කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ රැකියා රැක ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි

මෙම ලිපිය අද දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිනි.

මහා පරිමානයෙන් “ආර්ථිකය යලි විවෘත කිරීම” සහ මැයි 26 සිට සෑම දිස්ත්‍රික්කයකම දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කිරීම මගින්, ශ්‍රී ලංකාවේ ආන්ඩුව ගෝලීයව පැතිරයන කොරෝනා වසංගතයේ අන්තරායට කම්කරුවන් තවදුරටත් නිරාවරනය කරමින් සිටියි.

රට තුල දෛනිකව සුලු‍ පරීක්ෂන සංඛ්‍යාවක් සිදු කෙරෙන තතු තුල පවා, මැයි 25 වනදායින් අවසන් වූ සතියේ කොවිඩ්-19 රෝගීන් 1,200 සිට 1,633 දක්වා ඉහල ගොස් තිබේ. නිල වාර්තාවන්ට අනුව, මරන සංඛ්‍යාව 11 කි. 

වසංගතය “පාලනය කිරීම” සම්බන්ධයෙන් ආන්ඩුවේ  “ඵලදායීතාවය” කියාපෑම සඳහා මෙම අවප්‍රමාන කෙරුනු නිල සංඛ්‍යාලේඛන යොදාගනු ලැබේ. කෙසේ වෙතත්, රෝගය පැතිරීම නිල අගයන්ට වඩා දෙතුන් ගුනයකින් වැඩි වියහැකි බවත්, ප්‍රජා මට්ටමින් ආසාදනය ඇරඹී තිබිය හැකි බවත් ස්වාධීන තක්සේරු වලින් පෙන්වා දෙයි.

කොලඹ දුම්රිය ස්ථානයක මුර සංචාරයේ යෙදෙන සෙබලුන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ ඔහුගේ ආන්ඩුවේ ජාතිකවාදී වාචාලකම් තිබියේ වුවද, කොරෝනා වෛරසය ජාතික සීමාවන් නොහඳුනයි. ගෝලීය වශයෙන්, වසංගතය ඉහල යමින් පවතී. ඊයේ ගෝලීය ආසාදිතයින් ගනන මිලියන හයක් දක්වා ඉහල ගොස් ඇති අතර මරන සංඛ්‍යාව 400,000 ට ලඟා වෙමින් පවතී. අසල්වැසි ඉන්දියාවේ රෝගීන් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරන 5000කට වැඩියෙන් වාර්තා වී ඇත්තේ, එරට ජාත්‍යන්තර වශයෙන් වඩාත්ම බලපෑමට ලක්වූ රටවල් අතරින් හත්වන තැනට පත්කරමිනි. 

මධ්‍යම හා දකුනු ඇමරිකාවේ, දකුනු ආසියාවේ සහ අප්‍රිකාවේ කොවිඩ්-19 රෝගීන් තවමත් ඉහල යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ව අංශයේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් මැයි 25 දා පැවසීය. “පලමු රැල්ල නැවැත්වීම සඳහා ගත් පියවර ඉක්මනින් ඉවත් කල හොත් ආසාදන අනුපාතය වඩා ඉක්මනින් නැවත ඉහල යා හැකි” බවට ඔහු අනතුරු ඇඟවීය.

ආන්ඩු විසින් කම්කරුවන් කොරෝනා වෛරසයට නිරාවරනය කෙරෙද්දී, අනාරක්ෂිත රැකියා කොන්දේසි, රැකියා අහිමිවීම, මර්දනය සහ කුසගින්නට එරෙහි විරුද්ධත්වය ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවතී. ඉන්දියාවේ සංක්‍රමනික කම්කරුවෝ ආන්ඩුවේ මර්දනයට එරෙහිව උද්ඝෝෂනය කරමින් සිටිති. 

රැකියා අහිමිවීමට එරෙහිව බංග්ලාදේශයේ ඇඟලු‍ම් කම්කරුවෝ දහස් ගනනක් සති හයක් තිස්සේ විරෝධතා දක්වති. බ්‍රසීලයේ සෞඛ්‍ය සේවකයින් රට පුරා වැඩ වර්ජනයක නිරත වූ අතර චිලිය විරෝධතාවලින් ඇලලී ගියේය. එක්සත් ජනපදය හා යුරෝපය ඇතුලු‍ ප්‍රධාන ධනපති මධ්‍යස්ථානවල කම්කරුවන් තමන් කොරෝනා වෛරසයට නිර්දය ලෙස ලෙස නිරාවරනය කිරීමට විරෝධය පාමින් සිටිති. 

