සටන් නොකිරීම අගය කරන සමිති නායකයෙක්: සමන් රත්නප්‍රියගේ ප්‍රකාශයකට හෙදියකගේ ප්‍රතිචාරයක්

කොරෝනා වසංගතය මධ්‍යයේ දසදහස් සංඛ්‍යාත රෝගීන්හට සත්කාර කරමින් සිටින රාජ්‍ය අංශයේ හෙද සේවක-සේවිකාවන් හට ආසාදනයෙන් වැලකීම සඳහා අත්‍යවශ්‍ය පුද්ගලික ආරක්ෂන උපකරන (පීපීඊ) ලබා නොදීම හේතුවෙන්, ආන්ඩුවට එරෙහිව, ඔවුන් අතර වැඩී ඇත්තේ බලගතු විරෝධයකි. 

රාජ්‍ය සේවයේ හෙද වෘත්තීය සමිති වන, එක්සත් හෙද සේවක සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සේවක සංගමය, මේ සම්බන්ධයෙන් කවර හෝ සටනක් දියත් කිරීම මගහැර තම සාමාජික-සාමාජිකාවන් මරනයට අතහැර සිටී.

බොහෝ හෙද-හෙදියන් අතර සාකච්ඡා වෙමින් පවතින්නේ තම දැවෙන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සටනක් ඉදිරියට ගන්නේ කෙසේද යන්නයි. මෙම සමිති නායකත්වයට පිටින් හෝ තම සටන දියත්කල යුතුයැයි සමහර හෙද සේවකයෝ යෝජනා කරති. මහනුවර මහ රෝහලේ හෙද සේවිකාවක් වන මම ද එම අදහස බලගතු ලෙස දරා සිටින්නෙමි. 

මෙම පසුබිම තුල, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, මැයි 12 වන දා, ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් කතාවක් කරමින්, හෙද සේවකයන් තම අයිතීන් වෙනුවෙන් සටන් නොකිරීම අගය කරන නරුම කතාවක් කලේය. 

“උපකරන නෑ, මාස්ක් නෑ, ගොගල්ස් නෑ, ඇඳුමක් නෑ කියල, එහෙම නැත්නම් බූට් එකක් නෑ කියල කිසිම රාජකාරියක් ප්‍රතික්ෂේප කරපු තැනක් අපිට වාර්තා වෙන්නෙ නෑ. අමාරුවෙන් වුනත් මේ සියලු රාජකාරි කරමින් ඉන්නවා” යැයි රත්නප්‍රිය තම කතාවේදී පැවසීය.

කොරෝනා වසංගතය මධ්‍යයේ, අත්‍යවශ්‍ය ආරක්ෂන මෙවලම් හෝ නොමැතිව දැඩි ජීවිත අවදානමක් දරා ගනිමින්, රජයේ රෝහල්වල හෙද-හෙදියන් ඉටු කරන සේවය සාමාන්‍ය මහජනතාව අවංකවම අගය කරති. 

නමුත්, රත්නප්‍රිය අගය කරන්නේ, මේ සා පරිමාන අන්තරායකාරී තත්වයකට ඇදදමා තිබියදීත් හෙද-හෙදියන් වන අප, එයට එරෙහිව සටන් නොකිරීමයි. එවන් අගය කිරීමක අරමුන, ඔවුනගේ නායකත්වයට පිටින් පැන නැගියහැකි හෙද අරගලයක් වලකාලීම බව වටහා නොගැනීමට තරම් අපි අඳ බාලයෝ නොවෙමු.

සටන් නොකර සිටීමේ ගුන ගැයීමේ මෙම වංචනික කාර්යයේදී රත්නප්‍රිය ගොඩනගන කපටි තර්කයන් මෙසේය:  

“ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියගේ අදහසට අනුව, එයා කියපු දහම අනුව, තමන්ගෙ ජීවිතය නැති වුනත් ලෝකයේ ජනතාව වෙනුවෙන්, අපේ රටේ විදියට ගත්තොත් රටේ ජනතාව වෙනුවෙන්, සත්කාර සේවාව දෙන එක, ප්‍රතිකාර සේවාව දෙන එක තමයි හෙද සේවාවේ කාර්යභාරය.”

විසිවසරකට වැඩි කාලයක් හෙද සේවයේ නිරතව සිටින මම රත්නප්‍රියගේ සමිතියේ සාමාජිකාවක් වෙමි. මා මෙන්ම, අප රෝහලේ සේවය කරන ඔහුගේ සමිතියේ සාමාජිකයන් වන සහ සාමාජිකයන් නොවන අනෙකුත් සහෝදර හෙදියන්ගෙන් බොහෝ දෙනෙක් සමිති නායකයාගේ කතාව අසා දැඩි කෝපයට පත් වූහ. 

සැබැවින්ම ආන්ඩුවේ මෙම මාරාන්තික නොතැකීම අපට තවදුරටත් ඉවසා සිටිය හැකි දෙයක් නොවේ. ජාත්‍යන්තර පරිමානව ගතහොත් දුසිම් ගනනක් හෙද සේවකයන් අනාරක්ෂිතව රාජකාරියේ යෙදීම හේතුවෙන් මෙම වසංගතයට ගොදුරු වී මියගිය බව අපි දන්නෙමු. 

