සෞඛ්‍ය ආරක්ෂක උපකරන හා සහනාධාර නොලැබීම පිලිබඳව මහනුවර කම්කරුවෝ විරෝධය පල කරති

කොරෝනා වසංගතය මර්දනය කිරීමේ නාමයෙන් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව හිටිඅඩියේ පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාවට ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුන දෙන්නට සිදුවිය.  අත්‍යවශ්‍ය දෑ සම්පාදනය කිරීමේ ලා කවර හෝ විධිමත් වැඩපිලිවෙලකින් තොරව සමස්ත දිවයිනම අගුලුලෑම හේතුවෙන් එදිනෙදා වේල පිරිමහගන්නා බොහෝ දුගීන්ට දිනකට එක් වේලක් හෝ සපයා ගැනීම දුෂ්කරවිය. මේ හේතුවෙන් ආන්ඩුව කෙරෙහි දැඩි මහජන විරෝධයක් වර්ධනය වෙමින් පවතී. 

අවශ්‍ය ආරක්ෂක උපකරන ලබා නොදී තමන් වසංගතයට ගොදුරුවීමේ අන්තරායට ඇද දැමීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ සහනාධාර සේවාවන්හි නිරත කම්කරුවන් අතර ද ආන්ඩුව කෙරෙහි වෛරයක් නිර්මානය වී ඇත.  

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ දිවයිනේ විවිධ පලාත්වල කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් මුනගැසී වසංගතය මධ්‍යයේ ඔවුන් මුහුනදෙන දුෂ්කරතා පිලිබඳව සාකච්ඡා කලහ.

පේරාදෙනිය රෝහලේ හෙද නිලධාරිනියක් මෙසේ පැවසුවාය. ”රෝහල් පාලකයන් මෙන්ම සමස්තයක් ලෙස ආන්ඩුව ද ජනමාධ්‍ය මගින් කුමක් කතා කලත් ඇත්ත තත්වෙ කොරෝනා රෝගීන් හා සමීපව කටයුතු කරන රෝහල් කාර්ය මන්ඩලය පිලිබඳව කිසිදු තැකීමක් නැති බවයි.” 

අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත මෙවලම් සහ වෙනත් පහසුකම් කිසිවක් සපයා නැති බව සඳහන් කල ඇය මෙසේද පැවසුවාය: 

”අපිට උදේ 7.00-5.00 වන තුරු එක දිගට පැය දහයක් සේවය කරන්න වෙලා තියෙන්නේ, උන, කැස්ස, නිව්මෝනියා වැලඳුන රෝගීන් පලමුව ඇතුලුවන්නේ මූලික ප්‍රතිකාර ඒකකයටයි, ඒත් අපිට ප්‍රමිතිගත පීපීඊ (පුද්ගලික ආරක්ෂක උපකරන) හෝ N95 මුහුනු ආවරන ලබා දෙන්නේ නැහැ” 

ගෙවල්වල නිපදවූ ප්‍රමිතියෙන් තොර පිපීඊ ඇඳුම් ලබාදෙන බවත් ඒවා පැලඳ රෝගීන් සමග කටයුතු කිරීම අපහසු බවත් ඇය සඳහන් කලේ කෝපයෙනි. කිසිදු කොරෝනා පරීක්ෂනයක් රෝහලේ නොකරන බවද පීසීආර් පරීක්ෂන සඳහා මහනුවර රෝහලට රෝගීන් යවන බව ද ඇය ප්‍රකාශ කලාය.

ඇඳිරි නීතිය ලිහිල් කල සැමවිටම ඉවක් බවක්  නොමැතිව මහජනතාවගේ පැමිනීම රෝහල් කාර්ය මන්ඩලවලට අනතුරුදායක තත්වයක් බව ඇය පෙන්වා දුනි. 

ආන්ඩුව සියයට 30 සිට 50 දක්වා ප්‍රමානයක් රාජකාරියට කැඳවිය යුතු බවට ප්‍රකාශ කල ද පේරාදෙනිය රෝහලේ ආයතන ප්‍රධානියා සියලුම සේවකයන් කැඳවීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

පේරාදෙනියේ ගත් තීරනය හා සමාන තීන්දුවක් දිවයින පුරා ක්‍රියාත්මක වුවහොත් මුලින්ම අප්‍රසාදයට ලක් වන්නේ රෝහල් කාර්ය මන්ඩලය බවත් එවැනි තත්වයකදී දැනට කෙරෙන ප්‍රතිකාර සම්පූර්නයෙන් බිඳ වැටීමකට ලක් විය හැකි බවද ඇය කියා සිටියාය.