ඇඟලු‍ම් කර්මාන්තය, මහජන සෞඛ්‍ය සේවය සහ සමෘද්ධි සුභසාධන වැඩසටහනට අනුයුක්ත වූවන් ඇතුලු‍ ලංකාවේ කම්කරුවන් පසුගිය සති කිහිපය තුල තමන්ව ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන තිබේ.

මහා ව්‍යාපාරවල ලාභ තර කිරීම වෙනුවෙන් ආසාදනයේ අවදානම සමඟ ඔට්ටු වීමට තමන්ව යෙදවීම සඳහා, වසංගතය පාලනය කර ඇති බවට ව්‍යාජ චිත්‍රයක් පින්තාරු කරමින් ආන්ඩුව ගෙනයන ප්‍රචාරයෙන් නොමග නොයන මෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට අනතුරු අඟවයි.

ජනාධිපති රාජපක්ෂගේ ප්‍රතිචාරය 

ආරම්භයේ සිටම කොවිඩ්-19 ට රාජපක්ෂගේ ප්‍රතිචාරය අවිද්‍යාත්මක ය. පලමු ආසාදිත චීන සංචාරිකාව ජනවාරි මාසයේ දී සොයාගෙන සුවකරන ලද නමුත් වසංගතයට එරෙහි වීම සඳහා අගුලු‍ දැමීමක් ක්‍රියාවට දැමීම හෝ ඵලදායී මට්ටමින් පරීක්ෂන පැවැත්වීම ඔහු ප්‍රතික්ෂේප කලේය. ඒ වෙනුවට ඔහු මෙසේ පැවසීය: “වෙනත් රටවලට හොඳම වෛද්‍ය පහසුකම් තිබෙනවා විය හැකියි. නමුත් අපේ උත්සාහයෙන් ආසාදිත පුද්ගලයින් සුව කරගැනීමට අපට පුලු‍වන් වුනා”  

රාජපක්ෂ, තම පාලනයේ මිලිටරීකරන වැඩපිලිවෙල තීව්‍ර කිරීමේ කඩතුරාවක් ලෙස වසංගතය යොදාගත්තේය. ඔහු කොවිඩ්-19 වැලැක්වීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස යුද හමුදාපතිවරයා පත් කල අතර මෑතකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර මේජර් ජෙනරාල් සංජීව මුනසිංහට පැවරීය.

රාජපක්ෂ මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හැර  අප්‍රේල් 25 වන දින මහ මැතිවරනය කැඳවූ නමුත් නැගී එන ගෝලීය වසංගතය මධ්‍යයේ මැතිවරන කොමිසමට එය කල් දැමීමට සිදුවිය. පන්ති යුද්ධයක් සඳහා වන සූදානමේදී, ආඥාදායක පාලනයකට ඇති ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා, සිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුන වෙනුවෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු තවමත් ඉක්මන් මැතිවරනයක් සඳහා අර අදිමින් සිටී.

ආර්ථිකය යලි විවෘත කිරීමේ දී පරපුටු මුල්‍ය කතිපයාධිකාරයේ සහ යෝධ සංගතවල අවශ්‍යතා වෙනුවෙන් යලි වැඩ ඇරඹීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය ආන්ඩු කල කැඳවුම රාජපක්ෂ ප්‍රතිරාවය කලේය. ලංකාවේ දුර්වල ධනපති පන්තිය විදේශ නය පැහැර හැරීමේ අද්දර සිටින අතර ආර්ථික ක්‍රියාකාරකම් යලි පනගැන්වීමේ දැඩි උවමනාවෙන් පෙලෙයි.

වැඩපලවල් තුල තත්වය 

නැවත සේවයට පැමිනීමට කම්කරුවන් තල්ලු කිරීම සඳහා ආරක්ෂිත සේවා ස්ථාන නිර්මානය කර ඇති බව ආන්ඩුව    ප්‍රකාශ කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින්, ආයතන තුල විෂබීජහරනය, සේවකයින් සඳහා පහසුකම්, සනීපාරක්ෂාව සහ සමාජ දුරස්ථභාවය ඇතුලුව පිලිපැදිය යුතු “මාර්ගෝපදේශ” නිකුත් කර තිබේ. 

