ලක්ෂ පහක රැකියාවන් ට බලපාමින් කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුදයට ඇදහෙලයි

ගෝලීය වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තය ඇදවැටීම හේතුවෙන් සංචාරක කම්කරුවන් 450,000ට පමන රැකියා අහිමි වී ඇත. මින් 180,000ක් පමන කර්මාන්තය තුල ඍජු රැකියාවන්හි නිරත වන අතර, අනෙකුත් අය එම කර්මාන්තයට සම්බන්ධිත රැකියාවන් හි යෙදී සිටිති.

තාවකාලික හා කොන්ත්‍රාත් කම්කරුවන් විශාල ගනනක් රැකියාවලින් ඉවතට ඇද දැමීමට බලකරමින්, හෝටල්, ගමනාන්ත කලමනාකරන සමාගම් (ඩීඑම්සී), සංචාරක සාප්පු, සංස්කෘතික අඩවි, ජාතික උයන් හා අවන්හල් ඇතුලු සංචාරක කර්මාන්තයට සම්බන්ධ සේවා සපයන ආයතන වසා දමනු ලැබ තිබේ.

“ආර්ථිකයේ වඩාත් ශ්‍රම-ආවශ්‍යක ක්ෂේත්‍රයක් තුල රැකියා මිලියන ගනනක් අනතුරේ හෙලමින්, ගෝලීය සංචාරක කර්මාන්තය ට බලගතු පහරක් එල්ල වී ඇතැ” යි ලෝක සංචාරක සංවිධානය මෑතක දී ප්‍රකාශ කලේ ය.

රාජ්‍ය සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිනීම්, අප්‍රේල් මාසයේ දී ශූන්‍යය කරා ලඟාවීමට පෙර,  ජනවාරියේ සියයට 6.5කින්, පෙබරවාරියේ සියයට 17.7කින් හා මාර්තුවේ සියයට 78.8කින් පහත වැටුනි.

කොවිඩ්-19 සමගින් වේගවත් වූ ගෝලීය ආර්ථික බිඳවැටීමේ කොටසක් ලෙස, සංචාරක කර්මාන්තයට පමනක් නොව,  ප්‍රධාන වසයෙන් විදේශ විනිමය උපයන අනෙකුත් විශාල හා කුඩා ව්‍යවසායයන්ට නරක අන්දමින් බලපා ඇත්තේ, රැකියා ලක්ෂ ගනනකට තර්ජනය කරමිනි.

එක්සත් ජනපදයට හා යුරෝපා සංගමයට කරන අපනයන මත ප්‍රධාන වසයෙන් රඳා පවතින රෙදිපිලි හා ඇඟලුම් අංශ ගෝලීය ඉල්ලුම තියුනු ලෙස පහල යාමකට මුහුන දෙමින් සිටී. ඇඟලුම් සමාගම් සියයට 70 දක්වා වන රැකියා කප්පාදු සහ සියයට 30 සිට 60 දක්වා වන වැටුප් අඩුකිරීම් නිවේදනය කර තිබේ.

“අපේ කර්මාන්තයේ රැකියා රැකගැනීම අපට පමනක් කල නො හැකි නිසා, ඒවා ආරක්ෂා කරගැනීමට” ආන්ඩුව උදවු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත ප්‍රකාශ කලේ ය. දීර්ඝ-කාලීන ආපසු ගෙවීමේ කාලයක් ලබා දෙමින්, සියයට 4 ක පොලියට ක්‍රියාකාරී ප්‍රාග්ධන නය දිගට ම ලබා දෙන ලෙස ඔහු ආන්ඩුවෙන් ඉල්ලී ය. පසුගිය මස මුල දී, ප්‍රධාන වසයෙන් මහා ව්‍යාපාරවලට ආන්ඩුව මෙවන් සහන නය සම්පාදනය කලේ ය.

හෝටල් හිමියන් කම්කරුවන් කෙරෙහි අනුකම්පා සහගත ය යන්න බොරුවකි. 2021 අප්‍රේල් දක්වා සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමෙන් වැලකීමට අවසර දෙන ලෙස, එම ආයාචනය තුල ම උක්වත්ත ඉල්ලා සිටියේය. බොහෝ කම්කරුවන් දැනට මත් සේවයෙන් ඉවත් කරනු ලැබ ඇත.

