ඉදිරිදර්ශන

වොෂින්ටනයේ කුමන්ත්‍රනය: ට්‍රම්ප් ව්‍යවස්ථාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි

මෙම ලිපිය ජූනි  02 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ඇමරිකානු ඉතිහාසයේ පෙර නුවූ විරූ පරිදි ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්, මිලිටරිය, පොලීසිය හා ඔහුගේ අනසක යටතේ ක්‍රියා කරන අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට්වාදී මිලීෂියාවන්ගේ සහයෝගය සහිත, ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපනය කිරීමට උත්සාහ කරමින් සිටී. මෙම සාපරාධී ක්‍රියාවට විරුද්ධ වන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය, කම්කරු පන්තියට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂාව සඳහා කැපවන සියලු දෙනාට ආයාචනා කරයි.

රූපවාහිනියෙන් ජාතිය අමතමින් ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කලේ ය: “මම ඔබගේ නීතියේ හා පර්යායේ ජනාධිපති... වෘත්තීය අරාජකවාදීන්, ගිනි තබන්නන්, මංකොල්ල කන්නන්, අපරාධකරුවන්, ඇන්ටිෆා සාමාජිකයන් හා අනෙකුත් අය විසින් අපගේ ජාතිය ග්‍රහනයට ගෙන තිබෙනවා.”

ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී දෙඩවිල්ල, පොලීසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීමට විරෝධය පලකරනු පිනිස, ධවල මන්දිරය ඉදිරිපිට නීත්‍යානුකූල හා සාමකාමී ලෙස උද්ඝෝෂනයේ යෙදී සිටි පුරවැසියන්ට ප්‍රචන්ඩ ලෙස පහරදීම සඳහා, ඔහු හිසේ සිට දෙපතුලටම සන්නද්ධ මිලිටරි, පොලීසියට නියෝග කිරීමෙන් යන්තම් මිනිත්තු ගනනකට පසුව අසන්ට ලැබුනි. 

පලමු සංශෝධනයෙන් හිමිව තිබෙන අයිතිය පරිදි, වොෂින්ටන් ඩීසීහි උද්ඝෝෂනයේ නිරතව සිටි නිරායුධ පුරවැසියන්ට මිලිටරි හමුදාවන් විසින් එල්ල කල බියගුලු හා දුෂ්ට ප්‍රහාරය, සාපරාධී පරිපාලනයක් විසින් කුමන්ත්‍රනයක් ඇරඹීමේ අපකීර්තිමත් පලමු පියවර ගැනීමක් ලෙස මතකයේ පවතිනු ඇත.

“මේවා සාමකාමී විරෝධතා ක්‍රියාවන් නො වේ, ඒවා දේශීය ත්‍රස්තයේ ක්‍රියාවන්” යයි ට්‍රම්ප් කීවේ ය.

එක්සත් ජනපද ඉතිහාසයේ වාර්ගික පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි කම්කරු පන්තියේ හා තරුනයින්ගේ වඩාත් ම අර්ථභාරී බහු-වාර්ගික, බහු-ජනවාර්ගික ඒකාබද්ධතාව ප්‍රදර්ශනය කිරීමෙන් ට්‍රම්ප් කෝපයට පත්ව ඇත.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, විරෝධතා මැඩීම සඳහා මිලිටරිය යොදවන බව ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය. “ප්‍රාන්ත හා ප්‍රාදේශීය ආන්ඩු ගනනාවක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් ව ඇති” බවත්, “අපට වීදිවල ආධිපත්‍යය ලබාගත හැකි වන ලෙස ප්‍රමානවත් පමනින් ජාතික ආරක්ෂක බලකාය යොදවන” ලෙස තමන් “බලගතු ලෙස නිර්දේශ” කර ඇති බවත්, එදින පූර්ව භාගයේ ආන්ඩුකාරවැන් සමග පැවති සම්මේලනයක් ගැන සඳහන් කරමින් ට්‍රම්ප් පැවසී ය.

