ශ්‍රී ලංකාවේ හයිඩ්‍රාමනි ඇඟලුම් කම්හල් තුල නරක අතට හැරෙන කොන්දේසි

මෙම ලිපිය මැයි 16 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ආර්ථිකය “නැවත විවෘත කිරීම” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කල කැඳවුමත් සමග, කොවිඩ් 19 ආසාදනයන්ගේ වර්ධනය නොතකමින් ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තශාලා බොහොමයක් මේ වන විට නිෂ්පාදනය යලි ආරම්භ කර තිබේ. 

ආසාදනය වී ඇති මුලු සංඛ්‍යාව 935 ක් දක්වා ඉහල දමමින් ඊයේ (15 දා) අලුතින් අසාදිතයන් 10 ක් වාර්ථා විය. පෙබරවාරි 18 සිට මැයි 14 දක්වා කාලය තුල ලංකාවේ පීසිආර් පරීක්ෂන සිදු කර ඇත්තේ 41,118 ක් පමනි. 

ජාතික මට්මමේ අගුලු දැමීමේ දී නිෂ්පාදනය නතර කෙරුනු සහ විශේෂයෙන් යුරෝපයේ,එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ මහා වෙලඳුන්ගේ ඇනවුම් කඩාපාත්වීමට මුහුන දුන් ලංකාවේ ඇගලුම් කර්මාන්තයට වසංගතයෙන් පහර වැදී ඇත. ශ්‍රි ලංකාවේ මුලු අපනයනවලින් එය සියයට 40 ක් වන ඇඟලුම් කර්මාන්තය රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 06 ට දායක වේ. 

ඇඟලුම් නිෂ්පාදකයින් අර්බූදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, නව වැටුප් හා රැකියා කප්පාදුවක් මෙන්ම විවිධ දීමනා නැති බංග කිරීම සහ ඉහල ගිය වැඩ පැය ගනනක් සහ ඵලදායිතා ඉලක්ක පනවමිනි. ශ්‍රී ලංකාවේ දැවැන්ත හයිඩ්‍රාමනි සමූහය විසින් සේවයේ යොදවා ඇති කම්කරුවන් විශේෂයෙන් ඊට ඉලක්ක වී ඇත. 

මහරගම හයිඩ්‍රාමනි ශාඛාව

වැඩි වශයෙන් කාන්තාවන් සේවයේ යොදවා ඇති සහ එහි කටුක කොන්දේසි පිලිබඳව කුප්‍රකට හයිඩ්‍රාමනි ආයතනය සතුව කටුනායක,මහරගම,කිරිදිවෙල,අස්සාවේල්ල සහ වව්නියාවේ කර්මාන්ත ශාලා පිහිටා ඇත. සමාගමට ඉතියෝපියාව, වියට්නාමය සහ බංග්ලාදේශයේ ද කර්මාන්තශාලා පිහිටුවා ඇති අතර මුලු ශ්‍රම බලකාය 55,000 කි.

සමාගමේ කටුනායක සහ මහරගම කම්හල්වල කම්කරුවන් සමග රැකියා කප්පාදුව සහ ඔවුන්ගේ නව සේවා කොන්දේසි පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය සාකච්ඡා කලේය.

එක් කම්කරුවෙක් මෙසේ විස්තර කලේ ය:“දැන් සියලූම කම්කරුවන්ට දෙන්නේ මූලික වැටුප විතරයි.අතිකාල ගෙවීමක් නැතුව අහිමි වෙච්ච කාලය ආවරනය කරන්න කියලා පැයක් වැඩ ගන්නවා. පැමීනීමේ දීමනා ඇතුලු තිබිච්ච සියලූම දීමනා කපලා. අවුරුදු බෝනස් එක දුන්නෙත් නෑ. දරුනු සූරාකෑමක් තියෙන්නේ. මට නම් රැකියාව එපා වෙලා ඉන්නේ. වෙන රැකියාවක් සොයා ගැනීම දුෂ්කර නිසා ඉන්නවා”.  

