වසර 75 කට පෙර: විනාශ වූ යුරෝපය මත “කුරිරු සාමයක්” පැටවීමේ මිත්‍ර පාක්ෂික සැලසුම් ගැන හතර වන ජාත්‍යන්තරය අනතුරු අඟවයි

මෙම ලිපිය මැයි 11 දින ඉංග්‍රීසියෙන් පලවින.

මැයි 7 වන දින නාසි ජර්මනියේ නිල යටත් වීමෙන් සතියකටත් අඩු කාලයක් තුල යුරෝපය පුරා “කුරිරු සාමයක්” පැටවීමට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ සෝවියට් සංගමය ඇතුළු මිත්‍ර පාක්ෂික බලවතුන් අධිෂ්ඨාන කරගෙන සිටීම ගැන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරය අනතුරු ඇඟවීය. මෙම සැලසුම් වල ඉලක්කය වුනේ, යුරෝපීය  ජනතාවගේ විප්ලවීය නැඟිටීම් කඩාකප්පල් කිරීම යි.

ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂයේ (Socialist Workers Party) ද මිලිටන්ට් (The Militant)පුවත්පතේ ප්‍රධාන ලිපියක මෙසේ සඳහන් විය: "යුරෝපය තුල පලමු ලෝක සංග්‍රාමය මෙන් දෙගුනයකටත් වැඩි පිරිසක් ගොදුරු කර ගනිමින් යුද්ධය අවසන් වී ඇත. යුරෝපා මහාද්වීපය පුරා දරුනු ඝාතන හා විනාශයන්ගේ ශාර්න්ල් ගොඩනැගිලි (Charnel house)* සහ සොහොන් කොත් වලට ඉහලින් ‘සාමයේ’ කොඩිය එල්ලී තිබේ. මානව වර්ගයා මත ආධිපත්‍යය දැරීම හා ඔවුන් සූරාකෑම කල යුත්තේ ධනේශ්වර මැරයින්ගේ කුමන බලවේගය විසින් ද යන්න තීරණය කිරීමේ අධිරාජ්‍යවාදී කාකොටා ගැනීම වෙනුවෙන්  ජනතාව ගෙවන මිල මෙය යි.

රයිෂ්ටැග් වලට ඉහලින් රතු කොඩිය එසවීම. 1945 මැයි 2 වන දින යෙව්ගනි ඛල්ඩෙයි විසින් ගන්නා ලද ඡායාරූපය.

යුද්ධය අවසානයේ සාමකාමී හා සමෘද්ධිමත් යුගයක් බිහි වනු ඇතැයි කියා සිටි අයට එරෙහිව එම ලිපිය මෙසේ අනතුරු ඇඟවීය: “නටබුන් වූ යුරෝපයට, එහි කුසගින්නෙන් පෙළෙන ජනයාට නිවාස සහ ඇඳුම්-පැළඳුම් කෙසේ වෙතත් ආහාර පවා ලබාදීමට හැකියාවක් නැත. අධිරාජ්‍යවාදී යුද්ධය දැනටමත් නිශ්චිතව දක්වා ඇති මිලියන ගණනකගේ ජීවිත හානි වලට, රෝග හා සාගින්නෙන් මරණයට පත්වූවන් ද එකතු කළ යුතුය. එම ගනනට, උග්‍ර කුසගින්නෙන්, පෝෂන ඌනතාවයෙන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන මිලියන ගණනක් වන ළමුන් ද එකතු කල යුතු ය.”

එම ලිපියේ සඳහන් වූ තව කරුණක් වන්නේ, මිත්‍ර පාක්ෂිකයින්ගේ මූලික සැලකිල්ල යොමු වූයේ ජර්මනියේ ධනවාදී පාලනයට තර්ජනයක් ඇති වීම වැළැක්වීමට බව යි. මේ වන විට යුරෝපය පුරාම ධනේශ්වරය පලා ගොස් සිටි අතර ධනවාදී රාජ්‍ය ව්‍යුහයන් විනාශයට පත්ව තිබුනි.

 ලිපිය මෙසේ අනතුරු ඇඟවිය: "මිත්‍ර පාක්ෂිකයින් යුරෝපයේ විශාල හමුදාවක් තබා ගැනීමට අදහස් කරති.  ‘ප්‍රජාතන්ත්‍රවාදය’ සහ සෑම ජාතියකට තමන්ගේම ආන්ඩුවක් තෝරා ගැනීමේ අයිතිය වැනි දේ ගැන කටින් බතලකොල හිටවුව ද, යුරෝපීය ජනතාවට තමන්ගේ අනාගතය තීරණය කිරීමට ඉඩ දීමේ අදහසක් මිත්‍ර පාක්ෂිකයින්ට නැත. ඔවුන් දැනටමත් ග්‍රීසියේ, ඉතාලියේ සහ බෙල්ජියමේ සිදු කර ඇති පරිදි, මිත්‍ර හමුදාවන් විසින් යුරෝපයේ සෙසු ප්‍රතිගාමී ආඥාදායකත්වයන් සමඟ කටයුතු කිරීමට අදහස් කරන අතර, එමඟින් දිරාපත් වූ ධනවාදී ක්‍රමයට ජනතාව ස්ථිර ලෙස යටත් කරනු ඇත.”

බ්‍රිතාන්‍ය හමුදා විසින් ග්‍රීසියේ පැවති ජර්මානු-මිත්‍ර ආඥාදායකත්වය වසර මුලදී පෙරලා දැමීමෙන් පසු ඔවුන් එරට ෆැසිස්ට්-විරෝධී පර්ටිසන්වරුන් ප්‍රචන්ඬ ලෙස මර්දනය කිරීම ගැන ද එම ලිපියේ සඳහන් විය. ඉතාලියේදී බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය, යුද්ධය අවසන් අදියරේදී බෙනිටෝ මුසොලිනිට තවදුරටත් ධනපති පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කල නොහැකි බව හඳුනාගෙන තිබූ, එරට ෆැසිස්ට් පාලක ප්‍රභූවේ කොටසක් සමඟ වැඩ කිරීමට කැමැත්ත පල කලහ.

 සෝවියට් නිලධරයේ සහ ලොව පුරා පිහිටි ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවල ද්‍රෝහී කාර්යභාරය හතර වන ජාත්‍යන්තරය විසින් පෙන්වා දුන්නේය. නාසි ජර්මනියේ මිලිටරි පරාජයේ දී සෝවියට් රතු හමුදාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබුන තතු හමුවේ ස්ටලින්වාදී නිලධාරය, බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ යුරෝපය සහ ලෝකය බෙදාගැනීමේ සන්ධානගත ගිවිසුම් වලට එලඹ තිබුණි.

සියල්ලටම වඩා ස්ටැලින්වාදීන් එරෙහි වූයේ නැගී එන කම්කරු පන්ති විප්ලවවාදී ව්‍යාපාරය විසින් ඔවුන්ගේ පොලිස්-රාජ්‍ය පාලන ක්‍රමවලට එරෙහිව සමාජ නැගිටීම් අවුලුවනු ඇතැයි යන්නට ය.

* Charnel house: මෙහි වචනාර්ථය වන්නේ මිනිස් ඇටසැකිලි ගොඩ ගසා ඇති ගෘහයක් හෝ ගොඩනැගිල්ලක් යන්නයි. නමුත් මෙම පදය බහුලව යොදා ගන්නේ බොහෝ ඝාතන සහ විනාශයන් සිදු වූ ස්ථානයක් ගැන සටහන් කිරීමට යි. 

Loading