ඉදිරිදර්ශන

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සහ එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි සටන

මෙම ලිපිය මැයි 28 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), අනුස්මරන දිනයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම හෙලා දකින අතර ඔහුගේ මරනයට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පවරන ලෙස බල කරයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ මෙය සිදුවිය. අපරාධයේ වැඩි හරියක් අසල සිටි අයෙකුගේ වීඩියෝ කැමරාවට සහ නිරීක්ෂන කැමරාවලට හසු විය.

ඩෙරෙක් ෂෝවින් නමැති සුදු පොලිස් නිලධාරියා, ඔහුගේ දනහිසෙන් මිනිත්තු ගනනාවක් ෆ්ලොයිඩ්ගේ ගෙල තදකරගෙන සිටිනු එක් වීඩියෝ දසුනක දැක්වෙයි. 46 හැවිරිදි ෆ්ලොයිඩ් මෙසේ කියනු ඇසින. “මට හුස්ම ගන්ට බෑ, ඔබ මාව මරන්න යනවා! ”

ජෝර්ජ් ෆ්ලොයිඩ් (ඡායාරූපය: බෙන් ක්‍රම්ප් නීති කාර්යාල)

ඩොලර් දහයක හොර නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කල බවට වෙලඳසැලකින් ලැබුනු දුරකථන ඇමතුමකින් පසුව ෆ්ලොයිඩ් අල්ලා ගනු ලැබීය. වෙලඳසැලේ හිමිකරු පසුව මාධ්‍යයට කියා සිටියේ එය හොර නෝට්ටුවක් බව ෆ්ලොයිඩ් දැන සිටියේ දැයි තමා නොදන්නා බවයි. පොලිසිය වහාම එම ස්ථානයට පැමින ෆ්ලොයිඩ් ඔහුගේ වාහනයෙන් එලියට ගෙන මාංචු දමා ඔහුගේ සිරුර අඩපන වන තුරුම හුස්ම හිරකරගෙන සිටියේය.

ෆ්ලොයිඩ් අත්අඬංඟුවට ගැනීමට උදව් කල අනෙක් නිලධාරීන් තිදෙනා තෝමස් ලේන්, ටූ තාඕ සහ ජේ. ඇලෙක්සැන්ඩර් කුවෙන්ග් ය.

නිල පොලිස් වාර්තාවේ ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමේදී ඔහු ප්‍රතිරෝධය දැක්වූ බව සඳහන් වුවද, ප්‍රාදේශීය අවන්හල් හිමිකරුවෙකු විසින් බදාදා නිකුත් කරන ලද නිරීක්ෂන වීඩියෝවෙන් පැහැදිලි වන්නේ, පොලිසිය ෆ්ලොයිඩ් මෝටර් රථයෙන් එලියට ගෙන මාංචු දමන අවස්ථාවේ ඔහු කිසිම ප්‍රතිරෝධයක් නොදැක්වූ බවය. 

මහ දවල් සිදුකල ඔහුගේ ඝාතනය කිසිදු ලෙසකින් හෝ සාධාරනීකරනය කල නොහැකි වුව ද බදාදා සවස වන විටත් චාවින්, ලේන්, තාඕ සහ කුවෙන්ග් නිදහසේ පසුවූහ. පොලිස් දෙපාර්තමේන්තුව විසින් වැටුප් රහිතව ඔවුන්ගේ සේවය අත්හිටුවනු ලැබුවේත් පසුව ඩිමොක්‍රටික් නගරාධිපති ජේකබ් ෆ්‍රේ විසින් සේවයෙන් පහ කරන ලද්දේත් අඟහරුවාදා වන විට ඇවිල ගිය මහජන කෝපය හමුවේ පමනි.

ෆ්ලොයිඩ්ගේ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීම දින දෙකක් තිස්සේ පෙලපාලිවලට සහභාගී වූ සියලු ජනවර්ගවලට අයත් කම්කරුවන් අතර කෝපය ඇවිලවීය.

දහස් ගනන් සුදු හා කලු කම්කරුවන් හා තරුනයෝ, අඟහරුවාදා ෆ්ලොයිඩ් ඝාතනය  කල මංසන්ධියේ සහ අසල පිහිටි පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. පෙලපාලිය විසුරුවා හැරීම සඳහා පොලිසිය දිගින් දිගටම කඳුලු ගෑස් සහ මාරාන්තික නොවන  උන්ඩ වලින් වෙඩි තබනු ලැබීය. ඊයේ රාත්‍රියේ මිනියාපොලිස් සහ එක්සත් ජනපදය පුරා වෙනත් නගරවල තවත් උද්ඝෝෂන සංවිධානය කරන ලදී.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය එක්සත් ජනපද පොලිසිය සිදු  කල අපරාධ රැල්ලක නවතම අවස්ථාවයි. Killbypolice.net වෙබ් අඩවියට අනුව මේ වසරේ මේ දක්වා පොලිස් ඝාතන 400 ක් සිදුව තිබේ. සෑම වසරකම ඝතනයට ලක්වන සංඛ්‍යාව 1,000 කට වඩා වැඩිය.

