කොරෝනා වෛරසය පැතිර යෑමෙන් සෞදි අරාබිය තුල සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන ගැටලු උත්සන්න කෙරේ

කොරෝනා වසංගතය  පැතිරීමේ හේතුවෙන් සෞදි අරාබියේ  සේවය කරන ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය ඇතුලු රටවල සිය දහස් ගනනක් සංක්‍රමනික කම්කරුවෝ බරපතල ප්‍රශ්නවලට මුහුන දී සිටිති. රැකියා අහිමිවීම, වැටුප් හා සේවා පහසුකම් කප්පාදුව පමනක් නොව වසංගතයෙන් සිය ජීවිත අහිමිවීමේ තර්ජනයට ද ඔවුහු මුහුන දෙති. 

තමන් ආපසු ගෙන්වා ගන්නා ලෙස මෙම කම්කරුවන් දිගින් දිගට ආයාචනා කරන නමුත් ඔවුන්ගේ රටවල  ධනපති ආන්ඩු සාපරාධී ලෙස එය නොතකා හැර ඇත.  

සංක්‍රමනික කම්කරුවන් සෞදි අරාබිය තුල දී මුහුන දෙන මෙම දුෂ්කර කොන්දේසි පිලිබඳව ශ්‍රී ලාංකික කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලේ ය.

ඔහු රැකියාව කරන්නේ  අල් කොබාර් හී අසීසියා (සිසහ්ය) කාර්මික පුරයෙහිය. එය  වාහන අලුත්වැඩියා කරන ආයතන, ඖෂධ සමාගම්, ආහාර ගබඩා ඇතුලු වෙනත් ගබඩා සංකීර්න මෙන්ම වඩු කර්මාන්ත හා කොන්ක්‍රීට් මිශ්‍රන සමාගම් වලින් ද  සමන්විත වේ. අසීසියා හි මහා සහ මධ්‍යම පරිමානයේ සමාගම් වල ඉහත රටවලින් සංක්‍රමන වූ කම්කරුවෝ සේවයේ නිරතව සිටිති.

ඉහල වැටුප් බලාපොරොත්තුව සෞදි අරාබියට පැමිනිය ද ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය හා ව්‍යසනකාරී ලෙස ව්‍යාප්ත වන කොරෝනා වසංගතය නිසා එම කම්කරුවන්ගේ අපේක්ෂාවන් බිඳ වැටී ඇති බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ පුද්ගලික රබර් නිෂ්පාදන කම්හලක ස්ථීර රැකියාවක නිරතව සිටි ඔහු සේවක අයිතීන් වෙනුවෙන් සටන් කල බැවින් රැකියාවෙන් නෙරපා ඇත. ඔහු සාමාජිකත්වය දැරූ ජනතා විමුක්ති පෙරමුනේ අන්තර් සමාගම් සේවක සංගමය එම දඩයමට එරෙහිව කවර හෝ සටනක් නොකොට තමා පාවාදුන් බවද කම්කරුවා පැවසීය. 

ජීවත්වීමේ වෙනත් විකල්පයක් නොතිබුන බැවින් ඔහු වත්මන් රැකියාවට පැමින ඇත. එයද සිදුව ඇත්තේ ඒජන්සියට ගෙවිය යුතු මුදල වැටුපෙන් කපා ගැනීමේ ගිවිසුමක් මතය. 

අසීසියා හි ඉංජිනේරු ආයතනයක කාර්මික ශිල්පියෙකු වන ඔහුගේ සේවා කාලය  වසර 12 කි. “මගේ මාසික වැටුප ලංකාවේ මුදලින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමන වෙනවා. අතිකාල කලහම වැඩි මුදලක් ලැබෙනවා. ඊට අමතරව ආයතනය සුලු රක්ෂන ආවරනයක් පවත්වාගෙන යනවා. කොරෝනා රෝගය පැතිර යෑමට මාස තුනකට පමන පෙර  වැඩ හිඟයක් ඇති වුනා. . අතිකාල සම්පූර්නයෙන්ම  නැති වුනා. සියලු කම්කරුවන්ගේ වැටුප් පහත  වැටුනා” 

