වසංගතයේ ආර්ථික බලපෑම් දශකයක් පුරා පවතිනු ඇත

මෙම ලිපිය ජූනි 04 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කොවිඩ්-19 වසංගතය පැතිරීම වලක්වන අගුලු දැමීම් සහ වෙනත් සීමාවන් ඉවත් කිරීමෙන් පසු ඇමරිකානු ආර්ථිකය “පුපුරන සුලු” ලෙස නැඟෙනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශ අනුමත නොකරන ආයතනයකි, එක්සත් ජනපද කොන්ග්‍රස් අයවැය කාර්යාලය (සීබීඕ).

මෙම සතිය මුලදී නිකුත් කරන ලද වාර්තාවක එය ජනවාරියේකල පෙරදැකීමට සාපේක්ෂව, ඉදිරි දශකය තුල වර්ධනය ඩොලර් ට්‍රිලියන 7.9 කින් අඩු කර ඇති අතර එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 කට සමාන වේ. 2029 අවසාන කාර්තුව වන තෙක් දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, එහි පෙර පුරෝකථන මට්ටම කරා නොපැමිනෙනු ඇති බව සීබීඕ අනාවැකි පල කරයි.

ගෝලීය ආර්ථිකයට තවදුරටත් බාධා සිදු නොවනු ඇතැයි යන උපකල්පනය මත වුව ද, වසංගතයේ බලපෑම දිගු කල් පවතිනු ඇතැයි ලොව පුරා සංවිධානවල අනාවැකි මධ්‍යයේ මෙම වාර්තාව නිකුත් කර තිබේ.

සීබීඕ වාර්තාව පිලිබඳව අදහස් දක්වමින් ඇමරිකානු මෙරිල් ලින්ච් බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙසේ පැවසීය: “අගුලු දැමීම් ඉවත් කිරීමෙන් ආර්ථික කටයුතුවලට ආරම්භක තල්ලුව ලැබීයහැකි වුවත්, කොවිඩ්-19 පසුව  අපට පෙනෙනු ඇත්තේ, ඊට පෙර අප සිටි ස්ථානයට වඩා පහල මට්ටමක ආර්ථිකයකි. එය සුව වීමට බොහෝ කාලයක් ගතවනු ඇත. ආර්ථිකයට මෙතරම් වේදනාකාරී කම්පනයක් ඇතිවීමේ ප්‍රතිපලයක් ලෙස කැලැල් ඇති වේ. ”

මීට පෙර වසරට සාපේක්ෂව මේ වසරේ සිව්වන කාර්තුවේදී එක්සත් ජනපද ආර්ථිකය සියයට 5.6 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව සීබීඕ පැවසීය. 2019 අවසානයේදී එය සියයට 2.2 ක වර්ධනයක් පුරෝකථනය කර තිබුනි.

 මිලදී ගැනීමේ කලමනාකරුවන්ගේ දර්ශක හරහා ගෝලීය ප්‍රවනතා නිරීක්ෂනය කරන දත්ත සමාගමක් වන අයිඑච්එස් මාකිට් විසින් කරන ලද සමීක්ෂන මගින්, අප්‍රේල් මාසයේ කඩා වැටීමෙන් යම් ප්‍රකෘතියක් පෙන්නුම් කර ඇතැයි කියන නමුත් දීර්ඝ කාලීනව ප‍්‍රශ්නය ඉතිරිවනු ඇතැයි සඳහන් කරයි.

අයිඑච්එස් මාකිට් හි ප්‍රධාන ව්‍යාපාරික ආර්ථික විද්‍යාඥ ක්‍රිස් විලියම්සන්, “වර්ධනයට කිසියම් බැරෑරුම් වේගයක් අත්කර ගත හැකිද යන්න අතිශයින්ම අවිනිශ්චිතව පවතී. කෙසේ වෙතත් ඉල්ලුම, සමාජ-දුරස්ථ ක්‍රියාමාර්ග, ඉහල විරැකියාව සහ ව්‍යාපාරික ලාභ පහත වැටීම නිසා යටපත් වනු ඇත.“

ප්‍රධාන ආර්ථිකයන්හි ඉල්ලුම පහත වැටීම ලොව පුරා  නිෂ්පාදනයට පහර දෙයි. උදාහරනයක් ලෙස මැයි මාසයේදී අපනයනය සියයට 23.7 කින් අඩුවී ඇති බව  දකුනු කොරියාව වාර්තා කර ඇත.

