සංක්‍රමනික කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය නො තකා හල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය, දැන් දිගහැරෙන සමාජීය ඛේදවාචකය පිලිගනී

මෙම ලිපිය මැයි 30වනදා ඉංග්‍රීසි බසින් පලවිය

අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ බීජේපී ආන්ඩුව විසින් පනවන ලද ඛේදජනක හා සැලසුමකින් තොර කොවිඩ්-19 අගුලු දැමීම හේතුවෙන් සංක්‍රමනික කම්කරුවන් මුහුන පාන බියකරු ඉරනම මාස දෙකක් තිස්සේ නො තකා හැරීමෙන් පසු, සංක්‍රමනිකයන් ව ඔවුන්ගේ මුල් ප්‍රාන්තයන් වෙත ප්‍රවාහනය කිරීම නියාමනය කරන්නා වූ නියෝගයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් බ්‍රහස්පතින්දා (මැයි 29) නිකුත් කලේ ය.

“රටෙහි විවිධ ප්‍රදේශවල අතරමං ව සිටින සංක්‍රමනික කම්කරුවන්ගේ ගැටලු හා දුර්දශාවන්” රටෙහි ඉහල ම අධිකරනය විසින් සැලකිල්ලට ගැනීමෙන් දින දෙකකට පසුව නියෝගය පැමිනියේ ය. අන් සියල්ලටත් වඩා නියෝගය ප්‍රේරනය ලැබුවේ, කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට දිගින් දිගට ම අසමත් වීම, සමස්ත ධනපති ප්‍රභූවට හා එහි රාජ්‍යයට එරෙහි විරුද්ධත්වයක් ලෙස පුපුරා යන කෝපයක්, මිලියන ගනනක් වන පීඩිත කම්කරුවන් හා වැඩකරන ජනයා අතර ජනනය කරතැයි ඉන්දීය නීති බලධාරීන් අතර පවතින භීතිය විසිනි.

යන්තම් පැය හතරක අනතුරු ඇඟවීමක් සමගින් මාර්තු මාසය අගභාගයේ සති තුනක ජාතික පරිමාන අගුලු දැමීමක් මෝදි විසින් පැනවී ය. මිලියන සිය ගනනක් වන සංක්‍රමනික කම්කරුවන්ට හා එක් රැයකින් ජීවිකාවන් අහිමි කරන ලද අනෙකුත් දුගී දෛනික කම්කරුවන්ට කිසිදු මූල්‍ය හෝ සමාජ ආධාරයක් සම්පාදනය කිරීම, මෙම දැවැන්ත පියවර සමගින් සිදු නො වී ය.

ආන්ඩුව ඊනියා සහන පියවරයන් නිවේදනය කලේ අගුලු දැමීමෙන් පසු දෙවන දිනයේ පමනි. බිලියන 1.37ක් වන ඉන්දියාවේ වාසය කරන්නන්ට ඩොලර් බිලියන 22.5ක සොච්චමක් ප්‍රදානය කරන ලද්දේ, එක් පුද්ගලයෙකුට යන්තම් රුපියල් 1,200ක් හෙවත් ඩොලර් 16ක සමස්ත ආධාරයක් වෙන් කරමිනි. බොහෝ කම්කරුවන්ට “සහනාධාරය” වෙත ප්‍රවේශ විය නො හැකි වූයේ හෝ ඔවුන් ඒ සඳහා සුදුසුකම් නො ලැබුවේ, ආධාරය බෙදාහරින ලද වැඩසටහන් ඔවුන්ගේ මුල් ප්‍රාන්තයට හෝ උපන් ස්ථානයට අදාල වූ නිසාවෙනි.