මහනුවර නගරසභාවෙහි සේවය කරන්නන් වැඩි ප්‍රමානයක් වෙසෙන මහයියාව ප්‍රදේශයේ කම්කරු පීඩිත ජන කොටස්ද කොරෝනා වසංගතය හේතුවෙන් දුෂ්කර තත්වයකට ඇද වැටී ඇත.  පවුල් 3072 පමන දිවි ගෙවන මෙහි සියයට 60ක් නගර සභාවේ ද සියයට 40 ක් දෛනිකව කෙරෙන රැකියා වල ද යෙදෙති. වසංගතය නිසා දෙමසකට ආසන්න කාලයක් නගරය වැසීම හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපායන් ඇනහිට ඇත. 

ආන්ඩුව හෝ වෙනත් කිසිදු අයෙකු ඔවුන්ට සහනයක් ලබා දී  නොමැති බව ඔවුහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ. කෝවිඩ් 19 සමග මතුවූ තත්ත්වය හේතුවෙන් රජය විසින් දෙනු ලැබූ රුපියල් 5000 දීමනාව පවා නියමිත අයුරින් නොලැබෙන බව ඔවුන් වැඩි දෙනෙක් කියා සිටියහ.

ග්‍රාම නිලධාරිනිය සමග කටයුතු කරන කිහිප දෙනෙකු මෙම කටයුත්තට සම්බන්ධවන අතර, ඔවුන්ගේ අනුදැනුම මත ඇයට කටයුතු කිරීමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා  දුනි. පොදුජන පෙරමුනේ නියෝජිතයකු වන සෙල්වරාජ් සහනාධාර බෙදීමේදී දැඩි බලපෑමක් කරන බවද ජනතාව ප්‍රකාශ කර සිටී.

මේ තත්ත්වය තුල තමන් ජීවිතය ගැටගසා ගන්නේ ගිනි පොලියට මුදල් ගැනීමෙන් බව ඔවුහු තවදුරටත් පැවසූහ. ඔවුන් කියා සිටියේ “රජය පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කර නගරය වසා දැමීම ජීවිතයට මහා හෙනයක් පාත්වුනා හා සමාන” බවයි.

කදිරවේලි සෙල්වදොරේ  මහනුවර නගර සභාවේ විශ්‍රාමික සේවකයෙකි. “අපි මාස දෙකක් තිස්සේ ජීවත් වෙන්න ලොකු යුද්ධයකයි ඉන්නෙ. මුදල් ගිනි පොලියට අරන් තමයි ගොඩක් අය දරු මල්ලන්ට කන්න දෙන්නෙ, ඒ අතර තමයි රුපියල් පන්දහසක් මේ අයට නොලැබෙන්නේ, මේක හරි අසාධාරනයක්” යැයි ඔහු ප්‍රකාශ කලේය.

ගිනි පොලී කරුවන්ට නය වී ඇති ඔවුන් මසකට සියයට 20 ක් වැනි ඉහල පොලියක් ගෙවිය යුතු ය. එක් අයෙකු රුපියල් 10000/= සිට 25000/=දක්වා නය වී ඇති බවත් මේ වන විට පොලිය පවා ගෙවා ගත නොහැකි අන්ත අසරන තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි විය.

නාට්ටාමි වෘත්තීයේ නියැලෙන 45 හැවිරිදි ස්ටීවන් මෙසේ පැවසීය: “මම වගේ නාට්ටාමි වැඩ කරන අය ගොඩක් මෙහෙ ඉන්නවා, මාස දෙකක් කිසිම වැඩක් නැහැ, සතයක් අතේ නැහැ, ලමයි දෙන්නයි ගෙදර කෙනා ඉන්නේ, ඒ අය ජීවත් කරන එකයි ප්‍රශ්නේ?” 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආන්ඩුව එදිනෙදා කුලියක් කර දිවිගෙවන මිනිසුන් ගැන නොසිතා හදිසියේ ඇඳිරි නීතිය පැනවූ බැවින් ඔවුන් නොසිතූ ආකාරයෙන් අසරන වී ඇති බවයි.

“රුපියල් 5000 ගන්න ගියාම ග්‍රාමසේවක නෝනා ප්‍රකාශ කරනවා ඡන්ද ලැයිස්තුවේ නම නැති අයට දෙන්නේ නැහැ කියලා, මගේ නම ඒ ලැයිස්තුවේ තිබියදීත් මට මුදල් දුන්නේ නැහැ, ඒකට හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ, ආන්ඩුව අපි මරා දාන්න ලැහැස්ති යි” පැවසීය.

තම දරුපවුල ජීවත් කිරීමට පසුගිය මාස දෙකේ අප්‍රමාන දුක් ගැහැට විඳි බවත් අවසානයේ ඔහුගේ හිතවතෙකුගෙන් වරින් වර ඔහුට මුදල් නයට ලබාගැනීමට සිදු වූ බවත් ඔහු කීවේ දැඩි කනස්සල්ලෙනි.