ඉන්පසු ඔහු මෙම සාපරාධී තර්ජනය කලේ ය: “ඔවුන්ගේ වැසියන්ගේ ජීවිත හා දේපොල ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පරිදි කටයුතු කිරීම නගරයක් හෝ ප්‍රාන්තයක් ප්‍රතික්ෂේප කරන්නේ නම්, මම එක්සත් ජනපදයේ මිලිටරිය යොදවා ගැටලුව ඔවුන්ට ක්ෂනික ව විසඳා දෙනවා.”

ජාතික පරිමාන ව මිලිටරිය යෙදවීමේ මූලික ස්ථානයක් ලෙස තමන් ජාතියේ අගනුවර යොදා ගන්නා බව ද ට්‍රම්ප් නිවේදනය කලේ ය: “අපේ ශ්‍රේෂ්ඨ අගනුවර වන වොෂින්ටන් ඩීසීය ආරක්ෂා කරගැනීම සඳහා ක්ෂනික හා තීරනාත්මක පියවරයන් මම ගන්නවා. අප මෙහි කතා කරද්දී, කැරලි නැවැත්වීමට හොඳින් සන්නද්ධ සොල්දාදුවන්, මිලිටරි භටයන් හා නීතිය බලාත්මක කරන්නන් මම යවනවා.”

“විරෝධතාකරුවන් අත් අඩංගුවට ගෙන, රඳවා තබා නීතියේ පුලුල් ම පරිමානයෙන් චෝදනාවන්ට ලක්කරනවා. මෙම ත්‍රස්තය සංවිධානය කරන්නන්, රුදුරු අපරාධ සඳහා දඬුවම් සහ දීර්ඝ බන්ධනාගාර දඬුවම්වලට මුහුන දෙනු ඇති බව දැනුම් දීමට මට අවශ්‍යයි. මෙම ප්‍රචන්ඩත්වය නිර්මානය කරන ප්‍රධානීන් හා ඇන්ටිෆා සාමාජිකයන් මොවුන්ට ඇතුලත්. නීතියක් හා නියමයක් අවශ්‍ය ඒ සඳහායි. අපට එක් රමනීය නීතියක් තිබෙනවා.”

මේවා පහත් පෙලේ මිලිටරි ආඥාදායකයෙක් විය හැකි පුද්ගලයෙකුගේ තර්ජනයන් ය. ට්‍රම්ප්ගේ පෙර නුවූ විරූ ක්‍රියාවන් සඳහා නෛතික හෝ ව්‍යවස්ථාමය පදනම් ඔහු සම්පාදනය කර නැත. 1807 සන්නද්ධ නැගිටීමේ පනත ඔහු විසින් යොදාගැනීම ඓතිහාසික ව ප්‍රෝඩාකාරී හා නෛතික ව අවලංගු එකකි. ප්‍රාන්ත ආන්ඩුකාරවරු මැදිහත් වීමක් ඉල්ලා නොසිටින විට මිලිටරිය යෙදවීම සඳහා එම පනත ඔහුට අවසර නො දෙයි.

ප්‍රාන්ත ආන්ඩුකාරවරුන් සමග  කලින් පැවැත්වූ හමුවේ දී ඔහු, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවන් ප්‍රචන්ඩ ලෙස මර්දනය කරන්නැයි අන දුන්නේය. “මෙය ව්‍යාපාරයක්, ඔබ එය මර්දනය නො කල හොත්, එය වඩ වඩා නරක අතට හැරෙනු ඇති. ඔබ ආධිපත්‍යය දැරිය යුතු යි, ඔබ ආධිපත්‍යය දරන්නේ නැත්නම්, ඔබ කරන්නේ ඔබගේ කාලය නාස්ති කිරීම යි. ඔවුන් සූදානම් වන්නේ ඔබ ව පරයා යාමට, එවිට ඔබ ව පෙනෙනු ඇත්තේ, මන්ද බුද්ධිකයන් රොත්තක් විදිහට.”

