පුද්ගලික අංශයේ වෘත්තීය සමිති මාධ්‍ය හමුව: ධනපති හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ ප්‍රහාර සඳහා දිගටම සහාය දෙන බවට සහතිකයක්

රාජපක්ෂ  ආන්ඩුව, ධනපති හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර ඇතිකරගෙන තිබෙන  ත්‍රෛපාර්ශවික “සම්මුතිය” දිගටම පවත්වාගෙන යන බව ජුනි 2 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී පුද්ගලික අංශයේ වෘත්තීය සමිති යලි අවධාරනය කලහ. මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ලංකා වෙලඳ කාර්මික හා පොදු සේවක සංගමය (ලවෙකාපොසේස), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස), ශ්‍රී ලංකා කාර්මික කවුන්සිලය (ශ්‍රීලකාක) විසිනි.

වෘත්තීය සමිති විසින් මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ ත්‍රෛපාර්ශවික සම්මුතිය යොදා ගනිමින් හාම්පුතුන් විසින් ක්‍රියාවට දමා ඇති රැකියා සහ වැටුප් කප්පාදුට එරෙහිව ඇඟලුම් කම්කරුවන් අතර බරපතල විරෝධයක් මතුව ඇති තතු  තුලය. එය එක් අතකින් සම්මුතිය දිගටම පවත්වාගෙන යමින් කම්කරුවන්ට එරෙහි  ප්‍රහාරයන් ක්‍රියාවට දැමීමට සහයෝගය දෙන බවට රාජපක්ෂ ආන්ඩුවට  සහ ධනපති හාම්පුතුන්ට සහකික වීමකි. අනෙක් අතින් කප්පාදුවලට එරෙහිව “ලොකු සටනක්” කරන බව කම්කරුවන්ට අඟවා ඔවුන් නොමග යැවීමේ රංගනයකි.    

“ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේ වසංගතය තව වසර එක හමාරක් තියෙන්න පුලුවන් කියලා. ඒ නිසා වසංගතය අපි කොච්චර හොඳින් මැඬලුවත් ඕඩර්ස් එන්නෙ නැති නම්, සංචාරකයො එන්නෙ නැති නම් තත්ත්වය දරුනු වෙන්න පුලුවන්. ඉන්දියාවේ කිසි ම කම්කරු නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. එහෙම තත්ත්වයක් තුල වෘත්තීය සමිතිවල කේවල් කිරීමේ ශක්තිය දුර්වල වුනත් මේ සම්මුතියට අපි යනවා”යයි ශ්‍රීලනිසේස ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර එහි දී ප්‍රකාශ කලේ ය.

ඉහත සම්මුතිය කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කරන එකක් ලෙස  සමිති නායකයෝ මාධ්‍ය හමුවේ දී වග වර්නනා කලහ. “ස්ට්‍රයික් කරන්න බැහැ ඇඳිරි නීතිය අස්සෙ. ඒ නිසා මේක මොලෙන් කල්පනා කරලා ලබා ගත්තු දෙයක්. මේක වෙලාවේ  හැටියට හොඳ දෙයක්” බව දේවේන්ද්‍ර එහි දී සඳහන් කලේ ය.  

සම්මුතිය විවේචනය කරන අය වැටුප් කැපීම ගැන කතා කලාට ඉන් සිදු වූ රැකියා බේරා ගැනීම ගැන කතා කරන්නේ නැති බවත් “ලක්ෂ  පහක් වන ඇඟලුම් කම්කරුවන්ගෙන් ලක්ෂ තුනක් අයින් කරන්න ඕන කියද්දි, අපනයන කර්මාන්තවල කම්කරුවන්ගෙන් සියයට හැටක් අස් කරන්න ඕන කියද්දි ඒක වලක්ව ගන්න පුලුවන් වුන” බවත් නිවෙකපොසේසේස සමලේකම් ඇන්ටන් මාකස් පැවසීය. 