පසුගිය මාසයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල්ඕ) වාර්තාවක් රැකියා අහිමිවීමේ ප්‍රමානය සහ ලොව පුරා තරුන තරුනියන්ට ඉන් ඇති කෙරෙන දැඩි බලපෑම ගැන කරුනු දක්වා ඇත. වසංගතයට පෙර සේවයේ යෙදී සිටි වයස අවුරුදු 18 ත් 29 ත් අතර පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකු පැවසුවේ ඔවුන්ට වැඩ නැති බවයි. ඒ ගැන අදහස් දක්වමින් ෆිනෑන්ෂල් ටයිම්ස් ඇස්තමේන්තු කර ඇත්තේ, මෙය මිලියන 200 ක ජනතාවක් ලෙසය.

පූර්න කාලීන රැකියා මිලියන 305 ක් අහිමිවීමට සමාන වන පරිදි, මේ වසරේ දෙවන කාර්තුවේදී සියලුම වයස්වල පුද්ගලයින් වැඩ කරන මුළු පැය ගනන සියයට 10.7 කින් පහත වැටෙනු ඇතැයි අයිඑල්ඕ පවසයි.

වසංගතයේ ආර්ථික බලපෑම් යෞවනයන්ට “ත්‍රිත්ව කම්පනයක්” ගෙන දෙන බව එහි නිගමනය විය. “එය ඔවුන්ගේ රැකියා විනාශ කිරීම පමනක් නොව, අධ්‍යාපනය හා පුහුනුවද කඩාකප්පල් කරනු ඇති අතර, ශ්‍රම වෙලඳපොලට ඇතුළු වීමට හෝ රැකියා සෙවීමට උත්සාහ කරන අයට විශාල බාධක ඇති කරයි” යනුවෙන් එය ලියා තිබේ.

එහි දරුනුම අනතුරු ඇඟවීම,  වසංගතය යෞවනයන්ගේ “අගුලු දැමීමේ පරම්පරාවක්” නිර්මානය කිරීමේ අවදානමක් ඇති කිරීම බවය.

“ඔවුන්ගේ තත්වය වැඩිදියුනු කිරීම සඳහා අප සැලකිය යුතු හා ක්ෂනික ක්‍රියාමාර්ග නොගන්නේ නම්, වෛරසයේ උරුමය දශක ගනනාවක් තිස්සේ අප සමඟ පැවතිය හැකිය” යනුවෙන් අයිඑල්ඕ හි අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් පැවසීය. එහෙත් එවැනි කිසිදු ක්‍රියාවක් පිලිබඳ සලකුනක්වත් නැත.

රයිඩර් අනතුරු ඇඟවූයේ, එක්කෝ අවස්ථාව හෝ කුසලතා නොමැතිවීමේ කාරනය නිසා, තරුනයින්ගේ කුසලතා හා ශක්තිය පසෙකට දමා තිබේ නම්,  “එය අපගේ මුලුමහත් අනාගතයටම හානි කරන අතර වඩා හොඳ, පශ්චාත් කොවිඩ් ආර්ථිකයක් නැවත ගොඩනැඟීම වඩාත් අපහසු වනු ඇත.”

වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට දැන් පත්ව තිබෙන ඇමරිකාවන්, රැකියා අහිමිවීම සම්බන්ධයෙන් මරු පහර එල්ල කරනු ඇතැයි අයිඑල්ඕ පවසා තිබේ.

ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ මහජන ප්‍රතිපත්ති පාසලේ පීඨාධිපති ඇන්ඩ්‍රෙස් වේලාස්කෝ මේ සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ ලියමින් අනතුරු ඇඟවූයේ, ලතින් ඇමරිකාව යලිත් වරක් මහා අවපාතය වැනි තත්වයක් කරා ඇදෙමින් සිටින බවයි. එය පාරිභෝගික භාන්ඬ මිල කඩාවැටීම, ලෝක වෙලඳාමේ මන්දගාමිත්වය සහ  ප්‍රාග්ධන අරමුදල් විශාල වශයෙන් පිටතට ගලා යාමට මුහුනපා සිටී.

අද වන විට එම කම්පන කලාපයටම බලපා ඇති අතර, අමතර වශයෙන්, පිටරට රැකියාවල නියුක්ත වන අයගෙන් ලැබෙන ප්‍රේෂන පහත වැටීම සහ අගුලු දැමීම හේතුවෙන් පලදායිතාව කැටිවීම හමුවේ, තත්වය උග්‍ර අතට හැරෙමින් ඇත.