තමන්ගේ ජීවනෝපාය තමන් විසින් ම සොයාගන්නා තැනට තල්ලු කරනු ලැබූ සංක්‍රමනික කම්කරුවන්, ඔවුන්ගේ ඥාතීන් සමග ආහාර හා සෙවන ලබමින් ගතකිරීමට අපේක්ෂා කරමින්, ඔවුන්ගේ මුල් ගම්මාන වෙත ආපසු යාමට මංමුලා සහගත ලෙස උත්සාහ දරන බියකරු ඡායාරූප, දවස් ගනනක් ඇතුලත පලවීමට පටන්ගත්තේ ය. දුම්රිය හා බස් සේවා අත්හිටුවා තිබීම නිසා, සංක්‍රමනික කම්කරුවන් මිලියන ගනනක්, සැතපුම් දහස් ගනනක් ගෙවා ඔවුන්ගේ මුල් ගම්මාන කරා ආපසු පාගමනින් යාමට පටන් ගත් හ. බලධාරීන් මැදිහත් වූයේ කම්කරුවන්ට සහයෝගය දීමට නො ව, කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමේ කඩතුරාව යටතේ ඔවුන් ව හිරගෙවල් වැනි කඳවුරුවලට ගාල් කිරීමට යි. යථාර්ථයේ දී සිදු වූයේ, තද බද, තාවකාලික වාසස්ථාන, ප්‍රමානවත් නො වූ ආහාර හා රෝගී සනීපාරක්ෂක කොන්දේසි, වෛරසයට පැතිරීම සඳහා හිතකර වටාපිටාවක් නිර්මානය කිරීම යි.

අසරන සංක්‍රමනිකයෝ, කොටු කරනු ලදුව, ආහාර සඳහා පුන්‍යායතන හා රාජ්‍ය නො වන සංවිධාන මත විශාල වසයෙන් රඳා සිටියෝ ය.

මහා පරිමාන පරීක්ෂන පැවැත්වීම හා නිරන්තරව අරමුදල් හිඟ ඉන්දියාවේ සෞඛ්‍යාරක්ෂන පද්ධතියට අතිරේක සම්පත් සම්පාදනය කිරීම මෝදි ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙහි අර්ථය වූයේ, ආසාදන “දාමය බිඳීමට” අගුලු දැමීම අසමත් වීම යි. එබැවින් අගුලු දැමීම යලි යලිත් දිගුකිරීම නිවේදනය කිරීමට මෝදිට බලකෙරුන අතර, දැන් එය මැයි 31දා අවසන් කරන බවට තීරනය කරනු ලබයි. එසේ කිරීම මගින්, ආන්ඩුවේ සාගතයකට සමාන සහනාධාර මත නො නැසී සිටීමට අරගලයේ යෙදෙන මහජනයාට ඔහු වැඩිපුර කිසිවක් ප්‍රදානය නො කලේ ය.

කඳවුරුවල පවතින දරාගත නො හැකි ම්ලේච්ඡ කොන්දේසි මධ්‍යයේ, ආපසු නිවස කරා යාමට තමන්ට ඇති අයිතිය ඉල්ලමින් විරෝධතා පැවැත්වීම සංක්‍රමනික කම්කරුවන් විසින් පටන් ගත්තේ ය. අගුලු දැමීම ලිහිල් කරද්දී, විවිධ ප්‍රාන්ත ආන්ඩු කම්කරුවන් ප්‍රවාහනය කිරීමට දුම්රියවලට හා බස්රථවලට අවසර දුන් හ. එහෙත්, දුගී මහජනයා කෙරෙහි ඉන්දීය ධනේශ්වරයේ අවඥාව සම්පින්ඩනය කරන උදාසීන පියවරක් ගනිමින්, ප්‍රාන්ත ආන්ඩු කටයුතු කලේ බඩගින්නෙන් පෙලෙන කම්කරුවන්ගේ ගමන් බිමන් වියදම ගෙවීමට සැලැස්වීමට යි. ආපසු නිවෙස් කරා යාමට ප්‍රථම කම්කරුවන්ට වෛරසය ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කිරීමට ප්‍රයත්නයක් ද බලධාරීන් නො ගත්තේ, රට පුරා ග්‍රාමීය ප්‍රදේශවලට බොහෝ දෙනා වෛරසය රැගෙන ගිය බව පැහැදිලි කරමිනි.