මිසූරි ප්‍රදේශයේ ෆර්ගියුසන්හිදී මයිකල් බ්‍රවුන්ට වෙඩි තබා ඝාතනය කර වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇත. ඒ 2014 අගෝස්තු 9 දිනය. 2014 ජූලි 17 දින එරික් ගාර්නර් නිව්යෝක් නගරයේදී ගෙල සිරකර මරා දැමීමෙන් පසු පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව මහජන විරෝධතා ඇති විය. විවිධ පුද්ගලයින් 6,000 ක් පමන මේ කාලය තුල පොලීසිය විසින් ඝාතනය කර තිබේ.

පොලිස් ප්‍රචන්ඩත්වයට ජාතිවාදය දායක වන බවට සැකයක් නැත. පොලිසිය විසින් ඝාතනය කර ඇති වැඩිම පිරිස සුදු ජාතිකයින්ය.  අප්‍රිකානු ඇමරිකානුවන් සහ හිස්පැනික්වරු හිරිහැර, අපයෝජන, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සඳහා අසමාන ලෙස ඉලක්ක කරගෙන ඇත. ට්‍රම්ප් පරිපාලනය හිතා මතාම, පොලිස් නිලධාරීන් ද ඇතුලු වඩාත් පසුගාමී හා ප්‍රතිගාමී බලවේග ගොඩනගා ඇත. “ මැරයා” ට එරෙහිව “රලු” ප්‍රතිචාර දැක්වෙන වීඩියෝ පට නැරඹීමට තමා කැමති බව ට්‍රම්ප් ප්රකාශ කර ඇත. “එතරම් කරුනාවන්ත වෙන්න එපා ” යයි ඔහු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත. 

කෙසේ වෙතත්, පොලිස් ප්‍රචන්ඬත්වයට වාර්ගික සතුරුකම පමනක් නොව පන්ති පරපීඩනය ද බලපා ඇත. ඇමරිකානු පොලිස් ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ කලු, සුදු, හිස්පැනික් හෝ ස්වදේශික ඇමරිකානුන් අතර පවතින පොදු ලක්ෂනය නම් ඔවුන් දුප්පත් සහ ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් වීමයි

බ්ලැක් ලයිව්ස් මැටර් (කලු ජාතිකයින්ගේ ජීවිත වටනේය) සහ වාර්ගික දේශපාලනයේ අනෙකුත් යෝජකයින්ගේ කාර්යභාරය වන්නේ, පොලිස් ප්‍රචන්ඩත්වයට හේතුව ජාතිවාදය යැයි පවසා  කලු පොලිස් නිලධාරීන් වැඩියෙන් බඳවා ගැනීම හෝ කලු ජාතික දේශපාලඥයන් පත් කර ගැනීමෙන් පමනක් ගැටලුව විසඳනු ඇතැයි යන අදහස ප්‍රවර්ධනය කිරීමයි. නිසැකයෙන්ම මෙයින් අදහස් කරන්නේ, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව නැගෙන මහජන විරෝධය, වෝල් වීදියට සහ මිලිටරිවාදයට ගැති  පක්ෂවලින් එකක් වන ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගැටගැසීමයි. නමුත් පවතින ධනපති ක්‍රමය යටතේ පොලිස් ප්‍රචන්ඩත්වය නැමති ගෝලීය වසංගතය අඛන්ඩව නොනැසී පවතී.

මෙම භීෂනකාරී ප්‍රචන්ඩත්වය, ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමාගේ රැකවල යටතේද පැවති අතර ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ද පවතී. පවතින ආන්ඩුව ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් වේවා, නගරාධිපති හෝ පොලිස් ප්‍රධානියා කලු ද සුදු ද ගැහැනු ද පිරිමි ද හෝ වේවා, සමලිංගික හෝ එසේ නොවන අයෙකු වේවා, පවතින ධනපති ක්‍රමය යටතේ පොලිස් ඝාතන අඛන්ඩව සිදු වේ.

