ශ්‍රී ලංකාව: වතු කම්කරුවන් සිය ගනනක් ගංවතුරේ හා නාය යාමේ බලපෑමට ලක්වෙති

නුවරඑලිය දිස්ත්‍රික්කය මත පතිත වූ දැඩි මෝසම් වර්ෂාව හේතුවෙන් මැයි 17දා හටගත් ගංවතුර හා නාය යාම්, වතු කම්කරුවන් හා ගොවීන් සිය ගනනක් ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හැරියේ ය. බලපෑමට ලක්වූ ජනයා ඔවුන්ගේ දරුවන් ද සමගින් පාසල්වල, සුභසාධන මධ්‍යස්ථානවල හා ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටිති. මෙම වසංගත සමයේ, මෙම ස්ථානවල සමාජ දුරස්ථකරනය පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් බලධාරීන් විසින් සපයා නොමැති තතු යටතේ ඔවුනගේ ජීවිත අනතුරේ පවතී.

ඇල්ටන් වතුයාය, පහල කොටස, ගංගාව කම්කරුවන්ගේ නිවාස හා පන්සල හරහා ගලා යයි-

මෙම ව්‍යසනය හේතුවෙන් මස්කෙලිය, අප්කොට්, හැටන්, දික්ඔය, ෆෝඩයිස්, වටවල, ආගරපතන, ඩයගම, ලිඳුල, තලවාකැලේ, කොටගල, දිඹුල, නානුඔය, නුවරඑලිය ඇතුලු ප්‍රධාන වතු වගා ප්‍රදේශ බලපෑමට බඳුන් ව ඇත. මේ ප්‍රදේශවල වතු කම්කරුවන් කිහිප දෙනෙකුගේ නිවාස නාය යාම් හා ගංවතුර හේතුවෙන් විනාශ විය. වඩාත් ම බලපෑමට ලක්වූ ආගරපතන ප්‍රදේශයේ දුගී ගොවීන් දහස් ගනනක් ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. 

හොරන වැවිලි සමාගමට අයත් අප්කොට්හි ඇල්ටන් වත්තේ පහල කොටසේ, වතු කම්කරු පවුල් 29කට අයත් නිවාස අප්කොට් ගංගාවට යට විය. ව්‍යසනය හේතුවෙන් ලමුන් ද සමග අවතැන් වූ 125 දෙනෙක් ලමා සුභ සාධන මධ්‍යස්ථානයේ ලැගුම් ගත් හ.

මෝසම් වැසි සමයේ දී ගංවතුර හේතුවෙන් කම්කරුවන් දහස් ගනනක් අවතැන් වීමත්, පසුව පෙරලා සිය නිවෙස් වෙත පැමිනීමත් සාමාන්‍ය සිද්ධියකි. ආන්ඩුව සහ සමාගම් සමග එක්ව ක්‍රියා කරන වතු වෘත්තීය සමිති, මෙම ජනයා මුලුමනින් ම අතහැර දමා තිබේ. කම්කරුවන් මෙම ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ආන්ඩුව හෝ වතු සමාගම් ලබා දී ඇත්තේ එක්කෝ අල්ප උපකාරයකි; නැතහොත් කිසිදු උපකාරයක් සපයා නැත.

වතු කම්කරුවන්ගේ මුලුතැන්ගෙයක් ජලය බැස ගිය පසු - ඇල්ටන් වතුයාය

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වෙත අදහස් දැක්වූ අවතැන් වූ ජනයා, ආන්ඩුවේ නො තැකීම හා සහනාධාරවල අප්‍රමානවත්බව ගැන කෝපය පල කල හ. 

වත්තේ කම්කරු කාන්තාවක් වන වී. අන්නාපූරනම්, තමන් ගංවතුර නිසා අවතැන් වූ දහඅට වන වතාව මෙය බව ලෝසවෙඅ වෙත කීවා ය. මෙම නිවාස සංකීර්නය තනා ඇත්තේ 1981 දී ය. “වත්තේ පාලකයො මගේ පවුලත් එක්ක පවුල් 7 ක් එහි යැවීමට තීරනය කලත්, ඒ ප්‍රදේශය ගංවතුරට නැඹුරු නිසා අපි ඒක ප්‍රතික්ෂේප කලා. අප ව එහි යැවීමට පාලකයො කිහිප වතාවක් ම අපේ සේවය අත්හිටවූවා. කිසිම වෘත්තීය සමිතියක් අපට උදවු කලේ නැහැ. අපි මෙහාට ආවෙ 1983 දි. දැන් පවුල් 29 ක් මෙහි ජීවත් වෙනවා. අපි ආරක්ෂිත ස්ථානවලින් අලුත් ගෙවල් දිගින් දිගට ම ඉල්ලුවත්, වත්තේ පාලකයොවත් ආන්ඩුව වත් කිසිම දෙයක් කරන්නේ නැහැ.”

