කරන අතර එයට ගොදුරු වන්නන්ගේ ක්ෂේත්‍රය පුලු‍ල් කරමින් තිබේ.

මිනිස් ශ්වසන පද්ධතියට කොවිඞ්-19 හි ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා මාර්තු හා අප්‍රේල් මාස පුරාම පොර බැදි වෛද්‍යවරුන් මෑත සතිවල දී සොයාගෙන ඇත්තේ වෛරසය වකුගඩු, මොලය, සංසරන පද්ධතිය මෙන් ම මාංශ පේශිවලට ද පහර දෙන බව යි.

වඩාත්ම භයානක වර්ධනය වන්නේ කුඩා දරුවන් අතර මාරාන්තික රෝගීභාවයක් මතුවීමයි. එහි රෝග ලක්ෂන කවාසාකි රෝගයට සමාන වන අතර එය අනිවාර්යයෙන්ම කොවිඞ්-19 වෛරසයට සම්බන්ධ වී ඇත. වසංගත රෝග විද්‍යාඥයින් වාර්තා කරන්නේ ලමුන් අතර බීජෝෂන කාල ය සති දෙකත් හතරත් අතර බව යි. මෙයින් අදහස් කරන්නේ අප්‍රේල් මාසයේ ආසාදනය වූ දරුවන් ඉදිරි සති කිහිපය තුල බරපතල ලෙස රෝගාතුර වන බව යි.

කුඩා දරුවන්ට වසංගතයෙන් තර්ජනයක් නොවන බවට සහතික ලැබ සිටි දෙමාපියන් මෙම නව අනතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්වනු ඇත. කම්කරුවන්ට නැවත සිය රැකියාවට යාමට බල කෙරී ඇති අතර, ඔවුන් රැකියාවෙහි යෙදී සිටිය දී ආසාදනය වී ඇත්නම්, භයානක ප්‍රතිවිපාක සමඟ තම දරුවන්ට මෙම රෝගය සම්ප්‍රේෂනය කිරීමේ සැබෑ ඉඩප්‍රස්ථාවකට මුහුන දිය යුතුය.

ජනතාවගේ ඉරනම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ නොසැලකිල්ල හා සාපරාධී උදාසීනත්වයේ මට්ටම අවධානරනය කෙරෙන්නේ වෛරසය ධවල මන්දිරයේ බටහිර  පාර්ශ්වය සිසාරා දරුනු ලෙස පැතිරීමෙනි.

ට්‍රම්ප්ගේ පෞද්ගලික සේවකයෙකු වෛරසයට ගොදුරුවී ඇති බව පරීක්ෂන වලින් තහවුරු කෙරුනි. උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් හා ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකයෙකු වන ෆැසිස්ට්වාදී ස්ටීවන් මිලර්ගේ බිරිඳ වන කේටි මිලර්ට ද රෝගය වැලඳී ඇති බව තහවුරු කෙරුනි. ධවල මන්දිරයේ කොරෝනා වෛරස් කාර්ය සාධක බලකායේ ඉහල නිලධාරීන් තිදෙනෙක් - ආචාර්ය ඇන්තනි ෆෝසි, වෛද්‍ය රොබට් ආර්. රෙඞ්ෆෝඞ් හා වෛද්‍ය ස්ටීවන් හාන් - ආසාදිත පුද්ගලයින්ට නිරාවරනය වීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් ස්වයං නිරෝධායනයක යෙදී සිටිති.

තමන් වෛරසයට නිරාවරනය වී තිබෙන්නට ඇති බව ඔහු දැනගත් විට ට්‍රම්ප් කෝපාවිෂ්ට වූ බව වාර්තා කෙරී ඇත. වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව, ට්‍රම්ප් “මිලර් මහත්මිය ආසාදිත බවට පරීක්ෂන වලින් හඳුනාගෙන ඇති බව ඇසීමෙන් කේන්ති ගොස්, තමාට සමීප වන පුද්ගලයින් සමග කෝප වන්නට පටන් ගෙන තිබුනි.”