විරෝධතාකරුවන්ට එරෙහි ව ජාතික ආරක්ෂක බලකා සාමාජිකයන් දහස් ගනනින් බලමුලුගැන්වීමට අසමත් වීම නිසා ආන්ඩුකාරවරුන් “දුර්වල” යයි ට්‍රම්ප් හැඳින්වීය. ඔවුන් “විරෝධතාකරුවන් අතුගා දැමිය යුතු” යයි ඔහු පැවසීය.

 රටපුරා මිලිටරිය යෙදවීම අධීක්ෂනය සඳහා, ආන්ඩුවේ ප්‍රතිචාරය භාරව කටයුතු කරන ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාක් මිලී පත්කරන බව ට්‍රම්ප් නිවේදනය කලේ ය. දේශීය ව මිලිටරිය යොදාගැනීම වලක්වන පොස කොමිටේටස් (සාමය රැකීම පිනිස ජනාධිපති විසින් පත්කරනු ලබන මන්ඩලයක්)  උල්ලංඝනය කරන මෙම තීරනය ඔහු ගත්තේ කවර නෛකිත පදනමක් මතදැයි ට්‍රම්ප් විස්තර කලේ නැත.

ආන්ඩුකාරවරුන් සමග පැවති හමුවේ දී, විරෝධතාකරුවන්ට ෆෙඩරල් උසාවියේ චෝදනා ගොනු කිරීම, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ යුද්ධවල දී අල්ලාගත් සටන්කරුවන්ට චෝදනා නැගීම භාර ව සිටින දෙපාර්තමේන්තු කිහිපයකින් සැදුම්ලත් මිලිටරි-ඔත්තු සේවා ඒජන්සියක් වන, ඒකාබද්ධ ත්‍රස්තවාදී කාර්ය සාධක බලකාය යටතේ තබා ඇති බව ද නීතිපති විලියම් බාර් විස්තර කලේ ය. “ඔවුන් අවුරුදු 10කට හිරේ දමන්නැ” යි ට්‍රම්ප් අන දුන්නේ ය. 

දේශපාලන විරුද්ධවාදීන් පුලුල් පරිමානයෙන් ඝාතනය කරන්නැයි, ජනාධිපතිගේ කොංග්‍රස් සහචරයෙක් වන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිපබ්ලිකානු මැට් ගයෙට්ස් පැවසී ය: “අපි දැන් ඇන්ටිෆාවරුන් ත්‍රස්තවාදීන් ලෙස දැක ගන්නා නිසා, මැද පෙරදිග දී කරන්නාක් මෙන් අපට ඔවුන් ව දඩයම් කල හැකි ද?” 

ඇමරිකානු ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලඟා වී ඇත. මිලිටරි පාලනයේ පදනම මත පුද්ගලික ආඥාදායකත්වයක් ස්ථාපනය කිරීමේ ට්‍රම්ප් ප්‍රයත්නයන්, ආන්තික සමාජ අසමානතාවේ හා අනවරත යුද්ධයේ බලපෑම යටතේ, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ දිග්ගැස්සුනු අර්බුදයක නිෂ්පාදිතය යි.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන ව්‍යායාමය පරාජය කිරීම , ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ නායකත්වය ගත යුතු කම්කරු පන්තියේ මැදිහත් වීම මත රඳා පවතින්නේය.

ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට බැරෑරුම් විරුද්ධත්වයක් ඩිමොක්‍රටික් පක්ෂයෙන් අපේක්ෂා කල නො හැක. එය ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, බෙලහීන අංඟලක්ෂන සහිතවය. ට්‍රම්ප්ගේ නීති-විරෝධී ක්‍රියාවන්ට ඩිමොක්‍රටිකයන්ගේ ජනප්‍රිය ප්‍රතිචාරය, සමාජ ආතතීන් ඇවිලවීම හේතුවෙන් “ජනාධිපති සුදුසු නො වේ” යි ප්‍රකාශ කිරීම යි.  “සුදුසුකම” හරියට ට්‍රම්ප්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් වූවා මෙනි!