අගුලු දැමීම නිසා සමාගමේ “නැතිවූ කාලය” නිෂ්පාදනය පැය 182 ක් පමන වන බව කලමනාකාරිත්වය කියා සිටි බව ඔහු පැහැදිලි කලේ ය. කටුනායක හයිඩ්‍රාමනී ශාඛාවේ මාස තුනට අඩු කාලයක් සේවයේ යෙදී තිබුනු සේවිකාවන් 50 ක් පමන සහ මහරගම ශාඛාවේ තවත් කිහිප දෙනෙක් ද රැකියාවෙන් දොට්ට දෑමු බව ඔහු ප්‍රකාශ කලේ ය. දොට්ට දැමුනු කම්කරුවන්ට වැටුපෙන් සියයට 60 ක සොච්චම් වන්දියක් ලබා දී තිබේ. 

වෛරස තත්වය පාලනයට කර්මාන්ත ශාලාව විෂභීජ හරනය, කම්කරුවන්ගේ අත් සේදීම සහ උන මැන බැලීම සිදු කල ද කම්හලේ පවතින කොන්දේසි යටතේ වෛරසය එක් අයෙකුට හෝ වැලඳුනහොත් සිය ගනනකට වැලඳීමේ අන්තරායක් පවතින බව තවත් කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය. කලමනාකාරිත්වයට තවත් රැකියා කප්පාදුවක් ප්‍රකාශයට පත් කල හැකි බවත්, ඉතිරි කම්කරුවන්ට නිෂ්පාදන ඉලක්ක පවත්වා ගැනීමට බල කල හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය. 

වසරකට වැඩි කාලයක් රැකියාවේ නිරත කම්කරු කාන්තාවක් මෙසේ පැහැදිලි කලා ය: “අපි ජැකට් මහන්නේ. අපිට පැයකට මහන්න පුලුවන් ටාගට් එක 100 ක් නම් පරිපාලනයෙන් 150 ක් විතර දෙනවා. ඊට පස්සේ මරව මරව වැඩ ගන්නවා. වසංගත තත්වය හමුවේ රස්සාව නැති වෙයි කියලා අපි බවයි. ඒ නිසා වැඩ කරනවා”. 

හයිඩ්‍රාමනි මහරගම ශාඛාවට ඇතුලු වන කම්කරුවන්

කම්හලේ වැටුප් හා දීමනා කප්පාදුව පිලිබඳව සඳහන් කරමින් ඇය මෙසේ ප්‍රකාශ කලා ය: “පසුගිය මාසේ බැංකුවට සල්ලි දාපු නිසා අපිට වැටුප් වාර්තාවක් ලැබුනේ නෑ. මට මූලික වැටප විතරයි ලැබුනේ. අවුරුද්දක් වැඩ කරපුවාම මාසයක පඩියක් බෝනස් එක විදිහට දෙනවා. මේ පාර ඒක දුන්නෙත් නෑ. මේවා ගැන කතා කෙරුවොත් අස් කරනවා. කම්කරු අයිතීන් ගැන කතා කරපු දෙතුන් දෙනෙක්වම වෛරසයට කලින් අස් කලා”. වසංගතය හේතුවෙන් ගත් සමහර නිවාඩු කම්කරුවන්ට වසරකට හිමි සීමිත නිවාඩුවලින් කපා දැමීමට පරිපාලනය සූදානම් වන බව වැඩිදුරටත් ප්‍රකාශ කලා ය. 