ආන්ඩුව විසින් ඉල්ලා සිටින ගාස්තු ගෙවීමට මුදල් නැති ව සිටි බොහෝ කම්කරුවෝ, මහා මාර්ග හා දුම්රිය මාර්ග ඔස්සේ යලිත් පයින් ඇවිදිමින් නිවෙස් වෙත යාම ආරම්භ කලේ, ඛේදනීය හදිසි අනතුරු මාලාවක් නිර්මානය කරමිනි. විශේෂයෙන් ම, එක් රුදුරු සිදුවීමක දී, නිවෙස් බලා ඇවිද යමින් සිටි සංක්‍රමනික කම්කරුවන් 16 දෙනෙකු මතින් දුම්රියක් ධාවනය විය.

පලල් ව පැතිරුනු එවන් මානව වධ වේදනාවන්ගේ තතු යටතේ, “ප්‍රාන්ත ආන්ඩුවලින් දුම්රියන් ඉල්ලා සිටිද්දී, දුම්රිය දෙපාර්තමේන්තුව ඒවා සම්පාදනය කල යුතු ය. සංක්‍රමනික කම්කරුවන්ගෙන් දුම්රිය හෝ බස් ගාස්තු අය නො කල යුතු ය. ප්‍රාන්තයන් විසින් ගාස්තු බෙදා ගත යුතු ය” යි ශ්‍රේෂ්ඨාධිකරන නියෝගය තුල සඳහන් කිරීමට එයට බලකෙරෙන බව හැඟී ගියේ ය. “නියමිත ප්‍රාන්තය විසින් අතරමං වූ සංක්‍රමනික කම්කරුවන්ට ආහාර සම්පාදනය කරනු ලැබිය යුතු” බවත්, දුම්රිය ගමනේ දී ඔවුන්ට ආහාර හා ජලය ලබාදිය යුතු බවත්, එය කියා සිටියේ ය. සංක්‍රමනික කම්කරුවන් ලියාපදිංචි කිරීම අධීක්ෂනය කොට, වේලාසන දිනයක දී ඔවුන් බස් රථයකට හෝ දුම්රියකට ගොඩවුනු බව තහවුරු කිරීම ප්‍රාන්තයන් විසින් කල යුතු බව, නියෝගය වැඩි දුරටත් සඳහන් කලේ ය. සංක්‍රමනික කම්කරුවන් මාර්ගවල ඇවිද යන බව සොයාගත හොත්, ඔවුන්ට සෙවන ලබාදීම සහ ආහාර හා සියලු පහසුකම් සම්පාදනය කිරීම කල යුතු බවට අවසානයේ එය නියෝග කලේ ය. ශ්‍රේෂ්ඨාධිකරනය මේ පිලිබඳ ව ජුනි 5දා වැඩිදුර විභාගයක් පවත්වනු ඇත.

අශෝක් භුෂාන්, සන්ජේ ක්‍රිෂාන් කාවුල් හා එම්. ආර්. ෂාගෙන් සැදුම් ලත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ල, “මධ්‍යම ආන්ඩුව කිසිවක් නො කරන බව සඳහන් නො කල” බවත්, “සමහර වැඩිදුර පියවරයන් ගත යුතු” යි ප්‍රකාශ කරන බවත්, ඉන්දීය නෛතික වෙබ් අඩවියක් වන ලයිව්ලෝ.ඉන් (LiveLaw.in) ලීවේ ය. මිලියන 5ක් දුම්රිය මගින් හා මිලියන 4.7ක් මහා මාර්ග මගින් වසයෙන්, මේ දක්වා ආසන්න ලෙස සංක්‍රමනිකයන් මිලියන 10කට නිවාස බලා යාමට ප්‍රවාහන පහසුකම් ලැබී ඇතැයි, ආන්ඩුව වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් තුසාර් මේතා කියා සිටියේ ය. ගැටලුවේ පරිමානය පවා ආන්ඩුව නො දන්නේ ය යන කරුන අවධාරනය කරමින්, තවමත් තාවකාලික කඳවුරුවල ලැගුම් ගෙන සිටින සංඛ්‍යාවන් පිලිබඳ “නිශ්චිත තොරතුරු” ඇත්තේ ප්‍රාන්තයන් සතුව බව සොලිසිටර් ජනරාල් පිලිගත්තේ ය. ඒවා “හුදකලා සිද්ධි” යි කියා සිටිමින්, සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන රුදුරු කොන්දේසි ලඝු කිරීමට මේතා උද්ධච්ඡ ලෙස උත්සාහ දැරී ය.

