රාජපක්ෂ ආන්ඩුව ශ්‍රී ලංකන් එයාලයින් ඇතුලු රාජ්‍ය ආයතන කීපයක රැකියා සහ වැටුප් කප්පාදු කරයි

කොරෝනා වසංගතය මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුව රාජ්‍ය ආයතන කීපයක වැටුප් සහ දීමනා කැපීමටත් කම්කරුවන් සේවයෙන් පහ කිරීමටත් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකන් එයාලයින් සමාගම, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන ආයතනයන්හි සේවකයෝ මෙම ප්‍රහාරයට ලක්ව සිටිති.

වසංගතය හේතුවෙන් ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරු කෙරී ඇති අතර, එහි බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට ජනාධිපති රාජපක්ෂ දියත්කර ඇති රුදුරු වැඩපිලිවෙලේ කොටසක් ලෙස මෙම ප්‍රහාර එල්ල කෙරේ. 

සේවකයින් 7,500 කින් සමන්විත ශ්‍රී ලන්කන් එයාලයින් සමාගම  තම සේවකයින්ගේ මැයි මස වැටුප් මෙතෙක් ලබා දී නැත. පරිපාලනය විසින් සේවකයින්ට දැනුම් දී ඇත්තේ වැටුප් සහ දීමනා “හැකිතාක් ඉක්මනින්” ලබා දෙන බව යි. වැටුප් ප්‍රමාදයට හේතු ලෙස දක්වා ඇත්තේ සමාගම පාඩු ලැබීමයි.

රුපියල් ලක්ෂයට වඩා වැඩි වැටුප් ලබන සේවකයන්ගේ වැටුපෙන් සියයට 5 ත් 25 ත් අතර ප්‍රතිශතයක්, මාස තුනක කාල සීමාවක් සඳහා කපා හරින බවත්, 2020 ට හිමි වැටුප් වර්ධක කිසිම සේවකයෙකුට ලබා නොදෙන බවත් අප්‍රේල් මුලදී අධ්‍යක්ෂ මන්ඩලය දන්වා තිබුනි. මගී සත්කාරක සේවයට අයත්වන 1,500 ක් පමන සේවක-සේවිකාවන්ට ඵලදායිතා දීමනා ලබා නොදීම හේතුවෙන් ඔවුනට සියයකට 75 කට වැඩි මාසික ආදායමක් අහිමි වෙයි. ඔවුනගේ ආහාර දීමනාව ද කපා හැරීමට යෝජනා වුවද ඊට සේවකයින්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එය හකුලා ගැනින. 

මැයි මස වැටුප් නොගෙවීම පිලිබඳව දැඩි කෝපයෙන් කතා කල වසර 20 ක සේවා කාලයක් සහිත ගුවන් සත්කාරිකාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ “ඉතා ඉක්මනින් මැයි මාසෙ පඩි ලැබෙන්න සලස්වනව කියල” තමන්ට ලිපියක් ලැබුනු බවයි. 

“වසංගතය නිසා ආදායම් අඩුවෙලා පඩි ගෙවන්න රුපියල් මිලියන 35 ක් මදි කියල පරිපාලනය කියනවලු. ආන්ඩුවෙන් ඒ මුදල ඉල්ලුවට ලැබුනෙ මිලියන 8 ක් විතරයි ලු.  කොරෝනා වලට ඉස්සෙල්ල ඉඳල මෙම සමාගම නොයෙකුත් ආන්ඩුවල මැති-ඇමතිවරුන්ගෙයි නිලධාරීන්ගෙයි වංචා දූෂන නිසා මුදල් අර්බුදයකට ගොදුරු වෙලා තිබුනෙ” යැයි ඇය තවදුරටත් පැවසුවාය.

සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ඉහත කප්පාදු වැඩ පිලිවෙල තමන්ගේ ක්ෂේත්‍රයේ සේවකයින්ට බලපාන ආකාරය ගැන ඇය පැහැදිලි කලාය: 

“මේ දවස්වල මම හැමදාම වැඩට යන්නෙ නෑ. පරිපාලනයත් එක්ක යුනියන් එක එකඟවෙල ෆ්ලයින් අවර්ස් දීමනාව (පියාසර පැය ගනන අනුව දෙන දීමනාව) අඩු කරල.”

තම වැටුපෙන් වැඩි ප්‍රමානයක් සමන්විත වන්නේ පියාසර පැය කාලය මත උපයා ගන්නා දීමනා වලින් බැවින්, එය දැවැන්තව කපා දමා ඇති තතු තුල, රුපියල් 23,000 ක සොච්චම් මූලික වැටුපෙන් ජීවත්විය නොහැකි බව ඇය පැවසුවාය. 

සේවක-සේවිකාවන්ගේ ජීවිත වලට වසංගතයෙන් ඇතිවන බලපෑම ගැන පරිපාලනයේ නොතැකීම පිලිබඳව ඇය විස්තර කලේ දැඩි ආවේගයකිනි. සත්කාරක සේවාවේ නියුතු තමා ඇතුලු සහෝදර කාර්ය මන්ඩලයට මගීන් සමග නිරන්තරව ගැවසීමට සිදු වුවද වසංගතයෙන් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරන නිසි පරිදි ලබා නොදෙන බව ඇය පැවසුවාය.  

