අසාන්ජ් සඳහා නිදහස, යුද්ධයට එරෙහි හා සමාජවාදය සඳහා සටනෙන් වෙන් කල නොහැකිය

මෙම ලිපිය මැයි 8 වෙනිදා ඉංග්‍රීසි බසින් පලවිය. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් 2020 මැයි 2 දා පවත්වන ලද ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය ඇමතූ සමාජවාදී සමානතා පක්ෂයේ (බ්‍රිතාන්‍ය) ප්‍රමුඛ සාමාජික තෝමස් ස්ක්‍රිප්ස්ගේ කථාව පහත දැක්වේ. ස්ක්‍රිප්ස් විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව දිගින් දිගටම සිදුවන රාජ්‍ය හිංසනය පිලිබඳව පුලුල් ලෙස ලියා ඇත. 

සහෝදරවරුනි, මිත්‍රවරුනි, මේ මැයි දින රැලියේදී, සිරගත කරන ලද විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් සමඟ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහයෝගයෙන් කටයුතු කරන බව අපි නැවත තහවුරු කරමු.

වීර ජනමාධ්‍යවේදියා වන ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ බෙල්මාර්ෂ්හි උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරයේ සිර මැදිරියක සිරවී කෝවිඩ්-19 වසංගතයට මුහුන දී සිටී.

ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ ඊටත් වඩා දරුනු තත්වයකට ගොදුරු කිරීම සඳහා පිටුවහල් කිරීමක් ඉල්ලා සිටින ඇමරිකානු ආන්ඩුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් සිර භාරයේ තබාගෙන සිටින නිර්දෝශී මිනිසෙකි.

තෝමස් ස්ක්‍රිප්ස්ගේ කථාව වීඩියෝවේ 1:23:27 ට ආරම්භ වේ.

ඔවුන්ට අනුව, අසාන්ජ් වැරදිකරුවෙකි. මන්දයත්, අධිරාජ්‍යවාදී ආන්ඩු විසින් සිදු කරන ලද සහ සංගත මාධ්‍යයන් විසින් වසන් කරන ලද කුරිරු යුද අපරාධ, වධහිංසා සහ රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරව් කිරීම නිසාය. 

ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ පාලක පන්තියේ ම්ලේච්ඡත්වය පිලිබඳ නිරුවත විකිලීක්ස් එලිමහනට ගෙන ආවේය. ලොව පුරා කම්කරුවන් හා තරුනයින් අතර මෙම අපරාධ වලට එරෙහි විරෝධයක් අසාන්ජ් විසින් උද්දීපනය කරනු ලැබුවේය. 

ධවල මන්දිරයේ, ඩව්නිං වීදියේ, කැන්බරාහි සහ ඔවුන්ගේ යුදවැදද්න්ට සහ ඔවුන්ගේ සහචරයින්ට මෙය දරාගත නොහැකි විය. ඔහුගේ ආදර්ශය අනුගමනය කල හැකි අයට අනතුරු ඇඟවීමක් ලෙසත්, ඒකාධිපති ලෙස විරෝධය මර්දනය කිරීම සඳහා පූර්වාදර්ශයක් සැපයීමටත්, අසාන්ජ් විනාශ කිරීමට අවශ්‍ය ඕනෑම ක්‍රමයක් භාවිතා කිරීමට තීරනය කෙරිනි.

කොරෝනා වෛරස් අර්බුදය ධනේශ්වර පර්යායේ, ආර්ථික, සමාජ දේශපාලනික හා සදාචාරාත්මක බංකොලොත් භාවය සංක්ෂිප්ත කරන්නා සේම, අසාන්ජ්ට සාපරාධී ලෙස සැලකීම නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීම සඳහා ධනවාදය ම්ලේච්ඡත්වයට පල්ලම් බැසීමේ අවශ්‍යතාවය යි. යටත් විජිත යුද්ධ සහ ම්ලේච්ඡ කප්පාදු පැනවීම විසින් දේශපාලන මර්දනය ඉල්ලා සිටී.

