ඉදිරිදර්ශන

කොරෝනා වෛරසය භූගෝලය පුරා පැතිර යද්දී එක්සත් ජනපද-චීන ගැටුම ලෝක සෞඛ්‍ය සමුලුව මත ආධිපත්‍යය දරයි

මෙම ලිපිය මැයි 19 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

භූගෝලයේ දකුනේ දුගී හා පීඩිත රටවල් මත මහා පරිමාන මරනය හා විඳවීම ජනනය කිරීමට තර්ජනය කරමින්, කොවිඩ්-19 වසංගතය අනවරත ව පැතිර යමින් තිබෙන බවට වන බියකරු පුරෝකථනයන් මධ්‍යයේ, සඳුදා (මැයි 18) පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) වාර්ෂික සම්මේලනය චීනය මත වරද පැටවීමේ අනුකම්පා විරහිත මන්ඩපයක් බවට පත් කරගැනීමට වොෂින්ටනය උත්සාහ දැරී ය.

ඩබ්ලිව්එච්ඕවේ සාමාජික රටවල් 194හි නියෝජිතයන් එක්තැන් කල 73වන ලෝක සෞඛ්‍ය සමුලුව සඳුදා පවත්වන ලද්දේ, භූගෝලය පුරා මිලියන ගනන් වැඩකරන ජනයා ඔවුන්ගේ රැකියා හා ආදායම් අහිමි කරගෙන තිබෙන අතරේ ලෝක පරිමාන ව තහවුරු කරන ලද කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව දල වසයෙන් මිලියන 4,8ක් හා මරන සංඛ්‍යාව 317,000ක් වන තතු තුල ය.

බ්‍රසීලයේ මනාවුස්හි ගිල්බර්ටෝ නොවායෙස් නාගරික ක්ෂේත්‍ර රෝහලේ ‘වැනේසා කැප්සියුල්’ නමැති ස්වසනාධාර පද්ධතියක් ඇතුලත කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබයි, 2020 මැයි 18 සඳුදා. (ඒපී ඡායාරූපය/ෆෙලිප් ඩානා)

මෙම කොන්දේසි යටතේ, ඩබ්ලිව්එච්ඕවට හා චීනයට යන දෙකට ම එරෙහි වොෂින්ටනයේ පදනම් විරහිත චෝදනා දෙගුන තෙගුන කල ට්‍රම්ප් පරිපාලනයේ සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර්ගේ කලින් පටිගත කරන ලද යුදකාමී වීඩියෝ පටයක් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රචාරය කලේ ය.

“මෙම රෝගය පාලනයෙන් පිටත පැනීමේ ප්‍රමුඛ හේතූන්ගෙන් එකක් ගැන අපි අවංක විය යුතු” යි අසාර් කීවේ ය. “ලෝකයට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මෙම සංවිධානය අසමත් වූ අතර, එම අසමර්ථතාව බොහෝ ජීවිත බිලිගත්තේ ය.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික අයවැයෙන් පහෙන් එකක් වන, එක්සත් ජනපදය විසින් ඩබ්ලිව්එච්ඕව වෙත සපයන ඩොලර් මිලියන 400ක අරමුදල මත ට්‍රම්ප් පරිපාලනය පැනවූ කැටි කිරීම, අවිනිශ්චිත කාලයකට දිගු කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරනය කර ඇති ය යන වාර්තා මධ්‍යයේ, අසාර්ගේ හෙලාදැකීම සිදු විය.

වසංගතය පැතිර යාමට බීජිනය දැක්වූ ප්‍රතිචාරය, එක්සත් ජනපදයට ආසාදනය කිරීමට හා එය බෙලහීන කිරීමට දැරූ දැනුවත් උත්සාහයක් යනුවෙන් ට්‍රම්ප්ගේ ධවල මන්දිරය විසින් නිර්මානය කරන බියකරු කුමන්ත්‍රන න්‍යායයන්, චීනය වෙත ඔහුගේ ප්‍රහාරය හරවමින් අසාර් විසින් ප්‍රතිරාවය කලේ ය.