කෙසේ වෙතත්, බොහෝ සේවා ස්ථාන කොතරම් ජනාකීර්නද යත්, ඒවායේ සමාජ දුරස්ථභාවය පවත්වාගත නොහැකිය. සමූහ පරීක්ෂන පැවැත්වීම රජය ප්‍රතික්ෂේප කර තිබේ. රෝග ලක්ෂන නොපෙන්වන ආසාදිත අවස්ථා හඳුනා ගැනීම සඳහා කම්කරුවන් පීසීආර් පරීක්ෂන වලට යොමු නොකෙරේ. සමහර කම්කරුවන්ට මුහුනු ආවරන සපයා ඇති නමුත් සනීපාරක්ෂක පහසුකම් ප්‍රමානවත් නොවේ. එපමනක් නොව, කම්කරුවන්ට වැඩට යාමට සෙනඟ පිරුනු බස් හා දුම්රිය භාවිතා කිරීමට සිදුවේ. මේ අනුව, කම්කරුවන් නොදැනුවත්ව ආසාදනය වීමේ විශාල අවදානමක් ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 10 කට පමනක් පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) ලබා දී ඇති අතර බොහෝ දෙනෙකු පීසීආර් පරීක්ෂාවට ලක් කර නොමැත. බොහෝ රෝහල්වල කාර්ය මන්ඩල සඳහා ආරක්ෂිත පහසුකම් නොමැත. 

ඒ අතරම වසංගතයේ බර කම්කරු පන්තිය මත පටවනු ලැබේ. සමහර ව්‍යාපාර සම්පූර්නයෙන්ම වසා දමා ඇත. අනෙකුත් සේවා ස්ථාන නැවත විවෘත කර ඇති නමුත් නැවත කැඳවනු ලැබුවේ කම්කරුවන්ගෙන් තුනෙන් එකක් පමනි. විශේෂයෙන් පෞද්ගලික අංශයේ වැටුප් කප්පාදු, දීමනා සහ විශ්‍රාම වැටුප් කප්පාදු සහ වැඩ කාලය දීර්ඝ කිරීමත් සමඟ අමාරුවෙන් දිනා ගත් අයිතිවාසිකම් අතුගා දමනු ලැබේ. බොහෝ අවස්ථාවන්හීදී, අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් සේවයෙන් පහ කර ඇත.

රාජ්‍ය අංශයේ සේවකයින්ගෙන් නැවත කැඳවනු ලැබුවේ තුනෙන් එකක් පමනි. කුඩා ශ්‍රම බලකායකින් කලමනාකරනය කල හැකි බව රජය ප්‍රකාශ කර ඇති තතු යටතේ අනෙක් අයට රැකියා අහිමි වනු ඇත.  

ශ්‍රම බලකායෙන් සියයට 50 කට වැඩි ස්වයං රැකියාවල නිරත වූවන්ගේ ජීවනෝපායන් අනතුරේ වැටී ඇත. බොහෝ කුඩා හා මධ්‍යම පරිමානයේ ව්‍යාපාර බිඳ වැටී හෝ දැඩි අර්බුදයකට ලක්ව පවතී.

හයිඩ්‍රාමනී මහරගම ශාඛාව (Photo: WSWS)

 අගුලු‍ දැමීමේදී සිය ජීවනෝපාය අහිමිවූවන් සඳහා මූලික අවශ්‍යතා සැපයීමට ආන්ඩුව අවාසනාවන්ත ලෙස අසමත් වී තිබේ. වැඩෙන කෝපය මධ්‍යයේ, රජය ඇතැම් අයට මසකට රුපියල් 5,000 ක දීමනාවක් ගෙවීමට පටන් ගත් නමුත් ජුනි මාසයේදී එම ගෙවීම නතර කෙරේ. 

කොවිඩ්-19 ව්‍යාප්ත වීමත් සමඟ මැද පෙරදිග සිට සංක්‍රමනික කම්කරුවන් දහස් ගනනක් ආපසු ගෙන්වා ගැනීම නවතා දැමීමෙන් සමස්ත කම්කරු පන්තිය කෙරෙහි ආන්ඩුව දැක්වූ තුච්ඡ ආකල්පය පෙන්නුම් කෙරින. බොහොමයක් දෙනා කල්පිරුනු වීසා බලපත්‍ර හේතුවෙන් අතරමං වී සිටිති. මැදපෙරදිග කඹුරන දකුනු ආසියානු කම්කරුවන් මිලියන ගනනක් අතර ශ්‍රී ලාංකික කම්කරුවෝ මිලියනයකට අධික සංඛ්‍යාවක් සිටිති. කටාර්, කුවේට් සහ ඩුබායි හි පාලන   තන්ත්‍රයෝ සංක්‍රමනික කම්කරුවන්ට රටින් පිටව යන ලෙස බල කරති. 