පුවත්පත තවදුරටත් වාර්තා කරන්නේ, “ආසාදිත සේවකයින් දෙදෙනා සොයා ගැනීම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ක්‍රියා පටිපාටීන් වේගවත් කිරීමට ධවල මන්දිරය පොලඹවා ඇත්තේ, වැඩිපුර කාර්ය මන්ඩල සාමාජිකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ඉල්ලමින්, මුව ආවරන පාවිච්චිය වැඩි කර, කාර්යාල සංකීර්නයට ඇතුලු වන පුද්ගලයින් වඩාත් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරමිනි.”‍

ධවල මන්දිරයේ තත්වය, ට්‍රම්ප් පරිපාලනය වසංගතයට දක්වන ප්‍රතිචාරයේ සියලු‍ අංගයන්ගෙන් සමන්විත වන පන්ති අවශ්‍යතා සහ වරප්‍රසාද මත පදනම් වූ වංචාව සහ කුහකකම හෙලි කරයි. එය ලෝකයේ වඩාත්ම ආරක්ෂිත ගොඩනැගිල්ල වන ධවල මන්දිරය තුල වෛරසය පැතිරීම වැලැක්වීමට අපොහොසත් වී ඇති අතර, සම්ප්‍රේෂනය වැලැක්වීම සඳහා සුලු හෝ ඵලදායී ක්‍රමවේදයන් නොමැතිව සාමාන්‍ය වැඩ කරන ඇමරිකානුවන් නැවත රැකියා වෙත පැමිනෙන ලෙස ආන්ඩුව ඉල්ලා සිටී. ජනාධිපතිවරයාට ආසන්නයේ සේවය කරන අයට නිවසේ සිට වැඩ කරන ලෙස පැවසේ, එය මිලියන ගනනක කම්කරුවන්ට නො ලැබෙන වරප්‍රසාදයකි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශ සහ ක්‍රියා සමාජව්‍යාධියකට ලක්වූවකුගේ ඒවාය. එහෙත් ඔහුගේ ප්‍රතිපත්ති මෙහෙයවනු ලබන්නේ සංගත-මූල්‍ය ප්‍රභූවේ උත්සුකතා විසිනි. සාපරාධී ප්‍රතිපත්තියක් නීත්‍යානුකූල කිරීම සඳහා භාවිතා කරන වාක්‍ය ඛන්ඩයක් වන. “ආර්ථිකය නැවත විවෘත කිරීම” සඳහා වන ඉල්ලීමේ අර්ථය වන්නේ මානව ජීවිතයේ පිරිවැය කුමක් වුවත්, කම්කරු පන්තිය නිර්බාධිතව සූරාකෑම නැවත ආරම්භ කිරීමට වඩා වෙනස් දෙයක් නො වේ.

ට්‍රම්ප් ආන්ඩුව “විනාශකාරී යෝජනාවක්, එනම්, ඒකාකාරව හුදකලා මරන දිනපතා ගොඩගැසීම රට නැවත විවෘත කිරීමේ කුරිරු පිරිවැයක් ලෙස පිලිගැනීමට ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටී යැයි  ඇමසන් හිමිකරු ජෙෆ් බෙසොස් සතු වොෂින්ටන් පෝස්ට්, විවෘත ව පිලිගනී.

ඇත්ත වශයෙන්ම, ඇමරිකානුවන්ට විශාල ජීවිත හානියක් සිදුවිය හැකි කොන්දේසි යටතේ නැවත සේවයට පැමි‌නෙන ලෙස ඉල්ලා නොව අනකර ඇත. පසුගිය සතිය අවසානයේ නිකුත් කරන ලද නවතම පිව් මත විමසුමක දී, ප්‍රශ්න කල අයගෙන් තුනෙන් දෙකක් ආර්ථිකය අකාලයේ නැවත විවෘත කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කලහ.

“ආර්ථික අගුලු‍ දැමීමේ ව්‍යසනය” යන මාතෘකාව යටතේ නෛසර්ගික වශයෙන් නරුම කතුවැකියක වෝල් ස්ටී්‍රට් ජර්නලය ඇසුවේ “හොඳයි, සිකුරාදා බිහිසුනු රැකියා වාර්තාවෙන් පසුව, ඔබ දැන් අගුලු‍ දැමීමට කැමති වන්නේ කෙසේ ද?” මෙම ව්‍යංගයක් ගැබ් වූ ප්‍රශ්නයට පාදක වන ප්‍රස්තුතය වන්නේ ඔවුන් නැවත වැඩට එන්නේ නැති නම්, ඇමරිකානුවන් මිලියන ගනනක් දරිද්‍රතාවයට පත්වන අතර කුසගින්නෙන් පෙලෙනු ඇත යන්න යි. 