“අවම වසයෙන් එක් සාමාජික රාජ්‍යයක් වත් මෙම රෝගය සැඟවීමට දැරූ විනිවිද පෙනෙන උත්සාහයක් තුල, සමස්ත ලෝකයට ම දැවැන්ත පිරිවැයක් ජනනය කරමින්, ඔවුන්ගේ පාරදෘශ්‍යමය වගකීම් අවමානයට ලක්කලේ ය” යි අසාර් කීවේ ය. “සාමාජික රාජ්‍යයන් යහපත් විශ්වාසයකින් කටයුතු නො කරද්දී, තොරතුරු බෙදාහදා ගැනීමේ හා විනිවිද භාවයේ මූලික මෙහෙවර සාක්ෂාත් කිරීමට ඩබ්ලිව්එච්ඕව අසමත් වීම අපි දැකගත්තා.”

මේ සියල්ල විකාරයන් ය. ඩබ්ලිව්එච්ඕව “කල් තියා අනතුරු ඇඟවූවා, එය අපි නිරන්තරයෙන් කලා” යි එහි ප්‍රධානී ටෙඩ්රෝස් අද්හානොම් ගෙබ්‍රෙසෙයුස් ඔහුගේ කාතවේ දී පැහැදිලි කලේ ය. චීනය විසින් සම්පාදනය කල තොරතුරු අනුව, ජනවාරි 30දා ඩබ්ලිව්එච්ඕව එහි ඉහල ම මට්ටමේ අනතුරු ඇඟවීම වන ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කලේ ය. ඒ වන විට, තහවුරු වූ ආසාදනයන් ගනන 100ට අඩු වූ අතර, චීනයෙන් පිටත එක් මරනයක් වත් සිදු වී නො තිබුනි. 

වෝල් වීදියේ කොටස් මිල ගනන් ඉහල නැංවීම පිනිස, කොරෝනා වෛරසයේ අන්තරායන් ලඝු කිරීම ගැන සියල්ලට වඩා උත්සුක වූ එක්සත් ජනපද ආන්ඩුව, අනතුරු ඇඟවීම නො තකා හැරීමට තීන්දු කලේ ය. වසංගතයේ බලපෑම ප්‍රතික්ෂේප කල නො හැකි තැන එහි ප්‍රතිචාරය වූයේ, මූල්‍ය වෙලඳපොලවලට ඩොලර් ට්‍රිලියන ගනනක යෝධ ඇප තැබීමක් සඳහා, සම්පත්වලින් බහුතරය යොමු කිරීම යි.

වොෂින්ටනයේ අපරාධකාරී නො තැකීමේ හා උදාසීනත්වයේ අනිවාර්ය ප්‍රතිඵලය වූයේ, කොරෝනා වෛරසයේ පැතිර යාම හා එහි මරන සංඛ්‍යාව අතින් එක්සත් ජනපදය පලමුවන ජාතිය බවට පත් කිරීම යි. ලෝකයේ ජනගහනයෙන් සියයට හතරක් පමනක් සිටින එක්සත් ජනපදය, ලෝකයේ තහවුරු වූ ආසාදනයන්ගෙන් තුනෙන් පංගුවක් හා ලෝකයේ මරනවලින් සියයට 29ක් වාර්තා කර ඇත.

එක්සත් ජනපදයේ පිලිවෙත පිලිබඳ ව මීට වඩා ප්‍රතික්ෂේප කල නො හැකි චෝදනාවක් තිබිය නො හැක. ඩබ්ලිව්එච්ඕව හා චීනයට එරෙහි ව්‍යාජ ප්‍රහාරයන්ගේ ඉලක්කය වන්නේ, මෙම අපරාධකාරී වාර්තාවෙන් අවධානය ඉවතට හරවන අතර ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධානතම ගෝලීය ප්‍රතිමල්ලවයාට එරෙහි යුද ධාවනය තීව්‍ර කිරීම මගින් එහි ගෝලීය භූ-මූලෝපායික අවශ්‍යතා ලුහුබැඳීම ප්‍රවර්ධනය කිරීම යි.

සෞඛ්‍යය හා ජීවිත යන අංශවලින් සිදුවන පිරිවැය කවරක් ද යන්න නො තකා, කම්කරු පන්තිය නිර්බාධිත ව සූරාකෑම යලි ඇරඹීම සඳහා, වසංගතයේ පලමු අපිකේන්ද්‍රයන් වන එක්සත් ජනපදයේ හා යුරෝපයේ පාලක පන්තීන්, නියමිත කලට පෙර “ආර්ථිකය යලි විවෘත කිරීමකට” උත්සාහ දරද්දී, වසංගතය ගෝලීය පරිමානයෙන් අනවරත ව පැතිරී යයි.