වසර තුනකට පෙර සෝමාලියානු-ඇමරිකානු මිනියාපොලිස් පොලිස් නිලධාරියෙක්, ජස්ටින් ඩමොන්ඩ් නම් සුදු ජාතික කාන්තාවක ඇගේ පිටුපස පෙදෙසට වෙඩි තබා ඝාතනය කලේය. ඒ අසලම පිහිටි කුඩා නගරයක පැවති රථවාහන තදබදයකදී හිස්පැනික් පොලිස් නිලධාරියෙකු විසින් අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතික ෆිලැන්ඩෝ කැස්ටිල් ඝාතනය කිරීම සමාජ ජාල වෙබ්අඩවි වල සජීවීව විකාශනය වී වසර හතරක් ගත වී ඇත.

විශේෂයෙන් පොලීසියේ ම්ලේච්ඡ ක්‍රියාවන් හා හිංසනයන් ප්‍රසිද්ධියේ හෙලිදරව් වීමෙන් පසු, ඒවා අනිවාර්යයෙන්ම චිත්‍රපට මාතෘකා වීමට ඉඩ ඇති හෙයින්, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් දේශපාලඥයෝ එම අපරාධ පිලිබද විමර්ශනය කරන බවට ව්‍යාජ පොරොන්දු දෙති. සෑම විටම පාහේ මෙම විමර්ශන, නඩු පැවරීම් සහ දඬුවම් නියම කිරීම් දක්වා හෝ ඉදිරියට යාමට අසමත් වෙයි.

ලෙනින් සිය රජය හා විප්ලවය පොතෙහි සඳහන් කර ඇත්තේ, රාජ්‍ය  බලය“තමන්ගේ අනට යටත් බන්ධනාගාර ආදිය සහිත ආයුධ සන්නද්ධ මිනිසුන්ගේ විශේෂ ආයතන" වශයෙනි. ෆ්‍රෙඩ්රික් එංගල්ස් උපුටා දක්වමින් ලෙනින් සඳහන් කලේ, රාජ්‍යය මූලික වශයෙන් “ප්‍රතිවිරුද්ධ පන්ති අතර පවතින සතුරුකම්වල නිෂ්පාදනයක් හා ප්‍රකාශනයක්” බවත්, රාජ්‍යයේ බලය හා ප්‍රචන්ඩත්වය ශක්තිමත් වීම, “රාජ්‍ය තුල පන්ති සතුරුකම් වඩාත් උග්‍ර වීමට සමානුපාතිකව සිදු වන බවත් ය. ”

ගෝලීය කොරෝනා වෛරස්  වසංගතය සමඟ මෙම පන්ති ප්‍රතිවිරෝධතා නව අවධියකට පිවිසෙමින් තිබේ. ව්‍යාපාරික හා මූල්‍ය කතිපයාධිකාරය, කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කිසිවක් නොකර, ඩොලර් ට්‍රිලියන ගනන් තමාගේ පෙට්ටගම් වෙත මාරු කිරීමට වසංගතය භාවිතා කර ඇති අතර, ධනපති ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දේශපාලඥයින් ඒකමතිකව එම පියවරයන් අනුමත කර ඇත.

මෙම පියවරයන්, “ආර්ථිකය යලි විවෘත කිරීම” සහ වෝල් වීදියට බැල මෙහෙවර කිරීම සඳහා තම ජීවිත අනතුරේ හෙලීමට කම්කරුවන්ට බල කිරීම තුලින් බලාත්මක කර ඇත. ඒ අතරම පාලක ප්‍රභූව, කම්කරුවන්ගේ ශ්‍රම සූරාකෑම වැඩි කිරීමටත්, සමාජ සේවා වැඩසටහන් කප්පාදු කිරීමට සහ ජනතාව දුගීභාවයට පත් කිරීම සදහාත්, මහජන විරැකියාව සහ රාජ්‍යය බංකොලොත් කිරීම ගසා කෑමට සැලසුම් කරයි.

රාජ්‍යය ම්ලේච්ඡත්වයේ සහ ප්‍රචන්ඩත්වයේ මූලික ප්‍රභවය මූල්‍ය කතිපයාධිකාරය සහ කම්කරු පන්තිය අතර ගැටුම යි. මෙම ම්ලේච්ඡත්වය අවසන් කල හැකි දේශපාලන ව්‍යාපාරයක්, එනම් දේශපාලන බලය තමන් අතට ගෙන ධනේශ්වර ලාභ ක්‍රමය අවසන් කිරීමට සමස්ත කම්කරු පන්තියේම ස්වාධීන හා එක්සත් ව්‍යාපාරයක් සඳහා වෛෂයික කොන්දේසි ද එම ගැටුම විසින්ම නිර්මානය කෙරෙයි.

මෙම සටන මෙහෙයවන්නේ සමාජවාදී සමානතා පක්ෂයයි. socialism2020.org හි අපගේ මැතිවරන ව්‍යාපාරයට සම්බන්ධ වී ඊට සහාය වන්න.

Loading