“වසර තුනකින් ගෙවිය හැකි පොලී රහිත මෘදු නය ලබාදීමට ආන්ඩුව අපොහොසත් වුවහොත්, කාර්ය මන්ඩල පිරිවැය කපාහැරීමේ පියවර ගැනීමට අපට සිදුවිය හැකි” යි තර්ජනය කරමින්, ඩීඑම්සී යටතේ ඇති සංවිධානයක සභාපති වන මහේන් කාරියවසම් එම ඉල්ලීම ම කලේ ය.

පසුගිය වසරේ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව, සංචාරක කර්මාන්තය යලි පනගන්වා ගැනීම සඳහා, එම ක්ෂේත්‍රයේ මහා ව්‍යාපාරවලට රුපියල් මිලියන 250 දක්වා වූ සහන නය සම්පාදනය කරනු ලැබී ය. එහෙත්, බොහෝ හෝටල් හිමියන් යලි වැඩට බඳවා ගත්තේ, ප්‍රහාරයෙන් පසුව සේවය අත්හිටුවන ලද අනියම් කම්කරුවන්ගෙන් අතලොස්සක් පමනි.

ලෝසවෙඅ වාර්තාකරුවන්ට අදහස් දැක්වූ, කොලඹ ඩීඑම්සී කම්කරුවෙක් කියා සිටියේ, පරිවාස කාලයේ සේවය කරමින් සිටි තරුන කම්කරුවන් ගනනාවකට රැකියා අහිමි වී ඇති බව යි. “ඉදිරි මාසවල දී අපට පඩි ලැබේ යයි විශ්වාස නැහැ” යි ඔහු කීවේ ය. විකල්ප රැකියාවක් සොයාගත හැකි වේ ද යන්න ගැන මෙම කම්කරුවන්ට විශ්වාසයක් නැත.

ආහාර හා නවාතැන්වලට අමතර ව සංචාරක මගපෙන්වන්නෙකුට දිනකට ගෙවූ රුපියල් 2,500 (ඩොලර් 13.5) දීමනාව, ඩොලර් 35 දක්වා වැඩිකරන ලෙස, ආන්ඩුවේ “ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය” යටතේ ගෙන ආ යෝජනාව ඩීඑම්සී සමාගම් ප්‍රතික්ෂේප කලහ. එහෙත්, සමස්ත සංචාරය පුරා, මගපෙන්වන්නන් පැය 24 ක රාජකාරියේ නිරත වීමට සිදුවනු ඇත.

“මෙම දීමනාව කලාපීය සාමාන්‍ය අගයට වඩා බොහෝ අඩු යි. වසංගතය යොදාගනිමින් ගෙවීම ඉහල දැමීම ප්‍රතික්ෂේප කිරීම මුලුමනින් ම අසාධාරන” යැයි ශ්‍රී ලංකා ජාතික සංචාරක නියාමක දේශකයන්ගේ ආයතනයේ සභාපති මහේෂ් ප්‍රියදර්ශන කීවේ ය.

රටෙහි ප්‍රධාන හෝටල් ජාලයන්ගෙන් එකක් වන ජෙට්විං හොටෙල්ස්, “වසංගතයේ මූල්‍ය බලපෑම අවම කිරීමට” සියයට 10 සිට 50 දක්වා වැටුප් කපාහැරීමක් සිදු කිරීමට යයි.

එහෙත්, 2018/2019 වාර්ෂික වාර්තාවට අනුව, පිලිවෙලින් 2016 දී රුපියල් මිලියන 62ක්, 2017 දී මිලියන 137ක් හා 2018 දී මිලියන 133ක් වසයෙන්, මෙම සමාගම විශාල ලාභ වාර්තා කර තිබුනි. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර තිබිය දී ම, 2020 මාර්තු වන විට සමාගම රුපියල් මිලියන 103 ක් ඉපැයී ය. 