වසර ගනනාවක් පුරා අසාන්ජ් අත්තනෝමතික ලෙස ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රඳවා තබන ලදී. ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප වූ අතර ඔහුගේ පෞද්ගලික රහස්‍යභාවය  ආක්‍රමනය කෙරුනේ ඔහුගේ නීති නියෝජිතයන් සමඟ රහස්‍ය සංවාද සීඅයිඒ සංවිධානය සිදු කල ඔත්තු බැලීමේ මෙහෙයුමක් මගින් පටිගත කිරීම ලෙසිනි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉක්වදෝර ආන්ඩුව විසින් බ්‍රිතාන්‍ය බලහත්කාරී බලකායක් අතට ඔහු භාර කිරීමෙන් අනතුරුව අසාන්ජ් උපරිම ආරක්ෂිත බන්ධනාගාරයක් තුලට යවන ලද අතර එහිදී ඔහුගේ නීතිඥයින්ට හෝ ඔහුගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ද්‍රව්‍යවලට ප්‍රවේශවීමෙන් ඔහුව නිරන්තරව වලකන ලදී.

වෛද්‍ය විශේෂඥයන්ගේ සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නිල්ස් මෙල්සර්ගේ මතය අනුව වද හිංසා පැමිනවීමේ මෙම දශකය මානසික වධහිංසාවෙන් සමන්විතය. අසාන්ජ්ගේ සෞඛ්‍යයට සිදු වූ භයානක හානිය නිසා ඔහු විශේෂයෙන් එක්සත් රාජධානියේ බන්ධනාගාර හරහා පැතිරෙමින් පවතින කෝවිඩ්-19 රෝගයට ගොදුරු වීමේ තර්ජනයට ලක් කෙරී ඇත. ඔහුට නිදන්ගත පෙනහල රෝගයක් ඇති අතර ඔහුගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය අඩපන වී ඇත.

එහෙත්, සැබවින්ම විකාරරූපී පරිච්ඡේදයකදී, බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා අඩු අවදානමක් සහිත සිරකරුවන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කරන විට, අධිකරන අමාත්‍යාංශය ඕස්ට්‍රේලියානු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ ඔහු අච්චුවකට නියම නොවූ නිසා අසාන්ජ් නිදහස් කිරීම සඳහා සලකා බලන්නේ නැති බවයි.!

මාර්තු 25 වන දින අසාන්ජ්ගේ නීති උපදේශක කන්ඩායම ඔහුව ඇප මත මුදා හරින ලෙස අභියාචනයක් ඉදිරිපත් කලේ, විශේෂඥයන් විසින් අනතුරු අඟවන පරිදි වැඩිදියුනු වෙමින් පවතින්නාවූද බන්ධනාගාර පද්ධතිය හරහා ලැව් ගින්නක් මෙන් පැතිරීමට ඉඩ ඇත්තාවූද වසංගතය තත්වය හේතුවෙන් ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති “සැබෑ” සහ “මාරාන්තික” තර්ජනය සැලකිල්ලට ගෙනය. ෆැසිස්ට් අධිකරනයක පලිගැනීමත් සමඟ විනිසුරු වැනේසා බ්‍රයිට්සර් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කලාය.

මසකට පසු, සිරකරුවන් 300 කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ආසාදනය වී ඇති බව සැලවූ අතර තවත් 1,700 ක් පමන රෝගීන් බවට සැක කෙරෙයි. බන්ධනාගාර කාර්ය මන්ඩලයේ පස් දෙනෙකු සහ අවම වශයෙන් බෙල්මාර්ෂ්හි එක් අයෙකුද ඇතුලු සිරකරුවන් පහලොවක් මියගොස් ඇත.

නොවැලැක්විය හැකි නිගමනය නම්, කෝවිඩ්-19 රෝගය ඔවුන් වෙනුවෙන් නින්දිත රාජකාරියක් ඉටුකරමින්  කටයුතු විසි එක්වන සියවසේ වඩාත්ම වැදගත් මාධ්‍යවේදියා ඝාතනය කරනු දැකීමට අසාන්ජ්ගේ ගහලයෝ බලාපොරොත්තු වන බවයි.

අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල සහ ඔහුට එරෙහි මඩගැසීමේ උද්ඝෝෂනට සම්බන්ධ වූ සියලු දේශපාලන ප්‍රවනතාවන්ගේ සහ පුද්ගලයින්ගේ අත්වල ලේ තැවරී ඇත. ඔවුන් කිසි විටෙකත් සමාව නොලැබෙන දරුනු අපරාධයකට සහභාගී වී ඇත.