ආයතනයෙන් සපයන ආහාර සඳහා වැටුපෙන් සියයට 20 කපා ගන්නා බවත් එය ශ්‍රී ලංකාවේ මුදලෙන් රුපියල් 14,000 පමන වන බවත් ඔහු සඳහන් කලේ ය. “මෙහි සම්මත  වැඩ දිනය පැය 8 යි. නමුත් අතිකාල නොගෙවා දිනකට පැයක් වැඩිපුර වැඩ ගන්නවා.. වැටුප් සහිත මාස දෙකක නිවාඩුවක් ගන්න මාස 24 ක සේවා කාලයක් සැපිරීම අත්‍යවශ්‍යයි”

“ශීත කාලයේ දී සිරුරේ කැල්සියම් ප්‍රතිශතය අඩු වී හන්දි රෝග වගේම සෙම්ප්‍රතිශ්‍යාව හා උන  රෝග වලට කම්කරුවන් ගොදුරු වෙනවා. ඒත් කායික පීඩාවන් දරාගෙන වැඩ කිරීමට සිදු වෙනවා. හදිසි අනතුරකදී හැරෙන්නට වෙනත් කිසිම රෝගී තත්ත්වයකදී වෛද්‍ය සහතික නිකුත් නොකරන නිසා වැටුප් ආරක්ෂා කරගැනීමට අසනීප ව සිටියදීත් වැඩ කිරීමට සිදු වෙනවා” 

කොරෝනා ආසාදිත සංක්‍රමනික කම්කරුවන් පහසුකම් සහිත රෝහල්වලට යොමු නොකරන බවත් තාවකාලිකව ඇටවූ රෝහල් වල ගාල් කරන බවත් ඔහු පැවසීය. ලංකාව, ඉන්දියාව, බංගලාදේශය හා නේපාලය වැනි රටවලින් පැමිනි කම්කරුවන්ට සෞදි පාලකයින් ඉතා දරුනු වැඩවසම්වාදී දඬුවම් පමුනුවන බවත් ප්‍රසිද්ධියේ ලබාදෙන එවැනි දඬුවම් මගින් සෞදි පුරවැසියන් මෙන් ම  විදේශ කම්කරුවන්ද ත්‍රස්තකර   තබා ගැනීම පාලකයින්ගේ අරමුන බවත් ඔහු කීවේය.

සෙසු රටවල මෙන් ම සෞදි පාලකයන් ද කොරෝනා වසංගත ව්‍යාප්තිය මැඩීම සම්බන්ධව විධිමත් පියවර නොගත් බව ඔහු සඳහන් කලේ ය.

“ඉරාන ජාතිකයින් බහුලව සෞදියට එනවා. සෞදිය තුල කොරෝනා රෝග ආසාදිතයින් ලෙස මුලින්ම හඳුනා ගන්නේ ඉරාන වැසියන් 13ක්. ආසාදිත ඉරාන වැසියන් ආගිය තැන් පරික්ෂා කරද්දී ඒ සෑම තැනකින්ම පාහේ රෝගීන් හමුවුනා. මාර්තු මුල තමයි සීමා සහිතව හෝ ආරක්ෂක පියවර ගත්තේ. රෝග ව්‍යාප්තිය අනුව දැන් සවුදිය ඉන්නේ දාහත් වැනි ස්ථානයේ”.

රෝගීන් හා මරන  ගැන එදිනෙදා  අන්තර්ජාලයට ප්‍රසිද්ධ කරන සංඛ්‍යා ලේඛන සැක සහිත බව ද ඔහු පැවසීය.