තාවකාලික හා කොන්ත්‍රාත් පදනම් යටතේ සේවය කරන කම්කරුවන් විශාල ගනනකට රුපියල් 13,000ක අවම මාසික වැටුපකට සේවය කිරීමට බලකෙරී තිබේ. එමෙන් ම සංචාරක තානායම්වල කම්කරුවන්ට අඩු වැටුපකට බහුවිධ කාර්යයන් කිරීමට බලකරනු ලැබේ.

තමන් සේවය කල හෝටලය මාර්තුවේ වසා දැමූ බවත්, කොන්ත්‍රාත් හා අනියම් කම්කරුවන් 75 කට පමන රැකියා අහිමි ව ඇති බවත්, කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය. “කලමනාකරුවන් ද ඇතුලු ව ස්ථීර කාර්ය මන්ඩලය සිටින්නේ 25ක් පමනයි. වෙනත් දීමනා නො සැලකුවත් ඔවුන්ට පවා මූලික වැටුප සම්පූර්නයෙන් ගෙවුවේ නැහැ. එලඹෙන මාසවල වැටුප් ගැන කිසිවක් නිශ්චිත නැහැ” යි ගාල්ලේ වෙරලබඩ අවන්හලක ස්ථීර කම්කරුවෝ පැවසූහ.

පොලොන්නරුවේ හෝටල් කම්කරුවෙක් වන අරුන, තමන්ගේ සහෝදර කම්කරුවන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඇතැයි කීවේ ය. “ස්ථීර සේවකයන් සිටින්නේ හතර දෙනෙක් පමනයි, ඔවුන්ට තවමත් අප්‍රේල් පඩිය ගෙවා නැහැ” යි ඔහු කීවේ ය. 

තමන්ගේ සංගමයේ සාමාජිකයන් 525ක් සිටින බවත්, කුඩා පරිමාන ව්‍යවසායකයන් වන ඔවුන්ගෙන් බොහෝ දෙනා මූල්‍ය ආයතනවලින් ලබාගත් නයවල වටිනාකම රුපියල් මිලියන 650 ඉක්මවන බවත්, ශ්‍රී ලංකා සංචාරක බස් හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස කීවේ ය.

ගම්පහ පදිංචි අජිත්, ඔහුගේ සංචාරක බස් දෙක සඳහා රුපියල් 260,000ක් පමන වන මාසික කල්බදු වාරික දෙකක් ගෙවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මූල්‍ය සමාගම් කවර හෝ කල්බදු සහන ලබාදීමක් ප්‍රතික්ෂේප කල බව ඔහු කීවේ ය. “මේ වතාවේ කිසිම බද්දක් ගෙවීම කල නො හැකියි, මගේ බස් දෙක රැගෙන යාමට මම මූල්‍ය සමාගම්වලට ඉඩ දෙනවා” යි ඔහු කීවේ ය.

රියැදුරන්, සහායකයන් ඇතුලු 1,900කට පමන හා ඒ හා සමාන සහායක කාර්ය මන්ඩලයකට ඔවුන්ගේ ජීවිකාව අහිමි වී ඇතැයි අජිත් තවදුරටත් කීවේ ය. ඉන් සමහරු දෛනික කම්කරුවන් හෝ ගොවීන් ලෙස රැකියාවක් සොයාගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරති.

මහනුවර මැනික් හා ස්වර්නාභරන සාප්පුවක කම්කරුවෙක්, සාප්පුවේ වැඩකරන 60කට පමන මාර්තු මාසයේ ලැබුනේ මූලික පඩිය පමනකැයි කීවේ ය. “අපිට තාම අප්‍රේල් වැටුප ලැබුනේ නැහැ. සමාගමේ අයිතිකාරයාට ආන්ඩුවෙන් සහන නයක් ලැබෙන තෙක් සිටින්නැයි අපට කීවා. මගෙන් නඩත්තු වන හතර දෙනෙක් පවුලේ සිටිනවා” යි ඔහු තවදුරටත් කීවේ ය.

පොලොන්නරුව දිස්ත්‍රික් සංචාරක සේවා සම්පාදක සංගමයේ ලේකම් හා සංචාරක අවන්හල් හිමියෙක් වන ආරියදාස, මේ දක්වා තමන්ට කිසිදු සහනයක් ලැබී නැතැයි කීවේ ය. ඔහු තම අවන්හල වැඩිදියුනු කිරීම සඳහා රුපියල් මිලියන 22ක නයක් ලබාගෙන ඇත.