මහා ව්‍යාපාරිකය සැලකිලිමත් වන්නේ ලාභය ගැන පමනි. මුදල් හිඟයකින් පෙලෙන ආන්ඩුව මුලදීම රුපියල් බිලියන 300 ක් පමන මුදලක් බැංකු හරහා මූල්‍ය ආධාර ලෙස ඔවුනට පොම්ප කලේය. ආයතනික ප්‍රභූව දල වශයෙන් ඉල්ලා සිටින්නේ, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 කට සමාන, වඩා ලාභදායී නය මුදලක් සහ බාධාවකින් තොරව සූරාකෑම සඳහා “පැරනි කම්කරු නීති” අහෝසි කිරීමකි.

වැඩපල තුල ක්‍රියාකාරී කමිටු පිහිටුවනු

මෙම කුරිරු ප්‍රහාරවලින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී කම්කරුවන්ට මහා ව්‍යාපාරිකයේ උපාංගයන් බවට පත්ව ඇති වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැක. බොහෝ කම්කරුවන් අරගලයට පැමින ඇති නමුත් ඔවුන් වෘත්තීය සමිතිවල මාර්ග බාධකයට මුහුන දී සිටිති.

වෘත්තීය සමිති, හාම්පුතුන් හා කම්කරු ඇමතිවරයා සමඟ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වී ඇති අතර, නැවත සේවයට කැඳවා නොමැති කම්කරුවන් රැකියාවලින් දොට්ට වැටීමට පාර කපමින් ඔවුන්ගේ වැටුප් කප්පාදුවකට එකඟ වී ඇත.

මෙම ගනුදෙනුවේ කොටසක් ලෙස, වෘත්තීය සමිති,  එස්ක්වෙල් බහුජාතික ඇඟලු‍ම් සමූහයේ කම්කරුවන්ගේ විරෝධය කඩාකප්පල් කර, “අනිවාර්ය විශ්‍රාම ගැන්වීමක්” භාරගන්නා තැනට ඔවුන් පත්කිරීමට සමාගමට මගපාදා දුන්නේය. ඊට සම්බන්ධ වෘත්තීය සමිති වූයේ නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සහ ලංකා වෙලඳ, කාර්මික හා පොදු සේවක සංගමයයි. මෙය බොහෝ සමාගම් වල සිදුවෙමින් පවතී.

සමාගම් 35 ක වැටුප්, රැකියා සහ වෙනත් අයිතිවාසිකම් කපා හැර ඇති බවට ඉහත සමිති දෙක ඇතුලු‍ වෘත්තීය සමිති පහක් පසුගිය සතියේ කම්කරු ඇමතිවරයාට පැමිනිලි කර තිබේ. කෙසේ වෙතත්, මෙම නිෂ්ඵල ආයාචනය හුදෙක් කම්කරුවන්ගේ කවර හෝ අරගලයක් වාෂ්පකර දැමීමට ය.

සුරක්ෂිත රැකියා කොන්දේසි සඳහා සටන් කිරීමට සහ රැකියා, වැටුප් සහ වෙනත් අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට,  තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු සංවිධානය කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

පහත සඳහන් කාර්යයන් ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගත් විශ්වාසදායක නියෝජිතයින්ගෙන් මෙම කමිටු සමන්විත විය යුතුය.

විශ්වසනීය විද්‍යාඥයන් හා සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ සම්බන්ධ වෙමින් සේවා ස්ථානයේ ආරක්ෂිත තත්වයන් සහ කොවිඩ්-19 වෛරසයෙන් වැලකීමේ උපරිම රැකවරනය සහතික කිරීම.

නිතිපතා පරීක්ෂන පැවැත්වීම, සමාජ දුරස්ථභාවය, පුද්ගලික ආරක්ෂක උපකරන නිසි ලෙස භාවිතා කිරීම සහ ආයතන ඉතා හොඳින් පිරිසිදු කිරීම ඇතුලු‍ ආරක්ෂක පියවර අධීක්ෂනය කිරීම.

