යක්කල එස්ක්වෙල් එවර්බෙස්ට් කම්හලේ කම්කරුවන් විරෝධතා මධ්‍යයේ ඉවත් කෙරේ

මැයි 20 දා සේවයට පැමිනි යක්කල එවර්බෙස්ට් කම්හලේ කම්කරුවෝ 450 ක් පමන එහි ගේට්ටුව අසල පිට්ටනියට රැස් ව තමන් බලකිරීම් මගින් සේවයෙන් පහකිරීමට සමාගමේ කලමනාකරුවන් දැරූ තැතට විරෝධය පල කලහ. මෙම කම්හල හොංකොන්ග් මුලස්ථානය කරගත් එස්ක්වෙල් බහු-ජාතික සමාගමේ  එස්ක්වෙල් ලංකා ඇඟලුම් කම්හල් ජාලයේ ශාඛාවකි.   

විරෝධතාව උග්‍රවෙතැයි යන බියෙන් කම්හල් පාලකයින් ගම්පහ කම්කරු කාර්යාලයෙන් නිලධාරියෙකු එතැනට ගෙන්වා කොරෝනා වසංගත තත්වය නිසා රැස්වීම් පැවැත්වීම සුදුසු නැතැයි පවසමින් කම්හල ඇතුලට යන ලෙස තමන්ට උපදෙස් දුන් බව කම්කරුවෝ පැවසූහ. 

කම්කරුවන්ගේ විරෝධයට හේතුව වූයේ, කම්හල මුහුන දී ඇති මුදල් අර්බූදය නිසා, ඔවුන්ට මැයි මස සිට ගෙවීමට සිදු වන්නේ මූලික වැටුපෙන් අඩක් පමනක් බව පැවසූ පාලනාධිකාරය, කැමති අයට ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්විය හැකි බවත් අනෙක් කම්කරුවන්ට ජාඇල ඒකල පිහිටි ශාඛාවට යා යුතු බවත් නිවේදනය කිරීම යි. වසරකට පෙරාතුව පොලිටෙක්ස් ගාමන්ට්ස් යනුවෙන් හැඳින්වූ මෙම කම්හල විදේශ වෙලඳපොලට ටී-ෂර්ට් සහ සමාගමේ අනෙකුත් ශාඛාවලට කැපූ කොටස් නිපදවයි.

කෝවිඩ් ක්‍රියාත්මක කිරීමට භාවිතා කෙරෙමින් පවතී. අප්‍රේල් මස 27 දා කම්හල යලි විවෘත කෙරුනු විට කම්කරුවන්ට දැනගන්ට ලැබුනේ සේවයේ නිරත 1,200 ක් වූ සියලුම කම්කරුවන් දොට්ට දැමීම සඳහා ඔවුන්ගේ සේවා කාලය අනුව වන්දි මුදල් සූදානම් කෙරෙමින් පැවති බවයි. මාර්තු 20 සිට අප්‍රේල් 26 දක්වා රට අගුලු දැමීම හේතුවෙන්, මෙම කම්හල වසා දමා තිබූ කාලය තුලදී සමාගම විසින් මෙම වැඩ පිලිවෙල සූදානම් කරනු ලැබ ඇත.

ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා කප්පාදුව රුදුරුම ආකාරයෙන් සිදුවෙමින් පවතී. ඇඟලුම් නිශ්පාදන ක්ෂේත්‍රය ඒ අතරින් ප්‍රමුඛ වෙයි. එස්ක්වෙල් ලංකා යනු මෙම කප්පාදුව පලල්ව ක්‍රියාත්මක කරන ඇඟලුම් සමාගමකි. පසුගිය අප්‍රේල් 27 දා නිවේදනයක් නිකුත් කරමින් එහි පාලනාධිකාරය කියා සිටියේ, කර්මාන්තශාලා වැසීම, සේවකයින් සංඛ්‍යාව අඩුකිරීම, වියදම් පාලනය කිරීම ඇතුලු පිලිවෙත් වහාම ක්‍රියාත්මක කරන බවයි. කොරෝනා වසංගතය නිසා ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීමට සිදුවන බව පාලකයින් එම නිවේදනයේ සඳහන් කර ඇත. 