සංක්‍රමනික කම්කරුවන් වෙසෙන “කෑම්ප්”, රෝහල් හා ප්‍රසිද්ධ ස්ථානයන් හි සිටින පුද්ගලයන්ගේ ශරීර උෂ්නත්වය පරීක්ෂා කර උන  රෝගියකු සොයාගනු ලැබුනොත්  පොලිස් නිලධාරීන්ට භාර දෙන බව ඔහු කීවේය. උන රෝගීන් ලෙස සොයා ගැනෙන සංක්‍රමනික කම්කරුවන් අතහැර දැමූ  හෝ තාවකාලිකව ඇටවූ ගොඩනැගිලි වල පවත්වාගෙන නිරෝධායන  මධ්‍යස්ථාන වලට යොමු කෙරේ.

කොරෝනා රෝගය මැඩීමේ මුවාවෙන් දැඩි මර්දන පිලිවෙතක් පවත්වාගෙන යන බවත් ඇඳිරි නීතිය කඩ කලහොත් රියාල් දහදාහක දඩයක් නියම කෙරෙන බවත් ඔහු පැවසීය. ඔහු සේවය කරන ආයතනයේ පාකිස්තානු සුපරීක්ෂකවරයෙකු මෙම දඩයට යටත්ව මාස තුනක වැටුප වැය කිරීමට සිදුවූ බවත් පුද්ගලයින් 3200 ක් දැනට මෙම දඩයට යටත්ව ඇති බවත් ඔහු කීවේය. 

“ඇඳිරි නීතිය පවතින වෙලාවක වෙනත් සේවකයෙකුගේ කාමරයක සිටීම රියාල් 15,000 කද, පවුලේ නොවන අය නිවසක රඳවා ගැනීම හෝ සැලුන් එකක කොන්ඩය  කැපීම රියාල් 30,000 කද, ඉදිකිරීම් ක්ෂේත්‍රයක හෝටලයක හෝ ව්‍යාපාරික ස්ථානයක ආගන්තුකයින් රඳවාගැනීම රියාල් 50,000 ක ද දඩ වලට යටත් කෙරෙන බවට රජය දැනුම් දී තිබෙනවා”.

ඇඳිරි නීතිය කොපමන තද කලත් සෞදි රජය කම්කරුවන් වැඩට ගාල් කර ගැනීමට හාම්පුතුන්ට  අවසර දෙන බව ඔහු පැවසීය.

ඇඳිරි නීතිය හේතුවෙන් විදේශ කම්කරුවන් විශාල ගැටලුවලට වලට මුහුන දී ඇත. බැංකු සහ ප්‍රවාහන සේවා ඇන හිටීම නිසා කෑමබීම, රෝහල් පහසුකම් සහ ඖෂධ සපයා ගැනීම ඒ අතරින් බරපතල බව ඔහු කීවේය.  දියවැඩියාව,  රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි රෝග සඳහා නොකඩවා පාවිච්චි කල  යුතු අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතී. ජූලි 1 වෙනිදා සිට  වැට් බද්ද සියයට 5 සිට සියයට 15 දක්වා වැඩිකරන බව නිවේදනය කර ඇත. මේ මගින් රියාල් මිලියන 100 ක් උපයාගැනීම සෞදි පරිපාලනය අපේක්ෂා කරයි.

වැට් බදු වැඩිකිරීම හේතුවෙන් මූර්ත වැටුප් අගය විශාල ලෙස පහත වැටෙනු ඇති බවත් සේවා, බෙහෙත්, ආහාරපාන ආදී සෑම ක්ෂේත්‍රයකම මිල  ඉහල  යෑම ජීවන තත්ත්වයන් කඩාවැටීමකට ඉඩ සලසන බව ත් ඔහු පැහැදිලි කලේ ය.

“පෙබරවාරියේ මිලට ගත් රියාල් 32 ක බෙහෙත් වට්ටෝරුව ලංකා මුදලින් රුපියල් 1500ක් පමන  වුනා. වැට්  වැඩ වීමත් සමග එය රුපියල්4000 දක්වා වැඩි වීමට නියමිතයි. මගේ රක්ෂන  ආවරන  කාලය අවසන් වී දැනට මාසයකට වැඩියි. මේ අර්බුදය නිසා එය තවම යාවත්කාලීන කලෙත් නැහැ. රක්ෂන ආවරනය අලුත් නොකලොත්  මාසයකට වැයවන  රුපියල් 4000 ක මුදල රුපියල් 12000 ක් දක්වා ඉහල යනවා.”