ශ්‍රී ලංකාවේ සහෝදර හෙදියන් වන අපි ඔවුන් වෙනුවෙන් බලගතු ලෙස ශෝක වන්නෙමු. කිනම් රටක සේවය කලද අප අභිමුඛව සිටින්නේ එක සමාන අන්තරායන්ට සහ සාපරාධී ආන්ඩු වලට බව අපි වටහා ගනිමින් සිටින්නෙමු.

අප මුහුන දී සිටින අන්තරායකාරී තත්වය ගැන අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරු සහෝදරවරුන් දැනුවත්කොට අපගේ සටනට ඔවුනගේ සහාය දිනාගත යුතුයැයි මම විශ්වාස කරමි.

මහනුවර රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ සේවයේ නියුතු හෙද-හෙදියන් වසංගතය ආසාදනයවීමේ අවදානමට දැඩිලෙස නිරාවරිතය. උන, කැස්ස, නිව්මෝනියා වැලඳුන රෝගීන් පලමුව ඇතුලුවන්නේ  මෙම ඒකකයටය. නමුත් එහි සේවයේ යෙදෙන හෙද-හෙදියන් ඇතුලු කාර්ය මන්ඩලයට N 95 මුහුනු ආවරන ඇතුලු ප්‍රමිතිගත පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) පවා සම්පාදනය නොකෙරේ. 

කොරෝනා අගුලු දැමීමෙන් මාසයකට ආසන්න කාලයකට පසු,  නිවෙස්වල නිපදවූ ප්‍රමිතියෙන් තොර පිපීඊ ලබාදීම අරම්භ කලද ඒවා පැලඳ රෝගීන් සමග කටයුතු කිරීම ඉතා අපහසු ය. විශේෂයෙන්ම ඉන් ඇතිවන අධික තාපය ඉහිලුම් නොදෙන්නකි.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරනු වස් වාට්ටුවල දෛනික කාර්ය මන්ඩලය සියයට 40 දක්වා පහත හෙලීම හේතුවෙන් හෙද-හෙදියන් දහ දෙනෙකු සිටි වාටිටුවක සියලු වැඩකටයුතු හතර දෙනෙකුට කරන්නට සිදුව ඇත. 

තමා වෛරසයෙන් ආසාදිත නොමැති බව තහවුරු කරගැනීම රෝහල් කාර්ය මන්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම අයිතියකි. නමුත් ඒ සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂනයන්ට ප්‍රවේශවීමේ කවර හෝ පහසුකමක් සම්පාදනය කොට නැත.

ඇඳිරි නීතිය මුලුමනින්ම ඉවත්කොට රට “සාමාන්‍ය තත්වයට” පත්කලහොත් රෝහල් කරා පැමිනෙන රෝගීන් සංඛ්‍යාව වැඩිවී හෙද සේවකයන් මුහුන දෙන අන්තරායකාරී තත්වය පිම්මේ ඉහල යාමේ සෑම ඉඩකඩක් ම පවතී.

මහනුවර රෝහලේ තත්වය,  දිවයිනේ අනෙක් රජයේ රෝහල්වල තත්වය පිලිබිඹු කරන කැඩපතක් යැයි මම සිතමි.

මෙම අන්තරායකාරී තත්වය මුලුමනින්ම නොතකා සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රත්නප්‍රියගේ වංචනික ස්වරයෙන්ම, “තම ජීවිත අවදානම ගැන නොතකා” හෙද-හෙදියන් කරන මෙම “කාර්යය අගය” කරයි.

මැයි 12 වන දා ජාත්‍යන්තර හෙද දිනය සමරමින් නුවරඑලියේ දී කල කතාවකදී, ඇය මෙසේ කීවාය: “හෙද වෘත්තියේ යෙදෙන්නේ උගත් පිරිසක්. අභියෝග රැසක් මැද තමයි ඔවුන් තම රාජකාරි කටයුතු සිදු කරන්නේ. ඔබේ පරමාර්ථය ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරන එක. ඒ දේ කරන්න මොන තරම් කායික මානසික පීඩා ආවත් එම පීඩා මධ්‍යයේ පිං සම්භාරයක් ඔබ රැස් කරනවා.” 

වන්නිආරච්චි යෙදී සිටින්නේ, හෙදියන් අතර ආන්ඩුව කෙරෙහි වැඩී ඇති විරෝධය සමහන් කිරීමේ මංමුලාසහගත ප්‍රයත්නයකය. ඇගේ සහ රත්නප්‍රියගේ කතා සැකසුනේ එකම කතා පිටපතකින්දැයි සැක සිතෙන තරමටම ඒවා සමානය. 