වසංගත තත්වයට මුවාවී ආන්ඩුවේ ද අනුමැතිය ඇතිව කම්කරුවන් කන්ඩායම් වශයෙන් කැඳවන්නේයයි සැල කරමින් යක්කල අවට පදිංචි කම්කරුවන් 600 ක් පමනක් අප්‍රේල් මස 27 දා කම්හලට කැඳවිනි. කම්හල තුල මුහුනු ආවරන සහ සබන් වර්ග සපයා තිබුන ද යන්ත්‍ර සූත්‍ර පිහිටා ඇති සමීපභාවය හේතුවෙන් වසංගතයේදී පිලිපැදිය යුතු නියමිත දුරස්ථභාවය පවත්වා ගත නොහැකි බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.

පාලකයින් මේ සම්බන්ධයෙන් වංචනිකව කටයුතු කරන බව හෙලිවූ තවත් අවස්ථාවක් වූයේ එක් දිනෙක කම්හල් බස්වල ප්‍රමානය ඉක්මවා කම්කරුවන් ප්‍රවාහනය කිරීමයි. කම්කරුවකු විසින් මේ පිලිබඳව ගම්පහ මහජන සෞඛ්‍ය නිලධාරියාට වාර්තා කලවිට ඔහු පැමින කම්කරුවන් නිවෙස් වෙත යැවීය. ආපසු දිනෙක සියලුම කම්කරුවන් කැඳවූ පාලකයෝ  සෞඛ්‍ය නිලධාරියාට පැමිනිලි කිරීම ගැන තර්ජනය කලහ.

පාලකයින් විසින් ඉදිරිපත් කෙරුනු ඉහත යෝජනාවලට කම්කරුවන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ කම්හලේ සමිති ශාඛාවක් පවත්වාගෙන යන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ (නිවෙකපොසේසේස) නායක ඇන්ටන් මාකස් මුල සිටම වෑයම් කලේ එම විරෝධතාව යටපත් කිරීමට යි. පාලකයින්ගේ යෝජනා කම්කරුවන්ට ගිල්වීමේ කොටසක් ලෙස ඔහු සඳහන් කලේ ඔවුන්ට ලැබී ඇති පත්වීම් ලිපි අනුව ඕනෑම ස්ථානයක සේවය කිරීමට සේවකයින් බැඳී සිටින බවයි. 

සමාගම වෙනුවෙන් මාකස් අද්වකාත්  ලෙස පෙනී සිටීමට කම්කරුවෝ විරෝධය දැක්වූහ. ඇන්ටන් මාකස් සමිති නායකත්වය දැන් කොලඹ ප්‍රධාන කම්කරු කාර්යාලයේ සහ ගම්පහ කම්කරු කාර්යාලයේ සාකච්ඡා පවත්වා සාධාරන විසඳුම් ලබාගත හැකි යයි යන මිථ්‍යාවක් තොරොම්බල් කරමින් සිටියි.

එවර්බෙස්ට් කම්කරුවන් මුලා කරන්නාක් මෙන්ම, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ගේ රැකියා අහිමි වීමේ තර්ජනය ගැන නිවෙකපොසේසේස සම ලේකම් වන ඔහු මැයි 14 දා වැඩබිම වෙබ් අඩවියට ප්‍රකාශ කලේ, “කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්තශාලා සේවකයින්ගේ රැකියා පිලිබඳ මතු වූ අවදානම ඉවත් වූ බවයි.” සත්‍යය නම්, කම්කරුවන්ගේ පඩි හා රැකියා කැපීමේ සම්මුතියකට මෙම සමිතිය අනෙකුත් සමිති ගනනාවක් සමග එක්ව හාම්පුතුන් හා ආන්ඩුව සමග සම්මුතියකට එලඹුනු බවයි. 

අරගලයට ඇදෙන කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කිරීමට  වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂ පෙල ගැසී ඇත. එස්ක්වෙල් ලංකා ජාලයේ අනෙකුත්  කම්හල්වල ඇති ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සමිතියේ (සීඑම්යූ) ශාඛාවන්, මෙවන් රුදුරු ප්‍රහාරයක් තම සාමාජිකත්වයට එල්ල වී තිබියදී පවා පූර්න නිහඬතාවයක යෙදී සිටිම පිලිබඳ ව කම්කරුවන්ට ඇත්තේ බලගතු වෛරයකි. 