වියදම් අඩු කිරීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ බොහොමයක් නතරවීම නිසා කම්කරුවන්  දහස්  ගනනකගේ රැකියා අහිමි වීමට නියමිත බවත් ඔහු සඳහන් කලේ ය.

වැටුප් පහත වැටීම සංක්‍රමනික කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්  කෙරෙහි තදින් බලපාන බව ඔහු පැවසීය.

”අසනීප තත්ත්වයන් උඩ බිරිඳට රැකියාවෙන් ඉවත් වීමට සිද්ධ වුනා.. වැඩිමහල් පුතා කරන්නේ ත්‍රිරෝද රස්සාව. ඇඳිරි නීතිය නිසා ඔහුට කිසිම ආදායමක් නැහැ . මගේ ආදායමෙන් ඔහුගේ  පවුලත් නඩත්තු කිරීමට සිදුවී තිබෙනවා. ඔහුගේ ත්‍රිරෝද  නය වාරිකය ගෙවීමට මසකට රුපියල් විසිදාහක් එවිය යුතුයි. උසස් පෙල හදාරන බාල පුතාගේ අධ්‍යාපනය සඳහා තවත් රුපියල් විසිදාහක් වැයවෙනවා. පවුලේ නඩත්තුව සඳහා රුපියල් හතලිස් පන්දාහක් සෑම මාසයකම එවනවා. මගේ කෑම බීම හා බෙහෙත් සඳහා සෑහෙන මුදලක් වැය වෙනවා”.

ශ්‍රී ලාංකික කම්කරුවන් එවන මුදල් රටට විදේශ විනිමය ගෙනන ප්‍රධාන මූලාශ්‍රයක් වුනත් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එහි සිටින කම්කරුවන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නො දක්වන බවට ඔහු චෝදනා කලේ ය. “ඔබේ සේවා ස්ථානයේ ප්‍රවේශමෙන් සිටින්න, ගමන් බලපත්‍රය අතේ තියාගන්න” යන නිවේදනය හැරෙන්නට වෙනත් කිසිම සහායක් තානාපති කාර්යාලයෙන් අපට ලැබී නැති බව ඔහු පැවසීය. 

මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ පවුල් වලට වසංගතයෙන් සිදුව ඇති අසීරුතාව වෙනුවෙන් රජයෙන් රුපියල් දහදාහක ආධාර මුදලක් ලබාදෙන බව රජය පැවසුව ද එය මෙතෙක් හිමිව නැත.

දැන් ගුවන්තොටුපොලවල් වසා ඇති බැවින් කිසිවෙකුට ලංකාව බලා ආ නොහැකි බවත් සෞදිය තුල හිරවී සිටින කම්කරුවන්ගේ එකම අපේක්ෂාව  දිවි බේරා ගෙන ලංකාවට ඒම බවත් ඔහු සඳහන් කලේ ය.

තෙල් පිරිපහදුවල හදිසි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය  අමතර කම්කරුවන් ලබා ගන්නේ මිනිස් බල සැපයුම් ආයතන වලිනි. එම ආයතන මෙම හදිසි සැපයුම කරන්නේ වෙනත් රටවලින් සංචාරක වීසා යටතේ ගෙන්වා ගන්නා කම්කරුවන්ගෙනි. වසංගතය හේතුවෙන් හදිසියේම නඩත්තු කටයුතු නවතා දැමීමට නියෝග කර ඇති නිසා මාර්තු මුල ගෙන්වූ කම්කරුවන්ගේ වැටුප් නතර කර තිබේ. දැන් ඔවුන්ට අදාල  ආයතන සපයනුයේ කෑම වේල පමනි. මේ තත්ත්වය යටතේ සමහර ආයතන පැරනි  සේවකයින්ට ගෙවනුයේ ද වැටුපෙන් අඩක් පමනි.