2020 සිට 2022 දක්වා කාලය තුල, අඩුවෙන්ම නරක කොන්දේසි යටතේ ලතින් ඇමරිකානු ආර්ථිකය සියයට 6.3 කින් හැකිලෙනු ඇතැයි වේලාස්කෝ සඳහන් කල නමුත් වඩාත් නරක කොන්දේසි යටතේ “සමුච්චිත හැකිලීම සියයට 14.4 දක්වා වනු ඇත . එය මහා අවපාතය මධ්‍යයේ කලාපය අත්විඳි තත්වයට වඩා වෙනස් නොවේ.”

එක්සත් ජනපද සහ ගෝලීය ආර්ථිකය පිලිබඳ තත්වය සලකන කල, V- හැඩය ගත් ප්‍රකෘතියක් හෝ දුරස්ථවවත් ඊට සමාන තත්වයක් නොමැති බව පෙන්නුම් කරමින් එම වාර්තා, මූල්‍ය වෙලඳපොලවල් සහ යටින් පවතින සැබෑ ආර්ථිකය අතර පුළුල් වන ආගාධය අවධාරනය කරයි.

ඊයේ වෝල් වීදියේ ඩව් ජෝන්ස් දර්ශකය තවත් ඒකක 500 කින් ඉහල නැඟුනි. ප්‍රධාන දර්ශක තුන වන ඩව්, එස් ඇන්ඩ් පී 500 සහ නැස්ඩැක් යන සියල්ලම, මූල්‍ය වත්කම් ගනුදෙනුවන සියලු වෙලඳපොලවල් කැටි ගැසුනු මාර්තු මැද භාගයේ ඇති වූ කඩාවැටීමෙන් පසුව සියයට 40 ක වර්ධනයක් වාර්තා කර තිබේ.

මෙය සිදුවුනේ මහ බැංකුවේ දැවැන්ත මැදිහත්වීමට පින්සිදු වන්නටය. දින කිහිපයකින් එය සෑම මූල්‍ය වෙලඳපොලකම පසුබිම ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගත් අතර, මෙය ඉතිහාසයේ කිසි දිනෙක දැක නැති ආකාරයේ මැදිහත් වීමකි.

ඉන්පසුව වෙලඳපොලවල ඇතිව තිබෙන නැගීම,  එක්සත් ජනපද ආර්ථිකයේ නිරෝගී කම නොව පිලිබිඹු කරන්නේ එහි රෝගී ස්වභාවයයි. ව්‍යාපාරික ඇපදීම් ස්වරූපයෙන් ආන්ඩුවෙන් ලැබෙන මුදල් ප්‍රවාහය සහ ෆෙඩරල් මහ බැංකුව විසින් ඩොලර් ට්‍රිලියන ගනනක් පොම්ප කිරීම මෙම උත්පාතයට හේතු විය.

ව්‍යාජ ප්‍රාග්ධනයේ කන්දට සහජ වටිනාකමක් නැත. අවසාන විශ්ලේෂනයේ දී එය, කම්කරු පන්තියෙන් ලබා ගත යුතු අනාගත අතිරික්ත වටිනාකමට හිමිකම් පෑමකි. ඩොලර් ට්‍රිලියන ගනනකින් සමාජ සේවා සඳහා වන වියදම් කප්පාදු කිරීම මගින් ආන්ඩුව මෙම නය ගෙවිය යුතු අතර සූරාකෑමේ මෙම ක්‍රියාවලිය තීව්‍ර කල යුතුය.

මෙයින් අදහස් කරන්නේ, 2008 අර්බුදයෙන් පසුව ගත් පියවරයන්ට වඩා කුරිරු පියවර මගින් පන්ති හා සමාජ සම්බන්ධතාවන්හි විශාල ප්‍රතිව්‍යුහගත කිරීමකි. මහජන විරෝධය හමුවේ එවැනි ක්‍රියාමාර්ග ගත හැක්කේ ඒකාධිපති පාලන ක්‍රම වර්ධනය කිරීමෙන් පමනි. මූල්‍ය කතිපයාධිකාරයේ නියෝජිත ට්‍රම්ප් විසින් මේ සතියේ ආරම්භ කරන ලද ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග පිටුපස ඇති ගාමක බලවේගය එයයි.

Loading