වෝල් ස්ටී්‍රට් ජර්නලයට ප්‍රතිචාර දක්වමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) තවත් ප්‍රශ්නයක් මතු කරයි: මිලියන ගනනක ජීවිතවලට බලපාන විනාශකාරී ජීවිත හා සමාජ විනාශය දෙස බලන විට, ඔබ දැන් වෝල් වීදියේ ඇපදීම්වලට කැමති වන්නේ කෙසේ ද?

වසංගතයේ මුල් අවධියේ සිටම ට්‍රම්ප් ආන්ඩුවේ ප්‍රතිචාරය තීරනය වී ඇත්තේ සංගත-මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා මත ය. ආන්ඩුවේ ප්‍රමුඛතාව වී ඇත්තේ වෝල් වීදියේ ආයෝජන හා ධනපතීන්ගේ ධනය ආරක්ෂා කිරීම මිස මිනිස් ජීවිත නො වේ. ඇත්ත වශයෙන්ම, වෝල් වීදියේ ආයෝජන අදායම්කරුවන් හා සමපේක්ෂකයින් ආරක්ෂා කිරීම හෝ වසංගතයට එරෙහිව සටන් කිරීම හා වැඩ කරන ජනතාව ආරක්ෂා කිරීම යන අරමුනු දෙක මුලුමනින්ම නො පෑහේ.

මෙම මූලික සමාජ-ආර්ථික ප්‍රතිවිරෝධය, එනම්, ධනේශ්වර පන්තිය සහ කම්කරු පන්තිය අතර ඇති සමහන් කල නො හැකි ගැටුම, එහි වඩාත්ම තුච්ඡ ප්‍රකාශනය අත්පත් කරගන්නේ මියගිය, රැකියා විරහිත සහ දුගී දුප්පතුන්ගේ සංඛ්‍යාව සහ ලෙජරයේ අනෙක් පැත්තේ, වෝල් වීදියේ කොටස් වටිනාකම් පුපුරන සුලු‍ ලෙස ඉහල යාමේ සහසම්බන්ධය තුලයි.

මාර්තු අග දී ඩොලර් ටි්‍රලියන ගනනක ඇපදීම සම්මත වීමෙන් පසු ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය දල වශයෙන් සියයට 35 කින් ඉහල ගොස් තිබේ. නැස්ඩැක් දර්ශකය එහි 2020 ඉහල මට්ටමක පවතී. මැයි පලමු දින 10 තුල මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 15,000 කින් ඉහල ගිය අතර ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 600 කට වඩා උපයා ගත්තේය.

මරනය හා මිනිසුන් විඳින දුක් වේදනා පිලිබඳ වාර්තා වඩාත් භයානක වන තරමට ධනේශ්වර වෙලඳපොලවල ප්‍රතිචාරය වඩාත් උද්දීපනය වේ. “වෝල් වීදිය” සහ “[කුඩා පරිමාන ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත] මහ වීදිය” අතර වෙනස කෙතරම් ආන්තිකද යත්, දැන් ඒ ගැන සංගත මාධ්‍යවල පුලුල් ලෙස අදහස් දක්වනු ලැබේ.

කොටස් වටිනාකම්වල පුපුරන සුලු‍ වැඩිවීමට හේතුව පැහැදිලිය. ට්‍රම්ප් ආන්ඩුව, සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ද ඇතුලුව රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් ව්‍යවස්ථාදායකයන්ගේ ඒකමතික සහයෝගය ඇතිව, වෝල් වීදිය බේරා ගැනීම සඳහා ඩොලර් ටි්‍රලියන ගනනක් කැප කලේය.

වෝල් වීදියේ ඇති ප්‍රීති ප්‍රමෝදය පැහැදිලි කරමින් අධිකාරවත් ඉකොනොමිස්ට් සඟරාව සිය නවතම කලාපයේ මෙසේ ලියයි. 