“ලෝකය පුරා පැතිරී ඇති වෛරසය දැන් එහි බලපෑම වඩා විනාශකාරී විය හැකි භූගෝලයේ දකුනට ව්‍යාප්ත වෙමින් තිබේ” යි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් ගෝලීය සෞඛ්‍ය සමුලුව අමතා කල ඔහුගේ අදහස් දැක්වීමේ දී අනතුරු ඇඟවී ය.

“සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ ප්‍රචන්ඩත්වයෙන් හා ගැටුම්වලින් පීඩා විඳින රාජ්‍යයන්, අතිශයින් ම අභියෝගාත්මක තත්ත්වයන් යටතේ මෙම තර්ජනයට මුහුන දීමට උත්සාහ දරනවා” යි ඒ හා සමාන අනතුරු ඇඟවීමක් කරමින් ඩබ්ලිව්එච්ඕ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ප්‍රකාශ කලේ ය.

“ඔබ ජනාකීර්න කොන්දේසි යටතේ ජීවත් වෙද්දී ශාරීරික දුරස්ථකරනය පවත්වාගත හැක්කේ කෙසේදැයි” යි ඔහු විමසී ය. “ඔබගේ පවුල නඩත්තු කිරීම සඳහා වැඩකිරීමට සිදු වී තිබිය දී ඔබට නිවසට වී සිටිය හැක්කේ කෙසේ ද? ඔබට පිරිසිදු ජලය නොමැති ව තිබෙද්දී ඔබේ දෑත් පිරිසිදු ව තබාගත හැක්කේ කෙසේ ද?”

පැරනි විජිත හා ඓතිහාසික ව පීඩිත රටවල් තුල වසංගතය පුපුරනසුලු ලෙස වර්ධනයට තුඩු දෙමින්, මානව වර්ගයාගෙන් බහුතරය මුහුන දෙන කොන්දේසි මේවා ය.

දකුනු ඇමරිකාවේ තහවුරු වූ ආසාදන සංඛ්‍යාව 443,000 ඉක්මවා ගොස් ඇති අතර, මරන සංඛ්‍යාව 23,000ට අධික ය. මහාද්වීපයේ විශාලතම රට වන බ්‍රසීලයෙන්, තහවුරු වූ ආසාදනවලින් අඩකට වඩා, එනම්, 244,000ට වඩා වාර්තා වන්නේ සැබෑ ආසාදන සංඛ්‍යාව 15 ගුනයක් තරම් අධික යයි අධ්‍යයනයන් මගින් පෙන්වා දෙද්දී ය. තහවුරු වූ මරන ගනන 16,000ට වැඩි ය.

බ්‍රසීලයේ විශාලතම නගරය හා රටෙහි කොවිඩ්-19 පැතිර යාමේ අපිකේන්ද්‍රය වන සාඕ පාවුලෝහි නගරාධිපතිවරයා, නගරයේ රාජ්‍ය රෝහල් පවතින්නේ “බිඳවැටීම අද්දර”  යි පිලිගෙන ඇත. ඒවා දැනට මත් ඒවායේ ධාරිතාවෙන් සියයට 90ට වඩා පිරී ඇති අතර, සති දෙකක් ඇතුලත නව රෝගීන් ආපසු හරවා යැවීමට ඒවාට සිදු වනු ඇත.

ආසාදනයන් හා මරන ඉහල යද්දී, ප්‍රාන්ත ආන්ඩු විසින් පනවා ඇති සීමිත සමාජ-දුරස්ථකරන පියවරයන්ට පවා එරෙහි ව “යුද්ධයට” යන ලෙස රටෙහි මූල්‍ය හා සංගත කතිපයාධිකාරය උනන්දු කරමින්, බ්‍රසීලයේ ෆැසිස්ට්වාදී ජනාධිපති ජයීර් බොල්සොනාරෝ ධනපති නිෂ්පාදනය නිර්බාධිත ව යලි අරඹන ලෙස අනවා ඇත. වසංගතය සමග පොරබැදීමේ දී සිදු වන ඕනෑම “අතපසුවීමක්” සඳහා රාජ්‍ය බලධාරීන්ට සම්පූර්න නිදහස ප්‍රදානය කරන ආඥාවකට ද ඔහු අත්සන් තබා ඇත.