සේවකයෙකුට රෝගය වැලඳී ඇති බවට අනාවරනය වුවහොත්, ඔහු හෝ ඇය නිරෝධායනයට යොමු කරමින් වැටුප් අහිමිවීමකින් තොරව නිසි ප්‍රතිකාර ලබාදෙන බවට වග බලා ගැනීම. සියලු‍ම ආරක්ෂක පියවරයන්හි පිරිවැය සමාගම් සහ ආන්ඩුව විසින් දැරිය යුතුය.

සියලුම රැකියා, වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටන සංවිධානය කිරීම. සේවයෙන් පහ කරන ඕනෑම සේවකයෙකුට, සමාගම් කලමනාකරනයේ ගනන් බැලීම් වලට අනුකූල නොවී, සම්පූර්න වන්දි ගෙවිය යුතුය.

මෙම මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා වැඩ වර්ජන ඇතුලු පන්ති අරගලයේ විධික්‍රම භාවිතා කිරීමට කමිටුවලට සිදුවනු ඇත. එසේ කිරීමේදී ඔවුන්ට දිවයින පුරා සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය කරා සේන්දු වීමට සිදුවනු ඇත්තේ, ආරක්ෂිත සේවා කොන්දේසි සහ කම්කරුවන්ගේ අයිතීන් සඳහා වන සටන, සමාජ මාධ්‍යයන් හරහා අරගල ඒකාබද්ධ කිරීමද ඇතුලත්, ගෝලීය පරිමාන සටනක් වන බැවිනි. 

සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සෞඛ්‍යය, ඇඟලු‍ම් හා අධ්‍යාපන අංශවල සේවකයින් සඳහා මෙන්ම සංක්‍රමනික සේවකයින් සඳහා ද පුවත්පත් හතරක් ඉදිරි සති කිහිපය තුල දියත් කරමින් ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇත.

සමාජවාදය සඳහා සටන

සසප අවධාරනය කරන්නේ වැඩකරන ජනතාවගේ වියදමින් ස්වල්ප දෙනෙකු අත උපරිම ලාභයක් සමුච්ඡය කර ගැනීම මත පදනම් වූ ධනේශ්වර ක්‍රමය තුල කම්කරු පන්තියට තම අයිතිවාසිකම් ආරක්ෂා කරගත නොහැකි බවයි. රාජපක්ෂ ආන්ඩුව ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින අතර අර්බුදයේ බර කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ කර මත පැටවීම සඳහා මිලිටරිය පදනම් කරගත් ආඥාදායකත්වයක් සූදානම් කරමින් සිටියි.

පන්ති අරගලයේ පුපුරන සුලු‍ වර්ධනයට බියෙන්, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, එයින් කැඩී ගිය සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන සහ විවිධ දෙමල හා මුස්ලිම් පක්ෂ ඇතුලු‍ සංස්ථාපිතයේ සෑම දේශපාලන පක්ෂයක්ම ආන්ඩුවට සහාය දක්වති.

සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු හා ගොවි ආන්ඩුවක් ගොඩනැගීමට කම්කරුවන් පාලක පන්තියේ සෑම කන්ඩායමකින්ම බිඳී වෙන්විය යුතුය. 

සමාජයේ බහුතරයකගේ යහපත වෙනුවෙන් නිෂ්පාදනය තාර්කික හා විද්‍යාත්මක ආකාරයකට ප්‍රතිසංවිධානය කිරීම සඳහා මහා සමාගම්, වතු සහ බැංකු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කල යුතුය. 

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට මෙම සටන දියත් කල හැක්කේ ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමඟ ජාත්‍යන්තරව එක්වීමෙන් පමනි. ආන්ඩුවේ දෙමල විරෝධී හා මුස්ලිම් විරෝධී ප්‍රකෝප කිරීම්වලට එරෙහිව, කම්කරු පන්තිය ජනවාර්ගික හා ආගමික රේඛා කපා හරිමින් එක්සත් වී ගම්බද දුගීන් පෙලගැස්විය යුතුය.

දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීම සඳහා සසප සටන් කරයි.

සියල්ලටම වඩා මෙම ඉදිරිදර්ශනය සඳහා අරගලය තුල කම්කරුවන් උගන්වා ගැනීම, සංවිධානය කිරීම සහ බලමුලු‍ ගැන්වීම සඳහා විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වේ. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා ම සටන් වදින සසප ගොඩනැගීමට එක්වන මෙන් කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු.

Loading