ශ්‍රී ලංකාවේ ජනාධිපති වසංගතය තිබියදී “ආර්ථිකය යලි විවෘත කරයි”

මෙම ලිපිය මැයි  13 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය

කොරෝනා වෛරස් වසංගත පැතිරීමේ තර්ජනය නො තකමින්, සෞඛ්‍ය බලධාරීන් විසින් අතිශය අන්තරායකාරී ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති කොලඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ද ඇතුලුව මුළු රටේම ආර්ථිකය සඳුදා සිට "යලි විවෘත කිරීම” ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාවට දමනු ලැබුවේය.

ශ්‍රම බලකායෙන් තුනෙන් පංගුවක් පමන ආපසු වැඩට කැඳවමින් රාජ්‍ය ආයතන හා මහ ව්‍යාපාර විවෘත කරනු ලැබ තිබේ. සති දෙකකට පමන පෙර ම ප්‍රධාන අපනයන කර්මාන්තවලට යලි වැඩ ඇරඹීමට ආන්ඩුව අවසර දී තිබුනි.

කම්කරුවන්ගේ ගමන් බිමන් අධීක්ෂනය කිරීම සඳහා දුම්රිය, දුම්රිය ස්ථාන හා බස් නැවතුම්පොලවල සන්නද්ධ මිලිටරි භටයන් ව රඳවනු ලැබ ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහනට අනුව, බස්නාහිර පලාත තුල පොලිස් භටයන් 10,000ක් යොදා තිබේ. රාජ්‍ය ඔත්තු සේවය හා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් මෙම මෙහෙයුමට සම්බන්ධ කරනු ලැබ ඇත.

කොලඹ දී දුම්රියකට නැගීමට ප්‍රථම කම්කරුවෙකු පරීක්ෂා කරන සොල්දාදුවන්

අප්‍රේල් 20දා ජනාධිපති රාජපක්ෂ මාධ්‍යට සඳහන් කලේ, කොලඹ තුල “යුද සමයේ” පියවරයන් සූදානම් කරන ලෙස තමන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්නට උපදෙස් දී ඇති බව යි. අප්‍රෙල් 27දා ආන්ඩුව කොලඹට විශාල සොල්දාදුවන් සංඛ්‍යාවක් යවන ලද අතර, ඔවුන් පාසල් 16ක රඳවනු ලැබ සිටී.

මෙම මෙහෙයුමට කඩතුරාව ලෙස යොදාගන්නේ, “සමාජ දුරස්ථකරනය” හා අනෙකුත් සෞඛ්‍යාරක්ෂන උපදෙස් මහජනයා විසින් පිලිපදින බව සහතික කිරීම යි. එහෙත් සැබෑ හේතුව වන්නේ, කොවිඩ්-19 දිගට ම පැතිරෙද්දී ආපසු වැඩ යාම කෙරෙහි මතුවන ඕනෑම විරෝධයක් මැඩලීම යි.

පලල් ව පැතිරුනු විරෝධය පෙන්නුම් කරමින්, කොලඹ හා අනෙක් නගරවල බොහෝ සේවකයන්  සඳුදා වැඩට වාර්තා කලේ නැත. ආන්ඩුව දුම්රිය 47ක් සූදානම් කර තිබුන ද ධාවනය කලේ 10ක් පමනක් බව බලධාරීන් පිලිගත්තේ ය. 2,800ක් පමන කල්තබා ආසන වෙන්කර තිබුන ද ගමන් කලේ 997 දෙනෙක් පමනි. කොලඹ හා අනෙකුත් ප්‍රදේශවල, බස්රථ 5,200ක් සූදානම් කර තිබුනු නමුත් 3,200ක් පමනක් ධාවනය වූයේ, රියැදුරන් හා කොන්දොස්තරවරු වැඩට වාර්තා නො කිරීම සහ අඩු මගීන් සංඛ්‍යාව හේතුවෙනි.

ආර්ථිකය යලි විවෘත කිරීම සාධාරනීකරනය කිරීම ඉලක්ක කරගනිමින් “කොවිඩ්-19 දැන් සතුටුදායක මට්ටමකට පාලනය කොට තිබෙනවා” යි සඳුදා නිකුත් කල ප්‍රකාශයක අගමැති මහින්ද රාජපක්ෂ ව්‍යාජ ලෙස කියා සිටියේ ය.

“එක් අතකින් රෝගය පැතිරීම වැලැක්වීමට පියවර ගැනීමටත්, අනෙක් අතින් සාමාන්‍ය තත්ත්වය ප්‍රතිස්ථාපනය කිරීමටත්” ආන්ඩුවට සිදු වී ඇති බව එම ප්‍රකාශය තුල ම අගමැති සඳහන් කලේ ය.