බොල්සොනාරෝ හා මිලිටරිය තුල සිටින ඔහුගේ ආධාරකරුවන්, කම්කරුවන් ව අනාරක්ෂිත කම්හල් හා වැඩපොලවලට කොටුකිරීම බලාත්මක කිරීම පිනිස වඩ වඩා ආඥාදායක පාලන රූප ශක්තිමත් කිරීමට පියවර ගනිද්දී පවා, සෞඛ්‍යාරක්ෂන කම්කරුවන් විසින් කරනු ලබන විරෝධතා හා වැඩ වර්ජන පුපුරනසුලු ලෙස වර්ධනය වී ඇත. ලෝකයේ ඉහල ම සෞඛ්‍ය කම්කරු මරන සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වේ; වසංගතය ව්‍යාප්ත වීම ඇරඹුනු තැන් පටන් එහි හෙදියන් 116ක් මියගොස් ඇත.

දකුනු ආසියාව ද ග්‍රහලෝකය මත කොරෝනා වෛරස් ආසාදනයන්ගේ ඉහල යාමේ ඉහල ම අනුපාතයකින් පීඩා විඳී. ඉන්දියාවේ තහවුරු ආසාදන ගනන 100,000ට වඩා ඉහල ගොස් තිබෙන්නේ, 3,000කට වඩා මිය යද්දී ය. මාරාන්තික වෛරසය එහි විශාලතම ගොදුරු ගනන ගිලගෙන ඇත්තේ දිල්ලියේ හා මුම්බායිහි පැල්පත් ප්‍රදේශවලිනි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ අන්ත-දක්ෂිනාංශික හින්දු ජාතිකවාදී ආන්ඩුව ලෝකයේ වඩාත් ම ආන්තික අගුලු දැමීමක් පනවා ඇති අතර, රටෙහි ගරාවැටුනු සෞඛ්‍යාරක්ෂන පද්ධතිය රෝගය සමග සටන් වැදීමට සූදානම් නැත. ඉන්දියාව සෞඛ්‍යාරක්ෂනයට වියදම් කරන්නේ දදේනියෙන් යන්තම් සියයට 1ක් පමනි. එහි ප්‍රතිඵලය වන්නේ, කම්කරුවන්ට හා පීඩිත ජනයාට රෝග පීඩා, බඩගින්න සහ පොලිස් ප්‍රචන්ඩත්වයට හා ම්ලේච්ඡත්වයට මුහුන දීමට සිදු වීම යි.

සංගත හා මූල්‍ය ආයෝජන චීනයෙන් ඉවතට හරවා අද්දවා ගැනීමේ ඉලක්කය සහිත යෝධ පුද්ගලීකරන හා ආර්ථික ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලක් තල්ලු කරගැනීම සඳහා ආන්ඩුව අර්බුදය ගසාකන අතර, කම්කරුවන් ව යලි කම්හල් තුලට තල්ලු කිරීමට දරිද්‍රතාව හා කුසගින්න උපයෝගී කරගැනෙමින් පවතී.

මැයි 18දා ශ්‍රී ලංකාවේ තහවුරු වූ කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාව 986 කරා ලඟා වූයේ මරන නවයක් සමගිනි. වෛරසය පැතිර යාමේ අන්තරාය නො තකා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, අගුලු දැමීම අවසන් කරමින්, රටෙහි ආර්ථිකය මැයි 11දා සිට යලි විවෘත කොට ඇත. කොලඹ හා ආසන්න ගම්පහ දිස්ත්‍රික්කය ඇඳිරි නීතිය යටතේ පැවතියත්, සාමාන්‍ය ශ්‍රම බලකායෙන් තුනෙන් පංගුවක් යොදාගෙන දිවයින පුරා සියලු රාජ්‍ය හා පුද්ගලික අංශ ව්‍යවසායයන්වලට ක්‍රියාත්මක වීමට අවසර දෙනු ලැබ ඇත. ඒ අතර ම, මිලිටරිකරන සැලසුම් තීව්‍ර කිරීමට වසංගතය උපයෝගී කරගැනීමේ පිලිවෙතෙහි කොටසක් ලෙස, මහජන චලනයන් අධීක්ෂනය කරමින් කොලඹ දිස්ත්‍රික්කය, දුම්රිය, දුම්රිය ස්ථාන හා බස් පර්යන්තවලට රාජපක්ෂ ආන්ඩුව විසින් සොල්දාදුවන් දිගේලි කොට ඇත.

