හොංකොං මුල්කරගෙන ඇමරිකාව, චීනයට විරුද්ධව සම්බාධක පැනවීමට සූදානම්වේ

පීටර් සිමන්ඩ්ස්
29 මැයි 2020

මෙම ලිපිය මැයි 28 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කලේ, හොංකොං වෙත තවදුරටත් චීනයෙන් “ඉහල ස්වාධීනත්වයක්” හිමි නොවන බවයි. ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස සලකන එහි තත්වයට හානිකර වියහැකි මෙ මඟින්, වොෂිංටනයට  ආර්ථික හා වෙලඳ සම්බාධක පැනවීම සඳහා දොර විවර කර දෙනු ඇත.

ගෝලීය කොවිඩ්-19 වසංගතය සඳහා බීජිනය ගොදුරුකර ගැනීම ඇතුලුව මෑත මාසවලදී  වේගවත් වී ඇති ට්‍රම්ප් පාලනාධිකාරයේ චීන විරෝධී උද්ඝෝෂනයේ තවත් පියවරකි  පොම්පියෝගේ තීරනය.

හොංකොං මුල්කරගත් නව සම්බාධක සඳහා ගනු ලබන පියවර මගින් පැහැදිලි වන්නේ, බීජිනය ඉලක්ක කිරීම, එක්සත් ජනපදයේ දැවැන්ත මරන සංඛ්‍යාව සම්බන්ධයෙන් ධවල මන්දිරයේ සාපරාධී වගකීමෙන් අවධානය වෙනතකට යොමු කිරීම පමනක් නොව, පසුගිය දශකය තිස්සේ යුද්ධයට සූදානම් වීම හා ආර්ථික හා මූලෝපායිකව චීනය යටත් කිරීමේ උත්සාහයන් තීව්‍ර කිරීමේ කොටසක් බවයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ (Photo: Gage Skidmore/Wikipedia)

පොම්පියෝ මෙය ප්‍රකාශ කලේ, චීනයේ වාර්ෂික ජාතික මහජන සම්මේලනය (එන්පීසී) පසුගිය සතියේ කල නිවේදනයට ප්‍රතිචාර වශයෙනි. හොංකොං හි කඩාකප්පල්කාරී ක්‍රියා , ත්‍රස්තවාදය සහ විදේශීය බලපෑම් වලට මුහුන දිය හැකි වන පරිදි නව ජාතික ආරක්ෂක නීතියක් සම්මත කරන බව එය කියා සිටියේය. එවැනි නීතියක් සම්මත කිරීමට 2003 දී ගත් උත්සාහය මහජන උද්ඝෝෂන හමුවේ අසාර්ථක වීමෙන් පසුව අද දින සම්මත කිරීමට ඉඩ ඇති චීන නීතිය යටතේ, හොංකොං නීති පලදායී ලෙස අභිබවනය කරනු ඇත.

යෝජිත පිටුවහල් කිරීමේ නීතියකට එරෙහිව හොංකොං හි මාස ගනනක් තිස්සේ පැවති විරෝධතාවලින් පසුව පසුගිය නොවැම්බරයේදී, එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් නීතියක් සම්මත කරන ලද අතර එමඟින්  චීනයෙන් හොංකොං හි ස්වාධීනත්වය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහතික කල යුතු විය. පොම්පියෝගේ ප්‍රකාශයෙන්,  1997 දී බ්‍රිතාන්‍යය විසින් හොංකොං චීනයට භාරදීමට පෙර සම්මත කල එක්සත් ජනපද නීති අභිබවා කටයුතු කිරීමට දැන් ට්‍රම්ප් පාලනාධිකාරයට ඉඩ සලසයි. ඒ යටතේ ඇමරිකාව, කලින් පැවති බ්‍රිතාන්‍ය යටත් විජිතය සමඟ පූර්ව ආර්ථික හා වෙලඳ සබඳතා පවත්වා ගෙන ගියේය.

එහි විශේෂ ආර්ථික තත්ත්වය නිසා හොංකොං දේශයට, චීනය තුල සහ ඉන් පිටත වෙලඳාම සඳහා ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස මෙන්ම චීනය තුල ක්‍රියාත්මක වූ එක්සත් ජනපද හා අනෙකුත් රටවලට අයත් සංගත සිය ගනනක මූලස්ථානය ලෙස සිය ස්ථාවරය රඳවා ගැනීමට හැකි විය. 2018 දී එක්සත් ජනපදයට හොංකොං සමඟ ඩොලර් බිලියන 33 ක වෙලඳ අතිරික්තයක් තිබුනි.  චීනය එක්සත් ජනපදයට කරන අපනයනයෙන් සියයට 8 ක් සහ චීනයේ ආනයනයන්ගෙන් සියයට 6 ක් හොංකොං හරහා සිදු විය.