“හිස් කල තමයි වැඩිපුර සද්ද කරන්නේ. සද්ද නොකර ම අපේ සීමාවන් තුල කරන්න පුලුවන් උපරිම දේ තමයි  මේ වෘත්තීය සමිති හතර කලේ” යයි පවසමින් ලවෙකාපොසේස ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි  සම්මුතිය විවේචනය කරන්නන් ට පහර ගැසීය.   

“විවේචනය කරන්නන්” සහ “වැඩිපුර හෙලවෙන හිස් කල” යනුවෙන්  මාකස්  සහ සිල්වෙස්ටර් නම් කරන්නේ මෙම පාවාදීම එලිදරව් කරන්නන් ය. විශේෂයෙන් ම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ)   සහ වෘත්තීය සමිතිවල පාවාදීමට විරුද්ධත්වය පල කරන සිතන මතන කම්කරුවන් ය. 

ලෝසවෙඅ වෘත්තීය සමිතිවල පාවාදීම හුදෙක් විවේචනය කරනවා පමනක් නොව, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට ද සටන් කරයි. සමිති නිලධරයේ කෝපය ලෝසවෙඅ කෙරෙහි එල්ල වන්නේ ඔවුන්ගේ පාවාදීම වඩවඩාත් හෙලිදරව් වන තතු තුල, තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීම සඳහා විකල්ප සංවිධානයක් සහ ඉදිරි දර්ශනයක් සොයන කම්කරුවන් එයට ආකර්ෂනය වීමේ කොන්දේසි වර්ධනය වන බැවිනි.  

ත්‍රෛපාර්ශවික එකඟතා ගිවිසුම වනාහි, කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පටවා ධනපති සමාගම් වල ලාබ  සුරක්ෂිත කිරීමේ සම්මුතියකි. සමාගම් වල අභිමතයට අනුව  කම්කරුවන් කොටස් වශයෙන් සේවයට කැඳවීමට සහ සියයට 50 කින් වැටුප් කප්පාදු කිරීමටත් මෙම සමිති නායකයෝ එකඟ වුහ. 

සමිති විසින් ඉදිරිපත් කල රුපියල් 20,000 වැටුප් යෝජනාව      ප්‍රතික්ෂේප කර රුපියල් 14,500 ක වැටුපක්  කම්කරු ඇමති විසින් ඒකපාර්ශවිකව පැටවූ බවත් “පැවති තත්වය” තුල වෙනත් කල හැකි දෙයක් නොවූ හෙයින් එයට එකඟ වූ බව සිල්වෙස්ටර්  පවසා ඇත. රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන් ඉදිරියේ මොනතරම්  නිවට යත්වීමක් ද?

ගිවිසුම “ඓතිහාසික” ගිවිසුමක් ලෙස හාම්පුතුන් විසින් ඉහලින් ම අගය කරනු ලබුවේ එය ඔවුන්ගේ උත්සුකතාවයන් සමග හොඳින් ම ගැලපෙන නිසාවෙනි.  

මේ වනවිට  සියයට 50 වැටුප පවා ගෙවීම බහුතරයක් සමාගම් විසින් ප්‍රතික්ෂේප කර ඇත.  ලක්ෂ පහක් වන ඇඟලුම් කම්කරුවන් ගෙන් සේවයට කැඳවා ඇත්තේ සියයට 20 ක් හෝ 30 පමනි. සමහර කම්හල් වසා සේවකයන් මුලුමනින් දොට්ට දමා ඇත. යක්කල එක්ස්වෙල් සහ හම්බන්තොට කෙන් ඇපරල් එසේ වසා දැමු කම්හල් දෙකකි. පිලිවෙලින් ඒවායේ සේවයේ යෙදුනු කම්කරුවන් 1000 කට සහ 400 කට රැකියා අහිමි වී ඇත. 

