මහේස්ත්‍රාත් අධිකරනයක් මගින් කොරෝනා “ඇඳිරිනීතිය” වලංගු බව තීන්දු කරයි

කොරෝනා වසංගතය රටපුරා පැතිරීයාමේ අවදානම මධ්‍යයේ ශ්‍රී ලංකා ආන්ඩුව රටේ විවිධ ප්‍රදේශවල විටින්විට පැනවූ “ඇඳිරිනීතිය” නීත්‍යානුකූල බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරනය පසුගියදා (මැයි 11) තීන්දු කලේය. මේ තීන්දුවට අනුව, “ඇඳිරිනීතිය” උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් 60,000 කට වැඩි ප්‍රමානයක් සහ වාහන 17,000 කට වැඩි ප්‍රමානයක් අත්අඩංගුවට ගැනීම ද නීත්‍යානුකූල වෙයි. 

මෙලෙස නඩු පවරා ඇති අයෙකුට ඇප ලබාදීමේ නියෝගය නිකුත් කරමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුනාරත්න ඉහත තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. 

වසංගතයෙන් ජන ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්  ආරම්භයේ සිටම සාපරාධී නොතැකීමකින් කටයුතු කල ආන්ඩුව සමාජ දුරස්ථකරනය ප්‍රධානතම ක්‍රියාමාර්ගය ලෙස තෝරා ගත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝග පරීක්ෂන සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස කල නිර්දේශය නොසලකා හරිමිනි. ආන්ඩුව එම තීන්දුව ගනු ලැබුවේ, මහජන ජීවිත වෙනුවට, අඩු වියදම සැලකිල්ලට ගනිමිනි.  දුරස්ථකරනය ක්‍රියාත්මක කිරීම සඳහා, මාර්තු 20 සිට, ඇඳිරිනීතිය වරින් වර ප්‍රකාශයට පත්කරන ලද්දේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කල මාධ්‍ය නිවේදන හරහාය.

මිලියන සංඛ්‍යාත මහජනතාවකට එදිනෙදා අවශ්‍ය දෑ සැපයීමේ විධිමත් වැඩපිලිවෙලක් සම්පාදනය නොකර මෙම ඇඳිරිනීතිය පැනවීම නිසා, ආහාර පාන සහ බෙහෙත් ද්‍රව්‍ය සොයාගැනීම ඇතුලු අනෙකුත් අත්‍යවශ්‍ය කාරනා වලට මෙන්ම, එදිනෙදා වියදමට යම් මුදලක් සොයා ගැනීම සඳහා, එලිමහනට බැසීමට ඔවුනට බලකෙරී පැවතිබව මෙම දැවැන්ත අත්අඩංගුවටගැනීම් මගින් හෙලිවන වෛෂයික සත්‍යය යි.

පැහැදිලි නීතිමය කරුනු හා අර්ථදැක්වීම් ගනනාවක් වරදවා දක්වා ඇති අධිකරන තීන්දුව, නෛතිකව සාවද්‍ය ය. 

අධිකරන තීන්දුව මගින්ම සනාථ කරන පරිදි පොලීසිය හරහා රජය දැනටමත් පිලිගෙන ඇත්තේ ඇඳිරිනීතිය පනවනු ලැබුවේ මහජන ආරක්ෂක පනතේ (මආආ) 16 වගන්තිය හෝ මආආ යටතේම පනවනු ලබන හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නොවන බවයි. අප්‍රේල් මස අගභාගයේ සිට “නිරෝධායන ඇඳිරිනීතිය” යන නාමකරනයක් දෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මාධ්‍යයට ප්‍රකාශකර සිටියේ ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා ප්‍රකාශයට පත්කොට ඇත්තේ නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත (නිරෝවැආ) යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග මත පනවනු ලැබූ ඇඳිරිනීතියක් බව ය. අධිකරන නියෝගයේ හරය මෙම මතයට රබර් සීල් ගැසීමයි.

නිරෝවැආ 3 වන වගන්තිය මගින් සෞඛ්‍ය අමාත්‍යවරයා ට නිරෝධායන රෙගුලාසි පැනවීමේ බලය හිමිවන අතර, එහි එන 2 වන වගන්තිය යටතේ අදාල රෙගුලාසි සකස් කල හැකි විෂයයන් දක්වා ඇත. එහෙත් එම වගන්තියේ කිසිදු අනු වගන්තියක් යටතේ අමාත්‍යවරයාට, සාමාන්‍ය ඇඳිරි නීති තත්ත්වයක් යටතේ මෙන්, නිරෝගී පුද්ගලයන්ගේ ගමන් බිමන් වලකන රෙගුලාසි පැනවීමේ බලයක් හිමි නොවේ. එසේම එවැනි කොන්දේසි පනවමින් සාමාන්‍ය මහජන ජීවිතය සීමාකරන  කිසිදු රෙගුලාසියක් මින්පෙර පනවා නැති අතර, ඒ සෑම රෙගුලාසියක්ම අදාල වන්නේ රට තුලට හා ඉන් පිටතට නිශ්චිත වසංගත රෝගයක් බෝවීම වැලැක්වීම හා රෝගය වැලැඳී ඇති රෝගීන් නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් පමනි. 