මේ වන විට රුපියල් 20,000 ක් පමන නය වී ඇති බවත් නැවත එය ආපසු ගෙවීමට නොහැකි නිසා අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බවත් ඔහු පැවසුවේය. 

හන්තාන වත්තේ විශ්‍රාමික කම්කරුවකු වන ධනපාලන් තමා මුහුන දී සිටින තත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලේ මෙසේය: “දැන් නම් හොඳටම අමාරුයි ජීවත් වෙන්න, මං හිතුවේ නෑ මේ වගේ වෙයි කියලා, අපි කොහොමටත් හයිය හත්තියෙන්  වැඩ කල මිනිස්සු, එහෙත් අපි දැන් ඇද වැටිලා, අපේ අනිත් මිනිස්සු ගැන කියන්ට දෙයක් නැහැ, ආන්ඩුවේ දේශපාලනඥයෝ වගේම විපක්ෂයේ අය, වෘත්තීය සංගම් කාරයො මේ කවුරුවත් හොයා බැලුවේ නැහැ,”   

ආන්ඩුවෙන් ලබාදෙන රුපියල් 5000 මහත් පරිශ්‍රමයක් යොදා ලබාගත්තද එය හැරෙන්නවත් ප්‍රමානවත් නොවන බව ඔහු කීවේය. තව දුරටත් අදහස් දැක්වූ ඔහු දෙමසක් තුල තමා ඇතුලු කම්කරු පවුල් සිය ගනනක් අන්ත දුක්ඛිත තත්වයකට පත්ව ඇති බව කියා සිටියේය.

වතු වල සහ නගරයේ කුලී වැඩ නොමැති වීම හේතුවෙන් ආදායම් නොමැති වී ඇති බවත් ඔහුගේ දුව නිපදවන මුඛ ආවරන කිහිපයක් අලෙවි කිරීමෙන් ජීවිතය ගැට ගසා ගන්නා බවත් ඔහු අවසානයේ පැවසීය.

කොවිඩ් 19 සමග ඉස්මත්තට ගෙන ඇති මුස්ලිම් විරෝධය පිලිබඳව මහනුවර  ප්‍රදේශයේ  විශේෂඥ වෛද්‍යවරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට සිය අදහස් දැක්වූයේය.

ධනපති පාලකයින් දශක හතකටත් වැඩි කාලයක් පුරා දෙමල සහ මුස්ලිම් විරෝධය පෙරට ගෙන කටයුතු කල බව පැවසූ ඔහු මේ මොහොතේ කොරෝනා වසංගතය ද ඊට දඩමීමා කරගෙන ඇති බව සඳහන් කලේය. පසුගියදා බීබීසී ප්‍රවෘත්ති සේවයට රජයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වන චන්දන පෙරේරාගේ කරුනු දැක්වීම ඔහු එයට සාදෘශ්‍යයක් ලෙස ගෙනහැර දැක්විය. 

මුස්ලිම් මල සිරුරු භූමදානයට ඉඩ හලොත් එය ජෛව බෝම්බයක් ලෙස භාවිතා කරාවි යැයි රජයට බියක් පවතින බව පෙරේරා බීබීසීයට ප්‍රකාශ කලේය. ඉන් අවධාරනය කෙරෙනුයේ මුස්ලිම් ජනයා රෝගය සමාජගත කිරීම සඳහා මල සිරුරු භාවිතා කලහැකි බවයි.

ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතේ ඇත්ත බොරුව හා කැත යථාර්ථය යනුවෙන් පසුගිය දිනක පලවූ ලිපියකින් හෙලි කෙරුනේ මුස්ලිම් බහුතරයක් වසංගතයට බඳුන් වන බව තහවුරු කිරීමට දියත් කල සංගනනයක් නොපිට පෙරලීම හේතුවෙන් එය ප්‍රසිද්ධ නොකිරීමට තීරනය කර ඇති බවය. එහි ප්‍රතිඵල ගතහොත් පරීක්ෂනයට බඳුන් වූ කොරෝනා ආසාදිතයන් 191 කින් මුස්ලිම්වරුන් සිට ඇත්තේ සියයට 6.3 ක සුලු ප්‍රමානයක

එලෙස දීර්ඝ වශයෙන් විස්තර කල ඔහු මෙසේ ද පැවසීය: “අනිත් එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ “Covid 19 exit strategy” යෝජනාව ජනාධිපති ට ලබාදී ඇතිව තියෙනවා. එයින් මුස්ලිම් ජනයා වාසය කරන ප්‍රදේශ දැඩි සැලකිල්ලකට ගතයුතුයැයි කියලා වාර්තා වෙනවා.” 

රජයට එරෙහිව ගොඩනැගෙන මහජන විරෝධය වෙනතකට යොමු කිරීම වස් මෙම වාර්ගික ප්‍රකෝපකරනයන් ඉස්මත්තට ගෙනඇතිබව ඔහු අවසානයේදී පැවසීය.

Loading