සංක්‍රමනික කම්කරුවන් මත ඇද හෙලී ඇති ඛේදවාචකය අකමැත්තෙන් පිලිගැනීමට සති දෙකකටත් අඩුකලකට පෙර, සංක්‍රමනිකයන් සඳහා සහනාධාර ඉල්ලා සිටිමින් ඉදිරිපත් කල මහජන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප්‍රතික්ෂේප කලේ ය. “මහජනයා ඇවිදිමින් සිටිනවා මිස නවතින්නේ නැහැ. අපට එය නැවැත්විය හැක්කේ කෙසේ දැ” යි නඩුව විභාග කල විනිසුරු මඩුල‍්ලේ සාමාජික නාගේස්වර රාඕ නරුම ලෙස විමසුවේ, දුම්රිය අනතුර හේතුවෙන් ඝාතනය වූ කම්කරුවන් 16 දෙනා පිලිබඳ පෙත්සම්කරුවා කල සඳහනට ප්‍රතිචාර දක්වමිනි. “ඔබේ දැනුම සම්පූර්නයෙන් පදනම් වන්නේ පුවත්පත් වාර්තා හා 32 වන වගන්තිය මත යි. ඔබට ඒ ගැන මෙම උසාවියෙන් තීන්දුවක් අවශ්‍ය යි. ප්‍රාන්තවලට තීන්දු ගැනීමට ඉඩ දෙන්නැ” යි කලින් සඳහන් කල විනිසුරු කාවුල් පෙත්සම්කරුවාට කීවේ, රාඕගේ මතය අනුමත කරමිනි. තමන්ගේ අයිතීන් “අසාධාරන ලෙස අහිමි කොට” ඇතැයි ඉන්දීය පුරවැසියන්ට හැඟෙන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරනයෙන් සාධාරනය ඉෂ්ට කරගැනීමේ අයිතිය ව්‍යවස්ථාවේ 32 වන වගන්තිය විසින් ඔවුන්ට ලබා දෙයි.

සංක්‍රමනික කම්කරුවන්ට බීජේපී ආන්ඩුව හා ඉන්දීය පාලක ප්‍රභූව සලකන උදාසීන ආකාරය, ඉන්දියානු ධනවාදයේ අත්‍යන්ත බංකොලොත් භාවය අවධාරනය කරයි. වේගවත් ධනේශ්වර ප්‍රසාරනයේ හා ඉන්දියාවේ උපකල්පිත “වර්ධනයේ” දශක තුනකට පසුව, මිලියන ගනනක් වන ඉන්දීය පීඩිතයන්ට දූෂිත හා ම්ලේච්ඡ පාලක ප්‍රභූවක් විසින් ඉතිරි කොට තබා ඇත්තේ, කුසගින්න, දුගී බව හා අනවරත සමාජ කාලකන්නි භාවය යි. ඉන්දීය නෛතික බලධාරීන් දැන් මැදිහත් වීමට හේතුව වන්නේ, දුගී කම්කරුවන්ගේ ඉරනම සම්බන්ධයෙන් ඔවුන්ට තැකීමක් පවතින නිසා නො ව, මහා පරිමානයෙන් අත්දකිනු ලබන විඳවීම් හා මරන විසින්, රාජ්‍යයේ ආයතන හරහා පාලනය කිරීමට අසමත් වන සමාජීය පිපිරීමක් ප්‍රේරනය කල හැකි ය යන්න පිලිබඳ ව ඔවුන්ට පවතින භීතිය යි.

