පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එරෙහිව ජාත්‍යන්තර උද්ඝෝෂන

මෙම ලිපිය ජූනි 1 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

පොලිසිය මිනියාපොලිස්හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ්  ඝාතනය කිරීමට එරෙහිව එක්සත් ජනපදය පුරා පැනනැඟී ඇති විරෝධතාවන්ට සහයෝගය දක්වන දහස් ගනන් ජනතාව, ජාත්‍යන්තරව විරෝධතා දැක්වූහ.  පොලිස් නිලධාරියෙකු සිය දනහිසෙන් විනාඩි නවයක් ගෙල තදකරගෙන සිටීමෙන් පසුව  46 හැවිරිදි අප්‍රිකානු-ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් මිය ගියේය.

ජර්මනියේ පැවැත්වුන උද්ඝෝෂන වලදී, 400 ක පමන පිරිසක් බැවේරියානු අගනුවර වන මියුනිච් හි සෙනසුරාදා සවස  විරෝධතා දක්වමින් නගරයේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වෙත ගමන් කලහ.

සති අන්තයේ බර්ලිනයේ ද විරෝධතා  පැවතුනි. ඉරිදා ක්‍රියුස්බර්ග් දිස්ත්‍රික්කයේ පැවති විරෝධතා පාගමනට 1,500 ක පමන පිරිසක් සහභාගී වූ අතර ඉන් බහුතරය තරුන තරුනියන් ය. “ජෝර්ජ් ෆ්ලොයිඩ් සඳහා යුක්තිය, මට හුස්ම ගන්න බැහැ,” සහ “කලු ජාතිකයෙකු වීම අපරාධයක් නොවේ” ආදී පාඨ සහිත බැනර ඔවුහු ප්‍රදර්ශනය කලහ.  “ඇමරිකා එක්සත් ජනපදයේ ජාතිවාදී පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි අනුස්මරන”  පෙලපාලිය පසුව බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව දෙසට ගමන් කලේය.

ජොර්ජ් ෆ්ලොයිඩ් යනුවෙන් හඟනඟමින්, ලන්ඩන්හි ට්‍රැෆල්ගාර් චතුරස්‍රෙයහි රැස්ව සිටින ජනතාව

විශාලතම උද්ඝෝෂනය පැවැත්වුනේ, සෙනසුරාදා බර්ලිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටදීය. කුරිරු පොලිස් ප්‍රචන්ඩත්වයට විරුද්ධව උද්ඝෝෂනය කල දෙදහසකට අධික පිරිසක් ඊට සිය කෝපය පල කලහ. "ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය!" සහ “ජාතිවාදී පොලිස් හිංසනයට එරෙහි වෙමු.” ආදී බැනර ඔවුහු ප්‍රදර්ශනය කලහ.

උද්ඝෝෂකයෝ ෆ්ලොයිඩ්ගේ ඝාතනය කෙරෙහි පමනක් නොව, ජර්මනිය තුල පවතින කොන්දේසි සහ රට තුල අන්ත දක්ෂිනාංශික බලවේගයන්ගේ වර්ධනයට ද එරෙහිව විරෝධය දැක්වූහ. පොලිස් බලකායේ නව නාසි ව්‍යූහය  ජනතාව විසින් අනාවරනය කර ගත යුතු බව එක් කථිකයෙක් පැවසුවේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව, නාසිහරනය කිසි විටෙකත් සිදු නොවුන බවත්, තවමත් විවිධ ව්‍යූහාත්මක ක්ෂේත්‍රවල නාසීන් සිටින බවත් එක් උද්ඝෝෂකයෙක් පැහැදිලි කලේය.  තවත් අයෙක්, ජර්මනිය තුල පොලිස් ප්‍රචන්ඩත්වය පවතින බවට  සෘජුවම චෝදනා කලේය. මෙය කිසිසේත් හුදෙකලා සිදුවීමක් නොවන බවත්  ජර්මනියේ දිනපතාම පාහේ එවැනි දෑ සිදු වන අතර, 2005 දී සිර මැදිරියක පුලුස්සා මරා දැමූ ඕරි ජාලෝගේ සිද්ධිය එයට එක් උදාහරනයක් බවත් ඇය පැහැදිලි කලාය.