ජයරාමන් - දියනිය සමග, පැය භාගයක් යද්දි ගේ ඇතුලෙ වතුර මට්ටම අඩි හයක් විතර ඉහලට නැග්ග.

ජයරාමන් ඔවුන් මුහුන දෙන ඛේදනීය තත්ත්වය විස්තර කලේ ය: “මගේ දූල තුන්දෙනා සාමාන්‍ය පෙල හා උසස් පෙල විභාගවලට සූදානම් වෙමින් සිටියා, ඒගොල්ලන්ගෙ පොතුයි අනෙකුත් ඉගන ගන්න දේවලුයි ගංවතුරට විනාශ වුනා. පැය භාගයක් යද්දි ගේ ඇතුලෙ වතුර මට්ටම අඩි හයක් විතර ඉහලට නැග්ග. මේක අපි නිදාගන ඉන්දැද්දි රෑ සිද්ධ වුනා නම් අපි මෙලහට මැරිල.” 

දුෂ්කර වැඩ කොන්දේසි යටතේ වත්තේ වැඩකරන බව ඔහුගේ බිරිඳ කීවා ය: “අපිට අපේ දෛනික දලු කිලෝ 18 ඉලක්කය කඩන්න බැරි වුනොත්, අපිට ගෙවන්නෙ පඩියෙන් භාගය යි. පායන කාලෙට ඉලක්ක සම්පූර්න කිරීම හරි ම අපහසුයි. වැඩ පරීක්ෂකවරුන්ට දලු ඉලක්ක හරියට ම තියනව දැනගන්න පුලුවන් වෙන්න ලඟදි අපේ වත්තට අලුත් කිරන මැෂිමක් හඳුන්වල දුන්න.”

 පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) සම්පාදනය කිරීමට ආන්ඩුවේ හා කම්හල් කලමනාකාරිත්වයේ අසමර්ථතාව පෙන්නුම් කරමින්, තමන් අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩකරන බව ඇය සඳහන් කලා ය. ඔවුන්ට ඔවුන්ගේ ම මුදලින් මුඛ ආවරන මිල දී ගැනීමට සිදු ව ඇත. 

කොලඹ වැඩ කරන එස්. වසන්තකුමාර්, ඔවුන් මුහුන දෙන දුෂ්කර ජීවන කොන්දේසි යටතේ සමාජ දුරස්ථභාවය තබාගැනීම කල නො හැක්කක්බව පැහැදිලි කලාය: “මගේ පවුල ජීවත් වෙන්නෙ මගේ දෙමව්පියොත් එක්ක. ඒ ගෙදර ම මගේ වැඩිමහල් සහෝදරයගෙ පවුලත් ජීවත් වෙනව. අපට වෙන වෙන ම ගෙවල් නැහැ. අපි කොහොම ද සමාජ දුරස්ථකරනය පවත්වා ගන්නෙ?”  

ඔවුන්ගේ ජීවිතවල දුක්ඛිතභාවයට වගකිව යුතු වතු කලමනාකාරීත්වය, ආන්ඩුව හා වෘත්තීය සමිති කෙරෙහි ඇය කෝපය පලකලා ය. විනාශයක් සිදු වූ විට පමනක් තමන් බැලීමට පැමිනෙන නිලධාරීන් ආහාර ද්‍රව්‍ය කිහිපයක් බෙදා දෙන බව ඇය කීවා ය. “සුදුසු ස්ථානයක අපට නිවාස සාදා දෙන බවට ඔවුන් පොරොන්දු වුනත්, ඉක්මනින් ම සියලු පොරොන්දු අමතක කරන” බව ඇය තවදුරටත් පැවසුවා ය. “ආන්ඩුවට සහයෝගය දෙන සමිති නායකයො ඇමති පට්ටම් ගන්නව. අපි වධ වේදනා විඳිද්දි ඔවුන් සුඛෝපභෝගී ජීවිතයක් භුක්ති විඳිනව.” කොලඹ වැඩ කරන තරුනයන්ගේ රැකියා අනතුරේ හෙලී ඇති බව ඇය විස්තර කලා ය.  