කෙසේ නමුත්, ජීවිත පරදුවට තබා ජීවිකාවේ යෙදීමේ තත්වයට තල්ලු කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව සමග ද එයට පූර්න සහයෝගය දෙන රහෙනිස ඇතුලු අනෙකුත් සමිති සම්බන්ධයෙන් හෙද සේවකයන් වන අප අතර වැඩී ඇත්තේ දැඩි වෛරයකි.

වසංගතය මගින් ඉස්මත්තට ගෙනා සෞඛ්‍ය සේවයේ ඉමහත් ගැටලු, පසුගිය දශක කීපය පුරා බලයට පත් අනුප්‍රාප්තික ආන්ඩු විසින් වෘත්තීය සමිති වල සහයෝගයෙන් ක්‍රියාවට නැංවූ අනවරත කප්පාදුවේ ප්‍රතිඵලයක් බව පෙන්වා දෙමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ඉදිරිපත් කරන විශ්ලේෂන වලට මම මුලුමනින්ම එකඟ වෙමි. 

එම කප්පාදුවල ප්‍රතිඵලය පහත සංඛ්‍යා ලේඛන වලින්මත් පිලිබිඹු වෙයි. ලංකාවේ සමස්ත සෞඛ්‍ය සේවයට වෙන් කොට ඇත්තේ දල ජාතික නිශ්පාදයෙන් සියයට 1.5 ටත් අඩු අගයකි.

මිලියන 22 ක ජනගහනයක් සිටින රටක රජයේ රෝහල් සතුව ඇත්තේ දැඩි සත්කාර ඇඳන් 600 ක් පමනි. රටෙහි වෛද්‍ය-රෝගී අනුපාතය 1:1800 ක් ද හෙද-රෝගී අනුපාතය 1:500 ක් ද වෙයි. 

කොරෝනා වසංගතය පැමිනියේ එයට අලගු තැබීමට හෝ අසමත් එවන් පසුබිමක ය.

මා හෙද සේවයට ඇතුලුවුනු 1990 ගනන් අග භාගයේ ජ්‍යෙෂ්ඨ හෙදියන් කියා සිටියේ, රත්නප්‍රිය විසින් නායකත්වය දෙන රහෙනිස, අනෙකුත් සමිති වලට වඩා යම් සටන්කාමිත්වයක් පෙන්වන බවයි. මා එහි සාමාජිකත්වය ලබා ගත්තේ එබැවිනි. 

නමුත් කෙටි කලකින්ම මා දැක ගත්තේ, රහෙනිස සහ හෙද සේවයේ අනෙකුත් සමිති අතර කවර හෝ වෙනසක් නොමැති බවයි. ඔවුන් හැමකෙක්ම පැන නැගි සෑම අරගලයක්ම පාවා දීමට දායක වූහ. 

මෙම සමිති සියල්ල ඒ හෝ මේ ධනපති පක්ෂ පිටුපස ගාල් වූ අතර, රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ (එජාප) කඳවුරට සේන්දු විය. පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි ඔහු එම ආන්ඩු කාලය තුල පැන නැගි සෑම හෙද අරගලයකටම ප්‍රසිද්ධියේ හොරිකඩකම් කලේය.  

රත්නප්‍රියගේ මෙම රාජකාරිය වෙනුවෙන් පසුගිය ආන්ඩුව ඔහුට ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාර ගනිමින් ඔහු පැවසුවේ තම සාමාජිකයන්ට “වඩා හොඳින්” සේවය කිරීමේ අරමුනෙන් එය භාරගත් බවයි. 

නමුත් ඔහුගේ සැබෑ අරමුන, “වඩා හොඳින්” හෙද සටන් යටපත් කිරීම බව ජාත්‍යන්තර හෙද දිනයේ ඔහු කල කතාවෙන් මනාව පැහැදිලි වෙයි.

රත්නප්‍රියගේ එජාප නායක රනිල් වික්‍රමසිංහ, වසංගතය හමුවේ අප ඇතුලු මහජනතාව ගේ ජීවිත ගැන නොතකා සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ට සහයෝගය ලබාදෙන බවට නැවත නැවතත් පොරොන්දු වෙයි. හෙද සේවකයන් සටනට අවතීර්නවීම වලකාලීම මගින් රත්නප්‍රිය ලබා දෙන්නේ එම සහයෝගය යි.

කෙසේ නමුත්, අනෙකුත් කම්කරුවන්ට මෙන්ම හෙද සේවකයන්ට, වෘත්තීය සමිති තුලින් තම ඉල්ලීම් දිනාගත නොහැකි බව මෙම අත්දැකීම් වලින් මැනවින් පෙන්වා දෙයි. අපට නව වැඩපිලිවෙලක්, නව නායකත්වයක් සහ නව සංවිධානයන් අවශ්‍ය බව ඉතා පැහැදිලිය. 

වෘත්තීය සමිති වලින් බිඳී තමාගේම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමටත් එම කමිටු ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත මෙහෙයවා ගතයුතු බවටත් සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝසවෙඅ කම්කරුවන්ට කරන යෝජනාව හෙද සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය බරපතල ලෙස සැලකිල්ලට ගතයුතුයැයි මම සිතමි. 

Loading