ඩෙන්මාර්ක අගනුවර වන කෝපන්හේගන්හි සෙනසුරාදා, 5,000 ක පමන පිරිසක් උද්ඝෝෂනයෙහි නිරත වූහ. විරෝධතාකරුවෝ ඔස්ටර්බ්රෝ හි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරියෙන් විරෝධතාවය ආරම්භ කර ක්‍රිස්ටියන්බර්ග් දක්වා ගමන් කලහ.

උද්ඝෝෂකයෝ පසුගිය බ්‍රහස්පතින්දා, ඉතාලියේ මිලාන්හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලය අසල විරෝධතා දැක්වූහ. එදින, “මට හුස්ම ගන්න බැහැ” යන ෆ්ලොයිඩ්ගේ අවසන් වදන් නගරයේ තැනින් තැන ඇඳ තිබුනි.

කැනඩාවේ ටොරොන්ටෝ හි ක්‍රිස්ටි පිට්ස් උද්‍යානයේදී සෙනසුරාදා,  ෆ්ලොයිඩ් සහ රෙජිස් කෝර්චින්ස්කි-පැකට්ගේ මරන වලට එරෙහිව  දහස් ගනනක්  විරෝධතා දැක්වූහ. කෝර්චින්ස්කි-පැකෙට් නම් 29 හැවිරිදි කලු ජාතික කාන්තාව පසුගිය බදාදා, 24 වන මහලේ බැල්කනියෙන් වැටී මිය ගියේ, පොලිස් නිලධාරීන් ඇගේ නිවස වැටලූ අවස්ථාවේදීය. කෝර්චින්ස්කි-පැකට්ගේ පවුලේ අය, ඇය මිය ගිය ආකාරය පිලිබඳ සත්‍යය හෙලි කර ගැනීමට උත්සාහ කරන අතර සිදුවීම පිලිබඳ පොලිස් වාර්තා පිලිගත නොහැකි බවට චෝදනා  කරති.

ජෙරුසලමේ සහ ටෙල් අවිව් හි සහයෝගීතා උද්ඝෝෂන පැවතුනි. සෙනසුරාදා, ඊස්රායල දේශසීමා පොලිසිය විසින් ඊයාඩ් හලාක් ඝාතනය කිරීමට විරෝධය දැක්වීමට සිය ගනනක් ඊස්රායල හා පලස්තීනුවෝ පෙලපාලි දැක්වූහ. ඔටිසම් රෝගයෙන් පෙලෙන ආබාධිත පලස්තීන ජාතිකයෙකු වූ හලාක්ට ජෙරුසලමේ පැරනි නගරයේ දී වෙඩි තබා ඇත. “පලස්තීනු ජීවිත වටින්නේය , ඉයාඩ්ට යුක්තිය, ජෝර්ජ්ට යුක්තිය”ආදී වැකි සහිත පුවරු විරෝධතා කරුවෝ ප්‍රදර්ශනය කලහ.

ඉරිදා සවස ලන්ඩනයේ ඩව්නිං වීදිය හරහා පාර්ලිමේන්තුව තෙක් විරෝධතා පෙලපාලි දැක්වීම සදහා දහස් ගනනක්  ට්‍රැෆල්ගර් චතුරස්‍රයට රැස් වූහ. බැටර්සියා ප්‍රදේශයේ නයින් එල්ම්ස් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල විරෝධතා දැක්වීම සදහා ඔවුහු තේම්ස් නදිය තරනය කලහ. විරෝධතාකරුවෝ “යුක්තිය නැත, සාමය නැත”, “කලු ජීවිත වටින්නේය” , “මගේ නම ජෝර්ජ් ෆ්ලොයිඩ්” ආදී සටන් පාඨ කියමින් විරෝධතා දැක්වූහ. “ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය”, “වර්ගවාදයට තැනක් නැත” සහ “මට හුස්ම ගන්න බැහැ” යන සටන් පාඨ සහිත බැනර් ද ඔවුහු රැගෙන ගියහ.