අසාන්ජ් ලෝක අධිරාජ්‍යවාදයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කල නිසා ඔහු වීරයෙකු ලෙස පුලුල් ලෙස සැලකේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අසාන්ජ් දෙස බලන්නේ, සිය ජීවිත හා ජීවනෝපායන් ගැන බියෙන් සිටින බිලියන සංඛ්‍යාත ජනතාවට එරෙහිව පාලක ප්‍රභූව විසින් එල්ල කෙරී ඇති පන්ති යුද්ධයේ සිරකරුවෙකු ලෙසයි. ඔහුගේ ඉරනම බැඳී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහාත්, යුද්ධයට එරෙහිවත් සහ සමාජවාදයට සඳහාත් අරගලය සමඟ ය. ඔහු ආරක්ෂා කල හැක්කේ ලෝකයේ කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම තුලින් පමනි. 

වසංගතයේ දුක් වේදනා මධ්‍යයේ වුවද, අසාන්ජ්ගේ නඩුව අමතක නොකල යුතුය අමතක නොකරනු ඇත. ආන්ඩු සහ ඔවුන්ගේ අපරාධ පිලිබඳ සත්‍යය දැන ගැනීමට මහජනතාවට ඇති අයිතිය වෙනුවෙන් ඔහු ධෛර්ය සම්පන්නව සටන් කර තිබේ. ට්‍රම්ප්ගේ සිට බොරිස් ජොන්සන් දක්වා පාලක පන්තියේ දේශපාලන නියෝජිතයෝ අද කොරෝනා වෛරසයට ප්‍රතිචාර දක්වමින් සත්‍යයට ප්‍රවේශ වීම ජීවිත හා මරන අතර ප්‍රශ්නයක් බව අපට මතක් කර දී තිබේ. ඇත්ත වශයෙන්ම එය විප්ලවීය ප්‍රශ්නයකි! 

චිකාගෝ හි හේමාකට්හි දිවි පිදූවන්ගේ ස්මරනයන්ගෙන් ඇරඹි, මැයි දිනයේ මූලාරම්භයේ සිටම එහි වූ ශ්‍රේෂ්ඨ  ජාත්‍යන්තරවාදී සම්ප්‍රදායන් සමග නැගී සිටින ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂ, සෑම තැනකම රාජ්‍යයන් ඇටවූ බොර නඩුවල සහ තවත් හිංසාවන්ගේ ගොදුරු බවට පත් වූවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන් පෙල ගස්වා තිබේ. දිවි පිදූ ඉතාලි ඇමරිකානු කම්කරුවන් වූ සැකෝ සහ වැන්සෙට්ටි වෙනුවෙන් ලෝක කම්කරු පන්තිය විසින් පෙන්වනු ලැබ ඇති ජාත්‍යන්තර සහයෝගීතාවයේ සම්ප්‍රදාය වෙනුවෙන් අපි පෙනී සිටිමු. අපි කියනවා, අසාන්ජ් ජීවත් විය යුතුයි, ඔහු නිදහස් විය යුතුයි! 

ඔහුගේ ජීවිතයට ඇති තර්ජනය බරපතලයි මෙන්ම ආසන්නයි. නමුත් මෙය ශෝකවීමට කාලය නොවේ; මෙය ක්‍රියා කිරීමට කාලයයි. හජාජාක සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දේශපාලන බලපෑම වර්ධනය වෙමින් පවතී. අසාන්ජ්ගේ නිදහස සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අපගේ දශකය පුරා පැවති උද්ඝෝෂනය ගැඹුරු කිරීමට අපි අද මෙහි ප්‍රතිඥා දෙමු. ලොව පුරා සිටින කම්කරුවන්ට මිනීමරු පාලක පන්තියකට මුහුන දීමට හා ඔවුන් පරාජය කිරීමට බල කෙරෙද්දී, අසාන්ජ් නිදහස් කිරීමේ අරගලය ධනවාදයට එරෙහිවත් හා සමාජවාදය සඳහාත් අරගලයේ කේන්ද්‍රීය ස්ථානයක් ගනී.

Loading