නිවෙකපොසේසේස නායකත්වය පාවාදීමේ ක්‍රියාවල නිරතව සිටින තත්වය මධ්‍යයේ, එවර්බෙස්ට් කම්කරුවන්ගෙන් 400 - 600 අතර සංඛ්‍යාවක් පමන එක්කෝ වෙනත් කම්හල්වලට මාරුවී ඇත. නැත්නම් වන්දි මුදල් ලබාගෙන ඉවත් වී ගොස් ඇත. මෙම වන්දියෙන්ද වංචනික ලෙස ආදායම් බදු යැයි පවසමින් මුදල් කපාගෙන තිබේ. අනුරාධපුරය, හොරව්පතාන කුරුනෑගල ඇඹිලිපිටිය වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පැමිනි කම්කරුවන් ගනනාවක් ඉවත් වූවන් අතර සිටියි. කම්කරුවන් 100-150 අතර ප්‍රමානයක් ජාඇල ඇතුලු වෙනත් ශාඛාවලට ගොස් ඇත. 

වසර 20 ක් වැඩ කර ඉල්ලා අස්වූ කම්කරුවෙකුට වන්දි ලෙස රුපියල් ලක්ෂ 9 ක් ලැබුනු අතර ඉන් රුපියල් 160,000 පමන රජයේ බදු ලෙස කපා ගෙන තිබේ. වසර 2 ක් සහ මාස 10 ක් සේවය කල අචලා පැවසුවේ තමන්ට මාස 6 ක මූලික වැටුප මෙන් 6 ගුනයක් ලෙස ලැබුනු රුපියල් 138,000න් සියයට 18 ක්,  එනම් රුපියල් 24,000ක් බදු ලෙස කපා ගෙන ඇති බවයි.

පසුව කම්කරුවන් විසින් කොලඹ ආදායම්බදු දෙපාර්තමේන්තුවෙන් විමසූ විට පවසා ඇත්තේ ඔවුන් එසේ බදු නොගෙවිය යුතු බවයි. 

වයස අවුරුදු 24 ක් වන, කුරුනෑගල සිට පැමින දැනට වසර 3 ක් පමන සේවයේ යෙදෙන කම්කරු කාන්තාවක් පැවසුවේ තමන්ගේ මාසික වැටුප රු. 24,000 ක් පමන වන බවයි.  පාලකයින්ගේ යෝජනා පිලි ගන්නා ලෙස වෘත්තීය සමිතිය බල කරන නිසා තමන් ඇතුලු බොහෝ කම්කරුවන් කුමක් කලයුතු ද යන්න පිලිබඳ ප්‍රශ්නයකට මැදිවී සිටින බව ඇය පැවසුවාය. බොහෝ කම්කරුවන්ට යක්කල කම්හලේ ම වැඩ කිරීමට අවශ්‍ය බව ද ඇය කීවාය.

වසර 10 ට අධික කාලයක් මැෂින් ඔපරේටර්වරියකු ලෙස කම්හලේ සේවය කල කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: “මට ලැබෙන්නේ රු.27,500 ක මූලික වැටුපක්. පැමිනීමේ දීමනාව, ඵලදායි දිරි දීමනාව ඇතුලුව මුලු වැටුප රු 30,000 - 40,000 පමන වෙනවා. එකෙන් තව දෙදාහක් තුන්දාහක් අර්ථ සාධක අරමුදලටත් රු 12,000 ක් බැංකු නය වලටත් කැපුනාම ඉතිරි මුදලින් තමයි, මට පුතාත් මවත් නඩත්තු කරන්නට සිදුවුනේ.” 

දැන් රැකියාව අහෝසි වුවහොත් තමන් ඉමහත් දුෂ්කරතාවයකට මුහුන දෙන බව ඇය සඳහන් කලාය.  සමාගමේ රුදුරු සූරාකෑම හා අධික ලාභ පොදි ගසා ගැනීම හෙලි කරමින් ඇය පැවසුවේ කම්කරුවන් නිපයන ටී-ෂර්ට් එකක ලෝක වෙලඳපොලේ අලෙවි මිල තමන්ගේ මූලික මාසික වැටුපට සමාන වන බවයි.  

නවක කම්කරුවකුගේ වැටුප රු 17,000 ක් පමන වේ. වසර 23 ක උපරිම සේවා කාලයක් සහිත කම්කරුවකුගේ වැටුප සියලු දීමනා සහිතව උපරිම රුපියල් 40,000 ය. 

මෙම කම්හල අරඹා ඇත්තේ 1992 දී ය. එහි එම්බ්‍රොයිඩර්, කටින් (කැපුම්), මැහුම්, මැෂින් සහ පැකින් යන අංශ ගනනාවක්  ඇත.  මින් එම්බ්‍රොයිඩර් සහ කටින් අංශවලින්  යන්ත්‍රසූත්‍ර කොටසක් දැනටමත් ගලවා අනෙකුත් කම්හල් වලට ගෙන ගොස්  තිබේ. ඉතිරි වී ඇත්තේ මැහුම්, මැෂින් සහ පැකින් අංශ සහ එම්බ්‍රොයිඩර් අංශයේ යන්ත්‍රසූත්‍ර කිහිපයකි.