2020 මැයි 31 ඉරිදා මධ්‍යම ලන්ඩනයේ පාර්ලිමේන්තු චතුරස්‍රයේ සිට ආරම්භවූ, ඇමරිකාවේ මිනියාපොලිස්හිදී පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එරෙහි උද්ඝෝෂනයක්, එම ඝාතනය ඇමරිකාව හා ලොව පුරා බොහෝ රටවල විරෝධතාවන්ට තුඩුදුන්නේය. (AP Photo/Matt Dunham)

එක් විරෝධතාකරුවෙකු ඕස්ට්‍රේලියාවේ “නයින් නිවුස්” හි යුරෝපීය වාර්තාකරු සොෆී වොල්ෂ්ට පැවසුවේ, “වැඩි වැඩියෙන් විරෝධතා ඉදිරියට අපේක්ෂා කරන්න, ඒ සඳහා අපට ඕනෑ තරම් පිරිස් සිටියි” යනුවෙනි.

දහවල් 1 ට විරෝධතාකරුවන් දනින් වැටී ෆ්ලොයිඩ් සිහි කලේය.

උද්ඝෝෂකයින් ලැම්බෙට් පාලමේ වාහන ධාවනය නවතා එක්සත් ජනපද තානාපති කාර්යාලයට යන මාර්ගය අවහිර කලේය. බොහෝ රියදුරන් උද්ඝෝෂනය පසුකර යන විට ඔවුන්ගේ රිය නලාව නාද කරමින් සහය පල කල  අතර, මග දෙපස පිරිස් අත්පොලසන් දී පෙලපාලියට සහයෝගය දුන්හ.

ෆ්ලොයිඩ්ගේ මරනයට සම්බන්ධ මූලික හා ජාත්‍යන්තර පන්ති ප්‍රශ්න හඳුනා ගත් ඇතැම් විරෝධතාකරුවෝ, දශක ගනනාවක කප්පාදු, නොසලකා හැරීම සහ ධනපතියන්ගේ ඉවබව නැති ලාභ ගැරීම හේතුවෙන් 2017 දී සිදු වූ බිහිසුනු ගින්නකින් 72 දෙනෙකු මිය ගිය ස්ථානය වන, බටහිර ලන්ඩනයේ උතුරු කෙන්සිංටන් හි ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාසය වෙත ගියහ. 

විරෝධතාකරුවන්ට මුහුන දීම සඳහා මෙට්‍රොපොලිටන් පොලිස් භටයින් විශාල සංඛ්‍යාවක් යොදවා තිබුනි. වොල්ෂ් ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ,  විරෝධතාකරුවන් වයිට්හෝල් ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා පොලීසිය බලහත්කාරය යොදාගත් බවයි. විරෝධතාකරුවන් තවදුරටත් ඉදිරියට යාම වැලැක්වීම සඳහා පොලිසිය, එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පෙල ගැසී සිටියහ. ඔවුහු විරෝධතාකරුවන් ගනනාවක් අත්අඩංගුවට ගත්හ.

විරෝධතාකරුවෝ බෙලී වෙනුවෙන් යුක්තිය ඉල්ලන පුවරු ගෙන ගියහ. පසුගිය මාසයේ, කොරොනා බෝවිය යුතු බව කියමින් පුද්ගලයෙකු විසින් කෙල ගැසීමෙන් පසුව දුම්රිය කම්කරුවෙකු වූ බෙලි මුජිංග මිය ගියේය. බලධාරීන් ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නොමැති අතර, බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීම ප්‍රතික්ෂේප කර ඇත.

සෙනසුරාදා ලන්ඩන් අගනුවරට දකුනින් පිහිටි පෙක්හැම්හි සිය ගනනකගේ විරෝධතා පාගමනෙන් පසුව ඉරිදා  ලන්ඩනයේ පෙලපාලිය පැවැත්වින . “සහයෝගිතාව”  ප්‍රදර්ශනය කරන බැනර් ගනනාවක් ඔවුහු  රැගෙන ගියහ.

බ්‍රිතාන්‍යයේ අනෙකුත් විරෝධතා ඉරිදා මැන්චෙස්ටර් සහ කාඩිෆ් හිදී පැවැත්විනි. කාඩිෆ්හි, සිය ගනනක්  නගරයේ මාලිගාව අසල රැස් වූහ. එක් බැනරයකින් මෙසේ කියැවින: “අයුක්තිය අබිමුව ඔබ ක්‍රියාත්මක නොවන්නේ නම් ඔබ පීඩා කරන්නාගේ පැත්ත තෝරාගෙන ඇත.”