සෞඛ්‍ය සේවයේ අදාල බලධාරීන්ට පැමිනිලි කිරීමෙන් පසු මගී සත්කාරක සේවකයින්ට යම් ආරක්ෂක මෙවලම් ලැබුනු නමුත් ඒවා තත්වයෙන් ඉතා බාල බව ඇය පැවසුවාය. 

තමා සාමාජිකත්වය දරන ගුවන් සේවකයන්ගේ වෘත්තීය සමිතිය (Flight Attendents Union) පරිපාලනයට යටවී මෙම තත්වයෙන් බාල ආරක්ෂක මෙවලම් වලට එකඟවී ඇති බව ද ඇය කීවාය. 

පුහුනු පාඨමාලාවක නිරත වීමෙන් පසු මෑතකදී සත්කාරක සේවයට බඳවා ගැනුනු 40 ක් පමන සේවකයන් මූලික වැටුප් සහිතව මාස 6 ක අනිවාර්ය නිවාඩු යවා ඇත.

ගුවන් මගීන්ගේ බැගේජ් අංශයේ වසර 17 ක් සේවයේ නිරත කම්කරුවෙකු පැවසුවේ මගී ගුවන් යානා අඩුවීම නිසා පසුගිය මාසයේ සහ මේ මාසයේ ඔහු සේවයට කැඳවා ඇත්තේ දින හතර බැගින් පමනක් බවයි. අගෝස්තු වනතුරු මගී ගුවන් යානා ක්‍රියාත්මක නොවන නිසා වැටුප් පිලිබඳව තමන්ට යම් අවිනිශ්චිත භාවයක් ඇති බව ඔහු කීවේය.

තම අංශයේ සේවකයින් 700 ක් සිටි අතර ඉන් මිනිස්බල (මෑන් පවර්) සමාගම් හරහා සේවයේ යොදවා සිටි කම්කරුවන් 200 ක් පමන මාර්තු 30 සිට සේවයෙන් ඉවත් කෙරුනු බවද ඔහු පැවසීය. සමස්ත සේවක සංඛ්‍යාව අඩු කිරීම පිලිබඳව ද ආරංචි ලැබෙමින් පවතින බව කම්කරුවා සඳහන් කලේය. 

තවත් මගී සත්කාරිකාවක් පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වසා දැමීමේ හෝ පුද්ගලීකරනය කිරීමේ අන්තරාය දිගු කලක සිට පැවති බවයි. “සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) නය ගන්න ආන්ඩුව උත්සාහ කලාම ඒගොල්ල කියල තියෙනවා එයාලයින් සමාගම ඇතුලුව පාඩු ලබන ආයතන වහන්න හෝ පුද්ගලීකරනය කරන්න කියල.” 

දැවැන්ත පරිමාන මූල්‍යමය දූෂන හේතුවෙන් ශ්‍රී ලන්කන් සමාගමට අමතරව එකල රජය සතුව පැවති මිහින් ලංකා සමාගමද පාඩු ලබමින් සිටි බවත් ජාමූඅ හි උපදෙස් මත මිහින් ලංකා වසා දමා සේවකයන් සිය ගනනකට රැකියා අහිමි කල බවත් ඇය පැවසුවාය. 

වසංගතය හමුවේ ගුවන්යානා කර්මාන්තය ලෝක පරිමාන අර්බුදයකට ලක්ව ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සේවක කප්පාදුව මහා පරිමානයෙන් සිදු වෙමින් පවතී. 

එක්සත් ජනපදයේ ආර්ථික පර්යේෂන පිලිබඳ ජාතික ආයතනය (National Bureau of Economic Research) විසින් මේ මාසයේ නිකුත් කරන ලද අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් එක්සත් ජනපදයේ රැකියා වලින් සියයට 42 ක් පමන ස්ථිරවම අහිමිවිය හැකි බවත් එයට ගුවන් සේවා කර්මාන්තයේ මිලියන 4 කට වැඩි සංඛ්‍යාවක් ඇතුලත් වනු ඇති බවත්ය. 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවද මූල්‍ය අර්බුදයකට මුහුන පා ඇති හෙයින් කොන්ත්‍රාත් පදනම මත සිටින කම්කරුවන් 100 ක් ඇතුලුව 842 කින් යුත් සමස්ත සේවකයින්ගේ මැයි මස වැටුප අඩකින් කපා හැරීමට සැලසුම් කරමින් සිටී. 

වැටුප් සඳහා මාසිකව රුපියල් මිලියන 47 ක්ද ආයතනය නඩත්තුව සඳහා රුපියල් මිලියන 87 ක්ද වැයවන බව ශ්‍රී ලංකා මිරර් පුවත්පත වාර්තා කලේය. තම වැටුපෙන් සියයට 60 ක් ඉක්මවා නය ලබාගෙන ඇති බොහෝ සේවකයෝ මේ හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්වන බව ද එහි වාර්තා විය. 

ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඇති ජාතික රූපවාහිනි සංස්ථාව මේ වන විට තම සේවකයන් 934 ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සඳහා රුපියල් මිලියන 200 ක නය මුදලක් ලංකා බැංකුවෙන් ලබාගැනීමට තීරනය කර ඇති බවත්, වැටුප් සහ අනෙකුත් දීමනා ගෙවීම සඳහා මාසිකව රුපියල් මිලියන 85 ක පමන මුදලක් වැයවන බවත් ලංකාදීප පුවත්පත වාර්තා කලේය.

Loading