හිටපු ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් “ඡන්දය දෙන” ලෙස ජනතාව උනන්දු කරද්දී, එලඹෙන නොවැම්බර් මැතිවරනයේ දී ට්‍රම්ප් ඉවත් කරන්නැයි ඉලිනොයි ආන්ඩුකාර ජේ. බී. ප්‍රිට්ස්කර් නෝංජල් ලෙස කියා සිටියේ ආන්ඩුකාරවරුන් සමග ට්‍රම්ප් පැවැත්වූ හමුවෙන් අනතුරුව ය. එහෙත් කොයි හැටියෙන් හෝ මැතිවරනයක්  නො පැවැත්වීමට ට්‍රම්ප්ට පුලුවන. මැතිවරනයක් පැවැත් වුව ද එය, මිලිටරිය, පොලීසිය හා දක්ෂිනාංශික පැරාමිලිටරි කන්ඩායම්වල දැවැන්ත බියගැන්වීම් සහිත යුද නීතිය යටතේ පවත්වනු ඇත. හිට්ලර් චාන්සලර් ධුරයට පත්වීමෙන් සති හයකට පසු, 1933 මාර්තුවේ ජර්මනියේ අවසාන නීත්‍යානුකූල මැතිවරනය නාසීන් විසින් අධීක්ෂනය කල කොන්දේසි එවන් විය.

පසුගිය අවුරුදු තුනහමාර පුරා ඩිමොක්‍රටිකයන් කටයුතු කර ඇත්තේ, ට්‍රම්ප් පාලන තන්ත්‍රය කෙරෙහි පලවූ මහජන කෝපය මර්දනය කරමින් එය, ඔවුන්ගේ ම ප්‍රතිගාමී රුසියානු-විරෝධී උද්ඝෝෂනය පිටුපස පෙලගස්වා ගැනීමටය. මිලිටරියේ හා බුද්ධි අංශවල අධිපතිවාදී කොටස්වල ඉල්ලීම් ද එවැනි විය. කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක ඉස්මතු වීම කෙරෙහි ට්‍රම්ප්ට නොඅඩු ලෙස ඩිමොක්‍රටිකයෝ ද බියට පත්වෙති.

ට්‍රම්ප්ගේ ආඥාදායක පියවර, සමස්ත පාලක පන්තිය මුහුන දෙන පලල් අර්බුදයෙන් වෙන් කල නො හැක. පක්ෂ දෙකේ ම සහයෝගය සහිත ව, සංගත හා මූල්‍ය කතිපයාධිකාරය තමන් වෙනුවෙන් ඩොලර් ට්‍රිලියන ගනනක් ගරා ගැනීම සඳහා කොරෝනා වෛරස් වසංගතය උපයෝගී කරගෙන ඇත. දැන් එය, මහා පරිමානයෙන් වෛරස් ආසාදන හා මරන වැඩි කරන, ආපසු වැඩට දැක්කීමේ මිනීමරු පිලිවෙතක් ක්‍රියාවට දමමින් සිටී.

දැනටමත් එක්සත් ජනපදය තුල 100,000කට අධික පිරිසක් වසංගතයෙන් මියගොස් ඇති අතර, මිලියන 30කට අධික කම්කරුවන් රැකියා විරහිතයින් බවට පත් ව ඇත. වසංගතය, කම්කරු පන්තිය තුල සමාජ අසමානතාවට එරෙහි වැඩෙන විරෝධයක් ප්‍රේරනය කර ඇති අතර, ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එරෙහි මහජන උද්ඝෝෂන, එම විරුධත්වයෙහි ආරම්භක ප්‍රකාශනයකි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීමට එරෙහි විරෝධතා නීති-විරෝධී නම්, ධනවාදයේ පැවැත්මටම තර්ජනය කරන කෝටි සංඛ්‍යාත කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතාවන්ට ආන්ඩුව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද? විරෝධතා ව්‍යාපාර “නරකිනුත් නරක අතට හැරීමට” පෙර ඒවා මර්දනය කල යුතු යයි ට්‍රම්ප් ආන්ඩුකාරවරුන්ට කියන විට ඔහුගේ සිතේ හොල්මන් කරන්ට ඇත්තේ පන්ති අරගලයෙහි වර්ධනය යි.