කටුනායක සහ කොග්ගල නිදහස් වෙලඳ කලාප වල සහ තවත් තැන්වල ඇඟලුම් කම්හල් 35 ක් ගිවිසුම උල්ලංඝනය කරමින් වැටුප් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවත් සේවකයන් බහුතරයක් දොට්ට දමා ඇති බවත් මෙම සමිති විසින් ම පසුගිය සතියේ කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධනට පැමිනිලි කර තිබුනි. 

සම්මුතිය නිසා අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන් දොට්ට දැමීම වලක්වා ගැනීමට හැකි වූ බවට සමිති නායකයන් කර ඇති    ප්‍රකාශය මුසාවකි. බහුතරයක් කම්හල් වල මාස 6 කට අඩු සේවා කාලයක් සහිත සියලුම කම්කරුවන් සහ මිනිස් බල (මෑන් පවර්) කම්කරුවන් සේවයෙන් ඉවත් කර ඇත. 

මාධ්‍ය හමුවට සහභාගී වූ සමිති පමනක් නොව, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) සහ එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු අදාල සම්මුතියට සහයෝගය දුන් සියලු සමිති, ඇඟලුම් කම්කරුවන්ට එරෙහි මෙම ප්‍රහාරයන්ට වගකිව යුතු ය. 

මැයි 11 ජාතික කම්කරු උපදේශක සභාවේ දී ඇතිකරගත් එකඟතාවයන් පිලිබඳව වෙනස්කම් සහිතව වුවද එකඟ වූ බව අසසේස කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධන වෙත ලිපියක් යවමින්  පවසා තිබුනි. එපමනක් නොව, “එකඟතාවයන් පොදුවේ රටේ වැඩකරන ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පොදු කාරනා වන හෙයින් ඒවා නීති ගත කිරීමට පියවර ගන්නා” ලෙස ද අසසේස  ඇමතිගෙන් ඉල්ලා ඇත. 

සමිති නායකයන්ගේ මුක්කුවෙන් අත ශක්තිමත් කරගෙන සිටින හාම්පුත්තු සේවය අහෝසි කිරීමේ පනත, වන්දි පනත, සේවය ස්ථීර කිරීම පිලිබඳ රෙගුලාසි ඇතුලු කම්කරු නීති සංශෝධනය කරන ලෙස ද හිතුමතේට රැකියාවෙන් දොට්ට දැමීම, මාසික වැටුප් වෙනුවට  දෛනික  වැටුප්  හඳුන්වා දීම ඇතුලු ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීමේ නීති සම්පාදනය කරන ලෙස ද ආන්ඩුවෙන්  ඉල්ලා සිටිති.

ජුනි මාසයෙන් පසු උක්ත ගිවිසුම අහෝසි වෙයි. “ජුනි  මස අග දී හාම්පුතුන් වෙන යෝජනාවක් ගේන්න පුලුවන්. අනාගතය සොඳුරු නැහැ” යයි දේවේන්ද්‍ර පැවසුවේය. සේවයට නො කැඳවන කම්කරුවන්ට ජුනි මාසයෙන් පසු වැටුප් නොගෙවන බව දැනටමත් හාම්පුතුන් අවධාරනය කර ඇත. අමුද්‍රව්‍ය සහ ඇනවුම් නොමැතිකම නිසා ජුනි මාසයෙන් පසු ඇඟලුම් අපනයනය සියයට 40 කින් පහත වැටෙනු ඇති බවත් කම්කරුවන්ගෙන් සියයට 30-50 අතර ප්‍රමානයකට රැකියා අහිමිවිය හැකි බවත් ඒකාබද්ධ ඇඟලුම් අපනයන කරුවන්ගේ සංවිධාන සංසදයේ සභාපති ඒ. සුකුමාරන් අප්‍රේල් මාසයේ නිකුත් කල ප්‍රකාශයක අනතුරු අඟවා තිබුනි.   