ෆිලිපීනය ආසාදන 12,718ක් හා මරන 831ක් වාර්තා කර ඇත. ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ අගුලු දැමීම ජුනි දක්වා දිගු කොට ඇත. වසංගත අර්බුද කඩතුරාවට මුවා වී, දුතර්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත කඩා පැනීම තීව්‍ර කොට තිබේ. ඔහුගේ ආන්ඩුව රටෙහි විශාලතම රූපවාහිනී ජාලය වන ඒබීඑස්-සීබීඑන් වසා දමා ඇත්තේ, එහි සාමාජිකත්වය අවසන් වී ය යන ව්‍යාජ නෛතික කඩතුරාව යටතේ ය.

ඇෆ්ගනිස්තානය දකුනු ආසියාවේ වඩාත් ම බලපෑමට ලක්වූ රටයි. දශක දෙකකට ආසන්න එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද්ධය විසින් විනාශභාග කරන ලද එම රටෙහි ජනගහනයේ පීඩාව කොවිඩ්-19 පැතිර යාම තව තවත් තීව්‍ර කර ඇත. දැනට, ඇෆ්ගනිස්තානයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ගනන 7,072ක් වන අතර, පුද්ගලයන් 173ක් පමන එයින් මියගොස් තිබේ. පරීක්ෂන ඉතා අවම වන තතු යටතේ, මෙම සංඛ්‍යා ලේඛන නිසැක ව ම සැබෑ සංඛ්‍යාවන්ගෙන් කොටසක් පමනි.

සඳුදා වන විට ආසාදිතයන් 87,000ක් පමන වාර්තා වූ අප්‍රිකාවේ මරන ගනන 2,800ට ආසන්න විය. පලමු ආසාදනය ලෙසෝතෝවෙන් වාර්තා වූ අතර, මහාද්වීපයේ රටවල් 54න් සෑම එකක් ම ගෝලීය වසංගතයේ කොටසක් බවට පත්ව ඇත. මාරාන්තික වෛරසය සමග සටන් කිරීමේ හැකියාව ඉතා ම අවම වන දුගී සෞඛ්‍යාරක්ෂන පද්ධති සහිත අප්‍රිකාව තුල, වසංගතයේ පලමු වසර ඇතුලත බිලියන කාලක් පමන ආසාදනය වනු ඇති බවත්, 190,000ක් පමන මිය යනු ඇති බවත්, ඩබ්ලිව්එච්ඕව පුරෝකථනය කර තිබේ.

සඳුදා වන විට දකුනු අප්‍රිකාවෙන් ආසාදන 15,515ක් හා මරන 264ක් වාර්තා විය. රටෙහි බටහිර තුඩුව, වෛරසයේ ඉහල ම ප්‍රජා සම්ප්‍රේෂන රේට්ටුව දැකගෙන ඇත්තේ, කේප් ටවුන්හි විශාලතම නිල නො වන ප්‍රදේශය වන, දුගී හා ජනගහනය අධික කයේලිස්තා වැනි නගර තුල සංකේන්ද්‍රනයන් සහිත ව ය.

අප්‍රිකාවේ තහවුරු වූ ඉහල ම මරන සංඛ්‍යාව වන 630 ඊජිප්තුවෙන් වාර්තා වන අතර, එහි තහවුරු වූ ආසාදන සංඛ්‍යාව 12,229කි. එක්සත් ජනපද පිටුබලය ලත් ආඥාදායක ජනරාල් අබ්දෙල් ෆාටා අල්-සිසි, ඔහුගේ පාලන තන්ත්‍රයේ සංඛ්‍යා ලේඛන හා එය අර්බුදය හසුරුවන ආකාරය ප්‍රශ්න කරමින්, ලිපි ලිවීම පිලිබඳ ව ජනමාධ්‍යවේදීන් මත කඩා පනිමින් පොලිස් රාජ්‍ය මර්දනය තීව්‍ර කිරීම සඳහා වසංගතය ගසා කා ඇත.