එස්ක්වෙල් සමාගම් සමූහය, චීනය, මැලේසියාව, වියට්නාමය, මොරිෂියස්, ජපානය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල තම කම්හල් පවත්වාගෙන යයි. මෙම කම්හල්වල 50,000 ක කම්කරු බලකායක් සේවයේ යෙදී සිටින අතර ඒවායේ නිෂ්පාදන මූලික වශයෙන් ඇමරිකාවට සහ යුරෝපයට අපනයනය කෙරෙයි. 

මැයි 5 වෙනිදා ආන්ඩුව, සේවා යෝජක හාම්පුතුන් සහ වෘත්තීය සමිති වලින් සැදුම්ලත් ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකායේ  විසින් පැවැත්වූ සාකච්ඡාවකදී, කොරෝනා වසංගතය නිසා පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන් සහ මහ ව්‍යාපාරිකයන් මුහුන දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම පිනිස, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත්  කරන ලද රැකියා  සහ වැටුප් කප්පාදු කිරීමේ යෝජනාවලට වෘත්තීය සමිති එකඟ වී ඇත

අනතුරුව කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධන ගේ   ප්‍රධානත්වයෙන්, මැයි 11 වෙනිදා පැවති, ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේ දී එම යෝජනාවලට නිලමුද්‍රාව තබන  ලදුව “කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ එකඟතා  ලියවිල්ල” යනුවෙන් නිවේදනයක් ඇමතිවරයා විසින් නිකුත්කොට  ඇත.

මෙම කමිටු දෙකේ  ඉහත සාකච්ඡාවලට මාකස්ගේ නිවෙකපොසේසේස, ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය හා එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු  වෘත්තීය සමිති සහභාගී වී ඇත. එස්ක්වෙල් සමාගමේ කම්කරුවන් පාවාදීමට මාකස් ඉටුකරන ක්‍රියාකලාපය හාම්පුතුන් හා ආන්ඩුව සමග ඇතිකරගත් සම්මුතිවල දුෂ්ට කම්කරු-විරෝධී ස්වභාවය පෙන්නුම් කරයි.   

කම්කරුවන්ට  රැකියා, වැටුප්,  විශ්‍රාම වැටුප් හා අනෙකුත් අයිතීන් රැක ගැනීමට සටන් කල හැක්කේ  තමන්ගේ අවශ්‍යතා නියෝජනය කරන, ඒ අනුව තීන්දු ගන්නා හා අරගල සංවිධානය කලහැකි නව සංවිධාන ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් පමනකි. 

මෙම අරගලයට අවශ්‍යවන පරිදි, එස්ක්වෙල් කම්හල් ජාලයේ පමනක් නොව ලංකාව තුල හා ජාත්‍යන්තරව කම්කරුවන් සමග එකමුතුව කරා කම්කරුවන්ට පෙරට යාමට හැක්කේ, එබඳු සංවිධාන ලෙස, වෘත්තිය සමිතිවලින්  හා නිලධරයෙන් සම්පූර්නයෙන් ම ස්වාධීනවූ, කම්කරු ක්‍රියාකාරී කමිටු වැඩපොලවල් හා කම්කරු නිවහන් පෙදෙස් කේන්ද්‍ර කර ගොඩනගා ගැනීමෙනි. එබඳු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට එන ලෙස එස්ක්වෙල් කම්හල් ජාලයේ කම්කරුවන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටියි. 

කොරෝනා වසංගතය නිසා උග්‍රවී ඇති අර්බුදය තුල කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීමේ සටන ධනවාදයට එරෙහි දේශපාලන අරගලයක් ලෙස විශදව හා තීරනාත්මක ව මතුවී ඇත. සමාගම්, විශාල වතු හා බැංකු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත්කොට, සුලු පිරිසකගේ ලාභ සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතාව හා යහපත සඳහා සංවිධානය කල යුතුවෙයි. 

සමාජවාදී සමානතා පක්ෂය ජාත්‍යන්තර සමාජවාදය සදහා සටනේ කොටසක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාවට දැමිය හැකි  කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදී. 

Loading