වැටුප්  නොගෙවීමට සහ රැකියා වලින් දොට්ට දැමීමට විරුද්ධව දැනටමත් ඇඟලුම් කම්හල් කම්කරුවන්  අරගල වලට පිවිසෙමින් සිටින තතු තුල මහා පරිමාන අරගල පැනනැගීමට ඇති ශක්‍යතාව කෙරෙහි  සමිති නායකයෝ බිය වී සිටිති.  රැකියා සහ වැටුප් කප්පාදුවට එරෙහිව කම්කරුවන් “කැරලි ගසනු ඇතැ” යි  ආන්ඩුවට සහ හාම්පුතුන්ට අනතුරු ඇඟවූ  මාකස් “මේ සම්මුතියට ගෞරවනීය ලෙස එකඟ වෙලා යම් කිසි විදියකට මේ රටේ කාර්මික සම්බන්ධතාව රකින්න හදද්දි හාම්පුතුන් තමන්ට ඕන විදිහට වැඩ කරන්න හදනවා නම් අපිටත් සිද්ධ වෙනවා කම්කරුවන් කැඳවන්න”යයි පැවසීය. 

“කම්කරුවන් කැඳවීම” ගැන මාකස් ගේ කතාව හුදෙක් ම කයිවාරුවක් පමනි. මෙම සමිති වල යතා ප්‍රයත්නය වන්නේ කම්කරුවන් සටනට කැඳවීම නොව, ඔවුන්ගේ අරගල කඩාකප්පල් කර කම්කරුවන් දුර්මුඛ කිරීමය. මෑතම උදාහරනය වන්නේ එක්ස්වෙල් කම්කරුවන් ගේ අරගලයයි. එය කඩාකප්පල් කර සොච්චම් වන්දියක් ලබාගෙන රැකියාවෙන් ඉවත් වන තැනට එම කම්කරුවන් පොලඹවනු ලැබුවේ මාකස්  විසිනි. 

එලෙස කම්කරු අරගල කඩාකප්පල් කර පාවාදෙන මෙම සමිති නායකයෝ අනෙක් අතට කම්කරුවන් මත ම වරද පටවති.  “කම්කරුවන් දැන දැන ම ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස් වෙනවා. සමහර අයට ඉලක්කම් හයක් දැක්කම ඇස් නිලංකාර වෙනවා” යනුවෙන් ජයකොඩි කම්කරුවන්ට චෝදනා කලේ ය. 

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව කොරෝනා වසංගතය මැද සමාගම් විසින්  ධනපති ආන්ඩුවල සහයෝගය ඇතිව ලෝක පරිමානව ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙතක කොටසකි.  “ආර්ථිකය යලි විවෘත කිරීම” යටතේ හාම්පුතුන්ට  හිතුමතේ කටයුතු  කිරීමට අවසර දී ඇති රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ අරගල තලා දැමීම සඳහා අවි මුවහත් කරයි.  

ආන්ඩුවට කන්නලව් කරමින් වෘත්තීය සමිති කරන්නේ කම්කරුවන් ඉදිරියේ මතු කෙරී ඇති මෙම අන්තරායන් වසන් කරමින් ඔවුන් නොමග යැවීම ය. නිවෙක මෙන් ම කම්කරු  පන්තියේ කවර  කොටසකට හෝ ධනපති ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ඍජු උපකරන වන වෘත්තීය සමිති තුලින් තම රැකියා හා වැටුප් ඇතුලු අයිතීන් රැක ගත නොහැකිය. 

ඔවුන්ට එය කල හැක්කේ වෘත්තීය සමිති වලින් බිදී තම ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පිහිටුවා ගනු ලබන ක්‍රියාකාරී  කමිටු හරහා  සංවිධානය කරනු ලබන ධනපති ලාබ පද්ධතියට එරෙහි දේශපාලනික අරගලයක් තුලින් පමනි.

කියවන්න: කොවිඩ්19 වෛරසය සම්ප්‍රේෂනය වීම වලකා ජීවිත රැක ගැනීමට සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු පිහිටුවනු! 27 මැයි 2020

Loading