“මෙහි සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින ජනතාවට කිසිම ආන්ඩුවක් උදවු කලේ නැහැ. නය ආපසු ගෙවන්නේ කොහොමදැයි මට හිතාගන්න බැහැ” යි ඔහු කීවේ ය. ඔහුගේ අවන්හලේ කම්කරුවන් දාහතර දෙනෙකුට ද කිසිදු ආදායමක් නැත.

ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ, රියදුරන් හා වාහන හිමියන් හයසියයක් පමන සමගින් සෆාරි වාහන පන්සියයක් තිබේ. “වාහන හිමියන්ට ඔවුන්ගේ ආදායම නැතිව ගොස් තිබෙන නිසා රියදුරන්ට ඔවුන්ගේ රැකියාව නැති වෙලා” යි සෆාරි රියැදුරෙක් කීවේ ය. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මූල්‍ය සමාගමක අනියම් කම්කරුවෙකු වන අතර ඔහුට ද මාර්තු මාසයේ සිට වැටුප් ලැබී නැත. තවමත් පාසල් යන තරුන දියනියන් දෙදෙනෙකු සිටින පස් දෙනෙකුගෙන් යුත් පවුලට උදවු කිරීම “අතිශයින් දුෂ්කර” බව ඔහු කීවේ ය.

ප්‍රදේශයේ සෆාරි රියදුරන් හා සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යපාරවල නිරත අනෙකුත් අය, සහන නයක් ලබා දෙන ලෙස ආන්ඩුවෙන් කල ඉල්ලීම, අගමැතිගේ වැඩිමහල් පුත් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්ෂ, මූල්‍ය දුෂ්කරතා ගැන සඳහන් කරමින් මගහැරිය බව ඔහු කීවේ ය.

වසංගත අර්බුදය විස්තර කරමින් සෆාරි රියදුරා මෙසේ කීවේ ය: “පාලකයන් මේ වසංගතය ගන්නේ ඉතාම සැහැල්ලුවෙන්. ජනාධිපති ට්‍රම්ප්ට ඇමරිකාවේ මරන ගනන සංඛ්‍යා ලේඛනයක් විතරයි. මරන ගනන ගනන් කිරීම ඔවුන්ට ක්‍රිකට් සෙල්ලමක් වගේ. කවර හෝ වියදමක් දරා මිනිසුන් ආපසු වැඩට දැක්කීම ඔවුන්ට අවශ්‍ය යි. ඔවුන්ට ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගා ගැනීම අවශ්‍ය යි. ඔවුන් උත්සුක වන්නේ ඔවුන්ගේ පැවැත්ම ගැන විතරයි.”

“මිනිසුන් දුක් විඳිනවා. ඔවුන්ට මුදල් නැහැ. ඒත් පාලකයෝ අපට වැඩට යන්න බලකරනවා.” රට යලි විවෘත කිරීමට තරම් කල් වැඩි බව ඔහු සිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගුලු දැමීම නතර කොට, අඟහරුවාදා සිට රට විවෘත කලේ ය.

එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර රටවල පාලකයෝ “ඔවුන්ගේ ම අවශ්‍යතා ඉදිරියට දැමීමටත්, චීනයට එරෙහි ව භාවිතා කිරීමටත්, වසංගතය යොදා ගැනීමේ අවස්ථාවන් සොයමින් සිටින” බව ද ඔහු කීවේ ය.

සෑමතැනකම කම්කරුවන් එක හා සමාන කොන්දේසිවලට මුහුන දෙන බව කොලඹ ඩීඑම්සී කම්කරුවා කීවේ ය; ඔවුන්ට රැකියා අහිමි වෙයි, වැටුප් නොලැබෙයි. ඔවුනගේ වැටුප් ගෙවීමට මුදල් නැතැයි සමාගම් පවසන බව ඔහු සඳහන් කලේ ය: “ඔවුන් වසර ගනනක් තිස්සේ කඳුගසාගත් මේ මුදල් යන්නේ කොහාට ද?”

Loading