වතු කම්කරුවන් ආපදාවන්ට ගොදුරු වීමේ ශක්‍යතාව කෙතරමිද යන්න අනාවරනය කරමින්, පසුගිය ජනවාරියේ දී බොගවන්තලාව රොබ්ගිල් වත්තේ ගින්නේ බලපෑමට ලක්වූ පවුල් 8 ක්,  මැයි 19දා නාය යාමට ද ගොදුරු වූහ. ඔවුන් තාවකාලික ව නවාතැන් ගෙන සිටි වත්තේ සංස්කෘතික ශාලාවට අර්ධ වසයෙන් හානි විය. ලමුන් ද සිටින පවුල් පහකට, ජීවත් වීමට වෙන තැනක් නොමැති නිසා අන්තරාදායක තත්ත්වයක් යටතේ එහි දිගට ම ජීවත් වීමට බලකෙරී ඇත. වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිති දෙක වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), වතු කලමනාකාරීත්වය විසින් මෙම කම්කරුවන් ව සාපරාධී ලෙස නො තකා හැරීම අනුමත කරති. ඔවුන් ඉඳහිට තත්ත්වය පිලිබඳ ව විවේචනය කරන්නේ කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීමට පමනි.

මේ සංස්කෘතික ශාලාව, අපේ සියලු උවමනාවන් සඳහා කලමනාකරනය කරගත යුතු කුඩා කාමරවලට අපි වෙන් කරගත්ත

මෙම ගොඩනැගිල්ලේ නැවතී සිටින පවුලකට අයත් සිවරාජිනී ලෝසවෙඅ වෙත මෙසේ කීවා ය: “අපේ ගෙවල් ගින්නෙන් විනාශ වුනාට පස්සෙ, සරනාගතයො විදිහට අපි මේ ගොඩනැගිල්ලට ආව. මේ සංස්කෘතික ශාලාව, අපේ සියලු උවමනාවන් සඳහා කලමනාකරනය කරගත යුතු කුඩා කාමරවලට අපි වෙන් කරගත්ත.” ඔවුන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි ඇය විස්තර කලා ය. තවත් නාය යාමක් සිදු වේ යයි තැතිගැනී සිටින ඇය, ගින්නෙන් අනතුරුව තාවකාලික නිවාස ලබා දෙන බවට පොරොන්දු වූ වත්තේ කලමනාකාරිත්වය ඔවුන් ව නො තකා හැර ඇති බව කීවා ය.

මැයි 17දා, හැටන්හි ෂැනන් වත්තේ සිදු වූ නාය යාමකට පවුල් 6ක් ගොදුරු වූහ. කුඩා දරුවන් ද සමගින්, 25 ක පමන පිරිසකට වත්තේ දෙමල පාසලකට සෙවන පතා යාමට සිදු විය. නාය යාමේ අන්තරාය අවසන් වී නැති බැවින් ආපසු නිවෙස්වලට නො ගොස් ඔවුහු එහි රැඳී සිටිති. 

පාසලේ නැවතී සිටින පවුලකට අයත් කනගලක්ෂ්මී, රට තුල පැතිර යන කොරෝනා වෛරසය පිලිබඳ ව උත්සුකතා පල කලා ය. තද බද කොන්දේසි යටතේ ජීවත් වීමට ඔවුන්ට බලකෙරී ඇත. එහි පවුල් හයක් ජීවත් වන බව ඇය කීවා ය. “අපට ජීවත් වීමට සුදුසු ස්ථානයක් සම්පාදනය කරනු ලැබිය යුතුව තිබුනත්, වත්තේ කලමනාකාරීත්වය ඒ සඳහා පියවර ගැනීමට උනන්දු නැහැ. වත්තේ අවුරුදු 11ක් වැඩකරපු මගේ මහත්තයා හොඳ රැකියාවක් හොයාගෙන කොලඹ ගියා. වෘත්තීය සමිති ඇතුලු කිසිවෙක්, ආරක්ෂිත ස්ථානයක ජීවත් වීමට අපිට තිබෙන අවශ්‍යතාව ගැන තකන්නේ නැහැ.”

රටේ දිග ම ගංගාව වන මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ගඟ අසබඩ එලවලු වගා කරන ආගරපතන ප්‍රදේශයේ ගොවීන් දහස් ගනනක් ගංවතුරේ බලපෑමට ලක්වෙති. ගොවීන් සඳහන් කල ආකාරයට, ගංවතුර ඔවුන්ගේ අස්වැන්න විනාශ කර ඇති නිසා, කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගත් නය ආපසු ගෙවීමට නො හැකි වනු ඇත. “අපේ වගාවන් ගංවතුරෙන් ආරක්ෂා කරගන්න ගංගාව හාරන ලෙස අපි ආන්ඩුවෙන් හා පලාත් සභාවෙන් නිතර ම ඉල්ලනව, ඒත් හැම අවුරුද්දක ම අපේ ජීවිත මේ විනාශයට අතෑරල දාල බලධාරීන් අපේ යෝජනා ප්‍රතික්ෂේප කරල තියෙනව.”

Loading