ට්‍රම්ප්ගේ තර්ජනයන් සැබෑ නො වන්නේ යයි ද, අර්බුදය සාමකාමී ව පහව යනු ඇතැයි ද, සියල්ල සාමාන්‍ය තත්ත්වයට පෙරලා පැමිනෙනු ඇතැයි ද විශ්වාස කිරීම තරම්  තවත් අත්වැරැද්දක් තිබිය නො හැක. සැබවින් ම, මෙම අර්බුදය ආරම්භ වූවා පමනි. 

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය හෙම්බත් වී ඇත. පවත්නා ධනේශ්වර සමාජ ව්‍යූහයේ පදනම මත එය ප්‍රතිස්ථාපනය කල නො හැක.

ට්‍රම්ප්ගේ තර්ජනයන්ට හරස් කැපිය යුත්තේ කම්කරු පන්තියේ යෝධ ව්‍යාපාරයකිනි. ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ සටනකින්, පොලිස් ම්ලේච්ඡත්වයට, අසමානතාවට හා ආඥාදායකත්වයට එරෙහි සටන වෙන් කල නො හැකි බව පැහැදිලි ය. “ට්‍රම්ප් විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචන්ඩකාරී පොලිස් ප්‍රකෝපරනයක් අවුලුවයි” යන හිසින් ජුනි 1දා නිකුත් කල ප්‍රකාශය තුල ලෝසවෙඅ ලියූ පරිදි:

සමාජයේ ක්‍රියා කරවීමෙ බලය දරාසිටින කම්කරු පන්තියට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරය නැවැත්වීමට, ට්‍රම්ප් බලයෙන් පලවා හැරීමට දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් නිර්මානය කිරීමට, ආයතනික-මූල්‍ය කතිපයාධිකාරයේ පසුබෑම බිඳ දැමීමට සහ සමාජවාදී පදනමක් මත  ආර්ථික ජීවිතය  ප්‍රතිසංවිධානය ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය ඇත.

තව ද ඇමරිකානු ධනවාදයේ ම්ලේච්ඡත්වයෙහි ඍජු ප්‍රකාශනය ලෙස දැකගනු ලබන ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තිය දක්වන විරෝධයෙන්, එක්සත් ජනපද කම්කරු පන්තියෙහි බලය යෝධ ලෙස අභිවර්ධනය කරනු ලබයි. පසුගිය සතිය තුල, ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීමට එරෙහි ව ලොව පුරා මහජන විරෝධතා පැවතුනි. එක්සත් ජනපදය තුල ආඥාදායකත්වයක් ස්ථාපනය කිරීමේ ට්‍රම්ප්ගේ උත්සාහය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විරෝධතාවන්ගේ පරිමාව පෘථුල ලෙස ප්‍රසාරනය කරනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂයට සහ සමාජ සමනාතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරයට ඇමරිකානු කම්කරු පන්තියේ බලය පිලිබඳ ව දැඩි විශ්වාසයක් ඇත. ආඥාදායකත්වයක් සඳහා ට්‍රම්ප්ගේ උත්සාහය පරාජය කිරීමටත්, සමාජවාදය සඳහා සටන ඉදිරියට ගෙනයාමටත් මූලෝපායක් වර්ධනය කිරීමේ දී අවශ්‍ය කරන තොරතුරු, විශ්ලේෂන හා ඉදිරිදර්ශනය අපි අනවරත ව වැඩකරන ජනයාට සම්පාදනය කරන්නෙමු.

මෙල්බර්න් උද්ඝෝෂනයේදී ලෝසවෙඅ වාර්තාකරුවන් කතා කරයි
Loading