කටයුනායක නිදහස් වෙලද කලාපය තුල හයිඩ්‍රාමනි මර්කරි, හයිඩ්‍රාමනි ගාර්මන්ට්, ටෙක්ස් වුඞ් වශයෙන් අංශ තුනකින් යුක්තව පැවති නමුත් “පාඩු ලබන” බව පවසා ඉන් කොටස් දෙකක්ම පසුගිය වසර කිහිපය තුල වසා දමා තිබේ. දැන් ක්‍රියාත්මක වන්නේ හයිඩ්‍රාමනි මර්කරි කොටස පමනි. නමුත්, ලාභ ශ්‍රම සූරාකෑම ඉල්ලක කොට ගෙන ලංකාවේ යුද්ධයෙන් පරිපීඩිත වව්නියාව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් වසර දෙකකට පමන පෙර ආරම්භ කලේ ය. ඇඟලුම් කම්කරුවෙක් සඳහා ගෙවන මාසික වැටුප ඩොලර් 30 ත් (රුපියල් 6,000 ක් පමන) අඩු ඉතියෝපියාවේ කම්හල් ආරම්භ කිරිම ද සිදු වූයේ මෑතක දී ය.   

ලංකාවේ ඇඟලුම්  හා අවශේෂ කර්මාන්තවල කම්කරුවන් මත මහ සමාගම්, රාජපක්ෂ ආන්ඩුව හා වෘත්තීය සමිති ඒකාබද්ධව සූදානම් කෙරෙන සමාජ ප්‍රහාරයන්, හයිඩ්‍රාමනි කම්කරුවන් මත එල්ල කොට ඇති ප්‍රහාර මගින් පෙන්නුම් කරයි.   

මෙම ප්‍රතිගාමී න්‍යාය පත්‍රයේ ස්වභාවය අප්‍රේල් 25 වන දින ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ විසින් කම්කරු සබඳතා හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන වෙත යවන ලද ලිපියෙන් අනාවරනය විය. 

වීරසිංහගේ යෝජනා අතරට ශ්‍රී ලංකාවේ සමස්ත ඇඟලුම් අංශයේ ශ්‍රම බලකායෙන් සියයට 30 ක් ඉවත් කිරීම, අතිකාල ගෙවීම් කපා හැරීම සහ මාස හයක් දක්වා වැටුප් වර්ධක කප්පාදු කිරීම ඇතුලත් වේ. මේ වසරේ දෙසැම්බර් දක්වා වර්තමාන පැය 45 සතිය වෙනුවට පැය 50 වැඩ සතියක්, සමාගම් අතර කම්කරුවන් බෙදා ගැනීම සහ වර්තමාන සාමූහික ගිවිසුම් අත්හිටුවීම හෝ නව ගිවිසුම් සකස් කිරීමත් ඔහු  ඉල්ලා සිටියේය.

මෙම ප්‍රහාර ක්‍රියාත්මක කිරීම සමාගම් කිහිපයක්ම දැනටමත් අරඹා තිබේ. 

හොංකොං කේන්ද්‍ර ගත කරගත් එස්ක්වෙල් ලංකා ඇඟලුම්  කම්හල් ජාලය ද දීමනා කප්පාදු කොට කම්කරුවන් දොට්ට දැමීම් අරඹා ඇත. කම්කරුවන් 47,000ක් සේවයේ යොදවන ඇඟලු‍ම් සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම, සියයට 5 සිට 30 දක්වා වැටුප් කප්පාදු කොට, සුභසාධන අරමුදල් ද කපා තාවකාලික කම්කරුවන් නෙරපා ඇත. මීට අමතරව වීරකැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක කම්කරුවෝ දාහක් පමන, මැයි මාසයේ කම්හල විසින් අර්ධ වැටුප් ගෙවීමට ගත් තීන්දුවට විරෝධය පල කරමින් මැයි 11 දා වර්ජනයක නිරත වූහ.  

වත්තල, කෙරවලපිටියේ පිහිටා ඇති නැෂනල් පීවීසී සමාගම, අගුලු දැමීම ආරම්භයේ දීම අනියම් සේවකයින් 60 දෙනෙකු සේවයෙන් පහ කල අතර නැවත විවෘත කිරීමත් සමඟ ස්ථිර කම්කරුවන් සඳහා වැඩ දිනය පැය 12 දක්වා පැය 4 න් දීර්ඝ කර තිබේ. මෙම වැඩිවීම කම්හලේ අනෙකුත් අංශවල ද පැනවීම සම්බන්ධව කලමනාකාරීත්වය සාකච්ඡා කරමින් සිටී. කම්කරුවන් මෙම වෙනස්කම් වලට විරුද්ධ වූ අතර වැඩ වර්ජනයක නිරත වූහ. සමාගමට ස්ථිර සේවකයින් 80 ක් සිටී. 