චීනයේ ප්‍රධාන භූමියට වඩා ලිහිල් අපනයන පාලනයක් ගෙනයාමෙන් හොංකොං ප්‍රතිලාභ ලබා ඇත; තාක්ෂන හුවමාරුව, අධ්‍යයන හුවමාරුව, බදු, මුදල් හුවමාරුව සහ සම්බාධක පිලිබඳ ගිවිසුම්. මේ සියල්ල දැන් සැක සහිත ය.

මෙම සතිය මුලදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කලේ, එන්පීසීය ජාතික ආරක්ෂක පනත සම්මත කලහොත් එක්සත් ජනපදය “ඉතා බලවත්” ලෙස ප්‍රතිචාර දක්වන බවයි. එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩේවිඩ් ස්ටිල්වෙල් දන්ඬන  ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්ඡා සිදු වෙමින් පවතින බව සනාථ කරමින්, එක්සත් ජනපදය “ගෝලීය වශයෙන් [සහ] හොංකොං ජනතාවට ඇති කරන බලපෑම අවම කිරීමට” උත්සාහ කරන බව ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත්, හොංකොං ආර්ථිකයේ ඕනෑම ඛාදනයක්, කම්කරු පන්තියට දැඩි ලෙස බලපානු ඇත. එමඟින් විරැකියාව ඉහල යනු ඇති අතර සීමිත සමාජ සේවා තවදුරටත් කප්පාදු කරනු ඇත. හොංකොං සහ චීනයේ ඇති එක්සත් ජනපද සංගතවලට සම්බාධක පැනවීමේ බලපෑම ගැන වොෂින්ටනය සැලකිලිමත් විය හැකි නමුත්, එහි වැඩ කරන ජනතාවගේ දුක්ඛිත තත්වය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වයි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ඊටත් වඩා බෙහෙවින් අඩු සැලකිල්ලක් දක්වයි.

චීන ජාතික ගීය සහ ධජය අවලංගු කිරීම තහනම් කිරීම සඳහා සලකා බලමින් සිටින යෝජිත ජාතික ආරක්ෂක නීතිවලට එරෙහිව ඊයේ තවත් විරෝධතා හොංකොං හි පැනනැඟුනි. විරෝධතාවල සීමිත ප්‍රමානය, කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ සීමාවන්  සහ සැලකිය යුතු පොලිස් භට පිරිස් වීදිවල රඳවා සිටීම නිසා පමනක් සිදුවූවක් නොව, විරෝධතා නායකයින්ගේ දක්ෂිනාංශික දිශානතිය ද ඊට බලපෑවේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ බහුතර ජනතාවගේ  නීත්‍යානුකූල උත්සුකයන් ප්‍රකාශ කරමින්, උදර්පන නීතිවලට එරෙහිව පසුගිය වසරේ ආරම්භ වූ දැවැන්ත විරෝධතා මත, චීන විරෝධී භීතිකාව සහ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ට, විශේෂයෙන් එක්සත් ජනපදයට හොංකොං වැසියන් වෙනුවෙන් මැදිහත් වන ලෙස කෙරෙන ඉල්ලීම් ද ඇතුලු කම්කරු පන්තියට සතුරු කන්ඩායම් සහ පක්ෂවල ප්‍රතිගාමී දෘෂ්ටිය, වැඩි වැඩියෙන් ආධිපත්‍යය පැතිරවීමට පටන්ගත්තේය.

පොම්පියෝගේ නිවේදනයට සහාය දක්වමින් ඩිමොසිස්ට් හි නායක හිටපු ශිෂ්‍ය ජෝෂුවා වොංග් දැක්වූ ප්‍රතිචාරය, මෙම සංවිධානවල අධිරාජ්‍යවාදී ගැති දිශානතිය පිලිබඳ මනා නිදසුනකි. “අපගේ බලාපොරොත්තුව, ඇමරිකානු ප්‍රතිපත්තියේ තියුනු වෙනසක් හොංකොං පිලිවෙතින් ඉවත් වීමට ඔවුන් [චීනය] දිරිමත් කරනු ඇතැයි” යන්න බව ඔහු පැවසීය.