මැන්චෙස්ටර්හිදී විරෝධතාකරුවෝ මාකට් වීදිය, ශාන්ත ඈන් චතුරස්‍රය සහ පීටර් වීදිය ඇතුලු නගරයේ ප්‍රධාන මාර්ග ඔස්සේ ගමන් කලහ. පාගමන ශාන්ත පීටර්ස් චතුරස්‍රයෙන් අවසන් වූ අතර එහිදී විරෝධතාකරුවෝ ෆ්ලොයිඩ්ට දනගසා උපහාර දැක්වූහ. මෙය 1819 දී විරෝධතා දැක්වූ කම්කරුවන්ට අශ්වාරෝහක පොලිසිය විසින් පහර දී සමූල ඝාතනය කල, පීටර්ලූ සිදු වූ ස්ථානයේ සිට යාර කිහිපයක දුරින් පිහිටි ස්ථානයකි.  “ජෝර්ජ් ෆ්ලොයිඩ් සඳහා යුක්තිය”  සටන් පාඨ ඔවුන් ලෙලවූ අතර පොලිස් අත්අඩංගුවේදී සිදු වී ඇති මරන ගැන සඳහන් කරමින් “එක්සත් රාජධානිය නිර්දෝෂී නොවේ” ආදී සටන් පාඨද හඬනැගූහ.

මෙම අවසාන කාරනය සනාථ කරමින් විදේශ ලේකම් ඩොමිනික් රාබ්, ඇමරිකාවේ විරෝධතා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ප්‍රතිචාරය පිලිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. ට්‍රම්ප්, විරෝධතාකරුවන් “මැරයන්” ලෙස හෙලා දුටු අතර පෙලපාලි විසිරවීම සඳහා හමුදාව යොදවන බවට තර්ජනය කලේය. සිකුරාදා ඔහු ට්වීට පනිවිඩයක් මගින් කියා සිටියේ: "ඕනෑම දුෂ්කරතාවයකදී අපි පාලනය භාර ගන්නෙමු, නමුත් කොල්ල කෑම ආරම්භ වූ විට, වෙඩි තැබීම ආරම්භ වේ."

ට්‍රැෆල්ගාර් චතුරස්‍රයේ සිට වයිට්හෝල් දිගේ ඇදෙන ලන්ඩන් විරෝධතා පෙලපාලියක්

ඉරිදා උදෑසන ස්කයි නිවුස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාබ් මෙසේ පැවසීය: “මම වෙනත් ලෝක නායකයන්, හෝ ඇත්ත වශයෙන්ම එක්සත් ජනපද ජනාධිපතිවරයා කරන ප්‍රකාශ හා මාධ්‍ය ප්‍රකාශ පිලිබඳව අදහස් දැක්වීම නොකරමි.”

පොලිස් ප්‍රචන්ඩත්වය පිලිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍යයට ඇත්තේ ම්ලේච්ඡ වාර්තාවකි.  2018 මාස පහක කාලයක් තුල ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පමනක් බලය අයථා ලෙස භාවිතා කල අවස්ථාවන් 41,477 ක් වාර්තා වේ. එය පුදුමාකාර තත්වයකි. එම කාලය තුල පොලිසිය සැකකරුවන් 2,663 දෙනෙකුට ටේසර් වෙඩි තැබීම සහ ලන්ඩනයේ  සැකකරුවන් 591 ක් ඉලක්ක කරගනිමින් සැබෑ ගිනි අවි පුහුනු වීම් සිදු කල අවස්ථා වාර්ථා වේ. එම අපරාධයන් සාමාන්‍යයෙන් දිනකට හතර වතාවක් පමන සිදු වී ඇත.

2017-2018 කාලයේදී එක්සත් රාජධානියේ පොලිසිය වගකිවයුතු ඇතැම් සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 283 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. සිදුවීම් 23 ක් වාර්තා වන්නේ පොලිස් අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී හෝ ඉන් පසුව ය. අත්අඩංගුවේ සිටියදී සියදිවි නසා ගැනීම් 57 ක්  සිදු වී ඇති අතර 29 ක් මාර්ග අනතුරු වේ. පොලිස් වෙඩි තැබීම් හතරක් සිදු කර ඇත. ඉන් තුනක් ත්‍රස්තවාදයට සම්බන්ධ වෙඩිතැබීම් වේ. පොලීසිය වගකිවයුතු වෙනත් ඝාතන 170 කි.