ඊට අමතරව  ආයතනයෙන් පිටත නවාතැන්වල සිට එදිනෙදා වැඩට එන කම්කරුවන්ට පොදු ප්‍රවාහනය තුල දුරස්ථභාවය රැක තබාගෙන ගමන් කල  නොහැකිය. එමෙන්ම ඇඳිරි නීතිය හේතුවෙන් කම්කරුවන්ට වැඩපොලවල් තුලම රැදී සිටීමට  සිදු වී ඇත. මේ හේතුවෙන් සමහර වැඩ පොලවල් තුල  තදබදයක් ඇතිවී තිබේ. එය රෝග ව්‍යාප්තියට තෝතැන්නක් වෙයි.

“වැඩට වාර්තා නොකරන කම්කරුවන්ට වැටුප් නොගෙවන බව දැනටමත් ප්‍රකාශ කරලා තියෙනව. එමෙන්ම ඇඳිරි නීතිය පවතින කාලය තුල කම්හල් දොරගුලු ලා කම්කරුවන් කොටුකරගෙන වැඩ ගන්නා තත්ත්වයක් ද නිර්මානය වෙමින් යන අතර ඒ සඳහා සෞදි ආන්ඩුවේ  බලධාරීන්ගේ නොමද සහාය ලැබෙනවා..

බලහත්කාරයෙන් කම්කරුවන් නැවත වැඩට තල්ලු කිරීම ලාබපිපාසිත සමාගම්වල උවමනාවට කරන්නක් බව ඔහු පැවසීය.  

“මම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දීර්ඝකාලීන පාඨකයෙක්. සෑම දිනකම සිංහලෙන් පලවන ලිපි සියල්ලම පාහේ මා කියවනවා.  එහි ආලෝකයෙන් මම මෙම ප්‍රශ්න දිහා බලන බව කිවයුතුයි. සමාගම් වලට බිලියන ගනන්  මුදල් සහන සපයන ගමන් බදු සහන පිරිනමනවා. ලෝකය පුරා වැඩකරන ජනතාව දැනුවත්ව වසංගතයට ගොදුරු කර තිබෙනවා. යුරෝපය හා ඇමරිකාව මෙම ඝාතන වල මර්මස්ථානයි. සෞදියේ  තත්වයත් එබඳුයි”.  

වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ධනපති පාලක පන්තීන් ක්‍රියාවට දමන  බංකොලොත් ජාතිකවාදී පිලිවෙත් ඔහු විවේචනය කලේ ය. “හැම රටක්ම හදන්නේ මෙම ප්‍රශ්නය  ඒ ඒ රටවල් තුල  සිර කර විසඳා ගැනීමට. මාරාන්තික වෛරසය ට දේශ සීමා ඇතුලු කිසිදු වෙනසක් හෝ භේදයක් ඇත්තේ නැහැ.  ජාතික විසඳුම් නිශ්ඵලයි. අවශ්‍ය වන්නේ ලෝක පරිමාන  විසඳුමක් බව ඉතාමත්ම  පැහැදිලිය. .මිනිසුන් ජීවත් වනවාද මිය යනවා ද යන්න තීරනය කල  යුතුයි. ලාභ ගරන ක්‍රමය අහෝසි කල යුතුයි”.

ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් බලමුලු ගැන්වීම පිනිස  ලෝක සමාජවාදී වෙබ් අඩවිය දරන ප්‍රයත්නය ඔහු අතිශයින් අගය කලේ ය.  “ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්යභාරය ඉතා වැදගත්. එය කම්කරුවන්ගේ වගේම අනෙකුත් පීඩිත මහජනතාවගේ ද මතය හැඩ ගස්වනවා. සිතුම් පැතුම් පරිවර්තනය කරනවා”.

Loading