වසංගතය පාලනය කිරීමට අසමත් ව තිබියදීම කම්කරුවන්ගේ ජීවිත අනතුරේ හෙලමින් ව්‍යාපාර යලි විවෘත කරමින් සිටින, අධිරාජ්‍යවාදී රටවල් ශ්‍රී ලංකාව විසින් ද අනුගමනය කරමින් සිටින බව අගමැතිවරයා පැහැදිලි කලේ ය. “කෙරෝනා වෛරසයට සම්බන්ධ මරන දසදහස් ගනන් සිදුව ඇති ඉතාලිය, බ්‍රිතාන්‍යය, ප්‍රන්සය හා එක්සත් ජනපදය වැනි රටවල් පවා, සාමාන්‍ය ජීවිතය ක්‍රමික ව පුනස්ථාපනය කිරීමේ වැඩසටහන් දැන් අරඹා ඇත” යි ඔහු කීවේ ය.

මෑත සති කිහිපය තුල ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහල ගොස් ඇත. ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුව, මැයි 1දා 690ක් වූ ආසාදිතයන් ගනන මැයි 12 වන විට 889ක් විය. සැබෑ සංඛ්‍යා ලේඛන නිසැක ව ම වඩා ඉහල වුවත් අඩු ගනනක් පෙන්නුම් කිරීමට, වෛද්‍ය පරීක්ෂන හිතාමතා ම අඩු මට්ටමක පවත්වාගෙන ගොස් ඇත.

මාර්තු 18 සිට මැයි 10 දක්වා වූ දවස් 52 තුල පරීක්ෂන 36,000ක් සිදුකල බව සෞඛ්‍ය බලධාරීහු පවසති. කලින් පෙබරවාරි 18 හා මැයි 5 අතර පරීක්ෂන 32,000ක් සිදුකල බව බලධාරීන් වාර්තා කල තතු යටතේ, මෙම සංඛ්‍යා ලේඛන විශ්වාසවන්ත ඒවා නොවන බව පැහැදිලි ය. 

නියමිත කලට පෙර ආර්ථිකයන් විවෘත කිරීම මනුෂ්‍ය ජීවිත බොහෝ සෙයින් අනතුරේ හෙලනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ) කල අනතුරු ඇඟවීම, රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් ද නො තකා හරිමින් සිටී. ව්‍යාපාර යලි විවෘත කිරීමට මත්තෙන්, “වසංගතය පවතින්නේ පාලනය යටතේ ද අලුතින් ඉස්මතු වීමක් සමග ගනුදෙනු කල හැකි තරමට ජාතික සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම්වලට හැකි ද සමස්ත ජාතිය පුරා ප්‍රජාමය මට්ටමකින් රෝගය හසු කරගැනීමට, හුදකලා කිරීමට, ප්‍රතිකාර කිරීමට හා සොයාගැනීමට මහජන සෞඛ්‍ය විමර්ශන පියවරයන් ගෙන තිබේ ද යන්න ආන්ඩු විසින් විමර්ශනය කල යුතුව තිබේ” යයි ඩබ්ලිව්එච්ඕ අධ්‍යක්ෂ-ජනරාල් ටෙඩ්රෝස් අද්හානොම් ගෙබ්‍රෙයෙසුස් සඳුදා අවධාරනය කලේ ය.

දිනකට සිදුකරන පීසීආර් (පොලිමයිරේස් චේන් රියැක්ෂන්) පරීක්ෂන සංඛ්‍යාව අවම වසයෙන් 2,000-5,000 වත් විය යුතු යයි ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයෝ කියති. වෛරසය පාලනය කිරීමකින් තොර ව සාමාන්‍ය වැඩකටයුතු යලි ඇරඹීම විශාල පැතිරී යාමක් නිර්මානය කරතියි ඔවුන් අනතුරු අඟවා ඇත.

එහෙත්, කම්කරුවන්ගේ සෞඛ්‍යය, ජීවන තත්ත්වයන් හා ජීවිතවල වියදමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කරගැනීමට රාජපක්ෂ පාලන තන්ත්‍රය අධිෂ්ටාන කර ගෙන සිටී.

ආපසු වැඩට කැඳවනු ලබන්නේ කවර සේවකයන් සංඛ්‍යාවක්දැයි තීරනය කිරීමේ අභිමතය, රාජ්‍ය හා පුද්ගලික අංශයේ හාම්පුතුන් සතු බව ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශය සඳහන් කලේ ය.

දැනට ආපසු වැඩට කැඳවුම් ලැබ නොමැති කම්කරුවන්ට ව්‍යාපාර විසින් ගෙවිය හැක්කේ මාසික වැටුපෙන් අඩක් හෝ රුපියල් 14,500 පමනක් බවට වෘත්තීය සමිති එකඟ වී ඇති බව කම්කරු ඇමති දිනේශ් ගුනවර්ධන ඊයේ මාධ්‍ය වෙත කීවේ ය.

කම්කරුවන්ගේ කෝපය හා විරෝධය වැඩෙයි. වීරකැටිය නගරයේ සුමිත්‍රා ගාමන්ට් ආයතනයේ කම්කරුවන් 1,000ක් පමන සඳුදා වැඩ වර්ජනය කලේ, ඔවුන්ගේ අප්‍රේල් වැටුප අඩකින් පහල දැමීමට විරෝධය පලකරනු පිනිස ය.