වැඩිදියුනු කල මනෝභාවයට බොහෝ හේතු වී ඇත්තේ මහ බැංකුව, වෙනත් මහ බැංකුවලට වඩා නාටකාකාර ලෙස ක්‍රියා කිරීමත්, නොසිතූ ලෙස වත්කම් මිලට ගැනීමත්ය. ඉහල අස්වැන්නක් සහිත “අවදානම්” බැඳුම්කර ඇතුලුව ඊටත් වඩා ආයතනික නය මිලදී ගැනීමට එය කැපවී සිටී. පෙබරවාරි මාසයේදී අක්‍රීය වූ ආයතනික බැඳුම්කරවල නව නිකුතුව සඳහා වෙලඳපොල දර්ශනීය ශෛලියකින් නැවත විවෘත වී තිබේ. සමාගම් පසුගිය සති හය තුල ඩොලර් බිලියන 560 ක බැඳුම්කර නිකුත් කර ඇති අතර එය සාමාන්‍ය මට්ටමට වඩා දෙගුනයකි. පාඩු ලැබූ මුහුදු සංචාර සමාගම්වලට පවා ඉහල අගයන්ගෙන් ආදායම් රැස් කිරීමට හැකි වී තිබේ. විශාල සමාගම්වල බංකොලොත් භාවය අවහිර කර ඇත. මහ බැංකුව, ඇත්ත වශයෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රවාහය දිරිගන්වා ඇත. කොටස් වෙලඳපොල මේ ඉඟිය වටහාගෙන ඇත.

පාලක ප්‍රභූව බේරා ගැනීම සඳහා අසීමිත මුදල් ප්‍රමානයක් වියදම් කර ඇති අතර, එමඟින් ජාතික නය විශාල වශයෙන් වැඩි කරයි - ට්‍රම්ප් පරිපාලනය, දේශපාලන සංස්ථාපිතය සහ ධනවාදී මාධ්‍ය ඉල්ලා සිටින්නේ වැඩකරන ජනතාව නැවත රැකියාවට පිවිසිය යුතු බවයි. වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ රැකියා විරහිතයින්ට ආධාර සැපයීමට මුදල් නොමැත. වෝල් ස්ටී්‍රට් ජර්නලය නිව්යෝක් හි ඩිමොක්‍රටික් අන්ඩුකාර ඇන්ඩෘ කියෝමෝගේ වචන අනුමත කරමින් උපුටා දක්වයි: “රජය හැකි සෑම දෙයක්ම කර තිබේ. සමාජය හැකි සෑම දෙයක්ම කර ඇත.”

ඇත්ත වශයෙන්ම, එය කිසිවක් කර නැත. වසංගතයට එරෙහි සටන හුදෙක් වෛද්‍ය පෙරමුනෙහි ගෙන යා නොහැකි බව ට්‍රම්ප් පාලනාධිකාරිය නැවත සේවයට පැමිනීමේ ඉල්ලීම පැහැදිලි කර තිබේ. කම්කරු පන්තිය සියල්ලටම වඩා ධනේශ්වර ක්‍රමයට එරෙහි දේශපාලන හා සමාජ අරගලයකට මුහුන දී සිටී.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ධනපති පන්තියේ සහ සමස්ථ ධනපති ක්‍රමයේ ආර්ථික උවමනාවන්‍ට සහනයක් නොදී විරුද්ධ වන, සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යා යුතුය.

මිලියන ගනනක් ජීවිත පරදුවට තබා ඇති පෙර නොවූ විරූ ජාතික හා ගෝලීය අර්බුදයක් හමුවේ, ජනගහනයෙන් අති බහුතරයක් වන කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා සමාජ ප්‍රතිපත්තිය පිලිබඳ සංගත-මූල්‍ය ආඥාදායකත්වය අවසන් කිරීමක් ආර්ථික ජීවිතය සමාජවාදී ප්‍රතිසංවිධානය කිරීමේ පදනම මත සම්පත් යලි යෙදවීමක් අවශ්‍ය කෙරී ඇත.

මෙම තීරනාත්මක තත්වය තුල සසප පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරයි:

■වසංගතය පැතිරීම නවත්වන තුරු නැවත සේවයට පැමිනීම සඳහා වන සියලු‍ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සහ සියලු‍ සේවා ස්ථානවල ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න තත්වයන් ස්ථාපිත කිරීම.