ඒ අනුව, හුදෙක් ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා පනවනු ලැබූ ඇඳිරිනීතිය නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනතට (නිරෝවැආ) ද කිසිදු සම්බන්ධයක් නැත. ඇඳිරිනීතියේ අනීතිකභාවය පිලිබඳව සමාජගත වීමත්, අධිකරනයට ඉදිරිපත් කරන පුද්ගලයන්  මෙම නීතිමය කරුනු මත තම අත්අඩංගුවට ගැනීම් අභියෝගයට ලක්කිරීමත් සමඟ මෙවන් තීන්දුවක් අධිකරනයකින් ප්‍රකාශයට පත්කරවා ගැනීමට පොලීසිය හා ආන්ඩුවට අවශ්‍යව පැවතියේය. 

මීට පෙර, වැඩබලන පොලිස්පතිගේ ඉල්ලීම මත උපදෙස් දෙමින්, ඇදිරිනීතිය පැනවීම හා ඒ යටතේ “රෝගය වැලැක්වීම” සඳහා පොලීසිය ගන්නා ලද ක්‍රියාමාර්ග  අනුමත කරන බව නීතිපති අප්‍රේල් 30 නිවේදනය කලේය. තමන්ගේ අත ශක්තිමත් කිරීමේ “ඓතිහාසික තීන්දුවක්” ලෙස ගම්පහ පොලීසිය හුවා දැක්වුවද, මෙම තීන්දුව මගින් වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හෝ ඉහල අධිකරනයක් බැඳ තැබෙන්නේ ද නැත. 

දැවැන්ත මුල්‍ය හා ආර්ථික අර්බුදයක් තුල ක්‍රියාවට දැමෙන දැඩි කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වර්ධනය වෙමින් පවතින කම්කරු පන්තික අරගල පාගා දැමීම සඳහා, කොරෝනා වසංගතය (කොවිඩ්-19) ඩැහැගනිමින්, නීතිය වෙනුවට අනීතිය රජයන අත්තනෝමතික පාලනයක් තහවුරු කරගැනීම පිනිස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙනයන වැඩකටයුතු තුල මෙම අධිකරන තීන්දුව ස්ථානගත වේ.  

පෙබරවාරි 4 වන දා “නිදහස් සැමරුම්” කතාවේ සිට ඔහු නැවත නැවතත් කියා සිටියේ තම වැඩපිලිවෙලට බාධාවක් වන පරිදි අධිකරනය කටයුතු නොකල යුතු බවයි. පෙබරවාරි මැද, කොලඹ පැවති නීති සමුලුවක් අමතමින්, “රජයේ විධායක හා ව්‍යවස්ථාදායක ශාඛාවල ක්‍රියාකාරිත්වයට අධිකරනය අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතු” බව රාජපක්ෂ පැවසුවේය.

රටේ නීතිය පිලිබඳ තම අවඥාව ප්‍රකට කරමින් අප්‍රේල් 20 දා පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ජාවකදී ඔහු ප්‍රකාශ කලේ, “කල නොහැක්කක්” සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු නොකිරීම, නීති-විරෝධී නොවන බවයි. 

මැයි 14 දා රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ජාවකදී, රාජ්‍ය නිලධාරීන් තම “හරි” ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමකින් තොරව පිලිගත යුතු බවත්, එසේ නොමැතිනම් ඉවත්ව යා යුතු බවටත් රාජපක්ෂ තර්ජනය කලේය. නීතියට පිටින්, අත්තනෝමතිකව තම පාලනය ගෙනයෑමේ සූදානම වඩා හොඳින් හෙලිදරව් කරමින් ඔහු සඳහන් කලේ, ආර්ථික ඉලක්ක හඹා යාමේදී “තාර්කික නොවන නීති රීති” බාධාවක් නොකරගත යුතු බවයි. ජනාධිපති මෙසේ කියා සිටින්නේ ප්‍රතිපත්තිවල “හරි” බව හා නීති වල “තාර්තික” බව තීරනය කිරීමේ අවසාන බලධාරියා තමන් බව ය.

නීතියට පිටින් කටයුතු කිරීම නීත්‍යානුකූල හා සාධාරනීකරනය කිරීම සඳහා රාජපක්ෂ ඔහුගේ නීති වන්දිභට්ටයන් යොදාගනිමින් අනීතික ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කරන, කුප්‍රකට “අවශ්‍යතාවයේ මූලධර්මය” ජනාධිපතිගේ ක්‍රියාවන්ට අදාල වන බවට ප්‍රචාරයක් ගෙනයමින් තිබේ.

ධනපති ලාභ හා එහි අධිපතිවාදී දේශපාලන නියෝජිතයන් සුරැකීම සඳහා, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ශේෂවූ නාමික වටිනාකම්ද උගුලා දැමීම ලංකාව හෝ වෙනත් තනි රටකට සීමා වූවක් නොවේ.  

කොරෝනා වසංගත අවදානම ඉහල අඩියක පැවතියදීම කම්කරුවන්ගේ ජීවිත මරනයට බිලිකරමින් නැවත වැඩට දැක්කීම සඳහා ලංකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, දකුනු කොරියාව,  ඇමරිකාව ආදී සෑම රටකම ආන්ඩු සාපරාධී පියවර ගනිමින් සිටින්නේ මහා සංගත හා ව්‍යාපාරවලට අවශ්‍ය පරිදි කම්කරු නීති උල්ලංඝනය කිරීම සඳහා අවශ්‍ය නෛතික ආවරනය සැපයීමට කටයුතු කරමිනි. 

ඇමරිකාවේ ට්‍රම්ප්, බ්‍රසීලයේ බොල්සනාරෝ, බ්‍රිතාන්‍යයේ ජොන්සන්, ඉන්දියාවේ මෝදි සිට සෑම රටකම පාහේ පාලන තන්ත්‍රයන්  ආඥාදායකත්වයන් දක්වා රූටා යමින් තිබේ.

Loading