එක්සත් ජනපදයේ දී මෙන්ම, මෙම ප්‍රචන්ඩත්වය කලු ජාතිකයින් මත, විශේෂයෙන් කලු ජාතික තරුනයන් මත අසමාන ලෙස ක්‍රියාත්මක වේ. නමුත් එය මූලික වශයෙන් මුල්බැසගෙන ඇත්තේ ධනේශ්වර රාජ්‍යය සමස්ත කම්කරු පන්තියම පීඩාවට පත් කිරීම තුලයි.

එලඹෙන සතියේ, ජුනි 3, 6 සහ 7 ලන්ඩනයේදී, ජූනි 6 මැන්චෙස්ටර්හිදී සහ ජුනි 4 බර්මින්හැම්හිදී ආදී වශයෙන් එක්සත් රාජධානියේ තවත් විරෝධතා සැලසුම් කර ඇත. එවැනිම විරෝධතාවන් යුරෝපය පුරා සූදානම් වෙමින් පවතී.

විරෝධතා ආසියා පැසිෆික් කලාපය දක්වා ද ව්‍යාප්ත වෙමින් පවතී.

එක්සත් ජනපද පෙලපාලිවලට සිය සහයෝගය ප්‍රකාශ කිරීම සඳහා සිය ගනනක් සෙනසුරාදා ජපානයේ ටෝකියෝ නුවරට රැස් වූහ.  විරෝධතාකරුවෝ ටෝකියෝ පොලිසිය විසින් මෑතකදී 33 හැවිරිදි, කුර්දි සම්භවයක් ඇති කම්කරුවෙකුට පහරදීමට එරෙහිව විරෝධය දැක්වූහ. නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහු අමානුෂික ලෙස බිම හෙලා සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටය ජනතාව තුල කෝපය ඇවිලවීය.

ටෝකියෝ විරොධතාවේ කොටසක්, අනුග්‍රහය: @Gregor_Wakounig (Twitter)

විරෝධතාකරුවෝ  සුප්‍රසිද්ධ ස්ථානයක් වන ෂිබුයා චතුරස්‍රයේ සිට ෂිබුයා පොලිස් ස්ථානය දක්වා පා ගමනින් ගමන් කලහ. කුර්දි කම්කරුවාට පහරදීමට සම්බන්ධ “පොලිස් නිලධාරියා වහා අත්අත්අඩංගුවට ගනු” ,“විදේශිකයන්ට වෙනස් ලෙස සැලකීම නවත්වනු!” ආදී සටන් පාඨ කියමින් ඔවුහු බලධාරීන්ට බල කලහ. පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් විරෝධතාවය බිඳ දැමීමට උත්සාහ කල අතර අවම වශයෙන් එක් උද්ඝෝෂකයෙකු අත්අඩංගුවට ගනු ලැබින.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ඇතුලු නගරවල ඉදිරි දිනවලදී විරෝධතා දක්වන බව දහස් සංඛ්‍යාත ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ ඇඟවුම් කර තිබේ. එක්සත් ජනපද උද්ඝෝෂනවලට සහයෝගය දැක්වීමට අමතරව ඔවුන්, ඕස්ට්‍රේලියාවේ පොලිස් ඝාතනවලට විරෝධය දක්වනු ඇත. පොලිස් ඝාතන බොහෝමයක් ආදිවාසී ජනතාව (Aboriginal people) ඉලක්ක කර ගෙන සිදු වී ඇත.

අද උදෑසන අගමැති ස්කොට් මොරිසන්, එක්සත් ජනපද විරෝධතා ඕස්ට්‍රේලියානු කම්කරුවන් හා තරුනයින් ද අනුකරනය කරනු ඇති බවට බිය පල කලේය. “වෙනත් රටවල සිදුවන දේවල් ඕස්ට්‍රේලියාවට ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැත, ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදය නොවේ“ යයි ඔහු කියා සිටියේය.

අද පස්වරුවේ සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ්, වෙලින්ටන්, ක්‍රයිස්ට්චර්ච් සහ ඩුනෙඩින් නගරවල විරෝධතා පැවැත්වේ

Loading