■නැවත සේවයට පැමිනිය හැකි වන තෙක් යහපත් ජීවන තත්වයක් සහතික කිරීම සඳහා ප්‍රමානවත් වන පරිදි සියලු‍ පවුල් සඳහා මාසික ආදායමක් ලබා දීම. මෙම ආදායම, උකස් කිරීම්, කුලී, පොලී ගෙවීම් සහ උපයෝගිතා බිල්පත් අත්හිටුවීම සහ ශිෂ්‍ය නය අවලංගු කිරීමක් සමඟ ලබාදිය යුතුය.

■ව්‍යාපාරයේ ආර්ථික ශක්‍යතාව සහ එහි මෙහෙයුම් නැවත ආරම්භ වන තෙක් එහි සේවකයින්ගේ වැටුප් හා වැටුප් පවත්වා ගැනීමට ප්‍රමානවත් වන මුදලක් කුඩා ව්‍යාපාරවලට ලබාදීම

■කොරෝනා සහන, ආධාර සහ ආර්ථික ආරක්ෂන පනත ක්ෂනිකව ප්‍රතික්ෂේප කිරීම සහ පෞද්ගලික අයිතිය යටතේ පවතින සියලු‍ මූල්‍ය ආයතන වෙත බෙදා හරින ලද සියලු‍ම අරමුදල් ආපසු ලබා ගැනීම.

■සියලු‍ විශාල මූල්‍ය හා ආයතනික ආයතන අත්පත් කර ගැනීම සහ ඒවා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන මහජන උපයෝගිතා බවට පරිවර්තනය කිරීම.

■සමාජයේ ඉහලම තනිපුද්ගලයන් සියයට 5ට අයත්වන අයගේ සමපේක්ෂන ආයෝජන වලින් ලබා ගන්නා වැටුප් සහ නම්නොකල ආදායම් වලින් අයකරගන්නා බදු ප්‍රතිශත අවම වශයෙන් සියයට 90 දක්වා දැවන්ත ලෙස ඉහල දැමීම.

■සමාජමය වශයෙන් විනාශකාරී මිලිටරි-ආයතනික සංකීර්නය විසුරුවා හැරීම සහ එහි දැවැන්ත අයවැය සමාජ-ප්‍රගතිශීලී අරමුනු සඳහා හරවා යැවීම.

ධනේශ්වර පන්තියේ පවත්නා දේශපාලන පක්ෂ හා ආයතනික ව්‍යූහයන් තුලින් මෙම වැඩපිලිවෙල සාක්ෂාත් කරගත නොහැකිය. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු‍ ගැන්වීම තුලින් එය සටන් කල යුතුය. මෙම වැඩ සටහනේ පරමාර්ථය ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිසංස්කරන නොව, කම්කරු පන්තිය විසින් අරගලය තුල නිර්මානය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රමයකින් එය ප්‍රතිස්ථාපනය කිරීමයි.

සියල්ලටත් වඩා, මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීමේදී ඇමරිකානු කම්කරු පන්තිය ගෝලීය ධනවාදයට එරෙහි සටනේදී එහි ස්වාභාවික සගයන් වන ලොව පුරා කම්කරුවන්ගේ සහයෝගය ඉල්ලා සිටිය යුතුය. සෑම රටකම කම්කරුවන්ට බලපාන වසංගතය, සමාජවාදය සඳහා වන ගෝලීය අරගලය තුළ ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.

සසප, 2020 ජාතික මැතිවරනයට තරඟ කරයි. එහි ජනාධිපති සහ උප ජනාධිපති අපේක්ෂකයින් වන ජෝසෆ් කිෂෝර් සහ නොරිස්සා සැන්ටා කෲස් මෙම විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් කිරීම සඳහා මෙම උද්ඝෝෂනය මගින් ලබා දී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇත.

මානව වර්ගයාගේ අනාගතය රඳා පවතින මෙම තීරනාත්මක අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ වන ලෙස අපි කම්කරුවන්ට හා තරුනයින්ට, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ට සහ සමාජවාදී සමානතා පක්ෂයේ ආධාරකරුවන්ට ආයාචනා කරමු.

Loading