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය එන්ජින් අංශයේ සඳුදා වැඩට කැඳවා තිබුනේ කම්කරුවන් 15ක් පමනි. එක් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කීවේ, එක් සතියකට කම්කරුවන් 180 දෙනාගෙන් තුනෙන් පංගුවක් පමන වැඩමාරු ක්‍රමයට කැඳවීමට කලමනාකාරීත්වය තීරනය කර ඇති බව යි. කම්කරුවන් වැඩපොලෙහි රැඳී සිය ආහාර ඔවුන් විසින් ම සකසා ගැනීමට සිදු වී තිබේ. ඔවුන්ගේ සොච්චම් මාසික වැටුප ඉහල දමාගැනීම සඳහා කම්කරුවන් මීට පෙර අතිකාල සේවාවල යෙදුනත් දැන් එය කපා දමනු ලැබ ඇත.

කොලඹ දුම්රිය ස්ථානයක මුර සංචාරයේ යෙදෙන සෙබලුන්

එක්සත් ජාතික පක්ෂය (එජාප), සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (දෙජාස) ආදී විරුද්ධ පක්ෂ, ආර්ථිකය යලි විවෘත කිරීමට සහයෝගය දෙති.

“මෙය පසමිතුරු දේශපාලන සෙල්ලමේ යෙදීමට කාලයක් නො වන නිසා ආන්ඩුවට සහයෝගය දීමට අපි කැමතියි” යි එජාප නායක රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ කීවේ ය.

පසුගිය සතියේ සඳුදා රාජපක්ෂ හමු වූ දෙජාස නායකයෝ ද එවැනි ම පොරොන්දුවක් දුන් හ.

සමස්ත සංගත මාධ්‍යයන් ද ආපසු වැඩට යැවීමේ වැඩපිලිවෙලට සහයෝගය දෙයි. අවම  වසයෙන් වසර දෙකක් වත් යනතෙක් ප්‍රතිකාරයක් සොයා ගත නොහැකි  නිසා, “අදිසි සතුරා” සමග ජීවත් වීමට ජනයා ඉගනගත යුතු යයි ඊයේ දිවයින පත්‍රය ලීවේ ය.

නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය හා ලංකා වානිජ වෘත්තීය සමිතිය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක්, තමන්ට මුනගැසීමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට ලියූ හ. “ජාතිය නො නැසී පවත්වා ගැනීමේ ප්‍රයත්නයේ දී ආර්ථිකයට සහයෝගය දීම සඳහා කම්හල් යලි විවෘත කිරීම අවශ්‍ය බවට අපි එකඟ වෙමු” යි ඔවුහු ප්‍රකාශ කල හ.

පසුගිය සතියේ කම්කරු ඇමතිවරයා හා හාම්පුතුන් මුනගැසුනු මෙම වෘත්තීය සමිති හා ජවිපෙ විසින් පාලනය කරන අනෙකුත් සමිති, දොට්ට දැමීම් ප්‍රමාද කිරීමට හිලවු ලෙස කම්කරුවන්ගේ වැටුප් කැපීමට එකඟ වූ හ. එහෙත්, සමාගම් දැනට මත් රැකියා කප්පාදුව අරඹා තිබේ.

රාජ්‍යයේ හා මහ ව්‍යාපාරිකයේ ඒජනත්යින් ලෙස ක්‍රියාකරන වෘත්තීය සමිතිවලින් එක සමිතියක් වත්, නියමිත කලට පෙර ආපසු වැඩට යාම නිසා මතුවන සෞඛ්‍ය අන්තරායන් ගැන කතා කලේ නැත. 

මහ ව්‍යාපාරිකයන්ට ලාභ පොදිගසා ගැනීම සඳහා කම්කරුවන් ඔවුන්ගේ ජීවිත පරදුවට තැබීමට බල කල යුතුද? 

ආරක්ෂිත හා සෞඛ්‍යාරක්ෂිත කොන්දේසි තහවුරු කරන තෙක් වැඩකිරීම ප්‍රතික්ෂේප කරන්නැයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා සියලු කම්කරු පන්තික හා දුගී පවුල්වලට ආදායමක් සම්පාදනය කරනු ලැබිය යුතු ය. ඉපැයීම් කඩා වැටී ඇති කුඩා ව්‍යාපාර, ගොවීන් හා ධීවරයන්ට සහනාධාර සම්පාදනය කල යුතු ය.

යෝධ විදේශ නයෙහි බර කම්කරුවන් හා දුගීන් මත පටවනු වෙනුවට එම නය ගෙවීම ප්‍රතික්ෂේප කල යුතු ය.

මෙම වැඩපිලිවෙල සාක්ෂාත් කරගැනීම සඳහා නම්, ලාබ පද්ධතිය අහෝසි කොට, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කල යුතු ය. 

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් වදින්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප පමනි. සසපට බැඳී එය කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට එක්වන්නැයි අපි කම්කරුවන්, තරුනයන් හා පන්ති-විඥානක බුද්ධිමතුන්ගෙන් ඉල්ලමු.

Loading