වසංගතය සමයේ ශ්‍රේෂ්ඨාධිකරනය නිකුත් කල සමහර නියෝග තුල මෙය දැකගනු ලැබිය හැකි ය. අගුලු දැමීම නිවේදනය කිරීමෙන් ආසන්න වසයෙන් සතියකට පමන පසු, සංක්‍රමනික කම්කරුවන්ගේ මහා පරිමාන සංචරනයට හේතු වූයේ “අගුලු දැමීම මාස තුනකටත් වඩා පවතිනු ඇතැයි යන ව්‍යාජ පුවත් විසින් නිර්මානය කල භීතිය” බව මාර්තු 31දා ශ්‍රේෂ්ඨාධිකරනය අවිවේචනීය ලෙස පිලිගත්තේ ය. ඉන්දියාවේ ව්‍යවස්ථාව තුල තහවුරු කර ඇති නිදහස් ප්‍රකාශනය හා මාධ්‍ය නිදහස බරපතල ලෙස උල්ලංඝනය කරමින්, “වර්ධනයන්ගේ නිල වාර්තාව” එවිසින් හඳුන්වනු ලැබූ දෙය පලකිරීමට අසමත් වුව හොත් “ව්‍යාජ පුවත්” පැතිරවීම පිලිබඳ ව චෝදනා ඉදිරිපත් කරන බවට මාධ්‍ය ආයතන වෙත තර්ජනය කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරනය ආන්ඩුව සමග ඒකාබද්ධ විය.

සංක්‍රමනික කම්කරුවන් පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරනයේ නවතම තීන්දුව, “මහජනයාගේ ආයතනයක්” ලෙස එහි බරපතල ලෙස වැහැරුනු ප්‍රතිරූපය පුනස්ථාපනය කරගැනීමේ උත්සාහයක් ලෙස ද දැක ගනු ලැබිය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයන්හි දීත්, සමාජ විරෝධය අපසරනය කොට කම්කරු පන්තිය බෙදීමේ ක්‍රමයක් ලෙස ආන්තික ප්‍රජාගනවාදයට පාලක ප්‍රභූව වඩ වඩා නිශ්චිත වසයෙන් හැරීමේදීත්, දශක ගනනාවක් පුරා ඉන්දියාවේ ඉහල ම අධිකරනය සහයෝගය ලබා දී ඇත.

මෝදි ආන්ඩුවේ වසර හය තුල, බීජේපීයේ ආඥාදායක හා හින්දු අධිපතිවාදී පිලිවෙත්වලට නෛතික අනුමැතිය ලබාදෙමින් එය තවදුර දකුනට ගොස් ඇත. උදාහරනයක් ලෙස, උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යා නගරයේ බාබ්රි මස්ජීද් මුස්ලිම් දේවස්ථානය පැවති අඩවියේ රාම් නමැති මිථ්‍යාමය හින්දු දෙවියාට කැපකල පන්සලක් ඉදිකිරීම පිනිස බීජේපීය හා එහි හින්දු දක්ෂිනාංශික සහචරයන් විසින් දශක ගනනක් තිස්සේ ගෙන ගිය ප්‍රචන්ඩ උද්ඝෝෂනයක් අනුමත කරමින් එය පසුගිය නොවැම්බරයේ දී තීන්දුවක් නිකුත් කලේ ය. බීජේපීයේ ඉහල නායකයන්ගේ පෙලඹවීම මත ක්‍රියාත්මක වූ හින්දු උන්මත්තකයන් විසින් 16 වන සියවසේ ඉදිකරන ලද දේවස්ථානය 1992 දී බිමට සමතලා කරනු ලැබී ය.

ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරයට ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබූ අර්ධ-ස්වාධීන තත්ත්වය, විධායක නියෝගයක් මගින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස බීජේපී ආන්ඩුව විසින් අහෝසි කිරීමට හා අර්බුදයට බඳුන් ව ඇති එම කලාපය තථ්‍ය දඬුගැසීමක් යටතේ මාස හයක් පුරා තැබීමට ද ඉන්දියාවේ ඉහල ම අධිකරනය කොල එලිය දල්වා ඇත.

Loading