චීනයේ ජාතික ආරක්ෂක නීතිය හෙලා දකිමින් පසුගිය සතියේ යෝජනාවක් ඉදිරිපත් කල, එක්සත් ජනපද සෙනෙට් සභික ජොෂ් හෝව්ලි සමඟ වොං මෑතකදී කතා කලේය. හොංකොං විරෝධතාකරුවන්ගේ හඬ ලෙස යුරෝපයේ හා එක්සත් ජනපදයේ මෙන්ම මාධ්‍යවල ද පැසසුමට ලක්ව සිටි වොං පසුගිය වසරේ , ඉහල දේශපාලන චරිත හමුවූ අතර, එක්සත් ජනපද කොන්ග්‍රසය ද ඇමතීය.

හොංකොං ජනතාව ගැන සැලකිලිමත් වන බවට පොම්පියෝ සහ ට්‍රම්ප් ආන්ඩුවේ අනෙකුත්  නිලධාරීන් නිකුත් කරන ප්‍රකාශ අතිශයින්ම කුහක ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව හෝ ලිබියාව වැනි රටවල තමන් යෙදී සිටින සාපරාධී යුද්ධ සාධාරනීකරනය සඳහා “මානව හිමිකම්” ගසාකනු ලැබුවාට වඩා වෙනස් ලෙස, හොංකොං හෝ චීන ජනතාවගේ මානව අයිතීන් ගැන උනන්දුවක් දක්වන්නේ නැත. හොංකොං, තායිවානය හෝ බටහිර චීනයේ උයිගර් සුලුතරය පිලිබඳව ගත් කල වොෂින්ටනය, චීනයේ එක්සත්කම අඩපන කිරීමට යොදාගත හැකි පහසු මෙවලමක් ලෙස “මානව හිමිකම්” භාවිතා කරයි.  ජාත්‍යන්තරව එය, එක්සත් ජනපදයේ ආධිපත්‍යය යලි තහවුරු කිරීම සඳහා භයානක දෙයක් ලෙස (එක්සත් චීනයක්) සලකයි.

එක්සත් ජනපදය විසින් හොංකොං හි හෝ වෙනත් ඕනෑම තැනක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇතැයි යන මිත්‍යාව ප්‍රවර්ධනය කිරීම,  චීන තන්ත්‍රයට කෙලින්ම වාසිදායක වන අතර, බීජිනයේ පොලිස් රාජ්‍ය තන්ත්‍රයට අභියෝග කල හැකි එකම සමාජ බලවේගය වන චීන කම්කරු පන්තිය තුල බෙදීම් ඇතිකිරීමට තුඩුදෙයි. 

හොංකොං මුල්කරගෙන බීජිනයට හරස් කැපීමට ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරනය, චීනයට එරෙහි ප්‍රකෝපකාරී ව්‍යාපාරයේ නවතම පෙරමුන පමනි. ප්‍රකෝපකරනයන් අතර, චීන විදුලි සංදේශ දැවැන්තයා වන හුආවේ සමාගමට එරෙහි නව පියවර, චීන කොටස් වෙලඳපොලේ ඇමරිකානු ආයෝජන සීමා කිරීම, චීනයේ නිෂ්පාදනය කරන ඇමරිකානු සමාගම්වලට නව බදු පැනවීමේ තර්ජන, දකුනු චීන මුහුදේ ගැටුම්කාරී එක්සත් ජනපද නාවික මෙහෙයුම් වේ.

දෙපක්ෂයේම පිටුබලය සහිත ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය, ඔබාමා පාලනාධිකාරයේ ඊනියා “ආසියාවට හැරීම” අඛන්ඩව පෙරට ගෙන යාමකි. එය රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික හා මිලිටරිමය වශයෙන් චීනය සමඟ ආක්‍රමනකාරී ගැටුමකට මුලපිරීමකි. 2020 වන විට පෙන්ටගනය සිය නාවික හා ගුවන් බලයෙන් සියයට 60 ක් ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථානගත කරනු ඇත.

කෛාවිඩ්-19 වසංගතය, එක්සත් ජනපද සහ ගෝලීය ධනවාදයේ දුර්වලතාවය හා ඓතිහාසික පරිහානිය වේගයෙන් හෙලිදරව් කර  කර ඇති අතර භූ-දේශපාලන ආතතීන් බෙහෙවින් ඉහල නංවා තිබේ. එක්සත් ජනපද පාලක පන්තිය අධිෂ්ඨාන කරගෙන සිටින්නේ, මානව වර්ගයා විනාශකාරී න්‍යෂ්ටික යුද්ධයකට ඇද දැමුව ද මිලිටරි හා සියලු ක්‍රියාමාර්ග මගින් සිය ප්‍රතිවාදීන්ට එරෙහිව තමන්ගේ ගෝලීය ස්ථාවරය ශක්තිමත් කර ගැනීමට ය.