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක “ඇගලුම් කම්හල් යලි විවෘත කිරීම” යන මාතෘකාව යටතේ පසුගිය බදාදා (13 දා) පැවති සාකච්ඡාවක දී ලංකා අපනයන මන්ඩලයේ ප්‍රධානී සංජය මොහොට්ටාල කියා සිටියේ ලංකාවේ ඇගලුම් අපනයන මේ වන විට සියයට 30 න් පමන කඩා වැටී ඇති බවයි. ඇමරිකාවේ හා යුරෝපයේ වයිරස ව්‍යාප්තිය තවදුරටත් පැවතුනහොත් මෙම කඩා වැටීම දිගටම සිදු විය හැකි බව ඔහු ප්‍රකාශ කලේ ය.  

පසුගිය මාසවල වැටුප් නොලැබුන බවට චෝදනා කරමින් ත්‍රිකුනාමලය හා කිරිදිවල යන ප්‍රදේශවල කම්කරුවන්ගේ දුරකථන ඇමතුම් එම වැඩසටහනේ දී ඔහුට යොමු විය.තමාට හෝ කම්කරු දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිනිලි එවන්නැයි මොහොට්ටාල නරුම ලෙස ඔවුන්ට කීවේය.

හැකිලී යමින් තිබෙන ජාත්‍යන්තර වෙලඳපල තත්වය හමුවේ, ඇගලුම් අපනයන කරන ආසියාවේ බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දියාව සහ ලංකාව ඇතුලු සෑම රටක්ම කොරෝනා වයිරස තර්ජනය නොතකා තම කර්මාන්ත ශාලා විවෘත කරමින් තම වෙලඳපල රැක ගැනීම සඳහා වියරු සහගත ප්‍රයත්නයක නියැලි සිටී.  

නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය ඇතුළු ශ්‍රී ලාංකාවේ වෘත්තීය සමිති සහ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය, මැයි 11 වන දින ජාතික කම්කරු උපදේශක කවුන්සිලයේ (ජාකඋක) කම්කරු ඇමති සහ හාම්පුතුන් සමඟ රැස්වීමකට සහභාගී විය. වෘත්තීය සමිති “ආර්ථිකය නැවත විවෘත කරන්නේ කෙසේද” සහ ආන්ඩුවේ හා සමාගම්වල ඉල්ලීම්වලට එරෙහිව වැඩ වර්ජන හා කම්කරු පන්තියේ අරගල පුපුරා යාම වලක්වා ගන්නේ කෙසේද යන්න පිලිබඳ උපදෙස් ලබා දුන්හ. 

ඉහත රැස්වීමෙන් පසුව වෘත්තීය සමිති ප්‍රකාශ කලේ නැවත සේවයට කැඳවන ලද සියලුම කම්කරුවන්ට මසකට රුපියල් 14,500 ක් හෝ ඔවුන්ගේ වැටුපෙන් අඩක් හෝ ඒ දෙකින් වැඩි එක ගෙවන ලෙසයි. ඔවුන් විකාර සහගත ලෙස කියා සිටියේ මෙම සොච්චම ජයග්‍රහනයක් බවයි. 

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පාලනය කරනු ලබන කම්කරු අරගල මධ්‍යස්ථානය ඇමති සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. කම්කරුවන්ගේ ගැටළු “විසඳීමට” ඇමතිවරයා එකඟ වූ බව ඔවුන් ව්‍යාජ ලෙස ප්‍රකාශ කලේ ය.

කම්කරු පන්තියට එරෙහි ධනපති පන්තියේ ප්‍රහාර දිගේලි කිරීමේ දී මෙම සියලු වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ආන්ඩුවේ සහ හාම්තුන්ගේ දේශපාලන උපකරනයක් ලෙසයි. 

Loading