මහාද්වීපයේ වැඩි ම ජනගහනය සහිත ජාතිය වන නයිජීරියාවෙන් ආසාදන සංඛ්‍යාවන් තියුනු ලෙස ඉහල යාමක් වාර්තා වන්නේ, තහවුරු කරන ලද සිද්ධි 6,000ක් හා මරන 182ක් සමගිනි. සියයට 21ක ධන ප්‍රතිඵල සහිත ව පරීක්ෂන 28,000ක් පමන සිදුකර ඇති අතර, සැබෑ සංඛ්‍යාවන් නිසැක ව ම විශාල වසයෙන් ඉහල ය.

කොරෝනා වෛරසය වැලඳී ඇති කම්කරුවන් 500ට අධික පිරිසක් මාලු සැකසුම් කර්මාන්තශාලාවක් තිබෙන ඝානාව ද ආසාදනයන් තියුනු ලෙස ඉහල යාම දැකගෙන ඇත.

මැයි 10දා පටන්, දකුනු අප්‍රිකාව, නයිජීරියාව හා ඝානාව යන රටවල් තුනේ ම ආන්ඩු, ව්‍යාපාර හා නිෂ්පාදනය අදියරෙන් අදියර විවෘත කිරීම හඳුන්වා දී ඇතත්, එම රටවල් තුන ම ඒවායේ කොරෝනා වෛරස් ආසාදනයන් සංඛ්‍යාව දෙගුන වීම දැකගෙන තිබේ.

සඳුදා වන විට, මැද පෙරදිග  කොවිඩ්-19 ආසාදනයන් සංඛ්‍යාව 465,000ට අධික සංඛ්‍යාවකට නැගුනි. ඉහල ම සංඛ්‍යාව වන 150,000 තුර්කියෙන් වාර්තා විය. ඉරානයේ ආසාදන ගනන 122,000ට වැඩි වන අතර, කලාපයේ වාර්තාගත ඉහල ම මරන ගනන වන 7,057 එරටින් වාර්තා වෙයි. එය එහි තියුනු ම එක් දින ආසාදන ඉහල යාම වන 2,294 සඳුදා වාර්තා කලේ ය. පසුගිය මාසය අගභාගයේ ආන්ඩුව රටෙහි ආර්ථිකය විවෘත කිරීම ඇරඹුවේ නිරෝධායන බාධක ලිහිල් කරමිනි.

එක්සත් ජනපදයේ පිටුබලය ලත් අධිරාජ්‍යවාදී මැදිහත් වීම් විසින් විනාශ කර දමා ඇති සමාජ යටිතල පහසුකම් සහිත රටවල් තුන වන සිරියාව, ලිබියාව හා යේමනය හරහා ද මාරාන්තික වෛරසය පැතිර යමින් තිබෙන අතර, දේශීය බලධාරීන් හෝ ජාත්‍යන්තර සංවිධාන විසින් සිදුකරන පරීක්ෂන හිඟ වීම, එම රටවල අර්බුදයෙහි පරිමාව නො දන්නා දෙයක් බවට පත්කර ඇත.

එක්සත් ජනපදය හා බටහිර යුරෝපයේ පටන්, ලතින් ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව හා මැද පෙරදිග දක්වා සමස්ත ලෝකය පුරා, හාත්පස පැතිරුනු සමාජ අසමානතාවේ, වැඩකරන ජනයාගේ සිට පාලක මූල්‍ය කතිපයාධිකාරය වෙත ධනය මාරු වීමේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූප හීන වීමේ සහ ආඥාදායකත්වය දෙසට වන හැරීම ඉහල යාමේ හා අධිරාජ්‍යවාදී යුද්ධය දෙසට වන ධාවනයේ වසංගතයට පෙර පැවති කොන්දේසි, කොවිඩ්-19 විසින් හෙලිදරවු කොට තීව්‍ර කර තිබේ.

ලෝකය පුරා මිලියන ගනන් ජනයාගේ ජීවිත අවදානමේ පවතිද්දී, වසංගතයට එරෙහි අරගලය, සමාජවාදය සඳහා සටන තුල කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුලුගැන්වීම හා එහි ජාත්‍යන්තර එකමුතු වීම මගින් පමනක් සාර්ථක ව දියත් කල හැකි දේශපාලන අරගලයක් බව වඩ වඩා ඉස්මතු වේ.

Loading